Monday, September 21, 2020

181. තෙවැනි ඇන් ඇක්සිඩන්ට් එක !



මමත් බල්ලනුත් අතර ඇත්තේ අපූරු සබඳතාවයකි.
එය ප්‍රධාන වශයෙන් දෙ ආකාරය.
එදිනෙදා හමුවන බොහෝ බල්ලන් මාගේ කරේ පමනක් නො නගිති!
උන් එකෙන්ම මගේ එළකිරි වන් ෆ්‍රෙන්තන්ය.කොටින්ම මා දුටු විට පතෝල වාගේ ඔහේ යන, පැත්තකට වී සිටිනා බල්ලන් මා දක නැත!

මහ පාරේ ඉඳ හිට හමුවන; කිසිවෙකු හට හෝ කිසිදු වරදක් නොකරණ උපාසක බල්ලන් අතුරින් කිහිප දෙනෙකු මාව දකින්නේ බීෆ් මැරබෝන් කට්ටක් ලෙසය!
උන් එලෝ මෙලෝ නැතිව එලෝ - එලෝ මා පසුපස හඹා ඒ!
කරුමයක මහත යනු උන් හට මා කිසි දිනෙක තුන් හිතකින් වත් උඹ නොදකිං කියා වත් නැති වීමම නොවේ.
මෙලෝ එකෙක් එම බල්ලන් ගැන මා කියන කථා පිළි නොගැනීමය!
ඒ මන්ද?
ඒ බල්ලන්; උන්ව අපි හැපුවත් නොහපන වර්ගයේ චරිතවත් ජීවිත ගත කරණ උන් නිසාය.
ඒ උන් ටය.
ඒත් උන්ට මා අරහං ය!

සිරිත් පරිදි මාගේ පල්හෑලි කියැවීමට අතින් ඩේටා වියදම් කරගෙන ආ මාගේ ආදරණීය පාඨක පාඨකාවියනට උදේ පාන්දර මාගේ "බලු කථා" අහන්න සිද්ධ කරවීම ගැන කමාව!
"බලු කථා" පටන් ගත යුත්තේ "බලු කථාවකින්ම" විනා අන් කවරෙකකින්ද?

මේ ජාතියේ මාගේ පරණ ණය කාරයන් වන් බල්ලන් කුළකය පටන් ගන්නේ අල්ලපු ගෙදරින්ය!
එම ගෙදර සිටිනා බල්ලන් තිදෙනාගෙන් එක් බල්ලෙකු හට මා දුටු විගස "ඉත්තෑවා" මතක් වේ!
ඌට; ග්‍රවුන්ඩ් සපෝට් එකක් ලෙස අනෙක් දෙදෙනාද මා වෙත ගොරවාගෙන පනිති!
ඊළඟට  හතරෙ කණුවේ රේල් ගේට්ටුව අසල විදුදය පිරිවෙණ් පහස ලබන කළු හා සුදු වර්ණැති බල්ලෙකු මා එන තුරු උදෑසනට මග බලා සිටියි.

මීට වසර දෙකකට පෙර මා කඩවත සිට රත්මලානට සේවය සඳහා සයිකලයෙන් යද්දී  ගාලුපාරේ බල්ලන්' කිසිම "බලු වැඩක්" මට නොකලත් ආපසු එන ගමනේදී වැල්ලවත්ත පාලම අසල බුදු පිළිමය අසල සිටින දඩෝරි බල්ලාට මා සහ මගේ පාපැදිය දුටු විට උගේ නෑදෑයෙකු මතක් වූ කලෙක මෙන් මාව සුප් හැදීමට පාරට පනියි!

මේ සියළුම බල්ලන් ගෙන් මම බේරි බේරි පදිමින් දැනට වසර දහයකට කිට්ටුවී ඇත.
එම කාල වකවාණුව තුලදී සිදුවූ තවත් එක් සුපිරිම "ඇන් ඇක්සිඩන්ට්" මතකයක් හිත තුල පච්චා කොටන්නට බල්ලෙකු සමත් විය.
ඒ අනෙකෙකු නොව කඩවත ගනේමුල්ල පාරට හැරෙන හංදියේ  සිටිය "ට්‍රැෆික් පොලිස්" බල්ලාය!

කිසිදු වරදක් නොකරණ අවස්ථාවලදී; නඩු එකතු කර ගැනීම සඳහා නිරපරාදේ දඩ කොල දෙන රාළහාමිලා හැඳින්වීමටද විවිධ නාම විශේෂනය යෙද වූවාට මම මේ කියන්නට යන කථාවේ කතෲ වන දඩෝරියා හැඳින්වීමට "ට්‍රැෆික් පොලිස් බල්ලා" යනුවෙන් යෙදීම හා දඩ කොළ හෝ ජරාව හෙවත් පගාව අතර කිසිදු සම්බන්ධයක් නොමැත!

"ට්‍රැෆික් පොලිස් බල්ලා" රාළහාමි රැක්මේ!

මා පෙර කී ගනේමුල්ලට හැරෙණ හංදියේ සිටින රාළහාමි උදෑසන සිට පැය ගානක් මාර්ගයේ රථවාහන තදබදය මෙහෙය වන මුළු මහත් කාල පරිච්ඡේදය පුරාවටම මෙම බල්ලා ඔහු අසල රැඳේ!
වැල්ලවත්තේ බල්ලාද මෙවන් බක පණ්ඩිතයෙකි.
උන් දෙදෙනාටම "පොලිස් උණ" සේය.
රාජගිරිය "යහ පාලන" පාලම යටද පොලීසිය සමග ගැවසෙන බල්ලෙකු අදද දක්නට ලැබෙන බව හදවත මතක් කලාය!
මා නිවසේ සිට කිලෝමීටර 4 ක් පමණ සයිකලය පැදගෙන කඩවත නගරයට සේන්දුවී නගරය හරහා පැදයන කිහිප වතාවකදීම; මෙම බල්ලා හා රාළහාමි පසුකර යන විටදී බල්ලා තම නොසතුට කිහිප වතාවක් මා වෙත කොට පලකොට තිබුණි.
ඒ; පොලිස් රාළහාමිගේ දෙපා අසල වැතිර සිට සියුම් ගෙරවීමකින්ය.

මෙදිනද මා සිරිත් පරිදි නිවසෙන් පිටත්ව නගරය හරහා පදිමින් විය.
නගරයට නුවර දෙසින් ඇතුළු වන විට තිබෙන සියුම් අනුක්‍රමණය ඔස්සේ සෙමෙන් පදිමින් ශරීරය උනුසුම් කරගන්නා මා වෙගයකට එළබෙන්නේ කඩවත නගරයේ සිටි කොළඹදෙසට ඇති පල්ලමේ දීය.
නගරය හරහා දිවෙන මාර්ගයේ "පිට කොන්ද" වන්නේ මෙම බල්ලා රැඳී සිටින ස්ථානය නුදුරේය.
එම කලාපය මා පසු කරණ්නේ ඉතා සාමාන්‍ය වූ වේගයකිනි.
එදිනද මා ඉතා සරල වේගයකින් බල්ලා හා පොලිස් නිළධරයා පසු කර යන විටම; බල්ලා සිටි තැනින් නැගිට  එනම් පේමන්ට් එක මතින් මෑත්ව; සයිකලය පදින මාර්ගයට අවතීර්ණ විය.
ඌ කුරුමාණම් අල්ලන්නේ සයිකලයේ පැඩලය සමග කරකැවෙන වම් පාදයටය.
සයිකලයෙ ගමන් මගට පිළිපන් හේ දත් විලිස්සගෙන කකුල හපා කෑමට පැන්න මුත් මා ක්ෂණිකව වේගය වැඩිකරමින්ම මාර්ගය මැදට සයිකලය හැරවූවෙමි.
ඊළඟ මොහොතේ තමාව පසුකරගෙන යන ඉලක්කය වෙත නැවත පහර දුන් බල්ලාහට එවරද තම අභිප්‍රාය මග හැරී ගියේය.
එහෙත් තෙවන උත්සාහය අපතේ නොගියේය.
හරියටම මාගේ පාදයේ යටිභාහුවේ ඉහල කෙලවරෙ සම සිදුරු කිරීමට ඌ සමත් විය.
ඒක්ෂණයෙන් බල්ලා ඉවතට දිව ගිය අතර මා අනතුරින් ඈත්වී පහලට පැද ආවෙමි.

බජාර් එකේ හොඳ කකුලක් 
(නොව අහිංසක මගේ දුප්පත් කකුල!)

ආත්ම පූජා!

ලෝකය මොනතරම් දියුණු වුවද අදටත් පිස්සු බලු හෙවත් ජලභීතිකා  විෂබීජය ශරීර ගතවූ පසු එයට ප්‍රථිකාරයක් නොමැති බව මාහට මතක් විය.
ඊට දශක ගනනාවකට පෙර අගනුවර විසූ එක් ඉහළ නාගරික  පංතියේ යුවතියක ඇඳ සිටි දිගු ගවුමේ එල්ලුනු ස්වකීය බලු පැටියා විසි ඉරාදැමුණු ස්ථානය අත් ඉඳිකට්ටකින් එළලා අවසන නූල කටින් විකා කඩාදැමූ පසු ජලභීතිකාව වැළඳී මියගිය පුවතක් මාගේ මව විසින් මාහට කුඩා කල පවසා තිබුනි.
එම කථාව ජීවිත කාලය මුළුල්ලේම මාතුල ජල භීතිකාවට මහත්වූ බියක් ඇතිකර ලීමට සමත් විය. කුඩා බලු පැටවාගේ ඛේඨයේ ගැබ්ව තිබුනු ජලභීතිකා විශබීජ තැවරුණු  රෙදිකැබැල්ල මැසූ නූලට ව්‍යාප්තවුනු රෝග බීජ; නූල කටින් කඩා දැමීම සමග ඇයට ශරීර ගතව ඇත.
ඉන්පසු බොහෝ දුක් පීඩා විඳ ඇය මිය ගියේලු!

එදින පොලිස් බලු ප්‍රහාරය සමගම මාගේ සිත තුල අකුණු පිපිරුවේ මෙම කථාවය!
වහාම නගරයේ පහල කෙළවරට වන්නට පිහිටි මංකඩ පාරට පිවිසුණු මා එහි වූ නිවෙසක් වෙතට ගොස් සබන් යොදා තුවාලය සොදා ගත්තෙමි.
එයද තුවාලය අසල හොඳින් පිරිකා රුධිරය ගලා යාමට ඉඩ දීමෙන් අනතුරුවය.
තුවාලය සෝදා පිරිසිදු කර ගත්තද මට එය තරම් නොවීය.
දඩාවතේ අතහැර හදන බල්ලන් පිළිබඳව පැටිකිරිය කියා පෑමට හැක්කේ සයිකල්, යතුරු පැදි කරුවන් හා මනු කියවන්නන් හටය.
"බල්ලන් බිරූවද; සඳ අහසේ බබළයි හෝ තවළම ගමනේ යයි!" කියනවාට වඩා අද කාලේ ගැලපෙන ආප්තෝපදේශය වන්නේ "බල්ලන් බුරා පැන්නද ලයිට් බිල නොවරදවාම නිවසට ලැබේ!"  යන්නය!

මේ බල්ලා කාගේද? මේ බල්ලා ගෙදරක හදන බල්ලෙක්ද? මූට  බෙහෙත් විද ඇත්ද? මාගේ සිත පුපුරු ගැසුවේය.
මේ විදියට බල්ලන් දඩාවතේ යෑමට ඉඩ හැරීම සාධාරණ තත්වයක්ද?
මා මගෙන්ම විමසමින්ය.
හැමදා තමා සමග සිටිනා බල්ලා ගැන යම් වැටහීමක් එම ස්ථානයේ රාජකාරි වල නියැලෙන පොලිස් රාළහාමි දන්නවා විය යුතුය.
මා වහාම සයිකලය ආපසු හරවා ගෙන තල්ලු කරගෙනම ආපසු බල්ලා මා හට පහර දුන් ස්ථානයට  පැමිණියෙමි.
රාළහාමි ඒ වන විටත් රාජකාරි කෙසේ වෙතත් වාහන ඒ මේ අත ය්ගමන් කිරීම නරඹමින්ය!
බල්ලාද ඔහු අසලය.
මා තමා වෙතට එනු ; ඈත සිටම දුටු රාළහාමි
"ගොඩක් තුවාලද?" යි සැපදුක් විමසීය.

අනේ අප්පේ ඌවා උනාද?

එක් වරක් ගේම ඇද්ද බල්ලා මා ළඟට පැමිණීම මීටරෙන් ඉන්නා සෙයකි.
මා ඈත සිටම පිළිවදන් දුන්නෙමි.
"තුවාලෙ සයිස් එක නෙවේ වැඩේ. මූට බෙහෙත් වත් විදලාද දන්නේ නෑ! කාගෙද දන්නෑ!?"
"අපෙ මේ පොලීසියේ බල්ලානේ. මම නං දන්නේ නෑ මූට බෙහෙත් විදලාද කියලා. මම මෙහාට අළුත්. පොඩ්ඩක් අහලා බලනවාද?"
මේ; පුංචි අංකුර පොලිස් පොඩ්ඩෙකි. තවම කට්ට කෛරාටික වී නොමැත. පාරට ගේමට ජරාවට හුරුවී පදම් වූ අයෙකු නොවේ. 
"අම්මට සිරි ඒකත් එහෙමද?"
මට දැන් මල් යායකි!
"අම්මප මුන්ට මොලයක් තියෙනවද මෙහෙම හපාකන බල්ලෙක්ව නිදහසේ අතාරින්න? බල්ලාට තියා මුන්ට වත් පොඩිකාලෙ පනු බේත් වත් දීලද දන්නෑ!" මෙසේ සිතමින් මා සයිකලය තල්ලු කරගෙන ම  කඩවත පොලීසිය වෙත ගියෙමි.

සයිකලය පැදගෙන යාමටවත් හිතක් නැත!
මම ගිය වේගයෙන්ම සයිකලය තල්ලු කරගෙන ඇතුලට ගියෙමි.
සයිකලය අසල තිබුනු බැම්මකට හේත්තුකල මා පොලීසියේ ඇතුලට හොම්බ දැම්මේය.
" අර මෙහේ පොලීසියේ හදන බල්ලා හංදියේදී මාව කෑවා! ඌට ඉන්ජෙක්සන්වත් ගහලද?"
මම ගිය වේගෑන්ම අසල මේසයක් ඉදිරියේ නිදි කිරමින් හිටියෙ මෙලෝ හැඩයක් නැති රාළහාමිගෙන් විමසීය.
"මොන බල්ලෙක්ද! මෙහේ කොහෙද බල්ලො?"
"ඇයි අර හංදියේ  ගනේමුල්ල පාර හැරෙන තැන ඩියුටි කරණ රාළහාමි කිව්වේ එතන හිටියේ පොලීසියෙ බල්ලා කියලා!"
"මොන පිස්සුද? ඌ මේ එහා පැත්තේ කඩේ බල්ලා. හිටපු ගමන් මෙහේට ඇවිත් විසි කල මගුලක් කාලා යනවා ඇති!"

මේ යකා සමග තව දුරටත් කථා කිරීමෙන් පලක් නැත. මම ගියාට වඩා වැඩි වේගයකින් එළියට ආවෙමි.
"ඔය සුවසැරියෙන් බේත් ටිකක් දාගන්න! එතන හිටිය තවත් රාළ කෙනෙක් පසුබිම් ගායනයෙන් සහය විය!
"බම්බුව! මගුලක් කථා කරණවා!" මම ඇහෙන නෑහෙන ගානට කියා ගෙනම එළියට බැසසෙමි.
මට දැන් ඇවැසි වන්නෙ බේත් හේත් නොව බල්ලාගේ අයිතිකාරයාගේ මව හමුවීමටය!

කඩවත පොලීසියට පහලින් පිහිටියේ "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලය!
ඉහලින්; පොලීසියට දඩ කොළගෙවා ලයිසන් ගැනීමට පැමිණ රස්තියාදුවන හුදී ජනයාට ඥාණ කථාවක් කා ප්ලේන්ටියක් ගැසීමට පුංචි කඩ පොඩ්ඩක් ද ඊට යාබදව වීනස් ස්ටුඩියෝවද තවත් මොන මොනවාද  ස්ථාපිත වී තිබුනි.
මේ කියන බල්ලා "ආර්පිකෝවේ" බල්ලා වීමට ඉඩක් නොමැත.
එසේනම් ඉතිරිව ඇත්තේ තවත් පිළිතුරු දෙක තුනක් පමණි. ආර්පිකෝවේ බල්ලන් නැති අතර හිටියද; ඒ මෙවන් දඩෝරියෙක් නොව සුපිරි එකෙක් විය යුතුය. එසේනම් අනිවාර්‍යයෙන්ම අල්ලපු කඩේ බල්ලා  යනු මේ අහිංසක ඥාන කථා කඩේ හෝ ඉන් ඔබ්බෙන් ඇති අවශේෂ කඩේක එකෙක් විය යුතුය.

සුවසැරිය පසෙක ලා මා කඩේට හොම්බ පෙව්වේමි.
" අර පොලීසියේ ඉන්නේ ඔයාඅලගෙ බල්ලාද?"
" මොන බල්ලෙක්ද? . . . බල්ලෙක් දෙන්නෙක් මෙහෙන් විසි කොරණ ඒවා කනවා. ඒ එකෙක් වත් අපේ නෙවෙයි! ඔය අල්ලපු සැලූන් එකෙන්   අහලා බලන්න. එහේ එකෙකුත් හිටියා රැලේ වැටිලා"
"අම්මට සිරි!" වැඩේ  හිතන තරම් ලේසි පාසු නැත. මම අල්ලපු සැලූන් එක දෙසට හැරුණෙමි. 

අති බිහිසුණු කොණ්ඩා මෝස්තර සමග (මෝඩයාට) ඇන්දීම!

දොරට තට්ටු කිරීමෙන් අනතුරුව අඟනක් මුහුණ පෑවාය.
"අර පොලීසියෙ ඉන්න ඔයාලගෙ බල්ලට ඉන්ජෙක්සන් ගහලාද?" මම යෝජණාවක් සමගින් පැනයක් නැගුවෙමි.
"අනේ ඔව්! එකක් නම් විද්දා වගේ මතකයි. ඒ ගිය අවුරුද්දේ. මේ මහර ප්‍රාදේශීය සභාවෙන්ද? කවද්ද බල්ලන්ට බෙහෙත් විදින්නේ?"
(මගුලක් කථා කරණවා!) 
 "අනේ මම මොන සභාවෙන් වත් නෙවෙයි! ඔයාලගෙ බල්ලා මාව කෑවා!"
"කොයි වගේ එකෙක්ද?"
"පොඩ්ඩක් ඉන්න මම් උගෙන් අයිඩෙන්ටිය ඉල්ලගෙන එන්නං!" තවත් මේ යක්කු එක්ක කාලය කා දමා වැඩක් නැත! ඉක්මණින් මා රෝහලකට යායුතුව ඇත. ඊට කලින් 'සුව සැරියෙන්' බෙහෙතක් නැතත් ප්ලාස්ටරයක් වත් දාගතහොත් හොඳය! මා නැවතත් පොලීසිය තුලට ගියෙමි. සුව සැරිය ගිමන් හරිමින් විවේක සුවයෙන්ය. රියැදුරු මහතා හා නව යොවුන් තරුණියක් එහි ඉදිරිපස ආසන දෙකේ සිට පැඟිරි කථා බහකය! 

චූචි තුවාලේ දයියාද අයියා ? 
(බෙයියා සමග සුරතල්!)

මා අවශ්‍යතාවය කී පමණින් මාගේ තුවාලය සේලයින් වතුරෙන් සෝදා හැර වසුනක් හෙවත් පැලැස්තරයක් ඇලවූයෙමි! මේවන විට වැඩට යෑම පහුවෙලාය. දහවල් වී සයිකලය පැදීමේ උපයෝගීතාවය බින්දුවට බැස ගොස්ය.

නෑම ගැටළුවකට ලබාදෙන පිළිතුර - පැලැස්තරය

මා තුවාලයට ප්ලාස්ටරය දමා අවසන් වන විට එතැනට පැමිණි පොලීසියේ සිටි රාළ දත් විලිස්සාගෙනය.

ඒවන විට මා සේවා ස්ථානය අමතමින් සිටියේය.
"ඔව් බං! මේ ගොල්ල නෑ කිව්වාට පොලීසියේ බල්ලා තමයි කාලා තියෙන්නේ . . !"
" . . . . . . . . . . . . . . . . . "
"බල්ලා හිටිය තැන හිටපු රාළහාමිම කිව්වානේ පොලීසියේ බල්ලා කියලා!"
" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  . .?"
"ඔව් අනිවා නඩු යන්න පුළුවන් කේස් එකක් තමයි! හරි දැං මම මෙහෙන් පිටත් වෙනවා!"
" . . . . . . . . "

මේ දෙබස් ඇහෙද්දී පොලිස් රාළහාමිගේ හදවත උනුවී තිබුණු සේයාවකි!
"මහත්තයා! මහත්තයාගේ නොම්මරේ දීලා යන්නකෝ! අපි බලන්නම් මොකාද සතා කියලා!"
මම මගේ දූර කථන අංකය ලබා දී කඩවතින් නික්මිනි.
එන ගමන් මා මගේ හදවත සමග සිදුවූ සියල්ල මතක් කලෙමි.
"ඔව් හොඳම වැඩේ ඉස්පිරිතාලෙ යන එක තමයි. අමාරු උනත් නැතත්!" හදවත මා හට උපදෙස් දුනි.
"ඔව් ඒක තමයි කරණ්නට තියෙන්නේ!" මොළයද එය අනුමත කලේය!
මා සේවා ස්ථානයට නොයා කොළඹ මහ රෝහල වෙතට ගියෙමි!
"ජලභීතිකා එන්නත් ලබාදෙන අංශය" වෙතට මා යොමුකලේය.
එතැනින් එන්නත ලබා ගත්තේය.
(එතැන් පටන් දින තුන කින්; නැවත දින හතරකින්; හා මාසයකින් බෙහෙත් විදගත්තෙමි.)

එන්නත ලබාගෙන නැවත සේවා ස්ථානයට පැමිණ පමාවී දිනයේ වැඩ ඇරඹීය.
දිවා අහාරයෙන් පැයකට පමණ පසු මාහට දූරකථන ඇමතුමක් ලැබුණි.
මා ඇමතුම හා සම්බන්ධ වීමත් සමග අනෙක් කෙළවර ඇසෙන "පොලිස් ඝෝෂාව"; කතා කරණ්නේ කවුරුන්දැයි පෙර දැනුම් දීමක යෙදිනි.

"ආ! මහත්තයා!! ඔබ තුමාව නේද අද උදේ කඩවතදී බල්ලෙක් කෑවේ!?" 

"ආ ඔව්! ඔව්!!?"

 හරි! දැන් අපි ඌව අල්ලලා ජීප් එකේ දාගෙන වත්තල මූද අයිනට ගිහින් දැම්මා! දැං අව්ලක් නෑ!!"

"ඇං!? @#$!%^&$*())_&^%$# ?"






26 comments:

  1. This story is the story of all stray dogs in SL. It's life threatening hazard, no one responsible about. I guess you could go to courts about it since someone should take the first step to apply the law. In other countries city council responsible and remove stray animals from streets.

    As a Sri Lankan I will say this is your Karma (LOL) not a fault of dog, police or shop owner since no one own the stray dog. In JVP words balla kata ariyama oya kakula damma.


    And all depend on your Karma (LOL)Wijebahau

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තමයි! පාරෙ ඉන්න බල්ලෙක් නිසා ඇක්සිඩන්ට් නොවුනු යතුරු පැදි කරුවකු හෙවීම හරියට අර බුදුන් දවස අබැට හෙව්වා වගේ තමයි.
      මීට කාලෙකට ඉස්සර පාරෙ ඉන්න බල්ලන්ව අල්ලන ක්‍රම වේදයක් තිබුනා.
      ඒක බලයට පැමිණි නායකයෙකු ආගම පින වීමට නවතා දැම්මා.
      බල්ලා හපා කෑම කෙසේ වෙතත් රටක කිසිම දෙයකට නිවැරදි ප්‍රථිපත්තියක් ගෙන එන්නට බැරි රජයක් පත් කිරීම නම් බහුතරයේ කරුමෙම තමයි!
      ස්තූතියි ගොඩ වැදුනාට!
      දැන් ඔය පලාතෙ කොරෝනා අඩුයි නේද?
      සතුටුයි!

      Delete
    2. Covid situation getting better, however our lifestyle is on its head. Not sure if it will ever get normal or this is forever new normal? Working from home driving me nuts, enough complaining, I guess. Wijebahu

      Delete
    3. සියල්ල යහපත්වේවා!!

      Delete
  2. හ්ම්,පොලිසීය නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා කියල නොදැනනේ පොලිස් පාට් දාලා තියෙන්නේ බලුරාල.පව් බුවා.
    // මේ මහර ප්‍රාදේශීය සභාවෙන්ද
    මේක මරු,බෝට කියන්න තිබ්බේ ඔව් එන්න දැන් ගහනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! ඔය යක්කුන්ට නිකං මොනවා හරි දෙනවා කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. හදිසියට බල්ලව හොයා ගන්න බැරි උනා නම් ඒ නෝනා හරි ඇවිත් බේත් විදගෙන යන ලයින් එකක් තිබ්බේ.
      ස්තූතියි පැමිණියාට!

      Delete
  3. වලත්ත බල්ලා වත්තල මිනිස්සුන්ව කෑවාට කමක් නෑ වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. නිදි මහත්තයා! මම ඉතාමත් වගකීමෙන් කියන්නේ පොලීසිය මට අමතලා කිව්වා "දැන් අවුලක් නෑ - බල්ලාව වත්තල වෙරළට ගිහින් දැම්මා!" කියලා. මෙහිකිසිදු අතිශයෝක්තියක් වක්‍රොක්තියක් ව්‍යාජෝක්තියක් නොමැත. ඇත්තම ඇත්ත! කොටින්ම අමූලික ඇත්ත!

      Delete
  4. සත්ව හිංසනය හෙලාදකිව්....
    බල්ලා ආයුද පෙන්නන්න වත්තල බීච් එකට අරන් ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔයා කිව්වාමයි මටත් හිතුනේ. එහෙම එක්කගෙන ගිහින් යටියන්තොට ඇරියද දන්නේ නෑ!

      Delete
  5. ප්‍රශ්න පත්‍රය:

    1. මමත් කඩවත අසබඩ. ඔබතුමා කොහෙද?
    2. හැමදාම කඩවත ඉඳන් පාගන බයිසිකලේ රත්මලානට පදිනවද?
    3. කොච්චර වෙලාවක් ගතවෙනවද ඔය ගමනට?

    උපදෙස්:

    බල්ලෙක් බයිසිකලයට පනිනවානම් බයිසිකලය නවත්වන්න. එතකොට බල්ලා පදිරි වී ආපහු හැරී බල්ලෙක් වගේ යනවා ස්ථිරයි. 100% ක් සාර්ථක ක්‍රමයකි. අත්හදා බලා ඇත.
    (උප්දෙස් සඳහා ගාස්තු අනවශ්‍යයි...)

    ReplyDelete
    Replies
    1. 1. ගෝනහේන. ඔබ ගනේමුල්ලේද?
      2. ඒ ඒකාලේ! දැන් දෙමට ගොඩට.
      3. කඩවත රත්මලාන පැය දෙකයි. කඩවත දෙමටගොඩ විනාඩි 50යි.

      කොච්චර කීවත් ගාස්තුවක් දෙන්නමයි හිතෙන්නේ! බොහොමත්ම ස්තූතියි.

      Delete
    2. මම ගණේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එක ගාවින් ඇතුලට කිලෝමීටර් දෙකක් විතර...

      ගෝනහේණ පැත්තෙ ආවම හම්බුවෙමු, ඔබතුමාගෙ නම්බරේ කැමතිනම් මට ඊමේල් කරන්න - drackey@gmail.com

      Delete
    3. කැමතියි කැමතියි! වයි නොට්? වයි නොට්?? ඔන්න එව්වා!

      Delete
  6. මෙය කියවීමෙන් ලබා ගත් දෙය-: කාපු බල්ලගෙ පැටිකිරිය හොයන්නේ නැතුව ලන්ගම තියෙන ඉස්පිරිතාලෙට යන එක. මොකද ලන්කාවෙ අයගෙන් විස්තරයක් අහගන්නවට වඩා හොන්දයි ජලබීතිකාව හදාගෙන මැරෙන එක.

    ලන්කාවෙ බල්ලො වගේද සව්දි බල්ලෙක් කැවොත්.මුන් එන්නතක් තියා පැනඩෝල් පෙත්තක් වත් ජීවිතේට දැකලා නැතුව ඇති. පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි මෙහෙ ඉන්නවා සුපිරි වල් බල්ලො සෙට් එකක්. චීටා වගේ බොඩි එක. අඩි 2-2.5 විතර උසයි. හොන්ද බ්‍රීඩ් එකක් වෙන්න ඕනේ දැන් වල් වෙලා හිටියට.

    පොලීසියෙන් දීලා තියෙන්නෙ සුපිරි විසදුමක් නේ. ඉන්න හිතෙන රටක්. 😁😁

    ReplyDelete
    Replies
    1. අන්තිමට මටත් ප්‍රථ්‍යක්ෂ වුනු පරම සත්‍යය එයම තමයි!
      සත්තකින්ම පොලීසිය ඒක තමයි දුන්නු විසඳුම!
      "ඉන්න හිතෙන රටක්!" හි හි හි ( සභාවේ සිනා)

      Delete
  7. කොච්චර කරදර උනත්, ඉස්පිටිතාලෙට ගිහිල්ලා ජලභීතිකා එන්නත් මුළු කෝස් එකම ලබා ගත්ත එක නම් ඉතාම නුවණක්කාර වැඩක්.

    දන්නවානේ චාල්ස් හෙන්රි ද සොයිසා මහත්තයාට වෙච්ච දේ!. ලංකාවෙම පෝසතා උනත් ඒ ඔක්කොම පිස්සු බලු විසට පරාදයි. ඒ බල්ලට පිල්ලියක් ආවේශ කළා කියලා කතාවකුත් තියනවා. එහෙම උනා නම් බල්ලා කාලා මාස දෙකක් විතර ජීවත් වෙලා, ජලභීතිකාවෙන් මැරෙන්න විදියක් නැහැනේ!

    පුංචි කාලේ අපේ ගෙවල් ළඟ බල්ලෙකුටත් මාව පෙන්නන්න බැරුව හිටියා. මම උගේ ඇඟට රතිඥ්ඥා එකක් පත්තු කරලා දැම්මාට පස්සේ නම් මාව පේන කොට ඒකා පලාතෙවත් ඉන්නේ නැතුව යනවා.

    වල් අලි, සමාවෙන්න, 'වන' අලි ප්‍රශ්නය විසඳන අයගෙන් උපදෙස් අරගෙන වෙන්න ඇති බල්ලාවත් රී ලොකේට් කලේ!

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් මහත්තයා! දැන්නම් බල්ලන් සපා කෑම ඒ තරම් අවුලක් නෑ.
      ඔව් මාත් අහලා තියෙනවා "යතුරු" සොයිසා මහත්තයා මැරුණෙත් පිස්සු බලු විසෙන් කියලා. හැබැයි එතුමාම තමයි පිස්සු බලු වාට්ටුවක් හරි රෝහලක් හරි හදන්න මූලික උනා කියන්නේ නේද? අනේ පොඩ්ඩක් ලියන්නකෝ ඔය අරළු බුළු නෙල්ලි ටිකක; හංගන්නේ නැතිව.

      ඔව් වන අලි විසඳුමක් තමයි දීලා තියෙන්නේ. රටේ සාමය මේ තරමින් හරි තියෙන එකට අපි පුදුම වෙන්න ඕනෑ!

      Delete
  8. මටත් මේක වෙලා තියෙනවා. වෙන ගෙදරක කෙනෙක් එක්ක සාමකාමීව කථා කර කර ඉන්නකොට පැනල කකුල හැපුවා. ඉන්ජෙක්ශන් කෝස් එක අරගෙන තමයි නතර වුනේ. ගිය ආත්මෙ මම ඌව හපන්න ඇති කියල හිත හදා ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඉයන් දෙන බර ටෝක් අහගෙන ඉන්න බැරිවෙන්න ඇති ඌට! හි! හි!!
      බොහොමත්ම ස්තූතියි මෙහාට ගෙවැදුනාට!

      Delete
  9. Takketama oya polisiya ekka inna ballo nam upaya duthayo






































































    Takketama oya polisiya ekka inna aya nam upaya duthyo!Kawuru hari cyclist kenek yanakota parata pannahama ira kapenawa!Ethakota dada kolayak liyanna puluwan wana widihata yedaweemen thamayi e ayage sewaya labaganne.Dan therunada?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඇත්ත නේන්නං!?

      Delete
  10. https://clogger.com.au/clogger-snakesafe-australias-classic-snake-gaiters/

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම එකක් වත් ගන්න වෙනවා. ස්තූතියි!

      Delete
  11. දැන් බලු වැන් එකත් නවත්වල නේද? පාරේ ඉන්න බල්ලන්ට වද සැත්කම් කරන එකත් දැන් නෑ මම හිතන්නේ, පාරේ ඉන්න බල්ලෝ ගැන දන්නේ බයික් බයිසිකල් වලින් යන අය තමයි.

    ReplyDelete
    Replies
    1. මොන දේද අද වෙන කොට ප්‍රථිපත්තියක් ඇතුව රටක කෙරෙණ්නේ?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...