Friday, November 8, 2019

154. කළු ගඟදිගේ . . . . . . 14

ගඟක් පාන ආඩම්බර

මින් පෙර මා ලියා ඇති පරිදි ටැන්ඩම් / Two Man හෙවත් දෙදෙනෙකු විසින් පැදීම කරණු ලබන කයාකයක පසුපස පදින්නේ තරමක් හෝ පලපුරුදු අයය. පසුපස පදින්නාහට කයාකය හැසිරවීම භාරවේ. කයාකයේ දිශාණතියන් වෙනස් කිරීම කයාකය සමබරව තබාගෙන යෑම ඔහු වෙතින් සිදුවිය යුතුය.

ඉදිරිපස පදින්නා වෙතින් වන වරදක් නිවැරදි කලහැක්කෙ පසුපස පදින්නා හටය. ආධුනිකයෙකු පලමුව ඉදිරිපස පැදීම  සඳහා යෙදවීම වඩාත් යෝග්ය වේ.

කයාකයකට නැගීමේදී දෑතින් කයාකය අල්වාගෙන; කයාකය මත සිරුරේ පශ්චාත් භාගය  ගැටනසේ පැනීමක් කල යුතුවේ. මන්ද එක පැත්තකට බරදී නගින්නට කරනු ලබන උත්සාහයේදී කයාකය එක් පසකට බරවී පෙරලී යාමට ඉඩ ඇති හෙයිනි. 
තමන් සමග කයාකයේ අනෙක් පස සිටින ගමන් සගයා පලපුරුදු අයෙකු වේ නම් තමා කයාකයට ගොඩ වදින වෙලාවේ එක් පසෙකට බර වන කයාකය යම් පමණකට සමබර කර ගැනීමට හැකියාවක් ඇත. එහෙත් ආධුනිකයෙකු සමග කරණ ගනුදෙනුවේදී වඩාත් සුදුසු වන්නේ කයාකයට නොදැනෙන සේ කරනු ලබන ගොඩ වීමමය.

එසේ කයාකය මතට ගෙවැදීමට පහසු වන්නේ එය නිසලව ඇති විටදී ය. බසයකට ගොඩ වීමට පහසුවන්නේ නවතා ඇති විටදී මිසක ගමන් කරද්දී නොවේ. නමුත් අප මුදා හැරිය කයාකය වේගයෙන් යන්නට පටන් ගනු ලබයි. එසේම එතැන විසල් ගැඹුරකින් යුත් තැනකි.
 මේ වන විට සුදාරක නැංවූ කයාකයේ ඉදිරි කෙළවර ගඟට යොමුවී ඇත. තවත් ලෙසකින් පැවසුවහොත් ගැඹුරු දිය මතය. පසු පස කෙලවර තවමත් ගොඩබිමේය. කයාකය ගංගාව ගලන දිශාවට හැරී යාන්තමින්  පසුපස කෙලවර ගොඩබිම මත රඳවා ගෙනය.
ශිල්ප දැක්වීම පසෙක තබා කයාකය සෙමෙන් තල්ලු කරමින්ම එයට ගොඩ උනෙමි.

කයාකය වේගයෙන් ඉදිරියට ඇදෙමින්ය.

"මල්ලි උඹ කලබල වෙන්න එපා! දැන්ම හබල් ගහන්නේ නැතිව ඉඳිං! මම කිව්වාම මං කියන පැත්තෙන් විතරක් ගහපං !! නවත්තන්න කිව්වොත් නවත්තලා නිකං හිටපං!!!"

ගොඩදී දුන් උපදෙස් මාලාව මා සුදාට නැවත මතක් කර දෙමින්ම හබල් ගැසීම ඇරඹූයෙමි.
හබල් ගසනවා කීවාට හබල් ගැසීමක්ම නොව හබල උපයෝගී කරගෙන කයාකය මා වෙතට නතු කර ගැනීමක් සිදු කරගනු ලැබීය.


කයාකය තරමක් කීකරු වූ පසු මා පසු පස හැරී බැලුවෙමි. තෙශා හා පසිඳු රැගත් කයාකයද නිරුප්ද්රිතව අප පසුපසින් පැමිණෙමින්ය.`

වේලාව  උදෑසන 6 පසුවී විනාඩි 45ක් ඉක්මෙන්නට ඇති!

පාලම පසු කිරීමෙන් ඉක්බිති; ගඟ පිළිපන්නේ තරමක පළලකින් යුතුවූ පෙදෙසකටය. එහි රැඳුනු විසල ජල ධාරිතාව මගින් ගඟේ එතෙක් පැවති වේගය ගිලගත් අයුරකි.

එතැන් පටන් මා හැකි උපරිමයෙන් දන්නා තරමින් සුදාට උපදෙස් දෙමින් පදින්නට විය. ගඟ වේගයෙන් ගලයි. පාලම යටට සාපේක්ෂව අඩුවුවද; ගඟක් ලෙසට උපරිම  වේගයක් එහි ගැබ්වී තිබුනි. කයාකය පැදීම තරමක පහසු වුවද එය නොමග නොයා නිවැරදි මගේ ගෙන යාමට අමතර වෙහෙසක් දැරීමට සිදුවිය.

රොන් මඩ දියවුනු ගඟ තද දුඹුරු වර්ණයක් ගෙන තිබුනි. වතුර මට්ටම ඉහල යත්ම ගඟ දෙපස වූ බිමේ රැඳි ශාක කොටස් හා විවිද රොඩු ගංගාවේ පාවෙමින් තිබුනි.

ලොකු කුඩා කුරුම්බා ඇට්ටි හා පොල්  පවා සතුටින් ඉපිල ගඟ දිගේ තරඟයට ගසායනු දකින්නට ලැබුණි. දියේ ගසා ගෙන ගිය පොල් ගෙඩියක් අහිඳ ගැනීමේ උත්සාහයක පසිඳු නිරත විය. ඒ මන්දැයි මා විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ

"කාට හරි දෙන්න . . . . !?" කියාය.

"කාට හරි!?" යනු කවුරුණ් දැයි මම උගෙන් ඇසුවෙමි!

"කාට හරි! කාට හරි!!" පසිඳු ඇද පැද සිනහ වෙමින් කීවේය!

පසුවන හැම වේලාවකම මා සුදාව දනුවත් කිරීමේ නිරත විය.

සුදාරක තරමක අඩු උසකින් යුත්  ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙක්ය. අපගේ කණ්ඩායමේ ලාබාලතම සාමාජිකයා වූයේ ඔහුය. මුහුණ පුරා ඝන රැවුලක් ඇති ව සිටි ඔහුගේ ගම් පලාත වූයේ දකුණු ලක ය. විදුලි උපාංග නිපදවන ශ්රී ලංකාවේ පුරෝගාමී ආයතනයක සේවය කල හේ වසර පුරා දිවයිනේ හතර දිග; රැකියාව තුලම කරක් ගසන්නෙකි.

ඔහු ඉතා ඉක්මනින්ම කයාකය පැදීමට ඉගෙන ගත්තේය.  ඔහු මා ඇමතුවේ "ලොක්කයියා" නමිනි. සත්තකින්ම කණ්ඩායමේ ලොක්කයියා මම විමි.

සුදාගේ ප්රසස්ථ මට්ටමේ පැදීම සමග අප ඉක්මණින් ගං ඉවුරු පසුකරමින් විය. ගඟ දෙපස මුළුමණින්ම පාළු ස්ව්භාවක් ඉසිලීය. වැලි තොටු පොලවල්, මැණික් ගරණ ස්ථාන කිසිවක් දක්නට නොලැබුනේය කියා ලියන්නට මට සිතේ. ඒවා ඒ තරම්ම විරලවිය.

අප; අපගේ යාත්‍රා දියත් කල ඉහල නාරගල පාලම පිහිටියේ ඉලිම්බ හංදියේ සිට  - ඉහල නාරගල - ගෝවින්න මාර්ගයේය. මෙම පාලම ගෝවින්න පාලම ලෙසද ව්‍යවහාරයේ පවතී.

මෙම පාලම අසලින් දියට බට අප කිලෝමීටර දෙක තුනක දුරක් යාත්‍රා කාරද්දී ගඟේ විශාල නැම්මක් විය. දකුණු පසට හැරී  නැවත වම් පසට හැරී පැවතින. "දකුණට ද්විත්ව වංගුවකි!" පුවරුවක් නැති ගඟේ වම් පස ඉවුර මත කිසියම් ක්‍රමික ඉඳිකිරීමක කොටස් යාන්තමින් පෙනිනි. 
"ඕනෑම ගිණි පෙට්ටියක් දන්නා එසේම නොදන්නා ගිණි පෙට්ටියක් නැති" අපගේ තෙශා; එය ටක්කෙටම ඇඳින ගත්තේය.

"මේ  කඳන වෝටර් බෝර්ඩ් එක නේ ! . . අරූ !  සාගර- ඉන්ජා ඉන්නේ මේකෙනෙ බං !?' තෙශා අපිට හිතන්නට ඉඩ නොදීම කියාගෙන ගියේය.

ඒ සමගම ඉදිරියෙන් පෙනෙන්නේ ඔරිජිනල් නාරගල පාලමයි.

ඒ මතින් දිවෙන්නේ හොරන - බුලත්සිංහල - මතුගම මාර්ගයයි. නාරගල කී සැනින් අපේ මතකයට එන්නේ නාරගල පාලම සමග ඇතැයි පැවසෙන  ඇල්ල හෙවත් රැපිඩ් එක පිලිබඳවයි.
කළුගඟේ පළමු පරිච්ඡේදය අවසන් කරණ්නට මත්තෙන් අපට මිනිස් පුළුටක් අන්තිම වරට දුටු අව්ස්ථාවේ අප උත්සාහ කලේ ඉදිරියේ ඇති ඇලි හෙවත් රැපිඩ් ගැන දැන ගැන්මටය.
එහිදී "නාරගල" ගැන කියැවුනු පසු නැවත ඒ පිළිබඳව අහන්නට ලැබුනේ; අප පිටත් වෙන්නට මත්තෙන් හමුවූ කැඳ කඩේ මාමා ගෙනි.

ඔහුගේ දැනීමේ හැටියට "නාරගල ඇල්ල" සෙල්ලං නැත.

ගමනට පෙර තෙශා තම කැඳ මාමා අමතා ඇල්ල තරණය කලයුතු මාර්ගය පිළිබඳව උපදෙසක් ලබා ගත් නමුදු මා ඊට කන යොමු නොකලෙමි.
මා පුරුද්දක් ලෙස එසේ නරඹන්නන්ගෙන් උදව් උපකාර අවවාද නොපතමි. මෙය උද්දච්ච ක්‍රියාවක් සේ ඔබට දැනෙනු ඇත. සත්තකින්ම එය මගේ ආනාදිකම ලෙස නොසිතන්න. එයට හේතුව මා මෙසේ ගොනු කරණ්නම්.

ඔබ නන්නාඳුනනා පලාතක පාරක් තොටක් විමසුවහොත් එම පුද්ගලයා දැන හෝ නොදැන අදාල ස්ථානයට ගමන් මාර්ගය තම දැනුම් තෙරුම් තරමට කියති. බොහෝ දෙනෙකු තමන් නිසි පරිදි නොදන්නා බව නොපවසති. තමන්ගේ සිතැඟි පරිදි, තමන් දන්නා තරමින් අවවාද දෙති. උපදෙස් දෙති.  නමුත් එය කෙතරම් සාර්ථක දැයි උඩ ඉන්න දෙවියෝ තබා මිහි මත වෙසෙන අප වත් දන්නේ නැත!

දිනපතා පය ගසා ඇවිදින මහ පාරවල් එසේ අති සාර්තක ලෙස අනන අපේ ඇත්තන්ගෙන් ගඟක ඇල්ලක් ගැන විමසුවහොත් ලැබෙන පිළිතුර පිළිබඳව තැබිය හැක්කේ කුමණ විශ්වාසයක්ද?

අනෙක් අතට බොහෝ අය එසේ කියන්නේ නිවැරදි දැනුවත් වීමක් තුල සිට නොවේ. කිසියම් අයෙකු මෙවන් විස්තරයක්, උපදේශයක්, ආරංචියක් විමසූ විට එයට පිළිතුර ලෙස "අනේ මම හරියට දන්නේ නෑ ! වෙන කෙනෙකුගෙන් අහනවද?" කියා පැවසීමට බොහෝ අය පසුබට වේ. ඔවුනට එය ලජ්ජාවට කාරණයකි!?
 නො එසේ නම් එසේ ඇත්ත ඇති සැටියෙන් පැවසීමෙන්; ප්‍රශ්ණය ඇසූ අයට කිසියම් අනර්ථයක්, මදි පුංචි කමක් කලා යැයි සිත තුල ඇති වන පදනම් විරහිත සිතුවිල්ලය!
එවිට ඔවුන් සැරසෙන්නේ කුමක් හෝ පවසා; "තමා උදව්වක් කලා !" යන සිතුවිල්ලෙන් තම සිත රවටා ගැනීමටය!

එම උපදෙස් ඇසුනු පසු අපද; බාධකය නො එසේනම් අභියෝගය දෙස බලන්නේ පෙරකී අබල දුබල උපදෙස් මත පිහිටාය. එවිට සිදුවන්නේ මෙතෙක් අප තුල තිබුනු පලපුරුද්ද මත පිහිටා ගනු ලබන තීන්දු තීරණ වලට ඇති මං පෙත් ඇහිරී යාමය.

ගඟක වතුර වැඩිවෙත්ම හැඩ පහර වැඩිවේ. එනම් වේගය ඉහල යාමය. එසේම වතුර වැඩි වෙනවා යනු ජල මට්ටම ඉහල යාමය. ඒ සමගම ගඟාවේ ඇති ගල් පර බාධක වැසී යයි. මේ සමගම බොහෝ කුඩා ඇලි හෙවත් රැපිඩ්; වැඩිවූ ජල මට්ටම අකා මකා දමයි! එය තරමක පහසුවකි!

එමෙන්ම;  ඉහල ගිය ජල මට්ටමෙන් වැසී නොයන උසකින් යුත් ගල් පරයක් වෙත්නම් එය වෙතට අතිශය වේගයෙන් ගලන ගංඟාවේ; කයාකයක් ඊට ගොදුරු නොවී ගෙන යෑම අසීරු කාර්‍යයක් බවට හැරේ. එසේම යාන්තමින් දියෙන් වැසී ඇති ගල් මගහැර පැදගෙන යාමට නොහැකිවී යයි. එනිසාම කයාකය පුපුරායාමට හෝ ඉරී යාමට ඇති ඉඩ කඩ වැඩිය.

එදිනද ජල මට්ටම ඉහල ගිය දිනයකි. ගඟ වේගයෙන් ගලයි. ගූගල් ඡායාරූපයේ පෙනෙන ලෙසින්; ගඟ මැද  පිහිටි ගල් පර්වථ බාධක අතුරින් තරමක් වැසී ගොසින් තිබුනි.

අප ඇල්ල අභීයස විය!

"මචං අපි කොයි පැත්තෙන්ද දාන්නේ ? වමෙන් දා මුද?" මම තෙශා දිහා බලා කෑගැසුවෙමි.
අල්ලේ ඝෝෂාව මගේ කට හඬ යටපත් කරමින් ය.

" අර ලොක්කා කිව්වේ නම් දකුණෙන් දාන්න කියලා . .!"

කැඳ මාමා කියන ලද දකුණු පස මාර්ගයක්ද පහත ගූගල් ඡායා රූපය පිරික්සීමේදී පෙනී යයි. ඒත් නිවැරදි මාර්ගය දියෙන් යටවී ගොසිනි.

ඔබ සිතන්න පල්ලමක් දිගේ වේගයෙන් ඇදීයන බ්‍රේක් නැති බයිසිකලයක් පිළිබඳව!

ඔව් කයාකයට තබා නැවකටවත් හිටිවනම නවතාලීමට තිරිංග  පද්ධතියක් නොමැත. යාන්ත්‍රික යාත්‍රාවක් නවතා ලීමට එහි එන්ජිමෙන් දිවෙන අවර පෙත්ත අනෙක් පසට භ්‍රමනය කරවීමෙන්ය. නො එසේනම් පසුපසට  ධාවනය කරවීමෙන්ය. කයාකයකට කල හැකි එකම දෙය වන්නේ ඉතා කෙටි හඳුනා ගැනීමක් මත පිහිටා කරනු ලබන හැරවීමකට; මාර්ගය වෙනස් කර ලීමකට උත්සාහ කිරීම පමණි.

හදිසියේවත් කයාකය පෙරළී ගියහොත් හැඩ පහරට හසුව ගසාගෙන යාමට පටන් ගනී. එවිට දිය මතුපිට හා දිය යට පිහිටන ගල් වල වැදී සිදුවිය හැකි අනතුරු පිළිබඳව ලියන්නට වදන් නොමැත!

මෙම අනතුරු සියල්ල පිළිබඳව සැදැහැවත් සිතින් කයාකය  වම් පසට  හැර වූයෙමි.


දිව්‍ය ලෝකයට නාරගල පාලම දිස් වන අයුරු . . !

"සුදා උඹ බය වෙන්න එපා ගානකට පැදපං! ආ දැන් නවත්තහං!!"

මා එක වර උපදෙස් දෙකක් එකපිට එක පටවා සුදාරක වෙත ලබාදුනිමි.

මීට පෙරද මා ලියා ඇති පරිදි; දරුණු ලෙස රැලි නංවන;  යුවතියකගේ ගෙතූ වරලසක් සේ වරෙකට දිය ගොබය ඉහල නගිමින්ද තවත් විටෙක නොපෙනී ගිලී යමින් ද අසමබර සරුංගලයක්සේ  කූරියා ගහන දිය ඇල්ලක හෙවත් රැපිඩ් එකකදී කයාකයට උපරිම වේගයක් ලබා දී; දිය ඇල්ලේ ග්‍රහණයට හසුවීමට ප්‍රථමයෙන් එයින් ඉවත් වීම එක් සාර්ථක ක්‍රම වේදයකි.

එසේම මධයම ප්‍රමානයේ හා ඇල්ලේ ඇති එකම සුවිශේෂී තාවය දිශානතියන් වෙනස් වීම හා වේගය පමනක් නම් ඇල්ල තුලට නිවැරදිව සමබරව හා ඇල්ල ගලන දිශාවටම සෘජුව කයාකය අතුළු කර ගැනීමට හැකි වුවහොත් කයාකය නිරුපද්‍රිතව ඇල්ලෙන් පිටමං වේ. මෙහිදී  සුළු වශයෙන් මෙන්ම තදින් කයාකයේ දිශාව වෙනස් නොවන සේ පැදවීම පමණක් සෑහේ.

මෙතනදී බොහෝවිට සිදුවන මහත්වූ අකරතැබ්බය වන්නේ  මෙසේ හඳුනා ගැනීම කල් තියා කිරීමට ඇති අපහසුවය. එය හොඳින් වර්ගී කරණය කල හැකි වන්නේ ඉදිරියේ පදින්නා විසින් වන අතර සුදා වැනි ආධුණිකයෙකු ගෙන් එවැන්නක බලා පොරොත්තු විය නොහැක.

අනුග්‍රහය - හැලපකඩේ හැලපයා

 1951 අප්‍රේල් මස 07 වනදින ඇරඹි මෙවන්ම වූ නදී තරණයක් ගැන කියැවෙන  රසාලිප්ත චාරිකා සටහනක් පනහ දශකයේදී ඇස්. ඩී. ද ලැනරෝල් විසින් "වන නදිය" යනුවෙන් ලියා පලකොට ඇත.
 මෙම පොතේ දෙවන මුද්‍රණය සූරිය ප්‍රකාශකයින් විසින් 1996  වසරේ සිදුකොට ඇති අතර දැනට එය මිලදී ගැනීමට සොයා ගත නොහැකි තවත් එක් පොතක් බවට පත්වී ඇත.
මා ඒ පිළිබඳව; වත් පොතේ කල ඉල්ලීමකට ප්‍රථිඵලයක් ලෙස "හැලප කඩේ හැලපයියා" විසින් මා වෙත එම පොත පසුගිය සති අන්තයේ; කියවා ආපසු භාරදෙන පදනම යටතේ  ලබා දුන්නේය. එයට එතුමාට ප්‍රණාමය!

වන නදිය පොතේ එක් තැනෙක මෙසේ සඳහන් වේ.

ඇලි හිසට (ඇල්ල පටන් ගැනීමට පෙරාතුව ඇති නිසල දිය රැඳීම) රොක්වූ වතුර තැනින් තැන කිඹුල් දත් මෙන් උඩට නෙරා සිටි කඩතොලු හා ආඳෙකුගේ පිට මෙන් ලිස්සන ගල් ඇති මහා ගල් තලාවක් උඩින් රැළ හා පෙන නගිමින් බොහෝ දුරට ඇසෙන සේ හඬාගෙන ජව සම්පන්න අසෙකුගේ වේගයෙන් දුවයි.
 අවුරුදු කෝටි ගනනක් තිස්සේ  මෙසේ දිවීම නිසා ගල තලාවේ සමහර ස්ථාන අඩි කිහිපයක් ගැඹුරට කපාගෙන ගඟ බසී.ජල ගැල්මකදී මුළු ගල් තලාවම වසාගෙන වතුර බසින නමුත් වතුර අඩු කාලයේදී යට කියන ලද ඕඩ පාරේම වතුර බසී.

සාමාන්‍යයෙන් මෙබඳු ස්ථානයක ප්‍රධාන ඕඩ දෙකක් වේ. 

එකක් වම් ඉවුරෙහි වන අතර අනෙක දකුණු ඉවුරෙහි වෙයි. පෙරුම්බොඩ ඇල්ලේ දී යාත්‍රා කිරීමට අප තෝරා ගත්තේ දකුණු ඕඩය විය. 
ඕඩයකට ඇතුල් වීමට අඩි සියයකට පමණ ඈතදී තමන් යා යුත්තේ කුමණ ඕඩයකදැ යි  තීරණය කරගත යුතුය.ඕඩයකට ඇතුල්වූවායින් පසු එය හැර අනෙක් ඕඩයකට ඇතුල්වීම මහත් අසීරු වැඩෙකි. සාමාන්‍යයෙන් වඩා පළල් වූ ද වතුර වැඩියෙන් ඇතුලට ගලන්නා වූ ද ඕඩය වඩා සුදුසු ලෙස පෙනෙන නමුත් සමහර විට එය නුසුදුසු වීමට ද පුළුවන.

මුලින් යහපත් සේ පෙනුණු ඕඩයක් පසුව බාධකයන්ගෙන් ගහණ විය හැකි වූවා පමණක් නොව අතු කීපයකට බෙදී ගොස් නොගැඹුරු වන්නට ද පුළුවන. 

සමහර විට මේ ඇල්ලක් සැතපුම් දෙකක් පමණ දිග ඇති බැවින් පහසු මාර්ගයක් ලැබෙන්නේ තමන්ගේම දක්ෂකම නිසාම නොව අහම්බෙන් ය.
සමහර ඇලිවලින් ඕඩය ක්‍රම ක්‍රමයෙන් කුඩා වී යාමෙන් රියනකට වඩා පළල් නොවූ ද බාධක වලින් ගහණ වූ ද තැන් කිහිපයක් පහු කිරීමට අපට සිදුවිය. එබදු තැන් වලදී සියලු දෙනම ගොඩට බැස කීප දෙනෙකුන් ඔරු බස්සවද්දී අනෙක් අය කැමරා ද අරක්ෂාව සඳහා රයිෆලයක් ද රැගෙන ගොඩින් ගියහ.

ඔරු බස්සවන්නෝ ඇනියෙහි හා අවරෙහි බඳිනා ලද කඹ අතට ගෙන දියට බැස ගලෙන් ගලට යමින් නැංගූරම් ලෑවා සේ ගල් බදාගෙන කඹ වල ආධාටයෙන් ඔරු බැස්සවූහ. 

දිය පාර හරස් කොට ගල් පිහිටි ස්ථාන වලදී කීප දෙනෙක් එකතුව ගලට උඩින් ඔරුව ඔසවා බැස්සවූහ.
සමහර තැන්  වලදී මේ ක්‍රමයෙන් ඔරුව බැස්සවීමට නොහැකි වූ හෙයින් කෙතරම් ගල් තිබුනත් අප සියළු දෙනම ඔරුවට වී ගල් මග අරවමින් "ඔහෙ යන පන මෙහෙ පලයන් !" කියමින් ඔරුව පැද්දෙමු. 
සෙමෙන් පදින හෝ පාවෙමින් යන ඔරු හැසිරවීමට අපහසුනිසා නිතරම එය තදින් පැදිය යුතු විය.එක ගලක් මග අරවන අතර එවැනි තවත් ගල් ගැන සිහි කල්පණාවෙන් සිටීමට ද සිදුවිය. 

ගඟේ වතුර ගලන කාලයේදී මිටි ගල් වලට උඩින් පහසුවෙන් පැද යා හැකි නමුත් බොර වතුරෙන් යටවී තිබෙන ගල් නොපෙනෙන බැවින් ඒ කලයේදී යාත්‍රා කිරීම ඉතා අනතුරු දායකය. 
එබඳු දිය යට තිබෙන ගල් සොයා ගැනීමට තිබෙන ගල් සොයා ගැනීමට තිබෙන එකම මාර්ගය ගලෙහි දිය පහර වැදීමෙන් නගින දිය සුළි හෝ මොල්ලි ගැන සුපරීක්ෂාකාරී වීමය.

-වන නදිය - පෙරුම්බොඩ ඇල්ල - 71, 72 පිටු


මමත් සුදාත් රැගත් කයාකය වමට හැරී ඉබාගාතේ යෑමට ඉඩ නොතබා ඉලක්කයකට යොමු කරගත යුතුය. 

නොපෙනී ගල් තිබෙන තැන් වල දිය මතු පිය කුඩා සුලියක්  ලකුණක් දක්නට ලැබේ. බොහෝ විට එවන් සුලි දෙකක් අතරින් දළුවක් සේ විහිදෙන දිය පහරට අප කයාකය ඉලක්ක කර ගැනීම අපගේ ඊළඟ කාර්‍යය වේ. 

එහෙත් එම දිය දළුව ඊළඟ අඩි කිහිපය තුල නො එසේ නම් අවම වශයෙන් මීටර තුන හතරකට මෙපිටින් වෙනත් බාධකයක් වෙතොත් එය අප යායුතු මාර්ගය නොවේ. මන්ද එම කුඩා දුර තුල කයාකය වෙනත් මගකට ගැනිම උගහට වන බැවින්ය. 

"කොල්ලො ඔය දල්ලෙන් දාපං !" මම දැක නොදැක කීවෙමි.  එය මා නිරීක්ෂණය කලේ ඇල්ලේ වම් පසට කයාකය හැරවීමේදී දුටු තත්පර ගනනක දසුන මගිනි.

එම මග පිළිබඳව  යෝජනා ස්ථිර කිරීම සිදුවිය යුත්තේ සුදා මගිනි. එහෙත් තවමත් ලපටි නැවියකු විසින් එසේ සිදුවෙතැයි සිතිය නොහැකි  තත්වයකි. 

"සුදා වමෙන් ගහපං!  තව හයියෙන් ගහපං !! හරි දැන් නවත්තපං!!! උඹ ගහන්න එපා . . .!"

කයාකය අපට අවශ්‍ය තැනින් ඇල්ල තරණය ඇරඹීය. එය සෙමෙන් ඇතුළුවී එක් වරම අධික වේගයෙන් ප්‍රවේග ගත විය!

 කයාකය ඊළඟ මොහොතේ පිළි පන්නේ ව්‍යාකූල, අසමතුලිත, අක්‍රමවත් රැලි වලින් ගහන මීටර 50 ක පමණ වූ කොටසකටය. දිය පහලට ගලා යන වේගයට වඩා වැඩි වේගයකින් කැළඹෙමින් තිබුනි. කයාකය වමට බරවිය. ඊළඟට අනෙක් පසට ඇලවිය. එහෙත් කයාකය පෙරළී යාමේ දැඩි අවදානමක් නොවීය. 

තවත් විනාඩි ගනනකදී එය නිසල ගං දිය හා එක් විය. තවත් මීටර 100 කින් පමණ අප කයාක එක් කර ගෙන සව්දිය පිරුවෙමු.


"එළ!"


"එළම එළ!!"


"සුදා . . !? අවුලක් නෑ නේද කොල්ලෝ ?" මම සුදාගෙන් ඇහුවෙමි.


"පිස්සුද ලොක්කයියේ සුපිරි!"


නැවත ගමනේ යෙදෙන්නට පටන් ගත්තෙමු. මා මීට පෙර පැවසුවා සේ රැපිඩ් නැති ගමන; ලිෆ්ට් එකේ නොහොත් විදුලි සෝපානයෙන් සිරී පාදේ ගියා හා සමානය. රැපිඩයක් සාර්ථකව තරණය කිරීමෙන් පසුව හිතට දැනෙන්නේ උද්යෝගයකි. සිරුරට අළුත් ශක්තියකි. එය ගමනට නව අරමුණු එක්කරවන සුළු නිමේශයකි. 

හැතැම්ම, කිලෝමීටර, ලයිට් කනු නොමැති කාත් කවුරුවත් නොමැති ගඟක කයාක දෙකකින් චාරිකා කරණ අප සිව් දෙන තවත් සෑහෙන දුරක් පසු කලෙමු.


ටික දුරක් පදින විට බඩගින්නක් ඇති නොවුනත් "නොකෑ බත් එකක් ඇත !" යන සිතුවිල්ල ;හිත කිති කවන්නට විය. 
මෙය බොහෝ දෙනාට බොහෝ කාරණා සඳහා පොදු වූ හැඟීමකි. බොහෝ විට බත් ගෙඩියක් අතට ලද මොහොතේ පටන් එය ලිහා බලනා තෙක් ඉවසිල්ලක් නැත.ඒ පිරිමි සිත විය යුතුය. 
ලෙහා උනා බලනා තෙක් පිරිමි සිත කම්මලකි!

අපි හතර දෙනා අතර එහා මෙහා විසි වුනු දෙබස් කණ්ඩ මෙහි ලියන්නට ඇවැසි නැත. ඒ මහන්සිය අපරාදේය. එකෙක් යෝජනා කල සැනින් අනිත් තිදෙනාද එක පයින්ය!

ගඟේ එලාගෙන කන්නට උනත් ලෑස්තිය!

 එතැන් පටන් හැමදා මෙන්ම ගඟ අයිනේ භෝජන ශාලාවක් සොයමින් පදින්නට විය. එතැන් පටන් තරමක දුරක් යන විට ගඟ විසල් පළල කින් යුත් ස්ථානයක් ඔබ්බෙන් වූ ගල් ඉවුරු දෙකක් හරහා ගඟාව ගලනා පටු මාවතක් දුටුවෙමු. 
එහි වම් ඉවුරේ ඇති ගල් තලාව අපගේ උදෑසන කෑම මේසය ඇරීමට කදිම ස්ථානයක් විය. ඈත පටන්ම වමට බරව පැමිණි අප ගල් තලාව අසලට අපගේ යාත්‍රා ගොනු කර ගත්තෙමු.

එහි යාත්‍රා නවතා අසල ගසෙක ගැට ගසා ගල් පොත්ත මතට ගොඩ උනෙමු.  විසල් තුරු වදුලක සෙවන ලද එම ස්ථානය මුළුමණින්ම මිනිස් වාසයකින් තොර වූ ලෙසක් පෙන්නුම් කලේය. ගඟ ගල් බිත්ති අතරින් ගලනා හඬ ට අමතරව වෙනත් කිසිදු හඬක් - නාදයක් එම ඉසව්වේ නොවීය.


යලිදු කිසිදා ගොඩ බසින්නට නොවන තැනක: පෙ.ව්.8.28

පසිඳු ගොඩට ගෙන ආ විශාල වියලි මල්ල හෙවත් ඩ්‍රයි බෑගය තුලින් එලියට ගත් බත් මුල් හතර අප ගල් පොත්ත මත ලිහා ගත්තෙමු.

ගින්නේ තවන ලද කෙහෙල් කොලේ ඔතන ලද සුදු හාලේ බත;  පරිප්පු, කරවල බැදුම හා සම්බෝල පිරිවරා  විරාජ මානව වැඩ සිටියේය. අප කිසිදු හැල මොනකින් තොරව අඹරණ්නට පටන් ගත්තෙමු. 
 " . . . . . . . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . .  . . . . . . . .. .  . . .  . . . . . . . . . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . .  . . . . . . . . . . . . . . . . !"
(මෙසේ දැක්වූයේ කෑම එකේ රස ගැන කියන්නට වදන් නොමැති බැවිණි.)

ඕනෑම කෑම වේලක් විනාඩි 6 කින් අන්තරස්දාන කරණා ඉන්ද්‍රජාලික හාස්කම් දන්නා මා එම විසල් බත් මුල විනාඩි 10 ක් පමණ කාලයක් ගෙන අවසන් කලෙමි.

අති ධාවන කාරී කෑම සමග 
"මචං සම්බෝල පොඩ්ඩක් ගන්නවා! හාල් මස්සෙක් දියං කෝ !?" පවසමින් පිරිසට සිත දමනය කරගෙන බත් එකක් කන ආකාරය ඉගැන්වූ මා හට තෙශාන්තගෙන්ද බත් අහුරු දෙකක් කෑමට සිදුවිය!

ගඟ මල පැන !

බත් හතරක් කෑමේ  ඉහ වහ ගිය සතුට !
හිසෙහි රැඳි හෙල්මටය ගැලවීමටවත් පසිඳු වෙලාව නාස්ති කලේ නැත !

එතැන් සිට අප කැංගරු දේශයේ වසිකව සම්බන්ධ කර ගත්තෙමු!

හොඳින් බත් කෑ අපි කම්මැළි කමින් යුතුව සෙමෙන් සෙමෙන් නැවත කයාක දියත් කලෙමු. හීල් හෙවනේ පැය භාගයක් පමණ සිසිල් වුනු සිරුරු; නැවත යතා තත්වයට පත් වන තුරු පැදීම ගඟට උවමනා ලෙසට විය. තවත් ටික වේලාවක් යන තුරු කෑ බත් පතේ ගුණා ගුණ ගායනා කරමින් අප හෙමින් සීරුවේ පල්ලම් බැසීමු.

අප අතින් වැඩියෙන්ම ගැයුනේ බත් පතේ ගුණටත් වඩා  කැඳ මාමාගේ  ගුණය!

අද දිනයේ කැඳ මාමාගේ ආරම්භක පාරිභෝගිකයින් වී ඇත්තේ තෙශා හා පසිඳුය. 
රාත්‍රිය මුලුල්ලේ පාලං ගැට්ටක් මත නිදිවර්ජිතව සිටින දෙදෙනෙකුට පෙර කැඳ කෝප්පයක් බොන්නට ගමේ වෙනත් අයෙකු ; පෝලිම කඩාගෙන එන්නට කිසිම සාධාරණ  හේතුවක් පෙනෙන්නට නැත.

වෙනදාට මෙන් නොව; අද දිනයේ ගෙනා ගමන් අලෙවි කිරීමට පැමිණි තෙශා හා පසිඳු පිළිබඳව සාදර සිතින් සිටි කැඳ මාමා වෙත තෙශාගෙන් ඉදිරි පත් වුනු ඊළඟ ඉල්ලීම වූයේ බත් ගෙඩි හතරක් බැඳ දීමය. කැඳ කඩේ මොහොතකට තෙශාන්ත මුදළාලි මහතාට භාරදුන් කැඳ මාමා; කැඳ නැන්දාට තෙශාගේ ඉල්ලීම කියන්නට ගිය සුනංගුවට මමත් සුදාත් සම්ප්‍රාප්ත වී ඇත!

 මා සාමාන්‍ය කඩයකින් ප්‍රධාන ආහාර වේලක් ගත් අවස්ථා වලදී එම ආහාර වේල ප්‍රසස්ථ මට්ටමක පැවතිය හොත් කරන ක්‍රියා පිළිවෙතක් වේ. කෑම වේලේ මිලද සාධාරන වේ නම්; අය කැමිට මුදල් ගෙවන විට ඒ ගැන පවසා "යහපතක් වේවා!" සිතින් සිතා මුදල් ගෙවීමයි! කැඳ මාමා හට මුදල් ගෙවීම තෙශා වෙතින් සිද්ධ වූවත් අහාර පරිභෝජනයෙන් පසු "යහපතක් වේවා!" යැයි මා සිතින් සිතා ගත්තෙමි! 

සයිකල් චාරිකා, කයාක් ගමන් පටන් ගත් අවස්ථාවේ සිට අවසන් මොහොත තෙක්ම ඒකාකාරී සතුටක් දනවන ඒවා නොවන්නේය. දකින දසුන්, ගස් වැල්, සතා සීපාවා, පාලම් බෝක්කු වලින් සතුටක් ගෙන ආවද  දීර්ඝ වේලාවක් එක දිගට එකම ඉරියව්වකින් සිට කයාකය පැදීම සතුට දනවන කටයුත්තක් නොවන්නේය. එහෙත් ගමන ට අවශ්‍ය ඉන්ධන සැපයෙන්නේ එක එකා වෙතින් කියැවෙන මරු කියැවීම් වළිනි, පසු කරන විට දකින කුමක් හෝ සුවිශේෂි දෙයකිනි. මේ සියල්ලටම වඩා; විටින් විට  ගං ඉවුරේ හෙවනක සිට කෙරෙණ මිතුරු හමු මගින්ය. 

එක් මොහොතකට එවැනි ඉවුරකට ගොඩ වූ  පසු එවැනි ස්ථානයක් දුටු වනම යටි සිත විවේකයක් ඉල්ලයි. උඩු සිතද ඊට කොන්දේසි විරහිතව එකඟවේ. සිරුර හිතන්නටත් කලින් කයාකය ඒ දෙසට හරවා අවසන්ය. 
තවත් පැයක පමන හබල් ගැසීමකින් ඉක්බිතව; උදෑසන ආහාරය ගැනීමට නැවතූ ස්ථානය වන්මවූ වෙනත් ස්ථානයක් දැකීමෙන් සිත කය වචනය එක් අදහසකට ආවේය. 
නැවතත් කෙටි විරාමයක් . . . . . .
පෙ.ව. 9.45





මම හොඳින් !

තවත් විවේකයකින් පසු අප නැවතත් ගඟට අවතීර්ණ විමු. මේ වන විට උදෑසන හිරුගේ  එතෙක් පැවති උද්යෝගීකර සිනහව අතුරුදහන්ව ගොසිනි. දහවලේ හිරුගේ රශ්මිය දැනෙන්නට පටන් ගෙන තිබුණි. සිටින තැන කිසිදු වග විභාගයකින් තොරව අප එක දිගට පදිමින් විය.

ඒ වන විට සුදා හොඳින් හබල් ගසමින් යාත්‍රාවට අවශ්‍ය ජවය ලබා දෙමින්ය. මමද හැකි වෙර යොදා කයාකය පැද්දෙමි. ඒ වනවිට කනට වෙනස හඬක් ඇහෙන්නට පටන් ගෙන විය. එය තද සුළඟක හඬක් ගත්තේය. අතු පතර විහිදි විශාල ගසක් මුලින් ඉදිරී බිමට පත බෑවෙන හඬකට එය ඉතා කිට්ටු හඬක් විය.

මහා වැස්සක් වත් කඩා පාත් වෙමින්ද? අපි අපෙන්ම විමසමින් විය!

වැහි කළුවක් නොමැති අහසේ!?

ගං දෑල දෙපසම
කැලෑ මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...