04. මැරෙන්නත් එපා . . . . ! මැරෙන්න අරින්නත් එපා . . . .!! (ජීවිතයට වටිනාකමක් දෙන්න!)




"ඔබ හෙලන හුස්මෙන්ද ජීවිතයක් ගලවා ගත හැක
                                                                - නිවැරදිව හුස්ම හෙලීමට පුහුණු වන්න …!"
මා ඉහත දක්වා ඇත්තෙ ශ්‍රී ලංකා ජීවිත අරක්ෂක සංගමයේ නිළ අත් පොතෙහි මුල් පිටුවේ තේමා පාඨයයි . 

මෙම පොත පිටවූ 1984 වසරේ ගනන් ගැනීමේ හැටියට අප රටේ රිය අනතුරු වලට වැඩි මරණ ගනනක් සිදුවන්නේ ජලයෙනි .මෙහි වඩාත්ම කණගාටුව ගෙන දෙන කරුණ නම් මෙයින් බොහෝ දෙනා මියයන්නේ ජීවිතය  ගලවා ගැනීමට බොහෝ  අවස්ථා තිබියදී හෝ තැනට සුදුසු   නුවණින් යුතුව කටයුතු කිරීමට හැකි අයෙකු නොසිටීම නිසාය .(නොඑසේ නම් සිදුවීම සිදුවෙන අවස්ථාවෙ එහි සිටි අය තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු නොකිරීමය .)

 එහි දක්වා තිබුනු අප එදිනෙදා  ජීවිතයට වැදගත්  යැයි සිතුනු කරුණු කිහිපයක් ; පලපුරුදු ජීවිතාරක්ෂකයකුගේ අදහස් හා එක්කොට  පහත පෙලගස්වා ඇත.

1.කොයි තරම් ජනාකීර්න වුවද  පලාතේ  පිරිස් නෑම සඳහා භාවිතා නොකරන ස්ථාන නෑම සඳහා තෝරා නොගන්න .(ඔය කියන්නේ Galle Face එක කොච්චර සෙනඟ ගැවසෙන ස්ථානයක් වුවද  කවුරුත් නෑම සඳහා  භාවිතා නොකරණ තැනක් කියන එක වගෙ !) එසේම කිසිවෙකුගේ අවධානය යොමු නොවන ස්ථානයන් වල දිය නෑමට නොයන්න ! පුහුණු ජීවිතාරක්ෂකයින් සිටියි නම් ඔවුන් ගෙන් උපදෙස් ලබාගන්න .

2.දියට බැසීමට පෙර; තම පිරිසේ  පිනීමට ඇති හැකියාව ගැන සොයා බලන්න  .

3.දියට බැසීමට පෙර පිරිස ගනන් කරන්න  . එසේම දියෙන් ගොඩට  පැමිනි වහාම පිරිස ගනන් කර බලන්න .

4. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට කඹයක් ,ජීවිත  ආරක්ෂක උපකරණ්‍යක් ලෙස භවිතා කල හැකි දෙයක් ලඟ තබාගත් අයෙකු ; වතුරට බට පිරිස සෑම විටකදීම නිරීක්ෂනය සඳහා තබන්න.  (ඔය කියන්නෙ “ ඔය ගොල්ලෝ නාන්නකෝ අපි තව ටික කින් එන්නම් |” කියලා ගොඩ ඉඳන් ඩ්‍රින්ක් එකකට සෙට් වෙන අය ගැන නෙවෙයි  මම හිතන්නේ !)

මෙම ලිපියේ දක්වා තියෙනවා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට හැකි ජීවිත  ආරක්ෂක උපකරණ ලැයිස්තුවක් මෙන්න මේ විදියට . ටියුබ් එකක් , වාහනයක අමතර රෝදය හෙවත් spare wheel එක, කට හොඳින් වසන ලද කෑන් එකක් ,සරමක් ,පොල් අත්තක් , පාවෙන ලෑල්ලක්  ෆුට් බෝලයක්  ඔය  වැනි දහසකුත් එකක් දේ මේ ලිපියේ දක්වා ඇත . 
ගමනක් යන කොට ගෙනියන්න පුළුවන් අඩි කීපයක් දිග ලනුවක් ලඟතබා ගන්න . (මම ලනුවක් කියලා කිව්වේ නැතිනම් “කඹයක්” කිව්ව ගමන් හිතට එන්නේ අවුරුද්දට කඹ අදින්න  ගෙනා  සයිස් භණ්ඩයක් ! පොඩි නයිලොන් ලනු කෑල්ලක් වැඩේට හොඳටම ඇති . හැබැයි ටිකක් දිග තියේ නම් හොඳයි .ලනුව සිහින් උනාම ඒක අල්ල ගන්න එක දියේ ගිලෙන්න යන කෙනාට  අපහසු බැවින් ලනුවේ කෙලවරට පාවෙන , අත ලිස්සන්නේ නැති පොඩි ගැජට් එකක් ගැට ගසා ගත්තාම අවුලක් නැත . ලොකු කඹයක් වුනත් එහි කෙලවරට ගැටයක් ගසා තිබිම සුදුසුය . ටියුබයක් වුවද එයට ලනුවක් ගැට ගසා සූදානම්ව තබාගන්න .

5. මීට පෙර අත්දැකීමක් නොමැති ස්ථානයක දිය නෑමට යන්නේනම්
     i පලාතේ අයෙකුගෙන් එම ස්ථානයේ ගැඹුර  ඇතුළුව විස්තර අසා දැනගන්න .
    ii එසේ විස්තර දැනගැනීමට හැකි වුවද නොවූවද හොඳින් පිහිනීමට හැකි අයෙකු කඹයක් හෝ වෙනයම් ජීවිතාරක්ෂක උපකරණයක් අතැතිව දියට බැස නිරීක්ෂණය කල පසු අන් අයට දියට බැසීමට අවසරය දෙන්න . (මෙවන්  කටයුතු අපගේ සමාජයට බොහෝ සෙයින් නුපුරුදු හෙයින් මෙසේ කටයුතු කිරීම අන් අයට විහිළු සැපයීමක් සේ ඔබට දැනෙනු ඇත ; අන් අයට පෙනෙනු ඇත . එයින් පසුබට නොවන්න .කිසි විටෙක එකවර දියට පැනීමෙන් වලකින්න . පෙරදින; දිය නෑමට  ඉතා සුදුසු  ස්ථානයක් පසු දින හෝ තරමක කාලයකට පසු එකවර බැසීමට  නුසුදුසු තැනක් විය හැක .ගලා යන දිය පහරක  ; ගසක  මුලක් , තහඩු කැබැල්ලක් , බෝට්ටුවකින් කැඩී  ගිය ෆයිබර් කොටසක් වැනි අන්තරායකාරි ආගන්තුක දෙයක් දිය මතු පිටට නොපෙනී තිබිය හැක !)

6. බීමත්ව පිහිනීම බීමත්ව රිය පදවනවා හා සමානය .

7. මුහුදේ හෝ වෙනත් විශාල ජලාශයකට බැසීමට පෙර ගොඩබිම යම් නිශ්චිත සලකුනක් සනිටුහන් කරගෙන දියට බසින්න .මුහුදේ ඇති දිය වැල් දිය මතුපිටින් දැකිය නොහැක . තමා දිය වැලකට හසුවී ඇති බව තේරුම් යන විට බොහෝ විට ඉතා අවදානම් තත්වයකට පත්වී අවසන්‍ය .  තමා පත්වී ඇති අන්තරා දායක තත්වයෙන් මිදීම සඳහා ; කිසිවිටෙක දිය වැලට හෝ ගලා යන දිය පහරට විරුද්ධ දිශාවට පිහිනන්නට යැමෙන් වලකින්න .දිය වැල හෝ දිය පහරට අවනතව පිහිනා ආරක්ෂාකාරී ස්ථානයකට ගොඩ වන්න .

8. දිය පහරට වඩාත් පහසුවෙන් ගොදුරු විය හැකි සරොම් ,චීත්ත ,රෙදි ,ඇඳ ඇතිරිලි ආදිය වෙනුවට කොට කලිසමක් වැනි ඇඳුමක් භවිතා කරන්න .

9. පිහිනීමට දුර්වලනම් සුලං පිරවූ ටියුබ් පාවෙන  ලී කොට අදිය උපයෝගී කරගෙන ඈතට නොයන්න .දියෙන් තෙමුනු ට්යුබයක් දියේදී අල්ල ගැනීමට අපහසුය .ලිස්සන සුළුය !

10 . බෑවුම් සහිත ස්ථාන වල දියෙහිද  එම බෑවුම ඒ ආකාරයෙන්ම ඇති  බැවින් දියෙහි ගැඹුරද එලෙසින්ම අධික බව වටහා ගන්න .

11.  දියෙහි ඇති කිසියම් වස්තුවක් වෙත පිහිනා යෑමට පෙර එම  ස්ථානයට ඇති සැබෑ දුර  පියවි ඇසින් පෙනෙන දුරට වඩා බොහෝසෙයින් වැඩි බව තෙරුම් ගන්න . තමාගේ ශක්ති ප්‍රමානයත්  ; පිහිනීමට  ඇති දුරත් හොඳින් වටහා ගන්න .

12 .තමා හෝ තම කණ්ඩායමේ වෙනත් අයෙකු මොනතරම්  පිහිනුම් ශූරයෙකු වුවද බෝට්ටුවක ඔරුවක ගමන් කිරීමේදී ජීවිතාරක්ෂක කබා ඇඳීම අනිවාර්‍යයෙන්ම කලයුතු අංගයක් වනාතර ; එය නියමාකාරයෙන් බකල් , පටි ,ආදිය භාවිතා කර නිවැරදිව ඇඟලා  සිටිය යුතුය . එසේම එය තමන්ගේ සිරුරට හොඳින් ගැලපෙන ප්‍රමානයේ විය යුතු අතර  බාල  මහළු සැමට අනිවාර්‍ය වේ .

13 . දියෙහිදී තම හැකියාව පෙන්වා ලබන තෘප්තියට වඩා ජීවත්වීම  වඩා අනගි බව සිතන්න .

14 . පිහිනීමට  හැකි හා වගකීමක් දැරිය හැකි අය  ගැඹුරු දෙසින් රඳවා අන් අයට එම පෙදෙසට නොයෑමට තරයේ අවවාද කරන්න .

15. ගං ඉවුරේ ජල පහර අනුව ගඟ  මැද වේගය තීරණය නොකරන්න .

16. ජලය මතුපිට පාවෙන කිසිදු ආගන්තුක දෙයක් යටින් පිහිනා යාමට උත්සාහ නොකරන්න  . (බෝට්ටුවක් ,පහුරක් , පාවෙන ගසක් , පවෙන සුන්බුන් ස්ථරයක්  හෝ වෙනත් ඕනෑම දෙයක්  .)

17. වැව් පතුලේ  විශාල මඩ තට්ටුවක් පැවතී බොහෝ විට පවතී .වැව් සොරොව්ව අසල දිය නැමෙන් වලකින්න .

18. වතුර පිරුණු කාලයට වැව් කණ්ඩිය අසල බොහෝ ගැඹුරය . වැව් කණ්ඩිය අසල ගොඩගසා ඇති ගල් අතර (රැළ පනාව) පාද සිරවේ යෑමේ  අවධානමක් පවතී .

19. මේ වන විට බොහෝ ගංඟා ඇල දොල වල කිඹුලන් ගැවසේ . ගං වතුර කාලයට වෙනදා නොසිටි පෙදෙස්  වල පවා කිඹුලන් සිටිය හැක .(පසුගිය ගං වතුර කාලයේදී  කැළණියේ බොහෝ පෙදෙස් වලින් කිඹුලන් පිළිබඳව ආරංචි විය.එගොඩ කැළණිය  බොධියට නුදුරින්ද කිඹුලන් ගැන වාර්ථා විය.)

20. ගං වතුරේ ගමන්  කරණ විටදී නොපැහැදිලි දියට යටින් කම්බි වැටවල් , බෝතල් කටු යකඩ උල් සවිකල තාප්ප තිබිය හැක . ඉතා ප්‍රවේශම් වන්න .(පසු ගිය ගං වතුර කාලයේදී අධාර බෙදීමට ගිය kayak ඔරුවක් ; අඩි 15ක් පමණ ගැඹුරු දියේ හිරවූ අතර එහි ගිය අයෙකු දියට බසින්නට සැර සෙත්ම යාන්තමින් දුටුවේ තාප්පයක් මතුපිට සවිකර තිබුනු යකඩ කූරු පෙල එයට හේතු වූ බවයි . මාලඹේ  චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මෙම තාප්පය හා උල් පෙල තවමත් පවතී !)

21.

22.

23.
මෙසේ අංක පමනක් දක්වා ඇත්තේ තවත් බොහෝ කරුණු මෙය කියවන ඔබ දන්නවා ඇති. ඔබට අසාදැන ගත හැක . සොයා දැනගත හැක . ඒ කරුණු ඒසියල්ල ක්‍රියාවේ යොදවා .......

ඔබ දියේ ගිලී මියයාමෙන් වලකින්න !
             අන් අයෙකු දියේ ගිලී මියයාමෙන් වලක්වා ගන්න  !!    

6 comments:

  1. මම එකපාරක් ගිලෙන්න ගියා. මට තාමත් හිතාගන්න බැහැ මොකද උනේ කියලා. එකම මතකය තියෙන්නේ මම පොඩ්ඩක්වත් දඟලන්නේ නැතුවම කෙලින්ම වතුර ඇතුලට ඇදිලා ගියා කියලා විතරයි. මට මරණ බයක් දැනුනේ නැහැනේ! ඒ උනාට මාව ගිලුන බව තේරුනා!!

    ReplyDelete
  2. මම තිදෙනෙක්ව වතුරේ ගිලෙද්දී සක්‍රීයව සම්බන්ධවී බේරාගෙන තිබෙනවා. දෙදෙනෙක් කැළණි ගඟේ. අනෙකා පිහිනුම් තඨාකයකදී. මම හැම දාම කැළණි පාලම උඩින් එනකොට හරිම විම සිල්ලෙන් එන්නේ. කවුරුවත් ගිලෙනවද කියලා! මට ඕනෙ මැරෙණ්න කලින් ඒවාගෙ කෙනෙක් බේරා ගන්න!

    ReplyDelete
    Replies
    1. මම ගිලෙන්න ගියේ මගේම අම්මගේ ඇස්දෙක ඉස්සරහ. ඒ වගේම අපි දිය නෑවේ එතරම් ගැඹුරු තැනක නෙවෙයි. අර කිව්වා වගේ එතන නාපු අනිත් උන් බාල්දි වලින් නෑවේ. මම ඉතින් පණ්ඩිත ආච්චි වගේ පිනාගෙන ගිහින් ගලක් උඩට නැගලා ඩයිව් කළා. මට වැඩිය පීනන්න බැහැ අඩි දහයකට වඩා. අඩි දහයක් පීනාගෙන ගිහින් කකුල තිබ්බා. හුටා.... කකුල බිම වදින්නේ නැහැ. මාව එහෙම්මම යටටම ගියා බටයක් ගිලෙනවා වගේ. මම දැඟලුවේ නැහැ. කිසි කෙනෙක් දැක්කේ නැහැ, හිතුවේ නැහැ ඒ වෙච්ච දේ , මොකද ඊට ආදී දහයකින් යසට මාමා නාමින් හිටියා. (හැබැයි එයා දී හයක් විතර උසයි, මම අඟුටු මිට්ටි උනාට) එකම එක පාරක් මම කකුල් ගහලා උඩට ඇවිත් 'මඅමා කිව්වා. එච්චරයි. ආයෙමත් මාව යට. මට තේරුනා මාව එතන තිබ්බ දෙබුක්කාවට ඇදිලා යනවා කියල. වැඩේ කියන්නේ මට මැරෙන්න යනබව තේරුනත්, බයක් දැනුනේ නැහැ. දෙය්යෝ සිහි උනෙත් නැහැ. නිකන්ම බ්ලෑන්ක්!

      මාමා ට මම කතා කරනකොටම එයා වතුරට පනිනවා පෙනුනා. එයා ඇවිත් මාව බේරාගත්තා. ආපහු ගෙදර යද්දී අපේ අම්මා හෝ ගාල අඬනවා. හොල්මන් වෙලා. මම ඉන්නවා ෂපාන් එකේ. මට දැනටත් ඒ ගැන තියෙන්නේ හීනයක් වගේ මතකයක්.

      එදා මරුනානම්... සිරාවට???? හත්වලාමයි ( එහෙම ලිව්වට මට දැනටත් බයක් දැනෙන්නේ නැහැ)

      ආ... මාවත් පොඩි කාලේ කැළණි ගඟේ ගිලෙන්න ගියා තමයි. මතක නැහැ කොහොම බෙරුනාද කියල.. හි හි හි

      ඒ උනාට මම හරි ආසයි වැවෙන්, ගඟෙන් නාන්න. හැබැයි ප්‍රසිද්ධ නොවන ස්ථානවල. පූල් දැකීමෙන් ආවේස වෙමි.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. දියේ ගිල්ලෙන්නෙකු බේරා ගැනීමට යාමේදීත් පරිස්සම් වන්න. සරමක් ලනුවක් වැනි යමක් භාවිතා කරන්න. ඔබත් එතනට පිහිනා යන්නේ නම්, ඉහත ආරක්ෂිත උපක්‍රම නොමැති වීම ඔබටත් මරු කැදවිය හැක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධම්මික! මේ පිළිබඳව මා කිහිප වතාවක් අත් දකිම් ලැබුවෙක් වෙමි. බොහෝ විට දියේ ගිලෙන්නා වෙත තරමක් දුරට ලං වූ පසු; තමා ඔහුව (හෝ ඇයව) බේරා ගන්නා බව ස්ංනිවේදනය කිරීමට හැකියාවක් වෙතොත් පහසු වේ. හැකි හැම විටෙකදීම ඔබ කී පරිදි දුරස්ථව සිට ඔහුව ගලවාගැනීම වඩාත් බුද්ධිමත් ක්‍රියාවකි. එලෙසම හැකි හැම විටෙක දීම ගිලෙන්නාගේ පසුපසින් ලං වීමත් කල යුතු කරුණකි. වඩාත්ම අවශ්‍යවන්නේ තැනට සුදුසු අයුරිණ් සිතා බලා ඊට අනුගතව කටයුතු කිරීමය. එවන් හදිසි අවස්ථාවකදී තමා අවට ඇති ජීවිතාරක්ෂක උපකරණය හැඳින ගැනීම තමා වැදගත්! මෙය ටියුබයක්, කෑනයක්, පොල් අත්තක්, වාහනයක අමතර රෝදයක් විය හැක. කුමණ කරුණකට හෝ දියට බැසීමට පෙරම ඒ අවට තිබෙන මෙවන් දේ ගැන එක බැල්මකින් හැඳින ගන්න! එය ලැබෙන්නේ පුහුණුවකින්මයි. ඔබ අද සිට ගෙදර දොරේ හෝ වෙනත් ස්ථානයකට ගිය පසු; දියේ ගිලී යාමකදී කිසිවෙකු බේරා ගැනීමට ප්‍රයෝජනවත් උපකණ හඳුනා ගැනීම සිදු කොට බලන්න. ටික කාලයක් යනකොට ඔබට සිතේවී අප අවට කොපමණනම් දේ තිබියදීද මිනිස්සු මේ විදියට ගිලෙන්නේ කියා?

      '

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...