වෙලාවකට ජීවිතයත් පොත් සාප්පුවක්ය!
පොත් විවිධාකාරය.
ගනං පොත්, සිංහල පොත්, ඉතිහාස පොත්, විද්‍යා පොත්, කෙටි කථා පොත්, නවකථා, කවි, චරිථ කතා, වීර කථා . . . !
අප කුඩා කල තාත්තාගෙන් පොතක් පතක්, පැන්සලක් පෑනක් ඉල්ලූ විට ඔහු කියන්නේ "ලබන මාසේ මම හෙඩ්ඩොෆිස් ගියාම ඇම්. ඩී. ගුණසේණ එකෙන් අරං එන්නං!" කියාය. ඒ කියනා ආකාරයෙන්ම එය නොකෙරෙන වැඩක් යැයි අප හිත හදා ගත්තෝය.
අප අවිස්සාවේල්ලේ මුල් බැසගෙන සිටි කාලයේ ටවුමේ දිග්විජය කොට ගත් පොත් සාප්පුව වික්ටරියයි. එය පිහිටා තිබුනේ KNG සිල්ලර බඩු කඩේට තරමක් එපිටින් චීන දත් බඳින සාප්පුවට මෙහායින් ය. (KNG කඩේ 83දී අපගේ ජාති මාමකයෝ; පලමුව සුද්ද කොට දෙවනුව ගිනි දෙවියන්ට පිදූහ!)
මගේ ජීවිතයේ පළමු චීනා වූයේ එහි දත් බඳින ලී ක්වාන් යූ වැනි නමක් ඇති අයෙකි. ඔහු බොහෝ උදෑසනයන්හී සරමක් හා බැනියමක් ඇඳ අසල කඩේකින් කිරි තේ ජෝග්ගුවක් අරං එනවා මා දැක ඇත. ඔහුගේ පුතුන් දෙදෙනා අප සමග සෙන් මේරිස් කොලීජියේ ඉගෙන ගත්තත්; උදේ පාන්දර තාත්තා අල්ලපු කඩවලින් තේ ගෙන ඒමේ රහස අප අහන්නට නොගොයෝය. මාවෝ සේතුං ද චෞ එන් ලායිද හැඳින ගන්නේ ඊට බොහෝ කලකට පසුවය! (දැක්ක තැනක මා හට ඔවුන්ව හඳුනා ගැනීමට අද වුවද හැකියාවක් ඇතත් ඔවුන් මා නොදන්නා බව පවසන්නේ හද පිරි ශෝකයෙන් නොව පහන් සංවේගයෙනි!)
මා වෝලා චෞ එන් ලායි ලා සදාම් හුසේන්ලා ගඩාෆිලා දැන හැඳින ගන්නේ පුවත් පත් වලිනි. ඒ එකදාස් නවසිය හැත්තෑ හයේ නොබෙඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේ පැවැත්වීමත් සමගය. ඒ ඒකාලයේ දිනමිණ හා නවයුගය පත්තරවලට පිං සිදුවන්නටය!
මේ සියල්ල යටින් ජීවිතය සමග ගමන් කරණ්නේ පොත පතය!
නොබැඳි ජාතීන්ගේ සමුළුව පවත්වන කාලයේ මා අරක් ගෙන තිබුනේ යටියන්තොටය.
යටියන්තොටද අපූරු පොත් සාප්පුවක් තිබුනි. එහි නම සිරිවර්ධන පොත් සාප්පුවයි. එකළ එළවළු කඩ, කරෝල කඩ, මස් කඩ මාළු කඩ, රත්තරං බඩු කඩ අතර පොත් සාප්පු පැවතියේය. පොත් තිබුනේ කඩ වල නොව සාප්පුවලය! සිරිවර්ධන පොත් සාප්පුව පැවතියේත් අදත් පවතින්නේත් යටියන්තොට ටවුමේ හැටන් කොළඹ පරන පාරත් පැලැන්පිටිය, දේදුගල, බුලත්කොහුපිටිය පාරත් අතර මැදි උස් බිමකය!
මේ කඩේ ගැන පැවසෙන පුරා වෘථයක් මෙහිම ලිය තියන්නම්.
මෙම ඉඩම ඒ පලාතේ බොහෝ ඉඩ කඩම් වලට මෙන් ආරවුලකට මැදිව තිබූ එකක් වූවේලු. ඒ නිසාම එම ස්ථානයේ කිසිදු ගොඩ නැගිල්ලක් සෑදීමට; වැඩි කොටස් හිමි අයිතිකරුවනට සෙස්සෝ ඉඩ දී නැත. මීට පිළිතුරක් ලෙස; ඊට සැතපුමක් එකහමාරක් දුරින් ගරාගොඩ; දැවයෙන්; කුඩාවට සාදන ලද කඩය එක රැයෙන් කරපින්නාගෙන පැමිණ මෙම ස්ථානයේ ස්ථාපිත කලේලු!
ගං වතුර ගලනා කාලයට මෙම පොත් සාප්පුව වතුරෙන් යටවේ. ඊළඟට සාප්පුව ඇරුණු පසු දියට යටවූ නවකතා, කෙටි කථා, චරිත කථා ආදී එකී නොකී මෙකී පොත් අඩු ගානට විකිණේ. එසේ මිළදී ගත් පොතක් තවමත් මාගේ පොත් ගුලේ ඇත!
මෙවන්ම වූ සිද්ධියක් එකළ කොළඹ හා තදාසන්න නගරවල පොත් සාප්පු වල කරගෙන ගියේය. එය පටන් ගත්තේ අසූව දශකයේ මුල් කාලයේදී යැයි මාහට සිතේ. ඒ කාලයකට පසුව ඔවුන්ගේ ගබඩා තුල පුස් කමින් තිබුනු පැරණි පොත් දෙක පහට විකිණීමයි.
මෙහි ඇති වඩාත් සිත් ගන්නා සුළු කාරණය වූයේ එකදාස් නවසිය හැටේ දශකයේ රුපියල් 2.50 කට විකුණුනු බ්ලොක් ගල් තරමේ පොත් සීයට 50ක් මිල අඩු කොට 1.25 කට විකිණිමයි.
ඒ නිසාම ඒවායෙන් දෙක පහට ගත් පොත් වලින් බොහෝ අයගේ පොත් ගුල් පිරී ගිය අතර ඒවායෙන් අඩු මුදලට ලබා ගත් පොත් අපගේ පාසල් ගේට්ටු අසල පොඩි පොඩි ගණන් වලට විකුණුනි.
ඒ අතර මාගේ සහ බොහෝ අයගේ සිත් ගත් පොතක් වූයේ "සෙවිල්ල" සඟරාවයි! ඇත්තෙන්ම "සෙවිල්ල" වෙනත් රටක පලවූ සඟරාවක පරිවර්ථනයක් විය! එහි ඉතාමත් සුන්දර වෛවර්ණ රූප සහිත පිටු හා ඒවා අතර තිබුනු තීන්ත සුවඳ දැනුත් ඇස් වසා ගත් කල දැනේ.
එම "සෙවිල්ල" සඟරාවේ විවිධ විවිධ මාතෘකා අටෝරාසියක් පිළිබඳව සරළව ලියා බොහෝ චිත්‍ර සටහන් ඇතුලත් කොට ළමා සහ යොවුන් සිත ආකර්ශණය වන පරිදි සකස් කොට තිබුනේය.
අදිකාරම් මහත්තයාගේ සංස්කරණයෙන් යුතුව පලවී තිබුනු "නවීන විද්‍යා" සඟරා පාසල් ගේට්ටු අසල විකිණී ගියේ රුපියලකටය.
එකල නිවාඩු පාඩු ඇති කාලවල පොත් සාප්පුවල රස්තියාදු වීම අපගේ පුරුද්දක් විය.
මරදානේ ගොඩගේ සාප්පුව එකළ කුඩා පොත් කඩයකි. ඊට ඈතින් ඉස්ටේසම පැත්තට වන්නට රත්න, හා තවත් බොහෝ සාප්පු තිබුනත් මාගේ සිත ගියේ ඇම් ඩී ගුණසේන සාප්පුවේ පොත් අතර කිමිදෙන්නටය!
එකළ සාප්පුවේ කළමණාකාරතුමා වූයේ සුරත් ද මැල්ගේ සීයා වූද සුන්දර නිහතමාණී ද මැල්ගේ ආදරණීය පියාවූද ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. (ඔහුත් මාත් අතර බැඳුණු රසවත් කථාවක් මා පසුව ලියා තබන්නම්.)
නෙක තුරු ලතා ගැවසි විවිධ වර්ණයන්ගෙන් යුත් පුෂ්පයන් සපිරි මල් උයනෙක ඇවිදිනවාත් වැනි හැඟීමක්; ගුණසේණ සාප්පුවේ පොත් රාක්ක අතර ඇවිදින විට දැණුනි. එම පොත් සාප්පුවේ වූ විශාලත්වයද සැකැස්මද ඊට එක් හේතුවක් විය. එහෙත් ඊට හේතු භූතවූ ප්‍රධාන කාරණය එහිවූ විශාල පොත් එකතුව විය හැක!
පොත් රාක්ක වලට හේත්තුවී පොත් පෙරළමින් රසවත් ඡෙද කියැවූ අප ඉහල මාලයේ ඉංග්‍රීසි පොත් පෙරළමින් රූප බැලුවෙමු. කුඩා කුඩා කථා පොත් එහිම සිට කියවා අවසන් කලෙමු!
මම මෙම කතාව ඇරඹූවේ ජීවිතය පොත් සාප්පුවක් වැනිය යැයි කියාය. එකල කුඩා එකෙකුව; ගුණ සේන සාප්පුවේ වූ විවිධ පොත් පත් අතර ගැවසුණු විට දැනුණු හැඟීම ජීවිතයේ විවිධ පුද්ගලයින් චරිත අවස්ථා සිදුවීම් වලට මුහුණ දෙද්දී දැනේ!
වෛද්‍ය බෝධිනී සමරතුංග දොස්තර මහත්මියව මාහට මුණ ගැසෙන්නේ රන්දිකා රණවීර නගා හරහාය. රන්දිකා හමුවන්නේ රවි වීරසිංහගේ අත්වැල් ඇල්ලීමෙන්ය. හදිසියේ දිනෙක රන්දිකා නගාගේ ඇමතීමකින් අප තිදෙන ප්ලේන්ටියක් පානය කිරීමට නගරයේ කඩයකට කේන්ද්‍ර ගතවූයෙමු.
හමුවී පලමු තත්පරයේ පටන් වෛද්‍ය තුමිය ආදරණීය සොහොයුරියක වූ හැටි!
මම මේ ලියැවිල්ලේ පෙල ගැස්වූ ඇම් ඩී ගුණසේණ සාප්පුවේ පොත් රාක්ක අතර ගැවසුණු හෝරාවන් සිහි ගැන්වූ එම කුඩා කාලය මතකයට අළුත් මානයක් එක් කල එකක් විය.
බෝධිණී මා දුටුවේ එදා පොත් රාක්කයකට ගොඩ වැදුණු සුළු මුදලකට මා අතට පත්වූ වෛවර්ණ පිටු සහිත "සෙවිල්ල" සඟරාවක් ලෙසිනි! ඇය "සෙවිල්ල" සඟරාවක්සේම අදහසින් මෘදු මොළොක්ය. මිනිසත් බවින් සුවඳවත්ය. හිත්වත් කමින් වර්ණවත්ය. දැනුමෙන් සඟරාවක්ම විය. එවන් සඟරාවක් පිළිබඳව මාගේ සිත තුල මුළින්ම උපන් බිජුවට වන්නේ "සෙවිල්ල" ය!
මේ "සෙවිල්ල" සඟරාවල පිංතූර කිහිපයක් මෙන්න මෙතැනින් දැකිය හැක!
ඇය මා මුලින්ම දුටුවේ ඇයගේ "සායනික සටහන් . .." තුළිනි.
එදිනෙදා තමන් ගත කරණ වෘත්තීය ජීවිතයේදී ඇහෙන දකින විඳින සහ එක්ව කටයුතු කරණ විවිධ වූ අත්දැකීම් දෙස වෛද්‍යවරියක ලෙස මවක සොහොයුරියක යෙහෙළියක සමාජ වගකීම් දරන්නියක ලෙසින් මානව දයාව පිරිපුන් පුරවැසියෙකුගේ ඇසින් දැක ඒ පිළිබඳව සමාජයට වටිනා පණිවිඩයක් සිතන්නට තවත් මානයක් ගෙන ඒම එම පොතෙන් සිදුවී තිබුනි.
එදිනෙදා සිදුවන හා අප මුහුණ දෙන අවස්ථා තුල; සමාජයට දකින්නට ලැබෙන දේට වඩා නොකියවෙන යටි පෙල සාකච්ඡාවට ගැනීමක් "අනිත් කොන" තුලින් සිදුවිය.
බෝධිනී තුල සිටින කිවිඳියගේ කල එළි මංගල්‍යය "මනුපුර සක්මනෙන්" මා දුටිමි.
මේ සියල්ල අතරේ ඇය පසු ගිය කාර්තුවේ අළුත්ම මුහූවරකින් අප ඉදිරියේ දිස් විය. ඒ නවකථා කාරියක් ලෙසිනි.
අප වගේ රටක දුර බැහැරක යාමට බසයකට නැගීමෙන් පසු ආසනයක් ලැබීම බෝනස් එකකි. ඒ ලෙසම මා දකින අයුරින් හා මා සිතන අයුරින් නව කථාවක හෝ වෙන යම් කලා කෘථියක තිබිය යුත්තේ ගලා යෑම හා රසවත් බවයි. එය තනි වචනයකින් ලියනවා නම් රසවත්ව ගලා යෑමයි.
කලාකෘථියක රසවත් බව විවිධ ලෙස අර්ථ ගැන්විය හැකිවාක් සේම එය රස විඳින්නාගේ ස්වභාවය මත විවිධවූ අර්ථ කථනයන්ද දිය හැක. එහෙත් අවසානයේ සිදුවිය යුත්තේ මා කලින් පැවසූ ලෙසින් රසවත්ව ගලා යෑමයි. මේ නිසාම; මෙම පොත පිළිබඳව ගම්පහ්දී කෙරුණු කථිකාවකදී මා පැවසූවේ කලා කෘථියකින් සමාජ පණිවිඩයක් දීම අනිවාර්‍ය අංගයක් නොවන බවයි.
එය මා දකින්නේ බසයකට ගොඩවූ පසු එය ගමනාන්තය තෙක් අකණ්ඩව හා ආරක්ෂිතව ගමන් කිරීම ලෙසින් ය.
බසයේදී ලැබෙන ආසනය ලෙසින් කලා කෘථියක් තුලින් ලැබෙන සමාජ විඥානය, සමාජයට ලැබෙන පණිවිඩය, සමාජය නියාමනය කිරීම දකිමි.
බෝධිනී නව කතා කාරියක ලෙස දොරට වැඩි "මගේ පස්සෙන් එන්න" රෝමාන්තික කථන්දරයක් ලෙස බැලූ බැල්මට පෙනුනද එය කියවාගෙන යන විට විදාරණය වන්නේ සමාජයේ හරස් කඩකි. කොළඹ නාගරික අවම පහසුකම් සහිත පරිසරයක් තුල වඩාත් යහපත් හෙට දිනක් තැනීමට යන්ත දරණ තරුණයෙක් හා ඊට එක්වන කළු සුදු අළු චරිත වටා මේ කථාව ගෙතේ.
එහෙත් බෝධිගේ මෙම පොත නො එසේනම් කලා කෘථිය තුලින් පාඨකයා රසබරවත් අඛණ්ඩවත් ගෙන යන්නේ වඩාත් සුන්දර වූ ලොවකට වීම; කලාකෘථියක් ලෙසින් වඩාත් සාධණීය බවක් පොතට එක් කිරීමට සමත්වී ඇත!
"මගේ පස්සෙන් එන්න " යැයි ඈ ආරාධනා කරණ්නේ ඒ ලොව තැනීමටය!
වරෙක මා දුටුවා සිනමා සඟරාවක ස්වර්ණා මල්ලවාරච්චි පිළිබඳව ලියැවුනු ලිපියක්. "නුදුරේදීම අපට ඇයව අමතකව යනු ඇත!" එම ලිපියේ හෙඩිමේ අර්ථයයි. මෙම මාතෘකාව ලිහිල් කරණ කතුවරයා පෙන්වා දී ඇත්තේ ස්වර්ණාගේ තාත්වික රංගණය කරන කොටගෙන; ඒ ඒ චරිත මිස ස්වර්ණා යන පුද්ගල චරිතය අපගේ මතකයෙන් ඉවත්වී යනු ඇතැයි කියාය.
බෝධිනී ඔබ කුමන විදියේ කලා කෘථියක් කලත් එතැනට පත් නොවෙනු ඇත. ඒ මන්ද ඒ සියළු කලා කෘථීන් තුල ඔබගේ මුද්‍රාව ඔබට ඉවත් කල නොහැකි වනවා මෙන්ම අපට සොයා ගැනීමටද හැකිවන නිසාය.
ඒ ඔබගේ විශාල හදවත පිරි මානවීය ගුණයයි.