Friday, September 14, 2018

112. සයිකලයෙන් තල් අරණට …7







අනුරපුර මවාලූ අසම සම පිය දසුන

රාත්‍රිය ගෙවී යනු නොදනිමි. පාන්දර හතර හමාරට පහට ඇහැරුණෙඅ මධූ ගේ කාහළ නාදයෙන් ය. ඒ වන විට  පෙර දින මිළදීගෙන තිබුනු  පෙති ගසන ලද පාන් වල ජැම් තැවරීමේ කර්මාන්තයක් මධූ හා නිශාන් අරඹා සිටියෝය. උදෑසන තේ එක නැතිවීමේ අඩුපාඩුව වතුර එකකින්  හා ජෑම් තවරණ ලද පාන් පෙත්තකින් පිරිමසා ගෙන සියළු අඩුම කුඩුම රැගෙන උඩු මහලෙන් බිමට බැස්සෙමු. 

වරක් මා පැවසුවාසේ ; ඕනෑම  කෙහෙල් කැනක් දුටු පමනින් ඕනෑම එකෙක් ඔබා බලනවා සේ සයිකලයේ ටයර ඔබා බලා අනෙකුත් අඩුම කුඩුම සකසා ගත්තෙමු. මාගේත් මධූගේත් සයිකල් වල අමුනා තිබුනේ එකම වර්ගයේ එකම මාදිළියේ පැනියර දෙකකි. මාගේ “එක දවසයි ! සයිකල් දෙකයි !! කිලෝමීටර් දෙසීයයි !!!” පෝස්ටුවේ මධූ  හා පොළොන්නරුව බලා කල සංචාරයේදී හාවිතා කලේද මේ පැනියරමය. මේවා  තුල අප අපගේ පෞද්ගලික ආම්පන්න හරුණු විට පොදුවේ ප්‍රයෝජනයට ගැනෙන  දේවල්ද ගබඩා කරගෙන තිබුනි.

පෙරදින රාත්‍රී ආහාර ගත්තේ පස්වරු 6.30 ට 7.00 ට පමනය. ඒ සමගම අප අපගේ  නවාතැන් හා ලබාගත් ආහාර සදහා සියළු ගෙවීම් ගෙවා දැමුවෙමු. ගමන සදහා අප සූදානම් වෙමින් සිටි පාන්දර එම ස්ථානයේ ආරක්ෂක නිළධරයාද පැමින අප හා දොඩමළුවෙමින් සුහදත්වය පල කලේය. අප පැමිණි මොහොතේ පටන්  පිටවන මෙම මොහොත දක්වා අපවෙත කිසියම් අනුග්‍රහකත්වයක්  දැක්වූවේනම් ඒ මේ  අහිංසක මිනිසා පමනක්ම විය. සිංහල බෞද්ධ ව්‍යාපාරයකින් මෙයට  වඩා  සුහදශීලී  සේවයක් බලාපොරොත්තු නොවිය හැකි බව පසුව මා හට පසක් විය!

 මමත් මධූත් ඒ මේ අත වැනෙමින් සූදානම් වන අතර තුර නිශාන් කුමාර අපගේ මිත්‍රයා  ඩබල් එකේ සූදානම් වූ බවක් පෙනී ගියේය. ඔහු සූදානම් වූ වහාම අපගෙන් සමු ගෙන  ඉගිල අඳුරේම නොපෙනී ගියේය.
මධූට පොඩිකාලේ නිධානයකින් ලැබුණු සම්පතක්  විය. ඒ අනෙකක් නොව  “කාලය” ය. එනිසාම ඕනෑම වැඩක් පටන් ගැනීමට “කාලය” ඕනෑ තරම් ඔහු ළඟ තිබුනි.ඔහුගේම වදනින් පවසනවානම් “ස්ව්භාවික සංඛ්‍යාතය සමාන වන්තෙක්” ඔහු කල් මරණ්නේය. මෙය ඔහුගේ පියාගේ සාමාන්‍ය චර්‍යාවන්ට සීයට සීයක්ම නොගැලපෙන තත්වයකි. මේ ඔහුගේ  ස්ව්භාවික සංඛ්‍යාතය සමාන වීමේ  නියමය සොයාගෙන තියෙන්නේ ඌම විය යුතුය! 

මේ මොනදෙයින් හෝ තවත් විනාඩි 20 - 30 ක කාලයකදී අපට ගුවන් ගත වීමට හැකියාව ලැබුනි.අප පිටත් වන විට අප සන්තකයේ ජලය බිඳක් හෝ නොතිබුනි. එසේම උදෑසන 4.30 පමන වනවිට වතුර ගැනීමට විවෘථ කඩයක් හොයා ගැනීමද එතරම් පහසු කට යුත්තක් නොවනු ඇත. උදෑසන අවධිවනවිට හීල් වී තිබෙන මාංශ පේශීන් නැවත යතා තත්වයටපත්වීමට කාලයක් ගත වේ. සාමාන්‍යයෙන්මගේ එම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත්වීමට කිලෝමීටර 5 – 6 පමන දුරක් සෙමෙන් පැද යා යුතුය. මෙය එකිනෙකාගෙන් එකිනෙකාහට වෙනස් වන  තත්වයකි. 


 අප සෙමෙන් ඉදිරියට පැද යමින් විය. මාගේ හිසෙහි රඳවා තිබුනු  AAA  බැටරි තුනකින් බල ගැන්වෙනපහන් ද්විත්වයකින් සැදුම් ලත් විදුලි පහනේ ආලෝකයෙන් මමද  සයිකලයේ හැන්ඩල් බාරයේ සවිකොට තිබුනු Lumen 450 ක තීව්‍රතාවයකින් යුතුවූ උසස් තාක්ෂණික මෙවලමක් වූ විදුලි පහනේ එලියෙන්  මධූද ඉදිරියට පැද ගියෙමු. තවත් කිලෝමීටර 5 පමන ඉක්බිති අපට රාත්‍රි භෝජන ශාලාවක් හෙවත් රෑ කඩයක් හමුවුනි. 


ඇති යාන්තං !

එහි සිටි තලතුනා මුදලාලිණිය අපගේ ගමන ගැන අසා අපට දේව ආශිර්වාද පතන්නට  අමතක නොකලාය. එම රැ කඩය ඉදිරියේ ගන දෙවි පිළිමයක් තිබෙනු මට යාන්තම් වාගේ මතකය. ඇය අපට ආශිවාද කලේ පුල්ලෙයාර්  ශාමි හෙවත් ගන දෙවින්න්දුන්ගේ පිහිට  අරක්ෂාව පතාය. දෙවි දේවතාවන් හටද දේශ සීමා ඇති බව ඇය අපට පහදා දුන් අතර ඊයේ දිනයේ අප පසුකල දැදුරු ඔයෙන් පටන් ගෙන ඉදිරියට බල පැවැත්වෙන්නේ ගන දෙවියන්ගේ බල ප්‍රදේශය බව ඇය වැඩි දුරටත් පැවසීය!ඒවන විට උදෑසන 5.30 ය.

දෙවියන්ගේ සීමා නිර්ණය . . .!

එතැනින් අප ජලය සපයා ගෙන එයින් ම ජීවනී පානය සකසා ගෙන පුරවාගත් බොඑතල් වලින් සන්නාහ සන්නද්ධ වී අප පිටත් විය. මේ සියළු දේ මෙසේ සිදුවෙද්දී නිශාන් කුමාර; මධූගේ පෙරදින සෛධන්ත උපදේශනය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්ය. ඔහු පිටත් වීමත් අප පිටත් වීමත් ඉන් පසු වතුර සපයා ගැනීමට නැවතීමත් යන සියළු කරුණු කාරණා එකතු වීමෙන් පැයක පමන පරතරයක් නිශානුත් අපත් අතර මවා තිබුනි. අපගේ සාමාන්‍ය නොඑසේනම් දළ වේගය පැයට කිලෝමීටර 18 -20 පමන වේ.පැයක වෙනසක් යනු නිශාන් සිටිය යුත්තේ අප සිටින තැනට කිලෝමීටර 20 ක පමන දුරකින් විය යුතුය.

“ අපි නැති හින්දා නිශාන් නැවතිලා ඇති අයිනක  . . . . . . . . !” මම අනුමාන කලෙමි.

“නෑ මිනිහා බයේ ඉන්නේ එයාට අපි එක්ක පැදගන්න බැරිව හැලෙයි කියලා. ඊයේ මා එක්ක එහෙම කිය වුනා. මේ  වෙන  කොට මරෝ කියලා පදිනවාඇති!” මධූගේ අදහස එසේ විය.

“එහෙමද ? මේ මනුස්සයා තනියෙම ගිහින් මොනවත් උනත් අපි දන්නේ නෑ !” මා තුල වැඩෙන කේන්තිය මැඩ පවත්වමින් මම කීවෙමි.

ඔය ෆොටෝ එක ගන්නෙ මං! ඒකයි නැත්තෙ !!

මා කලින් කීවා සේ අප පදින්නේ එක්තරා  රිද්මයකටය. ඒ වන  විට මමත් මධූත් කිලෝමීටර හාර පන්සීයක් එකට පැද තිබුණි. ඒ නිසාම අප එකිනෙකා පදින්නේ මහත්වූ අන්නෝන්‍ය අවබෝදයකින්  යුකත්වය.  අප පදින්නේ උපරිම වශයෙන් එකිනෙකා අතර මීටර 25 – 50 ක දුරක් තබා ගෙනය. ඔහු හෝ මම තවත් සගයෙකු සමග පදිනා විට මේ තත්වය තරමක් දුරට වෙනස් වෙයි. මන්ද එවිට පසුවන්නා; පසු වුවද තනි නොවේ ! දැන් සිදුවී ඇත්තේ එහි විලෝමයය! නිශාන් ගේ අත් දැකීම් පිළිබදව මා තුල තිබුනේ අපැහැදීමකි. මා නායකයෙකු හෝ නඩේ ගුරෙකු නොවුනත් කිසියම් අවාසනාවන්ත සිද්ධියකදී මා අවට සිටින්නවුන් අසන මිහිරි පැණ පොදිය  මා  දනිමි.

“ඔයත් ඔතන හිටියා  නේද ?”

“අඩු ගානෙ ඔයාවත් ඕක නැවැත්තුවේ  නැත්තෙ ඇයි ?

“ඔයාටවත් තේරුණේ නැද්ද ?”

“. . . . . . . . . . . . . . . . . . . . . . ?”

ඔවැනි දහසකුත් එකක් ප්‍රශ්නය !

මෙවැනි ගමන් වලදී සිදුවිය හැකි ප්‍රධාන අනතුරු දෙවර්ගයකි.
ඉන් පලමු වැන්න මාර්ග අනතුරුය .
දෙවැන්න වන්නේ  රෝගා බාධ ය.

මේ කිසිදු අනතුරකින් අපට අප සමග යන  අපගේ ගමන් සගයාව ගලවා ගැනීමට නොහැකිවිය හැක. එහෙත් අනතුරෙන් පසුව ඊට අප කරණ්නාවූ සක්‍රීය , ස්ථානෝචිත, බුද්ධිමත්, මැදිහත්වීම කරණ කොටගෙන ඔහුව ජීවිත අවධානමකින් ගලවා ගැනීමට බොහෝ සෙයින් කරුණු සැලසිය හැක. මෙය සුළුවෙන් සිතා ඉවත  හැමිය හැකි දෙයක් නොවේ. මෙවන් ගමනක් පිටත්වීමට පෙර තමන්  සමග එකතුවන පිරිස පිළිබදව නිවැරදි වැටහීමක් ඇවැසි ව්න්නේ එම නිසාය.මේ සියළු කරුණු කාරණා හේතු කොටගෙන මා පසුකරණ කිලෝමීටරයක් කිලෝමීටරයක් පාසාම කෝපය දෙගුණ තෙගුණ වෙමින් වැඩෙමින් විය.

 අප අපගේ දළ වේගය කිලෝමීටර දෙකකි වැඩි කලද නිශාන් හමූවීමට අපට කෙතරම් කාලයක් හා දුරක් ගතවේද ?

සාපේක්ෂ ප්‍රවේගයෙන් ;

නිශාන්ගේ වේගය ට සාපේක්ෂව  අපගේ වේගය  =  22 කි මී  -  20 කි මී  = 2 කි මී

(මේවන විට ඔහු හා අප අතර කාල පරතරය  පැයක යැයි අනුමාන කල හොත්)  ඔහුත් අපත් අතර ඇති දුර = 20 කි මී

දුර / කාලය  =  වේගය

20 කි මී / කාලය  = 2 කි මී

එමනිසා ඔහුව හමුවීමට ගත වන සෛධාන්තමය කාලය  = 20 /2  = පුරා පැය 10 කි !

මේ සියළු නිගමනයන් විසංවාධයක් වුවද අවම වශයෙන් තවත් පැය තුන හතරක් වත් ගතවනු ඇත . මෙහි ඇති භයානකම තත්වය වූයේ ඔහුගේ දූරකථනය අපට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී යාමය.

ඉර ; ලැජ්ජාවෙද මංදා !

තඹුත්තේගම නගරය පසු කලේ මහ පාන්දර 5.45 ට පමන ය.මේ වන විටවටෙන් ගොඩෙන්  එළිය වැටෙමින් විය.තබුත්තේගම නගරය පසු කොට තලාව නගරයට පිවිසෙන්නට ප්‍රථම වෙල් යායක් අසල නැවතී අප අපගේ ජාතික ආහාරය  වන ජෑම් තවරණ ලද පාන් හා ආනමාළු කෙසෙල්  වලින් සංතර්පනය වෙමින් සිටියෙමු


ඔරිජිනල්ම ආනමාළු සමග ජාතික ආහාරය.


ඔපරේෂන් තල් අරණ !ජංගම මෙහෙයුම් මධ්‍යස්ථානය !!

මග දෙපසම වූයේ තරමක් ඈතට දිවුනු වෙල් යායය.මග දෙපස විසල් කුබුක් ගස් පේලියක් ය. වෙල් යාය පිහිටියේ මාර්ගයට මදක් පහතින්ය . ඒ වන විට උදෑසන 6.00 පසුවී විනාඩි ගනනකි.පුරා රැයක් තිස්සේ වැටුනු පින්නෙන් ගොයම වැසී ගොස් ය. යාන්තමින් වැටෙන හිරු රැසින් පුළුවෙල් යායම රිදී පාටින් බබලයි. අප එහි රැදී සිටියේ ඉතා මද වේලාවකි. ඉතා ඉක්මනින් අප පිටත් උනෙමු. උදැසන නිසා අප එතරම් ගමන් වෙහෙසක් නොවිනි. ඊට අමතරව අප අපගේ ගමන් සගයා සොයා යා යුතුය! එය මාගේ හිතට එක් කලේ අනවශ්‍ය පීඩනයකි. ඇත්තෙන්ම එය එතරම් අවුලක් කරගත යුතු කරුණක් නොවේ. නමුත් එය මාතුල ඇති එක් දුර්වලත්වයකි. 

දිනය ඇරඹෙණ සුමට රිද්මය !

තලාව.

මොකෑ ඒ ගමන!?

ඡන්ද බැනරයක් නොවේ !

කිලෝමීටරයට සෙල්ෆි 20 ක පමණ වේගයක් පවත්වා ගනිමින්!

මොනතරම් දැඩි අවශ්‍යතාවයක්  තිබුනද නුසුදුසු වේගයකට පත්වීම ට මා කැමති නොවීමි. මන්ද අද දිනය තුල අපට කිලෝමීටර 135 ක පමන දුරක් ගමන් කිරීමට නියමිතව ඇත. එම ඉලක්කය ට ලංසු තැබීම කල නොහැක්කකි! පෙරවරු  6.45 ට පමන තලාව පසුකරමින් අප කෙමෙන් කෙමෙන් අනුරාධපුරයට ලං වෙමින්‍ ය.  

කාඩ් බෝඩ් උනත් ට්‍රැෆික් නේ!? ට්‍රැෆික් උනත් කාඩ් බෝඩ් නේ!?

හිරුගේ කෝලිත්තම දරාගත නොහී පිණි කැට සැඟව යති!

තලාව නගරය අසල  වේග මානයක් අමෝරාගෙන  සිටින යෝධ පොලිස් රාළහාමිසමගඡායාරූපයකට පෙනී සිටි අප හට  තවත් ටික වේලාවකින් අනුරාධපුර නගරය අසල සවිකොට තිබෙන ; නගරාන්තර  දුර හා දිශානතියන් පෙන්වන විසල් පුවරුව ඈතින් පෙනෙන්නටවිය.   


මමත් හිටියා !

අනුරාධපුර නගරය තුල මාර්ගයක්  සොයාගත හැකි අයෙකු වේනම් ඒ  යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ්  නගර වැසියෙකුම විය යුතුය. මන්ද අනුරාධපුර නගරය නිර්මාණය කර ඇත්තේ බෙල්ග්‍රේඩ් නගරයට  අනුකූලව බව කිසිවෙකු මා සමග පවසා ඇත. එහෙත් ඒ පිළිබන්දව මේ ලියන මොහොත වනතුරු කිසිදු මූලාශ්‍රයක් මාහට ලැබී නොමැත!



නිශ්ඵල ඡායා රූප ශිල්පී මගේ වැඩක් ! ඇනෝපිලිස්ගේ විචාරයට . . . .!!


තලාව පැත්තෙන් ඇතුළුවන අයෙකු ඒ අසල අයෙකුගෙන් පාර  ඇසූපසු දෙවැන්නා  විසින් අනිවාර්‍යයෙන්ම කියැවෙන ස්ථාන නාම කිහිපයක් වේ . පුංචි බංඩා වෙළෙද සැල , පූජා නගරය , දහයියාගම හංදිය , සිංහ කනුව , අළුත් බස්ටෑන්ඩ් එක , නව නගරය , යාපනේ හංදිය  මේ ස්ථාන  නාමයන්ය. එකල දහම් පාසැලේදී  කියවා   තිබුනු නම් පොත සේ  මේවා අතරින් දෙක තුනක් හෝ කියැවෙයි!
සුප්‍රසිද්ධ පුංචි බංඩා වෙළෙද සැල අසලින් දකුණු දෙසට හැරුනු අප ඊළග වට රවුමෙන් ද දකුණු පස මාර්ගයේ වැටී ගමන් කලෙමු. ඈත වම් පසින් වැව් බැම්ම මත වැවී දසත අතු විදාගත් කුබුක් මී ආදී ගස් සමූහයක්‍ය . අපගේ දකුණු පසින් හිරු නැගෙමින්‍ය . ගස් අතු අතරිණ් එබුනු හිරු මහ පාර මත විවිධ රටා මවමින් ය. අප එතැනින් දුම්රිය මාර්ගය හරහා ගොස් දහයියාගම හංදියටත් එතැනින් වමට හැරී නව බස් නැවතුම පසු කොට යාපනේ හංදිය දෙස බලා නගරය මැදින් පැදගෙන ගියෝය. 


අනුරාධපුරය නම පුවරුවකට හම්බුනේ ඕක විතරයි !

නිශාන් කුමාරගේ දුමවත් පෙනෙන්න නැත! ඔහු පිම්මේ නොව හැල්මේ පැද ගොස් ය. මේ වන විට   අප ගෙන ආ සමහර ආහාර ද්‍රව්‍ය අවසන්  වෙමින්‍ය. මින් ප්‍රධාන තැනක් ගත්තේ අතිශය තීරණාත්මක කෑමක් වන ආනමාළු කෙසෙල්ය ! ආනමාළු කෙසෙල් නොමැතිවීම ශාරීරිකව  ඔවුනත් මානසික ගැටළුවකි. අප යාපනය හංදියට ඔන්න  එන්න තියෙද්දී දකුණු  පස අතිශයින් සශ්‍රික පළතුරු කඩයක් විය .  මා පාරේ වම් පස නැවතී ඉදිරියේ වූ පුවරුව දෙස බැලීය.
 වේලාව උදෑසන 7 පසුවී විනාඩි 45 කි .


දුන්  පොරොන්දුව ! එළෙසින්ම !!

යාපනය - 197km  එහි දැක්විනි.!

අවුලක් නැත මේ ගමන අප යායුතුම වේ. එසේම අප යන්නෙමු මන්ද ;

ඒ; ගියොත් හොද පෝස්ටුවක් !

නොගියොත් හොද ප්ර්වෘථියක් !! නිසා නොව ;


මේ ගමන හදවතට දුන්  පොරොන්දුවක් !!! හෙයින්‍ ය .




ඇම්බුං ගෙන හොම්බෙං ගිය මධූ - 
රෙඩ් ලේඩි සමග තරඟෙට ඇඹරෙමින් !

මා පාරේ දකුණු පස නැවතී අවට සිරි නරඹන අතර මධූ කඩය වෙත ඇදුනි. පළතුරු කඩේ අක්කා  සමග තරගයට ඇඹරෙමින්  සිටි මධූ මද  වේලාවකින් යෝධ කෙසෙල් ඇවරියක්ද කරපින්නාගෙන ආවේය. සත්තකින්ම මා ජීවිත කාලය තුල එවන් කෙසෙල් ඇවරියක් දැක තිබුනි නම් ඒ තවත් එක් වතාවක් පමනි ! හොඳින්  පිරුණු ගෙඩි වලින් සමන්විත එම ඇවරිය ; එම පිරුණු බව නිසාම මගේ හිතට ඇල්ලුවේ නැත !

“ඕක  ආනමාළු කියල අහලද ගත්තේ …? මගේ ක්ෂ්ණික  පැනය විය.

“නෑ නෙ !”:

“නැත්නම් ගිහිං අහපං ! මට පේන්නෙ ඇම්බුං තඩියක්ද කොහෙද කෙලගෙන ඇවිත් තියෙන්නේ !”

“ හරි මේක ඇම්බුං නං !?”

“දීලා සල්ලි ටික අරං වරෙං …! ආයෙ වෙන මොකක්ද ?”

ටික වේලවකින් ඇවරියෙන් බාගයක් නැවත් සිළි කවරයක දාගත්මධූ මා අසල විය!  ඇවරි භාගයෙන් තව භාගයක වහල්ල වෙනමම තිබුණි. ගෙඩි ටික වෙනම මය.ඒ ඇම්බුං වල සංජාණීය ආභාධයකි. අල්ලන්න හිතන්නටත් කලින් ගෙඩි ටික පැනලා දෙයි. නො එසේ නම් හිතන්නටත් කලින් ගෙඩි ට්ක හැලී යයි.

“මේ මොකෝ  . . . . . ?”

“ අර ඇම්බුං තමයි නෙ ! ඒත් උදේ පාන්දර හරි නෑනෙ. මම බාගයක් රිටර්න් කරලා බාගයක් අරණ් ආවා !”

මට කියන්නට වදන් නොමැත.අර පලතුරු කඩේ හිටපු පොත්ත රතට තිබුනද කන්න ගියාම මෙලෝ රහක් නැති රෙඩ් ලේඩි ගස් ලබ්බක්  වන් අක්කාගේ හිත රිදවීමට තරම් කෲරතර  පාපතර පාපිෂ්ඨ අධර්මිෂ්ඨ මිසදුටු සිතුවිල්ලකට මධූගේ පුංචි හිතේ ඉඩක් නොතිබූ බැවින් එතැන් සිට ඉතිරි කිලෝමීටර 50 ක - 60 ක දුර සයිකල් ගමනට තබා මෙලෝ ගමනකට වැඩකට නැති “ඇම්බුං” ; ආනමාළු යැයි සිතා කණ්නට සිදු විය !

ඒ 9 මාර්ගය පටන් ගන්නේ මහනුවරිනි. එය අවසන් වන්නේ යාපනයෙනි. අප මේ වන විට කිලෝමීටර් 200 කට ආසන්න  දුරක් ගමන් ගත්තද  ඒ 9 මාර්ගයට ගොඩවී නොමැත.

අනුරාධපුරයේ මොනතරම් හංදි පසු කලද යාපනේ හංදියෙන් හැරුණු පසු සිතට  දැනෙන්නේ වෙනත්ම රටකට යන පාරකට පිවිසි වගකි.මෙය මනස විසින් මෙහෙය වන සිතුවිල්ලක්ද ? නො එසේනම් පරිසරයේ සිදුවී ඇති කිසියම් වෙනසක්  විසින් ඇතිකරවනු ලබන සිතුවිල්ලක් දැයි සිතාගත නොහැක.

ආත්ම ගනනාවකට පෙර එළාර රජ සමයේ පටණ් පරපුරෙණ් පරපුරට පැමිණි පෞරාණික ණයක් උදේ පාන්දරින්  ගෙවාදමා හිලව්වට ලබා ගත් ගෙඩි හැලුණු ඇම්බුං ඇවරි  ½  ද    ඔබා ගත්  පැනියරද සහිතව  මමත් මධූත්  A9 මාර්ගයට පිවිසුනෙමු. ඒ වන විට උදෑසන හත පසුවී 8.00 ට ලංවෙමින්ය. 

කුඩා යැයි නොසැළකිය යුතු කරුණු පහක් සාහිත්‍යයේ ඉගැන්වේ. ගින්න, වතුර, සර්ප පැටවා හා භික්ෂුව මේ කාරණාය. එයට වියළි කලාපයේ උදෑසන අව්වද එකතු විය යුතුය! එය අප සාමාන්‍යයෙන් එදිනෙදා භුක්ති විදින අව්ව නම් නොවේමය. එය වී පුපුරා පොරි හැදෙන අව්වකි! එම තත්වයනට නතුව අප පදිමින් විය.

 මධූ දිගින් දිගටම නිශාන්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත් අතර එක් වරම ඔහුව  සම්බන්ධ කර ගැනීමට හැකි  විය! එවර ඇමතුම ගත්තේ මධූ විසින්ද නැතහොත් නිශාන් විසින්ද කියා මා හට නිච්චියක් නැත.  ඒ වන  විට ඔහු රඹෑව  පසු කරමින්‍ය ! එනම් ඔහු සිටිය යුත්තේ අපට කිලෝමීටර 20 – 25 ක දුරකිනි. තවත් ලෙසකින් කියනවා නම්  ඔහු තම වේගය අඩු නොකරණ්නට අපට අද දිනය තුල ඔහුව  මුන ගැසෙන්නට ලැබෙන්නේ අද දින රාත්‍රිය ගත කරණ්නට නියමිත කනගරයන්කුලමේ “ආනා රෙස්ට්” එකේ ලොබියේදී විය යුතුය!

 තවත් ටික දුරක් යන විට පාරෙන් දකුණු පස සයිකල් වින්කලයක් දක්නට ලැබුනි. වින්කලයක් දුටු සැණින් මධූට හුළං සිහිවේ. සාමාන්‍යයෙන් ආනනය කල Maxxis, Bridgestone, වැනි ටයරයකට වර්ග අගලකට රාත්තල් 110 -120 (PSI – Pounds per square inch)පමන  හුළං පිරවිය  හැක. මෙරට නිශ්පාදිත ටයරයක ධාරිතාව 60-80 පමණ අඩු ප්‍රමාණයකි. මධූ පදින්නේ කරටියටම හුළං  ගසා ය. මෙහි විශාල ප්‍රයෝජනයක් දෙකක් ඇත. එයින් පැදීම පහසු වේ. ටියුබයට හෝ ටයරයට  සිදුවිය හැකි හානි අවම වේ. 

පැදීම පහසු  වන්නේ ඝර්ෂණය අඩුවන නිසාය. ගණිතය තුල ඝර්ෂණය F (Friction) ලෙසද;ඝර්ෂණ සංගුණකය μ  (සත්‍යවශයෙන්ම මෙය ග්‍රීක අක්ෂක් වන මියුය.)ලෙසද; R ප්‍රථික්‍රියාව හෙවත් ප්‍රථික්‍රියා බලය (Reaction / Reaction Force – මෙය වස්තුවක බරට සමාන වේ) ලෙසද ගත් කල ;
චලනයට ප්‍රථිවිරුද්ධ දෙසට ක්‍රියාකරණ බලය එනම් ඝර්ෂණය F = μR ලෙස දැක්වේ.
බයිසිකලයක වේවා වෙනයම් වාහනයක ටයර වලට උපරිම ලෙස හුළං ගැසූ පසු එය චලනය කිරීම වඩා පහසු වේ. එසේම ටයර වඩාත් සිහින් වූ පසුද චලනය වඩා පහසුය. නමුත් ඉහත අමීකරණයට අනුව F (චලනයට ප්‍රථිවිරුද්ධ දෙසට ක්‍රියාකරණ බලය එනම් ඝර්ෂණය) කුඩා අගයක් ගැනීමට ඇති අවශ්‍යතාවය වන්නේ μ (ඝර්ෂණ සංගුණකය) හෝ R (ප්‍රථික්‍රියාව) අඩු විය යුතුය.

 අප අරිණ්නට වහන්නට  අපහසු දොරක සරණේරුවට තෙල් ස්වල්පයක් දැමීමේ සිට එන්ජිමකට  ලිහිසි තෙල් යෙදීම දක්වා කෙරෙණ සියළු කාර්‍යයන්ගෙන් ඉෂ්ඨ සිද්ධ වන්නේ මෙම μ (ඝර්ෂණ සංගුණකය) අඩු කිරීමයි. වැලි පුරවන ලද විල්බැරැක්කයකට වඩා පහසුවෙන් හිස් විල්බැරැක්කය තල්ලු කිරීම පහසු බවින් විද්‍යාමාණ වන්නේ  R ප්‍රථික්‍රියාව හෙවත් ප්‍රථික්‍රියා බලය අඩු කිරීමේ ප්‍රාථිහර්‍යයි.

එසේනම් හුලං වැඩි වීමේදී රෝද සිහින් වීමේදී පැදීම පහසු  වන්නේ කුමණ විද්‍යාත්මක සෛද්ධාන්තයක් මුල් කරගෙණද ? මෙයට අනුමාන කල හැකි එකම හේතුව වන්නේ; මතුපිට පෘෂ්ඨයේ සවභාවය හා සැදුම් ලත් ද්‍රව්‍යය යන කාරණා μ (ඝර්ෂණ සංගුණකය) රඳා පවතින බැවින් උපරිම වශයෙන් හුළං ගැසීමෙන් හෝ සිහින් ටයර යෙදීමෙන් අප අඩු කිරීමට තැත් කරණ්නේ μ (ඝර්ෂණ සංගුණකය) ය!
 මන්ද හුළං මගින් ටයරයේ මතුපිට පෘෂ්ඨයේ ස්ව්භාවය වෙනස් කරණ නිසාය. වීදුරු සෑදීමට ගන්නා මූලික  ද්ර්ව්‍ය වැලිය. වීදුරු අතිශයින් සුමට පෘෂ්ඨයකි. එහෙත් වැලි වලින්ම සාදන වැලි කඩදාසි යනු දැඩි ඝර්ෂණයක්  ඇති  කරවන මාධ්‍යයකි.මෙහිදී  වෙනස් කර ඇත්තේ මතුපිට ස්වභාවය ය.

පෙර කී වින්කලයට අප ලං වී මාගේ සයිකලයට හුළං ගසා ගත්තද මධූට එම භාග්‍යය නොලැබුනි. එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ  සයිකලයට  යොදා තිබුනේ සාමාන්‍ය වෑල් කරක් සහිත ටියුබ වුවත් මධූගේ සයිකලයට යොදා තිබුණු ටියුබයන්  සමන්විත වූයේ  නවීන වඩා  වැඩි දියුණු කල වෑල් කර වල ය . ඒවාට හුළං ගැසීමට භාවිතා කරණ ඇඩැප්ටරය ක් මධූ සතුව තිබුනද එම ස්ථානයේ සිටි වින්කල් බාසුන්නැහැ උත්තමයාට ඊට ඉස්පාසුවක්  නොවීය. තවත් කිලෝමීටර කිහිපයක් මග ගෙවා පැමිණ මධූගේ හුළං අවශ්‍යතාවය සංසිඳුවා   ගත්තෙමු. 

සයිකල් වල එන වෑල්ව් කරවල්



මාගේ සයිකලයේ තිබෙන ගතානුගතික වූඩ්ස් වෑල්ව් කර.

මධූගේ සයිකලයේ ප්‍රෙස්ටා වෑල්ව් කර
මේ වෙනුවට ඉහත පෙන්වා ඇති ගතානු ගතික වූඩ්ස් වෑල්ව් කරක් සහිත ටියුබයක් යෙදිය හැක. එහිදී  රිම් එකේ සිදුර මදක් විශාල කර ගත යුතුවේ.  එසේ සිදුර විශාල කලද නැවත ප්‍රෙස්ටා වෑල්ව්වය සහිත ටියුබයක් යෙදීමට  කල හැක. මෙම වෑලව කර සහිත ටියුබයකට හුළං පොම්ප කිරීමේදී; මුදුනේ ඈති කුඩා නොබ් එක කරකවා ගත යුතුය.එයට හුළං පොම්ප කිරීමට විශේෂ මාදිළියක බටයක් අවශ්‍ය වේ. නො එසේ නම් එයට පහත දැක්වෙන ආකාරයේ ඇඩැප්ටරයක් සවිකර ගැනීමෙන් පසු සාමාන්‍ය බටයකින් වුව හුළං පොම්ප කර ගත හැක.


ඇඩැප්ටරය.


ඇඩැප්ටරය සවි කල පසු.



හුළං කිව්වොත් මැරෙයි!


සැබෑ මුහුණු හා වෙස් මුහුණු !





මේ සියළු කාරණා කාරණා නිසා අප තව තවත් නිශාන් ගෙන් ඈත් උනා මිසක ලං වූ බවක් නම් නොපෙනුණි. දෙවෙනි  නැවතුමත් අප නිශාන් නොමැතිව ගත්තෙමු. ජෑම් තවරණ ලද පාන්, ආනමාළු ලෙස වෙස් වලාගත් ඇම්බුං, රට ඉදි , මුදරප්පලම් ස්වල්පයක් ආහාරය ලෙස ගත් අප නැවතත් පැදීම ඇරඹීය.එතැනින් කිලෝමීටර ගනනාවක් අප නිහඬව පැද ගියෙමු 



මී පැණි වගෙ අව්ව ටික !


මල පැන පැදීම 

(අනේ ඔහොම නම් මුහුණ හදා ගන්න එපා !)


රඹෑව නගරයෙන් අප ජීවනී පැකට් 10 ක් පමණ මිළදී ගත්තෙමු.රඹෑව නගරයේදී අප A 9 මාර්ගයට එක් වුනෙමු. මාර්ගය නවීකරණය; කරණ කොට ගෙන ගමන ඉතා දුෂ්කර විය. වලවල් බේරමින් ABC යොදා තලා තිබුණු නොතිබුණු මාර්ග කොටස්; හදාගෙන යන  බෝක්කු මත යොදා තිබුනු ඝන යකඩ තහඩු මතින් සීරුවට අප පැද ගියෙමු. ටිකෙන් ටික ජන ශූණ්‍ය පරිසරයකට  අප එළඹුනෙමු.  අප ගේ ගමන් මග වැටී තිබුනේ ඉකිරිගොල්ල, වනමල්ගොල්ලෑව, කෝන්ගොල්ලෑව වැනි වැඩි ප්‍රසිද්ධියකින් තොර කුඩා ගම්  කඩ මණ්ඩි අතරින්ය.

මධූට අත් වැසුම් ගෙන එන්නට නොහැකිවී තිබුනි. අත්  වැසුම් උවමනා වන්නේ කරුණු කිහිපයක් නිසාය. සයිකලයේ හැඬලය හොඳින් ග්‍රහනය කර ගැනීම, අත්ල මත ඇතිවන පීඩාකාරී බව අවම කර ගැනීම  හා චන්ඩ අව් රශ්මියෙන්  වළලු කරෙන් පහත කොටස ආරක්ෂාකර ගැනීම මූලිකව පෙන්වා දිය හැක. දැඩි අව් රශ්මිය මාධ්‍යයේ සයිකලය පැදීමේදී මුහුන පුරා ගලන දහදිය පිටි අත්ලෙන් පිසදා හැරීමට හැකිවීම මින් ලැබෙන බෝනස් එකකි. එහෙත් හදිසියකදී දූරකථනයේ මූනත ස්පර්ෂ කරගැනීමට නොහැකි වීම මෙහි ඇති අවාසිදායක  තත්වයකි. මේ වන  විට  වෙළෙඳ පොලේ ඇති අත් වසුම් විශේෂයක් මෙම තත්වය පිටු දකිනා ආකාරයෙන් නිපදවා ඇත! වේලාව හරියටම පෙරවරු 10.00 ය ය.





ඔය තියෙන්නේ ආණ්ඩුවෙන්ම ලියලා !

අප මැදවච්චිය  නගරයට පිවිසෙත්ම මධූහට තම අත් වැසුම් අවශ්‍යතාවය මතු විය. මා මර්ගයේ පසෙක නැවතී සිටිත්ම ඔහු ඒ සඳහා අසල වෙළඳසලකට ගොඩ විය. ඒ අතර මා මාගේ මිතුරෙකුගේ හදිසි සෞඛ්‍යමය ගැටළුවක් නිරාකරණය කරදෙනු වස්  රුවන්පුර අතුල දොස්තර මහතා හා එම අවස්ථාවේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොලේ සිටි ප්‍රසාද් රන්හුළු දොස්තර මහතා ඇමතීමේ ඉඩකඩක් එමගින් සකසා ගත්තෙමි. තවත් ටික වේලාවකින් මධූ මා අසලට පැමිණියේ නව නිර්මාණයක් සමගය.දූරකථනය ස්පර්ෂකල හැකි පරිදි අත් වැසුම් හේ නවීකරණය කොට තිබුනි. එහි පෙටන්ට් බලපත්‍රය ඔහුට හිමි විය යුතුය.
මැදවච්චිය නගරයට අප සමු දුන්නෙමු. 

සුව වෙමින් !

මේ වන විටත් නිශාන් ගේ ඡායාවක්  අත් අපට දක්නට නොමැත. අප අවසන් වරට ඔහුව දුටුවේ මෙයට කිලෝමීටර 80 කට පමන දුරකදීය! ඒ මෙයට පැය 4 කට 5 කට දී වාගේ මට දැනුණි!තවත් කිලෝමීටර 5 ක 6 ක පමණ දුරක් ගමන් කිරීමෙන් ඉක්බිතිව මාර්ගය කන්දකින් පටන් ගෙන ඈතින් පිහිටි උස් බිම වෙත ඊ ගහක් සේ විහිදේ. දෙපස වන ලැහැබය. මාර්ගයේ පහතම ස්ථානය දිවෙන්නේ ඇඳි වෙනුවට ගාර්ඩ් ගල් පේලි දෙකක්  අතරිණි. එය සපත්තු පාලමක් Shoe Culvert එකක් සිහි ගන්වයි.කුඹුක් ගසින් එම පෙදෙසට සෙවන  සලසා දී තිබුණි. ඈතින් පෙනුණු නිම්නයේ කහවන් රුවක් පෙනුනි. “ඔව් ඒ ඌ තමයි!” මම මටම කියා ගත්තෙමි.


“ අර ඉන්නේ  . . . . . . . !”

“ඔව් නේන්නං  . . . . . . . !” මධූ මා හා එකඟ විය.

 මම පහලට ආනතව  මගේ වාසියට සැකසී තිබුණු මාර්ගයේ උපරිම වේගයක් ගත්තෙමි. නිශාන් තම සුපුරුදු සිනහවෙන්  මුව සරසා ගෙන පාරේ අයිනේ අප දෙස නෙත් නොහෙලා බලා ගෙනය. ඒ අප පිළිගැනීමට මෙනි. මම තවත් වේගයෙන් පැදීමි. මට ඔහු කෙරෙහි වූ කේන්තිය පිට කරලන්නට අවකාශයක් ඇවැසි විය. ඒ මාගේ Scott P6 ගමන් සගයා සමගය. මා උපරිම වේගයෙන් නිශාන් පසුකොට ඉගිළ ගියෙමි. ඒ මා කේන්තිය පිටමං කර ගත් විදියය!

 කිලෝමීටර 150 ක් තිස්සේ එකට පැමිණි; කිලෝමීටර 400 ක් යන්නට බලාපොරොත්තු තියාගෙන පැමිණි ගමන් සගයා හමුවූයේ පුරා පැය 7 කුත් විනාඩි 15 කින් පසුවය! ඒ කිලෝමීටර 85 ක් පමණ ගමන් ගත් පසුවය! මෙහි වඩාත් සිත් ගන්නා සුළු සිදුවීම  වන්නේ ඔහු ඉතා සුහදව හා මිත්‍රශීලීව අපගේ හමුව විඳිමින් සිටිනු දක්නට ලැබීමයි. කෙසේ හෝ ගතවූ පැය ගනන හා කිලෝමීටර ගනන අපතේ ගොස් නොතිබුණි. ඒ වන විට ඔහු සාර්ථක ධාවකයෙකු  වී  සිටියේය. 


හමුවේ ප්‍රීතිය !

විඩා නිවමින් - Scott P6

එතැන මද වේලාවක් නතරව සිටි අප තිදෙන අහාරගෙන වතුර හෝ ජීවනී බී නැවතත් ගමනට බටහ. ඉන් පසු මදක් විශාල නගරයකට හමුවූයේ පූනෑවය. මේ වන  විට ඉර හිසට ඉහළින් සියල්ල  හවමින් විය. ගෙල වටා ඔතා කන් වසා සිටියත් කන් පෙති වල දාර පිළිස්සුනු විටකදී මෙන් දැවිලි ස්වභාවයක් දනවයි. අත් දිගටම ආවරණය වන්නට ඇඳි අත් දිග ටී ෂර්ටය කරවී ගොස්ය. සයිකල් පැදීමේදී උපයෝගී  අරගනු ලබන කොට කලිසමෙන් නිරාවරණය  වන දණ හිස හා පහළ කොටස් උනු වතුරෙන් පිළිස්සුනා  සේ දැනේ.

සියඹළාගස්වැව, ගල්කන්දේගම, ඉරට්පෙරියකුලම් ආදී මෙකී නොකී ගම් දනව් කුමන පාටදැයි  කියාවත්  මතකයේ නැත! මන්ද; ඈතදීම මාර්ගය  දෙස බලා වැටහීමක් ගෙන මං සළකුණු මතකයට ඩවුන් ලෝඩ් කරගත් පසු;  පසු හිස බිමට ඔබාගෙන පැදීම හැරෙණ්නට වෙනත් නිරීක්ෂණ, ගවේෂණ, නැරඹීම්, රස විඳීම්, ආශ්වාද,  නොමැත. එකම පැදීමකි. ඉදිරියේ යන එකා ළිඳකට වැටුනද පසුපස එන එකා කොටියා කෑවද තමාට වැටහීමක් නැත. අතර මගදී; ඊළඟ නගරය කුමක්දැයි හා එයට ඇති දුර ප්‍රමානය ගැන  මධූගෙන් ලබන තොර තුර මත විශ්වාසය පිහිටුවාගෙන පැද ගියෙමු.
 බොහෝ විට අප හඳුනගන්නා නගරයේ සිට යාබද නගරය වෙත ඇති දුර දැක්වෙන අයිටිනරිය නොහොත් ගමන් විස්තර ය මගින් සොයා ගන්නා  අප; මුල් නගරය අසල හෝ ආසන්නයේම ඇති කිලෝමීටර කණුව සෝදිසි කර ගනියි. එය ගුරු කොට ගෙන එතැන් සිට පැද යාමේදී දකින , හමුවන ,ඇසගැටෙන ආගන්තුක කිලෝමීටර කණුව මගින් ඊළඟ නැවතුම් පලට ඇති දුර පිළිබඳව පෙරයීමක යෙදේ.
තවත් කිලෝමීටර ගනනාවක් ඉක් බිති; මාර්ගයට ඉහළින් විසල් පඬු පැහැ තොරණක් දක්නට ඈතින් දිස් වන්නට විය. මෙවන් තොරණ මෙයට පෙර මා මඩකලපුව නගරය ආසන්නයේ ද දැක ඇත.



 කෙමෙන් කෙමෙන් ඊට ලං වන විට පසෙකින් වූ නගර නාමය ලියැවුනු පුවරුව  දිස් විය.

වව්නියාව






චෙච්නියාවට ගියා වැනි සතුටක් සමග !

23 comments:

  1. //අනුරාධපුර නගරය තුල මාර්ගයක් සොයාගත හැකි අයෙකු වේනම් ඒ යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් නගර වැසියෙකුම විය යුතුය//

    හරි ලේසියි. එක පාරයි. කොහෙගියත් මයිත්‍රිපාල සේනනායක මාවත විතරයි.
    මං එකපාරක් කිලෝමීටර් 10ක් විතර උඩට පල්ලෙහට ගියා තැනක් හොයාගන්න. බෙල්ග්‍රේඩ්වලත් ජෝකර්ලද ටවුන් ප්ලෑන් කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙන දෙයක්! මූලාශ්‍රයක් නම් තාම ලැබී නෑ!

      Delete
  2. Replies
    1. ප්‍රාජේට ලියපු එක මෙතනට වැටිලා තිබුනා! ඒකයි මැකුවේ! ලියන්න තියෙන්නේ "පට්ට" කියලා විතරද? හෙට අනිත්දට නිශාන් ලියයි මගේ කං දෙකේ ඇඟිලි ගහ ගන්න!

      Delete
  3. නියමයි.

    පැය 4 ගමන පැය 14ක් කරගන්න පුලුවන් කස්ටිය වැඩි වනෙ තරම.

    ReplyDelete
    Replies
    1. උඹටනම් මලේ ඔය ගැන සුපිරි අත් දැකීම් ඇති! එළ!

      Delete
  4. මමත් ඔබ තිදෙනා සමග ගමන රසවිඳිනවා. මම අර අනුරාධපුරයෙයි, බෙල්ග්‍රේඩ් වලයි සම්බන්ධයක් හොයා ගන්න උත්සාහ කළා. නමුත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ. ඔලිවර් වීරසිංහ (1907-1980) මහතා 40 දශකයේ අනුරාධපුර පැරණි නගරයේ නගර සැලසුම කල බව පමණයි මට හමු උනේ. අනුරාධපුර පුජා නගරය බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩු කාලේ, නිශ්ශංක විජේරත්න මහතා එහි දිසාපති කාලේ ඇති කල බව මම දන්නවා. නමුත් ඒවායිනුත් බෙල්ග්‍රේඩ් වලට නෑදෑ කමක් හොයා ගන්න ලැබුනේ නැහැ. ස්තුතියි, මීළඟ කොටස එනතුරු බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම! අනේ සෑම් මහත්තයා මමත් බැලුවා ! ඒත් මටත් හෝඩුවාවක් හොයා ගන්න බැරි උනා. මේ ගමන මේ විදියට යන්න හිතෙන්නේ ඔබ තුමන්ලා තනියට ඉන්න නිසාම නොවැ? ස්තූතියි!

      Delete
  5. මකපු එක බලන්න කීප පාරක්ම ඇවිල්ල ගියා.
    ඔය වගේ පැත්තක එකෙක් තනියෙන් වෙන්වෙලා යනවයි කියන්නෙ මූලිකත්වය ගත්ත එකාට ලොකු අවුලක් තමයි.
    මොනව උනත් තාම වැඩේ අවුලක් නැතුව යනවනෙ. ඉක්මනට ඊගාව කොටහත් ලියමු.

    ReplyDelete
    Replies
    1. නිශාන් අහිතකින් කල දෙයක් නොවෙයි! එයා හරි හිත හොඳ එකෙක්!! ඒත් අපිට දැනුනු හා අපි ගත්තු විදියෙයි මේ පටලැවිල්ල. කොහොම උනත් මේ වගේ ගමනක් යන කොට එක රෑණක් විදියට යන එකේ වාසි රැසයි. මගේ හිතේ තිබුනු ව්‍යාකූලත්වය එයා හරියටම දැනගන්නේ මේ පෝස්ට් එක කියෙව්වාමයි. බලමු හෙට අනිත්දා එයා දාන කොමෙන්ටුව!

      Delete
  6. එකට ගිහින් පස්සේ දාලා යන එකනම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.ඔහොම අය ගමන් වලට එකතු කර ගන්න හොද නෑ. ලොකු අමාරුවක තමයි වැටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නට දුන්නු පිළිතුර ඔබටත් අදාලය! මග ඇරේවි කියන බයට කල දෙයක් ලෙසටයි මා සමස්ථ සිද්ධියම ගත්තාම මට හිතුනේ!

      Delete
  7. ඕක අනුරාධපුරේ නෙවෙයි අන්ඩ්‍රාදපුරේ. එහෙ එවුං සිංහ කණුව කියල එකක් ගැන කියනව. ඒක නිකං බුලත් කොවුලක් උඩ රිලවෙක් ඉන්නා වගේ එකක්. සිද්දස්ථාන පැත්තෙ ගියොත් තවත් මංඥං. හන්දියකට ගිහිං රුවන්වැලි සෑ්‍යට යන්න බැලුවොත් එයිං ඕනැම පාරකිං රුවංවැලි සෑ්‍යට යා හැකි. හැබැයි එයිං පාරකිං ඊළඟ හන්දියට ගියහං වෙනිං මොකද්ද එකක්.

    මේ විදිහට යතොත් යාපනේ යන්න වෙන්නෙ ඊළඟ මහවිරු දිනේට තමා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අර සෙල්ලමක් තියෙන්නේ බව්වාට පූසා සොයාගන්නා පාර අඳින්න කියලා. ආන්න ඒ වගේ ගේමක් තමයි අන්ඩ්‍රාදපුරේ පාරවල් හොයනවා කියන එක. වට රවුං මතක තියා ගන්නත් බෑ. බුදු පිළිම පතක තියා ගන්නත් බෑ! එකසිය ගානට.ඔබ මුහුණු පොතේ මාගේ බ්ලොගය නිර්දේශකොට තිබුනා දුටුවෙමි. එයට අවංක ආදර ස්තූතිය!

      Delete
  8. මමත් කීප වතාවක් ඇවිත් පෝස්ට් එක නැතිබව දැකලා ආපහු හැරිලා ගියා...
    දැඩි අව්වේ යද්දී සන් කණ්නාඩි කුට්ටමක් දාගෙන යන එක පහසු නැද්ද...
    ඉතුරු ටිකත් දාමු හැකි ඉක්මණට...

    ගිය සෙනසුරාදා (09 වෙනිදා) තට්ට මහතාව දැක්කා බයික් එක පැදගෙන අංගොඩ පැත්තේ ඉඳලා කැළණි පංසල පැත්තට යන ගමන් අර පටු පාරේ කොට කොට ගිය වෑන් කාරයෙකුට අත දික් කරලා මොකක්ද කියන වෙලාවක...
    මම ටැක්සි එකක ගියපු නිසා ඔයාට මාව අඳුන ගන්න බැරි උනා...

    ReplyDelete
  9. පෝස්ට් එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරණ්න ගිහින් පොඩ්ඩක් පමා උනා. මට හරි ගියත් හදවතට හරියන්නත් එපායැ දාන්න.

    අ ඒ මමම වෙන්න ඕනෑ! පාරේ කේස් ඒකක් දා ගත්තානම්. අව්වට සඟ දානවා. ඊත් කිලෝමීටර් 50-60 ක් පදින කොට ඇඳන් ඉන්න වස්තරෙත් ගලවලා දාන්න හිතෙනවා. සඟ දැම්මාම ඇහැට සනීපයි. ඊත් ටික වීලාවක් යනකොට ඒ ඇටවුම මුහුණෙන් පථික්ෂේප වෙනවා!
    ඔය පාරෙ අර අඹතලේ පාර පැනලා කැළණි විහාරය පැත්තට යන්න හදන කොටම දකුනු පැත්තේ නවත්තලා තියෙන කැඳ ලොරිය පැත්තෙ යන්නෙ නැද්ද? මගේ කොල්ලා ඉන්න කොට ඌ කඩවත ඉඳලා එනවා එතනින් සව් එකක් බීලා යන්න. ඒක ඇත්තටම දිවිය ලෝකෙ රහයි!

    ReplyDelete
  10. "ෆොරස්ට් ගම්ප්" මතක් උණා තට්ට මහත්තයා . මේ ගමන යන්න හිතට ආපු දහිරියම කොච්චර වටිනවද . කියන්න වචන නෑ ....

    පට්ට!

    ReplyDelete
    Replies
    1. අර්නස්ට් හෙමිංවේගෙ "මහල්ලා සහ මුහුද" පොතේ තේමා පාඨය වන "මිනිසෙකු විනාශ කල හැක එහෙත් පරාජය කල නොහැක!" කියන වැකිය මා විශ්වාස කරණ්නෙක්. එසේම වික්ටර් හියුගෝ කියලා තියෙනවා "මිනිසාට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තියයි!" කියලා කියමනක්! මේක ඇත්තම ඇත්තක්! මේ හැම දේම
      කල හැකි දේවල්. අරුමයක් නෑ. මේක කියවන ඕනම් කෙනෙකුට කල හැකි දේවල් මේ කරලා තියෙන්නේ! බොහොමත්ම ස්තූතියි "ෆොරස්ට් ගම්ප්" කතාව මාගේ මේ පුංචි උත්සාහයට ගැලපුවාට. ඒක විශාල ගෞරවයක්. ඒක මට ලොකු වැඩිදෝ මන්දා!?!?!?!

      Delete
  11. Sinhala kotanda beri dosayak hinda kiyawala vitharak giya...eth ada udeth kade gawa nawattala atha wanala yaddi hithuna singlish hari kotanda one kiyala..

    ReplyDelete
  12. ලියන්න පරක්කු උනා. කියන කතා අත්ත.තනියම ගිය කි.ම්.80 මාව හොඩ පාපෑඩි කරුවේක් කලා.

    ReplyDelete
  13. I think you didn't know. Upto Rabewa , I communicated with Madu through telephone.At Rabewa , He stopped me.

    ReplyDelete
    Replies
    1. හා! හා!! මේවා සියල්ල සුපිරි මතක. සුපිරි කිව්වේ මතකයේ සුපිරිබව නොවේ. මතක ඇතිදේ තුල තියෙන සුපිරිබව! සත්තකින්ම ඔබ ඒ වෙනකොට සුපිරි පදින්නෙක් වෙලා තිබුනා. ආඩම්බරයි මගෙ මිත්‍රයා!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...