Saturday, July 17, 2021

205. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (1)

හරි මැද්දෑවෙන් කිරි කොකා වගේ ඉන්නේ ප්‍රේමතිලක සර් ය!
අපේ ඉස්කෝලෙ මෑත භාගයේ හිටපු නම් දරාපු විදුහල්පතිතුමා තමයි එච් යූ ප්‍රේමතිලක මහත්තයා. එයා අපේ ඉස්කෝලෙට ඇවිත් සෑහෙන කාලයක් ඉඳලා අධ්‍යාපනය ක්‍රීඩා වගේ අංශවලින් පාසල ඉදිරියට ගෙනල්ලා මීට අවුරුදු පහකට හයකට විතර ඉස්සෙල්ලා පාසලෙන් පිට උනා. එතුමා ගියේ අධ්‍යපන අධ්‍යක්ෂක තණතුරකට උසස්වීමක් ලැබිලා!

ඉතිං මේ ප්‍රේමතිලක සර් පාසලෙන්  යන අවසාන දවස් වලට සති කීපයකට පෙර අපේ කොළුවා ගෙනාවා පණිවිඩයක්!

"අත්‍යාවශ්‍ය කාරණාවක් සඳහා පැවැත්වෙන දෙමාපිය විශේෂ රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන්න!" මේක තමයි සැකවින් තිබ්බේ දිනයක් සහ වෙලාවක් එක්ක.

දිනේ යෙදිලා තිබ්බේ හෙට නෙවෙයි අනිද්දා වගේ.

එදින උදේම මමත් හෙමිං සීරුවේ පාසලට ඇතුළු උනා පරන ආදී ශිෂ්‍යයෝ හෙවත් පරණ කකුල් එක්කම.

"මොකක්ද දන්නෑ සීන්ස් එක නේද?"

"ප්‍රේමතිලක සර් යන එකට මොකක් හරි කරණ එකකට!"

යන්තං වැඩේ මොකක්ද කියලා දැන ගත්තේ ගේට්ටුවෙන් ඇතුළු වෙන කොටම වගේ.

ඔඩිටෝරියම් එක හෙවත් ශ්‍රවණාගාරය තියෙන්නේ තට්ටු තුනේ ලැබ් බිල්ඩිමේ කෙළවරේ.

ඒකට නගින්න ඕන තට්ටු තුනක්ම!

නුවර පෙරහැර අවසන් උනාම දළදා වීදිය වගේ පඩි පෙළ දිගේ අම්මලා තාත්තලා.

හිමි හිමීට මහගිරි දඹේ තරණය කරණවා වගේ උඩට ගිහින් පිටිපස්සට වෙන්න තිබ්බ පුටුවකට යන්තං සෙට මෝල් උනා දඩිය පොල්ල දාගෙනම.

තවත් විනාඩි විස්සක් පැය භාගයක් යන කොට ගුරුවරුන් ගුරුවරියන් එක්කෙනා දෙන්නා වේදිකාව උඩ අසුන් ගත්තා.

පාසලේ ශිෂ්‍ය නායකයින් හා සංනිවේධන අංශයේ කිහිප දෙනෙක් මයික් ටෙස් කරණවා ඈම්ප් එකද මික්සර් එකද මංදා ඒ අටමංගල්ලෙ කරකවමින්.

"ටෙස්ටින් ! ටෙස්ටින් !! ටෙස්ටින්!!! වන් ටූ ත්‍රී"

"ටෙස්ටින් !  වන් ටූ ත්‍රී"

ඇතුලේ තිබුණු ඝෝෂව ටිකක් අවම උනා.

"ඒ අන්න පටන් ගන්න හදන්නේ!" ආපස්ස හැරී තෙලක් බෙද බෙද හිටිය තාත්තෙකුඅට තවත් එකෙක්; මෙතැනට ආව කාරණේ සිහිය සැපත් කලා!

තවත් විනාඩි 10 කින් විතර එතැන හිටිය ගුරු තුමෙක් මයික් එකට කිට්ටු කලා.

"ටොක්! ටොක්!! ටොක්!!!" මයික් එකට තුන පාරක් කෙටුවා. ඊට පස්සෙ පස්ස හැරිලා පසෙකින් හිටපු ශිෂ්‍ය නායෙකයෙකුට මයික් එක පෙන්නලා මොකක්දෝ කිව්වා. 

ඔවුන් අර විද්‍යුත් මෙවළමේ රෝදයක් එහාට මෙහාට කර කවලා ඔළුව දෙපැත්තටම වැනුවා.

"ටොක්! ටොක්!! ටොක්!!!" ගුරු භවතාගේ මුහුනේ තිබුනේ තරමක නුරුස්සනා බැල්මක්. ඔහුගේ ලයාන්විත හඬට මේ මෙවලම් පද්ධතිය සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ නොකරාවි යැයි ඔහුට සැකයි වගේ. අන්තිමේ අකමැත්තෙන් උනත් මයික් එකට යන්තමින් කැස්සා!

"ම්ම්හ්හ්හු! සුභ උදෑසනක් දෙමව්පියනි . . . . . . ! උගුර පාදාගෙනම ටෝක් එක පටන් ගත්තා!

"සුභ උදෑසනක්!" රැස්ව සිටි පිරිස පුණරුච්ඡාරණය කලා!

"අද මේ විශේෂ රැස්වීම සඳහා අප ඔබ සැම මෙහි කැඳවූයේ; පුරා වසර ගනනාවක් අපගේ විද්‍යාලයට මහත්වූ සේවයක් කල එච් යූ ප්‍රේමතිලක මහතා අමගෙන් සමුගෙන යාම සහ ඒ වෙනුවෙන් ඒ මහතා වෙත පැවැත්වීමට යෝජිත උත්සවය හා ඒ මහතා වෙත ලබා දීමට සුදුසු ත්‍යාගයක් පිළිබඳව සාකච්චා කිරීමටයි . . . . . . . . . . . . . . . . . .! . . . . . . . . . . .. .   ."

කතාව තවත් විනාඩි කිහිපයක් පවත්වා;දෙමාපියන්ගේ ඒ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරණ මෙන් ඉල්ලා ගුරු තුමා තමාගේ ආසනයේ අසුන් ගත්තා.

ගුරු තුමාගේ කථාව අවසන් වී විනාඩි දෙකක් වත් ඉකුත් වන්නට මත්තෙන් ඉදිරි පෙල සිටි මහත්මයෙක් නැගිට වේදිකාවට පිවිසුනා!

"මචං  බස් ගැමුනුවා . . !" ළඟ හිටිය එකෙක් තව එකෙකුට කියනවා මං අහගෙන.

මේ පෞද්ගලික බස් හිමියන්ට හැමදාම පාඩුයි කියලා බස් ගාස්තු වැඩි කරණ මෙන් කාලෙකට සැරයක් ටීවී එකේ නාහෙන් අඬන බුවා!

"මූලාසනාරූඩව සිටින ගුරුවර ගුරුවරියන්ගෙන් අවසරයි! හිතවත් නෝනා වරුණි! මහත් වරුණි!! . . . . . . . . . . . . . . . . . . . . මේ අපගේ විදුහල්පති එච් යූ ප්‍රේමතිලක මහතා අපේ පාසලට කල ඇති සේවය . . . . . . . . . . . .  . . . . .  . . . . . . . එම නිසා මා යෝජනා කරණවා මේ මහතාට ත්‍යාගයක් ලෙස මෝටර් රථයක්ලබා දීමට . . . . . . . . . . . . . . "

"අම්මට හුඩු . . ! කාර් එකක් දැණ් කීයක් වෙනවාද? කීයක එකක්ද අරං දෙන්නේ? එතකොට එක් අයෙකුගේ කොටස කීයක් වෙයිද?" මේ මගේ හිතට නැගුණු ගැටළුය!

මුළු ශ්‍රවණාගාරයම එකවර නිහඬවී ගියා! තවත් මිනිත්තු ගනනකින් නැවතත් සුපුරුදු කච කචය පටන් ගැනුනා!

ඒ එක්කම මගේ හිතට ගලා ආවේ; ඊට සති කිහිපයකට පෙර මාගේ කොළුවා ගෙදර විත් මා සමග ඔහුගේ හොඳම යාළුවා පිළිබඳ සඳහනක් කල හැටි.

"තාත්තේ! රුවන්ගේ තාත්ත වෙල්ඩින් වැඩනෙ කරන්නේ. මේ දවස් වල  එයාලගෙ තාත්තලාට වැඩ ආවේ නැතිලු!!  ඉතිං ඒ හින්දා ගෙදර සෑහෙන්න අමාරුයිලු!" 

මා ඉගෙන ගත් පාසල අගනුවර මාධ්‍යයේ පිහිටි එකක් වුවද එහි ඉගෙන ගත් සියල්ලන්ම සුපිරි පංතියේ අය නොවීය.

පාසලේ නව වසරක් සඳහා ශිෂ්‍යයන් 48 දෙනෙකුගෙන් සමන්විත පංති  10 ක්-12ක් පමණ ඇතුලත් කර ගනී.

මේ ශිෂ්‍යයන් එන්නේ විවිධ වූ තරා තිරමේ ආර්ථික වට පිටාවකිනි.

හය වසරේදී තවත් පංති තුනක් සඳහා ශිෂ්‍යත්වයෙන් සමත්වූ පිරිස දුර බැහැර පලාත් වලින් එන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මධ්‍යම පාංතික පවුල් වලින් හෝ දිළිඳු පවුල් වලින් පැමිණෙන්නෝ විය හැක!

මාගේ දරුවාගේ මිතුරාද හය වසරේදී පාසලට එක්වූ දරුවෙකි.

"ඔව් මේ යෝජනාව වැරදි එකක්! මේක පරාජය කරණ්ණ ඕන!!" මම මටම කියාගෙන වේදිකාවට ඈතින් වූ අසුනෙන් නැගිට්ටා! නෙවෙයි නැගිටුනා!!

අතුරු සිදුරු නැතිව පිරුණු ශ්‍රවණාගාරයේ පුටු අතරින් උඩින් පනිමින් ඉදිරියට ගියා.

මා වේදිකාව අසලට එන විට ශාලාව සෑහෙන්න පමණ නිශ්ෂබ්ධ වෙලයි තිබුනේ.

"එන්න!" මූලාසනයේ උන් ගුරු භවතා මාහට මයික්‍රෆෝනය සහිත පෝඩියමය පෙන්වූවේ තවත් සාරගර්භ කථාවක් කියලා හිතලා වෙන්ටැ!?

මා මගේ කථාව පටන් ගත්තෙමි. එහි සැකවින් සාරාංශය මෙසේ උනා.

"තෑග්ගක් දිය යුත්තේ අප අතරින් එක් වන මුදලින් විනා තෑග්ග පළමුව තීරණය කොට එහි බර දෙමාපියන් මත යෙදීම එතරම් සාධාරණ එකක් නොවේ. 

මෝටර් රථයක්  යනු දිය හැකි වටිනාම ත්‍යාගයද? දෙමාපියන් වෙතින් එක් වන මුදලින් ඊට සරිලන වෙනත් වටිනා ත්‍යාගයක් සොයා ගත නොහැකිද?

මගේ දරුවාගේ මිතුරාගේ පියාට මේ කාලයේ නියමිත ආදායම් මාර්ගයක්වත් නෑ!

ඔහු හදවතින් මොනතරම් විදුහල් පති තුමා හට ගරු කලද ඔහුට මෝටර් රථයක් ලබාදීමට දායක විය හැකිද?

එනිසා කල යුත්තේ දෙමාපියන් අතරින් එකතුවන මුදලින් ඊට සරිලන ත්‍යාගයක් ලබා දීම මිස පළමුව තෑග්ග තීරණය කිරීම නොවේ!"

මගේ කථාව පටන් ගනිද්දී තිබුනු පුංචි පුංචි කසු කුසුත් අවසාන වෙද්දී නැතිව ගොස් තිබීම මට ගෙන ආවේ සතුටක්. කථාව මා අවසන් කල අයුරු මට අදටත් හොඳටෝම මතකය.

"මාගේ යෝජනාවට එකඟ නෝනාවරු මහත්වරු කරුණාකර අත ඔසවන්න!"

රැස්ව සිටි අයගෙන් සීයට අනූ නවයක්ම සිය අත් ඔසවා මාගේ යෝජනාවට මනාපය ලබා දුන්නේ මාව අමන්දානන්දයට පත්කරවමින්.  

"අන්න බහුතරය!" මා මූලාසනය වෙත පිරිස දක්වා වේදිකවෙන් බැස ආවෙමි.

වේදිකාවේ හිටිය ගුරුවර ගුරුවරියන් මූලාසනේ හිටිය ගුරුතුමාගේ දෙසට නැවී මොන මොනවාද කියනවා! ටිකකින් මූලාසනේම නැගිට විත් "මං කියපු කාරණය ගැන පොඩ්ඩක් කල්පණා කරණ්න! අපි දරුවා අතේ කියල එවන්නම් මොකක්ද කෙරෙණ්නේ කියලා. ආයිබෝවං!" සභා තොමෝ විසිර ගියා!

එළියට ආවිට ගම්පහ සකලසූරිය එලියේදී හමුවිය!

"උඹ යකෝ නැගිටිනකොටම මං දැනගත්තා මොකාක් හරි අලුගුත්තේරු වැඩක් කරයි කියලා!" මේ ඔහුගේ ප්‍රකාශය හැකි තරම් සුමට සුමග හා සභ්‍ය විදියට ලිවිය හැකි ආකාරයයි!

වැදගත්ම දේ එය නොවේය!

සුපිංවතුනි; අනේ එච් යූ ප්‍රේමතිලක මහත්තයා වෙනුවෙන්; අද වන තුරා සතයක් වත් මා දන්නා තරමින් පාසලේ එකතු කලේ නැත !

ඒ විදියට ඒ ව්‍යාපෘථිය මා වෙතින් අල වනු ලැබීය!

පසුකලයකදී අධ්‍යාපන අධ්‍යක්ෂකතුමෙකු ලෙස පාසලේ වාර්ෂික ත්‍යාගප්‍රධානෝත්සවයට ප්‍රේමතිලක මහතා සපැමිණි අවස්ථාවක වසික විසින් පිළිගැනීම!

තවත් එවන්ම ව්‍යාපෘථියක් ඉදිරියේ බලාපොරොත්තුවන්න!

37 comments:

  1. සමහර දෙනෙක් අනුන්ගේ සල්ලි වලින් හෝ මහන්සියෙන් තමන්ගේ නම බබලවා ගන්න බොහොම දක්ෂයි. ඒ ගොල්ලෝ කරන්නේ මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කරලා එහි ගෞරවය ලබා ගැනීම මිසක්, ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බර පැණ දැරීම නොවෙයි. හරියට කොටන් අදින අලි සහ පෙරහැරේ යන අලි අතර තියන වෙනස වගේ.

    60/70 දශක වල කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති H. D. සුගතපාල මහතා විශ්‍රාම ගනිද්දී එතුමාට දුන් ත්‍යාගය මට අදටත් මතක් වෙනවා. අපේ ලෝහ වැඩ ගුරුතුමා (අමරදාස මහතා වගේ තමයි නම මතක, ඒ උනාට කවුරුත් දන්නේ ලෙබ්බේ කිව්වාමයි. එතුමා භාෂා තුනෙන්ම ජ්‍යාමිතිය, ලෝහ වැඩ ඉගැන්වූ බවත් කිව යුතුමයි.) මේසෙන් හැන්දක ආකෘතියක් ලෝහයෙන් හදලා, ඒක gold plate කරලා, සව් කඩදාසියකින් ඔතලා, එතුමා විශ්‍රාම ගන්නා උත්සවයේදී ප්‍රදානය කළා. ඒක පිළිගන්වන්න මොහොතකට පෙර, එය දැවටුමෙන් එලියට ගෙන, ඔබතුමාගේ අනාගතය මේකෙන් ගොඩ නගා ගන්න කියලා මේසෙන් හැන්දෙන් සිමෙන්ති අනන විදියට අභිනයෙන් පෙන්වූවාත් තවම මතකයි. එතුමාටත් මිල අධික යමක් දුන්නා නම්, මේ දේ වසර පනහක හෝ ඊටත් වැඩි කාලයක් හිතේ රැඳී තියෙන්නේ නැහැ.

    ත්‍යාගයක් කියන්නේ හිත හොඳින් දෙන, ලැබුනු තැනැත්තා පමණක් නොව, දුන් තැනැත්තාත් සතුටු වන දෙයක් විය යුතු බව අපේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

    මේ වැඩේ "අල" උනේ බස් ගැමුණු තමාගේ ප්‍රතිරූපය නංවා ගන්න ගිහිල්ලා කියලා හැමෝටම තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එදා මම කථාවේදීඉ පැවසූ තවත් කාරණා කිහිපයක් මට මේ මොහොතේ මතකයට එයි. "නිවාඩුවක් සඳහා බර පැන දැරීමක්, ගුවන් ටිකට් පතක්, විභාගයක් සඳහා පොත් කට්ටලයක්; මේ හැමදේම හොඳ ත්‍යාග වේ"
      ඇත්තටම මම වරක් මගේ මිතුරෙකු වූ එස්. ඩී. ලියනගේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වෙලාවේ ඔහුට ත්‍යාගයක් ලෙස දුන්නේ මා සතුව තිබූ දිවි නිය පොත්තක්. වරක් මට ලැබුනා ත්‍යාගයක් ලෙස කාලතුවක්කු ෂෙල්ස් (හිස් පතුරන් කොපු) දෙකක්. මා පෝස්ටුවක ලියා ඇථි පරිදිම අවසානයේ ඔටෝ මිරාජ් ආයතනයෙන් ඉවත්වී එන විට ලැබුනේ දයද්‍ර වැකියකිකින් සම්න් විත වූ පින්තූරයක් රාමු කල!
      ඒ හැමදේම මාගේ වටිනා වස්තූන්!
      මූල්‍යමය වශයෙන් ගත්තාම ඒවායේ වටිනාකම ඉතා සොච්චමක් විය හැකියි. ඒත් ඒවා සදා අනුස්මරණීය සංඛේත!
      //ත්‍යාගයක් කියන්නේ හිත හොඳින් දෙන, ලැබුනු තැනැත්තා පමණක් නොව, දුන් තැනැත්තාත් සතුටු වන දෙයක් විය යුතු බව අපේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ.// සත්තකින්ම දහස් වාරයක් එකඟය!

      Delete
  2. වෙලාසනින් තෑග්ග තිරණය කරලා සභාවෙන් අවසර ගන්න වෙන්න ඇති දෙමව්පියන් රැස්කළේ. ඔයවාගේ යෝජනා ගෙනල්ලා වැඩේ කරණ උන් අන්තිමේදි එකෙන් ගානකටත් කෙලලා තමයි වැඩේ කරලා තියෙන්නේ. වැඩේ අලවෙන්න හෝ විරුද්ධව කතා කරන්න නැගිටින අය අඩුයි. එහෙම කතා කරපු එකාටම වටකරන් නෙලන එකත් අපේ ජාතික අංගයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලේ පරණ කකුල් හින්දා පොඩි ගැම්මක් තිබුනා! ඒ නැතත් මම සාමාන්‍යයෙන් (මෝඩ කමටද මංදා) ඊළඟ මොහොතේ වෙන දේ ගැන එහෙම තැකීමක් කරණ්නේ නැහැ මේ වගේ වෙලාවට! මගේ අදහස හිතට එකඟව කියලා දානවා පස්සෙ ඕන දෙයක් කියලා හිත හදාගෙන!

      Delete
  3. වෙල්ඩන් තට්ටයා මහතෝ කළ දේට
    එය දෙනු නිසැක 'ගට' සිරිලක දෙගුරුන්ට
    නැති-බැරිකමේ ගිළිලා හිටියත් කරට
    කියන්නේ නැතිය ගොඩ දෙන ඔහොම විට!

    ReplyDelete
    Replies
    1. නිදී මහත්තයා මම එදා ඒදේ නොකිව්වානම්; මට ඔයාලට කියන්න කථාවක් ඉතුරු වෙන්නෙත් නෑ. ඒවාගේම ජීවිත කාලයටම ඒක ගැන හිත හිතා මම දුක් වේවි මගේ නිහඬ බව ගැන මටම සාප කරකර!

      Delete
  4. Ammata udu!Mara gatakne thibila thiyenne.Pankaduyi!

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්නකෝ ඇත්ත නැත්ත! ස්තූතියි ගොඩ වැදී කථා බස් කරණ්නට නැවතුනාට!

      Delete
  5. ඔය තෑගි සංස්කෘතිය ඉස්සරත් තිබුනද?
    විශ්‍රාම හෝ මාරුවෙලා යන අයට ස්ටාෆ් එකෙන් තෑග්ගක් දෙන්න ඇති. ලමයි දුන්නයි කියල මතකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය බුලත් අතක් දෙන එක, නැතිනම් කකුල් දෙක අල්ලලා වඳින එක තමා ටික ටික ඩිවෙලොප්වෙලා කාර් එකක් අරණ් දෙන තැනට ඇවිල්ලා තියෙන්නේ!

      Delete
  6. අයියා නැගිට්ට එක හොදයි ...... මිනිස්සු ගොඩක් වෙලාවට අනිත් අය වෙනුවෙන් කතා කරන්නේ නෑ. ප්‍රසිද්ධ ජාතික පාසැල් වලට මෙන්ම ගමේ ඉස්කොලෙටත් ඒ දේ එහෙමමයි .

    අල වූ ව්‍යාපෘථියක් කිව්වාට මෙටනම් එහෙම හිතෙන්නේ නෑ .

    එහෙම උන එකත් හොදයි ....

    වසික පුතා කිව්වා වගේ රුවන්ගේ තාත්ත වගේ කොච්චර තාත්තලා අම්මලා ඒමොහොතේත් සභාවේ ඉන්න ඇත්තද මොනවත් කියාගන්න බැරුව .

    අයියාගේ ලිවීම තුල මට හැමදාම වගේ හිත ලස්සණ මහත්මයෙක් මේ ලිපියෙත් පෙනුනා .

    ReplyDelete
    Replies
    1. නම් ගම් වලින් කොල්ලාගේ මිතුරාගේ නම හැරුණු කොට අන් සියල්ල සත්‍යය!
      ඔබට මෙන්ම මෙය කියවන ඕනෑම අයෙකුට මේ කථාවේ සත්‍යය අසත්‍ය බව පිරික්සිය හැකියි. මුළු මීටිම ටම තිබ්බේ කථා තුනයි. ගුරුතුමා ඉදිරිපත් කලා! ගැමුණු යෝජනා කලා!! මම අල කලා!!!
      ඒ දරුවා (රුවන්) මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අවසන් විභාගයට පෙනී සිටි දක්ෂ දරුවෙකි. එසේම ඔහු අදටත් කොල්ලාගේ මෙන්ම මාගේද මිතුරෙකි.

      ඊළඟ සතියේ ලියන එක බලන්නකෝ ඒක මීට වඩා සුපිරි!

      අනේ ඔව්! ඒකත් "ව්‍යාපෘථි අල කිරීමක්" පිළිබඳවම තමයි!

      Delete
  7. ආන්න ජංසන්,නම්බුකාර අල කිරිල්ලක්. ප්‍රින්සිපල් කොච්චර හොඳ වුනත්, දෙන දෙයක් දෙන්න ඕනෙ දෙමව්පියන්ගෙ කැමැත්තෙන්. ඔබ හරි, මෙතන වෙන්නෙ ගියේ මංකොල්ලයක්.

    මේ වගේ කප්පන් සංස්කෘතියක්, අලුත් වසරේ ගුරුතුමිය වෙනුවෙන් කුඩා දරුවන්ගෙන් ගන්නා බව අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බස්සා! දැන් හැමදේම එහෙම තමයි. දැන් අළුතින්ම එකතු වෙලා තියෙන්නේ "ගුරු දිනය!" එදාට හැම කෙනා පුංචි හරි තෑග්ගක අරං ගිහිං ගුරුවරයාට දෙන්නෝන! පව් නේ!?

      Delete
  8. යකෝ මාත් කාලයක් ඔය ඉස්කෝලේ ගියානෙ. ඒ කාලේ නං ඔහොම සංස්කෘතියක් තිබුනෙ නෑ. හොඳ වෙලාවට අතුකෝරල සර් අපි ඉන්න කාලේ මාරු වෙලා ගියේ වත් පෙන්ෂන් ගියෙ වත් නෑ.ඔඩිටෝරියම් නම් ඒ කාලේ නෑ. තක්ෂිලා හෝල් එක විතරයි.

    ReplyDelete
    Replies
    1. අතු කෝරල සර් පෙන්ෂන් ගිහිං ඊළඟට එතනට ආවේ ධර්මා ගුණසිංහ මහත්තයානේ. ඒ කිසිම මහත්තයෙක් පෙන්ෂන් යනකොට නොතිබුනු ප්‍රශ්න තමයි දැං ඇතිවෙලා තියෙන්නේ! ඇත්තටම ප්‍රේමතිලක සර් හාංකවිසියක්වත් දන්නේ නැතුව ඇති. මේ අනිත් අයගේ අදහස් හා යෝජනානේ.

      ඇයි ඒකාලේ මොනවා හරි ලොකු වැඩකට ගන්න පුළුවං හෝල් එකක් තිබුනේ කණිෂ්ඨේ. හතේ පංති තියෙන ගොඩනැගිල්ල! ඒකේ මැද්දේ තියෙන ලෑලි ටික ගලවලා හෝල් එකක් හදන්න පුළුවංනේ මතකද කුමාර මහත්තයා!? ඒ බිල්ඩිමේ මවුන්ට් මේරි ඉමේ මතකද උස් වේදිකාවකුත් තිබ්බා!?

      Delete
    2. මතකයි. හැබැයි ඒකෙ තිබුන කිසිම උත්සවයකට ගිහින් නෑ.😀 මලලසේකර හෝල් එක හදන්න පටන් ගත්තේ 76 විතර. අපේ උ.පෙල විද්‍යාපංති තිබුනෙ දැන් ඔය ස්මාරකය දෙපැත්තේ තියෙන බිල්ඩින් දෙකෙන් වම් පැත්තේ එකේ උඩ. යට ලැබ්.

      Delete
    3. ඔව් කුමාර මහතා! ඒවා දෙවන ලෝක සංග්‍රාම කාලේ සොල්දාදුවන් සඳහා ඉඳිවූ වාට්ටු සංකීර්ණ කියලත් මා අසා තිබෙනවා. ඔබට හොඳටම මතක ඇති ඒ දෙක මැද තිබුනු කොස් ගහ සහ H අයන් ඝාන්ඨාර කුළුණ!

      Delete
  9. මට නං බස් වල යන අයව පේන්න බැහැ. මොකද එයාලා ගාව ගඳයි. ඇයි මේ මිනිස්සුන්ට බස් ටිකෙට්ස් වලට යන සල්ලි එකතු කරලා හරි කාර් එකක් ගන්න බැරි?

    ReplyDelete
  10. Ala una eka hodai, nethnam loku ganaka kela wenawane.

    Giving car was a crazy idea, this must have been an inside job.

    Like Kalana said you courage to stand up for others is admirable. This human quality is fast disappointing in SL, so much news about people/men watching video recording murders, drownings, road accidents is sickening. See my experience below.

    About 2 years back I went to Delkanda office to get a copy of a land details. Applied and paid in the morning, document collection was 3pm. I went very early to find a parking place. When I went to the collection counter no one is in the queue (I am the first). Few minutes later another man came, he is second. I was chatting with no 2, 4 females join the queue after us. 3pm came, I ask No 2 to go first since we were chatting for a while. Man came from outside and try to approach the counter before me, I ask him to go away and join the queue from the back. He moved out and join queue after me in front of 4 ladies. Again I said to him to go back to the queue, he moved out and ask me to mind my business, I said this is my business.(no man in the queue said a word)At this point I was shouting, people gathering and a security man came I shouted at him and told him men jumping queue ahead of women and to do his job and move away. Wijebahu

    ReplyDelete
  11. Correction, This human quality is fast disappearing in SL (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් විජේභාහු මහත්තයා!
      ඔබ හොඳින් නිරීක්ෂණය කලහොත් මාගේ මේ බ්ලොග් පිටුවේ දකුණු පස තීරුවේ මම ලියා තියෙනවා වැකි දෙකක්. මා එය නැවත මෙහි ලියන්නම්.
      1. "හොඳ මිනිසුබ්ගේ නිහඬ බව නරක මිනිසුන්ගේ නපුරු බවට වඩා භයානක වේ!" - මාර්ටින් ලූතර් කිං
      2. "ලෝකය වඩාත්ම විඳවන්නේ නරක මිනිසුන්ගේ හිංසා ක්‍රියා නිසා නොව හොඳ මිනිසුන්ගේ නිහඬ බව කරන කොට ගෙනය!" - නැපෝලියන් බොනපාට්
      මෙසේ මා ලියා සුරැකිව තබාගෙන තබා ගෙන ඇත්තේ මා ඒ තරම්ම එය විශ්වාස කරණා හෙයිනි.
      මා මෙහිදී මගේ අදහස මෙසේ දක්වන්නම්. එය තරමක ආන්දෝලනයට තුඩු දෙන කියවීමක් වේවි. ඒත් සමාජයේ "සත්‍යය" මෙයමය.
      "සමාජය තුල සිදුවන බොහෝ වැරදි සහ කණගාටුදායක ක්‍රියා වන්ට වග කිව යුත්තේ ඒ දෙස බලා නිහඬව සිටිනා; නමට පමණක් "පිරිමින්" වූ මිනිසුන්ය!"
      මෙහිදි මම කාන්තා පාර්ශ්වය අවතක් සේරුවට ලක් කරණ්නේ නැහැ. ඒත් අතීතයේ සිටමාන්ව ශිෂ්ඨාචාරය තුලින් පිරිමින් හට පැවරෙන සමාජ වගකීමකින් ඔවුන් ඈත් වෙලා. ඔවුන් හුදෙක් තම වර්ගයා බෝකිරීමේ කටයුත්තේදී හැර අන් සෑම සියළු සමාජමය කටයුත්තකදීම තම පෞර්ශය දෙපරැන්දේ සඟවා ගෙන; මුළු ගැන්වීන්ම දක්නට පුළුවන්!
      උදාහරණයක් ලෙස මේ දිනවල ලංකාවේ රැව් පිළිරැව් දෙන වයස අවුරුදු 15 දැරියක් අපයෝජනය කල සිදුවීම ගෙන බැලුව හොත්; එම දැරියගේ පියා; පිරිමියෙකුසේ කටයුතු කර ඇත්දැයි කියා?

      Delete
    2. To add my thinking about 15 Year old girl, issue shows lot of failings in our society like failed marriage, mother going overseas, in coming step-father, humans with animal instincts and so on. All those involved must be shamed and punished.

      One thing is clear when you look at the list of customers, prostitution should be legalised in SL in order to protect the innocent.(LOL)Wijebahu

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සත්තකින්ම එකඟයි!

      Delete
  12. 95% ක් වූ දෙමාපියන්ගේ නම්බුව වෙනුවෙන් කතාකල තට්ටයා මහතාට අපගේ ආචාරය.
    ගොඩ දෙනෙක් ඔය වගේ තැන්වල ඔහොම කතාකරන්නෙ නෑ. පස්සෙ එළියට ආපුවම බනිනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න මහතා! නිකංද "පණ්ඩිතයා නිහඬව සිටිනා තැන මෝඩයා පිනුම් ගහනවා! කියන්නේ!? හොඃ හොඃ!!

      Delete
  13. "ජස්ටින් ! ජස්ටින් !! ජස්ටින් වන් ටූ ත්‍රී"
    අන්න එහෙමයි නිවැරදි ක්‍රමය!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. "ජස්ටින්! ජස්ටින්!! ජස්ටින්ට ගහලා ඉස්පිරිතාලේ!!!" මෙහෙමත් සීන්ස් එකක් තියෙනවා නේද?

      Delete
  14. මෑත කාලේ නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් හිටියා ඉස්කෝලෙම ආදි සිසුවෙක් වුන තරුණ කොල්ලෙක්. මගේ හොඳ මිතුරෙකුගේ අක්කගෙ දරුවෙක්. එයා එක්ක කතා කරන කොට දැනගත් සමහර දේවල් හිතන කොටත් පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ලිව්වානං එකක් දෙකක් හරි !

      Delete
  15. ඉස්කෝල කියන්නෙම ඔය වගේ තක්කඩි සංස්කෘතියක්. අලුත් අවුරුද්දට ටීචට සාරියක් නොදුන්නොත් ළමය පංතිය ඇතුලෙ දි හිංසනයට, කොන් කිරීමට ලක් වෙන...

    ReplyDelete
    Replies
    1. අනිවා! ඒ නිසාම කැමති උනත් නැතත්දෙමව්පියන්හට සිදුවනවා "දොල පිදේනි තටුවක්" තියන්නම!

      Delete
  16. අපේ ඉස්කෝලේ (කොල්ලුපිටිය ශාන්ත තෝමස්) හෙඩ් මාස්ටර් සල්ලි එකතු කරන වැඩ වලට කිසිම කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙමේ. ඒ නිසා ඉස්කෝලෙන් අස් වෙන අයට ඉස්කෝලෙන් මොනාහරි තෑග්ගක් දුන්නත් ළමයින්ගෙන් සල්ලි එකතු කරලා දුන්නෙ නෑ. අපි නම් අපේ හිතවත් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ඉස්කෝලෙන් යනවා කියලා ආරන්චි වුනොත් හොරෙන් සල්ලි එකතුකරලා මොනාහරි අරන් දෙනවා.

    අපේ ඉස්කෝලෙ ළමයින්ට ගුරුවන්ට තෑගි දෙන්නත් තහනම් නිසා හොරෙන් ඒ වැඩ කරේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තම තමන්ට අවශ්‍ය නම් "තමන්ගෙ මැට්ටං තම්මැට්ටං" කියලා මොනවා කලත් කමක් නෑ; ඒවා "යුගයේ අවශ්‍යථා", "ජාතික කර්ථව්‍ය", "පොදු කටයුතු", "සාමූහික ප්‍රයත්න", "කාලීන යුතුකම්" වැනි ලේබල් ගසා අනිත් එවුංගේ කරේ නොයා!

      Delete
  17. දෙයියනේ කියල අපේ කාලේ නම් ඔහොම ඉල්ලුවෙත් නෑ.. ඉල්ලුවට දෙන්න තිබ්බෙත් නෑ.. දැන් හැබැයි ගොඩක් ඉස්කෝල වල ගුරුවරු තෑගී ඇක්සෙප්ට් කරන්නෙත් නෑ දැනුවත්ව.

    එනිවේ.. බස් ගැමුනුවාගේ අන්තර් දේශපාලනයට දුන් පොලු පහරට ප්‍රණාමය.. !!

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෙ නෑනේ! අපේ කාලේ ඕවා තිබ්බෙත් නෑ! තිබුනත් අපි ඕවා කලෙත් නෑ! බුලත් දුංකොල දීලා වැන්දත් ඒ වෙන එකෙක් ගෙනිච්ච එකක් අරංම තමයි!
      බස් ගැමුණුගේ සීන් එක නම්: මටත් මතක් වෙද්දී කාලකණ්නි සතුටක් එනවා අදටත්. කොහොමත් අපි; වැඩ අල කරණ්න දන්නෙම නෑනේ? බොහොමත්ම ස්තූතියි කියවගෙන ආවාට. "කොම්පැනි කථාවත්" ඔය ගමංම බලන්න!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...