Monday, May 20, 2019

139. කලු ගඟ දිගේ සිව් වෙනි දිග ඇරුම 4.


ආයෙත් අළුත් දවසක්. කොහොමටත් වෙනදා ලියන තරම් සතුටකින් නම් නොවෙයි ලිවීම අරඹන්නේ.

ඒ රටේ වත්මන් තත්වය!

කඳු මුදුන්, මිටියාවත්, තැනිතලා, ගංඟා ඇළ දොළ, නිල් සයුර , වෙරළ තීර, වංගු වැටුනු මං මාවත් අප එන තුරු හුදෙකලාව බලා සිටිමින් වනු ඇත.
රට තුල පවතින අර්භූධකාරී තත්වය විසින් අපව නගරයෙන් පමනක් නොව ලපළු ලතා ගැවසී ගත් තුරු මුදුන් වලින් වසං කරගත් සුන්දර වන අරණින්ද පිටමං කොට ඇත්තේය. ඉදින් කවදාද ආයෙ එන්නේ ඒ වසන්තය යළි අප සොයා . . . . . . . !?

කලක සිට මාගේ ලිවීම් කියවන විජේබාහු මහතා මාහට ලියන ලද කමෙන්ටුවක්, ඊට මා ලබා දුන් පිළිතුරත්, ඔහු මාගේ පිළිතුරට එවන ලද ප්‍රථිපිළිතුරත් මා නැවත නැවතත් බොහෝ වාර ගානක් කියවිමි.
ඒ මාගේ ලිවීම් කියවන බොහෝ දෙනාගේ සිත් තුල ජනිත වන පොදු අදහසේ පාර්ශ්වික අපවර්ථනයකට පත්නොවූ තල දර්පණ ප්‍රථිබිම්භයයි.

එනිසාම ඒ සියල් සතුන් අමතා ලිවීම අරඹන්නම්.

ඔව්! ඇත්තෙන්ම මේ චාරිකා සටහන් වැල් වටාරම් පිරුණු පල් හෑලි ගොඩක් සේ කියවන ඔබට දැනෙනු ඇත. එහෙත් මා ඉන් ඔබ වෙත මතු කොට දක්වන්නට උත්සුක වන්නෙ කුමක්ද?

රටක හෝ වෙනයම් ජන සමාජයක, දත් නොදත් ඕනෑම අයෙකු කිසියම් සාර්ථකත්වයක් නො එසේ නම් ඉලක්ක ජයග්‍රහණයක් ලැබීමේ පුවත අපගේ කන වැකෙණවාත් සමග අපගේ සිතට හැඟෙන , දැනන, නැගෙන, නැතහොත් උත්සාහයෙන් මතු කර ගැනීමට තැත් කර ගන්නාවූ සිතුවිල්ල බොහෝ විට මොන ආකාරයක් ගනීද?
අප සිතන්නට පෙළඹෙන අපගේ සිතට නැගෙන සිතුවිල්ල මා මෙලෙස සරළ භාෂාවෙන් දක්වන්නම්.

"ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?"

 "කොහෙද බං අපේ උන් එක්ක ඕවා කරණ්නේ!?"


 "අපිට මේ තියෙන වැඩත් එක්ක කොහෙද බං ඕවා කරණ්නේ? උන්ට එහෙමට මේ අපිට වගේ වැඩ නැතිව ඇති! උන්ට ඕවට කොයි තරම් එවුන් ඉන්නවද ස්පෝට් එකට!"


 "අපිට මොනවද බන් තියෙන්නේ. අනික උන්ට කහන සල්ලි ඇති මචං!"


"අපිත් කැමතියි ඕවා කරණ්න; ඒත් කෝ බං ඕවාට වෙලාවක්!?"


"ඕක එච්චර ගේමක් නෙවෙයි බං, හිතුනොත් අපිටත් කරණ්න පුළුවං!"


සත්තකින්ම ඔය අන්තිමට තියෙන එක තමයි ඇත්ත. මම ලියා ඇති සෑම සියළු දේ අතුරිණ් මොන දේ ගැන සිතුවත් "එච්චර ගේමක් නොවෙයි! හිතුනොත් කාටත් කරණ්න පුළුවන් !" කියන එක තමයි සර්ව සාධාරණ ප්‍රකාශය වන්නේ!
ඒත් එකම ප්‍රශ්ණය වන්නේ බොහෝ දෙනෙකුට එසේ නොසිතෙන එකය!

මෙවැනි දේ ගැන තවත් එක් අයෙකු හෝ පොළඹවා ගැනීමට හෝ අනාගතයේ කරණ්නට සිතන අයෙකු හට අත් පොතක් විය හැකි ලිඛිත සටහනක් තැබීමයි මෙතරම් කරුනු දක්වන්නේ.

 එසේම ඉහත මා ලියන ලද "ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?" වැනි අනෙකුත් ප්‍රකාශ හා අදහස් සියල්ලට පෞද්ගලිකව මම ද මුහුණ දෙන  අතර එම බාධක මග හරිමින් මමත් කණ්ඩායමත් ඉලක්කය වෙත ලඟාවෙන ආකාරයත් මෙ නිසාම අනාවරණය වනු ඇත.

 එසේම යම් දිනෙක මා හට හෝ මගේ ආදරණීයයන් හට මතක මාත්‍රයක් සාක්ෂියක් ඉතිරි කරලීමටත් ඇත්තෙන්ම අප මුහුණ දුන් සුවහසක් බාධක මැද අප ලැබූ අත් දැකීම් වල සුන්දරත්වය; ජීවිතයේ අවසන් මොහොතේ මෙණෙහි කොට සතුටු වීමටත් මා ඉඳුරාම බලා පොරොත්තු වෙමි.

විජේභාහු මහතා වෙත දැක්වූ අතීත කථාව මා කෙටියෙන් ලියා තබන්නම්.

කලකට පෙර මාගේ හිතෛශීම සහෘදයා වූයේ ගුවන් හමුදාවේ නිළධරුවකු වූ ශානක රාජකරුණා ය. ඔහු ගැන හැඳින්වීමක් කිරීම මා ඉදිරි පෝස්ටුවක කිරීමට බලාපොරොත්තුවෙමි. නාලන්දා විදුහලින් බිහිවූ අධ්‍යාපන හා විෂය භාහිර ක්‍රියා කාරකම් වලද උපන් හපන් කම් පෙන්වූ ඔහු එක් කාලයෙක අම්පාර උහන කඳවුරේ සේවය කරමින් විය.

යුද්ධය  නැගෙනහිර වෙලාගෙන තිබූ එම යුගයේ එක් උදෑසනක; කඳවුරට පිවිසෙන මාර්ගය  අසල ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කොට තිබුනු බාධකයේ සේවය කල ගුවන් හමුදා භටයෙකුගෙන් ඔහුවෙත ලැබුණු ඇමතුමකි.




 කොළඹ සිට ඔරුවක් පටවා ගත් විදෙශිකයෙකු ත්‍රීවිලරයක පැමිණ ඇති බවත්; ත්‍රීවීලරයේ රියැදුරා  ආරුගම්බේ බලා යාමට අවශ්‍ය බවත් පවසන බවත් ඉන් කියැවුනි.

ජල ක්‍රීඩා වලට උපන්ගෙයි ආශාවක් ඇති ශානකද ත්‍රීවීලරයේ පමිණි විදෙශිකයා හමුව විස්තර සොයා බැලීය.

ජර්මන් ජාතිකයෙකු වූ ඔහු මෙහි පැමිණ ඇත්තේ සර්ෆින් කිරීමට බවත් ලෝකයේ සර්ෆින් සඳහා දෙවන හොඳම වෙරළ වන්නේ ආරුගම්බේ බවත් එහිදී ශානක විදේශිකයා වෙතින් දැන ගන්නට ලැබුනි.



මෙහි වඩාත්ම විශ්මිත කාරණය වන්නේ එම ජර්මන් ජාතිකයා කිසිදු දිනෙක අප රටට තබා ආසියාවට වත් ඊට පෙර පැමිණ නැති වීමයි.

මෙවන්ම වූ තවත් කථාවක් මා "ගඟක්දිගේ  4 " හි ලියා ඇත.
 ඒ විනෝදාංශය ලෙස රටින් රට ගොස්; එම රට වටා සයිකලයෙන් ගමන් ගන්නා උල්ෆ් ගැනය. ඒ වන විට රටවල් 25 ක සයිකල් පැද ඇති ඔහු මෙරට කිලෝමීටර 1900 ක් පැද තිබුනි!



මේ සියළු දෙනා හටම පෙර කී "ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?" අන්දමේ ගැටළු  තිබෙන්නට හැකිය. එහෙත් වසරක් පුරාවට උපයන මුදලින් එකතු කරගත් විශාල කොටසක් ද වසරකට වරක් පමණක් ලැබෙන  දීර්ඝ නිවාඩුව ගෙවා දමමින්, තම හිතෛශියන් නෑසියන් අමතක කොට, නන්නාඳුනන රටකට පැමිණ තම විනෝදාංශය භුක්ති විඳ ආපසු කිලෝමීටර දහස් ගනනක් මග ගෙවා ආපසු යයි!

සමහර විට වසරක් පුරා උපයා; ඔහු වැය කරණ දහස් සංඛ්‍යාත් ඩොලර් වලින් ඔහුගේ විනෝදාංශය  සඳහා ගත කරණුයේ පැය ගනනාවක් එක් වරුවක් හෝ එක් දිනක්  දෙකක් පමණක් වනු ඇත. එහෙත් ඔහු උපයා ගත්, ඔහු තම මතකයට අතුලත් කර ගත් වින්දනය,ආශ්චර්‍යය,අත්දැකීම මියෙන තුරු ඔහු සමග වනු ඇත!

බොහෝ විට ඔවුන් අප රට දකින්නේත්, ඒ ගැන සොයා බලන්නේත්, සියළු සබඳතා ගොඩනගා ගන්නේත් අන්තර් ජාලයෙනි. කිසිදා දැක නොමැති රටකට , නන්නාඳුනනා මිනිසුන් විෂයෙහි ඇතිකරගන්නා  විශ්වාසය මත පදනම්ව ඔවුන් තම විනෝදාංශය වෙනුවෙන් පැමිනේ.

විනෝදාංශයක් කරගෙන යන්නෙකු; ප්‍රාථමික මට්ටමෙන් කුරුළු පිහාටු එකතු කරණ අයෙකු විලසින් අහම්බෙන් හමුවන කාක් පිහාට්ටක් පොතක් තුල රුවාගෙන සිටින්නෙකු ගෙන් ඔබ්බෙහි සිට;  එයින් උකහා ගන්නා අත්දැකීම් ප්‍රමානය අති මහත්ය.

කැන්ගරු දේශයට පා තබා හරි යමන් ඉන්න තැනක්, කන්න බොන්න ක්‍රම වේදයක් නොමැතිව වසික; විරව පට්ටං ගසා ගෙන සිටින විට ඔහුව මා අස්වැසුවේ "කොල්ලෝ උඹයි මමයි නන්නාඳුනන ගඟවල් වල, ගංවතුරට මොන තරම් බැහලා තියෙනවාද? ඒවා මොන තරම් භයානක දේවල්ද? උඹ ඉන්නේ හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් තියෙන තැනකනේ! ඉතින් ඕකට මුහුන දියං! මොනවා හරි උයා ගෙන කාපං!" කියාය. මා කියන ලද දේවල් ඔහුට වැඩක් උනා දැයි මා නොදනිමි. එහෙත් ඔහු සාර්ථකව එම හුදෙකලා ජීවිතයට මුහුණ දී ඇත.

එහෙත් පසුගිය කාල වකවානුව පුරා මට හමුවූ බොහෝ දෙනාගෙන් තම විනෝදාංශය කුමක්දැයි විමසුව හොත් ඊට ලබෙන අසාර්ථක හා දුක්ඛ දෝමනස්සයන් හා අඳෝනා ලියා තබන්නට මෙම පෝස්ටුව ඉඩ කඩ මදිව යයි!
එක්කෝ කිසිදාක ඔවුන් ඒවා විඳ නැත!  නැතිනම් විනෝදාංශ අයත් වන්නේ කුඩා ළමුන්ට පමණක් බව ඔවුන් සිතති. නැත හොත් ඒවා  කරණවාට වඩා ඒ වෙලාවේ "ප්‍රයෝජනවත් යමක් " කිරීම යෙහෙකි යැයි ඔවුන් සිතති. මෙවන් අටෝරාසියක් කරුණු කාරණාය!
මේ සියළු අවු වියවුල් මැද අප; අපගේ ජීවිත ප්‍රාණවත් කරණ්නෙමු! ජීවත් කරණ්නෙමු!! මුහුණ දෙන බාධක හමුවේ ජයග්‍රහණය වෙතම ඉව අල්ලන්නෙමු!

මෙහිදී මා ගෙන හැර දක්වන්නම් තෙශාන්ත මුල්කිරිගල; මා මිත්‍රයාගේ ආදර්ශ පාඨය:

One Life; Live It . . . !



කථාවෙන් කථාවෙන් කාලය ගියා දැනුනෙම නෑ! ඒකෙන් මේකෙන් අපේ මුල් කථාව කියන්න තවත් කාලය යනවා. අපි මේ කථාව අද මේ විදියට පටන් ගමු!

නවසිය හැට එක වර්ෂයේ; කොළඹ ඇම් ඩී ගුණසේන මුද්‍රණාලයෙන් පල කරණවා පොතක් "ලස්සන ලංකාව" කියලා. මෙය එකල සිටි කෘථහස්ත ලේඛකයෙකුවූ වොල්ටර් සේනාධීර විසින් ලියන ලද්දකි. එහි මෙම කළු ගඟ ගන මෙසේ ලියා ඇත. '

                                      "ලක්දිවේ ගංගාවළියට එක්වන තුන් වැනි නදී ලාලණිය කලු ගඟයි. සිරිපා අඩවියෙන් ගමන් පටන් ගන්නා කලු ගඟ රත්නපුරේ නගරය පැදකුනු කරමින් මැණික් මතුවන පොලොව මැදින් වේගයෙන් ගලාබස්නේය.
සිරිපා හිමයෙන් ගලා එන කලු ගඟේ ශීතල දිය පාර සබරගමුව හරහා කුරුවිට, නවදුන්, පස්දුන් යන ත්‍රිකෝරල මැදින් ගලා විත් කලුතර තොටමුණෙන් මුහුදුබත් වන්නේය.
කලු ගඟ ඉස්මත්තෙහි රබර් වගාව ඉතා සරු ලෙස කෙරෙයි. කිරි ඇල්ල හා එපිටවල අසල දුම්බර නම් ගමේ මිණිරන් පතල් එදා බොහෝ සෙයින් තිබුණි.

රත්නපුරේ මහ සමන් දේවාලයෙහි දිය කැපීමේ උත්සවය සිදු කරණ්නේ මේ කලු ගඟේහිය.

කලුගඟට එක්වන ශාඛා දිය ඇලි බොහෝ ගනනෙකි.මහවැළි කැළණි නදීන්ට එක්වන දිය ඇලි  බොහොමයකට මෙන් මේ ශාඛා දියපාරවල් වලට ඉංග්‍රීසි ආරට නැබුරු නම් තබා නැත. කිරිඳි ඇල්ල, දෝතලු ඇල්ල,නාරගල ඇල්ල,කලු ගඟට එක්වන දිය ඇලි වලින් සමහරෙකි. පුවක් මලක් විසුරුවා ඇරියා සේ පහතට ගලා බස්නා දිය ඇල්ලකට පුවක් මලැල්ල කියා නම්දී තිබීමෙන්ම එහි ඇති කලා රසිකත්වය සිතා මතා ගත හැකියි.

පුරාණ දේව කථාවල පෙනෙන අන්දමට දෙවොල් දෙවියන් ලංකාවට පැමිණි වෙලේ කෙහෙල් පහුරකින් කලුගඟ දිගේ ගමන් කල බව කියන කට කතාවක් පැරැණ්නන් අතර අද දක්වාම පවතී.

සිංහල සංදේශ කාව්‍ය ලියූ අපේ පැරණි කවීන්ගේ සිත් බෙහෙවින්ම ඇදගත් දිය පාරකි කලු ගඟ. කලු ගඟේ දිය පහර පිළිබඳව කවි සිතුවිළි වලින් මත්වුන ගිරා සංදේශ කාරයෝ එක් වරක් මෙසේ කියති.


ලක  කොමලඟ  සමණොල ගිරි හිසින්     ගොතා
හල  මනරඟ  මලිගිය මල් දමින්                   යුතා
වර ල සරඟ  හෙන වැල හැලි සියෙන්           ඉතා
දිලි  කලු ගන්නග ලඟ වැද හරු ගිමන්          ගතා

කලු ගඟ සැතපුම් හැත්තෑවක් දිගය. මේ ගඟේ ප්‍රමාණය වර්ග හැතැප්ම එක් දහස් පණහක් බව භූගෝල විද්‍යාඥයෝ පවසති. අවුරුද්දක් තුල මේ ගඟින් ගලා බස්නා ජල කඳ "ඒකර් පීට්" 5,8,80,000 ක් බව කියැවේ.
(මෙහි ඒකර් පීට් යනුවෙන් සඳහන් කොට ඇත්තේ  Acre feet හෙවත් අක්කර අඩි ය)

කලුතරින් මුහුදට පතිතවන කලුගඟේ මෝය අසල ඇති පැරණි බෝධිරාජයාණන්ගේ බෝ පත් ගඟේ සිසිල්  සුලඟින් ඒ මේ අත වැනී සෙලවෙයි. ගාලු පාරේ ගමන් කරණ දස දහස් ගණනක් ජනයාගේ සැලකිල්ලට හා සදා ගෞරවයට පාත්‍රවන නේ මහා බෝධීන් වහන්සේ වෙත කලු ගඟ සෙත් සලසන්නා සේය.

කලු ගං මෝය අසල ගඟ මැද අති දූපත නිසා මුහුද අසලදී ගඟ දෙකට බෙදීයයි. ඒ නිසා ගාලු පාරේ කලු ගඟ උඩින් විශාල පාලම් දෙකක් තනා ඇත්තේය.

තිසර සංදේශයේ කලු ගඟ පිළිබඳව එන කවියක් මෙසේය.


ලෙල  රල විවිලි දිලි වෙරළත       වෙතේයා
පෙන  මුතු ලැලින් සැදි දල නිඳු       සතේයා
රැදි  රුදු නිල් යටෙකැ සිරි සර         ගතේයා
    කලු  ගඟි නෙතෙර යව දිගු පුලු       ලතේයා  "



මහවැළිය රටේ ජීවනාළිය වුවද කළු ගඟට මිනිසුන් ආදරය කොට ඇත්තේ බොහෝ කලක සිටය.

අවිස්සාවේල්ලෙන් රත්නපුරය දෙසට හැරුණු අප තිදෙන තවත් කිලෝමීටර දහ පහලොවක් ඉක්බිත්තෙන් කුඩා රෑ කඩයක් අසලට වැද හොත්ය.

එම කුඩා කඩයෙන් එළවළු රොටී හා කෝපි පානය කල අප සිගරට් බුලත් විට ආදියෙන් සන්නාහ සන්නද්ධ වී ගමනට බටහ.

ඉඳ හිට ඉදිරියට මතුව ආ පුද්ගලික හා ලංගම බසයක් හැරුණු විට වෙනත් වාහන වලින් මාර්ගය තොරවිය. ඉදිරියට පැමිණි බස් රථද කන අසලින් නිල මැස්සෙකු පියාඹා යනවා සේ රූං ගා නොපෙනී ගියේය.

අප ඇහැළියගොඩ, කුරුවිට, පැරඩයිස් ආදී පෙදෙස් පසුකරමින් රත්නපුර නගරයට අවතීර්ණ විමු. පසු කරණ සෑම හංදියක්, නගරයක්, කඩ මණ්ඩියක් පාසාම අප තිදෙනාගෙන් එක් අයෙකුට හෝ කියණ්නට යමක්විය.

මොරගහයට හංදියට මෙපිට පාර අද්දර ඇති සද්දන්ත බුදු පිළිමය අසල මා ට්‍රක් රියේ ගමන බාල කලේ මීට දශක ගනනාවකට පෙර සිදුවූ මංකොල්ලයක් හා මිනී මැරීමක් හා සහ සම්බන්ධිත ස්ථානයක් පෙන්වීමටය.

එහෙත් එහි දර්ශනයක් දැක බලා ගැනීමට අඳුර අපට ඉඩ තැබුවේ නැත.

මොරගහයට හංදියෙන් වම් අත බලා හොරණ හෙවත් පානදුර දෙසට හැරුණෙමු. තවත් ස්වල්ප දුරකින් අප අභියස වූයේ මහ සමන් දේවාලයේ වාහල්කඩය.

වාහල් කඩ අසල නැවතුනු මා පසිඳු ඇමතූවෙමි.

"මල්ලි බලාපං ගූගල් මැප්ස් වලින් කොහේද තොටුපොළ තියෙන්නේ කියලා . . !?"

"එහෙම තොටුපොළක් තියෙනවාද?"

"ඇයි බං දිය කපන තැන . . !"

තවත් විනාඩි කිහිපයක් තම සෙල්ෆෝනය මතට එබී සිටිමින්ම පසිඳු තම හඬ අවදි කලේය.

"අයියේ එහෙම තැනක් පෙන්නනේ නෑනෙ . . !"

"හුටා . . . ! ඕන දෙයක් මේ පාරෙන් ඇතුලට යමු . !"

අප වාහල් කඩින් ඇතුළුවී දේවාලය තුලට ගමන් කලෙමු.
මුළු දෙවාල භූමියම එකම පාළු ස්වභාවයක් දැරීය. කෙමෙන් කෙමෙන් මාර්ගය වමට හැරී එක් කෙළවරකට යොමුවිය. එතැනින් ආපසු වමට හැරුණහොත් නැවත ප්‍රධාන මාර්ගය දෙසට යොමුවේ. කොටින්ම අප අශ්ව ලාඩමක හැඩය ගත් මාර්ගයක පතුලේ නැවතී සිටින්නෙමු.

"පසී පොඩ්ඩක් බලාපං පල්ලෙහාට බැහැලා . . !"

"එළ . . !"

නළලත රඳවා තිබුණු විදුළි පන්දමේ එළිය ඒ මේ අත යොමු කරමින් පසිඳු ගං ඉවුර දෙසට යමින් නැවතුනි. යලිත් කල විමරමකින් පසුව නැවත ඔහු හැරුණි.

"ම්හු! එතනින් පල්ලෙහා ගඟ තමයි. ඒත් එතනට බහින්න බෑ. මෙතන ඉවුර මාර උසයි !"

"හරි නැගපං ඉක්මනට. අපිට කාලය මදි . . !"

ඒවන විට පාන්දර එකේ කණිසමට ආසන්නවී ඇති. නැවත අප තිදෙන ආ මගම ආපසු ගමනේ යෙදුනෙමු.
අප විසින් මග ඇර පැමිණි; වම අතට විහිදුණුතාර අතුරා තිබූ  කුඩා මාර්ගයකට හැරී ගමන් කලෙමු. අපගේ වම් පසින් කළු ගඟ දිවයා යුතුය. එනිසාම නොදන්නා මාර්ග ජාලයේ හමුවන හැම මං සන්දියකින්ම වමට බරවූ මාර්ග තොර ගනිමින් මා ට්‍රක් රිය පැද වූයෙමි.
තවත් විනාඩි 15 කින් පමන අප; ඉවුරු දෙකක් මැදින් වක්‍රව විහිදුණු; දැඩි බෑවුමකට යොමුවූ ඉතා පටු මාර්ගයක් ඉදිරියේ විය.

"අයියෙ මං බලන්නද . ?"

"එළ . . . !"

මා ප්‍රධාන පහන් නිවා දමා එන්ජිම නතර කලෙමි. ඒ අවට බල්ලන් කිහිප දෙනෙකු තරගයට මෙන් බුරමින්ය. මේ මොහොතේ අසල පිහිටි ගෙයකින් කිසිවෙකු හෝ පිබිද මෙහි පැමිණිය හොත් ඔහුට අපගේ ගමන ගැන හෙට උදේ වනතුරු වත් පැහැදිළි කර දීමට නොහැකි වනු ඇත.

තවත් විනාඩි දෙක තුනකින් පසිඳු වංගුවෙන් මතුවිය.

"අයියෙ තැන නම් හරි. හෙන පල්ලමකට බහින්න තියෙන්නේ. මේක ට්‍රැක්ටර් පාරක්! පල්ලෙහා වැළිතොටු පොලක්!" මේ ඔහුගේ කථාවේ සාරාංශයය.

"අවුලක් නෑ ! රිවස් එකේ බස්සමු. උඹලා දෙන්නා බලපං. මං ගන්නං!"

නැවත පනගන්වා ගත් ලොරි පොඩ්ඩා; එන්ජිම සැර නොදමාම හිමින් සීරුවේ හරවා ගත් මා; ගියර පෙට්ටිය;  ෆෝ වීල් - ලෝ  (Four Wheel Low Range) එනම් හැකි උපරිම යාන්ත්‍ර වාසිය එන ලෙසට සකසා ගෙන; කයාක් දෙක සහිතව පසු පසට ධාවනය කරණ්නට විමි.

මාර්ගය විහිදියේ වම් පසින් අඩි 20 ක් පමණ ඉහලට විහිදුණු ගල් තාප්පයක අත්තිවාරමටත් දකුණු පසින් අඩි 10 පමණ ඉහළට පිහිටි කපා දැමුණු ගං ඉවුරත් අතරිණි. මාර්ගය දැඩි සේ හෝදා පාළුවී ගොසින් තිබුනි. මෙම නිසාම දකුණු පස වක්‍රය අඩි දෙකක් පමණ ගැඹුරට කාණුවක් ස්වභාවයෙන් සකස් වී තිබුනි.

කාණුවට නොවැටී ට්‍රක් රිය වම් පසට ගෙන ධාවනය කරණා විට එය යොමු වූයේ විසල් ගල් තාප්පය දෙසටය !
 දකුණ අල්ලා ගහන රිවස් පාර; දකුණු පස; ඉදිරිපස හෝ පසු පස රෝදය කාණුව වෙතට තල්ලු කර හැරියේය.රොන් මඩ වලින් සැදුම් ලත්  මැටි හා සිහින් වැල්ලෙන් සමන්විත වක්‍රාකාරව දැඩි ආනතයකට යොමුවූ මාරගයේ රෝද හතර ගියේ මාරගයට ඕනෑ ආකාරයට මිස මට හෝ සුක්කානමට අවනතව නොවිය.

වාහනය අනවශ්‍ය තරම් ඒමේ අතට හැරවිය නොහැක. මන්ද යම් හෙයකින් රථය මෙම දූර්ඝය අතර හරස් වුවහොත් එය නැවත ප්‍රශස්ථ ධාවන පතයකට ගැනීම ඉතා අසීරු විය හැකි බැවිණි.

පසුපස නිවැරදිව මාර්ගය  ඔස්සේ පසු පසට ගන්නවාත් සමගම දකුණු පස  ඉදිරි රෝදය කාණුවට වැටී ට්‍රක් රියේ දකුණු බඳ ඉවුරේ වැදී නතර විය. යලිත් සෙමෙන් එතැනින් ට්‍රක් රිය ගලවා ගෙන අදාල වැළි තොටුපොළට රිය ගාල් කර ගත්තෙමි.

මම ට්‍රක් රිය උඩට නැග ගැට ගසා තිබූ රැහැන් එකින් එක  ලිහා දමන්නට විමි. ඇනෝ අපගේ ගමන් මළු හා අනෙකුත් බඩු බාහිරාදිය ඉවත් කල අතර පසිඳු මගේ කාර්යයට උදව කරමින් විය.

කයාක පැටවීමට වඩා ආපසු ඉවත් කිරීම සැළකිල්ලෙන් කලයුතු කරුණක් වේ. මන්ද නොපිට හරවා පටවා ඇති කයාකය ට්‍රක් රියෙන් ඉවතට ගැනීමත් සමග එය වේගයෙන් ප්‍රකෘථි අතට භ්‍රමණය වේ. එය අල්ලා නවතා ලීමට පහසු තැනක් නොමැති වන අතර එසේ නැවතීම හැකි දෙයක් නොවන්නේය.

එය අතේ මැණික් කටුව සන්ධිය බිඳ දැමිය හැකි තරමේ බලවත් කරකැවීමකි. කරකැවෙන වේගය හා එහි බර මෙයට හේතුවය. එය ආනතයක් මත සිට ලිස්සා තමන් වෙතට ඒමෙන්ද මේ හානිය වඩාත් තීව්‍ර කරණු ලබයි.මෙනිසාම දෙදෙනෙකු හැර තිදෙනෙකුට පරිහරණය කල හැකි භාණ්ඩයක් නොවේ.
 එය හරියට ලොකු වතුර බාල්දියක් තිදෙනෙකු විසින් අරගෙන යනවා වැනි කකුල් පැටලෙන අට මගලකි!

අප කිසිදු අවුළක් අභාධයක් අතුරු ආන්තරාවකින් තොරව කයාක දෙක බිමට ගතිමු.

සියළු ගොඩ බෑම් වලින් අනතුරුව මා සොයුරණ් දෙදෙන ඇමතීමි.

"මං ට්‍රක් එක කළුතරට දාලා පුළුවන් ඉක්මණින් එන්නම්. උඹලා ප්‍රවේශමෙන් හිටපල්ලා. ඕනෙනම් වන් මෑන් කැනපිය (One Man Canopy) ගහගෙන ඒකෙ ඇතුලෙ හිටපල්ලා. සද්දෙ වහගෙන හිටපං. මේ ගෙවල් වල එවුන් ආවොත් බැලන්ස් කර ගනිං මං එනකල්. හරියට උදේ හයට තෙශාට කෝල් කරපං. පුළුවන් ඉක්මණින් ලොකේශන් එක ඌට යවපං !"

"එළ! අපි කවුරුවත් එන්න ඕනෙද ?" උන් දෙන්නාගෙන්  කවුරු හරි ඇහුවා මතකය. නිනව්වක් නැත.

"එළ! අවුලක් නෑ මචං! උඹලා ප්‍රවේශමෙන් හිටාල්ලා . . . !"

නැවත පන ගන්වා ගත් නිසාන් පැට්‍රොල් ලොරි පොඩ්ඩා එක ගැම්මට උඩට ආවේය. මෘදු බිම මතදීම ෆෝ වීල් හා ලෝ රේන්ජ් ගියර සැකසුම (Four Wheel - Low Range)නැවත ටූ වීල් හයි රේන්ජ් එකට (Two Wheel - High Range) සකසා ගත් මා එන්ජිම සැර නොදමාම එතැනින් නික්මුනෙමි.









34 comments:

  1. My name is in your post, hope I did not say anything indecent?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දෙයක් නෑ. මගේ බොහෝ පෝස්‍ට් එකක අද වන විට 300 - 400
      ක් විතර බලනවා. ඉන් එක් අයෙක් ඔබ. නමුත් ඔබතුමා යම් අදහසක් මතු කලහොත් මා හිතන්නේ එම අදහස දරණ තව 50 - 100 ක් වෙතැයි කියා. මට අවස්ථාව ලැබී තියෙනවා අපේ රටේ සමහර ආයතන වල කුඩා කණ්ඩායම් වලට "විනෝදාංශ" කියන මාතෘකාව යටතේ කතා කරණ්න. ඔබ හිතන්න සමහර අයගේ ජීවිත හරිම ඛේදණීයයි. බොහෝ අය දන්නේ නෑ එහෙම එකක් තියෙනවාද කියලා. සමහරු පාසැල් යන කාලේ මුද්දර එකතු කලාට පස්සේ ආසාවට විනෝදාංශයක් කරලා නෑ. සමහරු හිතන්නේ "මව් කිරි බීම" වගේ එක් වයසකට පමණක් සීමා වූවක් කියා. තවත් සමහරුණ්ගේ සහකරුවා හෝ සහකාරියට විනෝදාංශයක් නොමැති බැවින් තමන්ගෙ සිත් සතන්ද ගෙදර යට ලීයට තියලා ඇන ගහලා. ඔවැනි ශෝකාලාප. මට හමුවුනා එක් ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් වරයෙක්. ඔහුගෙන් මම ඇහුවාම ඔහු කීවේ ඔහුගේ හොබී එක සල්ලි ගනන් කිරීම කියලයි. ඉතින් ඉස් ඉසෙල්ලාම අපි හොයා ගන්න ඕන "අපි" තුල සිටින "මම" කවුද? , "මම" තුල සිටින "තමන්" කවුද කියන එක. තමන්ව ජීවත් කර වන්නට කාටවත්
      බෑ. ඒක පුළුවන් තමන්ටම පමණයි. පුද්ගල සබඳතා නිසා ඒවා යටපත් කරගෙන සිටීම තමා තමන්ටම කරණ අසාධාරණයක්. කවදා හරි දවසක විමල් වීරවංශ වගේ හොටු පෙරාණ "අනේ මම අඩුගානෙ සීගිරියටවත් ගිහින් නෑ!" කියා අඬන්නේ නැතිව තමන් තමන්ව ජීවත් කරවිය යුතුයි! මෙතනදී වැදගත්ම දේ තමයි තමන් තමන්ව ජීවත් කරවන්න ඕනේ අන් අයගේ මල ගෙවල් තුල නොවීම. විශේෂයෙන් සමහරුන්ගේ විනෝදාංශ වන්නේ අනුන්ගේ ආතල් කැඩීමය!

      Delete
  2. I guess we all have our bucket list (if I may say so) only few are fortunate enough to put them into actions.

    We had to study, get a job, start a family and then mostly no time for other things. Once a year take 4 weeks off and try to get away from it all. This is not just a excuse, its reality.

    Important question is, are you committed to what you do? (Thattaya is to his hobby) Most of us are different.

    Most of us (Sri Lankans) are lazy, find an excuse not to do difficult things or try to get away doing a minimum required (or even less). As result we are poor, if someone work hard and do well he/she are labeled as doing 'KUDU' or some shady business.

    Even when country is developing, people think about the commissions. I have friend in B'gamuwa and walking everyday in the walking path near by, all he can talk about is commission taken by a unknown person, not the usefulness of the walking path he is using everyday. This negative thinking must be even stressful and unhealthy.

    ReplyDelete
    Replies
    1. ඉහත පිළිතුර මෙම කොමෙන්ටුවටත් එක්කය! ස්තූතියි!

      Delete
  3. අග ටික ගැන කියන්නට දෙයක් නෑ. ඒ වුනාට මුල ටික නං මට සෑහෙන වැදුනා. අම්මපා බැලුවං උපන්නට පස්සෙ විනෝදෙට කියල මං කරල තියෙන්නෙ බොහොම ටික දෙයක් විතරයි. ඉස්සර ආච්චිඅම්මත් එක්ක වන්දනා ගමං ගියෙ ඒ ටික දවසෙ හරි ගෙදර අලකලංචි වලිං බේරිල ඉන්න. ඒ අතිං බැලුවම ඒක විනෝද ගමනක් නෙමෙයි. එතකොට ඉස්කෝලෙ යන කාලෙ අජ්ජහපන ගමං ගියෙ දෙකයිද කොහෙද. අඩුම ගානෙ ඒ කාලෙදි කෙල්ලෙක් සෙට්කරගන්නවත් බැරිඋනානෙ. ඒ කාලෙදි කලේ ඉගෙන ගන්න එකයි කුලී වැඩ කරන එකයි විකරයි. ඉං පස්සෙ පැට්ටේරියෙ රස්සාව කරන කාලෙ රස්සාවට ගතවෙච්චි පැය 14 ඇරුණං කලේ ඉතුරු පැය 10 බුදියන එක. මේ රස්සාවට ආවං පස්සෙ කළේ හම්බ කරන එකයි බඩ පිරෙන්න කන එකයි විතරයි. දැං කියලත් කරන්නෙ මටම කියල බිමට සිමෙන්ති දාපු ගෙයක් ගන්න ඕනැ කියල ඒ වෙනුවෙං හම්බ කරන්න දඟලන එකම විතරයි.

    එතකොට මගේම කියල විනෝදාංශ කරගන්න බලාගෙන තව හැටහුටාමාරක් ජාති ඒ ඉලක්කෙට යට වෙලා. මටත් ආසයි තමුන්නැහැ ගාව තියෙන්නා වගේ “කරං“ සද්දෙට උඩිං හීං විසිල් සද්දයක් පිඹින ජිප්පොඩ්ඩක් ඇරගන්න; කාබනික තේ වගාවක් හදාගෙන ගෙදරම තේ කොළ හදල රටේ හැමතැනම තැපෑලෙන් බෙදාහරින්න; මගෙ අතින්ම මැටි අනල ගඩොල් පුච්චලා උළු කැට හදලා ඒවයින් රවුං කාමර කීපයක් හදලා ‘ප්‍රිමිටිව් හවුස්‘ කියල නම ගහපු අඩු මිල නවාතැනක් හදන්න; මුඩු ඉඩමක් අරං ඒකෙ කෝපි, ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු, මිරිස් ආදී කුළුබඩු ජාති වවලා එව්වා එතැනදිම පිරිසිදු කරල පැකැට් කරල නිමි කුලුබඩු වසයෙන් අර කලින් කියාපු තේ කොල වියාපාරෙ හරහාම බෙදා හරින්න;

    ඔය ඔක්කොම බැරිවුනත් කවද හරි ඉන්න හිටින්න තැනක් හදාගත්තු දවසක ඔයිං එක දෙයක් හරි කරන්න පුළුවං වෙයි. තාම මං තිස් ගනංවල මුල හරියෙනෙ. ඒකට මේ ලිපියෙං ලැබිච්ච තල්ලුව නං අගෙයි. ඒකට බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සුරංග මහතා;
      මෙතනින් එහාට වඩාත් සමීප ස්වරයකින් අමතන්නම්.
      විජේබාහු මහතාට උඩ ලියලා තියෙන විදියට අපි අපව ජීවත් කලයුතු වෙනවා. ඒවගේමයි අපේ සහකරුවා හෝ සහකාරියටත් නිදහසක් තිබිය යුතු වෙනවා ඔහු හෝ ඇය ජීවත් කර වීමට. අප කරණ්නේ ජීවත් වීම විනා ජීවත් කරවීම නොවෙයි. ජීවත් වීම යනු වයසට යෑම, කොල හැලීම, ගස දිරීම, නාය යාම, ගඟ ගැලීම, ඉර පෑයීම වැනි තවත් එක් ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. නමුත් විය යුත්තේ ජීවත් කරවීම. මින් අදහස් කරණ්න්නේ අන් අය ජීවත් කරවීම කියන එක නොවෙයි. (එයත් එක් දෙයක්!) මේ කියන්නේ තමාව ජීවත් කරවීම.
      අපිය ඒ සඳහා අවශ්‍යවන්නේ කෑම බීම පමණක් නොවේ. මූලික මිනිස් අවශ්‍යතා කියලා ඒබ්‍රහම් මැස්ලෝ කියලා තියෙනවානෙ කතාන්දරයක්. මම කියන්නේ මීට එහා ගිය දෙයක්. ඇත්තටම මැස්ලෝත් කියා තියෙනවා සතුට කියන දේ මිනිසාට අවශ්‍ය දෙයක් ලෙස. ඒක ලොකු විග්‍රහයක්. කෙසේ වෙතත් විනෝදාංශ කියන්නේ ඉලක්කම නොවෙයි.
      ගෙයක් සෑදීම, ව්‍යාපාරයක් ඇරඹීම, වාහනයක් ගැනිම වගේ දේවල් වඩාත් කිට්ටු ඉලක්ක වලට. ඉලක්ක හා විනෝදාංශ කියන දෙක ඉරක් ගසා වෙන් කරලීමට නොහැකි වුවත් අප ඉලක්කය සපුරා ගැනීමෙන් ලබන්නේ හුදෙක් මානසික තෘප්ථියක්ද යන කාරණය ගැන සිතීමෙන් මෙය තෝරා බේරා ගැනීමට පුළුවන් කියලයි මට හිතෙන්නේ.
      මා බයිසිකල් පදින්නේ කිසිම ලාභාපේක්ෂාවකින් තොරවයි. ඒනිසාම මම බයිසිකල වලට ඇළුම් කරණවා. ඒ නිසාම මම බයිසිකල් අළුත්වැඩියා කරණ ස්ථානයක් අරඹනවා. එතකොට එයිනුත් මාහට විනෝදයක් ගෙන දේවි ව්‍යාපාරය දියුණු වෙන විට. ඒත් ඒක විනෝදාංශය ලෙස ගන්නට බෑ. ඒක කරගෙන යන්නේ මූල්‍යමය ඉල්ක්කයක් පෙරදැරි කරගෙන. ඒත් බයිසිකල් පැදීම එහෙම නොවෙයි.
      අපි අතරේ ඉන්නා ඉතා සීමිතවූ වාසනාවන්තයින් පිරිසක් මට හමුවෙලා තියෙනවා තම විනෝදාංශය රැකියාව ලෙසට කරණ.
      පසිඳු අමරසිංහ එක් අයෙක්. ඔහු වෘථිමය ට්‍රැකර් කෙනෙක්. එය ඔහුගේ විනෝදාංශය සමග සමගාමී වෙනවා.
      ඒත් වැඩේ කියන්නේ මුළු අවුරුද්දම යාල හරි විල්පත්තුවේ හරි ඉඳලා අපි ගඟක යනවා කිව්වාම කට්ට කාගෙන්,නිවාඩු දාගෙන, මදුරුවො තලාගෙන, හෝ හපුට්ටො ගැන නොසිතා, අතින් වියදම් කරගෙන, එනවා අපිත් එක්ක ඒක කරණ්න. මට පේන්නේ ඌට දැන් කැලේ යන විනෝදාංශයත් ඇතිවෙලා වගෙයි.
      මොහොතක් ඇස්දෙක වහ ගෙන කල්පණා කරණ්න තමන් අහම්ඹෙන් හරි මිලියන පතියෙක් බිලියන පතියෙක් උනොත් මොනවාද කරණ්නේ කියලා. අල්ලපු ගෙදර එකාට පාඩමක් උගන්නනවා!, එහා ගෙදරට වඩා උසට ගේ හදනවා, කන පාත් වෙන්න උදේ ඉඳන් රෑවෙන කල් බොනවා, තව ගෑනියෙක් දෙන්නෙක් ගන්නවා, ද්ඩයමේ යනවා, නිදන් හාරණවා,සුපර් මාකට් එකක් දානවා ව්ගේ ඒවා නොවෙයි. ආතල් එකට මොනවද කරණ්නේ කියලා හිතන්න. ආන්න ඒවා තමයි ජීවිතේ අපෙන් ඉල්ලන දේවල්. ඒ ටිකෙන් අනුන්ට කරදරයක් නොවන සිඟිති ආතල් ටික හෙමි හෙමීට අතේ තියෙන විදියට කරගෙන යන කොට තේරේවි තමන් ජීවත් වෙනවා කියා. කරුමෙට දැන් ඔය වගේ අතපය හතර කැඩෙන වැඩක් මාස හයකට වතාවක් හරි නොකලොත් අපිට ශුවර් නෑ ඇත්තටම අපි ජීවත් වෙනවද මළවුන් අතරද කියා?

      Delete
    2. සුරං,

      //ඒවයින් රවුං කාමර කීපයක් හදලා// ඇයි බොලං ඕව අටපට්ටං කරල හදපංකො. හැක්..

      උඹේ හිතේ තියෙන හයිය ගැන අර දැං මකුළු දැල් බඳින බ්ලොග් එක කියෝපු එකෙකුට හිතාගන්න පුලුවන් මල්ලි. උත්සාහ කරපං උඹට බැරි වෙන එකක් නෑ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුකර ගන්න.

      Delete
    3. ඔන්න ඔන්න එහෙම කියාන් එන්නෙපා! සුරංග මොරාල් හදාගෙන ඉන්නේ!

      Delete
    4. මොරාලුත් රවුමටද හදන්නෙ?

      Delete
    5. එළ! රවුං මොරාල් !

      Delete
  4. මේ කතාවත් නැගල යන එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගමන නම් එහෙම තමයි. ඒත් මට ලියා ගන්න පුළුවන් වෙයිද කොයන එකයි ප්‍රශ්නෙ! ස්තූතියි!

      Delete
  5. මෙවැනි ගමනක් යාමට මාත් ඉතා අසාවෙන් ඉන්නේ සර්. ඒත් මාගේ පියා ඉඩ දෙන්නේ නෑ ජලාශ වල, ගංගා ඇල දොළ වල, මුහුදේ යාමට. පාසලේ පිහිනුම් පන්තියට විතරයි යැව්වේ.
    ඒකට හේතුව ජලයේ ගිලීමෙන් මට අනතුරු සිදුවිය හැකි බවට ජෝතිෂ්‍යවේදීතුමකේ වේලාපත්කඩය බලා සදහන් කිරීම. එක් අයෙක් නෙමේ දෙතුන් දෙනෙක් ඒක සදහන් කර තිබුනා. සර්ගේ මේ කතාව බැලුවම මාත් මේ සංචාරයේ ඔබත් එක්ක ගිය වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා සර්! අපි මේ කොයිදේ කරණ්නෙත් හැකි උපරිම ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින්! ඒ නිසා සර් බය වෙන්න එපා. අනික මීන ලග්නයේ අයත් ඔය ගිලෙන්නේ!?

      Delete
  6. "උන්ට ඕවට කොයි තරම් එවුන් ඉන්නවද ස්පෝට් එකට!"

    "අපිට මොනවද බන් තියෙන්නේ. අනික උන්ට කහන සල්ලි ඇති මචං!"

    ඔන්න ඕව තමයි දැනට තියෙන ප්‍රශ්න. ජීවිතේ බරක් පතලක් නොතිබ්බ කාලෙනං ඔය මොන ප්‍රශ්නයක්වත් නැතුව අයාලෙ රවුං ගැහුව. ඒත් දැන් බරපතල ප්‍රශ්න ගොන්නකට මැදි වෙලා ඉන්න තමයි වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න තව කොච්චර කාලයක් යයිද කියල හිතාගන්න අමාරුයි. හැම දේම හොඳ අතට සිද්ධ උනොත් තව අවුරුදු හතර පහකින් විතර මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල හිතනව. එහෙම උනොත් ගඟේ යාම කොහොම වෙතත් රට වාටේ හරි රවුමක් දාන්න පුලුවන් වෙන්නැතෑ.

    අන්තිම වතාවෙ නුවරඑළිය, සිරීපාදෙ දවස් තුනක යන ගමන ලෑස්ති කරල යන්න පිටත් වෙනකොට එනවයි කියපු උං වැඩි හරියක් පොල්ල තිබ්බත් තට්ට මහත්තය වගේ නොවෙනස් අදිටනකින් ගමන යනවයි කියල තීරණය කිරීමත්, ඒ වගේම ඕන දේකට නොසැලෙන කොල්ලො දෙන්නෙක් හයියට හිටීමත් නිසා ඒ ගමන ගියා උනාට ඊට පස්සෙ යාලුවො ගැන විස්වාසෙ තියල ගමන් යන එක එතනිංම නැවතුනා.

    ReplyDelete
  7. ඔව් මම කැළණි ගන්න්ග දිගේ එන කොට එන්න හිටිය නෑයා පොල්ල තිබ්බා. මම ටූ මෑන් කයාක් එක තනිව පැදගෙන ආවා! එහෙම තමයි. මගෙත් එක්ක යන එවුන්තුල මම ඇති කරලා තියෙන්නේ එවන් ප්‍රථිරූපයක්. "මොකා නැතත් තනිව හරි ඕකා යයි!"

    ReplyDelete
  8. පොස්ට් එකේ මුල් ටිකයි සුරංග ගේ කොමෙන්ට් එකයි නිසා මූඩ් එක වෙනස් උනා..

    මමත් සෑහෙන්න අත්දැකීම් අරන් තියෙනවා ජිවිතේ.. ඒ වගේම මිස් වෙච්චි දේවලුත් ගොඩයි .. බලමු ඉස්සරහට
    කිව්වම මොකද මුද්දා ගැන නම් ඉරිසියාවක් ආවා.. ඕකට ඔය වගේ මිලියන් ඩොලර් චාන්ස් වදිනවා :))

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හමදේම ලබන්න බැහැ. ඇත්ත! ඒත් පොඩි පොඩි දේවල් ටිකක්; ටික ටික එකතු කරගන්න ඕනෙ. අර අහලා තියෙනවා නේද ඉස්සර අපේ පරණ අය ළඟ තිබිලා තියෙනවා පිං පොත කියලා එකක්. ඒකෙ තමයි තමන් එදිනෙදා ජීවිතේ කරණ පිං කම්, කුසල් ලියන්නේ මොකද මරණාසන්න මොහොතේ තමන්ට ඇහෙන්න කාට හරි කියවන්න. ආන්න ඒ වගේ ජීවිතේ එකතුවක් තියෙන්න ඕනෙ. ඔබ වැනි නැවියෙකුට මේ විකාර නොකලාට මතක තියා ගන්න ඕනෙවටත් වඩා දේවල් ඇති!
      ඇප්ලිකේෂන් එකක් දාලා තිබ්බා නං මේ වගේ පිස්සු මගුල් වලට ඝන පූර්ණය නැති වෙලාවට චාන්ස් වදිනවා! මොකද කියන්නේ රට වටේ පදිමුද බයිසිකල්?

      Delete
  9. One thing is clear, everyone is up for and yawning for a good outdoor fun (organising is difficult).

    Thattaya can start an event company to organise outdoor events. (This is my second business advice, royalty applies)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කරමු පොඩි ඉවෙන්ට් එකක්! කවුරුත් කැමති වෙයි. හැමදාම වගේ මේසයක් වටේට වට වෙලා කන සාක්කුවේ වැටෙන කල් බොනවට වඩා!

      Delete
  10. ජීවිතේ විඳිනවා සහ විඳවනවා කියන්නේ දෙකක්. ගොඩක් අය තේරුම් නොගන්නේ ඕක තම. රට වටේ පදිමු. ලෑන්ඩ්රෝවර් එකේ ගියාට පස්සේ යන්න බැරි උනා ආපහු ලංකාව වටේ රවුම. One Life, Live It.....

    ReplyDelete
  11. උඹටත් තියෙන්නේ පුදුම ඉවක්. ඊයේ රෑ මගදි හමු උනා මගෙත් එක්ක යාපනේ පැද්ද DSI එකේ නිශාන්ව. ඌට මම කිව්වේ අපි Around the Ceylon පදිනවා නම් අපි ඒක මොනවා හරි අරමුණක් පෙරදැරි කරගෙන කරමු කියලා. කොටින්ම Fundrasing Campaign එකක් විදියට කරමු කියලා. එයා ඇහුවා අර Lady Ridgeway එකේ Little Hearts එකට කරමුද කියලා. මම කිව්වා ඌට ඒක බලන්න කියලා. මම අපේ ඩොක් රන් ට කිව්වා වතුපිටිවල රෝහලට මොනවා හරි කරණ්න බලන්න කියලත්. බලමු මැරෙණ වෙලාවට මතක ඇති දෙයක් කර ගන්න! එළ! උඹත් බලපං මේ ගැන!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම ඕන දේකට අපිත් ඉන්නවා. One Life, Live It.....

      Delete
  12. එල එල, ඕන දේකට අපි සෙට්. One Life, Live It....

    ReplyDelete
  13. හෑ !
    බැහැලත් නෑ ; පැදලත් නෑ ; ගඟ ඉවුරේ තියලා මෙන්න ගිහින්? හුහ්.. මරු සගයෙක්නේ

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ ඒ සියල්ල නියමිත වැඩ! රස්තියාදුවේ නොවෙයි හොඳද?

      Delete
  14. //සත්තකින්ම ඔය අන්තිමට තියෙන එක තමයි ඇත්ත. මම ලියා ඇති සෑම සියළු දේ අතුරිණ් මොන දේ ගැන සිතුවත් "එච්චර ගේමක් නොවෙයි! හිතුනොත් කාටත් කරණ්න පුළුවන් !"// මගේ රස්තියදු ගැහිල්ලේ ආරම්භයටත් අයියන්ඩිගෙ බ්ලොග් එකෙන් ලැබුනු උත්තේජනය ගොඩක් බලපෑව.

    අර සුරංගයා කියනව වගේ මටත් තිබුනෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ගියපු තැන් ටිකක් තමයි. මේ අවුරුදු දෙකට 20 - 50 ත් අතර කන්ඩායම් සමගින් සංචාරයන් 12ක් විතරත් සමාජ සුභ සාධන 4ක් විතරත්, හොරාට ගියපු ගමන් 10ක් සමග මගේ හොදම සංචාරය වන ලංකාව වටෙත් පැද්ද ඉතිමි.

    මේ සියල්ලයම මට රු. 100 000/= වියදම් නොවුනු බවනම් විස්වාසයි(සුභ සාධන වැඩ වලට කරපු පරිත්‍යාගයන් නැතිව)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ හැමදේම කරන්න පුළුවන් දේවල් තමයි!

      උඹනම් කොල්ලො බැලුවොත් රස්තියාදුවේනෙ!?

      ඇත්තටම ඇවිදීමම ගන්න ඕනෙ නෑ. අපිට සෙනසුරා ලබා තිබ්බාට හැමෝටම ගෙදර ඉන්න බැරි අමාරුව තියෙන්න ඕනෙ නෑ. හිතන්න මියුසික් පොඩ්ඩක් කරන්න ආස එකෙක් ගැන. ඌ හිතන්නේ මේවා අපිට ගැල පෙනවද? ගිටාර් එකක් හරි වෙන යම් හිරමනයක් හරි උස්සගෙන දන්න කියන එකෙක් ගෙන් ඉගෙන ගන්න යනවා කවුරු හරි දැක්කොත් මොනවා හරි හිතයිද? වයිෆ් (හෝ හස්බන්ඩ්) මොනවා හරි හිතයිද? ළමයිට මාව විහිළුවක් වගේ පෙනෙයිද? ඔය වගේ දාහකුත් එකක දේවල්! හරියට පලවෙනියෙම්ම සන්ග්ලාස් දානවා වගේ!/ බොරුද?

      Delete
  15. Replies
    1. ආ මේ හැට්ටර මල්ලිනේ!
      5 වෙනි කොටස පටන් ගන්නේම 1948 කථාවකින්.
      පැරණි රසාංග මල්ලි! පැරණි රසාංග!!

      Delete
  16. One life - love it
    How is "ride bike - love life"?

    ReplyDelete
  17. ඔබ හරියටම හරි.විනෝදාංශයක් කිරීමට කාලය, මුදල් නෑ කියන එක නම් පට්ටපල් බොරුවක්. ඒකට ඔනෙ අපේ හිත ඇතුලෙන්ම එන ආසවක් විතරයි. මම නිවාඩුවට ආපු මාසෙ (නිවාඩු කිවුවට නිවාඩුම නෙමෙයි ) අටෝ රාසියක් වැඩ එක්ක කිලෝ මීටර් 500 විතර සයිකලුත් පැද්ද. ඒකත් උදේ කාලයේ විතරයි.
    සයිකල් හොයන එක,හමුවෙන එක, අනිත් ආම්පන්න හොයාගන්න එක කාලය, එකි මෙකි නොකී ඔක්කොම උත්තර තියෙනවා ආසාවක් තියෙනවා නම්.(පාපැදි අනුග්‍රහය තට්ටයා සහ සමාගම 😂😂)

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...