Friday, April 23, 2021

194. Teepee the Camp Site 2

මමත් පසිඳුත් කාලෙක ඉඳන් මිත්‍රයෝ. එයාව මුන ගැසුනේ ලක්දසුන් ෆෝරම් එකෙන්. මම මගේ කයාකින් ගැන ලියලා තියෙන දිග ලිපි එකතුවේ බොහෝ තැන් වල පසිඳු ගැන කියැවෙනවා.



ඔහු දැනට සේවය කරණ්නේ වෘථීයමය වන ජීවී හා පාරිසරික මග පෙන්වන්නෙකු ලෙස. ඔහු දකුණු අප්‍රිකවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ  FGASA - පාරිසරික මගපෙන්වන්නෙකු ලෙස පුහුණුවලත් අයෙක්.



පසිඳු

මා වසර ගන්නාවක් සේවය කලේ පාරිභෝගික සේවා නිළධරයෙකු ලෙස මෙරට පිළිගත් ආයතනයක. අප දෙදෙනා එක් කාරණයකදී සමපාත වෙනවා.  ඒ අපගේ විනෝදාංශයන් සමග. කෑම්පින්, කයාකින්, හා සංචරණය! තවත් බොහෝ බොහෝ බොහෝ දේ සමග.

මාගේ මුල් ගම යටියන්තොට හක්බෙල්ලාවක. හක්බෙල්ලාවක කියන්නේ  කොළඹ හැටන් නැතිනම් අවිස්සාවේල්ල නුවර එළිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කිලෝමීටර 26 ක් දුරින් තිබෙන කුඩා ගමක්. 

මෙම කැළණි ගඟත් හැටන් කොළඹ A7 මාර්ගයත් අතර පිහිටි කුඩා එහෙත් ගස් වැල් පිරුණු ඉඩමක මමත් පසිඳුත් පුංචියට පටන් ගන්නවා කඳවුරු බිමක් මීට අවුරුදු 7 කට විතර ඉස්සෙල්ලා.  නම Teepee  මේ ගැන මීට කලිනුත් ලියලා තියෙනවා. මෙතැනින් එතනට යන්න පුළුවන්.

ඇත්තටම අපේ කඳවුරු බිම තියෙන්නේ A7;  අවිස්සාවේල්ල-හැටන්-නුවරඑළිය මාර්ගයේ 25 හා 26 කිලෝමීටර කනු අතර!  හක්බෙල්ලාවක තැපැල් කන්තෝරුව අසල පිහිටි; 26/11 බෝක්කුවට යාබද බිම්කඩ. කොළඹ ඉඳන් හක්බෙල්ලාවකට තියෙන්නේ කිලෝමීටර 50 ක් පමන. මේ ගම ආසන්නයෙන්ම ගලා බසින්නේ කැළණි ගඟ! අනෙක් පසින් නාහේන මූකළාන!


මේ කන්ටේනර් නිවහන තමයි අපේ ඔපරේශන් හබ් එක!

කැළණි ගං ඉවුරේ සකසා ඇති කඳවුරු බිම.
 12 දෙනෙකුට සෙවන සැලසිය හැකි අයුරින්.





ගඟට ඉතා අසන්නව නිමකොට ඇති Club House එක. 
මධුවිතට සුන්දර දසුනක්!

Club House එක. 

BBQ














එකේ වැඩිපුරම ඵල ප්‍රයෝජන ලැබූවේ පසිඳුත් මමත් අපගේ දන්නා කියන මිත්‍රයිනුත්. එතන කයාකින් කරණ්න අවශ්‍ය සියළු පහසුකම් සහිතයි. මේ හැම දෙයක්ම කෙරෙණ්නේ පූර්ණ ආරක්ෂාවක් සහිතව. මා පුහුණු ජීවිතාරක්ෂකයෙක්. එන හැම කෙනෙක්ම මිලියනයක රක්ෂණාවරණයකට යටත්!


අපි ගිය අවුරුද්දේ පටන් එය වඩාත් පුළුල් ලෙස සැමට විවෘථ කරණ්නට තීරණය කරණවා.

ඒ සමග අප එකතු කරගන්නවා තවත් කඳවුරු බිමක් මහා මාර්ගයට කිලෝමීටර 3 කට පමන ඈතින්. එයට යන්න තියෙන්නේ ගඟ හරහා හක්බෙල්ලාවකින් දමා ඇති පාලමෙන් එතෙරව රබර් වතු හා ගම මැද්දෙන්. එම කඳවුරු බිමෙහි එක් ඉමක් වන්නේ අරඹෙ ඔය නමැති නොයිඳුල් කොමළිය. 


එහි එක් පසෙකින් හවරියන් ගල නමැති විසල් කන්ද. අපෙ කඳවුරු බිමට නො එසේනම් කෑම්පින් සයිට් එකට එන අපෙ මිත්‍රයින් මේ හවරියන් ගල මුදුනට හයික් එකක් යාමටත් අමතක කරණ්නේ නෑ. එය අප නම් කරණ්නේ ටිපී අරඹෙ ඔය නැතහොත් Teepee Two කියලායි.

ගඟෙන් එගොඩ රබර් ගස් හේඩාව යටින් Teepee Two වෙත!










දැන් අපේ කඳවුරු බිම සෑම සියළු දෙනාටම විවෘථ එකක්. කඳවුරු පවත්වාගෙන යෑමටත්, ආහාර පාන හා සේවක වැටුප් සඳහාත් මෙහි  එන සහෘදයින්ගේ පහසුව වෙනුවෙනුත් කුඩා පැකේජ කිහිපයක් සකස් කලා. කෑම්පින් කරණ්න, හයිකින් කරණ්න, කයාකින් කරණ්න නැතිනම් දවසක් ගත කරණ්න වගේ කැමති ඕනෑම ලෙසකට නම්‍යශීලී වන ලෙස තම්යි මේ පැකේජ නිර්මාණය කොට ඇත්තේ.

1. පවුලේ හෝ ඔෆිස් එකේ ලඟම පිරිස එක්ක දවසක උදේ ඇවිත් තේ එකක් බීලා කැළණි ගඟේ හෝ අරඹෙ ඔයේ නාලා  දවල්ට බත් ටිකක් කාලා හවසට තේ එකක් බීලා  යන්න පුළුවන් පිරිස 12 දෙනෙකුගේ පමන කණ්ඩායම් සඳහා. මධුවිතක් තොල ගාන්නටත් ඕණෑවටත් වඩා ඉඩකඩ!  ඒ අයට ටෙන්ට් එකක් ඉල්ලුවොත් ඒකත් කරලා දෙනවා අය කිරීමකින් තොරව.  ගෙනාපු දෙයක් පොඩ්ඩක් ෆ්‍රයි කරලා දෙනවා වගේ එකකුත් අපිට කරලා දෙන්න පුළුවන්. ඒකටත් අය කිරීමක් නම් නැහැ.

2. කෑම්පින්ම කරණ්න කැමති අයට වෙන පැකේජ් එකක් තියෙනවා. අපි කෑම්පින් ටෙන්ට්ස්, කොට්ට මෙට්ට ආදිය දෙනවා.  තමන් ගෙන ආ දෙයක් සකසා ගෙන කාලා ගඟෙන් හරි ඔයෙන් හරි නාලා එක් රැයක් දින දෙකක් ඉඳලා යන්න පුළුවන්. අවම පිරිස 6 යි. ඒ අයට තමන්ම උයාගන්නත් පුළුවන්, නැතිනම් මීටර 100 ක් ඇතුලත තියෙන දිවා රාත්‍රී කුඩා ආපන ශාලා වලින් හරි ලබා ගන්න පුළුවන්. තමන්ම ආහාර සකසා  ගන්නවානම් අපේ ගානේ භාජන ටිකයි ගෑස් ටිකයි!

3. තවත් අයට ඕන කයාකින් විතරක් කරණ්න. ඒ අයට දිවා ආහාරය; උදේ හවස තේ කිලෝමීටර 10 ක කයාකින් සංචරයක්.  උදේම ඇවිත් හවස යන්න පුළුවන්! අවමය 6 ක්. හක්බෙල්ලවක ඉඳන් කබුළුමුල්ලට ගඟ දිගේ ගිහින් ආපහු කබුළුමුල්ලේ ඉඳන් හක්බෙල්ලාවකටත් ගෙන එනවා අපේ 4WD ට්‍රක් එකකින්.

4. මේ වගේ ම හයිකින් වලටත් පැකේජ් එකක් තියෙනවා. හවරියන් ගලට කරන සුන්දර හයික් එකක්. කුරුල්ලන් 25ක් පමණ නැරඹීමට පුළුවන් උදේම ගමන පටන් ගත්තාම!  අවමය 6 වන ලෙස සකසා ඇත. 

5. අර මුලින් තියෙන කෑම්පින් පැකේජ් එකට එන අය ඒ අයම කෑම හදා ගන්න ඕනනේ. එහෙම අකමැති අයට තියෙනවා කෑම්පින් ෆුල් පැකේජ් එකකුත්. ඒකට උදේ තේ, ලන්ච්, හවස තේ, BBQ ඩිනර් එකක්, බෙඩ් ටී එක, උදේ කෑම, සියල්ල එක්ක කෑම්පින් කරණ්න ඕන සියළුම ටෙන්ට්, කොට්ට මෙට්ට ඇතුළු සියළුම ආම්පන්න සැපයෙනවා. ගඟෙන් හරි ඔයෙන් හරි නාලා දින දෙකක් කෑම්පින් රැයක්! පිරිස 6 ක අවමයක්.

6. ඔය අංක 5 න් කියන පැකේජ් එකට එන කෙනෙකුට හයික් එකයි කයාකිනුයි කරණ්න පුළුවන්.

7.තව තියෙනවා දින තුනක් හා රාත්‍රී දෙකක් සමග ගෙවෙන  එකක්.  ඒ පැකේජ් එක හදලා තියෙන්නේ අපේ Camp Site එකේ නැවතිලා කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් වැනි වෙනත් ක්‍රියා කාරකම්වලට උනන්දු අය වෙනුවෙන්. ඊට අමතරව මේ අවට පිහිටා ඇති අතිශය සුන්දර ඕලු ඇල්ල, පැරණි මානව ශිෂ්ඨාචාරයේ එක් සංධිස්ථානයක් වන බෙලිලෙන, ශ්‍රී ලංකාවේ පැරණිතම වන රක්ෂිතයක් වන මාකන්දාව සංරක්ෂණ කේන්ද්‍රය, වෑවිය තලාව (වේවැල් තලාව) වැනි ස්ථාන වලට සංචාරය කරණ්නටත්; Bridge on the river Kwai  ලෝක පූජිත චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුණු ස්ථානය නැරඹීමටත් යන්නට පුළුවන් වෙනවා. 

ඉතින් සාම්ප්‍රදායික රැකියාවට නොබෝදා ආයුබෝවන් කීවාට පසුව ගහ කොල , සතා සීපාවා, ඇළ දොළ සමග එක්වුනු ජීවිතයක් අරඹන්නටයි හිතා ඉන්නේ! මේ එහි පලමු මල් බයිසිකලය!

තවත් දෙයක්! පාසැල් බාලදක්ෂ කණ්ඩායම් සඳහා කඳවුරු බිම් සම්පූර්ණයෙන්ම නොමිලේ!!!

https://www.facebook.com/TeepeeTheCampsite/

0770807000 / 0716155837

මෙහි පලමු ලිපියට මෙතනින් යන්න!



Friday, April 2, 2021

193. සමුගැනිමේ සාද . . . . !


බොක්කෙන්ම දුන්නු පාටියක්!
"කොල්ලනේ උඹලට බොහොම ස්තූතියි! මට මේ සංග්‍රහය ජීවිත කාලයටම අමතක නොවේවි!"

මේ ලිපිය මා අනුපිළිවෙළ න්‍යායෙන් ලියන්නම්.

මාගේ වැඩිමහළු සොහොයුරා සේවය කලේ මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය.

ඔහු කිසි කලෙක සහෝදර සේවකයින් හෝ තමන්ගේ උසස් නිළධරයින් අතර සමග මහා ඇයි හොඳැයියක් පවත්වපු එකෙක් නොවීය. ඊට හේතු භූත්වූ කරුණු කාරණා අතර මා දකින ඔහුගේ ලොකු වරද වන්නේ පොර අංක එකෙන්ම අමද්‍යප බුවෙක් වීමය. "වනසංරක්ෂන දෙපාර්තමේන්තුව" යන ගරු නම්බු නාමයෙන් මෙකල එය හැඳින්වූවද එය අංක එකෙන්ම කැලෑ දෙපාර්තමේන්තුවම විය. දෙයියනේ කියලා දේවානි ජයතිලක නෝනලා වගේ අය ටෙලියෙන් මූනු පොතෙන් ඇමටියන්ට බූරුවා ගහනවා වාගේ එලෝ මෙලෝ නැතිව  විදලා "වනසංරක්ෂන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවාය, ඒකේ යමක් කමක් දන්න උදවිය වැඩකරණවාය කියලා රටට ලෝකෙට නොපෙන්වන්න ඒ ආයතනය "කලෑ දෙපාර්තමේන්තුවම" වීමට හොඳටෝම ඉඩ තිබුනි! මට මතක කාලේ මේ ගොල්ලන්ගේ හෙඩ් ඔපීසිය හෙවත් ප්‍රධාන කාර්‍යාලය ඉස්සරහ බෝඩ් එකේ පවා ගහලා තිබ්බේ "කැලෑ දෙපාර්තමේන්තුව" කියලයි.

කැලෑ දෙපාර්තමේන්තුවේ නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකක ඉන්නා ටයි කෝට් දාගත්තු එකෙක් වගේය. කොටින්ම හාරත වංසේ කොල අත අතර තිබ්බ කලාබරේ වාගේය. මෙලෝ ගැලපීමක් නැත!

අයියාගේ එකම කොල්ලා මධුසාංද තාත්තාගේ අඩිපාරේ යමින් නොබොන චරිතයක්ය. ඇත්තම කථාව ඌට බොන්නට බැරිය. නොබොන  එවුංට බොන්න පුරුදු කරණ්නට තරම් ත්‍යාගශීලී මිනිසුන් දැන් සමාජයේ දක්නට නොලැබෙන හෙයින් ඌට කිසිවෙකුගේ නිසි මග පෙන්වීමක් "බීම' සඳහා ලැබී නොමැත! නමුත් ඇද නැතිව කියන්නට පුළුවන් කාරණයක් ඇත. ඕනෑම බොන කන සමාජයක  ඩෝප් කාරයෙකුටත් වඩා ගැලපී ඉන්නට ඌ දස්සයාය. බොන තැනක නොබොන ඩ්‍රැයිවර් කෙනෙකු යනු චූඩා මාණික්කයකි!වස්තුවකි!! රැකගත යුතු සම්පතකි!!! ඒ නිසාමදෝ ඌට යාලුවන් බොහෝය. බොන කන එවුන්ද උන්ගේ සියළුම පාටි වලට මධුසාංට ඇරයුම ලැබෙන්නේය.

අපේ අයියා හෙවත් මදුසාංගේ තාත්තාගේ කල කිරියාව මීට ඉන්තීරුවෙන්ම අනෙක් පැත්තේය. බීම පමනක් නොව බොන එවුන්ද, බොන තැන්ද, තැබෑරුම්ද කොටින්ම අසොක වීදුරුවක් දැක්කද ඔහුට මල පනී. ඔහුගේ දර්ශනයේ හැටියට "බීම නොකල යුතු දෙයකි! අපරාධයකි!! තේරුමක් නැති මල මගුලකි!!!

ඔහු අන්තිමට සේවය කලේ වව්නියාවේය. ඔහුට වව්නියාව එකෙන්ම ඇදලා ගියේය. කොයි තරම් සුපිරියට අල්ලලා ගියාද කියනවානම් එයා එහෙන් ඉඩමක් අරං සුට්ටං ගෙයක්ද අටවා ගත්තේය.

කැලෑ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යෑමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මා  67.තාත්තා නොම්මර.......1 (ii)  හි ලියා ඇත. එය සැනකෙළියකි - ඉඳ හිට වළියක් දෙකක් ගියාට! එදිනට මාසයකට පමණ පෙර ආයතනයේම රථයකින් ලංකාව වටේ ඇවිද ඔහු හා සේවය කල පැරණි කකුල් හමුවී, ඇදවී, කොරවී, යාළු මිත්තරයො දෙන දෙයක් පත්තර කොලේකින් ඔතාගෙන; අන්තිමට තමා එවකට සේවය කරණා සේවා ස්ථානට පට්ටල් වී එතැනින් කට්ටියට "ආයිබොං!' කියා ගෙදරට මන්දො කිරීමක්ය.

මේ සියළු වත් පිළිවෙත් තිබෙන්නේ බොන කන ඩයල් වලට මිසක තැඹිලි කුරුම්බා බොන මගේ අයියා වැනි අයට නොවේ.

ඒනිසාම ඔහුගේ අවසාන දවස තවත් එක් දවසක්ම විය! 

සත්තකින්ම එය කිසිවෙකුට හෝ විය යුතු සිදුවීමක් නොවේ. 

ස්තූති කථාවක් නැත!

සේවය අගය කිරීමක් නොමැත!!

තේ පැන් සංග්‍රහයක් හෝ නොමැත!!!

ත්‍යාගයක් ලෙස වම වශයෙන් පොලේ විකුණන තාරාවෙකු හෝ නොලැබුනි!!!!

ඒ සියල්ලම පැත්තක තබා සෙල්ෆියක් වත් නැත!!!!!

ඔහු ඒ සියල්ල අමතක කර ගෙදර පැමිණියේය. ඒ වසර 32 ක සේවා කාලයක් නිමා කරමින්ය. සත්තකින්ම මම හෝ ඔහු වටා සිටි කිසිවෙකු ඒ පිළිබඳව නොසතුටක් හෝ කණගාටුවක් ඔහුට පෙන්වා නොසිටියහ! මන්ද එය ඔහුට වඩාත් කණගාටු දායක මතකයක් වනු ඇතැයි සිතාය.


පසු ගිය දිනෙක මා සේවය කල ආයතනයෙන් මා ඉල්ලා අස්විමි. මා ආයතනයෙන් ඉවත්වීම සමගම මාගේ සහයක සොයුරා - රුශාන් මල්ලී මාගේ තනතුරට පත්විය. අවසාන දිනයේ ඔහුත් මාත් වෙනදා ලකාර් එක ගහනා ආසනයේම වාඩිවී ඔහේ බලා සිටියෙමු. ඔහු කතා කලේම නැති ගානය. අප ඒ තරම් ලඟින් සිටි අතීතයක් තිබීම ඊට හේතු වී යැයි මා උපකල්පනය කලෙමි. අන්තිම හෝරාවේ ඔවුන් කුඩා උත්සවයක් සංවිධානය කලෝය. එහිදී මාවෙත පගේත් අපගේ සොයුරු සේවක  සේවිකාවන්ගේත් පිංතූර වලින් සැකසුනු රාමුකල පිංතූරයක් ලැබුනි. එය ජීවිත කාලයේදී මාලැබූ අනර්ඝ ත්‍යාගයන්ගෙන් එකකි. එදින රුශාන් මල්ලීත් මමත් අපගේ තවත් ආයතනික මිත්‍රයෙක් වෙන සෆ්‍රාසුත් සමගින් නාරහේන්පිට කුඩා තැබෑරුමකට ගොඩ වැදී අඩියක් ගැසුවෝය. එය නාරහේන්පිට; රත්නාගේ රන්සිළු බාර් එකය! අණුකරණ වලට නොරැවටෙන්න! කිරි මණ්ඩල මාවතෙන් බේස්ලයින් පාරට වැටෙන තැනම පිහිටි මෙයින් ෆ්‍රයිඩ් පෝක් එකක් ගෙන වෙනස වටහා ගන්න. සත්තකින්ම එය කුඩා එහෙත් සුන්දර මතකයක් විය. තැබෑරුමෙන් සැපයුනු ඝෝෂාකාරී කචකචය සමග සුපිරි පෝක් ඩෙවල් එක අපගේ මිතුරු හමුව වඩාත් ලගන්නා සුළු එකක් කලේය.සෆ්‍රාස් පෝක් කන්නේ නැති බැවින් ඌට ගත් චිකන් ඩෙවල් එකටද මමත් රුශාන් මල්ලී වග කීවෙමු! අවසානයේ එතනට පැමිනි අපගේ තවත් එකෙකු මා නිවසට තම ත්‍රී වීලරයෙන් ඇරලුවේය.

එදින රාත්‍රියේ මා නිවෙසට එන්නට ඒමට පෙර නැවතත් සේවා ස්ථානය කරා ගියෙමි. මාගේ ආයතනයේ සේවය කල කොල්ලන් කුරුට්ටන් එහි විය!

" ඇයි සර් ඉක්මනින්ම ගියේ?" උන්ට තිබුනු එකම ප්‍රශ්නය එය විය.

"සර්! අපි සර්ට පාටියක් දෙන්න ඕනෙ!!"

"පිස්සු කෙළින්න එපා මචං! මොන පාටිද? උඹලට තාම ගිය මාසෙ පඩියවත් හම්බුන්නෑ නේ?" මම දෙපසට වැනෙමින් කීය. මං උන්ට කතා කලේ නමින් නැතිනම් මල්ලි, කොල්ලෝ, මචං - හුචං කියාය! 

"ඒක සර්ට වැඩක් නෑනේ! ලබන සතියෙ සර් එන්ඩෝන!"

මා සේවය කල ස්ථානයේ කණිෂ්ඨ සේවකයින් සියල්ලම පාහේ හැටන්, තලවාකැලේ, මස්කෙළිය, නුවරෑළිය ආදී ඈත පලාත් වල දරුවන් විය. යාන්තමින් 18 සපිරුනු ඔවුන් මට පෙනුනේ අපේ වසිකයා සහ උගේ ගැන්සිය වාගේය. මුන් සියල්ල මගේ දරුවන් වාගේය. උන්ට ලැබුනේ සීමිත වැටුපකි. බොහෝ දෙනාගේ පවුල් රැකුනේ මුන්ගේ පඩි පතිනි. මල ගෙයක් වූ වරක මමත් මාගේ සහයක සොහොයුරාත් එහි ගියෙමු. කුඩා ලැයිං කාමර වැනි නිවෙස් වල ඔවුන් ඉතා දුක්ක්ඛිත ජීවිත ගතකරති. සමහරුනට ත්‍රීවීල් තිබුනි. ඒවායේ ෆිනෑන්ස් ගෙවාගැනීමට රෑ එළිවන තුරා කොළොඹ කරක් ගැසූහ. කරුමෙක මහත යනු මාස කිහිපයකින් මේ කොල්ලන්හට නියමාකාරයෙන් පඩි ගෙවීමට පාලනාධිකාරිය අපොහොසත්  වීමය. මේ සියල්ල අස්සේ උන් මට පාටියක් දෙන්නට සෙට් වෙලාය!

දිනය ලං වත්ම උන් මට නිරන්තරයෙන් කථා කලහ!

"දැන් කොහෙද බං ඔය මගුල තියෙන්නේ?" මම උන් එක්ක කතා කරන්නේ එලෙසය.

"සර්! අපේ යාලුවෙක්ගේ රූම් එකක් තියෙනවා. අපි එහේට ඔක්කොම ගේනවා! සර්ට තියෙන්නේ එන්න විතරයි!"

"හරි මම එන්නං!"

අදාල දිනයේ මම ගෙදරින් පාර පැමිණ බසයක එල්ලී දෙමටගොඩට පාත් විය. කොල්ලන් එකා දෙන්නා සේවා ස්ථානය අසල පෙනෙන්නට විය. මම ඇමතුමක් ගත්තෙමි!

"කොල්ලො මම ඇවිත්"

"සර් ඕම්ම ගිම්හාන් එකට යං!"

"මොකක් ගිම්හාන්!? ය..යකෝ දැන් අර කාමරයක් නේද සෙට් වෙනවා කිව්වේ? " ගිම්හාන් එකෙන් කන්නට බොන්නට ගියෝතින් වෙන දේ මම හොඳින්ම දනී. මේ කොල්ලන්හට එකසිය ගානට වියදම් වන මගුලකි!

"ඒ කාමරේ යතුර අරං ෂෙඩ් එකේ කොල්ලා බදුල්ලේ ගිහිං!"

වෙනත් දවසකට පාටිය කල් ද  මේ කොල්ලන් කැමති නොවුනි! අපි සියල්ලෝම ගිම්හාන් ක්ලබ් එකේ එකට පූටු කල මේස හතරක් වටා ගාල් උනෙමු! මේසයේ ඈත කොනේ අතේ එකතුවී ඇති සල්ලි ගනිමින් උන් පාටිය පවත්වාගෙන ගියෝය.  මමත් මාගේ සහයක සොහොයුරා රුශාන් මල්ලී වෙතත් ජින් බෝතලයක් ලබා දී ඔවුන් යාන්තමින් සැනහුනි! "කොල්ලෝ බෝතල් ගනං බොන්න බෑ බං! අපි සීය සීය ගම්මු!" කීවද උන්ට ඒක ගැලපුනේ නැත. උන්ට බෝතලයක්ම මාවෙත පූජා කරණ්නට උවමනා විය!

සත්තකින්ම උන්ට මට බොන්න දී ලැබෙන දෙයක් නැත! මිනිසුන් ආවඩන්නේ නැගෙන හිරුට මිසක බැසගිය හිරුට නොවේ. ඒත් උන් මාගේ හදවතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කලෝය.මං උන්ට කර තිබුනේ උන්ව බඩ ගින්නේ නොතියා  බලාකියා ගැනීමය. සහරාන් ගහපු වෙලාවෙදීත්, කොරෝනා ආපු වෙලාවේදීත් මා උන්ව බඩ ගින්නේ නොතිබ්බේය. මා  ආයතනය තුල උයන්නට කටයුතු සැකසුවේය.  මා සිතන්නේ එය මාගේ රැකියාවේ කොටසක් කියාය. මා රැකියාවෙන් ඉවත්ව යන බව දැනගත් මොහොතේ එක කොලෙකුට කියැවී ඇත්තේ "අනේ අපිට කන්න නැතිවෙයි!" කියාය. එය පසුව ඇසුනු මොහොතේ මාගේ දෙනෙත් තෙත් වුනි!

"කොල්ලනේ උඹලට බොහොම ස්තූතියි! මට මේ සංග්‍රහය ජීවිත කාලයටම අමතක නොවේවි!" ඒ මා ඔවුන් අමතා කල කථාවේ අවසාන වැකිය විය.


තවත් සතියක් ගත විය.

හදිසියේ මගේ දූරකථනය නාද විය.

"MD" තිරයේ දිස් වුනි. මොකක් හරි කේස් එකක් වත්ද?

"ගූඩ් මොර්නිං සර් . . . . !"

"ගුඩ් මොර්නිං! මට ඔයා යන්න කලින් එකට ලන්ච් එකක් ගන්නත් බැරි උනානේ. කොහොමද මේ සැටර්ඩේ හවස?"

"පුළුවං සර්! මට වැඩක් නෑ!"

එදින; සෙනසුරාදා හවස අප රාජගිරියේ අවන් හලකට ගාල් වුනෙමු. ආයතනයේ සියළුම කළමණාකරුවන්, විධායකයින්, ඝනකාධිකාරීවරුන් එතැන විය. අප හොඳින් අඩි පුඩි ගසා කන් සාක්කුවල දමාගෙන;   ගෙදර ආවෙමු! එහිදී අපගේ කළමණාකාර අධ්‍යක්ෂක තුමා කෙටි කථාවක් පැවැත්විය. උන්නැහැගේ කෙටි කථාවක් යනු ගොගොල්ගේ "හිම කබාය" මොඩලයේ එකක්ය!

එහිදී කියැවුනු සුන්දර කියමනක් විය!

"මින් පසුව වසරක් පාසා අපි සියල්ලෝම එක් දවසකට මේ විදියට එකතු වෙමු. එහි විශෙෂත්වය අපගේ ආයතනයෙන් ඉවත්ව ගිය සියල්ලන්ම එකතුව මධුවිතක් තොලගා දොඩමළුවීමයි!"

ඇත්තටම එය එසේ උනෝතින් අගය කල යුත්තකි. මේ සියල්ල අතර මම; ගිය සතිය තෙක් මා සමග සේවය කල රුශාන් මල්ලීගේ කනට කිට්ටු උනෙමි. "මචං මේ හැම එකටම වඩා අර කොල්ලෝ දුක් මාංසියෙන් දුන්නු බෝතලේ මට වටිනවා බං!" ඩෝප් මරගාතේ ඔහුද එය "නැතුව!නැතුව!!" කියා අනුමත කලේය.

මේ සියළු කථා සමග පෘථග්ජනයෙකු ලෙස මා යෝජනාවක් කරමි.

"කිසියම් අයෙකු ආයතනයක සේවය කල යුතුව වන්නේ; යම් දිනෙක තම බැහැර වීම ආයතනයට දැනෙන හා ඔවුන් තමා වෙත ගරු කටයුතු සමුගැනීමක් ලබා දෙන ආකාරයට වන අතර ආයතන ක්‍රියා කල යුතු වන්නේ තමා වෙතින් ඉවත්ව යන ඕනෑම ආකාරයක "කරදර කාරයෙකු" වෙතත් ආදරණීය සමු ගැනීමක් ලබා දීමටය!"

TIME

 to say goodbye

 BUT

  FAREWELL 

is not forever

 only for a little while 

so until we meet again!

මේ  වැකිය මාහට ලැබුනු සමරු තිලිණයේ ලියා තිබුනි!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...