නෙලාගත් අස්වැන්න - අටුව

Friday, June 28, 2024

287. හේමාවෝ අප අත හැර ගියාය . . !


මා මීට පෙර ලියන ලද "පිට කෝට්ටේ ඒ කාලේ 1" සහ "පිට කෝට්ටේ ඒකාලේ 2" යන ලිපි වලම දිගුවක් ලෙස මේ කථාවත්; ඔබ කියවාවි!

මා පිටකෝට්ටෙට සේන්දු වෙන්නේ මාගේ හිතාදර මිතුරු ඒ. ආර්. කුලසිංහ නිසාම මයි. කුලේ මාත් එක්ක ඉස්කෝලේ 8 පන්තියේ සිටම එකට සිටි අයෙක්. ඔහු ගැන මම "සුගත්, කුලසිංහ සහ මම" යන ලිපියේ ලියා ඇත.

පාසලේ; 8B පන්තියේ සිට 9E පන්තියටත් අප ආවේ එකටමයි. 10E පන්තිය කියන්නේ 9E පන්තියේම දිගුවක් නිසා ඒ අවුරුද්දත් අපි හිටියේ එකටම - එක දිගට අවුරුදු 3ක්.

කුලසිංහ පාසලට පැමිණියේ පිටකෝට්ටේ සිට. 

ඒනිසාම මරදානේ නැවතී පාසලට පැමිණි මා; කුලේ නිසාම පිට කෝට්ටේට ආවා කීවොත් නිවැරදියි.

පිටකෝට්ටේට පැමිණ මා නවාතැන් ගත්තේ 560 බංගලා හංදිය පිටකෝට්ටේ ලිපිනයේ. නිවස අයිතිව තිබුනේ අපේ පාසලේ ගුරු මහත්මියකට. ඒ සුමනරත්න ටීචර්ට.

සුමනරත්න ටීචර්ගේ පුතා නාරද.

එකල බොහෝම අහිංසක කුලෑටි චරිතයක්. කතා කලේත් බොහෝම සෙමෙන් කාටවත් ඇහෙන නෑහෙන ගානට. නාරදගේ ලොකු අක්කා බඳින්න ඒ ගෙදරට අනුර ප්‍රියදර්ශණ යාපා උන්නැහැ ගෑටුවෙත් ඔය කාලෙමයි.

මගේ මතකය නිවැරදිනම් යාපා නීතීඥ්ඥයා පෙරකදෝරු වැඩ ඉගෙන ගත්තේ නාරදලගෙ තාත්තාගෙන්. 

උන්නැහැ තමයි ඒකාලේ; වැඩිම ඔප්පු ගනනක් ලියපු නොතාරිස් ලෙස කප් ගසා සිටියේ.

නාරද පසු කලෙක ලේක් හවුසියේ ලොකු පුටුවකට බර උනේ අනුර ප්‍රියදර්ශණ යාපා ජන මාධ්‍ය ඇමතිව සිටි කාලේ උනත් ඒ ගැන කුකුසක් ඇති කර නොගන්නා ලෙස මා ඉල්ලමි. අනුර;  තෙල් ඇමතිවූ අතර නාරදගේ බිරිඳ එහි නීති නිළධාරිණිය වූයේ නම් ඇයගේ දක්ෂතාවයට බවයි තතු දත්තෝ පවසන්නේ. මාගේ මතකය නිවැරදිනම් ඇය පත්වන්නේ ඇමතිට පෙර බවයි මට මතක!

560 නිවස පිහිටා තිබුනේ කෝට්ටේ ප්‍රධාන පාරෙන්  හා බංගලා හංදියෙන් බැද්දගාන දෙසට දිවුනු පාරෙන් ලඟාවිය හැකි ලෙස. ප්‍රධාන පාරේ සිට මීටර 25ක් පමණ කුඩා පෞද්ගලික පාරක ඇවිද යායුතුව ඇති අතර බැද්දගාන පාරට යාබදවයි.

නාරදගේ පියාගේ (හෝ මවගේ) අම්මා හෙවත් ආච්චි සිටියේත් එම නිවසේමයි. ඇය තරමක විශාල දේහයකට හිමිකම් කියන ලද ස්ත්‍රියක්. ඇන්දේ රෙද්ද සහ හැට්ටය!

ඇයගේ මුල් ගෙවල් පිහිටා තිබී ඇත්තේ මහගම සේකර කලා කරුවාගේ නිවසට යාබදව.

වරක් නාරදගේ පොඩි අක්කා ඒ පිළිබඳව මාහට පවසා ඔන්න බලන්න, අහගෙන ඉන්නකෝ කියා මහගම සේකර පිළිබඳව ආච්චිට ඇසෙන සේ මාහට යමක් පවසයි.

"මල්ලි; මහගම සේකර ඉඳලා තියෙන්නේ මේ ආච්චිලාගේ ගෙවල් කිට්ටුවනේ!"

"ඇත්තද ආච්චි!?" මා විමසයි.

"කවුද මහගමයද!? ඕකුං රදව් නේ!?" ආච්චි රටක් වටිනා ශ්‍රේෂ්ඨ කලාකරුවා පිළිබඳව කියන්නට පටන් ගනී. ඒ මම සේකර පිළිබඳ ඒ මැහැල්ලගෙන් විමසූ පළමු හා අවසන් අවස්ථාව විය!

මේ මොනවා කිව්වත් මා එම නිවසේ සිටියේ මාස කිහිපයක් පමණයි!

ඒ කොහොම උනත් නාරදලාගේ ගෙදර මාහට ඒතම් ප්‍රිය මනාප තැනක් නම් උනේ නෑ.

එයාලටත් මා; ඒ තරම් ප්‍රියමනාප අයෙක් ලෙස නොවන්නට ඇති. 

මා නාරදලාගේ නිවසින් එළියට එන විට යන්නට එහෙමට කියා තැනක් නොතිබුනේය.

මා කුලේව හඳුනාගන්නා කාලයේ  කුලේ, ඔහුගේ ලොකු අක්කා සහ පොඩි අක්කා ජීවත් වූයේ බංගලා හංදියට කිලෝ මීටරයක් පමණ එපිටින්; එපිටමුල්ල පාර ඉදිරියේ වූ ව්‍යාපාරික නිවසක පසු භාගයේය.

ඔවුන් ගැනද වචනයක් ලිවිය යුතුමය. එම නිවසේ පිරිමි දරුවන් දෙදෙනෙකු හා ඊට මැදිව දියණියක් සිටියාය. ඇය අපගේ සමවයසේ වූ අතර නම තුසිතාය!

වැඩිමහළු තරුණයා වසන්ත වූ අතර බාලයා තේමිය පසු කලෙක මෝටර්සයිකල් අනතුරකින් මෙලොව හැර ගියේය.

මෙම නිවසේ වූ ව්‍යාපාරය කුඩා හාර්ඩ්වෙයාර් පොඩ්ඩකි!

සිමෙන්ති කොට්ටයක් දෙකක්, හුනු මිටි තුන හතරක්, කලවමේ ඇන රාත්තල් හතර පහක් එහි විය. වහලයේ ලනු කැරළි කිහිපයක් අව්වට වේලෙමින් පැවතුනි.

මිදුලේ අයිනකට වන්නට මුළු ගැන්වී ඇති මැටල් කියුබ් එකකට; වැළි කියුබ් එකහමාරක් දෙකක් තනි රැක්කාය.

මෙහි විකුණන්නට තැබූ "පෝර්ට්ලන්ඩ්" සිමෙන්ති නිසාම තුසිතාට වැදී තිබුනු කාර්ඩ් එක "පොර්ට්ලන්ඩ්" විය.

කුලේගේ හිතේ පොර්ට්ලන්ඩ් පිළිබඳව කොලොප්පු ස්වල්පයක් තිබුනද එය කොන්ක්‍රීට් එකක් දක්වා වැඩි දියුණු කරගන්නා ආකාරය කුලේ දැන නොසිටියේය. 

ඒවාට නිබඳ අත් උදව් කකුල් උදව් අදහස් යෝජනා අප වෙතින් කුලේට සැපයූවද කුලේ තම ගොළුබෙළි කටු ජීවිතය වෙනස් කර ගැනීමට උනන්දු නොවීය!

කුමණ හේතුවක් නිසා හෝ කුලේ සහ ඔහුගේ සොයුරියෝ එතැනින් මීටර 100ක් පමණ මෙපිටින් තිබුනු නිවසකට ගාල් වූයේත් මේ කාලයේදීම වගෙයි මතක. ඒ 585B ප්‍රධාන පාර පිටකෝට්ටේ ලිපිනයට.

මෙම නිවස පිහිටා තිබුනේ නවීන නිවසක් පසු පස.

නවීන නිවසේ සිටි අය එම නිවස සාදන කාල්යේදි ජීවත්වූ තාවකාලික නිවස මේ වන විට කොටස්  තුනක් ලෙසට වෙන් කොට  කුළියට දී තිබුනි. එම නිවස එනම් තාවකාලික නිවස උළු සෙවිළි කොට ලෑලි වලින් ආවරණය කොට තිබුනි!

එහි ඉදිරිපස තරුණ යුවලක් කුඩා දරුවෙකු සමගද අනෙක් පස කුලේලා ද සිටි අතර මෙම කොටස් දෙකට මැදිව පිහිටි කුඩා කාමරය මාගේ ඊළඟ නැවතුම් පොළ විය.

ඉදිරිපස නිවසේ සිටියේ ලක්ෂ්මන් ද සිල්වා මහතාත් හේමලතා ජයවීර මහත්මියත්ය. ඔවුනට දරුවන් සිව් දෙනෙකි. ජේෂ්ඨයා රොෂාන් වූ අතර සුජීව, නිපුනි සහ ප්‍රසාද්(කුකූ)  ඊට පසුපස විය!

රොෂාන් මට වඩා වසරකින් හෝ දෙකකින් බාල විය. පිරිමි ළමුන් තිදෙනාම නාලන්දයට ගිය අතර දියණිය අනුලාවියක් විය.

ලක්ෂ්මන් අංකල් යනු කිලෝ 150 ක පමණ යෝධ පුද්ගලයෙකි. ඔහුගෙ බිරිඳ වුවද විශාල ශරීරයකට හිමි කම් කී පියකරු මෙන්ම කරුණාවන්ත තැනැත්තියක් වූවාය.

මා මෙම නිවසට ඇරළවන්නට මාගේ අම්මා පැමිණියාය.

ඇය; මා හේමලතා මහත්මියට හෙවත් හේමා ඇන්ටීට භාර දුන්නේ ලොකු වගකීමක් ලෙසිනි. හේමා ඇන්ටී මා භාර ගත්තේ සැහැල්ලුවෙනි!

එසේ මා භාරදී අම්මා යටියන්තොට ගොස් පසු දිනම නැවතත් පැමිණියාය!

ඒ හේමා ඇන්ටී හමුවීමටය!

මන්ද මාගේ කාමරයට යාබද නිවසේ සිටින තරුණ යුවල කවුරුන්ද එම තරුණිය පිළිබඳව අම්මාට සැක හැර සහතිකයක් අවශ්‍යවූ බැවිනි. හේමා ඇන්ටී; අම්මා සමග කෙසේ හෝ වැඩේ බැලන්ස් කරගෙන සිටියාය. අම්මා සැනසුම් සුසුම් හෙලා ආපසු හැරෙද්දී "බය වෙන්න එපා! මටත් මේ වගේම දරුවෝ ඉන්නවානේ!" කියා අම්මාට පවසනවා මට අද මෙන් මතකය.

 කාලය ගෙවී යන්නට පටන් ගත්තේය!

ඒ වසර 1983 - 84 විය යුතුය. 83 ජාතිවාදීන් විසින් කොළඹ සහ අනෙකුත් ගම් නියංගම් ගිණි තබන කාලයේ මා සිටියේ 585 නිවසේය. උදෑසන පාසලට එන විට බොරැල්ල නගරය යකා නැටූ පිටියක් මෙන් විය. නගරයේ කඩ සාප්පු රාශියක් තැන තැන ගිණි ගෙන තිබුනි. ස්වර්ණාබරණ සාප්පු, බාබර් සාප්පු, හෝටල්, තෝසෙ කඩ වැනි එකී නොකී මෙකී හැම ආකාරයකම ගොඩනැගිලි සහ ව්‍යාපාර ගිණි ගනිමින් හෝ ගිණිගෙන අවසන් වී දුම් දමමින් විය! ඒවන විටත් පිරිස; කඩ සාප්පු ඇතුලට ගොස් සුන්බුන් අවුස්සමින් වටිනා කියන දෑ ඇත්දැයි සෝදිසි කරමින් විය!

එක් සාප්පුවක තිබුනු කිසියම් රාමුකරණ ලද පිංතූර තුන හතරක් එකක් පිට එකක් වෙන්න ගොඩ ගසා තිබුනි. එක් අයෙකු පැමිණ උඩින්ම තිබුනු පිංතූරය නොපිට හරවා බැලුවේය. එහි සිටියේ නුවණට අධිපති ගන දෙවිඳුගේ පිංතූරයකි. එය තවත් සිංදු දෙවියකු හෝ දෙව්දුවකගේ පිංතූරය මත තබා තිබුනේය. ගන දෙවිගේ පිංතුරය විවර වීමත් සමග දෙවියන් දෙදෙනෙකුගේ නෙත් සර පෙරකී පුද්ගලයා වෙතට යොමු විය. පිංතූරය විවෘථ කලාටත් වැඩි ඉක්මණකින් ප්‍රවේසමෙන් නැවත දෙදෙනාට දෙදෙනා මුහුණට මුහුණ සිටින සේ එය තබා එතැනින් ඉවත්වීමට ඔහු කටයුතු කලේය. දෙමළාට කෙසේ වෙතත් දෙමළාගේ දෙවින්හට නොම්මර එකේ භය පක්ෂ භාවයක් ඔහු කෙරෙන් පෙනුනි!

නගරයේ තැනින් තැන පොලිස් නිළධාරීන් සිටි අතර ඔවුන්ගේ උරහිසෙහි රයිපල එල්ලාගෙන සිටියහ. එක් ගිණිගත් ස්වර්ණභරණ සාප්පුවකින් එළියට ඇද දමා තිබුනු සුන්බුන් අතර තිබුනු කුඩා කරාඹු පෙට්ටි ඇහිඳ ඒවා විවෘථ කරමින් සිටිනු මා දුටුවෙමි.

එතෙක් විවෘථ කිරීමට නොහැකිව තිබුනු ඉදිරිපස "සැමුවෙල් ඇන්ඩ් සන්ස්" අකුලන දොරවල්; පොලිස් නිළධාරීන් ඉදිරියේම යකඩ ඉනි, නාරාසන, ලන්ඩා ආදිය යොදා කඩමින් විය. 

මේ සියළු දේ දකිමින් බලමින් මා බොරැල්ලේ රස්තියාදු ගසා ආපසු පිටකෝට්ටේට කඩින් කඩ තිබුනු බස් කිහිපයක නැගී සේන්දු විය.

ඒවන විට එපිටමුල්ලේ ගෙවල් කිහිපයක්ම ගිණිබත් කොට තිබුනි. මේ සියල්ල වනාතර තුර මමත් කුලසිංහත් 585 නිවසේ වාසය කරමින් විය. 

ලක්ෂ්මන් අංකල්ට තිබුනේ බජාජ් ඉස්කූටරයකි.

බොහෝවිට බොහෝ බොහෝ තැන්වල අංකලුත් ඇන්ටීත් ගමන් ගියේ එයිනි. ඔවුන් දෙදෙන ඉස්කූටරයේ ගමන් ගන්නවා බජාජ් කොම්පැණිය දුටුවානම්; ඔවුන්ව ස්කූටර් ඇඩ් එකට ගන්නවා නොඅනුමානය. එම ස්කූටරයේ අමතර රෝදය සවිකොට තිබුනු බ්‍රැකට් එක බොහෝ තැන් වලින් ඉරිතලා තිබුනි. ඒ ඔවුන් දෙදෙනාගේ සිරුරු වලට ඉඩ ලබා දෙන්නට එය අනවශ්‍ය තරම් පසුපසට තෙරපීමෙන් සිදුවූවක් යැයි මා විශ්වාස කරමි.

ටික කලක් ගතවන විට මාගේ වැඩිමහළු සොහොයුරියද මගේ කාමරයට ගාල්වූ අතර තවත් කලකින් මාගේ සොහොයුරාද ටික කලකට එයට එක්විය.

මේ සියල්ල සිදුවනාතරතුර හේමා ඇන්ටී; අට දෙනෙකුට කෑම සාදමින් සිටියාය. ඇය ඉතා කඩිනමින් උයන කෑම රසවත් විය. ඒවා බැලූ බැල්මට රසවත් බවක් නොපෙනුනද කෑම ගැනීමේදී රස නහර පිනා ගියේය. 

රාත්‍රී අට වන විට ආහාර සූදානම්ව මුළුතැන්ගේයි පසෙකවූ රාක්කයේ ගොඩ ගසා තිබුනි. ඒ කෑම පිඟන් එකම මොඩලයේ හා එකම වංසයේ ඒවා විය. ඇ‍යගේ දරුවන්ටද අපටද ලබා දුන්නේ එකම මෙනුවකි. එකම ප්‍රමාණයකි. 

ලක්ෂ්මන් අංකල් හා හේමා ඇන්ටී කිසිදු දිනෙක රණ්ඩු සරුවල් වෙනවා අප දැක නැත! ඔවුන් දෙදෙන බොහෝ සවස් කාල වලදී මිදුලේ කොනක මල් ගස් වලින් වසංවූ තැනෙක වූ ගල් බංකුවක වාඩිවී කියවමින් විය. ඒ වෙලාවට ලක්ෂ්මන් අංකල් මධුවිතක් තොල ගාමින් සිටියි. බොහෝ විට ඇන්ටීටද වඩියක් දෙන්නට ඇතැයි අප සැක කලෙමු!

එක් වරක් ලක්ෂ්මන් අංකල් මා හට අමතා ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙස පැවසීය! ඔවුන්ගේ නිවසේ වූ කුඩා පොත් එකතුවේ ඇති ඉංග්‍රීසි පත පොත රැගෙන විත් කියවන ලෙස ඔහු මා හට කීවේය! ඊට කිසිවෙකුගේ අවසරයක් අනවශ්‍ය බවත් ඔහු අවධාරණය කලේය.

මේ සියල්ල අතරේ රොෂාන්ලා සුජීලා වැඩෙමින් විය. කුලසිංහ තම අධ්‍යාපන කටයුතු වල මෙන්ම කලා කටයුතු වලත් නියැලිනි. මේ සුනිල් එදිරිසිංහ හා එඩ්වර්ඩ් ජයකොඩි අපගේ යොවුන් සිත්වලට ඇමතූ කාලය විය.

"ඔබේ සිතට පුන්සඳ පෑයුවා වගේ

සිනා ඉකිණි මල් පිපුනා දෙව්ඨ දිගේ

එදා නැගුණු ආදර කැක්කුමට මගේ 

ජාත් ජාති නුඹ මට වාසනා නගේ"

සුනිල් තම සුනිල සවරයෙන් ගයයි.


"දොඹ මලින් මලට රේනු තලන 

තුරුණු බඹර රැහේ 

මද මතින් ඉපිල රඟනු බලා

මල් මුවරද සැලේ"

එඩ්වර්ඩ් තම සරාගී ස්වරයෙන් ගයයි.

මේ සියළු ගායනා අපගේ යොවුන් සිතුම් පැතුම් සමග සංකළණයවී ඇසෙයි. අපගේ ජීවිතවල නැවුම් අදහස් බලාපොරොත්තු අරළු බුළු නෙල්ලි සමග මේ ගායනා පෑහෙයි.

කුලේ මේ සියල්ල ග්‍රන්ථාරූඩ කරයි! 

කුලේ සිංදු හය හත්සීයක් පොත් වල ලියා තැබුවේය. කුලේ සුනිල්ට කැමතිවන විට මා පෙම් බැන්දේ එඩ්වර්ඩ්ටය. ඒ කාලය වන විට එඩ්වර්ඩ් සර් අපගේ පාසලින් ඉවත්ව කැල්ණියේ ගුරුකුළ විද්‍යාලයට ගොස් සිටියේය.

රොෂානුත් සුජීත් මමත් කුලේත් සමහර සන්ධ්‍යාවන් වලදී කියවමින් ගේට්ටුව අසල සිටියෙමු.

බොහෝ බොහෝ දේ කතා බස් කලෙමු! මොනවද අපි කතා නොකලේ?

තවත් ටික කලක් ගතවන විට රොෂාන්ට වඩා සුජී මාහට හිතවත් වී සිටියේය. සුජීගේ හිතවතුන් වූ ෂානක (මොහු ගැන තැන තැන මා ලියා ඇත!), ප්‍රදීප් අබේනායක, රවී පනාමල්දෙනිය, චන්දන මීගම ආරච්චි හෙවත් මීයා වැනි මිතුරන් මගේද මිතුරන් වී සිටියෝය. 

පසුකලෙක මිය ගිය බව ආරංචිවූ ඩමියා, පැට්ටා, පිට්ටුවාද කලින් කල ආව ගිය මිතුරෝය.

සුජීගේ ඥාති සොයුරු මනිශීන් හෙවත් මනීද අප සමග බොහෝවිට පෑහුනි.

මේ කාලය වන විට මමත් කුලේත් උසස් පෙළ කිරීම අරඹා ටික කලක්ය. කුලේ ජීව විද්‍යා අංශයද මා ගණිත අංශයද තෝරාගෙන තිබුනි.

එකල අප පාසැලට ගියේ 168 (නුගේගොඩ - කොටහේන ), 179 (උඩහමුල්ල - බොරැල්ල ) 153 (නුගේගොඩ - නව ජැටිය ) ආදී බස් වල විය. 168 පාසැල් බසයක් තිබුනද එයට කලින් යන්නට හැකි සාමාන්‍ය බසයක් පැමිණිය හොත් ඒවායේ යන්නට අප පුරුදු වී සිටියහ. පාසැල් බස් රථයේ පැමිණීම අවාරෙට දෙල් වැටෙන්නාක් මෙන්ද වූ බැවින් අප බොහෝ විට පාවිච්චිවූයේ සාමාන්‍ය බස් රථ සමගය.

එකල මෙම බස් රථ වල ගෝතමී, ආනන්ද බාලිකා, ක්ලිෆ්ටන් අතරින් පතර මියුසියස් බාලිකාවෝද ගියේ අප අතරමය.

ඒ අතර; හිමිදිරියේ පිණි කැට මෙන්වූ සුන්දර ළමිස්සියන් (මේක ඉතා ආදරණීයව ලියැවුනු වදනක්) මෙන්ම අපව පයිසෙකට මායිම් නොකල උඩිස්සියෝද වූහ! ඒවා වටා ගෙතුනු හැදුනු ලියැවුණු ප්‍රේම කථා, විහිළු කථා,  වීර කථා බොහොමයකි. මැරෙන්නට කලින් ඒවාද ලියා තැබීමට සිතා සිටිමි. (කොහොමත් ඒවා ලියූ පසු කා අතින් හෝ මරණයට පත්වීමට හෝ සිය දිවි හානි කර ගැනීමට සිදුවිය හැකි බැවින් මරණයට කිට්ටු කොටගෙනම ලිවීම සූදානම් ශරීරය ය!)

මේ සියළු ආදරණීය සහ සබඳතා සමග අප 585හේ වැඩෙමින් විය.

හේමා ඇන්ටී වඩාත් ආදරය කලේ සුජීට යැයි මට සිතේ. 

සුජී යනු ඕනෑම ගැටළුවක් මැද සැන්විච් විය හැකි ඕනෑම එපා කරපු හොරිකඩයෙකු සමග එකට ජීවත් විය හැකි අයෙකි.

"අපෝ මචං ඌත් එක්ක ඉන්න බෑ . . !" කියන්නේ ඉඳලා අවසානයේ විනා සිටිනාතර තුර නොවේ.

උසස් පෙළ ලියන්නට ආසන්නයේ මා 585ට ආයුබෝවන් කියා පිටවූවත් අපගේ හෘදයාංගම බැඳීම එළෙසින්ම විය.

මා උසස් පෙළ කොට අවසන් වීමත් සමග මාගේ හිත මිතුරු චන්දන අයියා (චන්දන කීර්ති බණ්ඩාර ) හරහා නව සමසමාජ පක්ෂයට හිත මිතුරුකම් පෑමට පටන් ගත්තේය.

එක් වරක් එම පක්ෂයේ කුමන හෝ විදියේ ජාතික  තලයේ උත්සවයක් කොළඹ නව රඟහලේ පැවැත්වීමට යොදාගෙන තිබුනි.  ශාලා ප්‍රවේශයට ඇතුළුවන ගේට්ටුව අසල මමත් මගේ පසුපසින් පැමිණි සුජීත්; පක්ෂයෙන් පැවරුණු රාජකාරීමය කටයුත්තක යෙදී උන්හ. එක වරම සුජී "අර බලහංකො අර . . ." පාරේ යන කිසිවෙකු හෝ පෑවේය. ලක්ෂ්මන් අංකල් කුටු කුටු ගාමින් තම ස්කූටරයේ නැගී එතැන පසුකරමින් යයි.

සුජී ගෙදර ආ පසු ඔහුට කථා කොට; වයසින් වැඩී මෙම නිවසින් පිටවන තුරු දේශපාලනය නොකරණ්නට උපදෙස් දී තිබුනද කිසි දිනෙක මා හට කිසිවක් නොකීවේය!

සුජීත් අබේත් ශානකත් පාසලේ පිහිනුම්, ජීවිතාරක්ෂක හා ශිෂ්‍යභට කටයුතු හා එක්ව සිටියෝය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ පාසල් අධ්‍යාපනයෙන් පසුව හමුදා සේවයට එක්වීමටය. 

ශානක උත්සාහ කලේ ගුවන් හමුදාවට හෝ කොතලාවල ආරක්ෂක පීඨයට යොමුවන්නටය. මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් අංකල් ෂානකව පිටුපස වාඩි කරවගෙන තම ස්කූටරයෙන් සමහර උදෑසනවල 585න් පිටව යනවා අප දුටුවෙමු. ෂානක ඔහුගේ බලාපොරොත්තුවේ පරිදිම කොතලාවල ආරක්ෂක පීඨයට ඇතුළුවීමට හැකිවිය. අබේද යුධහමුදාවට ඇතුලත්ව ගජබා රෙජිමේන්තුව සොයා ගොස් නැවතුනි. සුජීට නාවික හමුදාවට ඇතුලත්වීමට ඔහුගේ උස හරස් විය!

ඒ පිළිබඳ ආරංචිය සුජී මා සමග කී බිඳුනු ස්වරය අදටත් මට ඇසෙමින් ඇසෙමින් වාගේය!

එය අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ තත්වයකි. එහෙත් එය එසේම විය! 

ෂනකගේ පියා මිය යන කාලය වන විට ඔවුන් බංගලාව හංදියෙන් ඈත්ව සිටියහ. 

මා වෙනත් පෝස්ටුවක ලීවා මෙන් ෂානකලා ජීවත්වූයේ CMS ගුරු නිවාසයේය. මවගේ විශ්‍රාම යෑමත් සමග ඔවුන් බණ්ඩාරගම - හොරණ පැත්තට සංක්‍රමණය විය!

ෂානකගේ පියාගේ අවමගුල් උත්සවය වෙනමම ලිවිය යුතු කථාවකි. ඒවන විට මා සේවය කලේ ගල්ගමුවට නුදුරු අඹන්පොල ප්‍රදේශයේ වූ අතර මා වෙනුවෙන් මාගේ බිරිඳ (ඒ වන විට අප විවාහ වී නොසිටියෙමු!) එයට සහභාගී වූවාය. එම අවස්ථාවට සක්‍රීයව සුජී සම්බන්ධවී සිටියේය.

කාලය සෙමෙන් සෙමෙන් නොව පිමි පණිමින් ඉගිල ගියේය.

වරක් මා 585ට ගොඩ වැදුනු මොහොතක ලක්ෂ්මන් අංකල්ව මුණ ගැසුනි. ඔහු සිටියේ සරමක් ඇඳ උඩු කය නිරාවර්ණය කරගෙන මධුවිතක් අතැතිවය.

"ඔයා OBA එකට බැඳිලද? . . . . ?"

"නෑ නෙ අංකල් තාම . . !"

"අනිවාර්‍යයෙන්ම බැඳෙන්න ඉක්මනින්ම. ඔයාට දරුවෙක් ඉන්නකොට ඉස්කෝලෙට දාගන්න පුළුවන්නේ . . !"

"ඔයාට තාම රස්සාවක් නැද්ද?"

"මම STF එකට දැම්මා අංකල්!"

"හරි මම බලන්නම්කෝ!"

මා එදිනම, පසු දින හෝ එම සතියේම කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයට බැඳුනි.

කුළුඳුලේ උපන් වසිකට ආශ්චර්‍යමත්ලෙස පාසලක් ලැබුනේ එදා ලක්ෂ්මන් අංකල්ගේ ඔවදනට ස්තූති වන්ත වෙන්නය.

මාගේ විවාහයේදී මා වෙනුවෙන් සාක්කියට අත්සන් කිරීමේ ගෞරවය මම එතුමාට ලභා දුන්නෙමි. එදින ලක්ෂ්මන් අංකලුත් හේමා ඇන්ටීත් සුජීත් පන්නිපිටියේ බිරිඳගේ නිවසට පැමිණියහ!

මාගේ විවාහයෙන් කෙටි කලකට පසුව; ෂානක හා මා අතර මිතුරු බව දැඩිව ගොඩ නැගුනු යුගයක සුජීවත් අබේලාවත් රවීවත් ටිකෙන් ටික ඈත් විය. එය සිතා මතා කල දෙයක් නොවුනද එය එසේ නොවන්නට කටයුතු කිරීමට මාහට හැකියාවක් තිබුණු බව මට මේ මොහොතේ සිතේ.

එක් දිනක් කිසියම් සඟරාවක හෝ පුවත් පතක අමෙරිකාවේ බොස්ටන් නුවරදී ගැනුනු; විස්සක පමණ පිරිසක් පෙනී සිටි  වර්ණවත් සමූහ ඡායාරූපයක් මා නෙත ගැටුනි.

එහි වම් පස පහල කෙළවරේ (මගේ මතකයේ හැටියට බිම ඇණ තියාගෙන වාගේය!) දන්නා කියන ආදරණීය මුහුණක් විය. ඡායාරූපයට යටින් පිරිස නම් කර තිබුනු අතර මගේ සැකය තහවුරු කරමින් එම රුව හඳුනා ගත්තෙමි. 

"Sujeeva De Silva"

"අම්මට සිරි අපේ සුජී බොස්ටන් වල!"

"බොස්ටන් නුවර" මා හට ආගන්තුක නොවුනේ කියැවීමෙන්ය. "බොස්ටන් තේ සංග්‍රහය" මා කියවා තිබුනි.

"අම්මට සිරි සුජී ඇමෙරිකාවේ!" මා නැවතත් උච්චාරණය කලෙමි. ප්‍රථිරාව නැංවූවෙමි. එම ප්‍රවෘථිය හිතට ගෙන ආවේ දුකක්ද සතුටක්ද කියා බෙදා වෙන් කර ගත නොහැකිවිය. සුජී අපෙන් ඈත්ව ගොස්ය.

රැකියාවක් නොකල හා රැකියාවක් කලද ප්‍රමාණවත් වැටුපක් නොලද සමයේ 585ට ගිය සෑම මොහොතකම මා සුජී සමග ඔහුගේ කාමරයේ දොඩමළුවී සිටින විට සුජී ඔහුගේ බත් පත හෝ වෙනයම් ආහාර වේලක් හෙවත් පිඟාන  කාමරයටම රැගෙන එයි!

585හේ කාමර තුනකි. සුජී සිටියේ රොෂාන් සහ කුකූ (ප්‍රසාද්) සමග එක කාමරයකය.  එක් කාමරයක සුජීගේ නංගී හා මහන ආච්චි සිටි අතර අනෙක් කාමරයේ ලක්ෂ්මන් අංකල් හා ඇංටි සිටියෝය. මා පෙර සඳහන් කල; මිදුල කොනේවූ ගල් බංකුව පිහිටා තිබුනේ අංකල් හා ඇංටිලාගේ කාමරයට යාබදවය.

මා එහි ගිය අවස්ථාවලදී; කුකූලා රොෂාන්ලා මේසයේ සිට ආහාර ගන්නා විට සුජී ඔහුගේ ආහාර පත රැගෙන සුජීලාගේ නිදන කාමරයට පැමිණ  ආහාර සලාකය මා සමග කාමරයේ බෙදා හදා ගත්තේය. 

බොහෝ විට මා පැමිණි බව දැන ගන්නා හේමා ඇංටී ඔහුගේ පිඟාන යන්තමින් හෝ තර කිරීමට උත්සාහ ගන්නට ඇත. එය එසේ උවද නොවූවද අප බෙදා හදාගෙන එක් බත් පත කෑවෙමු.

අපෙන් ඈත්ව දුරු රටකට ගොස් ඇත්තේ එසේ එක බත් බත බෙදාගෙන කෑ මිත්‍රයාය, සොහොයුරාය, සහෘදයාය!

ඔහු මෙරටින් යන බවක් මා දැන් නොසිටියෙමි. 

මා නොව ෂානක පවා දැන සිටියේ නැත!

එය එසේ වීමට ඕනෑවටත් වඩා හේතු තිබුනි. ෂානකත් මාත් වෙනමම මිත්‍ර සංගමයක් අටවාගෙන සිටි අතර ඊට සුජී ඇතුළු අනෙකුත් පිරිසට දොරගුළු වසා තිබුනි. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ඕනෑම අයෙකු සමග "ජෙල්" වී සිටිය හැකි සුජීගේ අවුලක් නොව වෙනත් වෙනත් මිතුරන් සමග ෂානකහට තිබූ දුරස්ථ භාවයය!

බොහෝ විට සුජීව යනු එක් තනි කේවල චරිතයක් නොව මිතුරු සමාගමකි! ඒ නිසාම එම සමාගමේ කිසිවෙකුගේ හෝ නොගැලපීමක් මත එම සමාගමම ෂානක වෙතින් ප්‍රථික්ෂේප වූ බවක් මාහට හැඟේ.

එහෙත් එය එසේ නොවන්නට මාහට අතර මැදියෙකු ලෙස කටයුතු කිරීමට නොහැකිවූයේ මන්දැයි විටෙක සිතේ!

මෙම සටහන පෙල ගැස්වීමට කාල වකවානු හා රූප රාමු කළවම්ව ගොසිනි.

මේ අතර අප දරුවන් ලැබුවෙමු ඔවුන් උස් මහත් කලෙමු. මාගේ මවද පියාද මිය ගියෝය. එක් අවස්ථාවක ලක්ෂ්මන් අංකල් රෝගාතුරව සිටිනා බව මා හට දැන ගනට ලැබුනි. මා එහි යන විට ඔහුට මා හඳුනා ගැනීමට නොහැකි තත්වයක පසුවිය!

ඔහු වැතිර සිටියේ ඔවුන්ගේ නිදන ඇඳට සමීපව, එක්ව තිබුනු කුඩා; වට කල ඇඳකය. 

තම ආදරණීය බිරිඳ සමග නිදි සුව විඳි සයනයෙන් වෙනත් එසේම වටකල යකඩ ඇඳකට ඔහුව යොමුකල අවස්ථාවේදී "ඇයි ඔයගොල්ලො මෙහෙම කරණ්නේ? පව්කාර වැඩ කරණ්න එපා . . !" කියමින් ඊට තම අකමැත්ත නොකමැත්ත පලකල බව හේමා ඇංටි ඉතා දුක්බර සවර්යෙන් අප සමග පැවසුවාය.

"මෙන්න ඔයාව බලන්න මංජුල ඇවිල්ලා" ඇංටි එසේ කීවද ඔහු ඊට ප්‍රථිචාර නොදැක්වීය. සුජී සමග ගත කරණ්ණට බොස්ටන් නුවරට ගිය මීට වසර 13කට පෙර එහි සිටි වෙදැදුරෙකු විසින් අංකල්ගේ අසනීපය සොයාගෙන තිබුනි. ඔහු මියගියේ පිළිකාවක් උත්සන්න වීමෙනි.

එකල; සති අන්ත දිවා කල මා සුජීව හමුවීමට ගොස් ඔහුව ඔහුගේ කාමරයේ විපරම් කලවිට ඔහු නොමැතිබව පසක් වූ විට සෙමෙන් අංකල්ලාගේ කාමරය දෙස බලමි. එකල ඔවුන් හය දෙනා එකම සයනයක වැතිර වැළඳ සිටිනු මා බොහෝ විට දැක ඇත්තෙමි. සයනයේ පලල් අතට "කිඹුලා බනිස්" අහුරා ඇති ආකාරයට ඔවුන් එක් පවුලක් සේ සුවෙන් සාමෙන් ආදරයෙන් සිටි ආකාරය මගේ  සිතට එවෙලේ ක්ෂණිකයෙන් මතක් පසක් විය. 

මිනිසෙකු තම අවසන් මොහොතේදී තමාගේ නිවසින්, කුටියෙන්, කුටුම්භයෙන්, පවුලෙන් වෙන් කිරීම ඔහුට කෙසේ දැනෙනවා ඇත්ද?

එය සාපේක්ෂ සිතුවිල්ලකි.

තම පවුලට ඇති සහ තිබුනු සහ සම්බන්ධතාවය හා ඔහු තුල එම කණ්ඩායමට තිබුනු හා ඒ මොහොතේ තිබෙන බැඳීමට අනුව එය වෙනස් විය හැක!

ලක්ෂ්මන් අංකල්ගේ අවසාන වැකිය ලෙස මා අසා ඇත්තේ එයයි. සත්තකින්ම 

 ආදරණීය සැමියෙකුගේ ආදරණීය ප්‍රකාශයකි. 

නැවතත් සුජීව මා සමග තිබුනු මිත්‍රත්වය යාවත් කාලීන වූයේ වසර දෙකකට පෙරාතුව එක් අප්‍රේල් මසකදීය. අහම්භයක් ලෙස ෂානකද තම සේවය කල මැදපෙරදිගින්  මෙරට පැමිණ සිටියේය. 

එදින අප තිදෙන වසර නොව දශක ගනනාවකින් එකට හමුවිය.

මමත් ෂානාත් සුජීත්. 
ඒවන විට ඔහු ආචාර්ය ෂානක වී සිටියේය.

ඒ දෙහිවල වෙරළ මායිමේ වූ Pink Salt අවන්හලේදීය. අප එකි නෙකා වැළඳගෙන බොහෝ වේලාවක් සිට කතා ඇරඹූහ.  

අප බොහෝ වෙලාවක් එහි රැඳී සිටිමින් පැරණි මතක අතරේ ගිලුනෙමු. සීතල බීර වඩි ගනනාවක් බොමින් අප අපගේ වර්ථමාන දේවල්ද ඉදිරි බලාපොරොත්තු පිළිබඳවද කතාකරමින් පැය හතරක් පහක් එහි සිටියෝය.

දෙහිවලට මා ඇරළුවේ වසික විසිනි.

ඒ දිනවල මාගේ පුතු වසිකද මෙරටට පැමිණ සිටි බැවින් ඔහුව මාගේ මිතුරන්ට පෑමට හැකිවිය.

මාගේ ජීවිතයේ පසුව ගිය මං පෙතේ පසෙක තිබුනු පහන් කනු දෙකක් වසික බොහො කලකට පසු දුටුවේය. වසික කුඩා කල ෂානකව හොඳින් දැන හැඳින සිටි අතර වසිකගේ පරමාදර්ශී චරිතය වූයේ ෂානකය. වසික උපන් මොහොතේ වසිකගේ පළමු අමුත්තා වූයේ ෂානකයි!

ගිය වසර ගෙවී ගියේ මා මෙරටත් ෂානක ඕමානයේත් සුජී අමෙරිකාවේත් තබමිනි. ඒ අතර එක් වතාවක් සුජී පැමිණි අතර අප මධුවිත තොලගාමින් කථා කරමින් සිටියෙමු. රවීත් මීයාත් බොහෝ කලකින් හමුවීමට මට එදින හැකිවිය. 

මේ කාලය වන විට ඕස්ට්‍රේලියාවේ කලක් ජීවත්වූ අබේ මෙරටට පැමිණ සිටි මුත් ඔහුව හමුවීමට මාහට නොහැකිවිය.

තවත් වසරක් ඉක්බිති මීට සති කිහිපයකට පෙර සුජීගෙන් මාහට වට්සැප් පණිවිඩයක් ලැබී තිබුනි.

"කතා කරණ්ණ පුළුවන්ද?'

එය දුටු සැණින් මා සුජීව ඇමතුවෙමි.

"මචං . .?"

"අයියේ අම්මට ටිකක් සනීප නෑලු! පුළුවන් උනොත් පොඩ්ඩක් බලනවද; ඒ පැත්තේ ගියොත්  . . . ?"

"එකෙන්ම . . . ! මම මේ සතිය ඇතුලතම ගිහිං බලන්නම්!"

දින දෙකක් හෝ තුනක් ගෙවී යන්නට ඇති. සුජීගෙන් නැවත ඇමතුමක් ලදිමි.

"මචං අම්මට ටිකක් අමාරුයිලු මම හෙට අනිද්දම එනවා . . . !"

"අම්මට සිරි . . . ! කවුද උඹව එයා පොර්ට් එකෙන් ගන්නේ . . ?"

"ඒක තමයි ඔයාට පුළුවන් වෙයිද . . ?"

"එළ! එකෙන්ම මම එන්නං උඹව ගන්න . . !"

අදාල දිනයේ මමත් බිරිඳත් කටුනායකින් සුජීව රැගෙන පිට කෝට්ටේට ගියෙමු. සුජීගේ නිවස පිහිටා තිබුනේ 585 නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් බැද්ද ගාන පාරෙන් හැරුණු "දුඹුට්ටේ" ය. 

එකළ වෙල් යායකට විවෘථව පිහිටා තිබුනු සුන්දර ඉඩම මේවන විට කොටස් වලට බෙදී වෙන්වී තාප්ප මායිම් වලින් යුක්තව තිබුනි. 

එදින රාත්‍රියේ සුජීගේ අම්මාව - හේමා ඇංටීව බලන්න යාමට හිතා හිටියත් ඇ‍ය ඒවන විට නින්දට ගොස් තිබුනු හෙයින් එය පසුදාට කල් තැබුනි.

සුජී ඇඳුම් මාරු කරගෙන පිළිවෙලක් වී එන අතරතුර ඔහුගේ බිරිඳ දමින්දි මටත් මාගේ බිරිඳටත් පහත් ස්වරයෙන් යමක් කීවේය.

"අයියේ ඔයාලා ඇංටිව බලන්න එනවා නම් ඉක්මනින් එන්න! කල් ගන්න එපා!"

හේමා ඇංටීව මාස ගනනාවක් ඇතුලත පිළිකා රෝගය විසින් ගිල දමා තිබුනි.

පසු දිනම මමත් බිරිඳත් ඇයව බලන්නට 585ට ගියෙමු. ඇ‍ය අපව හඳුනා ගත්තාද නැද්ද යන්න සිතා ගත නොහැක. ඇය ශ්වසනය කලේ ඔක්සිජන් සැපයුමක් මගිනි. මා ඇය අසලට ගොස් ඇයගේ පාදය අල්ලා ගතිමි. ඇය අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගැනීමට ගන්නා උත්සාහය දුටු මාගේ දෙනෙත් තෙත්විය. මා බර සුසුමක් හෙළමින් එතැනින් ඉවත්විමි.

"මචං අවුලක් උනොත් කියපන් මල්ලී . . . . !" කියමින් 585න් ඉවත් වූයේ පැය ගනනාවකට පසුවය.

එදිනම හවස සුජීගෙන් මට ඇමතුමක් ලදිමි!

"මචං අම්මා ගියා . . . !" සුජී හැඬුම්බරව ශෝකී ස්වරයෙන් පැවසුවේය.

එදින රාත්‍රියේ සිට පාන්දර වනතුරු මා 585හේ සිට පැමිණියෙමි. පසුදින රාත්‍රිය දශක ගණනාවකට පසුව අබේවද 585හේ මිදුලේ සුදු කොඩි සෙවනේ හමුවිය. මීයා රවී සුජී බොහෝ කලකින් අප එකට එක්වී හේමා ඇංටී පිළිබඳව මතකය අවුස්සමින් විය. ඒ. ආර්. කුලසිංහ හෙවත් කුලේවත් ගෙන්වා ගැනීමට මා හට හැකිවිය. බොහෝ ආගිය කතා කතා කරමින් මමත් අබේත් සුජිත් එළිවන තුරු පහන් කලෝය. 

ෂානක හැරුණුකොට අප සියල්ලෝම එතැන විය! ඔහු ඕමානයේ සිට සුජීව ඇමතුවේය. 

හේමා ඇංටීගේ අවසාන කටයුතුවලට සහභාගීවීමට මා හට නොහැකිවිය. ඒ නිසාම එදින රාත්‍රියේ නැවත මමත් බිරිඳත් එහි ගියෝය. 

රොෂාන්ගේ මිතුරන්ද කුකූගේ මිතුරන්ද සුජීගේ මිතුරන්වන අපද; 585 නිවසට ඉදිරියෙන්වූ පලු සෝලිස් මෝටර් රථ නැවතුම් පොලේ කෙළවරක වූ මෝටර් රථයක ඩිකියකට වටවී සිටියෙමු. 

එතැන සතුටු සාමීචි අතර හේමා ඇංටි සහ ලක්ෂ්මන් අංකල් පිළිබඳව කුඩා කථා අවකාශයේ පාවී ගියේය. 

කුකූ මාවෙතට නැඹුරුවූයේ ඔය අවස්ථාවේදීය.

"අයියේ ඔයා ඒ කාලේ STF එකට යන්න ට්‍රයි කලානේද? අපේ තාත්ති CL අංකල්වයි සිරිවර්ධන අංකල්වයි හම්බෙලා දෙතුන් වතාවක්ම එයාලට බල කලා "ඇයි මගෙ කොල්ලව උඹලට ගන්න බැරි?" කියලා. එයාලා කිව්වා ඔයා ආණ්ඩුවට විරුද්ධව දේශපාලනේ කරණවා කියලා රිපෝර්ට් එකක් ඇවිත් !" කියලා.

"අම්මට සිරි ඔය ඇත්තමද බං . . ?"

"ඉතිං නැත්තං මම කොහොමද දන්නේ ඔයා STF එකට ට්‍රයි කලා කියලා?

මට ඒ උදාර මිනිසුන් ගැන සිතුනු දේ බොහෝය. ඒගැන මා සුජීටත් රවීටත් අබේටත් පැවසූවේ පසුගිය සති අන්තයේ අපගේ නිවසේදීය. අප මධුවිත තොලගාමින් පැය ගනනාවක් සිටියෙමු.

සුජී, අබේ, මම සහ රවී
"උඹලගෙ අම්මටයි තාතටයි මට මෙහෙම කන්න වේලක් දෙන්න බැරි උනානේ! එහෙම උනා නම් ඒ අය මාරෙට සංතෝස වෙයි බං!" මා බිඳුනු සවරයෙන් කී දෙය සුජී සිනහ වෙමින් හිස වනමින් පිළිගත්තේය.

"අපි ආයෙත් එකට සෙට් වෙන්නෝන බං! ළඟදි ෂානක එනවා. එන අගෝස්තුවේ! සුජී ඉන්න එකක් නෑනේ. මම උඹට කතා කරණ්නම් උඹ එනවා නේද අබේ?" 

"අනිවා උඹ කතා කරපන් ! මම එකෙන්ම එනවා!"

මේ සියළු කතා මෙසේ සිදුවෙමින් තිබෙනාතර තුර හේමාවෝ අප අතහැර ගිහින්ය!

Wednesday, June 5, 2024

286. Kapruka.com සහ අලින්ගෙ අපේ වැඩ!



මේ දවස් වල එකසිය ගානට මුහුණු පොතේ  ඔන් ලයින් බඩු විකිණීම  නැගලා යන බිස්නස් එකක් වෙලා තියෙන බව පෙනේ! 

මෙය මේ වන විට සරුවට යන බිස්නස් එකක් වී අවසන්ය. එහෙත් මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍යය වල මෙම වෙළෙඳ දැන්වීම් වලට "හොම්බට අනින්නාක්" මෙන්; "ඔන් ලයින් බිස්නස් වලට අහුවෙන්න එපා - ඉල්ලුව එක නෙවේ ලැබෙන්නේ!" කියා කෑ මොර දෙති.

අපේ රටේ බොහෝ දෙනා බිස්නස් පටන් ගන්නේම "ගේමක් ගහන්න පුළුවන්නේ!" කියාමය.

බිස්නස් එකක් අතර හෝ කරගෙන යාමේදී මොකක් හෝ අවුලක් වූ විට කරණාවූ "ගල් මාට්ටුවක්" නොව වැඩේ පටන්ගන්නේම කාව හෝ "ඇන්දවීමේ" අදහස මුලට දා ගෙනමය!

"මනාලියන් ඇන්දවීමේ" පටන් මිනියට අන්දවා පෙට්ටියකට දැමීමේ තැන දක්වාම කෙරෙණ්නේ ගේම් දීමමය!

වෙනත් රටවලද මේ ඔන් ලයින් ඇන්දවීම මෙසේමදැයි මා නොසිතමි. එහෙත් බොහෝ විට අපේ රටේ නම් සිදුවන්නේ රැවටීමක් මය!

මීට වසර දෙකකට පමණ පෙර මාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බිරිඳට අත් බෑගයක් ලබා දීමට මා හට සිත්විය. එය අහම්භයක්සේ ඇයට ලැබෙන්නට සැලැස්වීම මාගේ අභිප්‍රාය විය.

මේ සඳහා බෑගයක් තෝරා මා ඒ ගැන මාගේ දියණිය කල්මිට දැනුම් දුන් අතර ඇයද ඔන් ලයින් බෑග් තේරීම ඇරඹීය.

අප මේ සඳහා තෝරා ගත්තේ මෙරට ඔන් ලයින් පුරෝගාමීන් වන Kapruka.com ය.

මාගේත් දියණියගේත් නෙත් නැවතුනේ කොල පැහැති  (Bottle Green)     අත් බෑගයක් මතය.

මා කප්රුක ඇමතිමි. එහා කෙළවරෙන් "මට සිංහල බෑ" මොඩලයෙන් පිළිතුරු ලැබුනි!

අපගේ සංවත්සරය යෙදී තිබුනේ බදාදා දිනයකය. අප ඇනවුම දියත් කලේ අඟහරුවාදාය. 

"සර් හෙට නම් කොහොමටත් සප්ලයි කරණ්න බෑ! මේ දවස් වල අපේ ස්ටාෆ් එක අඩුයි!! සර්ට ඕන නම් අපි තර්ස්ඩේ ඩිලිවරි එක කරලා දෙන්නම්!" 

"මගුලයි!" මටම කියැවිනි. මම එකසිය ගානට බැගෑපත් වූවද වැඩේ කර ගන්නට නොහැකි විය. කප්රුකේ තරුණයා ඇතාගල සේය! පොඩිත්තක් වත් වෙනස් වන පාටක් නැත!

බ්‍රහස්පතින්දා බෑගය යැවීම අමුම අමු නඩුවකි. එහි ප්‍රථිපලය "ඔයාට ඒ දවසවත් හරියට මතක නෑනේ!" කියා කෙඳිරියකට සවන් දීමට සිදු වීමය.

මම වෙනත් අදහසක් කප්රුකේ උතුමාණන් වහන්සේට කීවෙමි.

" හරි ඔයා මෙහෙම කරණ්න! ඕක සෙනසුරාදා උදේම ඩිලිවර් කරණ්න! හැබැයි ඔය මම කලින් කිව්ව ඔෆිස් එඩ්‍රස් එකනෙවේ. අපේ ගෙදරට කඩවතට!"

"ඕ කේ සර්!" වැඩේ ගොඩ ගියේය.

සංවත්සරය යෙදුනු දිනය මෙලෝ රහක් නැතිව ගලා ගියේය. දිනයේ උදෑසනම මා ඇයටත් ඇය මටත් සුභ පැතුවෝය. පසුදිනද එසේමය. සතිය ඉක්මණින්ම අවසන් විය.

සෙනසුරාදා බිරිඳත් මමත් සතියේ දිනවල හිරු රැසින් එකිනෙකා ගේ මුහුණ දකින දවස් දෙකින් එකකි!

එදිනට ඇයත් මමත් දෙදෙනාම නිවසේය.

බෑගයේ ප්‍රමාණය සෙන්ටි මීටර වලින් මැන දක්වා තිබුනු අතර එය  පිටුවක් තරම් විය. 
හොඳ සයිස් ය!
ලොකුත් නැත.
පොඩිත් නැත.
පාටත් හොඳය - අන් කොමන් ය.
එළම කිරිය.
අද මේ බෑගය එන දවසය!
එළම එළය!!

සෙනසුරාදා උදෑසනින්ම මා හට බෑගය මතක් වූවේ නැගිටින්නටත් කලින් වාගේය!
එදින උදෑසන සාර්ථක එකක් නොවීය. කුමක් හෝ කාරණයකට බිරිඳ මා සමග උරණ වී සිටියේය.
සමහර විට උදේම දොර අරිණ විටම ඉස්තෝප්පුවේ වාහනයක් කොටසක්, පරණ ටයරයක්, තණකොළ කපන මැෂිම වැනි අරුමෝසං භාණ්ඩයක් තබා තිබෙන්නට පුළුවන.
නො එසේ නම් ඉස්තෝප්පුවේ පුටුවක බල්ලෙක් ලැග සිටියා විය හැක! පෙර දින ඉස්තෝප්පුවේ පුටු කණපිට පෙරළීමට මට අමතකව ඇත! 
මෙවැනි කුමක් හෝ කාරණයක් නිසා ඇය උරණව සිටියාය.
(අනෙක ගෑනුන්ට මිනිස්සු සමග මළ පණින්නට හේතුවක් ඕනෑම යෑ!?) 

මේ සියල්ල සමගින් ඉස්තෝප්පුවේ පුටු දෙක මත අප දෙදෙන උදෑසන වාඩිවී තේ බොමින් සිටියෝය. ඇයගේ කේන්තිය පහව යමින් විය. ඒ සියල්ල  සමග මාගේ යටිසිත බලා සිටින්නේ කප් රුකේ බුවා; බෑගය රැගෙන ගේ මිදුලෙන් මතුවන තුරුය. වෙනදා ඇය කියනා සෑම වචනයක් පාසාම "එල්ලෙන" මා එදින කිසිවක් නොකියා ඇතුලතින් සිනා සෙමින් සිටියෙමි. තව කුඩා වේලාවකින් ඇය අතට පත්වන "අහම්භය" සියළු දෝෂ භ්ංග කරණු ඇත. ඇය ප්‍රීතියෙන් ප්‍රමෝදයට කෙසේ වෙතත් පොඩි පහේ "ලල්" එකකින් දවස අරඹනු ඇත. 
එක වරම මාගේ දූරකථනය නාද විය.
මා තිරයට එබුනු අතර එහි වූයේ  0117551111 වැනි රටාත්මක අංකයකි.
"හරි අම්මට සිරි කප්රුකෙන් කඩවතට ඇවි අපේ ගේ හොයනවා වෙන්නෝන!" මා පුටුවෙන් නැගිට ඉස්තෝප්පුවෙන් මිදුලට පය තබමින්ම ඇමතුමට ඇමතීමි.
"ගුඩ් මෝනිං  . . . . . !" ඔහු කියන්නට මත්තෙන් මමම පටන් ගත්තෙමි!
"ගුඩ් මෝනිං සර්! මේ එම් එස් පෙරේරා මහත්තයා නේද?"
"ඔව් පුතා හරියටම හරි!"
"සර් ලේඩිස් හැඇන්ඩ් බැඇග් එකක් ඕර්ඩකරලා තියෙනවා!"
"හරි පුතා!!"
"සර් ඒකේ හැන්ඩ්ල් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා කමක් නැද්ද?"
මම ඇනවුම ස්ථාපිත කලේ අඟහරුවාදාය. අද එදා සිට ගෙඩි පිටිං දින හතරක් ගෙවී ගොස් ඇත. අද මූ මරු කියවයි. මට ඊළඟ මොහොතේ කුමක් සිදුවීදැයි මටම සිතා ගත නොහැකි විය!
"ඒක දීපං පරයො තොගෙ ගෑනිට!"
"මොකක්ද සර්!!?"
"ඒක දීපං උඹෙ ගෑනිට! ඩැමේජ් වෙච්ච එක!" එතැන පටන් මා කෑ ගැසුවේ යටි ගිරියෙනි.
"උඹට මම ඔර්ඩරේ දැම්මේ කවදද? උඹලා පොලෙං කීර මිටියක් ගේනවා වගේද කස්ටර්මර්ස් ලට බඩු එවන්නේ? අද උදේද උඹට මතක් උනේ මගේ ගෑනිගේ බෑග් එක?
මා ජීවිතේ කොතරම් අසභ්‍ය බසින් "අමතා" ඇති මුත් නිවසේදී හා නිවැසියන් ඉදිර්යේ එසේ නොකිරීමට පසු ගිය වසර 25ක කාලය පුරාවට පරිස්සම් වී ඇත. එහෙත් එදින ඒ සියළු වක්කඩවල් කැඩී ගියේය. මා දන්නා සුපිරිම වඳුරු කුණුහරුපයෙන් අමතන්නට විය!
මා කෙතරම් මහා හඬකින් ජාතිය ඇමතුවේද යත් වටා පිටා නිවෙස් වල බල්ලන් මහ හඬින් බුරන්නට පටන් ගත්තෝය!
"මෙන්න මේ ඇතුලට ඇවිත් කියන මගුලක් කියා ගන්නවා! හතර විළිලැජ්ජාවේ බෑ . . .!" ඒ අපේ බිරිඳය.
මොහොතකින් දුරකථනය  ඒ දෙසින් කපා දැමුවේය!
"මොකද්ද වෙලා තියෙන්නේ ඔයා මේ රටටම ඇහෙන්න කෑගහන්නේ!?" 
මම සිද්ධිය බිරිඳට එකින් එක කීවේය! ඇයට කුමන මොඩලයේ හැඟීමක් ආවාදැයි මට සිතා ගත නොහැක.
"දැං මොනා කරණ්නද?" ඇය විස්සෝප විය. "දැං කෑගහන්නේ නැතිව කාඩ් එකෙන් කපා ගත්තු සල්ලි ටික ආයේ ගන්න බලන්න!"
ඊළඟ මොහොතේ උන් මට ඇමතුවා ද නො එසේනම් මා උන්ට කතාකලා දැයි නොදනිමි.
යලිත් කථව පටන් ගති. 
"මට කරුණා කරලා මගේ සල්ලි ටික රී ඉම්බර්ස් කරණවා දැං!" මට දැන් ඉතිරිව ඇත්තේ ගෙවපු මුදල ආපසු ගෙන වෙන තැනකින් ඇයට බෑගයක් හෝ වෙනයම් තෑග්ගක් අරං දීමටය!
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ විදිහට සර්ට සති දෙකකින් සල්ලි ලැබෙයි!" 
"මොකක්ද XXXX පුතෝ ඒ කථාවේ තේරුම! මෙච්චර වැඩේ කෙළවලා තියෙන කොට තව සති දෙකක් බලා ඉන්නෝනද මම මගේ සල්ලි ටික ගන්න! ඕක දාපං මැහේජර් කෙනෙක් ගාවට!"
"සර් මම කම්ප්ලේන් එක දාන්නම්. සර්ට පැය 48ක් ඇතුලත අපේ මැනේජර් කතා කරයි!"
"@#$%&^*OU@$ඝ්%ඝ්^^&&&&&&!%%!&()UඵෛඓH<ණ්ඹ්ඵ්O*&%*"
 මා මොනවා කීවාද නොව මොනවා නොකීවාදැයි මතක නැත! සුපිරියටම මා ඇමතිමි. "උඹ දැණ ගනිං මම දන්නවා උඹලාගේ ඔෆිස් එක තියෙන තැන! නුගේගොඩ හයිලෙවල් පාරේ! මම දැං උඹගේ ඔෆිස් එකට එනවා. උඹට මම ජීවිතේට ඉගෙන ගත්තු නැති පාඩමක් උගන්වලයි නවතින්නේ! පොඩ්ඩක් හිටපං!" මම දූරකථනය විසන්ධිකර ගේ තුලට ආවේ ඇඳුමක් දාගෙන නුගේගොඩ බලා පියාඹීමේ අදහසිනි!
ඒ සමග තවත් ඇමතුම් දෙකක් පැමිණියේය. ඒ කාන්තා කටහඬ දෙකකිනි. මා ඔවුන්ට ඉතා කාරුණිකව පැවසුවේ මා හට කතා නොකරණ ලෙසය! 
"මම මේ ඉන්න තත්වෙ හැටියට මට මොනවා කියවේද දන්නේ නෑ! කරුණාකරලා ඔයාලා කථා කරණ්න එපා! පිරිමියෙකුට කතා කරණ්න කියන්න!"
තවත් විනාඩි 10ක් ගෙවෙන්නට් ඇති ඒ දෙසින් ඉතා තැණ්පත් හඬින් කාන්තාවක් කථා කලාය!
"සර් මම කස්ටෙර්මෙර් කෙයා මැනේජර්! මම දන්නවා සර්ට අපෙන් සිදුවුනු වරද! මට පොඩ්ඩක් සර්ට කථා කරණ්ණ පුළුවන්ද?"
මා සිදුවූ සියළු කරුණු ඇයට වචනයක් නෑර පැවසීය. ඇය සියළු කරුණු කාරණා ඉතා සාවධානව අසා සිටියය. අවසානයේ ඇය වෙනත් ඕනෑම බෑගයක් තෝරා ගන්නා ලෙස ඇය මාහට අවස්ථාවක් ලබා දුන්නීය. 
"නැ! මට අද මේ මොහොතේ සල්ලි ඕන! වෙන කිසිම ඔප්ශන් එකකට මම කැමති නෑ! බොහොමත්ම ස්තූතියි මිස්!" මම ඒ මතයේම සිටියෙමි.
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ හැටියට සර්ට සති දෙකක් යනවා සල්ලි ගන්න!" ඇයද පෙර කථාවම පැවසීය!
"මිස් මට කියන්න ඔයාගේ සිවිළිමේ හයි කරලා තියෙන ෆෑන් එකක් ගැලවිලා වැටිලා කාගේ හරි බෙල්ල කැපුනොත් 
ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න සල්ලි පාස් කර ගන්න සති දෙකක් යනවද? කොහොමද ඒ වෙලාවට සල්ලි හොයා ගන්නේ?"
"සර් පෙටී කෑශ් වලින්!"
"ආන්න එකෙන් මගේ සල්ලි ටික බැංකුවට දාන්න! ඔයාලා පෙටී කෑශ් එක සති දෙකකින් බේර ගන්න!"
"හරි සර් මම පුළුවන් දෙයක් කරණ්නම්!"
ඊළඟ විනාඩි 20 ඇතුලත මාගේ ගිණුමට මුදල් බැරවී තිබුනි.

ඔවුන් මා ඇනවුම් කල දිනයේ මා බැගෑපත්වෙද්දී භාන්ඩය යවා එහි පළුද්දක් වුනි නම් එය විසඳෙන්නේ මේ ආකාරයට නොවේ.
මා ඔහු නම් පාරිභෝගිකයා වෙත මෙම පලුද්ද පිළිබඳව දන්වන්නේද මේ ආකාරයට නොවේ.
"සර් ගෙදර ඉන්නවද? අපි ඩිලිවරි එක රෙඩි කරණ්න හදන්නේ. සර් ඒකට මොනවා  ග්‍රීටිං එකක් ලියලා කාර්ඩ් එකක් දාන්න පුළුවන්! සර්ගේ මැඩම්ගේ නම කිව්වානං. ආ සර් ඒ බෑග් එකේ යාන්තම් පොඩි මාර්ක් එකක් තියෙනවා හැන්ඩ්ල් එකේ. ඒක එහෙමට පේන්නේ නම් නෑ. සර්ට මම ෆොටෝ එකක් දාන්නද?"
මම කථාව කියන්නේ ජාතක කථාවක්ද අමුනාය. එවිට පාරිභෝගිකයා මා සමග පොඩි පහේ සම්බන්ධයක් ගොඩ නැගී අවසන් ය!

මා වසර 12කට ආසන්න කාලයක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවාව සඳහා ගෙන එන වාහන ඉඳ හිට අනතුරට පත්වේ. පාරිභෝගිකයා නොමැති අවස්ථාවලදී සිදුවන එවන් අනතුරු ඔහුට දැන්වීමට රාජකාරියෙන් බැඳී සිටියේ මාය. මා හෝ ආයතනයේ සේවකයෙකු කිසිදා කුණු හරුප අසා නැත!
ගුටි කාද නැත!!
අප එම සිද්ධීන් ඉතා සුහදව හා සාධාරණ ලෙස කළමනාකරණය කලෙමු!

බොහෝ වෙළෙන්දන් සහ සේවා සපයන්නන් පාරිභෝගිකයෙකුගේ වටිනාකම නොදන්නේය. ඔවුන් සිතා සිටින්නේ පාරිභෝගිකයින් අහසින් පහල වන්නන් කියාය. එසේ නැත. ඔවුන් දිනා ගත යුතු පිරිසකි.
එවන් සිද්ධියක් මෙහිදී මා හට මතකයට ඒ. . . . . !

මගේ මතකයේ හැටියට වසර 2010 විය යුතුය. වසර නිවැරදි නම්  දිනය ජනවාරි 24 විය යුතුමය.
2010 ජනවාරි 24 යනු මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා  පෙනී සිටී ජනාධිපතිවරණයට පෙර දිනයයි. මා එකල සේවය කලේ හයිඩ් පාර්ක් කෝනර් හි අපගේ වැඩහලේය. එදින එතරම් වාහන පැමිණි දිනයක් නොවීය. හවස් වරුවේ නිල් පැහැති මිට්සුබිෂි ලාන්සර් රථයක් සේවාව සඳහා පැමිණියේය. 
ඒ මොහොත වන විට: එදින සේවාව සඳහා වාහන ගෙන අවසන් වී තිබුනි. එහෙත් ඒ මහතාගේ බලවත් ඉල්ලීම නිසාම අපද බලවත් දුෂ්කරතාවය මැද ලාන්සරය සේවාව සඳහා ලබා දීමට ගත්තේය!
එකල අපගේ සේවා ස්ථානයට එන වාහන වල බඳ සේදීම (Body wash) සඳහා ඇහැළියගොඩ සිට පැමිණි වයෝවෘද්ධ අයෙක් විය. පෙරකී ලාන්සරයේ සියළු සේවා කටයුතු අවසන් කොට බඳ සේදීම සඳහා යොමු කොට තිබුනි. බඳ සේදීමෙන් අනතුරුව ලාන්සරය එතැනින් පසුපසට ගන්නා විට පෙරකී සේවකයා වාහනයේ ග්‍රිල් එක මත (ෂෙල්) සබන් පෙන ස්වල්පයක් දැක ඊට ජල විදිනයෙන් (High Pressure Gun) වතුර ඇල්ලුවේය. ඊලඟ තත්පරයේදී වාහනයේ එන්ජිම තුලින් යකඩ දෙකක් එකට ගැටෙන හඬක් නික්මිණ. ඒ හඬ එන්ජිමේ වේගය සමග උස්පහත් විය.
ලාන්සරයේ එයාක්ලීනරයට වාතය ඇද ගන්නා මුව (Air Cleaner Duct Line) ඇත්තේ ඉදිරිපස ග්‍රිල් එක අසලමය! එතැනින් ජලය වාහනයේ එන්ජිමට ඇදගන්නට ඇතැයි මා සිතුවෙමි.
මේන්න මේ බටය දිගේ තමයි ඇංජිම හුස්ම ගන්නේ. කොටිංම මේ අංජිමේ නහය කිව්වත් වරදක් නෑ!
මේ ඇංජිමේ නහය පෙනහළු ඇතුළු අනෙකුත් ස්වසන පද්ධතියේ ගැජ මැටික් ටික.
බලන්නකෝ නහය තියෙන්නේ කොතනද කියලා! අපේ වගේම මූන ඉස්සරහින්ම තමයි. ඇංජිමට පීණස හැදුනේ ඔතනිං වතුර ගිහිං තමයි.
මම වහාම මේ පිළිබඳව මාගේ සාමාන්‍යාධිකාරී පද්මන් වන්නිආරච්චි මහතා දැන්වූවේය. පැය භාගයක් නික්ම යන්නට මත්තෙන් එකල ඔරුගොඩවත්තේ මෝටර් රථ අංශයේ වික්‍රමපාල හෙවත් වික්‍රම අයියා හයිඩ් පාර්ක් එකට පැමිණියේය. ඔහු වාහනය පරීක්ෂාකොට බලා එන්ජිම තුලට වතුර ගමන් කොට (Hydro Lock)     එකක් සිදුවී ඇති බව නිගමනය කලේය.      Hydro Lock  එකක ප්‍රථි පලය වෑල්ව් ඇද වීම, ක්‍රෑන්ක් කෑම් ඇදවීම හෝ කැඩීයාම, එන්ජිම් බ්ලොක් එක පුපුරා පිස්ටන් අත් එලියට ඒම, පිස්ටන් අත් ඇදවීම වැනි භයානක ප්‍රථිපල ගෙන දෙන ක්‍රියාවකි. මා මේ ගැන සවිස්ථරව මෙතැන ලියා ඇති අතර මේ වැහි කාලේ එය කියවා බලන මෙන් සැමට ආරාධනා කරමි.
වික්‍රම අයියා; පදමන් වන්නිආරච්චි මහතාව දැනුවත් කිරීමෙන් පසුව පද්මන් මහතා එම දුරකථනයෙන්ම මා ඇමතීය.
"වික්‍රම වාහනේ තිබුනු විදියට හදලා දෙයි. පාරිභෝගිකයාට පහදලා ගැටළුවක් නො එන්න වැඩ සලසා ගන්න එක තමුන්ගේ වැඩක්! වාහනයක් පරිස්සම් කරලා ඔතන මිනිස්සුන්ට සේවාවක් කරලා දෙන්න බැරිද? තමුං ඕවා බලන්නේ නැද්ද! දැං ඔය පාරිභෝගිකයා මොකද කියන්නේ?"
"සර් මම කිව්වා මගේ වාහනෙන් එයාගේ වැඩ ටික කරලා දෙන්නම් කියලා . . . . . !"
"හං හං ! එයා ඒකට කැමති උනාද?"
"ඔව් සර්!"
"මම නං ඕවා දන්නේ නෑ! ඕවාට ආයතනයට වග කියන්නත් බෑ!
"හරි සර්!"
තවත් පැයකින් පමණ පාරිභෝගිකයා ආවේය.
ඉතා සෙමෙන් මා සිදුවූ දෙය පැවසුවේය.
එන්ජිම තුලට වතුර යන්නට ඇති බව නොකීමට මා පරිස්සම් විය.
"මේ සද්දෙත් එක්ක් වාහනේ රිලීස් කරණ්න එපා කියලා අපේ G.M. කිව්වා සර්! ඔරුගොඩවත්තට යවලා වාහනේ චෙක් කරලම සර්ට වාහනේ දෙන්නම්! අදට සර්ගේ වැඩ ටික මම කරලා දෙන්නම්"
"ඔයා දන්නවාද හෙට මට තියෙන වැඩේ? මම තමයි හෙට තියෙන මැතිවරණෙ ගම්පහ දිස්ත්‍රිකයේ ARO සහකාර තේරීම් භාර නිළධාරි - Assistant Returning Officer! හෙට දවසේ දිස්ත්‍රික්කෙ පුරා දුවන්න මට වාහනේ ඕන!
ඒකාලේ පැන්තරය මා ළඟ විය.
"සර් අවුලක් ගන්න එපා! මම සර් එක්ක අද ඉඳන් වාහනේ දෙන තුරු මගේ වාහනෙන් එන්නම්!"
ඔහු මා දෙස පුදුමයෙන් බලා සිටියා පමණි. ඔය අතරේ ඔහුත් මාත් අතර කුඩා දෙබස් කිහිපයක් හුවමාරු වුවත් කොහෙත්ම ගැටුමක් සිදු නොවීමට මා වග බලා ගත්තේය. අපරාදේ කියන්නට බැරිය. ඔහුද ගැටුමකට මග පෑදුවේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නිවුනු "මහත්මයෙකි" !
ලාන්සරය ඔරුගොඩවත්තට යැව්වෙමි.
හවස මා වාහනය රැගෙන පාරිභෝගිකයා සමග පිටත් උනෙමි. ඔහුගේ පාසල් යන දියණිය උපකාරක පංතියකින් ගන්නට තිබුනි. ඉක්බිතිව ගම්පහටත් ඉන් ඈත  ගමකටත් ගොස් ඔහුව ඇරලවන්නටත් මට සිදුවුනි. 
ඒ සියල්ල කරණාතරතුර ඔහු මාගේ කිට්ටු හිතවතෙක් වී අවසානය. ඔහුව ගම්පහ නිවසට ඇරලවා ආපසු මා හැරුනේ හෙට උදෙම මැතිවරණ රාජකාරි සඳහා දිස්තික්කය පුරා ඇවිදීමට මා එන බවට පොරොන්දු වෙමිනි. එහෙත් මා මද දුරක් එනවිට ඔහුගෙන් ඇමතුමක් ලැබුනි. ඉන් පැවසුනේ  වෙනත් වාහනයක් සොයා ගැනීමට ඔහු උත්සාහ කරණ බවත් හෙට දිනයේ ඔහුව රැගෙන යාමට පැමිණීමට නිවසින් පිටත් වීමට පෙර ඔහුට ඇමතුමක් දෙන ලෙසය. 
පසුදින උදෑසන මා 6.00ට පමණ ඔහුට ඇමතුමක් ගත්තේය.
"ගුඩ් මොර්නිං! ඔයා කරදර වෙන්න එපා මම වාහනයක් හොයා ගත්තා! ඔයා පුළුවන්තරං ඉක්මනට හොඳට මගේ වාහනේ හදලා දෙන්නකෝ!"
වික්‍රම අයියා වාහනේ පසු දින හවස් වන විට ලාන්සරය සුපිරියටම අළුත්වැඩියා කොට තිබුනි. පාරිභෝගික මහතාව මා දැනුවත් කලද ඔහු වාහනය රැගෙන යාමට පැමිණියේ තවත් දින දෙකකට පමණ පසුවය.
 ආයතනයට පාරිභෝගිකයාව රැක දෙන්නට මට හැකියාව ලැබුනි. මටද ගැටළුවක් නොවීය. පාරිභෝගිකයා හට සිදුවූ හානිය පියවා දීමට මට හැකිවිය.

ඔහු වාහනය රැගෙන ගියේ මා හට ස්තූතිය පුදකොටය!
බොහෝ කලක් යන තුරුත් ඔහු සහ ඔහුගේ රථය යුනයිටඩ් මෝටර්ස් සේවා ස්ථානයේ දක්නට ලැබුනි.