Monday, February 24, 2020

162. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving III



 දිනය 2019 මාර්තු 30 වන දිනයි. මාගේ මතකය නිවැරදිනම් එදින සෙනසුරාදාවකි. 
පෙරදින කතා කරගත් පරිද්දෙන් තෙශා උදේ 6.10 ට පමණ පැමිණියේ සුපුරුදු උණෙනි. 
අප උදේ 7.00 වන විට මීගමුවට යා යුතුව ඇත.

 අප කිමිදුම් ශිල්පය හෙවත් Diving ඉගෙන ගැනීමට යා යුතු වන්නේ මීගමුවේ හෝටල් පාරේ Sri Lanka Diving Tours ආයතනය වෙතටය.

මා ජීවිතයේ මින් පෙර කිහිප වතාවක් කිමිදී ඇත්තෙමි. ඉන් එක් වරක් නැතහොත් ප්‍රථම වතාවට කිමිදුනේ මාගේ පළමු කිමිදුම් ගුරු වන ශානක රාජකරුණා සමගය.
ඒ මීට වසර 15 කට පමන පෙර කල්පිටියේදීය. අප කල්පිටිය තෙක් ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පජේරෝව ලෙස බෞතීස්ම ලැබු; එවකට යුනයිටඩ් මෝටර්ස් ආයතනය සතුවූ 32ශ්‍රී0555 දරණ රථයේය. අප පවුල් දෙකෙහි පුතුන් කූට්ටම හා දූවරු කූට්ටම සමග අපි අට දෙනෙකු ගමනට සහභාගී විය. 

අප නවාතැන් ගත්තේ මාගේ පාසල් මිතුරකුවූ උපනන්ද සේවය කල නාරා ආයතනයට අයත්ව තිබුණු වෙරළ ආසන්නයේ වූ බංගලාවකය. 

අප එහි ළඟාවී ටික වේලාවකින් බෝට්ටුවක් කුලියට ගැනීමට ශානක සමත් විය. එම බෝට්ටුවෙන් වෙරළේ සිට කිලෝමීටර 35 ක් දුරිණ් පිහිටි  කොරළ් පරයක් වෙතට ළඟා වී ඒ වටා  ස්නෝක්ලින් කිරීමේ යෙදුනෙමු. ප්‍රථම වතාවට මා ෆින්ස් දැමූවේ එදාය. 

"මචං ෆින්ස් දාලා වෙරළේ ඇවිදිනවිට පස්සෙන් පස්සටයි යන්න ඕන! නැත්නම් වැටෙනවා !!" මා වරල් සමග සුපුරුදු ලෙස ගමන් ගැනීමට සූදානම් වූ විටෙක ඔහු කීවේය.

සාමාන්‍යයෙන් වරල් පැළඳ වැල්ලේ හෙවත් වෙරළේ ඇවිද යන්නට හේතුවක් නොමැත.

 Diving Site එකට හෙවත් කිමිදුම් ඉසව්වට බෝට්ටුවකින් ගමන් ගත් අයෙකු වරල්  පමනක් නොව වායු ටැංකි, BCD, ගොගල්ස් නැතහොත් මාස්ක් ආදී එකී මෙකී නොකී සියල්ල සිරුරට අමුනා ගන්නේ බෝට්ටුවේ සිටයි. එසේම කිමිදීමෙන් පසු කිමිදුම්කරු නැවත ගොඩ වදින්නේද පෙරකී බෝට්ටුවටමය. 

කිමිදුම්කරු බෝට්ටුවට පැමිණි විගස කරණ්නේ සියළුම ආම්පන්න වලින් නිදහස් වීමය. බෝට්ටුව තුලදී ඉනවටා පළඳින බර පටිය ගලවා බෝට්ටුව තුලට ලබා දෙන්නේ දිය මතුපිටට පැමිණි විගසමය.

ඒ කෙසේ වෙතත් කිපිදුම් වරල් හෙවත් ෆින්ස්  පැළඳ; මුහුදු වෙරළේ නම් ඉදිරියට ගමනක් නැත්තේමය. යනවා නම් ඒ පසුපසටමය! 

එදින අප වායු ටැංකි; කිමිදුමට ඇඳා නොගත්තෙමු. කොටින්ම එය SCUBA Diving එකක් නොවීය.

පසු කලෙක ත්‍රිකුණාමළයේ පරෙවි දූපත අසලද කිමිදී තිබුනි. 

මා ප්‍රථම වතාවට BCDයක් ඇඟලන්නේ; වායු ටැංකියක් පිටෙහි බැඳගන්නේ; ඔක්ටෝපසයක සෙකන්ඩ් ස්ටේජයක් තුලින් හුස්ම ගන්නේ ත්‍රීකුණාමළයේ නිලාවැළී හී දීය. ඒ තනිව නොව වසිකද සමගිනි.

ඒ; ඩයිවින්ග් සෙන්ටර් එකක සිටි සුපිරි ගනයේ ඩයිවින්ග් මාස්ටර් කෙනෙකු සමගය. එදින අප තිදෙන අඩි 25 ක පමණ ගැඹුරක කිමිදුනෙමු. එහිදී මාහට අමතක නොවන සිද්ධියක් සිදුවුණි. 

 මා දිය යට සිටි සෑම මොහොතකම මාගේ ආදරණීය පුතු වසික කොහිදැයි විමසිල්ලෙන් විය. මද වේලාවක් කිමිදීමෙන් පසු මා ගේ දෘෂ්ඨියෙන් හේ අතුරුදහන්වී සිටියේය.

 BDCය ඇඳ වායු ටැංකි පිටේ එල්ලාගෙන; සිලින්ඩරවලට සවි කෙරුණු රෙගියුලේටරයේ සිට ඇදුණු බට හතරක් ඇඟ වටේ ඔතාගත් පසු බෙල්ල; සාමාන්‍ය පරිදි එමේ අත; පොට යනතෙක් කරකැවීමට නොහැක.

මුහුණ වටා පැළඳි මාස්කයෙන්ද දැකීම සීමා කොට තිබුණි.

මම ඉදිරිය බලුවෙමි. වසික නොපෙනේ. වම් පසද දකුණු පසද බැලුවෙමි. ඔහු නැත. ඒවන විට අප සිටියේ අඩි 20ක පමන ගැඹුරකය. තවත් පහලින් මුහුදු පතුල පෙනේ. 

පතුල බැලුවෙමි - ඔහු මුහුදු පතුලට ගිලී ගොස් ද ? පෙනෙන්නට නොමැත. මා අසල ඩවින්ග් මාස්ටර් හෙවත් මග පෙන්වන්නා සිටී. ඔහුගෙන් මා කුමක් අසන්නද? කෙසේ අසන්නද?

කිමිදීමේදී අදහස් හුවමාරු කරගන්නා සංඛේත කිහිපයකි. ඒ සියල්ල හස්ත මුද්‍රාවෙනි. ඒවා ජාත්‍යන්තර සංඛේතයන්ය. එම නිසා ඒවා ත්‍රිකුණාමළයට පමණක් නොව මීගමුවටද එකසේ සාධාරනය.

 ඉංදියන් සයුරට පමනක් නොව පැසිපික් සයුරට මරියානා ආගාධයට පවා ගැලපේ.


මෙහි කොතැනකවත් "මගේ පුතා කොහිද?" කියා තබා "මා එක්ක කිමිදුනු අනෙක් එකා කෝ?" කියලාවත් අසන්න ක්‍රමවේදයක් නොමැත.


මගේ කටේ කෙල සිඳිලාය.

 එදින මේ කරන කිමිදීම සම්බන්ධයෙන් මා සමග සිටි නෑ දෑ සමූහයාගෙන් එකෙකුවත් කැමැත්තක් පල නොකලේය.

 මාගේ "අතිබිහිසුණු කොණ්ඩා මෝස්තර" පිළිබඳව කිසියම් නිවැරදි වැටහීමකින් සිටි මාගේ පවුලේ උදවිය පමනක් දත කට පියාගෙන "කිව්වා නාහන ගුරු අභ්‍යවකාශ ගත උනත් එකයි! මහ මුහුදේ කිමිදුනත් එකයි!!" කියා සිතමින් මුවින් නොබැන සිටියෝය. 
එයිනුත් වසිකයා හෙවත් මාගේ ඕනෑම මැර ක්‍රියාවකදීම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සහභාගී වන සගයා මා සමග කිමිදීමට එකඟ විය. 

සෙසු සාමාජිකයින් දෙදෙනා මහ මුහුද මැද නැංගූරම් ලා තිබුනු බෝට්ටුවේය. බෝට්ටුව තිබුනේ වෙරළෙන් කිලෝමීටර 12 ක් ඔබ්බෙනි. මාගේ හිතුවක්කාරකම හා බැඳුනු දරුවාව සොය මින් මම මෙම බෝට්ටුව අසල මුහුදේ අඩි 20 ක් පමනගැඹුරේය.

මා නැවතත් වමත් දකුණත් පහලත් විපරම් කොට අවසානයේදී මහත් වැර වෑයමෙන් යුතුව ඉහල බැලීමි. දෙයියනේ වසිකයා; හරියටම මට ඉහලින්ය!

එදින මා ඉගෙන ගත් පාඩම් අතර තමාට සුදුසු හෙවත් තම මුනට ගැලපෙන මාස්කයක් තෝරා ගන්නා හැටි හා තවත් කුඩා අභ්‍යාස කිහිපයක් විය.


මාස්කය මුහුනට තබා; පිටුපස පටිය නොදමා; යන්තමින් ඉහලට හුස්මක් ගෙන නවතා ගත් පමණින් එය මුහුණට බද්ධව සිරවිය යුතුය. මන්ද පොල්බෑමූණාට හරියන්නට නිපදවූ මාස්කය ඉඳිකටු පැංචාට නොගැලපෙන නිසා ඔවුන් තම තමන්ගේ මුහුණට ගැලපෙන එක මෙසේ සොයා ගත යුතුය.

මේ සියල්ල සිදුවී වසර ගනනාවකි. සිංහල අපගේ මතකය ගැන නිවැරදි ප්‍රකාශනය කලේ ප්‍රභාකරණ් යයි කියනු ලැබේ. ඉතින්  වසර ගනනාවකට පෙර උගත් දේ ගැන කවරනම් කතාද?

මමත් තෙශාන්තත් පිම්මේය. ඔහුගේ Toyota LN 107  252-6565 4WD Double Cab රථය වයසට නොගැලපෙන වේගයක් අරාගෙන ඉගිලෙයි.

"මචං! උඹ උදෙට කෑවාද?" මා කට හඬ අවදි කලෙමි.

"පිස්සුද බං! වයිෆ්ට සහලෝල උන ! පොඩි එවුන් දෙන්නාත් අවුල්. අද මේ මගුලට ආවට ගෑනි මලේ ඉන්නේ. මොනවා කන්නද බං!? තව පොඩ්ඩෙන් ගෑනි  උදේ කෑමට මාව කනවා!"

"අම්මට සිරි! එහෙනං මීගමුවෙන් මොනවා හරි බඩ පැලෙන්න කාලා යං! උන් අපිට කන්න දෙන එකක් නෑනෙ . . . !? මම පොඩි යෝජනාවක් දැම්මේ බොක්කුවක් උඩින් පියාඹමින් සිටිනා විටදීය.

"යකො! ලයිට් ඩයට් එකක් දාන්න කිව්වේ . . .!"

"හරි එහෙනං හාඩ් වෙයාර් එකක් ගාවින් නවත්තහං! CFL දෙකක් ගමු යන ගමන් කන්න . . !"

මීගමුවට අප ගියේ මිනුවන්ගොඩින් කටුනායක හරහා  ගොස්ය. අපි ගිය යෑමට මීගමුව නගරය විනාඩි 5 කින් 10 කින් පහු කර දැමීය. අප හැරිය යුත්තේ හෝටල් පාරටය. 

එවිටම වාගේ තෙශාගේ දූරකථනය නාද විය!

"හරි මිසිස් ෆර්නෑන්ඩො! අපි ඉන්නේ මීගමුවේ. මේ හෝටල් පාරට හැරෙණ ගමන් !"

"කෝ බං හෝටල් පාර . . . ?"

"උඹ කට වහගෙන ඉඳිංකො . . ! මේ මාමෙ; හෝටල් පාර කොයි හරියෙද? අපිට පොඩි දෙයක් කන්නත් ඕනෙ!" තෙශාන්ත පාර අයිනේ හිටිය තළතුනා අයෙකුගෙන් විමසීය. (හරි හරි අපිත් තළතුනා තමයි! කවුද නෑ කිව්වේ!)

"මාත්තයලා හෝටල් පාර පහුකරලා හැතැප්ම දෙකක් විතර ඇවිල්ලානෙ. ආයෙ හරෝගෙන කොලොම් පැත්තට යන්න.".

මාමාට කථාව කියා පුල්ස්ටොප් එක තියන්නත් කලින් මහ පාර මැද තෙශාන්ත ඉංග්‍රීසි කැපිටල් යූ අකුරේ හැඩේට වාහනය නැව්වේය.

"හෝටල් පාරෙ කන්න තැන් එමට . . !" දූවිලි අස්සෙන් මාමා කෑගෑවේය.

"මගුලක් කියනවා!"

අපි ආපසු හැරී එනාතුර තිබූ තරු පහේ තෝසෙ කඩේකින් බිත්තර තෝසේ සමග වඩේ කා හෝටල් පාරට පැමිණියෙමු.

තවත් විනාඩි ගනනක් යන විට අප Sri Lanka Diving Tours අභියස විය!




මං එන තුරු ඉඳිකඩ ළඟ- ඉන්නවා . .වා . .වා . .වා . .ද . . හම්මේ . . ?




මැරෙන්නට ඇති ආසාව . . !

අප එන තුරු ප්‍රනාන්දු මහත්මිය දොර කඩ ලඟය!  ඉන්පසු ඇය අපට ඩයිවින්ග් ගැන  කුමාරෝදය කියවීම පටන් ගති.

මම ඉස්කෝලේ දෙකේ තුනේ පන්තියේ සිට බස් එළවපු අයෙකි. ඒ එකල බස් රථවල රියැදුරු අසුනට පිටුපස හරහට සවිකල පොල්ලේ සිටය.  
වැඩිදුර පුහුණුව ලැබූවේ ගෙදරට සීනි තේ කොල ගෙනෙන්නට කඩේ යන ගමන්ය. එය මගේ පමනක් නොව කොල්ලන්ගේ සිරිතය.  
මනෝමයෙන් වසර ගනනාවක් බස් එළවපු මා තාත්වික ලෝකයේ වාහන එලෙව්වේ ඊට බොහෝ කලකට පසුවය!

ඩයිවින්ග් ද එසේමය. මා ඊට පෙර වසර ගනනාවක් ගං දියේ; දියවන්තෙක් සිට පසුව තෙවතාවක් මුහුදේ කිමිදී ඊටත් වඩා ඒ පිළිබඳව සොයාගත් පොත පත, වීඩියෝ පරිශීලණය කොට කුමාරෝදය කට පාඩම් විය.


තෙල බෙදමින් . . . 
(ෆෝන් එකට යටවී ඇත්තේ; අත්තිකාරම වශයෙන් ගෙවූ; දුක් මහන්සියෙන් උපයා සපයා ගත් ගෙඩි රුපියල් පනස් දහසය!)


කිමිදෙන්නත් ඕනෑ - හැබැයි මලාට වග නෑ . . !


ඉන් පසුව සිදුවූයේ අපගේ පෝරම කොල , ප්‍රකාශන, ආදිය පුරවා අවසන් කිරීමය. පෝරම කොල පුරවද්දීම වීඩියෝවක් දිවුනි. සියලු සැණකෙළි අවසන් ය!

"Good Morning! I'm Felician Fernando ! Are you ready? Shall we start?"

එතෙක් කුරුල්ලන්සේ සිටි කාලය අවසන් කරමින් Sri Lanka Diving Tours හි ප්‍රධාන උපදේශක ෆිලීශියන් ජේ ෆර්නැන්ඩු එතැනට කඩාපාත් විය.

එතැනින් ගබඩා කාමරයකට ගිය අප  කිමිදුම් මාස්කය, රෙගියුලේටරය, BCD ය වායු ටැංකිය පිළිඹඳව ප්‍රායෝගිකව උගත්තෙමු. කිමිදුම් ඇඳුම් වලින්  හැඩ උනෙමු.  BCD යක් ඇඳ ගත්තෙමු. වායු ටැංකියක් ද එල්ලා ගෙන තවත්  මොහොතකින්  අප ඔහුත් සමග ඉහල මාලයේ පිහිටි යෝධ වතුර ටැංකියක් අභියස විය.

ආතල් ඉවරයි -  හ්ම්! යමු යමු ඇති දැන් විහිළු කලා . . !

15 comments:

  1. You can spot divers by: •Funny Tan Lines
    •Big Watch
    •Says "Huh" alot
    •Bad shocks and springs in car
    •Scars from trigger fish bites
    •Expertise on anti-histamines


    You can spot old time divers by: •Funny Tan Lines
    •Big Expensive Watch
    •Old Jeep with bad shocks
    •Log Book has volume number on cover
    •Deaf in at least one ear
    •Has multiple scars.
    •Has cylinders older than you are
    •Talks about making their first wet suit
    •Dive gear is faded
    •Limps from Dysbaric Osteonecrosis

    You can spot newbie divers by: •Sunburned
    •Timex Watch
    •Nice car
    •Fills in all the blanks in their logbook
    •No diving related scars

    ReplyDelete
  2. Replies
    1. දන්නවානෙ මෙගා නාට්ටි වගේ තමයි!

      Delete
  3. මමත් මෙවැනි කිමිදීම් වලට කැමැත්තෙන් සිටියේ. ඒත් අපගේ ගුරුදේව උත්තම හිමියන් දේශනා කරා මෙලෙස මුහුද ආශ්‍රිතව කටයුතු කිරීමට යාම එතරම් සුභ නොවන බව. මුහුද උපාදානය කරගෙන මියයාමට මෙය හේතුවක් වන බව සහ එම නිසා පරලොව දුගතිගාමී වියහැකි බවයි දේශනා කරේ.


    චතුෂ කුමාර

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදියට නැවක රස්සවක්වත් බෑ නේද? එතකොට ඒවා කරණ්නේ කවුරුන්ද? ආගමක් වඩාත් ප්‍රායෝගික විය යුතු බව මගේ පුද්ගලික හැඟීමයි!

      Delete
  4. Nice, thawama goda diving, just like the river expedition. 50k? what is included?

    Pl note you are walking into danger zone (not diving) but by disclosing privileged info about your pal's wife, next time she will eat you for lunch. I am guessing all our wives are related, they all act the same. ha ha ha
    Meeta Wijebahu

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්!! හා!!!
      ඔව් තමාගේ බිරිඳ ලෙසට "කාන්තාවක්" තෝරා ගන්නා සෑම සියළු දෙනා මේ තත්වයට මුහුණ දිය යුතුබව තමයි පිළිගත් මතය.
      බොහෝ ගැහැණුන් කැමතිවන්නේ තම සැමියා නිවස, නිවැසියන්, පවුල කේන්ද්‍ර කරගෙන ජීවත්වන අයවනු දැකීමයි.
      වයස සමග මුහුකුරායමින් ඊට සමගාමීව තැන්පත් වෙමින් තලැස්තානිවන; ඇස් දෙක නිවෙස, පවුල දෙසටම හරවාගත් සැමියන් ඔවුන් පතයි.
      වඩාත් භයානක කාරණාව වන්නේ බිරිඳගේ පියා,සොහොයුරා, මිතුරියකගේ සැමියා වැනි දන්නා කියන අයෙක් එම අච්චුවේ වූ විටය!
      හරිද මම කිව්වා?

      Delete
  5. ආසාවක් ආව අර 50 000 කතාව ඒක්ක ඒ්ක ‌පොඩ්ඩක් යට ගියා බයික් ඒකට ඔරිජිනල් පැනියර් ස‌ෙට් ඒකක් දාන ගාන න‌ොවැ :P

    ReplyDelete
    Replies
    1. ඔය අත්තිකාරම විතරයි තව කුට්ටියක් මග!

      Delete
    2. අප්පටසිරි ඒහ‌ෙනම් බයික් ඒකක්ම ගතෑකි වග‌ේ

      Delete
    3. ඔව් බං එකෙකුට 50 ක් විතර යනවා!

      Delete
  6. බරපතළ වැඩ නොව!
    අපි ඕවට නැහැ

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නෑ! පොඩි වැඩ! ලියන තරම් අමාරු නෑ!!!

      Delete
  7. I love your blog!


    පුංචි නිවැරදි කිරීමක් කරන්න හිතුනා.අපි ඩයිවින් කරන කොට පාවිච්චි කරන Air tank එකට ඔක්සිජන් ටැංකි කියල නෙමෙයි ඩයිවින් වලදි කියන්නෙ. Normal Breathable air වල ඔක්සිජන් තියෙන්නෙ 21% විතරයි.

    ඩයිවින් වලදි ඔක්සිජන් ටැංකි කියල කියන්නේ 100% oxygen tanks වලට. 100% ඔක්සිජන් භාවිතා කරන්නෙ technical diving වලදි සහ bends හැදුන කෙනෙක්ට ප්‍රතිකාර කිරීමේදී.

    අපි සාමාන්‍යයෙන් කරන recreational scuba diving වලදි ඔක්සිජන් ටැංකි භාවිතා කරන්නෙ නැහැ මොකද අපේ air tank එකේ තියන ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවෙන්න වැඩිවෙන්න අපිට oxygen toxicity කියන තත්වය ඇතිවෙන්න පුලුව්න්.

    Recreational diving වලදි 21% oxygen වලට වඩා ප්‍රතිශතයක් තියන tanks use කරන අවස්තා තියනව ඒක ගැන වැඩි විස්තර nitrox (enriched oxygen) diving කියලා google කරල ගත්තැහැකි.

    දිගටම ලියන්න. භාශා භාවිතය හරිම රහයි.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...