Saturday, October 27, 2018

117. පුලතිසිපුර ටිකිරි මොළේ !





ඡන්දයෙන් වෙනසක් කල හැකි වේනම් කිසිදා එය ඔවුන් අපට භාවිතා කරන්නට ඉඩ තබන්නේ  නැත!
(ඊයේ මහ රාත්තිරියේ;නිදිමරගාතේ මධුශාන්  පොළොන්නරු යන්නට 
 අක්කරපත්තුව බසයකට ගොඩකරණ්නට එන අතරදී ඔහු විසින් උපුටා දක්වන ලදී.)

ඊයෙ හවස හරි අපූරු වැඩක් සිදු වූවේය. මේ රටම දන්නා ඒත් මා එතෙක් නොදන්නා ආරංචියක් කිලෝමීටර 8000 ක් එහා සිටි වසික කථා කොට මගෙන් ඇසීමය.ඔහු ඇසූ වගන්තියේ ප්රශ්ණාර්ත ලකුණට ආසන්න වචන තුන වූයේ "එහෙම වෙන්න පුළුවන්ද?" කියාය.
ඇත්තටම "එහෙම වෙන්න පුළුවන්ද?" කියා අප කොරවී සිටියාට ඩී.බී. විජේතුංග ජනාධිපති වූ, මෛත්රිපාල සිරිසේන ජනාධිපති වූ රටක මෙහෙම දෙයක් නොවන්නට කිසිදු සාධාරණ හේතුවක් මානම් දකින්නේ නැත.
"දෙශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරණ් නොමැත!' කීවේ මෙය කියවන ඔබ හෝ මම නොවේ. එය ඩබල් ඩොක්ටර් ඇන්. ඇම්. පෙරේරා ගේ සුප්රසිද්ධ ප්රකාශයකි.

මෛත්රීව ජනාධිපති කරවූ  මැතිවරණයේදී  ඔහුට ලැබුණු යූඇන්පී ඡන්ද ඇරුණුවිට සෙස්ස මේ රටේ කිසියම් සාධාරණත්වයක් යුක්ති සහගත බවක් බලාපොරොත්තුවූ සුළුතරයේ කැමැත්තය. ඔවුන් අතුරිණ් අති මහත් බහුතරය එක් වරක් හෝ දෙවරක් මහින්ද ඉදිරියේ අත එසවූ අය වෙති. එහෙත් මහින්දගේ දෙවන වර පත්වීම සමග ඔහුගෙන් බලාපොරොත්තු වූ විනිවිද භාවය  නොමැතිවූ තැන රනිල්-මෛත්රී දෙස හැරුණු අය වූහ.
මෙසේ රනිල්-මෛත්රී දෙසට හැරුණු බොහෝ දෙනා අතර සිටි ජාතිකත්වය පිළිබඳව බරපතලව සිතන පිරිස මුල සිටම රනිල් දෙස විචිකිච්ඡාවෙන් බැලූවද "මෛත්රී ඉන්නවානේ!' කියා හිත හදාගෙන තම රබර් ඇහැ සඟවා ගත්හ. එය හුදෙක් ආත්ම වංචාවක් බව ඔවුන් දැන දැනම බලා සිටියහ. එහෙත් "වලිගය බල්ලා සොලවන" බව ඉතා ටික කලකින්ම ඡන්දය දුන් අය කෙසේ වෙතත් මෛත්රී හටම තේරුම් යන්නට ඇත.
1977 ව්යවස්ථාව පිළිබඳව ආචාර්ය කොල්වින් ආර් සිල්වා දුටු අනාගතය අපගේ කාලය තුල අප කිහිපවරක් පුනයනරාවර්ථනය වනු දුටුවෙමු. ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත්වීම ; ඕමි ගැසීමේදී එක අතකට වංස දෙකකින් බූරුවන් ලැබීම වැනිය්! එයින් සිදුවන්නේ බූරුවෝ දෙන්නාම පිටියේදී දෙපාරට බාල්දු වීමය!

මෛත්රී ගොවි පුතෙකු වූවද ආරිය සිංහල සූට් එකට යටින් අමුඩය ඇන්දා කියා මා සිතන්නේ නැත. එහෙත් රනිල්, රවී මෙන්ම  බොහෝ දෙනා සිතා සිටියේ එලෙසය. ඩේවිඩ් කරුණාරත්නයන් එදා හෙළදිව නමින් මෙරටට පරිවර්ථනය කල රොබට් නොක්ස්ගේ ලංකා වාර්ථාවේ  "මඩ සෝදාගත්කල සිංහලයා රජකමට වුව සුදුසුය!' කියා අප පට්ට පතුරු ගහන වැකියේ වත් එවිට එතෙක් ඔහු ඇඳි අමුඩයට කලයුතු දෙ ගැන ලියා නොතිබුනි.
බලයට පත්වූ සැනින් මෛත්රී හට "රාජපක්ෂ" භීතිකාව නොදැනුනා කියන එක සමාන කල හැක්කේ; තමන්ගේ ගේ ඉස්සරහ පොලිස් ජීප් එකක් නතර කල විට "මටනම් භය හිතුනේ නැහැ , මොකද අපි වැරදි වැඩ කරණ මිනිස්සුයැ?" කියා බොරු පොර ටෝක් දෙන අයගේ සම්මප්රලාප වලටමය. රාජපක්ෂලාහට වෙඩි තබන්නට තුවක්කුව හා පතරොම් සියල්ල මේසය මතින් තබා "අපිට මොකද අපි අටසිරි උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට" කියාගෙන  සිල් අරණ් එන හොර උපාසකයෙකු ; ගිනි මැලයක් මත යටිකුරුව තබා පුළුස්සන ඉබ්බෙකු දැක කට තියාගෙන ඉන්නට බැරිව කී අයුරින් මෛත්රී සිටියේය.

තවමත් ආසාවට පියෙකු වන්නට නොහැකිවූ රනිල් හට බොඩි ලැංවේජ් පුළුවන් කමක් තිබේයැයි සිතන්නට හේතුවක් නොපෙනේ. තමා වටේ සිටින නාඹර කොල්ලන්ගේ විනා; වයසක මලික් සමරවික්රමගේ හැරුනුවිට වයසක තලත්තෑනි මෛත්රීගේ බොඩිලැංවේජ් ඔහුට තේරුම් නොගියේය. ඔහු ජනාධිපති මන්දීරයේ ඉස්තෝප්පුවේ කණප්පුව මත තබා තිබුනු පතුරම් පුරවන ලද බෝර දොලහේ රිපීටරය දුටු විට "ආනේ ටුවක්කුවක් නේද?"  කියා එයට ඈතින් ගියා මිසක දෙස කෙලින් බැලු වගක් වත් නොපෙනුනි.

මහින්ද විසින් කල කී දෑ දෙවෙනි වන්නට වැඩ පෙන්නූ යූ ඇන් පී අයියලාට එසේ  කිරීමට හැකිවූ එකම  සිද්දිය වූයේ මහ බැංකු මංකොල්ලය පමණි. අපරාදෙ කියන්නට නොහැකි වන පරිද්දෙන් A4  කොලයක හරස් අතට නොව දිග් අතටවත් ලියා අවසන් කල නොහැකි බිංදු ගනාවක් සහිත අංකයකින් එය සිදු කොට අවසන් කොට හැඳි ගෑරප්පු දෙපසින් තබා එතෙක් ගෙලෙහි රුවා සිටි ලේන්සුවෙන් කට දෙපැත්තද පිසදාගෙන හමාර වී ඇත. මීට කලකට පෙර මා කියවූ එල්.ටී.ටී විසින් අතුරුදහන් කලායැයි සැක කරණ මූ අරුක්ගොඩ සම්පාදිත "මනහර"  සඟරාවක පලවූ එක් ලිපියක දක්වා තිබුනේ ලෝකයේ විශාලතම සංඛ්‍යාව පිළිබඳවය. ලොව විශාලතම සංඛ්‍යාව ලෙස එහි හඳුන්වා දුන්නේ "ගූගෝලය" Google . එය සමන්විත වන්නේ 1 ඉලක්කමට පිටුපසින් බින්දු 197 ක් පෙල ගැස්වීමෙනි.(ඒක හරියට 1 ඉලක්කම පිටුපසින් බින්දු තුනක් පෙල ගස්වා එයට "දහස"කියනවා වැනිය!")  එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුනේ එම සංඛ්‍යාවත් විශාල මදි බැවින් ගූගෝල් ප්ලෙක්ස් Google Plex නමින් තවත්සංඛ්‍යාවක් හඳුන්වා දී ඇති බවත් එය සකසා ඇත්තේ ; 1 ඉලක්කමට පිටු පසින් බින්දු ගූගූලයක් පෙලට තබා කියාය. මෙවන් සුපිරි ගනයේ විජ්ජා කුමක් සඳහාද?, මේවා හිතෙන්නේ කාහටද?, මේවා කාගේ වැඩදැයි මාහට තිබූ සැක සංකා සියල්ල හිරු දුටු කදෝ පැණියන් සේ දුරු කර ලීමට ඇලෝසියස් තාත්තලා පුතාලා සමත්විය! ලොකු හොරකමක් කල විට තමා අත දැන් කියක් ඇත්දැයි ගනන් කිරීමට අපහසු විට හොරුන් කරන්නේ පසුදා උදෑසන දවසේ පත්තරය එලිදකිණ තුරු කල් මැරීමය!  ඇලෝසියස්ලාද තමන් කල කී දෑ පිළිබඳව නියමිත දිග පලල ; වපසරිය දකින්නට ඇත්තේද පත්තරෙණ් වීමට බොහෝ ඉඩ කඩක් ඇත!
මේ සියල්ල අතර පොඩි කාලෙ පොළොන්නරුවේ අල්ලපු ගෙදර යාලු මිත්තරයන් එක්ක "එළුවං කෑම" කල හැටි  මෛත්රීට සිහිවන්නට ඇත. එදා කොටියා විලස "එළුවන් කන්නයි මං ආවේ . . .//" යැයි තාලයට ගැයූ මෛත්රී හට ලැබුණු "එළුබෙටි කාපන් ගොන්දීරේ . . . .//" පිළිතුර රනිල්ගේ පිරිසෙන් ලැබුණු අයුරු මෛත්රී පමනක් නොව මහින්දද නුදුටුවා යැයි කාහට නම් කිව හැකිද?

අපගෙ උප්පැන්න සහතික වල අපගේ පියාගේ රැකියා ස්වභාවය ලියන්නට ඉඩක් වෙන්කොට ඇත. එසේම ජාතික හැඳුනුම් පතේද පාස්පෝට් එකේද ඉඩ කඩක් වෙන් කොට ඇත.  පාරේ එහා මෙහා අවිනීතව දුවන ප්රයිවෙට් බස් ඩ්රයිවර් කෙනෙකුගේ මේ ලියවිල්ලක් ගතහොත් එහි කොටුව පුරා "රියැදුරු" කියා ලියා තිබෙනු දක්නට ලැබෙනු ඇත. මෛත්රීගේ, මහින්දගේ, රනිල්ගේ මෙහි කුමක් ලියා තබා ඇතිද? බොහෝ අයගේ මෙම කොටුව තුල ලියා ඇත්තේ "දෙශපාලක" කියාද? නෝසේනම් එය හුදෙක් එය හිස් කොටුවක්මද? හිතන්න විමල් වීරවංස ගේ කුමක් ලියා ඇත්ද?

අප තෙරුම් ගතයුතු යථාර්තය වන්නේ එයයි.මා නොබෝදා වසර 11 සේවය කල ආයතනයෙන් ඉල්ලා අස්වීමි. දෑනට මා පෙරට වඩා වැඩි වැටුපකට සේවය කරමි. එසේ කිරීමේ සාධාරණ අයිතියක් මාහට ඇතැයි මා විශ්වාස කරමි. කිසිවෙකු ඊට අභියෝග කරණ්නේද නැත!අප අපගේ රැකියාව බේරා ගැනීමට කුමක්ද නොකරණ්නේ? උන්ද එසේමම ය! එයට සහතික ඕනෑ තරම්ය! රැකියාව ලෙස දේශපාලනය කරන තවත් පෘථග්ජනයෙකුගෙන් සාධාරණ, යුක්ති යුක්ත, අවංක, ප්රථිපත්තිගරුක වැඩ කිඩ බලාපොරොත්තුවීම තරම්  අමන කමක් තවත් වෙත්නම් පොලිමේ ගොස් ඡන්දය පාවිච්චි කිරීම පමනක්ම විය යුතුය!

තුවක්කුව තිබුනද එයින් වැඩක් නොගන්නා රනිල් බබෙක්ම නොවේ.  මහින්දට වෙඩි තබනවාට වඩා; සතුරා කොටස කර විනාශ කිරීම ඔහුගේ අභිලාශය වුනි යැයි මා විශ්වාස කරමි. තනි හමුදාවකට මුහුන දෙනවාට වඩා කුඩා කොටස් දමනය කරමින්, විනාශ කරමින්, සංග්රාම භූමිය ජය තහවුරු කර ගැනීම වඩා පහසු බව දන්නේ සරත් ෆොන්සේකා පමනක් නොවේ. රනිල්; මහින්ද මගින් මෛත්රීද, මෛත්රී මගින් මහින්දවද අවසානයේ මුලු මහත් ශ්රිලනිපයම හැඳිගාවා ගන්නට සිතා සිටියත්  පසුගිය පලාත් මැතිවරණයෙන් වූයේ අනෙකකි.එයින් වත් පාඩමක් උගෙන් නොගත් රනිල් කලේ තම න්‍යාය පත්‍රය තුලම පිටිය සකස් කිරීම පමනකි.

මෛත්රී මෙන් ආසාවට වත් මලගෙදරක ඕමි ගසා නොතිබුනු, හංදියේ කඩේ දාම් ඇද නොතිබුනු රනිල් විශ්වාසකලේ මෛත්රීගේ ආරිය සිංහල සූට් එක කිසියම් මොහොතක බිමට කඩා වැටී  යටින් තිබුනු අමුඩය දිස්වේ යැයි කියාය. මෛත්රී පසු ගිය කාලය පුරාවටම කලේ අමුඩය අමතක වූවත් සරමේ ගැටය හොඳින් තදකොට තබා ගැනීමටය. දිනෙන් දින තමාගේ ජනාධිපති සිහිනය වෙත ලංවෙනවා යැයි කටයුතු කල රනිල් වෙතින් රාජපක්ෂ දමනය සිදු නොවන බව දකින මෛත්රීගේ ටිකිරි මොළේට ; තව කෙටි කලකින් රාජපක්ෂවරයෙකු හෝ ඔවුන්ගේ අනුගාමිකයෙකු යටතේ බෝඩිං බත් නොකා සිටින්නට ම් කල හැකි හොඳම හා පහසුම කට යුත්ත ඊයේ රත්රියේ එළිදැක්වීය!

පැරණි එක් කතාවක් වේ. කතාවේ නිවැරදි අක් මුල් දැක්වීමට  කාලය මදිය. කතාව මෙසේය. රාජ කුමාරවරු දෙදෙනෙක් සමග පුරෝහිතයෙකු වනගත වූයේ සතුරන් ගෙන් බේරීමටය. ඔටුන්න හිමි කුමරා වැඩි මහල්ලාවූ අතර ඔහු රාජ්ය පාලනයේ දක්ෂයෙකු බව  පුරෝහිත නොදුටුවේය.  වඩාත් සුදුස්සා වූයේ බාල කුමාරයාය. වැඩි මහළු කුමරාගේ ගෙලේ තැල්ලක් විය. දිනක් පුරෝහිත බාල කුමරු කැඳවා නිදා හුන් වැඩිමහළු කුමරු පෙන්වා පවසූවේ "අයියාට නොඇහැරෙණ්න තැල්ල ගලවාගෙන ආවොත් මා ඔබට රජකම ලබා දෙන්නෙමි!" කියාය. බාල කුමරා වඩාත් ස්මාට් පොරක් වූවේය. ඔහු "සිම්පල්!" කියා එතැනින් නික්මී ගොස් එක් කඩු පහරිණ් තම අයියාගෙ ගෙල සිඳ තැල්ල ගලවාගෙන පැමිණ පුරෝහිතට පෑවේය.අපරාදේ කියන්න බැරිය. අයියා අහැරුණේ නැත. මල්ලී හට රජකම ලැබුනි

මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය" දිව්ව හැටි තිබූ පෙළ පොත් කියැවූ අපේ කාලයේ පොත්වල මිසක ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්රිජ්, ටෙක්ස්ට් බුක්ස් වල නොවේ.පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමාද මෙය අනිවාර්යයෙන්ම කියවා තිබිය යුතුය!

අවසාන වශයෙන් රනිල්ට කියන්නට ඇත්තේ අවසාන වශයෙන් ගුත්තිලය සොයාබලා මේ කවිය කටපාඩම් කරගන්නා ලෙසයි.

                                           ඉඳ ඉඳ එක වෙහෙර
                                           විඳ විඳ දහම් මනහර
                                           සිඳ බිඳ දුක් සසර
                                           අහෝ දෙව්දත් නොදුටි මොක්පුර !

මා හේලිගේ වලගාතරුව පායන කාලයේ ජීවත් වූවෙක්මි. නැවත එය දකින්නට මා ජීවත්ව නොසිටින බව හේලිටත් වඩා මට විශ්වාසය.

24 comments:

  1. ජරාජීර්ණ දේශපාලනයටත් දේශපාලුවන්ටත් කැමැත්තක් නැතිවුවත් මේ ලිපිය ලියලා තියෙනවා උපරිමයෙන්ම. එල, නියමයි මංජුල මහත්තයා.
    ඉස්සරකාලේ කලාවාගේ කොන්ඩ කැවුමක් හදලා මංජුල ලොක්කාගේ අත තවන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේ අලකලංචිය මට පෙනුනේ මෙහෙමයි. බොරු ඕන්නෑනේ! මම මෛත්‍රී උනානම් 1. මම දේශපාලනේට එන්නේම නෑ. 2. ඇවිත් මෙහෙම සීන් එකක් උනා නම් කරණ්නේ මේකම තමයි - "කාලා වරෙං කියලා! හැබැයි තව ටික දවසකින් රනිල් මෛත්‍රීගෙන් "වෙනශ ෂැපද . . .?" කියලා අහන්න වෙයි කියලයි සැක!

      Delete
  2. Politicians are useless. But what is written is useful

    ReplyDelete
  3. දේශපාලන පෝස්ට් මොකා ලිවුවත් මම කොමෙන්ට් දාන්න කැමැත්තක් නෑ. ඒත් මේ කියල තියෙන දේ හිතල බලන්න වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔය "මොකා" ලියන ඒවට නම් මාත් කොමෙන්ට් දාන්නෙ නෑ! ඒත් මම ලියපු එකට කොමෙන් දැම්මාට බොහොමත්ම ස්තූතියි!

      Delete
  4. මටත් ලන්කාවෙ දේශපාලනය නම් පිලිකුල්. එත් ඔබගේ ලිපිය රසවත්. එක නිසා කොමෙන්ට් එකක් නොදා බෑ.

    ReplyDelete
    Replies
    1. කප් ගහපු දේශපාලන ලිපි ලියන්නන් කිසිවක් නොලියූ වෙලාවක මට හිතුනා ඇත්තටම මගේ මතය කල එලි දක්වන්න. එයට ප්‍රථිචාර දැක්වූ ඔබට මාගේ ආචාරය!

      Delete
    2. ඇත්තටම ඔබේ ලිපිය ගොඩක් වටිනවා. මෙ යන විදියට අපි ලන්කාවට ඇවිත් පොඩි ජොබ් එකක් කරගෙන මෙහෙන් අරන් එන තුට්ටු 2න් මොනවා හරි හොන්ද දෙයක් කරගෙන කරගෙන ජිවිතේ ඉතුරු කාලය හොන්දින් ගත කරනවා කියලා හිතන් ඉන්න සිහිනය තව තවත් දුරස් වෙනවා.
      එක නෙමෙයි, මේ ජරමර අස්සෙ මමත් ගත්තා hybrid සයිකල් එකක්. දැන් සතියට 50-60 km විතර පදිනවා. අඩු ගානෙ අපේ හෙල්ත් එක ගැනවත් හිතන්න ඔනනෙ. මේ දේ කරන්න හිතුන ප්‍රදාන මොර්ටිවෙශන් එක සහ තොරතුරු ගත්තෙ (පිස්සුව මටත් බෝ උනා කියහන්කො) ඔබට සහ ඔබගේ බ්ලොග් එකට පින් සිද්ද වෙන්න.

      Delete
  5. ලංකාවේ දේශපාලනය කියන්නේ බොහොම පිළිකුල් සහගත මාතෘකාවක්. ඒ උනාට දේශපාලනය ගැන කතා දැක්කාම මටත් කටපියාගෙන ඉන්න අමාරුයි.
    පසුගිය රාජපක්ෂ රජය, 2009 දී යුද්ධය අවසන් කිරීම මෙතෙක් මාගේ ජීවිත කාලයේදී ලංකා රජයක් විසින් කල ඉතාම උත්තරීතර ක්‍රියාව බව කිව යුතුයි. ඒක කිසිවෙක් අවතක්සේරු නොකළ යුතු බව මගේ හැඟීමයි. නමුත් ඉන් පසුව එළඹී කාලසීමාවේ සිදු වූ සිද්ධීන් වලින් අර උත්තරීතර, කිසිවිටක අවතක්සේරුවට ලක් නොකළ යුතු සත්කාර්යය පවා අවමානයට ලක් උනා. යුද්ධය අවසන් කල නිසා මුළු රටම රාජපක්ෂවරුනට ලැබුන නින්දගමක් ලෙස සැලකීමේ ඵලවිපාක තමයි 2015 ලැබුනේ. රාජපක්ෂ වරුන්, පැරණි බණ්ඩාරනායක වාදී ශ්‍රීලනිප දේශපාලඥයන් කුණු කූඩයට දැම්මා. එහි පලිය ගැනීමේ චේතනාව සිරිසේන මහතාගේ හිතේ තිබියදී පොදු අපේක්ෂක තනතුර අහම්බෙන් ලැබුනා. රනිල්ට මහින්ද සමග සටන් කරලා දිනන්න බැරි බව අතදරුවන් පවා දන්නවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ගත්තේ ඉතාම විශාල ජීවිත අවදානමක් සහිත පියවරක්. ඒකේ විවාදයක් නැහැ. නමුත් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස තමාගේම පක්ෂයට එරෙහිව සටන් වැදුණු එතුමාටත් ජනාධිපති පුටුවේ රස දැනුනාම එතෙක් කල් මහජනතාවට දුන් පොරොන්දු සියල්ලම අමතක උනා. එජාපය පැත්තෙනුත් මහා බැංකුවට ගේම දීලා ඒ ගොල්ලෝ වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කළා. ඉන් පසුව කරපු සියලුම දේවල් දෙවන වරටත් ජනපතිකම දිනා ගැනීමේ අරමුණ මත සිදු කළා මිසක් රට ගැන හිතලා කල දේවල් නොවේ. රනිලුත් රට හැදීම කෙසේ වෙතත් තමාගේ අගමැතිකම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වගන්ති ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තරම් කපටි උනා. බැලුවාම ආඬි හත්දෙනා වගේ එකිනෙකා රවටා ගන්නා අතරම, රට ආර්ථික අගාදයකට යමින් පවතිනවා. යම් තරමකට මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, මානව අයිතිවාසිකම් ආදිය දියුණු වීමක් සිදු උන නිසා , මින් ඉදිරියට එන රජය කුමක් උනත් රතුපස්වල, හලාවත, කටුනායක, ලසන්ත, ප්‍රගීත්, කීත්, ශිරාණි බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා වැනි සිද්ධි ඇතිවීමට තියන ඉඩ අඩුයි. අවසානයට කියන්න තියෙන්නේ මහින්ද මහතා අගමැති ධුරයේ ස්ථිර උනොත් (තාම ඇදී ඇදී යනවා මිසක් 100% වෙලා නැහැනේ ), පාර්ලිමේන්තුව රැස් කල පසු මෛත්‍රීපාල මහතාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම, මහින්ද මහතාගේ ඒ නව රජයේ පළමු කටයුත්ත විය හැකි බවත් ඒකට පාර්ලිමේන්තුවේ 225 න් 220 පමණවත් සහයෝගය දැක්වීමට ඉඩ ඇති බවත් ය.
    PS ඔබතුමා oz එන්නේ කවද්ද? කොහෙටද?

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇති දේ සමග මා සීයට 99 ක්ම එකඟ වෙමි. දැන් අහන්න එපා මොකක්ද එකඟ නොවන සීයට එක කියලා. ඇත්තෙන්ම ජේ ආර් පී සූරියප්පෙරුම මහතාගේ වචනෙන් කියනවා නම් "බිත්තියට පිට තියාගෙන එල්ටීටීය සමග කල සටන ගැන හිතන කොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා හසන්න්ත මහත්තයෝ . . .!" කියලා තමයි කියන්න තියෙන්නේ. මම මගේ "ආර් ප්‍රේමදාස" පෝස්ටුවේ ; කොමෙන්ටුවකට සැපයූ පිළිතුරකදීද කියා ඇති පරිදි මගේ "තල් අරණ . . ." අවසාන කොටස එනම් බොහෝ විට 10 වන කොටසේදී මා ලියන්නට හිතාන ඉන්නවා පරන්තන් සිට යාපනයට ඇ57 (මගේ මතකයේ හැටියටා ගමන් ගනිද්දී ඇතිවූ සිතුවිළි. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ, ගෝඨාබය, සරත් ෆොන්සේකා ව්හාගේම අනෙකුත් විරුවන් ගේ නම් පාඩම් පෙල පොත්වල ලියවෙන්නට තිබුනා. ඒත් අපරාදෙ කියන්න බෑ අපේ අතිශය පාරිශුද්ධ දෙශපාලනය විසින් ඔවුන් සියල්ල කුණු බක්කියට දමා අවසන්. ඒක ඔවුන්ගේ පමනක් නොවේ ජාතියේම කාලකණ්නි කමක් කියලයි මට දනෙන්නේ!බොහෝ විට දෙසැම්බර්! මෙල්බර්න් හි කිව් වලට!ස්තූතියි!!!

      Delete
  6. වෙනස සැපයි ද කියලා ගමරාල ගෙන් අහන්න තැක් ගැහෙන්නට ඕනි නෑ, හෙටම අහතැකි. අන්න අරෙහෙ මිදී තිත්තයි,සල්ලි දීලා අරන් කෑවොත් බඩේ අමාරුව හැදෙයි කියල බැසිල් නරිය කියනවලු.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් නට්! මටනම් බැසිල් නරියයි! කිරිඇල්ල නරියයි! සේනසිංහ නරියයි!වීරවංස නරියයි කියලා වෙන් කරලා හඳුනාගන්න අමාරුයි. මොකද උන් සියල්ලෝම හූ කියන්නේ එකම විදියට හින්දා! කොහොමත් තිබුනු තත්වයට වඩා යහපත් තැනකට රට ගලා යයි කියලා කියන්න අමාරුයි. එහෙම පැතැලි තීන්දු තීරණවලට යන්න අමාරුයි. අනික මහින්ද වෙච්ච වැරදි හදාගෙන යන කෙනෙක් විදියට නමක් දිනා ගත්තු කෙනෙක් නෙවෙයි. ඒක ඔය එකෙක්ගෙන් වත් දැකිය හැකිදේ කුත් නොවෙයි! කොටින්ම මුං කාට හරි අපිත් ගිහින් කතිරෙ ගහනවා නේ? ඒ කියන්නේ අපිත් හැදිලා නෑ. හැදියාවක් නැති අපි පත් කරණ එවෙඋන් කොහොමද ඇනයො හැදියාවක් ඇතීවුන් වෙන්නේ? මුන් වැරදි හදාගන්නේ කොහොමද දන්නවාද? ගියපාර කන්න බැරි වුනු ටික කන්න පටන් ගන්නවා! වෙනදා කාපුවා මාට්ටු වුනු විදිය ගැන හොඳට හිතලා බලලා මේ පාර අහු නොවෙන්නම කාගෙන කාගෙන යනවා!! ඕක මුන් කොයි එකාගෙත් හැටි! කැත ගෑනිගේ පතිවත වගේ තාම බලයට එන්න බැරි උන නිසා ජෙප්පෝ බේරිලා ඉන්නේ. මට මතකයි පෝලන්තයේ හිටපු කම්කරු නායකයෙක් වුනු ලෙච් වවෙන්සා බලයට පත් උනාම කලකීදේවල්.නිකං මං කියනවට හොයලා බල්න්නකෝ හිට්ලර් බලයට පත්වෙන්න කලින් කලකී දේවල් ගැන?

      Delete
  7. නොපෙනෙන සැබෑව සරලව පෙන්නා දීම ගැන පිං. පුරවැසියෝ වැඩි වැඩියෙන් ඔබේ පෝස්ටුව කියවත්වා!

    ReplyDelete
    Replies
    1. මා සිතුවේ මා සිරිසේන මහත්තයා නම් කරණ්නට මීට වඩා වෙනස් දෙයක් ඉතිරිව තිබුනාදයි කියා? අර කතාවක් තියෙනවානේ"ප්‍රශ්නය තමාකරා එන තුරු පිළිතුර දාර්ශනිකය !' කියා.ඒවගේ අපි කාට කාටත් මෙහේ ඉඳන් පොර ටෝක් දෙන්න පුළුවන්. ඒත් එයට පත් උන එකානෙ ඒකෙ රඟේ දන්නේ. ස්තූතියි. මගේ "ගෝඨා 2020" ලිපියත් කියවන්න. ස්තූතියි!

      Delete
  8. "මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය" දිව්ව හැටි තිබූ පෙළ පොත් කියැවූ අපේ කාලයේ පොත්වල මිසක ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිජ්, ටෙක්ස්ට් බුක්ස් වල නොවේ."

    "ආ , උල් සපත්තුකාරයා මට ඉස්සර උනා නේද ? ඒත් එයාට ටිකිරි අයියාගේ රබ්බඩ නාම්බා විතර හයියෙන් දුවන්න පුළුවන්ද ? මේකේ දුවන එක මහ කජ්ජක් ද ? ඔය ළං වෙන්නේ , තව ටිකයි , තව ටිකයි . ඔය දැන් හොඳටම කිට්ටු වුණේ . මට දිනන්න පුළුවනි . දැන් හරි , දැන් කරට කර මගේ කකුල් පණ නැතිව යන්න එනවාද ? මළත් කමක් නෑ , තව තදෙන් දුවන්න ඕනෑ . දැන් හරි . උල් සපත්තුකාරයා පහු වුණා . මිනිහට මගේ කකුල පෑගෙයි ද ? කකුල් කැඩිලා ගියත් කමක් නෑ , තව හයියෙන් දුවන්න ඕනෑ . දැන් නං උගුර කට හොඳටම වේලිලා . ආ , සපත්තු සද්දේ ළඟම ඇහෙනවා . ආපසු බලන්න හොඳ නෑ . දැන් පටිය ළඟයි . කොනොම හරි ඒක බිඳගෙනම යනවා . පටිය කඩාගෙන ගියාට පස්සේ මැරිලා වැටුනත් කමක් නෑ . හ්ම් , හරි මං දිනුම් ."

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කන්න ක්‍රමයට මේ රට පාලනය කරයි.එකෙක් මහ කන්නය වගා කලහොත් , අනිකා කෙසේ හෝ දගලන්නේ යල කන්නය ගොඩ දා ගැනීමටය.ඇතැම් විට කන්න කිහිපයක් එක දිගටම ගොඩ දා ගැනීමද , අපේ ප්‍රධාන පක්ෂ දෙක පුරුද්දට ගෙන තිබේ.එහෙත් අවසානයේ ජනතාවට උරුම වන්නේ , අළුත් බෝතල් වල පරණ වයින් බීමටය.කුමන පක්ෂය කුමන අවස්ථාවේ බලයට පැමිනියද , ක්‍රියාත්මක වන්නේ ධනවාදී ගෝචර එකම ආර්ථික ප්‍රතිපත්තියකි.ජේ ආර් ජයවර්ධනගේ සිට ප්‍රේමදාස , චන්ද්‍රිකා , රනිල් , මහින්ද සහ මෛත්‍රී රනිල් සුසංයෝගය දක්වාම අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් වූයේ නැත.
    පොඩි එකා ගොඩයන ලොකු ඒකාගේ ගොඩ අඩුවෙන , ක්‍රමයක් කවදාවත් එන පාටක් නැත.පොඩි එකා හැමදාම එකම තැන , ටික ටික එහාට මෙහාට වී සිත සනසා ගනී.එසේනම් ලංකාවේ වෙනස් අර්ථ ක්‍රමයක් සදහා විකල්පය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කොල්ලෝ උඹ දන්නවා ඒ පාඩම! හරිම වටිනවා! ඔයා කියන්නේ කළන; ඒ කාලේ ඇස් කෙවෙනි තෙත් කරගෙන පාඩම බොඳ වෙලයි මම ඔය පාඩම කියෙව්වේ! අපිට ඕන උනේ මුදලි හාමි උල් සපත්තු කාරයා පරයා දිව යනවා දකින්න. මම සුසන්තිකා ඔලිම්පික් දුවනවා බැලුවේ වසිකට බත් කවන ගමන්! එදත් අත මිට මෙලවුනා! දත් කූරු කැවුනා ඒකි දුවන දිවිල්ල දකින කොට. ඒ වගේම ජය සූරිය ගහනවා එන්ගලන්තයේ (මට මතක විදියට ලෝඩ්ස් වලදී) ඩබල් සෙන්චරියක්. ඒකෙ ඕෆ් එකේ හයක් ගහනවා මුගෙ කකුල්දෙකම තියෙන්නේ උඩ! ඒ සියල්ල සමග හිතට එන හඟීම වෙන්න ඕනා "අපේ කම" කියලා කියනවා ඇත්තේ. ඔය වගේ තව සිරා පොරක් ඉඳලා මැරිලා ගියා බිලියඩ් ශූරයෙක්.එතනින් ගියාම මැරතන් කරූ. එයාඅ දුවන් වීඩියෝ ක්ලිප් එකක් නම් මම මගේ පෝසට් එකක එල්ලලාත් තියෙනවා. ඔය වගේ තව සුපිරි පාඩම් දෙක තුනක් තිබුනා. සමහර ඒවා කට පාඩම්."තෙ කෝප්පය", "අද නිවාඩු", "සුබලයාගෙ පින' ඉන් සමහරක්! ඔබගේ දේශපලන දර්ශනය ගැනදක්වා ඇති අදහස ගැන මම වෙනමම ලියන්නම්! ස්තූතියි! මම ඔබට කොමෙන්ටුවක් ලිව්වා. ඒකත් දැන්ම එල්ලන්නම්!ස්තූතියි! විශෙෂයෙන් මේ පාඩම මතක් කලාට!!!!

      Delete
  9. පියාගේ රැකියාව අලුත් උප්පැන්න සහතිකවල තියනවද? එහෙම ඇහුවෙ දැන් ස්වෝර්න් ට්‍රාන්ස්ලේටර්ස්ලාගාව තියන ඉන්ග්‍රීසි පරිවර්ථන සඳහා ගන්න ෆෝර්ම් එකේ ඒ කොටස නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ! අලුත් මම දන්නේ නෑ. මගෙ උප්පැන්නේ නම් තියෙනවා! ඒක පුරවලා තියෙන්නේ"කැලෑ දෙපාර්තමේන්තුව" කියලයි!මැරෙණවා හිනා ගිහිං!

      Delete
  10. Haha it’s so nice thaththi...and thanks for mentioning me 🙈 what actually happened is clear but yet I have no clue what’s gonna happen next. Anyway nice piece of work

    ReplyDelete
  11. හේලි කියල වල්ගාතරුවක් නම් මන්ද.... වෙන කෙනෙක් ගැන නම් අහල තියෙනවා.

    දේශපාලනය ගැන නොලියා දේශපාලනය ලියන එකත් කලාවක්. ඔබේ ලියමන ඒක සපථ කරවනවා. මැදහත් බව කියන්නේ කොතරම් සැපතක්ද?

    ReplyDelete
  12. Why visitors still use to read news papers when in this technological
    world everything is existing on web?

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...