Monday, October 5, 2020

182. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (සිව්වැන්න)

ඔයයි නංගියි ලක්ශිකායි මධුශිකායි

ඔයා මුල්කාලෙ ගියේ කිරිබත්ගොඩ සත්මග පෙර පාසලට. ඔයා පෙර පාසලේ හොඳින් ඉගෙන ගත්තා.

චිත්‍ර ඇන්දා. පාට කලා. අකුරු ලිව්වා. කවි ගීත ගායනා කලා.

මේ කොයි දේ කොහොම උනත් මම ඔයාව නාලන්දා මව් තුරුලට යවන්න වෙනමම උත්සාහයක නිරත උනා. මම නාලන්දාවේ ආදි ශිෂ්‍ය සංගමයට බැඳෙන්නේ විවාහයටත් කලින්. මට පුදුමාකාර විශ්වාසයක් තිබුනා මට හමුවන පළමු දරුවා පුතෙක් වේවි කියලා. අවුරුදු ගනනාවක සිට;ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධාන කල සෑම ඉසව්වකම මා ක්‍රියාකාරී කාර්‍යයක් ඉටු කලා.

පාසැල් වලට දරුවන් ඇතුල් කරගන්නා කාලය එළඹෙන විට අප අයදුම් පත් දැම්මේ නාලන්දාවට විතරයි. දැං හිතන කොට ඒක අමනෝඥ්ඥ ක්‍රියාවක් වගේ පෙනුනත් ඒක සිදු වුනේ නොසිතාම වගේ. ඔයාට කියන්න; ඉස්කෝලෙ පංති දෙකයි ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් වෙන් උනේ. ඒ කියන්නේ; අවස්ථා  96 ක් වගේ. 100ක් කියලා හිතමුකෝ!

ඒක තෝර ගත්තේ ලකුණු  රටාවකින්. ඒකට ආදි ශිෂ්‍ය සංගමයෙන් අපට ලබාදුන්නා පිටු 10ක විතර අයදුම් පත්‍රයක්!පාසලේ මා සිටි වසර ගනන, මම සමත්වූ විභාග, සම්බන්ධව කටයුතු කල සංගම් සමාජ ආදී කටයුතු, ශිෂ්‍යනායක, පංති නායක වැනි පදවි, කල ක්‍රීඩා, හෙබවූ නිළතල ඊළඟට ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය දැරූ වසර ගනන, දැරූ නිළ තල, සහභාගී වූ ව්‍යාපෘථි, පාසලට කල ද්‍රව්‍යමය ආධාර ඔය වගේ පරාමිති/ නිර්නායක රාශියක් ඔස්සේ ලකුණු එකතු කරලයි මේ දරුවන් 96 තෝරා ගත්තේ!

ඉතිං ඔයාට කියන්න මමත් මේ අයදුම් පත්‍රයේ ඡායා පිටපතක් එහෙම අරගෙන පුරවන්න පටන් ගත්තා. පුරවගෙන බාගෙට පුරවාගෙන හිස්තැන් තියාගෙන නැවත ආදිශිෂ්‍ය රැස්වීම පැවැත්වූ දිනෙක  අරගෙන ගියා.

මෙම අයදුම් පත්‍රයේ තිබුනා කොටස් දෙකක් ලකුණු 5 බැගින් ලැබෙන.

1.පාසලට කල ද්‍රව්‍යමය ආධාර

2.පාසලේ ව්‍යාපෘථි සඳහා කල අධාර; යනුවෙන්.

සමිතියේ ලේකම් තැන විසින් මෙහි පලමු කොටස විග්‍රහ කොට දැනට පාසලේ පවතින අඩුපාඩු ගැන විස්තර කරණ විට මා අසල සිටි ආදි ශිෂ්‍යයෙක් සිමෙන්ති කොට්ට 400ක ලොරි ලෝඩ්  එකක් භාර ගත්තු හැටි මට අද වාගේ මතකයි. එකිනෙකා පරයමින් මෙසේ ද්‍රව්‍යමය ආධාර භාර ගනිද්දී මා නිහඬව සිට සතියකට පසු පාසලේ පුස්ථකාලයට "මලලසේකර" ඉංග්‍රීසි - සිංහල ශබ්ධකෝෂයක් ලබාදී එම මුළු ලකුණු ප්‍රමාණයම ලබා ගත්තා!

ව්‍යාපෘථියත් එසේමමයි.

උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන්නාක් මෙන් මා වැඩි වියදමකින් තොරව අයදුම් පත්‍රය සාර්ථකව පුරවාගත්තා. මේ හැම කටයුත්තකදීම සිසිර දාබරේ මිත්‍රයා මට බෙහෙවින් උදව් උපකාර කලා! ඔහු ඒකාලෙ සංගමයේ ප්‍රධාන ලේකම්!

පාසැලට දරුවන් ඇතුළු කරගන්නා සම්මුඛ පරීක්ෂන දිනයත් එළඹුනා කියන්නකෝ. මමත් ඔයාගෙ අම්මාත් ඔයාව ලස්සනට අන්දගෙන එක්කගෙන ගියා නාලන්දෙට. ඉන්ටර්වීව් එක පැවැත්වුනේ මලලසේකර ශාලාවේ ඉදිරිපස කොටසේ - ලෝන්ජ් එකේ.

අපේ කාලෙත් හිටපු පැරණි ගුරුවරු ගුරුවරියන් කිහිප දෙනෙක්, එකල විදුහල්පති, උප විදුහල්පති, ආදිශිෂ්‍ය සංගමයේ  ප්‍රධාන සංවිධායක වැනි මඩුල්ලක් ඉදිරියේ අපි වාඩි උනා.

එතන හිටියේ ඈපා සර් - අපේ කාලයේ ගුරුභවතෙක්.

"ආ! තමුසෙ?"

එහෙම තමයි මාව පිළි ගත්තේ.

ඈපා සර් මුළු ෆයිල් එකම උඩින් පල්ලෙන් බලලා අනිත් අය වෙතට දුන්නා. ආදිශිෂ්‍ය සංගමයේ එකල ප්‍රාධන සංවිධායක සමන්ත ජයවීර; මා කල කී දෑ ගැන හොඳ වර්ණනාවක් කලා.

අන්තිමට ඈපා සර් මගෙන් ඇහුවේ මාර ප්‍රශ්ණයක්.

"මොනවාද තමුසෙ ඉස්කෝලෙට කරලා තියෙන්නේ?"

මම මගේ සාක්කුවේ තිබුණු ලේ බැංකුවෙන්; නාලන්දාවේ පැවැත්වුනු ලේ දන්දීමේ පිංකමකදී නිකුත් කල; රතු පැහැති කුඩා පොත් පිංච එලියට ගත්තා.

"සර්! මම මගේ ලේ මස් නහර පවා ඉස්කෝලෙ වෙනුවෙන් දන් දුන්නු කෙනෙක්!"

සර්ටයි එතන හිටිය තව ගුරු භවතුන්ටයි හිනා!

"හරි දැං තමුසෙ මේ ඉන්ටර්විව් එකෙන් පාස් උනොත් ඔයා ඉස්කෝලෙට මොනවද කරණ ආධාර?"ඊළඟට ඈපා සර් ඇහැව්වා!

"ඉතිං සර් මේ ඉන්ටර්විව් එක පාස් උනොත් මම මේ ඉස්කොලෙට දෙන්නේ මගේ ජීවිතේ තියෙන ලොකුම වස්තුව තමයි - මේ මගෙ දරුවා!"

සර්ටයි අනිත් අයටයි බඩ අල්ලං හිනා.

ඊට මාස ගනනාවකට පස්සේ ගෙදරට ලියුමක් ආවා - ඔයාව ඉස්කෝලෙට තෝර ගත්තා කියලා. 96ක් අතුරින් තිස් ගනනකට මට ලකුණු ලැබී තිබුනා.

ඒවා මතක් කරණ කොටත් රසබර මතක!ඉස්කෝලෙට ඔයා තේරෙණ්නට කලිනුත් මම ඔයාව එක්කගෙන ගිහින් තිබුනා නාලන්දෙට. එක වරක් පාගමනට. ඒනිසා ඔයාට ඉස්කෝලෙ වැඩි අමුත්තක් නොතිබෙන්නට ඇති.


ඔයාව වැටුනේ ලීලාරත්න ටීචර්ගෙ පන්තියට. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරු මවක්. එතුමිය කිසිදු දරුවෙකුගේ හිත නොරිදවා යහ මගට ගත් ගුරුවරියක්. මට අද වගේ මතකයි ඔයාලට පලමුවෙන්ම ලිලාරත්න ගුරුතුමිය ඔයාලට ඉගෙන්වූ පාඩම. ඒක තමයි බුදුන් වඳින හැටි!දෙ අත් නළලේ තබා වඳින හැටියි ඉගැන්වූයේ.


ඔයාගෙ පලමු පාසල් මිතුරා උනේ සනෝජ්;.

ඔයා කුඩා කාලේ ගෙදර රූපවාහිණියේ ඔයාට බලන්න ඉඩ දීලා තිබුනේ ළමා වැඩ සටහන්  සහ ප්‍රවෘථි විතරයි. ඒකාලේ රුපවාහිණී චැනල් එක විතරයි අපි බැලුවේත්. රූපවාහිණියේ ගිය ටයිටස් තොටවත්ත මහත්තයාගේ හා අතුල රන්සිරිලාල් මහත්වරුන්ගේ හඬකැවීම් පෙළහර මත ගොඩනැගුනු ලස්සන වැඩසටහන් බොහොමයක් තිබුනා. ගීත සඳහා නිර්මාණය වුනු රූප රචනා උවත් කිසියම් සංවරයකින් තමයි ඉදිරිපත් වූයේ. මේ ප්‍රවෘථි බැලීම තුලින් ඔයා ලොකය හා රට පිළිබඳව කරුණු කාරණා රාශියක් ඉගෙන ගෙන තිබුනා. ඒකාලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරුන් වූ  කොෆී අන්නන්, බැන් කී මූන් වැනි අයව පවා හඳුනාගෙන තිබුනා.

මට තාම මතකයි ඔයා වයස අවුරුදු 10ක විතර කාලේදී; දවසක් ශානක අංකල් ගෙන් අහනවා "අංකල් දන්නවාද එක්සත් ජාතීන්ගේ මහලේකම් කවුද කියලා?

ශානක ඒකට උත්තර දුන්නේ "අනේ නෑනෙ! ඔයාම කියන්නකෝ!" කියලා.

"බන් කී මූන්!" ඔයා උත්තර දුන්නා. ඊට පස්සෙ  ඔයා ශානක අංකල්ගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.

"අංකල් දන්නවාද ඒක මම මතක තියාන ඉන්න හැටි?"

"ඒ කොහොමද?"

"බනිස්, යතුර, හඳ කියලා......! තාත්ති කියලා දුන්නේ...............!!" 

ඇත්තටම මම එහෙම ලේසි විදියට තමයි ඔයාට මතක තියාගන්න කියලා දීලා තිබුනේ. ඒ උනත් ඔයා එහෙම ශානක අංකල් ඉස්සරහ කිව්වාම මට පොඩි ලැජ්ජාවකුත් ආවා!

ඔයාට මතකද ශානක අංකල් ඒකට දුන්නු උත්තරේ? ඇත්තටම එයා උත්තර දුන්නේ ඔයාට නොවේ - මට!

"මචං දැන් අළුතින්ම හොයාගෙන තියෙන්නේ යමක් මතක තියාගන්න ඕන නම් අන්තිම මෝඩ විදියට ලේබල් කරගන්න කියලා තමයි!"

මම එහෙම එයා කිව්වාට පස්සෙ නම් පොඩිත්තක් විතර ආඩම්බර උනා; දැන හෝ නොදැන මම ඔයාට හරි විදියට කියලා දීලා තියෙන හැටි දැනිලා.

9 comments:

  1. Yes, eternal straggle to get children to good schools. I have done lot of run-around to get my sister’s son to DS.(Wijebahu)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් විජය භාහු මහත්තයා ලංකාවේ ලමයෙකු වදනවටත් වඩා අමාරුයි ලමයෙක්ව තමන් කැමති ඉස්කෝලෙකට දාන එක!

      Delete
  2. දරුවෙකු බිහි කිරීම ලෝකයේ තියන අමාරුම කාර්යය කියලා කිව්වාට, දරුවෙකු (හොඳ) පාසැලකට ඇතුලත් කර ගැනීම ඊටත් වඩා අමාරුයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සෑම් මහත්තයා ලංකාවේ ලමයෙකු වදනවටත් වඩා අමාරුයි ලමයෙක්ව තමන් කැමති ඉස්කෝලෙකට දාන එක! එය දෙවෙනි වන්නේ ලමය බලාගන්න ගෑනු කෙනෙක්ව හොහා ගන්න එකට පමණි!

      Delete
  3. //"ඉතිං සර් මේ ඉන්ටර්විව් එක පාස් උනොත් මම මේ ඉස්කොලෙට දෙන්නේ මගේ ජීවිතේ තියෙන ලොකුම වස්තුව තමයි - මේ මගෙ දරුවා!"//

    කට ඇති තාත්තෙකුගේ පුතෙකුව ඉස්කෝලෙට නොගෙන කොහොමද කියලා එයාලට නොහිතේය?

    ReplyDelete
    Replies
    1. සමහර විට සර්ගේ ඉන්ටර්වීව් පුරාණයටම එහෙම උත්තරයක් ලැබුනාම වෙන්න ඇති! ස්තූතියි!!

      Delete
    2. සහතික ඇත්ත.
      මේ පෝස්ට් එක කියවලා තාත්තලා කී දෙනෙක් ඔය ශිල්පය ඉගෙන ගනියිද දන්නෑ.

      Delete
  4. මෝඩකම නම් තියනවා, ඒත් මට මතක හිටින්නෙ නෑනෙ.
    ඩිමෙන්ශියාද මංදා

    ReplyDelete
    Replies
    1. නීති ප්‍රශ්නයක්!
      උත්තර දෙන්න බෑ......

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...