Monday, September 3, 2018

108. මධුසමය







අඹන්පොළ නගරය පසු කරණ වාරයක් චාරයක් පාසාම මතකයට පැමිනෙන දුක් බර කතාවක් වෙයි. ඒ ප්‍රධාන චරිතය වූයේ එම නගරයේ නොඑසේ නම් කුඩා කඩ මණ්ඩියේ ධාන්ය එකතු කිරීමේ ව්යාපාරයක නිරත වූ එච් එම් කේ බණ්ඩාර නමැත්තෙකු වෙත දවස් පඩියට වැඩ කල සෙනෙවි නම් වූ  අහිංසක මිනිසා ය.

එච් එම කේ බණ්ඩාර ගේ නියම නම වූයේ හොරොව්පොතාන මුදියාන්සෙලාගෙ කිරිබංඩා වූ අතර ඔහු එය එච් එම් කේ බණ්ඩාර ලෙස යතු ගා පුළුක්කු ඇර බොර දම් ගා නව මුහුණු වරකට පත් කර ගෙන තිබුනි. මොහුට අයත් ධාන්ය එකතු කිරීමේ මධ්යස්ථානයක් හා විසල් වෙළෙඳ සැලක් එම කඩ මණ්ඩියේ විය. ඊට අමතරව පැරණි ලොරි රථයක්ද ඔහුගේ ආරූඪ නාමය ගසා ගෙන ඒ මේ අත දිවුනි. එහි රියැදුරු ගේ නම මාගේ මතකයේ හැටියට රත්නායකවාගේය. රත්නායක හීනියට අඩියක්  පුඩියක් ගැසූ රස බර චරිථයක් විය. ලොරි සහයක වුයේ සෙනෙවිය.  මම මේ කථාව ඇසූවේ රත්නායක සමග හීනියට අඩියක් ගැසූ මීට දශක දෙකකට පමන පෙර යෙදුණු සුන්දර සැඳෑවකය.

“ඔන්න  මහත්තයෝ ඔය සෙනෙවියායි මායි දෙන්නා වයසට ගියේ මේ ලොරියටම තමයි. ඔය යකාට මහ පුදුම දෙයක්නෙ වුනේ ඕකා බැදපු දවසෙ!” රත්නායක කතාව පටන් ගත්තේය.

එම කාලයේ ධාන්ය වෙළඳාම හොඳින්ම කෙරුණු අවදියක් විය. ලොරිය රත්නායක හා සෙනෙවි තිදෙනට ඉස්පාසුවකින් තොරව එක දිගට වැඩ යෙදුණු කාලයක් විය. මුදළාලිට ද ඔහුගේ හාමිණේටද බරපතල ලෙස වැඩකට යුතු යෙදුනු මෙම කාල වකවානුවේ ඔවුන් හට ධාන්ය කිරීමේ සිට දබරඟිල්ල කෙළ වලින් තෙමමින් සල්ලි ගනන් කොට අල්මාරියේ අඩුක් කිරීම දක්වා මහත්වූ වැඩ රාජකාරි පිරුණු සමයක් විය.
සෑම උදැහැනැක්කකම මුදළාලි අවදිවූයේ කඩය ඉදිරියේ ධාන්ය විකිණීමට පැමිණි ගොවියන්ගේ කරච්චලය ඇසීමෙන්.  කන්නයක් පුරා වෙහෙස මහන්සිවී නිදි වරා දාදිය හෙලා ඇඬූ කඳුලින් සතා සීපාවන් ගෙන් පරිසම් කර ගත් අස්වැන්න මුදල් සොච්චමකට තමන් හට දං දෙන්නට පැමින ඇති අහිංසක ගොවීන් ගේ කරච්චලය අඬෝ වැඬියාවක් සේ සලකමින් ඔවුනට දෙස් දෙවොල් තබමින් කඩේඅ රිණ ඔහු එතැන් පටන් මධ්යම රාත්රිය තෙක් ධාන්ය කිරීමේ කටයුත්තේ යෙදේමුදලාලි බඩු කිරීමට උපන් හපන්කමක් ඇති අයෙකු විය. තමා ඉදිරියේ තමා වෙත දන් දීමට ආ ධාන්ය මල්ල ගැමියා ගේ කරේ තිබියදීම එහි බර රාත්තල් වලින් කියන්නට හේ උපන් හපන්කමක් දැක්වීය. තරාදියෙන් කිරීමට පෙර මල්ල කර මත තිබියදීම එහි ඇති බර ඔහුගේ සිතඟි පරිදි පවසා විකුණන්නට ආ එකාගේ හිත; තරාදියෙන් කිරීමට පෙර හැදීමට හේ එම හපන්කම ප්රයෝජනයට ගත්තේය. ධාන්ය කිරීමට යොදාගත් තට්ටු තරාදිය මත; තමා මහත් වැර වෑයමකින් ගෙනෙන සේසත එක තත්පර ගනනාවකින් කුඩා අංකයක් බවට පත් වන අයුරු අසරණ ගොවීන් බලා සිට ලැබෙන මුදල් සොච්චම රැගෙන පිටව යති. තමා ගෙන ආ මල්ල එතරම් බරට දැනුනේ තමා විය පත්ව ඇති නිසා යැයි ඔවුන් ආත්ම වංචාවකින් සිත රවටා ගනිමින් හූල්ලමින් යන්නේ දුක්බරවය. මුදලාලි බඩු කිරද්දී සල්ලි ලාච්චුව භාරව සිටින්නේ ඔහුගේ හාමිණේය. ඇය මුහුණ දික කර ගෙන අතට දෙන සොච්චම තමාට ලැබුණු ත්‍යාගයක් සේ සලකා තමා ගෙන ආ මල්ල හෝ පෝර උරය කඩ පොලේ ගොඩ ගසන ගොවීන් උදේ සිට හවස් වනතුරු පිටව යන අයුරු එකල අස්වනු කපන කාලයේ දී නගරයේ සුලභ දසුනක් විය.

හවස් වන විට බණ්ඩාර මුදළාලි විපිළිසර වන කරුණක් වේ. ඒ අනෙකක් නොව පෙර දින රාත්රියේ ධාන්ය පටවා මහ පාන්දර පිටව ගිය ලොරිය කොළඹ සිට පැමිණීමට පරක්කු වූයේ මන්දැයි සොයා බැලීමටය. රාත්රී හත අට පසුවී පැමිණෙන ලොරිය කඩ පිලඉ දිරියේ ගාල් වන අතර වෙහෙස මහන්සි නොබලා රිය සහයක සෙනෙවි කඩේ වැඩ කරණ කොල්ලෙකුගේ සහයෙන් ඉදිරියේ ගොඩ ගසා ඇති ධාන්ය; ලොරියට පැටවිය යුතුය. ඉන් පසු කඩෙන් ලැබෙන බත් පතෙන් බඩ ගින්න නිවා ගන්නා සෙනෙවි හා රත්නෙ ලොරිය පන ගන්වා ගෙන කොළඹ බලා පිටත් වෙති. ලොරියට බඩු පටවන තෙක් රත්නායක ලොරියේ ඉදිරි අසුනේ නිදාගනියි. සෙනෙවි නිදාගන්නේ කොළඹ ට යන අතරතුරේදී ය. මෙය සංසාර චක්රය සේ නිමාවක් නොමැති වැඩ පිළිවෙලකි. ඔවුනට යාන්තමින් හෝ ඉස්පාසුවක් ලැබෙන්නේ තොග බඩු කඩය වැසෙන පෝයක් වැනි අතිශය දුලභ දිනයකදී පමණි. කන්නය කැපෙන මුළු කාලයෙන් පටන් ගැනෙන මෙම වහල් මෙහෙය මාස හතර පහක පමණ කාලයක් පුරාවට පවතී.

රත්නායක මේ කාලය වන විට කසාදයක් කාරිය බැදගෙන දරු මල්ලන් දෙදෙනෙකු සාදාගෙන සිටි අතර සෙනෙවි තම මවගේ ඕනෑ එපාකම් පිරිමසාගෙන සිටි අවිවාහකයෙකි. කාලය ගෙවී යත්ම සෙනෙවිගේ ලෝකයටද තරු එළියක් වැටෙන්නට විය. ඒ අසල නිවසක යුවතියක් වෙතිනි. එම කැමැත්තට , එකගත්වයට තිබුණු එකම සාධාරණ හේතුව අසරණ කමම වියයුතුය. සෙනෙවි ශක්තිමත් මිටි කාලවර්ණ තරුණයෙකි. කටේ බුලත් විටක් නැති වූයේ බත් කන විටත් තේ බොන විටත් පමණි. කටේ දත් බුලත් කෑමෙන් බොහෝසෙයින් අවපහ ගැන්වී තිබුණි. වයස අවුරුදු 35 ක් පමන් වූ සෙනෙවිට තම අම්මාව බලා ගන්නවාට ඇරෙණ්නට තමන්ගේ  කියා වැඩකට තිබුනේ තමා සේවය කල මුදලාලිටම  අයත් කුඹුරු කැල්ලක 1/3 ට වැඩ කිරීම පමණි. ඔහුගේ මුළු ජීවිත කාලයම ගෙවී ගියේ මුදලාලිගේ අන්තේවාසික සේවකයෙකු විලසිනි. සෙනෙවි කුඩාකාලයේදීම පියාගේ වියෝවෙන් පසු ඔහු මෙසේ මුදලාලිගේ බැල මෙහෙවරට නතුවිය. සෙනෙවිගේ මවගේ තරුණ වයසද ගෙවී ගොස් ඇත්තේ මෙසේ මය. සෙනෙවිගේ මව බොහෝ සෙයින් දුක්වුයේ තමා මියගිය පසු සෙනෙවිට කැඳ උගුරක් හෝ  සදා දෙන්නට කෙනෙකු නැති වේදැයි බියෙනි. සෙනෙවිලාටත් වඩා අරණවූ නිවසක සිටි කාල වර්ණ නිවසටම වයසට යමින් හුන් තරුණිය ගැන ලද ආරංචිය ඇයට ජීවිතයේ බලාපොරොත්තු දල්වන්නක් විය.

කාලය ඉතා ඉක්මණින්ම ගෙවී ගියේය. වැවේ නාන්නට ගිය විටෙක සෙනෙවි වරක් ඇය හා කතා කොට තිබුනි. අලුත් බලාපොරොත්තුව විසින් සෙනෙවි වැවට නාන්නට යෑමට ඇති උනන්දුව වැඩි කලේය.

කසාදයට දින නියම කෙරුණි. පංසලේ සාමුදුරුවෝ සාදාදුන් නැකැත් කොලේ මුලින්ම තිබුනු “නැකතට බුලත් දීමට” සෙනෙවිගේ මව ගියේ මුදලාලිගේ නිවසට ය. එය මුදලාලිගේ නිවසට ප්‍රීතිමත් ආරංචියක් නොවීය.

මගුල් දිනය දා සෙනෙවි අවුරුද්දට මුදලාලිගෙන් ලැබුණු කොටු සරමත්  පාට ගිය කමිසයකුත් ඇද සිටියේය. රත්නායක පැමිණියේ තරමක් හවස් වෙලාය. ඒ ලොරියට බඩු පැටවිමට  හිබුනු  හෙයින්‍ ය. මුදලාලි ට සහභාගි වන්නට නොහැකි උනේ කාර්යබහුලත්වය නිසාය, එහෙත් රත්නායක අත සෙනෙවිට පණිවිඩයක් එවීමට මුදලාලි අමතක කොට නොතිබුණි.

“සෙනෙවි මල්ලි ! ආං මුදලාලි උඹට එන්න කිව්වා...!” රත්නෙ ගෙට ගොඩ උනේම  එහෙම කියාගෙන.

“මට ඒ මොකෑ .........?”

රත්නෙ කෙරෙණ්  හේතුව දන්නා බවක් දැක්වුනද ඔහු කිසිවක් නොකියා
“උඹ ම ගිහින් බලහං කෝ !” කියා කීවේය.

“රූපසීලි ! මුදලාලි මට එන්න කියලා ....!! මොන එහෙකටද දන්නෙ නෑ......... මම ගියා ආවා!!! ඇවිත් නා ගන්න වැවට යමු ........” කියා ගෙනම සෙනවි සරම පසුපසින් කකුලෙන් ඔසවා එය අල්ලා දා  වාටිය දිගේ අත් දෙක ඉදිරියට  එන එමින්ම කඩුල්ල  දෙසට පියවර එසවීය.

ඉළුක් පඳුරු අතරින් ඇඳී අඩි පාර ඔස්සේ යන සෙනෙවි පසුපසින් රත්නේය.

“රත්නෙ අයියේ මොකටද දන්නෑ නේද බං මේ මගුල අස්සේ මට එන්න කිව්වෙ නේද? හවහ නා කියාගෙන පංසලට ගොහිං ලොකු හාදුන්නැහැගෙන් පිරිත් නූලක් බැදං එන්න කියලා අම්මා උදේ ඉදන් කියනවා ....”

“ආ ! උබ හේනං පිරිත් නූලක් එහෙම බැදගෙනම?........ මොකෝ දැන්මම බයවෙලාද ??......” කතාව ඉවර කරණ්නට සෙනෙවි ඉඩක් නොතැබීය. රත්නෙ අයියාගෙ හැකර කටේ හැටි හොඳින්ම දනී.

“අනේ පලයං රත්නෙ අයියේ පඩත්තර  කතා නොකියා ....!”

රත්නෙ මැටි පොලොවට සිනහ වෙමින් තවත් මොනවාදෝ කියමින් සෙනෙවිව අවුස්සයි. විවාහය තීන්දුවූ  දා සිට සෙනෙවිට දැනමුතුකම් දුන්නේ රත්නේය. කිසිදු  දිනෙක නොලබා තිබූ අත්දැකීම් පිළිබඳව සියල්ල  සෙනෙවි  පිළිවෙලින් දැනගත්තේ රත්නෙගෙන්‍ ය. පසුගිය  දිනවල ලොරියෙන් කොළඹ ට යනතෙක්ද කොළඹ සිට නැවත අඹන්පොලට එන තුරුම සෙනෙවිට තිබුනේ රත්නායකගෙන් එක් එක් මාදිලියේ ගැටළු නිරාකරණය කර ගැනුමටය. ඒ සියළු කතා නිමා වෙන්නේ රත්නා උස් හඩින්

“හරි හරි බං උඹ ඔය දැන ගත්තා මදෑ ! ඒකිත් මොනා මොනා හරි දන්නවා නැතෑ ....!?” කියාය.

ඊට සෙනෙවිගෙන් ලැබෙන්නේද එකම පිළිතුරකි.

“අනේ පලයං බං යන්න රත්නෙ අයියේ .....!”

තවත් පැය කාලකින් පමණ සෙනෙවි මුදලාලි අබියස විය. මුදලාලි සෙනෙවි එන තුරු කඩේ දොරකඩ මග බලාගෙනය. ලොරිය ට කෙදිරි ගෑවෙන්න බඩු පටවලාය. “හරියට රෑන් ටික ගහලත් නෑ !” ලොරියේ ඒ මේ අත අපිලිවෙලට ඇද තිබූ ලනු පොටවල් දැක සෙනෙවි තමාටම කියා ගත්තේය.

“රත්නෙ බලපංකො අද මුගෙ තංතෝසෙ ....!” මුදලාලි ඇද පැද කීවේ රත්නේට කීවේ සෙනෙවි දෙස බලාගෙනමය. මේ කිසිවක් සෙනෙවිට නැසෙයි.

“රූපසීලි බලානැති........!” සෙනෙවි කිසිවෙකුටවත්  නෑසෙන  සේ මිමිනීය.
“මුදලාලි මට එන්නැයි  කීවෙ .....!?” සෙනෙවි බිම බලාගෙනම බයාදු හඩින් විමසීය.

“ඇ රත්නෙ කීවෙ නැත ....!?  රත්නායක උඹට කිව්වෙ නැතිද කාරණේ ?සෙනෙවි උඹට මං එන්නැයි  කීවේ වෙන  හේකට නෙවෙයි උඹේ රස්සාව කොරලා  යන්න කියන්න. වෙනිං අහවල් දේකටයැ !?”

“ඒ ඒ කිව්වේ මුදලාලි ...?
“ අද ලොරියෙ උඹට යන්නම වෙනවා සෙනෙවියො. මොකා කියලා මං යවන්නද?  මොකෑ මම යන්නයෑ ? මගුලේ අවසේස වැඩ ටික හෙට හවහා කොර ගනිං කො! මොකෝ ගෙනාපු ගෑනි ආයෙ කොහේ කියලා යන්නද ?”

සෙනෙවිට කියාගන්නට දෙයක් නොමැතිවිය. එහෙත් කුමක්  නම්  කියන්නද? කාට නම් කියන්නද? ජීවිත කාලයම ජීවත්වූයේ මුදලාලිගේ දංකුඩ වලට පිහිටෙනි. දැනට වැටී ඇති ගේ කබල ඔසවා ගෙන හිටින  ඉඩං කෑල්ලේ බලපත්තරය තියෙන්නෙත් මුදලාලි බාරයේය. තවත් හිතාබලන්නට කාලයක් ඉතිරි නොකලේය.
“රත්නායක ඉක්මනින් පිටත් වෙයං ඉක්මනින් මේක බා ගන්නත් එපායැ...”
සෙනෙවි ලොරියේ එල්ලුනේ “මගුල ......!” කියවෙමින්‍ ය.

“ඔන්න මලේ මා එක්ක තරහ ගන්නවා එහෙම නෙවේ. .....! ඒත් මංකීවා අද උඹේ මගුලනේ කියලා ...!! කොහෙද මුදලාලිගේ වැඩ ගැන ම උඹට කියන්නෝන්නෑනෙ !”

සෙනෙවි කිසිවක් නොකියා ලොරියෙන් ඈත බලා සිටියේය.රූපසීලි ගෙට ගොඩවන  විට ගෙනා ඇදුම් මල්ලට වඩා සෙනෙවිගේ ඇස  ගියේ පිටුපසින් තවත් කෙල්ලක් ගෙනා ගල්ලැහැ පැදුර දෙසටය. තමා ඒ දෙස බලා සිටිනු රූපසීලි දුටු බව දුටු විගස මහත්වූ ලැජ්ජාවක් සෙනෙවිට දැනිනි. තමා පැදුර බලාගෙනම සිටියා යැයි ඇයට හැගේවිදෝ ඔහුට සිතිනි. ලොරිය සැතපුම් ගනනාවක් යනතුරු සෙනෙවි ඉදිරිපස වීදුරුවෙන් ඉදිරිය බැලුවේ නැත. ඔහු තවමත් පසෙකින් එළිය බලාගත්  වනම  සිටියි.
පුරුදු පරිදි ලොරිය කොළඹ ගොස් තොග බඩු කඩයට ගෙන ගිය දෑ බා අවසන් වී ආපසු එන්නට හැරිණි. වෙනදා පැයක් හමාරක් ගතකොට බානා බඩු ලොරිය විනාඩි හතලිහක් ගත වෙන විට බා අවසන් වී තිබුනි. රත්නේට තනිවම හිනාය. ලොරිය හරවා සෙමෙන් සෙමෙන් කොළඹ නගරයේ ජනාකීර්ණ වීදී අතරින් ගම් බිම් බලා යන්නට ලොරිය ඇදෙමින්‍ ය.

“රූප සීලි මොනවා හිතුවාද  දන්නෑ  නේද රත්නෙ අයියේ!?” සෙනෙවිගේ කටහඩ ඇසුනේ පැය ගනනාවකිනි.

“මොනවා හිතන්නද උඹලා කුලෑටි කමට.......;  බයේ මග අරිණ්න ඇති කියලා හිතන්න  ඇති!.....වෙන මොකක්ද ආයෙ ?”

රත්නෙ ගෙ පිළිතුරිණ් සෙනෙවි කෝපයටත් වේදනාවටත් පසුතැවිල්ලටත් දුකටත් එකවර පත්විය. ඔහු තම ගිණි ගෙන රත් පැහැගැන්වුනු දෙනෙතින් රත්නායක  දෙස බලා යමක් කියන්නට තතනන විටම රත්නායක පසුබෑවේය.

“නෑ බං ඒකි දැන ගන්නැති  අපේ මේ මුදලාලිගේ තරම ! ආයෙ වෙන මොකක්ද ?” රත්නායක තමා තින් සිදුවුනු වැරදි ප්‍රකාශය පිරියම්  කලේය.

ලොරිය ගම්ට යන්නේ වෙනදාට වඩා මන්දගාමීව යැයි සෙනෙවිට සිතුනි.

“යංකො බං අයියේ ගාටන්නැතිව......!”

රත්නායකට තනිවම හිනාය. එහෙත් වෙනදා මෙන් කිසිවක්  කියන්නට හේ බියපත් විය.ලොරිය හැකි උපරිම වේගයෙන් රත්නේ පදවමින්‍ විය. එම වේගය විසින් තමා ඉක්මනින්ම රූපසීලී ට ලඟා කරවන බව දැනෙත්ම දැනෙත්ම සෙනෙවිගේ සිත තුල කුඩා පොහොට්ටුවක් ටිකින් ටික විකසිත වෙමින්  තිබුනි.
කොළඹ ආ ගිය හැම දිනකම පාදෙනියේ හංදියෙන්;  නයිකොච්චි ලුණු මිරිස  සමග උනු උනුවේ කන පොල් රොටී බානද පොල් හකුරු එක්ක මහත් අභිරුචියෙන් බොන කහට වීදුරුව සෙනෙවිට අමතකය.
වෙනදා දැදුරු ඔය පාලම අසල අයියනායක  දේවාලයට පඬුරු දමා වෙලාවක් ගත කොට වදින සෙනෙවි අද ඊට එතරම් කල්මරණනට අවශ්‍ය නොවීය. කොටින්ම සෙනෙවි හිටියේ අසුනට හේත්තුවී පිට තබාගෙන  නොව තරමක් ඉදිරියට නැඹුරු වෙලාය. ඔහු ලොරියට කලින් ගමනේය. 
රත්නායකද තම හැකි උපරිමයෙන් ; තම එක බඩ වැල කඩාගෙන ආ සහෝදරයා වන් මිතුරාගේ හැන්ගීම්  දැනීම් තේරුම් ගනිමින් බ්‍රේක් නැති ලොරිය පදවමින් විය.
එන්ජිම මර හඩ දීගෙන එකම ලතෝනියකි! වෙනදා බේරන වලවල් ගැටිති බෝක්කු අද පෙනෙන්නේ වත් නොමැත.  ලොරියේ කර කැවෙන හැම උපාංගයකින්ම වෙනදාට නොඇසෙන සිහින් ගෙරවීමක් නැගෙයි.  රත්නායකට පමනක් නොව සෙනෙවිටද මෙම වේගය මහලු ලොරියට තරම් නොවන බව තේරුනද “ලොරියට උනත් තේරෙණවා ඇති මට වෙලා තියෙන අකටයුත්ත! මේකිවත් හෙට අනිත්දා නාවන්න ඕනෙ.....!” යැයි සිතා සෙනෙවි ලය සැහැල්ලු  කර ගත්තේය.
ලොරියේ බොනට්ටුව වේගයෙන් ඉහල පහල ගැහෙමින් විය. අගුල කඩාගෙන මේක ඇරේදෝයි විටෙක රත්නායකටම සිතුනි දළදා ගම හංදියෙන් ලොරිය අවේ හරහටය. සෙනෙවි ලොරිය තදින් අල්ලාගෙන සිටියේය. තවමත් හේ ඉදිරියට නැඹුරු වෙලාමය!

අඹන්පොල  ඔන්න මෙන්නය!   මුදලාලිගේ  වෙනදා මෙන් මහ පාරේ පෙනෙන්නට  ඇත. මෙතරම්  ඉක්මනින් ලොරිය ආපසු පැමිනෙතැයි ඔහු හීනෙකින් වත් හිතාගත නොහැක! මුදලාලි නොපෙනුනාට කඩයේ වහලයේ මට්ටමට ගොඩ ගැසූ මුං ඇට , අබ , මෙනේරි , කුරක්කන් ගෝනි ලොරිය එන තෙක් මග බලාගෙනය .

“මහත්තයෝ දුර කියවන්නෙ නැතිව කියන්නම්කෝ! අනේ අර යකාට එදා රෑත්අර අලුත ගෙදරට ගෙනා ගෑනි ගාව ලගින්න මේ අපේ මුදලාලි ඉඩ දුන්නේ නෑ කියන්නකෝ !!  
මහත්තයා විශ්වාසකරණ්නැති වෙයි මට මගේ අම්මට වඩා කෙනෙක්නෑ. ඔහොම දවස්හතක්ම මේකව ලොරියට පට්ටල්කලා කිසිම මනුස්සකමක්නැතිව ඔය යකා!!! 
අම්මප මහත්තයෝ ඔය සෙනෙවියා දෙවෙනි තුන්වෙනි දවස්වලදි කොළඹ ඉදන්මෙහාට එනකොට ඈත ඉඳන්බලාගෙන ඇවිත්ගෝනි ටික ඈත තියා දැක්කාම 
“බුදු රත්නෙ අයියේ අදත්මට යන්න වෙන්නේනෑ!” කියලා කියනවා මට තාම මතකයි. ඉතිං මං කියලා මක්කරණ්නද?
ඔහොම ගිහින්ගිහින්සතියකට පස්සෙ තමයි මේකට ගෙදර යන්න ලැබුනේ ! දන්නවද මහත්තයෝ හොඳම වැඩේ ?”

“................................................................................”
රත්නෙ මාගේ කනට ලංවී රහසින් යමක් පවසා අසෝක වීදුරුවේ තිබූ අන්තිම අරක්කු ස්වල්පයත් කටට හලා ගත්තේය.
සතියක් කඹුරා ගෙදර ගිය ද; රූප සීලිගේ ජීව චක්‍රය තවත් සතියකට සෙනෙවිට පැදුරේ නිදන්න තහනම් කොට තිබුනේලු!





25 comments:

  1. ගම්වල ඉන්න ලොකු මුදලාලිලට කඹුරන අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ගෙ කතාව ඕක තමයි.

    ඔය වගේ වෙලාවක සෙනෙවිය මුදලාලිට පිහියෙන් ඇන්නත් පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  2. //ගෝනි ටික ඈත තියා දැක්කාම “බුදු සෙනෙවි අයියේ අදත්මට යන්න වෙන්නේනෑ!” කියලා කියනවා මට තාම මතකයි// ‘රත්නෙ අයියේ‘ වෙන්න ඕන නේද මෙතන.

    ReplyDelete
  3. අනේ ඔව් ප්‍රසන්න. ඕක සීයට සීයක්ම ඇත්ත කතාවක්!

    ReplyDelete
  4. හම්මේ, ඔයින් ගියා මදෑ. .... බකාස්...

    ReplyDelete
    Replies
    1. ධනය බලය රැකියාව කියන කාරණා හේතු කොට ගෙන මිනිඖන් මොනතරම් අසරණ වෙනවද?

      Delete
  5. හිනාවෙන්න හිනාවෙන්න වගේ හිතාගෙන කියවල බලද්දී අන්තිමට නොදනිම ඇඩිලා.. :'(

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පුද්ගල අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කර ගන්න අනෙකාගෙ අසරණකම ලංසුවට තැබූ අවස්ථා කොයි තරම් නම් තියේද? අනෙකාගේ ලය මත කඳුළු හෙලා සිසිල්වූ පසු හදවතේ රුහිරු බොන එවුනුත් මේ අපි අතරම!

      Delete
  6. දැන් කාලේ වගෙ වුනා නම් මුදලාලි අඩි6 යට.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මොන හස්ථි රාජයාත් නැවෙන ඇඹරෙණ බියට පත්වන අවථාවක් එනවා.

      Delete
  7. අම්මෝ තට්ටමහත්තයා .... මේ කථාවට නම් ගොඩක් දුක හිතුණා. මේවගේ ආත්මාර්තය ඉක්මවූ වීරිය පාරමිතා පුරන උදවිය ගම්තුලානේ අදටත් ඇති. ඒ වගේ ම ඔය කියපු කපටි මුදලාලිලා ලෝකයේ ගොඩක් තැන් වල විවිද වෙශවලින් මට හම්බෙලාත් තියෙනවා .

    කොහොම නමුත් ලස්සන කථාවක් .

    ReplyDelete
    Replies
    1. ඔව් කළණ මල්ලි රත්නෙ මට කියපු විදියට එවකට වයස අවුරුදු 35 ක් විතර වයසක සිටි සෙනෙවි කසාද බඳින තෙක් කිසිදිනෙක ලිංගික සුවයක් නොවිඳපු තරුණයෙක්. ඒ මුදලාළිගේ කපටි කම් නම් ඒ වෙන කොටත් ඒ කියන්නේ මම දන්නා කාලයෙදීත් එහෙමම තිබුනා. ස්තූතියි! තවමත් ඔය නගරය පසු කරණ වාරයක් වාරයක් පාසා ඔයාලටත් මට වගඅ මේ කතාව මතක් වනු ඇති!

      Delete
  8. Kathawa kiywwa, danawadaya amihiri yatharthaya?

    ReplyDelete
    Replies
    1. මේක ධන වාදය කියලා ලඝු කරණ්න මම නම්
      හිතුවේ නෑ. හිතන්න උග්‍ර ධනවාදී රටක් වන එංගලන්තයේ මෙවන් සිදුවීමක් සිදුවීමට ඇත්තේ කෙතරම් අඩු සම්භාවිතාවක්ද? ඔබ දන්නවා නේද බිඳ වැටුණු සෝවියට් දේශය තුලම ; මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මොන තරම් හෑල්ලු වෙලා තියේද? මගේ පෞද්ගකික අදහස නම් ධනපති ප්‍රජාතන්ත්‍රය තුල මිනිසුන්ට වඩා නිදහසක් මෙන්ම ගෞරවයක් ලැබෙනවා කියා සමාජවාදී සමාජයකට සාපේක්ෂව. ස්තූතියි!

      Delete
  9. දුප්පත් කමයි නුගත් කමයි දෙකෙන් පළ ප්‍රයෝජනේ ගත්තු ඒ මුදලාලි දිගින් දිගටම දියුණු උනාද, තාම ජීවත් වෙනවද...

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට ඒ මුදලාළිගේ දෙවෙනි පුතා භද්‍ර යෞවනයේදීම මෙලොව හැර ගියා රිය අනතුරකින්. විශාල ආයෝජනයක් කරලා ඇංගළුම් කම්හලක් දැම්මා ඒ කාලෙ. ඒක වැහිලා ගියා. තාම ජීවත් වෙනවා මම දන්නා තරමින්!

      Delete
  10. අම්මප මූූට වෙන රස්සාවක් තිබුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. උන් මාර අසරණයි මල්ලි. වෙන රස්සාවකට ගියොත් එතෙක් අඳේට වැඩකල කුඹුර නැති වෙනවා. එතනින් ගියාම වැටිලා ඉන්න ගේත් නැති වෙන්න තිබුනා. මෙක හරි කරුමයක්!

      Delete
  11. මොන වාදය තිබුණත් අවිහිංසාවාදය නැති වුණාම නම් මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අවිහිංසාවාදය කියන එකට පුළුල් අරුතක් තියෙන හෙයින් එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයේ එක් පසක් විතරයි. ඔයාට හිතෙන්නේ නැද්ද මුදළාලිට සෙනෙවිව පෙලා නොසිටින්න තිබිය යුතු ගුනාංගය වගේම සෙනෙවිටත් ඊට විරුද්ධ වෙන්නට ශක්තියක් තිබුනා නම්!

      Delete
  12. උන් ගමේ කියලා ,අපි කොළඹ කියලා මහා ලොකු වෙනසක් නැහැ .ශ්‍රමය සුරං කෑමේ ක්‍රමය නම් උපරිමේට ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
    Replies
    1. "කම්කරුවා" යන්න මාක්ස් විසින් නිර්වචනය කොට ඇත්තේ "ශ්‍රමය විකිණීමට තම ශ්‍රමය හැර වෙන කිසිවකුත් නැති!" යන අර්ථය ඉලක්ක කරගෙනය. නමුත් ලංකාවේ "කම්කරුවා" යනු කානු කපන , පොල් වලවල් බහින , ළිං ඉහින, බඩු කරගහන , සිමෙන්ති බදාම අනන ආදී එකී මෙකී නොකී පිරිසය. එහෙත් මාක්ස්ගේ ( මෙය මාක්ස් නොවී එංගල්ස් නම් ඒ නම යොදාගෙන කියවාගෙන යන්න) නිර්වචනයේ විදියට දොස්ස්තර මහතැන්ලා පවා වැටෙන්නේ මේ කම්කරු කැටගරියටමය. එංගලන්තයේ කම්කරු පක්ෂයට මිනිසුන් හිටියත් අපේ ඒවා වේලෙන්නේ එබැවින් විය යුතුය. කාලය ගතවී අපේ නාම මාත්‍රික කම්කරු නායකයන් හට මොලේ පෑදී මේ "කංකරු" (සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ වර්ශන් එක!) කියන වචනය "වැඩ කරණ ජනතාව" ලෙසට ඩබල් ප්‍රොමෝශන් ලැබුවේය. මේ නයින් බලන කල කානු කපන එකාගේ සිට ඉංජිනේරුවා දක්වාද පොල් වලවල් බගින එකාගේ සිට වතු සුපිරිංටන්ඩ් දක්වාද බදාම අනන එකාගේ සිට ආකිටෙක් දක්වාද සියල්ලෝම එකම වල්ලේ පොල් මෙන්වූ කංකරුවෝය. අපි දන්නා පරිදි සෙනෙවි-රත්නෙ කූට්ටමත්, මා දන්නා පරිදි මමත්, මා සිතන පරිදි ඔබත් කම්කරුවෝය. අප සියල්ලන්හටම මෙවන් දේ
      පොදුය. වෙනස අප වෙත පැමිනන ස්වරූපය හා අප ඊට මුහුන දෙන ආකාරය පමනි!

      Delete
    2. අය්යට අමතක වුනු එකක් තියෙනවා .මාසේ මුල (සමහරුන්ට මාසේ අන්තිම) ලැබෙන පඩිය කියන එකේ තියෙන වෙනස

      Delete
  13. පොඩ්ඩක් ලියපං මල්ලි ඒ ගැනත් මට දැනගන්නත් එක්ක!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...