Thursday, December 26, 2019

159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving I

වර්ණවත් හීනයක !

මම ඉස්කෝලෙ යන කාලේ; මගේ පාසලේම මට පහල පන්තිවල හිටියා මිත්‍රයින් දෙදෙනෙක් එකෙක් දැනට අමෙරිකාවේ බෝස්ටන් නුවර වෙසෙන සුජීව ද සිල්වා. 
අනෙකා දැනට බොහෝ කලක සිට මා සමග කතා බස් නවතා ඇති; කලකට පෙර මා හට සිටි විශ්වාස දායකම මිත්‍රයා - ශානක රාජකරුණා.

ශානක කලකට පෙර සේවය කලේ ගුවන් හමුදාවේ.ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන්නේ බල ඝන නායක වරයෙක් ලෙස.  
මා දන්නා පරිදි ඔහු දැන් මහාචාර්‍ය ෂානක රාජකරුණා සේවය කරණ්නේ එක්සත් ජාතීන් හෙවත් UN එකට.

ඔහුත් මමත් මේ රටේ බොහෝ පලාත් වල; පවුල් පිටින් සංචාරය කලේ බොහෝ කාලයකට පෙරයි.

මෙසේ ගිය අවස්ථාවක; හීනියට අඩියක් කාරිය ගහලා ඉන්න වෙලාවක; ඔහු මට කී එක් වැකියක් තවමත් මට අද වාගේ මතකයි.

"මචං මේ ලෝකෙ වර්ණවත් හීන දකින්නේ කවුද කියලා දන්නවාද? - ඩයිවර්ස් ලා!"

ශානක පාසැලේ පිහිණුම් කණ්ඩායමේ සාමාජිකයෙක්. එසේම වෝටර් පෝලෝ නායක. ජීවිතාරක්ශකයෙක් නවසීලන්ත ලෝකඩ පදක්කම දිනූ.

මේ නිසාම ශානකගේත් මගේත් පැවති මිත්‍රත්වයට මේ ජලාබුජ ජීවිතයත් එක සාධකයක් වූවා යැයි කීවොත් නිවැරදියි.

කිමිදීම ගැන මා පලමුව අත් පොත් තබන්නේ ඔහු ගෙන්. scuba   කියන එකෙ තේරුමම මට ශානක කියල දීලා ඇති දහ දොලොස් වතාවක්.

"scuba කියන්නේ (self-contained underwater breathing apparatus) වගන්තියේ වචන වල මුල් අකුරු ටික එකතු කරලා." 

ශානක; මම අහන අහන පාරට කියලා දුන්නා!

මේ scuba හෙවත් self-contained underwater breathing apparatus   කියන වැකිය සිංහලට නගලා තිබුනා "කිමිදුම් කලාවේ අත්පොත" කියන මහැඟි ග්‍රන්ථය මෙරට පොත් කඩවල රාක්ක වලට ගෙන ආ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කිමිදුම් ශිල්පියෙකු මෙන්ම උපදේශක වරයෙකු වන ලක්ෂ්මන් මුතුකුඩ මහතා. 

එනම්: ස්ව්යං අනතර්ගත දිය යටහුස්ම ගැනීමේ උපකරණය.

Diving හෙවත් කිමිදීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැකි වේ. 

ඉන් එකක් වන්නේ ස්නෝකලින්ග් Snorkeling හෙවත් මාස්ක් Mask එකක් පමණක් පැළඳ නොගැඹුරු ජලයේ කරණ කිමිදීමය. 
අප බොහෝ විට පරෙවි දූපත අසල, හික්කඩුවේදී කරණ්නේ මෙම පංතියේ කිමිදීම්ය! 
මෙහිදී අප ආශ්වාසයට අවශ්‍ය වාතය රැගෙන යාමක් කරණු නොලැබේ.

ස්නෝකලින්ග් Snorkeling - සිහින මොන්ටිසෝරිය !

එහෙත් ගැඹුරු දියේ කරණ්නාවූ කිමිදිමේ කටයුතු වලදී දිය යටදී ආශ්වාස කිරීමට වාතය; ටැංකි තුල ගබඩා කරගෙන; රැගෙන යා යුතුය. Scuba Diving යනු මෙම දෙවන හෙවත් වඩාත් සංකීර්ණ පංතියේ කිමිදීම් ය.

Scuba Diving - මීන රාශියට පිවිසීම !

කාලය සමග ඔහු ඒ පිළිඹඳව කියවීම ඇරඹුවා. ඒ වගේම ඒ ගැන ඔහු හැකි හැම විටෙකම මාවත් දැනුවත් කලා.

"පැඩී (PADI) ලයිසන් එක ගන්න ඕනෙ මචං!" වරක් ඔහු හමු උනාම මට කිව්වා. 

ඒ අපි හික්කඩුවේ කොරල් බලන්න වීදුරු පතුලක් සහිත බෝට්ටුවක ගිය ගමනකදී වගෙයි මතක.

"පැඩී (PADI) ? ඒ මොකක්ද ඒ?"  මම ඇහුවාම ශානක කියලා දුන්නා.

කිමිදීම විනෝදාශයක් කරණ බොහෝ දෙනා පෞද්ගලිකව ලඟ තබා ගන්නේ; මුහුන ආවරණය වන මාස්ක් (Mask) එක හා දෙපා ආවරණය කරණ පාවහන් හෙවත් ෆින්ස් (Fins) පමණි.

ඔක්සිජන් සිලින්ඩර හා අනෙකුත් උපාංග බොහෝ විට කුලී පදනම මත සපයා ගැනිම කරණු ලබයි.
ඒක හරියට වෙනත් රටක සිට අප රටට පැමිණෙන විදේශික සංචාරකයෙකු යාල යන්නට ලෑන්ඩ් රෝවරයක් තිස්සමහරමෙන් කුලියට ගන්නවා වගෙයි. 

මනාළියන් (ගොනාට) ඇන්දවීමේදී දාන හෝ ජසයා හා ලෙන්චිනා පැළඳි මාස්ක් නොව; 
මේ දිය යට දී ජිවිතේ ගොඩදාන මාස්ක් එකක් !


කකුල් තුනක් ඇති එකෙකුගේ ෆින්ස් හෙවත් කිමිදුම් වරළ් කුට්ටම් එකහමාරක් නොව 
විකිණීම සඳහා සාප්පුවක තබා ඇති එකම පැත්තක වරළ් තුනක් !

රියැදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකු හට වාහනයක් පැදවීම සඳහා ලබා දීම තහනම් වනවා සේම කිමිදීම සඳහා නියමිත ප්‍රමිතියේ බලපත්‍රයක් නොමැති අයෙකු වෙත කිමිදුම් උපකරණ ලබා දීමද නිති විරෝධී කටයුත්තකි.
වෙනත් රටක සිට මෙරටට පැමිණෙන සංචාරකයෙකු දේශීය මගපෙන්වන්නෙකු ගේ සහය ලබා ගන්නවා සේම;  කිසියම් ප්‍රදේශයක කිමිදීමේදී; එම ප්‍රදේශය පිළිඹඳව හොඳින් දන්නා කිමිදුම් මෙහෙය වන්නකු හෙවත් Diving Master ගේ සහය ලබා ගනියි.

එවිට එම  Diving Master විසින් තමාගේ සේවා දායකයාගේ කිමිදිම පිළිඹඳව ඇති හැකියාව තක්සේරු කරණ ප්‍රධාන නිර්නායකය වන්නේ මෙම බලපත්‍රයය.

එම බලපත්‍රයට අනුව; එම බලපත්‍ර ධාරියා හට කිමිදිය හැකි හා පලපුරුද්ද ඇති ගැඹුර පිළිඹඳ අදහසක්ද Diving Master  හට ලැබේ.

සේවා දායකයාගේ ජීවිත අවධානම හා වගකීම සහමුලින්ම දරණ Diving Master විසින් තම  සේවාදායකයා බලාපොරොත්තු වන නො එසේනම් අපේක්ෂිත කිමිදීම සඳහා ඔහු හෝ ඇය සුදුසු දැයි තීරනය කරණ්නේ මෙම බලපත්‍රය මගිනි.

මෙයට අමතරව කිමිදුම් ලොග් පොත  Diving Log Book ගින්ද තම සේවා දායකයාගේ පලපුරුද්ද පිළිඹඳව පූර්ණ වැටහීමක් ලබා ගත හැක. 

ගුවන් නියමුවන් ගේ පියාසර පැය ගණන  Flying Hours එකතුවෙමින් ගණනය කරණවා සේම කිමිදෙන්නන්ගේ කිමිදුම් පැය ගනන Diving Hours එකතු වෙමින් ගණනය කෙරෙනු ලබයි.

මෙවන් කිමිදුම් බලපත්‍ර සපයන ජාත්යන්තර සංවිධාන කිහිපයක් ඇති අතර මෙරට වඩාත් ප්‍රචලිතව ඇත්තේ; ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටා ඇති  PADI - Professional Association of Diving Instructors  ආයතනයයි.




"මචං ඩයිවින් වල තියෙන ගෝල්ඩන් රූල් එකක් තමයි කිසි දාක තනියෙම ඩයිව් කරණ්න එපා කියන එක! විශ්වසවන්ත එකෙක්  තමයි බඩියට ගෙනියන්නේ. අපි දෙන්නාම පැඩි ගමු. එතකොට අපිට ශේප් එකේ ඩයිව් එකක් දාගෙන ඉන්න පුළුවන්!" මේ ශානකගේ ඒකාලේ තිබුණු අදහස්!

කාලය විසින් අප අතර තිබුණු හිතවත්කම් ඈත් කලත් ඔහු කාලෙකට පස්සෙ පැඩී (PADI) ලයිසන් ගත්තා කියලා මම දැක්කා එයාගෙ ප්‍රොෆයිල් එකෙන්. 

අපේ හිතවත් කම  එලෙසින්ම පැවතියානම් මම ඒ එක්කම ගනීවි.

ඒත් ඒක මගේ බකට් ලිස්ට් එකේ තිබුනු එකක්.

මම මේ බ්ලොග් එකේම ලියලා තියෙනවා ඒ අවුරුද්දේ කරණ්නට අරමුණු කරගෙන තිබුණු වැඩ වලින් එකක් ලෙස පැඩි ලයිසන් එක ගන්න බලාපොරොත්තුව හිටි බව. මට මතක විදියට "සයිකලයෙන් තල් අරණට" ලියන්න පටන් ගන්න කොට.




අප කළු ගඟ පටන් ගත්තේ 2019 මාර්තු16 දා. එතැන් පටන් තවත් බොහෝ කාලයක් ඇදුනා අවසන් අදියරය පටන් ගන්නට. මේ අතරේ තමයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසය යෙදුනේ.

හැම අවුරුද්දකම අප්‍රේල් 30 වන දින මාගේ ජීවිතයේ අමතක නොවනම දවස! ගිය අවුරුද්දේ මම හක්බෙල්ලාවක සිට හැටන් වලට සයිකලයෙන් ගියේ මේ දිනය සැමරීමට!
http://thattayagekolama.blogspot.com/2018/05/blog-post.html



අමතක නොවන හැටන් ගිය මතක !

2019 මර්තු 21 වෙනිදා රිවර් එක්ක්ස්පෙඩිශන් වට්ස් ඇප් එකතුවට  තෙශා එවා තිබුනා පණිවිඩයක්. "මම පැඩී ලසිසන් ගන්න යනවා කවුරු හරි උනන්දුද?" කියා! ඊට අමතරව ගාස්තුව  ගෙඩි රුපියල් 50,000 ක් ලෙසින්ද ස්ථානය මීගමුව කියාද වැඩිදුරටත් එහි සඳහන් වූවා.

"මේ අවුරුද්දෙ මම මාහට පිළිගන්වන උපන්දින  සමරුව පැඩී ලයිසන්ස් එක කර ගන්නට ඇත්නම් !": මම මගේ හදවතින් ඇසුවා. 
"සත්තකින්ම එය කෙතරම් හොඳ සමරුවක්ද?" හදවත කෙඳිරුවා.

මා එකෙන්ම; වට්ස් ඇප් එකතුවට උත්තර බැන්දා! " Yes "

අහලාම බලන්න බොරුද කියලා;  පොත් කියවන අයගෙ පුරුද්දක් තියෙනවා ඕනම දෙයක් ඉගෙන ගන්න, විමර්ශණය කරණ්න පටන් ගන්නකොට මුලින්ම කරණ දෙයක් තමයි ඒ විෂය ගැන ලියැවිලා තියෙන පුස්කොල පොත් වල සිට සියල්ල මේසය උඩ ගොඩ ගහ ගන්න එක. 

මොකද එතකොට එයාලට හිතෙන්න පටන් ගන්නවා "දැන් මම වැඩෙන් භාගයක් ඉවර කර ගත්තා!' කියන සහනදායී සිතුවිල්ල.

ඒත් වැඩේ පටන් ගත්තාම තමයි තේරෙණ්න ගන්නේ; "සර්පිනාවේ එක පැත්තක් ඒ කියන්නේ හුළං ගහන පැත්ත දවසකින් ඉගෙන ගෙන ඉවර කොලාට අනෙක් පැත්ත දවසෙන් ඉගෙන ගෙන් ඉවර කරණ්න බැරිවග!"


ඉතිං මේ කරණ්න යන වැඩේට අදාල මෘදු දත්ත තෙශාන්ත එකතුකරගන්න කොට මමත් එකතු කර ගත්තා  පොත් පත් කිහි පයක්. 
සමහරක් ඒ වෙන කොටත් මගේ පොත් එකතුවේ තිබුනු ඒවා. තව කිහිපයක් මරදානේ ගාමිණී හෝල් ලේඛණාගාර පරිශ්‍රයෙන් මිළදී ගත්තා.







මෙතැන් සිට දිග ඇරෙණ්නේ මමත් තෙශාන්තත් පැඩී (PADI) බලපත්‍රය ලබා ගැනීම සඳහා ගිය ගමනේ කථාවයි.


Tuesday, December 17, 2019

158. මෛත්‍රී - අඩියොස් අමිගෝ . . . . !

ඔව් මේ අලි පන්නපු මෛත්‍රී තමයි.

මෛත්‍රී මා හට මුන ගැහෙන්නේ අපි මහවැළි ගඟේ මහියංගනයේ සිට මනම්පිටියට යාත්‍රා කල අවස්ථාවේ අපිට එක් වූ අවසාන ගමන් සගයා ලෙස.

"මා කණ්ඩායම නැවත සැකසූයෙමි. 
ධම්මික පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික - මම , තෙශාන්ත -  ?

ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම  අවශ්‍ය වේ. මන්ද මේ  ගමන සඳහා   භාවිතා කලයුතු වන්නේ Two Man Kayak මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ  කීකරුය ! 

මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි  Rapid හෙවත් ඇළි වලට වඩාත්  සාර්ථකව මුහුන දිය හැක්කේ Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත් Tandem  විනා  One Man හෙවත්  Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම  One Man හෙවත්  Solo කයාකයක් පැදීමට සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම්  ඒ පසිඳු පමනකි! 

අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ  මෛත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා ලෙස මහියංගනයේදී  අප හා එක්වන බව ඔහු සහතික විය.

මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය."

මහවැළියේ යන්නට අප පිටත් වෙන්නේ රජරටට මහ වැසි වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කාලයක. අහස ගැබ්බරව වැසි වදන්නට සූදානම්ව සිටි මොහොතක අප ගමන යොදාගෙන තිබුනි. 
මුලින් අප සමග සිටි 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩයම කෙට්ටුවී කෙසඟවී කෙඬෑරිවී 5 දෙනෙකු දක්වා පසු බැස තිබුනි. 
එවන් මොහොතක අප "නැතිවූ" සගයා සොයමින්; හාත්පස  ඉව අල්ල අල්ලා සිටි මොහොතක මෛත්‍රී පිළිබඳ ආරංචිය ගෙනාවේත් තෙශාන්තයමය!

"අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට පිටත් වූ අතර;   තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය. 

මේ තෙශාන්ත පවසන මෛත්‍රී  අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද? මෛත්‍රී  නොපැමිනියහොත් අප අතරින් කවුරුහෝ එක්  අයෙකු එක්  කයාකයක් සමග මහියංගනයේ නවතින්නට සිදුවනු ඇත. මන්ද Two Man  කයාකයක්  තනිව ලොකු දුරක් පැදීම බොහෝ අසීරු කටයුත්තකි. එය වඩාත් අසීරු වන්නේ එය මතුපිට තවත් අමතර බරක් පැටවූ පසුය.

 අවසානයේ නිපෝන් පාලම අසලදීම  තෙශාන්තට තම උත්සාහය සාර්තක කර ගැනීමට හැකි විය. ඔහු පෙරදින සිට නිදි වර්ජිතව ඇලහැර සිට මහියංගනයට පැමින ඇත.

මහියංගනයේ සිට නිපෝන් පාලම පසුකොට ගොස් අපසු හරවා ගෙන පැමිනෙද්දී කාල වර්ණ, ප්‍රියමනාප, ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙකු අපට හමුවිය. ඒ අන් කිසිවෙකුත් නොව මෛත්‍රීය. 

හමුවී කෙටි වේලාවකින්ම ඔහු අප සමග ඇති කර ගත්තේ කලක සිට ගෙන ආ මිතුරු බවක සේයාවක්. ඔහු පැද්දේ වසික එක්ක. වසික කියන්නේ මගේ සුජාත පුත්‍රයා. ඔවුන් දෙදෙනාම ගමනට එක් වූයේ ආධුනිකයින් ලෙස! එහෙත් ඔවුන් ඉතා ඉක්මණින්ම කයාකය හසුරුවා ගැනීමට ඉගෙන ගත්තා. ගමන තුල ඉතිරිව ඇති මිහිරි මතක අතර මෛත්‍රී වටා ගෙතුනු කථා බොහොමයක් තවමත් අප අතර.

"බොහෝ විට වසික -මෛත්‍රී  යුගලය රැගත් කයාකය ඉදිරියෙන්ම ගමන් ගති. අප එය හැඳින්වූයේ අධිශක්ති කයාකය ලෙසයි. හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ මෛත්‍රී ශක්තිමත් තරුණයෙකු විය.ඔහුගේ දෑතේ හෙවත් බාහු යුග්මයේ   මස්පිඩු හොඳින් වැඩී තිබුනි.

වන ජීවී දෙපාරතමේන්තුවේ සේවය කරණ ඔහු එයට අමතරව පුහුණු ජීවිතාරක්ෂකයෙකි! නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන් තඹ පදක්කම් ලද්දෙකි. ( Bronze Medalist)! එසේම හොඳ පිහිනන්නෙකි. වසිකද ඇඟ පුරා ගාය ඇති නව යොවුන් තරුණයෙක්‍ ය.

මේ නිසා වසික මෛත්‍රී ද්විත්වය රැගත්  කයාකය ගඟේ හරහටද දිගටද උඩහටද පහලටද සෑම දිශාවකටම ගමන් කරණු බොහෝවිට දක්නට ලැබුනි. ශක්තිය අවශ්‍යය; ඒ අවශ්‍ය වේලාවට අවශ්‍ය පරදිය!  ඔවුන් මෙසේ ගඟේ හතර මුල්ල පැන්නේ අප බොහෝ සීරුවෙන් මෙන්ම අසීරුවෙන් ගඟ පහලට සෙමෙන් සෙමෙන් රූටමින් සිටිනා විටදීය !"
-( http://thattayagekolama.blogspot.com/2017/11/14.html )-

මහ කැලේ අප රාත්‍රිය ගත කරද්දී අපගේ ජීවිත ආරක්ෂාවට ගිනි මැලය පරදා ඉදිරියේ සිටියේ මෛත්‍රීය.  ඔහු අපගේ කාන්සිය මැකී යන්නට තම කට හඬ අවදි කලේය.
තෙශාන්ත පවසන ලෙසට පලමු විවාහය කෙළවර වී ඇත්තේ "හුලවාළි" චිත්‍රපටයේ කථාවට සමපාත වෙමිනි. ඒ වන විටත් විරහව ඔහුගේ සිතේ කොතැන හෝ තිබෙන්නට ඇත!


"ටික වේලාවකින් තෙශාන්ත විසින් සම්පාදනය කොට මෛත්‍රී විසින් ඉදිරිපත් කරණ්නට යෙදුනු “අසන්නන්ගේ   ඉල්ලීම්”  වැඩසටහණකට සවන් දීමේ අවස්ථාව ලැබුණි. 
මාගේ මතකයේ හැටියට  ඔහු පලමුවෙන් ම ගායනා කලේ  විශාරද  ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගීතයකි.

“මී පැනි දී රිදී ගන්න   ගං පොජ්ජට මං ගච්චා …….” නම් රසාලිප්ත  ගීතයය. 

ඒ වන විට ප්‍රථම ප්‍රේමය විසින් මෛත්‍රීගේ හදවත දරුණු ලෙස බරුගසා සිටි අවධියයි! ඒ දුක් බර හඬ නැගුනේ ඔහුගේ ස්වරාළයෙන් නොව හදවතින් විය යුතුය!

මේ ඔහුගේ ආත්ම කථනයද ?"

“මී පැනි දී………..” ගීයෙන් පසු තවත් එම ශිල්පියා ගේම ගීත කිහිපයක් මෛත්‍රී  ගායනා කලේය.   

ෂෙල්ටන් පෙරේරා ගායකයානන් ගේ නාසික හඬට  තරමක දුරින් නෑකම් කී හඬකට හිමිකම් කී මෛත්‍රීගේ ගී රාවය ; ඒ වනවිට බොහෝසෙයින් විඩාබරව සිටි අපට සුන්දර මිහිරියාවක් ගෙන දෙන්නට සමත් විය.

මයිත්‍රී එක් ගීතයක් ගයා අවසන්  වත්ම තෙශාන්ත ; “අනේ මයිත්‍රියෝ තව එකක් කියහංකෝ…….!” යයි පවසමින් කල ඉල්ලීම පසෙක නොහෙලා මෛත්‍රී ගීත දහයක් පමන ගැයුවේය.

අප එකෙක් අය කැමති ගායක ගායිකාවන් කවුරුන් වුවද ;  එම මොහොතෙ අප සියල්ල ඒකාග්‍රව ඒකාත්මිකව එම හඬ රස විඳීය. 

ඒ ; ඒවනවිට   අප කැමතිම හඬ වූයේ ටී ෂෙල්ටන් පෙරේරා ගේ හඬ මුසුවූ මයිත්‍රීගේ දුකබර හඬට වූ බැවින්‍ ය."


මෙවර කළු ගඟේ යන්නටත් මා ඔහුට අමතන ලෙස තෙශාට කීවෙමි.

"අප සමග මහවැළි තරණයට ගිය අනෙක් තිදෙනා වන්නේ වසිකත්, මෛත්‍රීත්, ධම්මිකත්ය. වසික මේ වන විට කැන්ගරු දේශයේය.
ඊළඟට ලැයිස්තුවේ ඉන්නේ මෛත්‍රී හා ධම්මික ය.  
දෙදෙනාගෙන්; අවස්ථාවට පළමුව හිමිකාරීත්වය කීවේ මෛත්‍රීය. ඔහුගේ ජිව දත්ත මා මෙහි නැවත සඳහන් නොකරණ්නේ  ඒ සියල්ල මා ගඟක් දිගේ ලියා තැබූ බැවින්ය.

"අද හවසට ඌට කතා කරලා උදේම උඹට කියඤ්ඤං !" කියා කීවාට තෙශාන්ත කියපු දෙයක් නැත.

මම දෙවන වර තෙශාන්තව අමතන විටත් ඔහුට මෛත්‍රීව සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබුනි.

මන්ද මහ කැළයේ ගස් බෙනවල, රූස්ස ගස් මුදුන් වල, ගල් ගෙවල් තුල කටු ලැහැබ් තුලින් මී පැණි පොජ්ජක් මන්දො කර ගත්තාට සිග්නල් පොජ්ජක් පටෑරගෙන කෝල් පොජ්ජක් මන්දො කරාන්නට හැකියාවක් නොමැති නිසාය.

"දිවයිනම ආවරණය වන පරිද්දෙන් . . .  " බයිලා  මහ කැළයට ඒවා වලංගු නොමැත.

බඩ රස්සාවට අලි පන්නන මෛත්‍රී ඉන්නා රූස්ස කැළයට සිග්නල් සිදාදියෙ හූරන් රැගෙන යා  යුතුය.

"මචං ඌට එන්න වෙන්නේ නැතිලු . . . !" මේ 11 වෙනිදා හවස් යාමයේය!"



15/12/2019 කියන්නේ මෑත කාලයේ බොහෝ සෙයින් කලබලකාරී දිනයක් උනේ වැඩපලේ මිත්‍රයෙකුගේ පියාගේ අවමංගල්ලය වෙනුවෙන් මස්කෙළියේ නොටිංහෑම් වත්තට යන්නට සිදු වීම හේතු කොට ගෙන! මමත් රුෂානුත් අගනුවරින් පිටත් උනේ හරියටම දහවල් 12.00 ට!

හරියටම 1.30 ට දූරකථනය නාද විය.

තෙශාන්ත! අමතමින්.

"තෙශා! කියහං මචං මම මලගෙදරක යනවා මස්කෙළියේ!"

"සෑඩ් නිව්ස් එකක් මචං! අපේ මෛත්‍රියාට අලියෙක් ගහලා! එතනමලු!  බොඩි එක අරණ් තියෙන්නේත් මාර ගේමක් දීලාලු!"

එතනින් එහාට මම මොනවා කිව්වාදැයි මම නොදනිමි. ඉන් එහාට මා ඒ පිළිබඳව කිසිදු දෙයක් ආරංචි නොකලෙමි. මන්ද ඒ කිසිදු දෙයකින් ඒ සුන්දර මිනිසා නැවත අපට දකින්නට නොහැකි වන නිසාය. මා මේවන තෙක් මාගේ පුත්‍රයාට නොකීවෙමි. ඔහු එතරම්ම මෛත්‍රීට ආදරය කල බව මා හොඳාකාරවම දන්නා නිසාය.

මහවැලියේ එක් මොහොතක වසික හා මෛත්‍රී පැදවූ කයාකය සැඩපහරට හසුවී; දියට බරවූ විසල් ගසක් යටින් ගමන් කරද්දී වසික හට සිදු වන්නට ගිය මාරන්තික අනතුරකින් ගලවා ගත්තේ මෛත්‍රීගේ වේගවත් මෙන්ම ශක්ති සම්පන්න වූ ප්‍රථිචාරය කරණ  කොට ගෙනය!


මෛත්‍රී පිළිබඳව කතා කරන සෑම අවස්ථාවකදීම වසික එය මහත්වූ ගෞරවයකින් යුතුව මතක් කරණු මා බොහෝ වර අසා ඇත!

අලින්ට විනය කටින  ගිහියන් පැවිද්දන් මෙතරම්  සිටින රටක; සැබැවිම "ගජ මිතුරන්" වූ කණ්ඩායමක මෛත්‍රීවම මරා දැමුවේ ඇයිද කියා මාහට සිතා අගන්නට නොහැක!

උඹේ මල ගෙදරට ඇවිත් උඹේ කනට ලං වෙලා කියන්නට දෙයක් ඇත.


"උඹ ඇත්තටම හොඳ මිනිහෙක්!"

කාකි හැට් තොප්පියක් ඇඳ සිටින්නේ මමය! 
මාගේ දකුණු පසින්; කොල පැහැති කැප් තොප්පියකින් සැරසී සිටින්නේ පසිඳුය.  
මාගේ වම් පසින් සිටින; මාගේ සුජාත පුතු  වසිකය. 
වසික අත තබාගෙන සිටින්නේ අපගේ ආදරණීය මිත්‍රයා - මෛත්‍රී ගේ දෙවුර මතය.
උපැස් යුවලකින් සැරසී මෛත්‍රීට අසල සිටින්නේ තෙශාන්තය. පිංතූරයේ ඉහළ කෙලවරේ සෙල්ෆිය මෙහෙයවූ මහේන්ද්‍ර !


සිය පතක් රැඳුනද කුසුමක
සිත හදා ගන්නේ කෙලෙසද
එක් පතක් වියැකෙද්දී . . . ?

ඔව් බලමු ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයක් අත් නොලබන්නට!



Monday, December 9, 2019

157. කළු ගඟදිගේ . . . . . . 16

අවසානය
 ජීවමාන පාලමක්  - තුරු වදුලෙන් එබී බලා . . . !

සුදා සහ තෙශා විසින් ගෙන එන ලද බත් ගෙඩි හතර පාර අයිනේ ලෙහාගෙන කෑ අපි ඉක්මණින් දියත් වුනෙමු. 

ගඟ අයිනේ ගිනි අවුවේ පැසෙමින් තිබුණු කයාක කොත්තු තැටි සේ ගිනියම් වී තිබුනි. අප සතු සියලු රෙදි පෙරෙදි ගල් මත එලා වේලා ගත් පසු සියල්ල පිළිවෙලට අඩුක් කර ගැනීමෙන් ඉක්බිතිව කෑමට පසු පලමු හබල් පහර ගැසුවෙමු. 

එතැන් සිට ගඟේ තිබුනේ ඒකාකාර රටාවකි. සාමාන්‍යයෙන් ගඟක් පළලින් අඩුවූ විට එහි ගලා යාම වේගවත්ය. එසේම එහි යාත්‍රා කරණ කෙනෙකුට දැනෙන සුළුය. එහෙත් අතිශය පළලකින් යුත් ගඟාවක්; ගඟාවකට වඩා කිට්ටු වන්නේ විලකටය! එවන් ගඟක යාත්‍රා කිරීම අතිශයින්ම මනස වෙහෙස ගන්වන සුළුය. එය තනි යායට දිගට පෙනෙන විට තත්වය වඩාත් බරපතලය! 

ඈත පෙනෙන ඉමක් වෙත ලං වන්නට පැයකට ආසන්න කාලයක් හබල් ගැසීමට සිදුවීම සමාන කල හැක්කේ; ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක ඇවිදීමකටය! ගල්පාතින් පසු ගඟ මේ සියළු කාරණා වලට නිදසුන් සපයමින්ය! 

 මෙසේ පැය දෙකක පමණ කාලයක් ගෙවමින් හබල් ගැසූ පසු අප ඉවුරක නිවෙසක් පෙනෙන තැනකට සේන්දු උනෙමු. එම නිවසේ ගෘහපති - අයියා අප සමග මදක් දොඩමළු විය! 
පසුව අපගේඉතිරි ගමනට අවශ්‍ය අවශේෂ කලමණා මොනවාදෝ ; අසල කඩේකින් ගෙනැවිත් දෙන්නට ඔහු කාරුනික විය. මතක ඇති තැනකට ගඟේ ඉවුර අසල යම් පමනකට හෝ බිම පය තබන්නට හැකි ස්ථානයක් වුනි නම් ඒ මෙම ස්ථානයේ පමණි. 

 ගෙදර අයියාව කඩේ යවන්නට මොහොතකට පෙර . . !

එම ස්ථානයෙන් මදක් එබී බැලූ විට දක්නට ලැබෙන්නේ මෙම පෝස්ටුවේ "පෙරවදන" ලෙස දක්වා තිබෙන දසුනය!
 ඒ මෙතෙක් අප පසුකල ගමන් මග තුල දක්නට ලැබුණු විශාලතම පාලම් රාජයාය! දක්ෂිණ ලංකා අධිවේගී මාරගය සඳහා  කලු ගඟ මතින් ඉඳිකොට ඇති මෙම පාලම; ගඟ මැද දරා සිටින්නේ විසල් කනු දෙකක් මත පමණි. 

එම පාලම දකිත්ම සිතට ඇතිවන්නේ ඩයිනෝසරයෙකු දකින විට ඇතිවිය හැකියැයි උපකල්පණය කල හැකි ආකාරයේ කිසියම් බිය උපදවන සුළු හැඟීමකි! ඒ මන්දැයි අද ද  සිතා ගත නොහැකි වුවද එම පාලම යටින් ගමන් ගනිත්දී; කුඩා කල අලියාගේ බඩ යටින් රිංගා යාමේදී ඇතිවූ හැඟීමට සමාන හැඟීමක් සිතට කාන්දුවිය.  


 හිතා ගන්නකෝ අපි නිකං පොල් ලෙලි . . !

එතැන් සිට ඒකාකාරී ගඟ දෙපස මිනිස් පුළුටක් වුනි නම් ඒ අතිශයින්ම දුර්ලභ ලෙසය. 
ගඟේ ඉවුර අසල පවා අධික ගැඹුරකින් යුක්ත වීම නිසා තම එදිනෙදා කටයුතු සඳහා ගඟ ප්‍රයෝජනවත් සම්පතක නොවන හෙයින් මිනිසුන් ගඟෙන් ඈත්ව ජීවත් වනවා විය හැකිය. 

එසේම කළු ගඟ සාපේක්ෂව දැඩි ලෙස ගං වතුර තර්ජනයන් ගෙන දෙන සාධකයක් වන බැවින් ගඟ හුදෙකලා කොට මිනිසුන් ඈත්ව ගොසින්ද? සිතා ගත නොහැක. රත්නපුර, හොරණ ආදී ප්‍රාදේශවලට විනා මේ පලාත්වලටද ගං වතුර තර්ජනයන් වෙත්ද?

දිනය මහළු වියට පා තබා ඇත. හිරු; ගඟ අවට ඇති ගස් වල දිගු සෙවනැළි ගං දිය මත අඳිමින්ය. පසුගිය කාල සීමාවතුල දිගින් දිගටම වට වැස්ස අදත් හවස් අතේ නොලැබේවි යැයි සිතා ගත නොහැක. අහසේ එකදු වළාකුලක් හෝ නැති තරම්ය. මෙතෙක් අව්වෙන් සිදුවූ ආපදා - අපල උපද්‍රව බොහෝ සෙයින් අවම වී ඇත. එහෙත් දහවලේ අත් පා පිළිස්සුණු තැන් තදින් දා යනු දැනෙයි. 

ගංඟාවේ ඉවුරු දියෙන් මතුවූ ගස් වලින් සරුසාර ලෙස වැසී ගොස්ය. අපට කුමණ හේතුවකට හෝ ගමන නවතා ඉවුරකට ගොඩ බැසීමකට කෙලෙසකින් හෝ නොහැකි තරමට එකකට එකක් ලංව ගස් හටගෙනය! ගඟේ ඉවුරු අසල ගස් වැල් වල සෙවනැළි පතිතවී අඳුරු ස්වභාවයක් ගෙන තිබුනි. මේ නිසාම ඉවුරට ඈතින් අප යාත්‍රා කලෙමු.


 සොවින් පිරි මගේ හදවත - තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටි ගැසී ගෙනදේ - සිතට වේදනා . . . 
සුවෙන් මා එදා සැතපුණු - යහන් මත මහත් විෂකටු 
තිබෙන්නාවු ලෙසට දැනේ - ගතට වේදනා . . .//

(රිච්මන්ඩ් කාසල් පියස)

තවත් දුරක් පැදගෙන ආවිට; මා ගමන පිටත්වූ මොහොතේ පටන් දකින්නට බලා සිටි මන්දීරයක පියස්ස ඈතින් දිස් විය. 

එය අනෙකක් නොව "රිච්මන්ඩ් කාසල්" මන්දීරයයි. 

මෙය නැරඹීමට පැමිනෙනවානම් කළුතර සිට ගඟබඩ පාරේ පැමින පලාතොට හංදියෙන් කෙත්හේන පාරේ පැමිණිය යුතු වෙනවා. 

අක්කර 42 ක භූමි භාගයක් පුරා විහුදුනු; කළු ගඟට යාබද ඉඩමක උස් කඳු ගැටයක් මත මෙම විසල් මංදීරය පිහිටා ඇත. 1910 දී ඉඳි වන මෙම මන්දීරය කළුතර දිසාව භාරවවූ මහ මුදලි දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිවෙසයි.

මෙතුමා විවාහ වන්නේ  දිසා කළුතර දිසා විනිසුරුගේ දියණිය වන ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර  සමගයි.

එහෙත් දශක තිහක පමණ කාලයක් තිස්සේ විවාහ ජීවිත ගත කලවුනට දරුවන් නොසිටි අතර සූරිය බණ්ඩාර ළමාතැනී  මන්දීරයේම සේවකයෙකු සමග අනියම් සබඳතාවයක් ඇතිකරගත් බවක් ව්යවහාරයේ පවතී.

මේ සියල්ලෙන්ම සිත කලකිරුණු මුදලිතුමා මන්දීරයෙන් හා ළමාතැනීගෙන් වෙන්වී මහනුවර ක්වින්ස් හෝටලයේ; 1947 වසරේදී මියෙන තුරු ජීවත් වුනු බවක් සැලකේ.

ගූගල් වෙතින් - රිච්මන්ඩ් කාසල්

යාන්තම් වහලය පමනක් පෙනෙන රිච්මන්ඩ් කාසල් මන්දීරය ගඟ දිගේ ටික දුරක් පහලට යත්‍රා කිරීමේදී තරමක් පෙනෙන්නට ගනී. 
මීට කලකට පෙර "රැජින" පුවත් පතේ මෙම රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය කොටස් වශයෙන් පලවූවා සේ මට මතකය. 
පෙලින් පෙලට සියලුම කොටස් කියවීමට නොහැකිවුවද එම කාථාවේ ඇති දැඩි ශෝකාකූල බව මේ මොහොතේ මාගේ මතකයට ආවේය. 

මලහිරු ගඟ දිගේ මලාණික එළියක් විහිදුවමින් මුහුදේ ගිලෙන්නට ආසන්නවය. හාත්පසින්ම දිගුවූ සෙවනැලි වලින් ගඟේ බොහෝ කොටසක් ආවරණය කරගෙනය. මුහුදු සුළඟින් ගඟාව රැළි නංවමින්ය. සිසිල් සුළඟක් ගතට සිසිළසක් ගෙන එමින්ය. මුළු ගංගාව පුරාවට හාත්පසම  පාලුවට ගොස්ය. අපේ යාත්‍රා දෙක හා ඈත අහසේ; නිවෙස් බලා පියාඹා යන සියොතුන් හැරුනුකොටගෙන  වෙනත් කිසිම ප්‍රාණියෙකු දක්නට නොහැක. මේ සියල්ල අතරිණ් මගේ මනසට රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය ගෙන ආවේ වචනයෙන් විස්තර කල නොහැකි දුකකි. ඔහු මේ ගඟ දෙස බලා මොන තරම් නම් සුසුම් හෙලන්නට ඇතිද? 


සිනෙක් - බය හිතවන ස්ථානය - කළුතර . . !

 ගඟේ එක් ඉවුරක; ඔව් දකුනු පස ඉවුරේ; රිච්මන්ඩ් කාසල් එක තිබුනේ වම් පස ඉවුරේ; අමුතුම ආකාරයේ බෝට්ටු වැඩපොලක් වැනි ස්ථානයක් ඇත. එය සිනෙක් ආයතනය සතු බව එහි ලියා ඇත. 

මා සිතන පරිදි එය සිනෙක් විදුහලෙන් උගෙන ගන්නා නැවියන් හට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ස්ථානයක් විය! එය පසුව සොයා බලද්දී එය CINEC- Department of Safety & Survival Training -  Ernest Peter Komorowski Survival Centre - Kaluthara  බව තහවුරු විය!


දිනය මහළුව ගොස් - ඉර ඕෆ් වෙලා පොත  අස්සන් කරණ්න යන ගමන් . . . ! 


 ගඟට කර්ෆිව් . . . !

පාලුවට ගිය ගඟාවේ කුඩා නැමි වලින් එබී බලත්ම හිත් සොයන දසුනක් වේ. ඒ කළුතර දාගැබේ සුදො සුදු කොත් කැරැල්ලය. 

මෙවිට දැනට කැංගරු දේශයේ සිටින වසික දිනෙක ඇසූ ප්‍රශ්ණයක් මගේ මතකයට ඒ.

"හරි කියන්න බලන්න කළුතර බෝධියේ කොත ගාළුපාරේ පලවෙනියෙම්ම පෙනෙන්නේ කොහේදිද කියලා?" 

"බෝධි වලට කොහෙද බං කොත් ?"

"ඒක තමයි!" ඌ නෝන්ඩි හිනාවක් මට දායි!

ඌට මාව වටේ අරිණ්නට බැරිවිය. 
එහෙත් මේ ලියන මොහොතේදී පවා ලියැවෙන්නේ "කළුතර බෝධියේ කොත් කැරැල්ල" යනුවෙන් යොදමින්ය. (ඇත්තටම මේක මට පමණක් ආවේණික රෝගා බාධයක්ද?)

එක් නැම්මකින් ගඟාවට ප්‍රවිශ්ඨ වත්දීම අවට තරමක දවල් එළියකින් සිරිගත් බවක් පෙණින. ඒ මුහුදු ඉමට ආසන්න නිසාදැයි මට සිතේ.

ඒ සමගම අපගේ වම් පසින් ඈත නුබ සිසාරා ඉහල නැගුණු; ශතසහස්‍ර දනන් සිත් පොබකල මහඟු දසුන දෑස් මාණයේ විය. 

කළුතර දාගැබ !

අප ගමන පිටත් වෙත්දීම අරමුණු කලේ කළුතර දාගැබ දැකීමය. සත්තකින්ම මා හට "සාදු!" කියැවින!



වදන් තුළ ගොළුව යන හැඟීම . . . . ! 

මා පසුපස හැරී බලන විට පසිඳු හා තෙශා රැගත් කයාකයද අප අසලට පැමිණෙමින් විය. අප එකට එක් වී සෙල්ෆියකට මුහුණ දුන්නෙමු. 

අප ගමනාන්තයට පැමිණ ඇත.  රත්නපුර මහ සමන්දේවාලය අසලින් ගමන් ඇරඹූ අප දින තුනක් ඇවෑමෙන් කිලෝමීටර 70 ක පමන ගමන් මගක් ගෙවා දමමින් දිස්ත්‍රික්ක දෙකක් හරහා පලාත් දෙකක් යා කොට ඇත!


 ගං සෙල්ෆි . . !




පාලම යට - කළුතර







අප සෙමෙන් සෙමෙන් කළුතර පාලම අසලට ගාල් වුනෙමු. පරිස්සමින් හා කල්පණාවෙන් කයාක දෙක ගොඩට ගත් පසු; සුදාත්, පසිඳුත්, තෙශාත්, මාත් අපි එකිනෙකා වැළඳ ගත්තෙමු. 

"මචං එකෙක්ගෙ වත් අතක් පයක් යාන්තමින් වත්  හීරිලාවත් නෑ නේද?" මා බිඳුණු ස්වරයෙන් උස් හඬින් ඇසීය. එම  ආමන්ත්‍රණය වඩාත්; එසේම අනවශ්‍ය තරම් හැඟීම් බර එකක් වූවාද?

"හීරිලාවත් නෑ නෙ!? - සමන් දෙවියන්ට පිං සිද්ධ වේවා!" මා දෙ අත් ලය මත තබා ඉහල අහස දෙස බලාගෙනම පවසනු මට අද වාගේ මතකය.


"අපි ප්‍රවේසමෙන් කළුතරට ආවා!" 
ආදරණීයන් වෙත ආරංචිය මුදා හරිමින්ම ලොරි පොඩ්ඩා සොයා විෂ්වගේ ගෙදර දෙසට මා පිටත් වුනෙමි.

"දිව ගිලෙන පිපාසෙට නොමැත දිය ගඟක් තුල
සිරුර දැවෙමින් තිබුණි සිසිළ නැත      ගං දියට
ඉවුර මත පිපුණු එක් මලකි අන් ගසක්       මත
සිතින් මල නෙලා විත් පුදමි එය          කළුතරට "


උප ග්‍රන්ථය
මෙම චාරිකාව තුලදී අප බහුල වශයෙන් පක්ශීන් දුටුවෙමු. 
එම සතුන්ගේ නමාවලිය පහත දක්වා ඇත. 
මින් අති බහුතරය දුටුවේ රත්නපුරත් ඉහල නරගලත් අතරදීය. 
මාහට නම් මේ සියල්ලෝම උඩයන කුරුල්ලන් පමණි.
 මේ පිළිඹඳව යම් ගැටළුවක් වෙතොත් පසිඳු අමරසිංහ ගෙන් විමසන්න. 
මේ තියෙන්නේ උන්නැහැගෙම අත් අකුරු නිසා නෑ! බෑ කියන්නට ඉඩක් නොමැත! 
ස්තූතියි!





23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...