Monday, October 21, 2019

152. කළු ගඟදිගේ . . . . . . 13

"ජීවිත ආරක්ෂාව පෙරදැරි කරගෙන!"

පසිඳු පැමිණියේ යාල සිටය.
තම බුරුත මල්ල ඔසවා ගෙන ඔහුට වඩා විශාල කොට කලිසමක් ඇඳගෙන ටීෂර්ට් එකකින් උඩුකය වසා ගත් ඔහු පැමිණියේ සුපුරුදු සිනහව සමගිනි.

ඒ මාගේ වැඩපොලටය.

පසිඳුත් මමත් මාගේ වැඩපොලේ අඹයා වූ රුෂානුත් වැඩපොල අසල පිහිටි කඩයකට ගොස් ප්ලේන්ටි තුනක් බී කියවමින් සිටිමින්ම තෙශාටත් සුදා හෙවත් සුදාරකටත් කතා කොට රාත්‍රියේ පිටත් වන්නට සූදානම් වන ලෙස දැන්වූයෙමු.

තෙශා තම මාර්ග ඥානය යොදා පසුදා; එනම් 11 දා  උදෑසන 4 ට පිටත්ව  යන්නට යෝජනා කලද මා තරයේ කියා සිටියේ උදෑසන 1 ට පිටත්විය යුතු බවයි.

අපගේ සැළසුම වූයේ උදෑසන 1.00 වන විට කඩවතින් පිටත්ව උදෑසන 3.00 වන විට ඉහල නාරගල පාලම අසලට කයාක දෙක ප්‍රවාහණය කිරීමයි.
පසිඳුත් තෙශාත් අනෙකුත් සියළු අඩුම කුඩුමත් පාලම මත නිදහස් කරණ මා; ලොරි පොඩ්ඩාව ගෙන පානදුරට උදෑසන 4.00 වන විට යායුතුය.

සුදාට කතා කොට ඔහුට පසුදා; එනම් 11 උදෑසන 4 වන විට පානදුර නගරයේදී මා හමුවන ලෙසට  එකඟ කර ගත්තෙමි.

එතැනින් මම සුදා සමගින් ලොරිපොඩ්ඩා; කළුතර දකුණ පොලීසිය පසුපස වෙසෙන  මාගේ මිත්‍ර විෂ්වගේ නිවසට ඇරලවා; එතැනින් පානදුරට පැමිණ; පානදුර සිට බැල්ලපිටියට ද එතැනින් ත්‍රී වීලරයකින් ඉහල නාරගල පාලම අසලදී තෙශාත් පසිඳුත් කයාක් දෙකත් හා එකතු වීමටය.

සියල්ල එක් එකඟ තාවයකට එලඹුනෝය. පසිඳු කිසියම් අඩුම් කුඩුම කිසිවක් ගැනීමට බොරැල්ලට ගිය අතර මමද ලද ඇසිල්ලේ සිත කය ඒකාග්‍ර කරගැනීම තුලින් පසු දින කාර්‍යය සඳහා සිත කය පුබුදුවා ගත්තෙමි.

පසිඳු හා මම හවස 5.00 ට පමන වැඩපොලින් පිටත්ව නිවෙසට පැමිණියෙමු. අප දෙදෙන කයාක දෙක ලොරි පොඩ්ඩා මත පටවමින් වන අතර රාත්‍රී 7.00 පමණ තෙශාන්ත පැමිණ සුවදුක් විමසා නික්මිණි.

ජීවිතයට මාහට දෙවියන් ගෙන් ලත් විශෙෂ වරප්‍රසාද යුගලයක් වේ. ඉන් එකක් ඉතා අඩු ඇල්කොහොල් මාත්‍රාවකින්; මොළයේ සියළු සෛල පොපියන්නට පටන් ගැනීමය. මෙනිසා අඩු වසකින් උපරිම තෘප්ථියක් ලබා ගැනීමට මාහට ඉඩ ප්‍රස්ථාවක් ලැබේ. එය සෞඛ්‍යමය අතින් මෙන්ම ආර්ථිකමය අතින්ද වාසිදායක තත්වයකි.

දෙවැන්න වන්නේ හෙට දිනයේ මාහට එල්ලුම් ගස් නැගීමට තිබුනද අද දින රාත්‍රියේ හොඳින් නින්ද යෑමය!

මෙම දෙවියන්ගෙන් ලත් දෙවන දායාදය කරණ කොටගෙන මාහට හොඳින් නින්ද ගියේය. පසුදා එනම් 2019 අගෝස්තු 11 වන දින පාන්දර 12.30 ට පමණ පිබිද පසිඳුවාද ඇහැරවාගෙන ලොරි පොඩ්ඩාව පන ගැන්වූයෙමි.

ලොරි පොඩ්ඩාගේ ප්‍රධාන ලාම්පු වලට  එවකට සවිකොට තිබුනෙ වොට් 100/90 සීල් බීම් ලයිට් දෙකකි. සහයක ලාම්පු තුල දැල් වුනේද වොට්100 ක ධාරිතාවයකින් යුත් බල්බයන්ය. 
ප්‍රධාන ලාම්පු වල තිබුණු සීල් බීම් ලාම්පු වල ආයුකාලය මෙරුවෙකුගේ ජීවිත කාලයකටත් අඩක් සේය. ඉතා ඉක්මණින් ඒවා දැවී ගියේය. එදින වන විටදී ද ප්‍රධාන ලාම්පු දෙකින් එකක් දැවී ගොස්ය.
පොලීසිය්ට එක් ලාම්පුවකින් ධාවනය වෙන වාහන අරහංය. එම නිසා ප්‍රධාන ලාම්පු මුළු මණින්ම නිවා දමා; අමතර ලාම්පු වල පිහිටෙන් අප දෙදෙන නිවෙසින් පිට වුනෙමු.

නිවසෙන් පිට වීමට පෙර ආගමික කටයුතු වල යෙදීමට පෙරම තෙශාන්තට දැනුම් දු නිසාදෝ; අප ගල්වල හංදියට පැමිණෙනවාත් සමගම තෙශාද එම ස්ථානයේ ප්‍රාණිභූත විය! 
ඔහුවද නංවා ගත් අප එතැනින් සපුගස් කන්ද පාර ඔස්සේ කඩුවෙලට පැමිණියෙමු.
මග දිගට කියවූ පල්හෑලි වලට අමතරව සිදුවූ එක වැදගත්  සිද්ධියක් ලෙස  බෙල්ල කපාපු හංදිය අසලදී බිත්තර රොටී කා කෝපි බොන ලද සිද්ධිය ගෙන හැර  දැක්විය හැක.

අප තරමක වේගයකින් පැමිණියෙමු.

තෙශාන්ත ඉන්න තැනක පිටකොටුවට ගියත් ඒ යායුත්තේ ඔහුගේ මාර්ගෝපදේශකත්වය මතය. මෙම ගමනේදීද වැඩි වෙනසක් නොවීය.

"මචං ඔතනින් දකුණට - අතණින් වමට " යනාදී වශයෙන් ගිය ගමන අදටත් මාහට මතකයට එන්නේ නැත.දෙයියනේ කියා යන්නට කාපට් ඇතුරූ  A ශ්‍රේණියේ ප්‍රධාන පාරවල් අතැර ලඳු ඕවිටි කලල් මතින්; පාළු සොහොන් පිටි රබර් වතු බඩ වැටි අතරිණ් දිවුනු පාරවල් ජාලයක එහා මෙහා ගමන් කිරීමෙන් අනතුරුව ඉහළ නාරගල පාලම අසලට පැමිණියෙමු.

ඉහළ නාරගල යනු ගමක් මැද්දෙන් දිවුනු කුඩා, ග්‍රාමීය මාර්ගයක් මාධ්‍යයේ හමුවන නොමේරූ කුඩා ගම්මානයකි. එහි විදුලි බලය තිබුනමුත් වීදි ලාම්පු හෙවත් පාරෙ ලයිට් නොතිබුනි.
එසේම ඉහළ නාරගල පාලම පිහිටියේද තරමක ජන ශූන්‍ය පෙදෙසකය. මේ නිසාමදෝ; අප ඉහළ නාරගලට ගොඩ බැස්සේ ඇට පල් කලුවරේය!
අප තිදෙනාගේම හිසේ රැඳවී තිබුණු විදුලි පන්දම් එළි උප කාරයෙන් කයාක ගොඩ බෑමට පටන් ගතිමු. 

පසිඳුගේ නලලත් රැඳුනු හෙඩ් ටෝච් එක හෙවත් විදුලි පන්දම එක විදියක එකකි!

ඔහුට එය කෙතරම් ගෝචර වී තිබේද යත් ගෙයක් ඇතුලත සිටියත් බිං කරුවල වැටෙන වෙලාවට එය හිසේ තිබිය යුතුමය. එය; බීබීසියේ මාධ්‍ය සාකච්චාවකට ගියද තිසා හාමිගේ කරේ පොරෝ කෙටිය දක්නට ලැබෙනවා වැනිය!

මෙසේ මහ රාත්‍රියේ නන්නාඳුනනා ගමක පාළු පාලමක් උඩ වාහනයක් නවතා බෝට්ටු බෑම ගම් වැසියෙකු කෙසේනම් තේරුම් ගනීද?
අපේ මේ ඇඟේ අමාරුවට, කාලා ගෙදරට වෙලා ඉන්න බැරුවට කොරණ අටමංගල්ල ඔවුනට කෙසේ නම් තේරුම් කර දෙන්නද?

හවහට කසිප්පු අඩියක් ගසා බහින කලාවට නිදා සිටින් එකෙක් දෙන්නෙක් ඇහැරුණෝතින්; ටික දවසක් යනතුරු ඝන ආහාර වලින් වැලකී දියර පමණක් පානය කරමින් නාගොඩ ඉස්පිරිතාලයේ මෝචරියට අල්ලපු වාට්ටුවේ ලගින්නට වෙන විනම්බෑසියකි!

මේ නිසාම අප ඉතා හැකි උපරිම නිහඬ තාවයකින් සියල්ල නිමවන්නට පටන් ගතිමු. බොහෝ අවස්ථාවලදී අප මෙවන් දේ අත් දැක ඇති නිසාම එය අපට එතරම් අසීරු කටයුත්තක් නොවුනි.
 පෙර හුරුවකින් යුත් අප තිදෙන ඉතා සූක්ෂම ලෙස කයාක දෙක බිමට වඩම්මවා අනිකුත් අඩුම කුඩුම සියල්ලද බිමට බා ගත්තෙමු.


කට්ට කරුවලේ - හුරතලේ !

අනතුරුව ඔවුනට සමු දුන් මා තනිව එතැනින් පානදුර බලා නික්මුනෙමි.
බැල්ලපිටිය හංදියට එන තුරු එන්ජිම සැර නොදමා අකම් වේගයෙන් ධාවනය වන්නට සලස්වා බැල්ලපිටියේ සිට ඉගිලෙන්නට පටන් ගත්තෙමි.
යමින් ගමන්ම මා සුදාරක ඇමතූවෙමි.

"මල්ලි! මම පානදුරට එන ගමන්. උඹ හංදියට වරෙං! මම එන්නේ රතු පාට නිසාන් පැට්‍රොල් ට්‍රක් එකක!"

'හරි අයියේ මම ලොකේශන් එක දාන්නම්කෝ . . .!?"

ලොකේශන් එක් හෙවත් ඔහු සිටින් ස්ථානයේ අනන්‍යතාවය මාහට එවන්නට ඔහු සූදානම් වන්නේ කුමකටද? මා දැන් සිටින්නේ හොරණ නගරය පසු කරමින්ය. "මම මෙහේ ඉඳන් පානදුරට යන තුරු මේ යකාට ඉන්න තැනක ඉඳන් පානදුර හංදියට එන්නට බැරිද?"

මාගේ කේන්තියේ සේව නූලට ගිණි ඇවිලෙමින්ය!

"මොකෙක්ද මූ? " මා මගෙන්ම අසා සිටියෙමි. "මූව වඩම්මන්න යන්නත් වෙනවද?"

මා අධික වේගයෙන් පැදවූ වෙමි.
අඩු වේගය නින්දට අත වනයි. වේගය සමග තියුණු ලෙස ක්‍රියා කාරී වන මගේ මනසට හා දෙනෙතට නිදි සුව විඳින්නට අවසරයක් නොමැත. ඒ මගේ ස්වභාවයය!

එක එල්ලේ දිවෙන මාර්ගයෙ පස් වන ගියරයෙ උපරිම වේගයෙන් එන්ජිම කරකැවෙමින්ය. මේ වේගයේදී එන්ජිමේ පිස්ටන් කෙතරම් වේගයකින් ඉහල පහල යනවා ඇත්ද? එන්ජිම හිරවී යයිද? මේ මගේ සිත මගෙන් ඇසූ දේ ය.
මොනවා නැතත් වේලාවට මා කන බොන දේ පිළිවෙලටම කරණවා සේම එන්ජිමට ගියර පෙට්ටියට හා ඩිෆරෙන්ශල දෙකට දෙන සැප සාත්තුව අනවශ්‍ය තරම් උනන්දුවකින් කරණ්නෙමි.
එන්ජිම බොහෝ විට නියමිත කිලෝමීටර ගනනට පෙර;  අධික දුර ධාවනය සඳහා නිර්මිත ඉස්තරම්ම  ලිහිසන තෙල් වලින් සාත්තුව ලබයි.
බොහෝ බාසුන්නැහැලා මෙන්ම කාර්මිකයින්ගේ විරෝධත්වය මධ්‍යයයෙ සෑම තෙල් මාරු කිරීමකටම පෙරම එන්ජිම "විරේක"  (Flush) කරමි. මේ නිසාම එන්ජිම  තුල කොලෙස්ටරෝල් තැන්පත් වීමට ඉඩක් නොමැත!

මා තවත් වේගයෙන් පැදවූයෙමි. ලොකු කුඩා වංගු වලදි පහත් ගියරය මගින් පාලනය වන රථය නැවතත් නිමෙශයකින් සුපුරුදු වේගයට අවතීර්ණ වේ. ටර්බෝ චාජරය ඊට මහඟු පිටු වහලක් වන්නට ඇත.

පානදුර නගරයට එළඹෙත්ම ඇති යුනිචෙලා කර්මාන්තශාලාව  අසලදී මා නැවත සුදාරක ඇමතූවෙමි.

'අයියෙ ඔයා කොහේද . . .?"

"මම පාන්දුර බං! උඹ හංදියට ආවාද?"

"අයියෙ මම තාම කාමරේ. මම ඔයාට ලොකේශන් එක එව්වා!"

"මගුලයි! හරි ලොකෙශන් එක පැත්තක තියලා එන හැටි කියාංකො!"

" . . . . . . . . . .  . . ."

" . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . "

තවත් විනඩි 10 කින් පමන සුදාගේ කාමරේ අසල බුදු පිළිමය අසලට පැමිණියෙමි. තවත් විනාඩි 10 ක් පමණ කා දමමින් සුදාරක එලියට වැඩම කලේය.

"පරක්කු උනා බං . . !" මම මාගේ කේන්තිය අකුරු වලට පරිවර්ථනය කලෙමි. සුදාරක මොන මොනවාදෝ කියනු මට ඇසිනි. එහෙත් මාගේ කේන්තිය එලෙසින්ම විය!

"අයියේ මේක නේද ගන්න කිව්වේ . . ? " ඔහු ඇස්බැස්ටෝස් ටේප් පටියක්   පෑවේය. පෙර දින හවස් වරුවේ අප සියල්ල සකස් කරමින් සිටිනා තුර ඇස්බස්ටෝස් පටි කැබැල්ලක් ගන්නට මා සුදාරකට කීවෙමි. කයාකයක් සිදුරු වුවහොත් එය පිරියම් කර ගැනීමට හැකි සරලම පහසුම දේ වන්නේ ඇස්බැස්ටෝස් ටේප් භාවිතයය.

එතැන් සිට වාද්දුව හරහා ගාලු පාර ඔස්සේ කළුතරට යන්නට විය. මාගේ කේන්තිය ගියේ අහිංසක එන්ජිම පිටිනි. එක වේගයෙන් එය අඬ දීගෙන සිටියි. ට්‍රක් රිය පාර දෙපස වූ පොල් ගස්, ලයිට් කණු, වැටවල්, බෝක්කු, කිලෝ මීටර කණු, තාප්ප, ගෙවල් දොරවල් පහු කරමින් ඉදිරියට ඇදෙමින්ය.

සුදාරක තොර තෝංචියක් නැතිව කියවමින් ය. ඒ කියවිල්ලේ ප්‍රථිඵලයක් ලෙසට ඒ වනවිට මගෙ කේන්තිය ටිකින් ටික තනුක වෙමින් පැවතුනි.

තවත් විනාඩි ගනනකින් අප කළුතර දකුණ පොලීසිය ලඟට පැමින තිබුනි.
ගිය වර රත්නපුර සිට ඉහළ නාරගල දක්වා පැමිණි අවස්ථාවේදිද ලොරි පොඩ්ඩා පරිස්සමට නවතා ගියේ කළුතර විෂ්වලාගේ ගෙදර බව ඔබට මතක ඇති. 
විෂ්වගේ ගෙදර තිබුණු ඉසව්ව මීට පෙර කියාතිබුනේද කියා මගේ මතකයට නො ඒ! එම නිවස තිබුනේ කළුතර දකුණ පොලිස්ථානය අසලින් පිහිටි ගැමුණු මාවතේය. "ගැමුණු මාවත" කියා ලීවේ මතකයෙනි. එම මාර්ගය පංසල පාර හරහා ගොස් ගම ඇතුලට වක්‍රාකාරව විහිදුනි.

ලොරි පොඩ්ඩා; විෂ්වගේ ගෙදරට පරිස්සමට  ඇරළවූ අප දෙදෙන ඇවිදිමින් දුවමින් වේගයෙන් ගාළු පාරට පැමිණියෙමු.

එතැනින් කළුතර සිට හොරණ බලා දිවුනු බසයකට ගොඩවී බැල්ලපිටිය බලා පියාසර කලෙමු. 
අප දෙදෙන ඉඳ ගත්තේ බසයේ පසුපස අසුනේය. බසයේ සෙනග නොසිටියේය. බසයේ වේගයත් සමග පසුපස අසුනේ සිටි අප බොහෝ විට රැඳී සිටියේ අභ්‍යවකාශයේය.

අප බසයට ගොඩවූ වහාම කොන්දොස්තරවරයා අමතා අපව බැල්ලපිටියෙන් බස්සවන මෙන් ඉල්ලා සිටිමු.
එතැන් පටන් ඔහුව දකින දකින මොහොතක් මොහොතක් පාසාම නැවත් නැවතත් "බැල්ලපිටිය" මෙනෙහි කිරීම; ඔහු බසයේ පසු පසට ඒම නවතා ලීමට හේතුවක් වන්නට ඇත.

බසය කළුතරින් පිටත්වී ටික දුරක් ගමන් ගනිත්දී එම මාර්ගය කළු ගඟ අසළින් දිවේ. මාර්ගය හා ගඟ අතර පිහිටි ගෙවල් දොරවල් හා ගස්  වැල් නිසා ගඟ පෙනෙන්නේ අතරිණ් පතරය. ආවරණය කඩතොළු වූ ස්ථානයකින් පෙනෙන ගඟ මහේශාක්‍ය ලීලාවෙන් ගලා බසී. එය තව දුරටත් ගං කොමළියක් නොව ගංගා රාජිණියක්වී තිබුණි. 

"අපිට එන්න තියෙන්නේ මේ ගඟේ තමයි මචං!"

මම සුදාරක අමතා දැනමුත්තෙකු සේ කීවේය. සුදාරක එයට සාර්ථක ප්‍රථිචාරයක් නොදැක්වූ බව මට මතකය.

බසය කෙමෙන් බැල්ලපිටිය හංදියට ලඟාවිය. බැල්ලපිටියෙන් මහ පොලොවට පය තබන විට උදෑසන 6.00  පමන වන්නට ඇත. දිනය ඉරිදා දිනයක් වුනු නිසා දෝ හංදිය පාළු ස්වභාවයක් ඉසිලීය.  බැල්ලපිටිය යනු ඉංග්‍රීසි ටී අක්ෂරයේ හැඩය ගත් කුඩා කඩමණ්ඩියකි. කළුතර සිට පැමිනෙන්නෙකු හට සෘජුවම හංදිය පසු කර හොරණ දෙසට ගමන් ගැනීමට හැක.

හංදියෙන් දකුණට හැරුණු විට මාර්ගය කඳන හරහා නාගොඩ කලවැල්ලාව දෙසට දිවේ.   අප පාර පනිනවාත් සමග එහි පැමිණි ත්‍රීවීලරයක නැගී ඉතිරි කොටස යන්නට විය.

"බැල්ලපිටියේ සිට!"

එම මාර්ගය ඔස්සේ පැමිණ කඳන ජල පවිත්‍රාගාරයට ටික දුරකට මත්තෙන් පිහිටි අංශක අනූවේ වංගුව අසලින් වමට හැරී ගම් මැද්දට පිවිසියේය. 

පටු පාරදිගේ එමේ අතට හැරෙමින් පැමිණි අප තවත් විනාඩි 20 කින් පමණ ඉහල නාරගල පාලම අසලට පැමිණියෙමු. 

පෙරදින රාත්‍රියේ පටන් හරි යමන් නින්දක් නැතිව  විරව පට්ටං ගසා ගෙන සිටින තෙශා හා පසිඳු කූට්ටම දැකීමේ බලා පොරොත්තුවෙනි. පාලම අයිනේම කුඩා ජංගම කූඩුවක් තිබුනි. මහ රාත්‍රියේ මා එය යාන්තමින් දුටුවා මතකය. එය බලුකූඩුවක ක්ෂේත්‍රඵලයකින් හා වැඩි උසකින් යුක්තවිය. අප එහි යන විට එහි සාමාන්‍ය කටයුතු පටන් ගෙන තිබුනි. එය කැඳ හා බුලත් විට විකුණන කුඩා කඩ පොඩ්ඩකි. 

අප එහි යන විට එතැන කුඩා ලොරියක් නවතා කැඳ පිළිබඳව තෙශාගෙන් විමසමින්ය. කඩේ මුදලාලි පෙනෙන්නට නොමැත. ඒ අඩුව මකමින් තෙශා ලොරියට කැඳ විකුණමින්ය.


කැඳ කඩේ වැඩ !

පසිඳු තෙශා හට සහය දෙමින්ය. ඔවුන් අසීමිත සතුටකින් කෑ කෝ ගසමින් විය. 

අපි එතැනට ගිය සැනින් අපටද කැඳ බොන්නට ලැබුනි.

"මචංලා මූ තමයි සුදා! කොල්ලො මේ තෙශා! මේ පසී!" මම එකිනෙකාට හඳුන්වා දුන්නෙමි.

"කෝ බං මේ කඩේ කරන එකා?"

"ආ! මං ඌ අපිට බත් හතරක් ගේන්න ගියා. මං පොරව බැලන්ස් කර ගත්තා!" තෙශා කියාගෙන ගියේය.

"අයියේ ගඟ දැක්කද?" පසිඳු ය. මම පාලමේ ගැට්ටෙන් එබී බැලුවෙමි.

 නොමග ගිය ගඟ! 
(6.30 am)

"අම්මට සිරි. මේක එකසිය ගානට  කෙලගෙන යනවානෙ" මට කියැවින. ගඟ බොර පාටින් වේගයෙන් ගලයි.පාලම යට කයාක දෙක පසිඳුත් තෙශාත් පෙලගස්වා සකස් කොට තිබුනි. පාලම යට සිට මමත් සුදාත් එකිනෙකාට පසු පස හරවා ගෙන ඇඳුම් මාරු කර ගත්තෙමු. 

ටික වෙලාවකින් වයස් ගත මාමා කෙනෙකු බත් මුල් හතරක් ගෙන පාලම අසලට පැමිණෙනු දුටිමි. තෙශා ඊට මුදල් ගෙවා අප හා එක් විය. ගඟේ කිසිදු අවනත භාවයක් දක්නට නැත. එය වේගයෙන් ගලයි. කොටින්ම හැඩ පහරක්ය. 
පාලම අසලදී කෙට්ටුවන ගඟ; නැසින්නකින් පිටවන ජල පහරක් සේ වේගයෙන් ගලා යයි. ගඟ මුළු මණින්ම බොර වී ඇත. වැහිබර ගතිය එලෙසින්ම පවතී. අවට පරිසරය තෙත් සහගතය. පෙරදින රත්‍රී වට වැස්සෙන් පෙඟුනු බිම එලෙසින්ම තෙත් ගතියකින් යුක්තය. මේ සියල්ල හිතට ගෙන ආවේ කම්මැලි නො එසේනම් අලස ගතියකි. 
ඒ කෙසේ වෙතත් අප ගමන යායුතුය. අප කළු ගඟ ජය ගතයුතුය. රත්නපුරයෙන් පටන් ගත් ගමන නිමා කල යුතුව ඇත්තේ කළුතරින්ම විනා ඉන් මෙපිට නොවේ. 

ඔව් සියල්ල සූදානම්ය. 

දියට බසින තුරු සිහියක් නැතිව!

පුරුදු පරිදි හබලක් අතින් ගත් මා සුදාට තෙල බෙදුවෙමි. අන්තිම වගන්තියද ප්‍රකාශයට පත් කලෙමි.
"මොනවා උනත් බය වෙන්න එපා උබට මරෙණ්න දෙන්නේ නෑ. මොනවා උනත් පැනික් වෙන්නේ නැතිව සීන් එකේ හිටපං! හරි සුදා මාත් එක්ක පරන කයාක් එක පැදපුවාවෙ. උඹලා අනික ගනිල්ලා! මම  සියල්ල අවසානයේ පසිඳු ඇමතීමි.

"පසිඳු; දෙවියන්ට  කොල අත්තක් එල්ලපාං!"

සියල්ල අතර මා සමන් දෙවිඳු මතක් කර ගත්තෙමි. හදවතට ගමන පිටත් වීම දැන්වූයෙමි. සියලු පෙනෙන නොපෙනෙන , හැඟෙන නොහැඟෙන,දැනෙන නොදැනෙන ආශිර්වාද ප්‍රාර්ථනා මැද අප ගමන පිටත් වන්නට පටන් ගත්තෙමු.


එහෙනං මං !

මගේත් සුදාගේත් කයාකය දියත් කලෙමි. පාලම අසල ඇත්තෙ අඩි 25 කටත් වඩා වැඩි ගැඹුරකි. කයාකයෙ ඉදිරිය දියට දියත් කොට ඊට සුදාරකව නැංවූයෙමි. කයාකය දියේ ඉගිලෙන්නට සූදානමින්ය. හැඩ පහර කයාකය මගෙන් උදුරමින්ය.
මමද කයාකය  දියට තල්ලු කරමින්ම පසු පස කෙලවරට සීරුවෙන් පැන ගත්තෙමි. 


ගං දෑල දෙපසම
කැලෑ මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම - කළුතරට 

33 comments:

  1. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි! පරෙස්සමෙන්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්තයා! බොහොමත්ම ස්තූතියි!

      Delete
  2. සුබ ගමන්! ගමනේ ඉතිරි කොටසත් රසවත් වන බව නොඅනුමානයි. ගඟේ හැඩ පාර සැර වීම භයානක උනත් යටිගං බලා පදින විට ලොකු පහසුවක් වෙනවා නේද ?

    මමත් බැල්ලපිටියට නිතර නිතර බයිසිකල් පැදපු කාලයක් තිබුනා. ඒ 1980 හෝ 81 විය හැකියි. එකල මා සමග පොඩි මෙව්වා එකක් තිබුන ගැහැණු ළමයෙකුගේ අක්කා බැල්ලපිටියේ සමුපකාරයේ මැනේජර්. හාල් පොත් වල කපාපු කුපන් අලවන්න වගේ වැඩ වලට උදව් වෙන්න කියලා එයා සමුපකාරේට එනවා. මගෙත් තියන මෝඩකමට කොට්ටාවේ ඉඳලා (පොල්ගස්ඕවිට/ පොකුණුවිට/හොරණ හරහා )බයිසිකලෙන් බැල්ලපිටිය සමුපකාරයට ගිහිල්ලා කතා බහ කරලා ආපහු එනවා. පිස්සන්ට හැතැක්ම නොතිබුන ඒ කාලයේ ඔය ගමනේ දුර කවදාවත්ම හොයා බැලුවේ නැහැ. දැන් ගූගල් කරලා බැලුවාම කිලෝ මීටර් 25ක් . විනාඩි දහයක පහළොවක කතා බහකට පැය දෙකක්, කිලෝ මීටර් පනහක් (එකල) බොහොම අබලන් පාරවල් වල බයිසිකල් පැද්දා කියන එක දැන් නම් මතක්වෙනකොටත් හිනා යනවා.

    "කළු ගඟ දිගේ" ඉතිරි කොටසත් කියවන්න මග බලා ඉන්නවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම හැඩ පාර තියේ නම් පැදීම ලේසියි. ඒක අපට ආශිර්වාදයක්. ඒත් නොපැහැදිලි ගැඹුරු දියක තියෙන හැඩ පාර පිළිබඳව සතුටු වෙන්න බෑ! මොකද හිතේ තියෙන චකිතයත් එක්ක!

      අනේ යොවුන් ආදරය කියන්නේ හරිම සුන්දර එකක් තමයි. ඔයා තව හොඳයි අඩු ගානෙ පැය දෙකක් කතා කරණ්න වත් ලැබුනානේ!?

      බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. සැඩ පහරත් එක්ක කතාවෙ ඊගාව කෑල්ල වඩා රසවත් වන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  4. ඔබතුමා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ යුධ මෙහෙයුම් අධ්‍යක්ෂකවූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ බලකායට (මහසෝන් බලකාය) අණදෙන විට එතුමාගේ අධි සහයක ලෙස ක්‍රියා කෙරු නිලධාරීතුමාද? ඔබගේ මෙම ත්‍රාසයජනක, ජීවිතයත් මරණයත් ඇත සිදුකෙරු චාරිකා කියවීමේදී මට හැගෙන්නේ ඔබතුමා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සෘජු අණදීමේ යටතේ කර්නල් රාජ් විජේසිරි ආරම්භ කෙරු විශේෂ බලකායේ ආරම්භක නිලධාරීන් අතලොස්සක් අතරින් අයෙකු බවයි.

    ReplyDelete
    Replies
    1. අනේ ! රණ විරුවන්ට අපහාස කරණ්න එපා!! මම අන්තිම සාමාන්‍ය සිවිල් වැසියෙක්!!!

      Delete
    2. https://www.eagles.org/bald-eagles-named-in-honor-of-fallen-military-heroes/

      Delete
  5. https://www.paddlinglight.com/articles/adding-ritual-to-paddling-trips/

    ReplyDelete
  6. Machang, magade kada walin kana bona dewal (egg roti, plain tea) gana liyanne nathuwa inna barida? Apita awa dara ganna amarui.

    Driving high speed is not a good habit. Looks like new guy need bit of training to get up, dress up and show up. Hope swollen river will be kind to all of you.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන විජේභාහු මහත්තයා ඔබ තුමන්ලාට දරාගන්න බැරි දෙයක් කියැවුනානම්. බොහෝ විට එන මාර්තු - අප්‍රේල් කාලයේ ඔය අහ එන්නයි ඉන්නේ. එතකොට බිත්තර රොටියක් අරණ් එන්නම්!

      "ඔව් වේගය මරුවා කැඳවයි" කියලානේ තියෙන්නේ! මගේ ඕකෙ අනිත් පැත්ත. ඒක හසමාවෙන්න ඕන විජේභාහු මහත්තයා ඔබ තුමන්ලාට දරාගන්න බැරි දෙයක් කියැවුනානම්. බොහෝ විට එන මාර්තු - අප්‍රේල් කාලයේ ඔය අහ එන්නයි ඉන්නේ. එතකොට බිත්තර රොටියක් අරණ් එන්නම්!

      "ඔව් වේගය මරුවා කැඳවයි" කියලානේ තියෙන්නේ! මගේ ඕකෙ අනිත් පැත්ත. ඒක හරියට "අවිගත්තෝ අවියෙන්ම නසිති" කීවාට මා විශ්වාස කරණ "අවි නැත්තෝ අවි ගත්ත උන් ගෙන් නසිති!" වගේම එකක්!

      රියට "අවිගත්තෝ අවියෙන්ම නසිති" කීවාට මා විශ්වාස කරණ "අවි නැත්තෝ අවි ගත්ත උන් ගෙන් නසිති!" වගේම එකක්!

      Delete
  7. //එන්ජිම "විරේක" (Flush)// අයිය මේක ටිකක් පැහැදිලි කරන්නකො

    ReplyDelete
    Replies
    1. අභ්‍යන්තර දහන එන්ජිමක ලිහිසි තෙල් වලින් කෙරෙණ කාර්‍යයන් රාශියක් ඇත.

      1. චලනය වන කොටස් අතර ඝර්ශණය අවම කිරීම.
      2 .එන්ජිමේ කොටස් වල අධික තාපය ඉවත් කිරීම
      3. දහනය වීමේදී ඇතිවන අපද්‍රව්‍ය ඉවතට ගෙන ඒම
      4. සිලින්ඩරය මුද්‍රා කිරීම
      5. කම්පන පරිමන්දකයක් ලෙස ක්‍රියා කිරීම
      වගේ බොහෝ කාරණා තියෙනවා. මේ සෑම සියළු කාරණා ඉටු වීමට නම් ලිහිසන තෙල් එන්ජිමේ ඇති සෑම සියළු ඉසව්වකටම නියමාකාරයෙන් ගලා යාම සිදුවිය යුතු වෙනවා. තෙල් ගලා යන සමහර මාර්ග Oil Passege ඉතා කුඩා ඒවා වේ.

      එන්ජිමක් උෂ්නත්වයට පත් වීම, සිසිල් වීම හා එක් වන ජල වාෂ්ප කරණ කොටගෙන තෙල් මන්ඩි ඇතිවීමට ඉඩ ඇත. එසේම කාබන් හා දුහුවිලි වැනි ආගන්තුක ද්‍රව්‍යයන් හේතුකොටගෙන පෙරකී කුඩා තෙල් මාර්ග අවහිර වීමේ අවධානමක් පවතී.

      එය අපගේ හෘදයේ කුඩා කේෂ නාලිකාවක කොලෙස්ටරෝල් බැඳීමට සමානය.

      ඒසේ තෙල් මාර්ගයක් අවහිර වීමෙන්; එම තෙල් මාරගයෙන් තෙල් සැපයෙන කොටස අධික ඝර්ෂනය යටතේ ක්‍රියා කිරීමෙන්, අධික ලෙස රත් වීමෙන් හානි විය හැක.

      කොලෙස්ටර් රෝල් දියවීමට කරපිංචා කැඳ බොනවා සේ මෙම තෙල් මං වල අවහිර තාවයන් මග අරවා ගැනීම සඳහා; තෙල් මාරුකිරීමට පෙර එන්ජිම විරේක කරගත හැක.

      (විරේක - මේක මගේ වචනයක් Flushing)

      මේ සඳහා කලහැකි විවිධ ක්‍රම ඇත.

      1. එන්ජිමේ තෙල් ඇරීමට පෙර; විශේෂ රසායනික ද්‍රව්‍යයක් පැරණි තෙල් වලට එක් කොට එන්ජිම නිර්දෙශිත කාලයක් (විනාඩි 5-10) අකම් වේගයෙන් පවත්වාගෙන ගොස් තෙල් එන්ජිමෙන් ඉවත් කිරීම.
      2. එන්ජිමේ සියළුම තෙල් ඉවත් කොට විශෙෂ රසායනික ද්‍රව්‍ය යොදා එන්ජිම නිර්දෙෂිත කාලය දුවවා ඉවත් කිරීම.
      3. එන්ජිමේ පැරණි තෙල් ඉවත් කොට අළුත් තෙල් යොදා විනාඩි ගනනක් දුවවා තෙල් ඉවත් කිරීම.
      4.ප්‍රාථමික හා නොදියුණු ක්‍රමයක් ලෙස; එන්ජිමේ තෙල් ඉවත් කොට යම්ප්‍රමාණයකට අලුත් එන්ජින් තෙල් සහ ඩීසල් එන්ජිමට යොදා සුළු වේලාවක් එන්ජිම දුවවා ඉවත් කිරීම.

      මෙහිදී ඉහත අංක 1 හා 2 හැරුණු කොට අනෙක් සියල්ල "ගොඩ වෙදකම්" ගනට වැටේ.

      නමුත් අද වෙළඳ පොතේ පවතින බොහෝ ලිහිසන තෙල් වලට; එන්ජිමේ තෙල් මාර්ග පිරිසිදු කරණ යම් යම් රසායනිකයන් එක් කොට ඇත.

      බොහෝ වෙළඳ පොලේ ඇති එන්ජින් විරේක Flush අඩංගු බෝතල / කෑන් වල ලේබලයේ ඉතා කුඩාවට "ගෙවී ඇති එන්ජින් සඳහා භාවිතා කිරීමෙන් වලකින්න!" වගේ ඇඟබේරා ගත් වැකි ලියා ඇත. (Do not use this oil an undercompressd or a damaged engine)

      Delete
    2. අයියන්ඩි බයික් එකට මේක කරන එක සුදුසුද?
      හැබැයි මේව අවුරුදු 10ක් 20ක් වත් දුවපු එන්ජින්

      හොද බ්‍රැන්ඩ් එක්ක නමක් කියන්නකො

      Delete
    3. ඇත්තටම මේක වැදගත් වෙන්නේ පිස්ටන් දෙක තුනක හෝ ඊට වඩා වැඩි එන්ජින් වලට කියලයි මටනම් හිතෙන්නේ. මොකද ඒවායේ දිග (විශේෂයෙන් තිරස්ව) විහිදුනු තෙල් මාර්ග ඇති නිසා. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙනවා. ලැජ්ජා වෙන්නෙ නැතිව කියන්නම් මල්ලි මට ඒ ගැන ඇති දැනුම අල්පයි. පොඩ්ඩක් නෙට් එකේ හොයා බලන්න සුදුසුද කියලා. සල්ලි තියේ නම් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. පාන් තියේ නම් කොහොම කපලා කන්න බැරිද? ඔය ප්‍රඩක්ට්ස් සප්ලයි කරණ එවුන්ගෙනුත් අහලා මම කියන්නම්. එතකල් දෙයියනේ කියලා දුවන වාහනේට මුකුත් කරණ්න එපා! එළ!!

      Delete
    4. ස්තුතියි අයියන්ඩි

      Delete
  8. මේක දිග මදි.. :/ ඉක්කනට ලියමු ඉතුරු ටික..

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනෙ! සාමාන්‍යයෙන් මගෙ පෝස්ට් එකක් වචන 2000 ක්! දැන් ඒක දිග මදියි කියලා ඔබ තුමාගෙ අවලාද!

      මට තේරෙණවා කරණය. වචනන නොවෙයි න් ගැටළුව! වෙච්ච දෙයක් නැති එක ! එහෙම නේද?
      ස්තූතියි!

      Delete
  9. හොඳට විස්තරාත්මකව ලියල තියෙනවා, හරියට මමත් ගමන ගියා වගේ, ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අළුතින් එක් වුනු ඔබට!

      Delete
  10. බොහොම සතුටුයි. වැඩේ ආයිත් පිළිවෙලකට පටන් ගත්ත එක ගැන සතුටුයි. ජයවේවා. ලිවීමට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මගේ ලිවීම නම් මට හරි ඉතුරු වේවි. ඊට වඩා කොයි තරම් දෙයක්ද මගේ පල්හෑලි කියවා ඊට කොමෙන්ටුවක් දාන එක! බොහොමත්ම ස්තූතියි ඔබට!

      Delete
  11. වාව් .... කොහොමද කැබ් එකේ ගැම්ම ,

    "අම්මට සිරි. මේක එකසිය ගානට කෙලගෙන යනවානෙ" මට කියැවින.

    ඊලග කොටස අනිවා කයාක් ඇඩ්වේන්ච එකක් සමගින් වගේ

    ReplyDelete
    Replies
    1. ආ! ඔව් ඒකා මට කාර් එකක්, ලොරියක් සියල්ලටම වඩා දුකේදීත් සැපේදිත් පිටු නොපාන හොඳ මිතුරෙක් අව්‍යාජ! ඩීසල් තියේ නම්; පතුරම් පිරුණු මැග්නම් .44 එකක් අතේ තියෙනවා වගේ තමයිනවා වගේ තමයි ගැම්ම!

      හරි හරි කියවගෙනම යමු!

      Delete
  12. Mokada me, double? Dekak dalada liyanne, nathnam mata dope da? Ane manda, ada sikurada ne, eka wenna athi.

    I will be eating enough egg roti in December, will find a way to meet or at least talk when you are Down Under in April.

    ReplyDelete
  13. මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා ගේ ලේඛන ඌරුව ද ඔබගේ සටහන් වල විද්‍යාමාන වේ. කදිම,රසවත් මෙන්ම අධ්‍යාපනික ලිපි පෙලකි.

    ReplyDelete
    Replies
    1. මා ජීවිතේට මුලින්ම අම්පූර්ණයෙන්ම කියවන ලද පොත වන්නේ "මඩොල් දූව" යි. සත්තකින්ම අපේ කාලයේ සිටි බොහෝ දෙනා "උපාලියෙක්", "ජින්නෙක්" වෙන්නට පෙරුම් පුරණ්නට ඇති. මමද ඉන් එක් අයෙක්. (මගේ මතකයේ හැටියට) පොඩි ගමරාළ ගෙන් ලද ඔරු කබල දුම්මල උනු කොට දමා පිරියම් කොට ගෙන ජීවිතය ඇරඹීමට ඇවැසි අඩුම කුඩුම පුරවාගෙන මඩොල් දූව බලා යන ගමන් කෙතරම් ආස්වාදනීයද?

      වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත පෞර්ෂයෙන් පිරි හඬින් "යළි නොයෙනා ගමනක්දෝ - නිම නොවෙනා ගමනක්දෝ" ගීතය පසුව හෝ ගුවන් විදුළියෙන් ඇසෙන සෑම මොහොතකම මා මඩොල් දූවේ පිටු අතර නැවත නැවතත් පුනරුප්පත්තිය ලදිමි.

      මගේ ගංගා තරණයන් සියල්ලටම මුල්වූ ආශාවේ මූල බීජයන් රෝපණය වන්නට ඇත්තේ එමගින් විය හැක.

      එම ලියමනට අලගු තියන්නට නොහැකි දුරක මා සිටියද; මා ගේ ලිවීමේ මඩොල් දූව පිසගෙන එන සුළඟේ රැඳුණු සුවඳ රැඳි ඇති. එයයි ඔබට දැනෙන්නට ඇත්තේ. ස්තූතියි කියෙව්වාට, ලිව්වාට,අදහස් පල කලාට! බොහොමත්ම පිං !

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...