Monday, June 17, 2019

143. කළු ගඟ දිගේ . . . . . 7

 හතර වරං - හතර දෙනෙක් - හතර අතේ !
(ප්‍රාජේ ට: ඔය නිල් පාට අත්දිග ටී ෂර්ට් එකක් ඇඳ ගෙන විරිත්තන් ඉන්න පසිඳු අතේ තියෙන්නේ පදම් කල දාරුමය හබලක්!)

කළු ගඟ; මහවැළිය තරම් සුන්දර තාවයකින් හෙබි ගඟක් නොවීය. 
එසේම එය කැළණි ගඟ තරම් මිත්‍ර ශීලී බවක් දැක්වූවේද නැත. 
මා එසේ කියන්නේ ඇයි?
 මහවැළිය ලංකාවේ ගංගා අතර රාජිනිය වූවාට එහි මහා ප්‍රචන්ඩත්වයක් දක්නට නොමැත. 
මුළු ගඟාවෙන් සැලකිය යුතු කොටසක් පොල්ගොල්ලෙන් බෝවතැන්න උකුවෙළ ඔස්සේ රජරට කෙත් බිම් වලට හරවා යැවෙන බැවින් මහියංගනය දෙසින් ගලන්නේ එය වඩාත් සාමකාමීවය. 

එසේම බොහෝ දුරක් තැනිතලාව ඔස්සේද ක්‍රමික බෑවුමක් ඔස්සේද ගලනා බැවින් එහි මහා වේගයක්ද දක්නට නොමැත. 

 එසේම මහියංගනයේ සිට මනම් පිටිය දක්වා කිලෝමීටර 72 ගලන්නේ ශශ්‍රික වන පෙතක් තුලින්ය. ඒ වස්ගමුව ජාතික වනෝද්‍යානය නම් වූ වන පෙතයි.මෙනිසාම දෙපස ඇති කුඹුක් සෙවන සමගින් ගලනා ගඟ අතිශය සුන්දර ලාලිත්‍යයකින් සමන් විත්වේ.

ගඟේ බොහෝ ස්ථාන වඩා වැඩි පලලකින් යුතුව ගලනා බැවින් එය බොහෝ විට නොගැඹුරුය! 
පතුල සියුම් වැලි තලාවකි. 
අවම මිනිස් ක්‍රියා කාරකම් වලින් යුත් පරිසරයක ගලනා ඇය එනිසාම ඇගේ නීර්මලත්වය සාගරය තෙක්ම රැක ගනී.

මට මේ වෙලාවේ මතක් වෙන්නේ කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් කලා කරුවා විසින්; මීට දශක ගනනාවකට පෙර ගැයුනු සුන්දර ගීතයකි.

ඒ; 1955 වසරේ සැප්තැම්බර් මස 6 වනදින භාරත රිදී තිරයේ තිරගත වූ රාජ් කපූර් ගේ "ශ්‍රී 420" චිත්‍ර පටයට මොහමඩ් රෆී, ලතා මංගේස්ක' හා මුකේශ්  විසින් ශයිලෙන්ද්‍ර ගේ පදවැලක් හා ෂන්කර් ජායිකිශන් ගේ සුමදුර තනුවක් අනුව ගැයුනු "ඕ රමයියා වස්තාවයියා . ///" ගීතය මත බිහි වූ "සාගර හිමිය සොයා - රූබර නදිය ගියා . . //" ගීතයයි.

සත්තකින්ම මහවැළියට එය කදිමට ගැලපුනි.


 මහවැළිය වස්ගමුව වන පෙත හරහා . . !
(මහවැළිය දිගේ මහියංගනයේ සිට මනම්පිටිය තෙක් කල සංචාරයේදී රාත්‍රිය ගතකල කඳවුරු බිමේ සිට උදෑසන දුටු අයුරු !)

කළණි ගඟ දෙපස තිබූ අර්ධ නාගරික ජනාවාසයන්ගේ පාරම්පරික පදිංචි කරුවන් ස්නානය හා වෙනත් පවිත්‍රහා කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගන්නේ කැළණි ගඟෙන් බැවින්  ගඟ දෙපස බොහෝ විට කිසිවෙකු සිටියේය.

එසේම පෞද්ගලිකව මමද මගේ ජීවිත කාලය පුරාවට කළණි ගඟ හා බද්ධව සිටි නිසාදෝ යටියන්තොට හක්බෙල්ලාවකදී පමණක් නොව අගනුවර කැළණි පාලම යටින් ගලනා ගඟ දුටුවද එම මොහොත "දැකල පුරුදු කෙනෙක්" දුටු මතකය, හැඟීම හිතට ගලා එයි.

මම මීට ආසන්න උදාහරණයක් ගෙන එන්නම්. ඔබ දකුණු ලකට ගමනක යෙදෙනා විට; එය "ඇඟට" දැනෙන්නට පටන් ගන්නේ කළුතර චෛත්‍යය, පයාගල රේල් ගේට්ටුව, බේරුවල පොල් රුප්පාව, අහුංගල්ල හෝ වෙනයම් භෞතික වස්තුවක, ප්‍රදේශයක දසුනක් සමග නොවේද? 

එවන්වූ එකිනෙකාට සුවිශේෂීවූ සංඛේත කිහිපයක් තම තමන්ගේ ජීවිතවලට බද්ධවී පවතී.

එවන් වූ හෘදයාංගම බවක් කළු ගඟ දැකීම තුලා මාහට ඇති නොවීය. එයට තවත් දෙයක් හේතුවන්නට ඇත. ඒ ගඟේ නමයි. "කළු ගඟ"! 
ඔව් ඒ නමම සිතට ගෙන එන්නේ තරමක අවිනිශ්චිත හැඟීම් සමුදායකි.

අප පිටත් වූවේ තරමක තෙත් බර කාලගුනයක් සහිත උදෑසනකය. තෙත් බර කීවාට හීන් පොදයක් වත් නොවුනි. 
ගඟාවේ දිය මතු පිට යාන්තමින් මීදුම් පටලයක් මැවී තිබුනි. අප පිටත්වූ වෙලාව නිසාදෝ ගඟ දෙපස කිසිවෙකු හෝ නොසිටියේය. අප පිටත් වන විට උදෑසන 6.30-7.00 වෙන්නට ඇත.

මාගේ ගෝ ප්‍රෝව වගෙ එකේ හෙවත් ඇක්ශන් කමරාවේ දිනය හා වේලාව නියමිත පරිදි සැකසීමට ඇනෝට වේලාවක් නොතිබුණු බැවින් කාලය ගැන සාක්ෂ්‍යයක් සොයා ගැනීම තරමක දුෂ්කර කටයුත්තක් වේ.

අප ගමන පිටත්වී පලමු මීටර කිහිපය තුලදීම ගඟ මැද දිරාගිය ගසක කොටසක් රැඳී බාධාවක් අටවාගෙන සිටි අයුරු මාහට යාන්තමින් මතකය. ගඟේ පලල අඩි 20-25 කට සීමා වී තිබුනි.

ජලයේ යම් පමනක පහැදිලි තාවයක් දක්නට ලැබුනි.

ඉහලට ගොස් ලූපයක් දිගේ ගමන් කොට හරවා ගත් පසිඳුත් තෙශාන්තත් පදින ලද කයාකය අපව පසුකොට ඉදිරියට ගියේය.

මමත් ඇනෝ හෙවත් මුද්දාත් පැද්දේ ඊට පසු පසිනි. නොකීවත් දෙදෙනෙකු යන විට එකෙකු ඉස්සරහින් යන විට අනෙකා පසු පසට වීම ඉතා සමාන්‍ය තත්වයකි.

ඔවුන් ලූපයක් සෑදුවේත් අපට පෙර ගමන් කිරීමටත් පහැදිලි හේතුවක් විය. ඒ ඔවුන් පදින ලද අලුත් කයාකය ඉතා සැහැල්ලු වෙනවා සේම මනා නිමාවක් හා හැඩයකින් යුක්ත විය. 
මේ නිසාම එය ඉතා පහසුවෙන් ඒ මේ අත හැරුණි. 
එසේම එහි ඉදිරි පස පැද්දේ කිලෝ 40-50 ක බරකින් යුක්ත වූ තෙශාන්ත මුල්කිරිගලය.

කටින් බරපතල ටෝක් ඉෂූ කලාට තරාදියට දැම්මාම  පාන් රාත්තල් දෙකේ බරය. 
ඊට සාපේක්ෂව පසිඳු බරින් වැඩිය. 
මේ නිසාම කයාකයේ ඉදිරිපස ජල තලයෙන් තරමක් ඉහලට එස වේ. ඉදිරි පස සැහැල්ලු වූ විට එයට වේගයෙන් යා හැකිය.  මෙය කයාකයකට පමනක් නොව සෑම සියළු යාත්‍රාවකටම පොදු සාධකයකි. 
එය පැද්දේ ද පලපුරුදු දෙදෙනෙකි. මෙනිසා ගමන පුරාවටම ඔවුන් හට තම කිරුළ රැක ගැනීමට වැඩි ඉඩ කඩක් තිබුනි.

අපේ කයාකයේ තත්වය මීට ඉඳුරාම වෙනස් ය. ඉදිරි පස පැද්දේ ඇනෝ හෙවත් මුද්දා වන අතර ඔහු මා මෙන් දෙගුණයක් බර වීමට වැඩි ඉඩ කඩක් තිබුණි. 
අපගේ කයාකය වඩාත් බරසාරය. ඇනෝට පදිනවාට වඩා ෆොටෝ ඇල්ලීම අතින් මහත්වූ වැඩ කොටසක්; කැමරා ආම්පන්න එලියට ගැනීමේදීත් ඒවා නැවත අකුලා ගබඩා කරණයේදීත් තිබුණි.


අඹ කයියක් !

මේවා දුකට කියන කවි ලෙස පෙනුනත් දැනුනත් ඇත්තත් මෙයම වන්නේය.
ගඟේ පලමු නැමි දෙක පසු කිරීමත් සමගම වම් පසි වූයේ වැළි පාරුවක් හා ඒ මත නැගුණු දෙදෙනෙකි.

ඒහා සමාන්තරව වම් පසින් ගඟ හරහට දිවෙන නිල් පැහැති අඟුලකි. 

අඟුලක් යනු යනු ඔරුවට වඩා ස්ථිර සාරව සැකසුනු යාත්‍රාවකි. ඔරුව යනුවෙන් හඳුන්වන්නේ; ගසෙක කඳකින් හාරන ලද යාත්‍රාවකි. ඒ සඳහා බහුලව භාවිතා වෙන්නේ කොස්, දෙල් වැනි ගස් කඳන්ය. මෙයට වඩාත්ම සුදුසුම කඳ වන්නේ වල්දෙල් ය.
 ඔරුවට කොල්ලෑවක් සම්බන්ධ කරගත් පසු එය වඩාත් ස්ථාවර වේ. ඔරුවත් කොල්ලෑවත් සම්බන්ධ කරණ්නේ වියල් වලිනි. කොල්ලෑව සදා ගන්නේ ඇල්බීසියා හෝ ලුනුමිදෙල්ල ලීයෙනි. ඒවා දියට ඔරොත්තු දෙන අධික උත්පලතාවය්ක් සහිත බව මෙයට හේතුවය.

අඟුලක් යනු ඔරුම දෙකක් එකට සම්බන්ධ කොට එය මත ලෑලි අතුරා සකසන යාත්‍රාවය. 

මේ වන විට ඔරු හදන්නට වල්දෙල් වලට තිබුනු අයිති වාසිකම පහැරගෙන ඇත්තේ ෆයිබර් ග්ලාස් වලිනි. එකල කැඩී බිඳී, දිරාගිය ඔරුවක් කලකදී පොලොවට පස්වී යයි. 
අද වන විට ලැංකාවේ සෑම ගංගාවකම පතුලේ තැනින් තැන කිසිදා නොදිරණ ෆයිබර් යාත්‍රා කොටස් තැන්පත් වී ඇත. මේවායේ කැඩී වෙන් වුණු කොටස් වල දාර බොහෝ සෙයින් තියුණුය.

වැලි ගොඩ දාන බොහෝ ගංඟාවල ගං පතුල ෆයිබර් අපද්‍රව්‍ය වලින් අනූනය. බොහෝ විට මේවා ගස් වලින් වට කොල වලි වැසී පැවතියද ඒවා මොන ලෙසකින් වත් දිරා පත් වන බවක් නම් නොපෙනේ.

වරක් බෙලිහුල් ඔය වයිල්ඩ් ඩ්‍රිෆ්ට් ආයතනයේදී මා ලද පුහුණුවකදී; සිගරට් ෆිල්ටරයක් දිරාපත් වීමට අවුරුදු 200 ක් ගත වන බවක් කිසිවෙකු පවසනු මා අසා සිටියෙමි. එහි සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් මා එය තර්කයකින් තොරව විශ්වාස කරමින් කටයුතු කරණ්නෙමි. 

එය "අපාය" ගැන කුඩා කල තිබුනු  සැකය මුසු විශ්වාසය මෙනි.

වැලි ගොඩ දැමීමට අවසර දෙන රජයේ වගකිව යුත්තන් විනාශ වූ බෝට්ටු පිළිබඳව විමසීමක් කරණ බවක් නම් නොපෙනේ. ඔවුන් කරණ්නේ එය ඉවුරට ගාල් කිරීම හෝ ගැඹුරේ ගිල්වීමය. 

දිරාපත් වී හෝ ප්‍රයෝජනයකින් තොර නැව් ද මෙසේ ගිල්වන බව මා අසා ඇති අතර ඒ පිළිබඳව දෘෂ්‍ය සාක්ෂි මා අත පවතී. එහෙත් එය මත්සයන් ඇතුළු ජලජ ජීවීන් හට වාසභූමියක්, සූථිකාගාරයක් මෙන්ම ජනපදයක් වන අතර බොහෝ විට එය කාලයකදී දිරා පත්වී අපගේ කට වහරේ පරිදි "පොලොවට පස් වී" යනු ඇත!

ටයිටැනික් නැවද ඉදිරි දශක දෙක තුන ඇතුලත මිනිස් ඇසින් සදා කාලිකවම තුරණ්වී යනු ඇති බව ප්‍රකාශිතය!

තෙශාන්ත මුල්කිරිගල යනු එකෙන්ම ගිය තැන බොර කර ගන්නා චරිතයකි. 
මේ ගැන සුපිරිම අත් දැකීම් කිහිපයක් මට ඇති අතර ආසන්නයේම සිදුවූ සිද්දිය පිළිබඳව ලියන්නට තවම ඉක්මන් වැඩිය. 
මහ වැළි ගඟ දිගේ ගමන් කරද්දී "නුවරගල" ගමේ මිනිසුන් හා එක්ව ඔවුන්ගේ කුස්සියට වැදී බත් මාළු පිසගෙන ආවේද මේ "බොර කිරීමේ" ප්‍රථිපලයක් ලෙසය! 
පසිඳු ගැන කතා කලද අනේ අපරාදෙ කියන්නට බැරිය!

ගිය තැන විට කාගෙන, බීඩී බීගෙන නෑකම් හදාගෙන හිරමණේ උඩ ලැගගෙන මුන ගැසෙන උන්ගේ මොළය කොලොප්පන් කිරීමට උන් දෙන්නා දන්නේම නැත! 

සත්තකින්ම එය මෙතෙක් අපට අනවශ්‍ය කරදරයක් වී නැති අතර එය ප්‍රයෝජන වත් වූ වාර බොහොමයක් ය! 
ඔවුන් දෙදෙනා හට සහරා කාන්තාරයේදී හමුවන ඔටුවෙකුට උවද මචාං කියා උගේ සරීරයේ වැදගත්ම ඉන්ද්‍රිය වුවද ගලවාගෙන ඒමට ඇති හැකියාව බොහෝ විට අපේ බඩගිනි නිවීය!

එහෙත් මෙවන් සංචාර - කර්මාන්තවලදී හමුවන පලාතේ උදවිය සමග මා සබඳකම් ඇති කර ගන්නේ බොහෝ කල්පණාකාරීවය. 
මගෙන් වෙන අඩුපාඩුව කිසිවෙකුට දැනෙන්නට පෙර කී ඩබල කිසිදු ලෙසකින් ඉඩ නොතබති!
මා එසේ අවම සබඳකම්  සහිතව කටයුතු කරණ්නේ ඔවුන්ගෙන්; අපගේ නිදහස හා ස්වෛරී භාවයට බලපාමක් සිදුවිය හැකි යැයි මා තුල ඇති අනියත බියය!

වැලි පාරුව  හා අපගේ ගමන් සගයන් දෙදෙන අපට තරමක ඈතින් දිස්වේ.
 ඊට සමගාමීව පෙරකී පරිද්දෙන් අඟුලකි. වැලි පාරුව මත දෙදෙනෙකු සිටි අතර අඟුල මතද කිහිප දෙනෙකු සිටියෝය.
ඒ අසල පදීම නැවතූ තෙශා හා පසිඳු ඔවුන් සමග කිසියම් කතා බහක යෙදෙනු හඳුනා ගනීමට අපට පුලුවන් දුරකින් ඒ වන විට අප දෙදෙන සිටියෙමු.



ඔය සුට්ටං කකුල් දෙකක් පෙනෙන්නේ තෙශා ගේය. 
හාවා හඳ දකින්නාසේ මමත් ඇනෝත් ඉදිරියෙන් ගමන් ගත් සුන්දර මොහොතක්!

ඒ වන විට ඇනෝ හෙවත් මුද්දා තරමක ප්‍රසස්ථ මට්ටමකින් හබල් ගසමින් විය.
 එසේම ඔහු බොහෝ විට මාගෙන්; ඔහුගේ හබල් ගසීමේ දොස් විමසමින් ඒවා නිදොස් කර ගනීමේ සාර්ථක ප්‍රයථ්නයක් යෙදෙමින් විය. 

මෙවන් ගමන් වලදී අප වෙතින් ප්‍රථික්ෂේප වන්නේ "අති පණ්ඩිතයින්",කුහකයින් හා මුරණ්ඩු උන්වය. 
එවන් අය සමග ගඟා දිගේ යනවා විනා ලියුමක් තැපැල් කිරීමට තැපැල් කණ්තෝරුවකට වත් මා යාමට අකමැතිය! 

ඇනෝ එම කුලක තුනෙන් එකදු එකකට හෝ අයත් නොවීය. එසේම කලකට පෙර ආත්මාරක්ෂක සටන් ක්‍රම හා ඒ හා බැඳුනු ව්‍යායාම කිරීම තුළින් මඬිනා ලද සිරුරකට හේ උරුම කම් කීවේය. එනිසාම ඔහු කයාකයට කිසි ලෙසකින් නිකංම නිකං බරක් පමණක් නොවීය. 

අප; එනම් මමත් ඇනෝත් ඔවුන් වෙතට කිට්ටු වෙන තෙක්ම තෙශාත් පසිඳුත්; වැලි පාරුවේ සිටි දෙදෙනා සමග  "අඹ කයියකට" අලගු තබමින් විය!
 ඒවන විට අප හතර දෙනාගේත් ඔවුන් දෙදෙනාගේත්  ලග්න රාශීන්  හැරුණුකොට ගෙන අන් සියල්ල බෙදා හදා ගෙන සිටි අපගේ මිත්‍රයින් දෙදෙන

"හේනං අපි යනවා අයියේ . . . " කියමින් යළිත් පෙරට ගමන  ඇරඹුවෝය!

අඟුලේ සිටියේ කිසියම් වෘථියකට යන කෙසඟ කෙඬෑරි කෙල්ලකි! සමා වෙන්න සිහින් සිරුරකට හිමි කම් කී යුවතියකි. ඇය මවා ගත් ආඩම්බරයකින් හොම්බ දික් කරගෙන සිටි බවක් මා ඇනෝට සෙමෙන් කී අතර ඇනෝ එය "හ්ම්! හ්ම්!!" ගාමින් බකමූණු න්‍යායෙන් පිළිතුරු දුන්නා විනා කිසිවක් ඊට වඩා කිසිත්  නොපැවසීය. 

"නේද බං!?"

"හම්! හ්ම්!!"

" මොකද බං හුං හුං ගාන්නේ කතා කරහං කො! මොකද උඹට අවුල්ද?"

"ම්හු!"

"හේනං?"

"කහේ හුලහ් . .!"

තවත් ටික වේලාවකි කාරණය වැටහිනි! ඇනෝ කට පුරවාගෙන බුලත් විටක් හපමින් විය! 
කාරණේ වඩාත්ම සිත්ගන්නා සුළු දේ වූයේ "ගඟක මාළු බානවා තබා ගඟට කෙල ගසන්නේ වත් නැති!" ලේබලය යටතේ ගමන් ගන්නා අප ඉදිරියේ ඔහුට බුලත් කෙල ගැසීමට අවකාශයක් මෙතෙක් නොවී තිබීමය!

මට ඒ සමගම මතක් වූයේ ප්‍රියා සූරිය සේන කොප්පෙ ගැසූ සින්දුවක ඔරිජිනල් එකය! 
"ඉස්සර මා ඔබ බලන්න ආවේ කට පුරවාගෙන බුලත් විටෙන් . . .

දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දත් ටික මැදගෙන පුවක් මුලෙන් . .  //"

ලද අවසරයෙන් ගං දිය මත රක්ත වර්ණ රටාවක් ඇඳී ගියේය!


අම්ම අප්පගෙ බූදලය ලෙස ගඟ වෙන් කොට !

ගඟේ තවත් ටිකින් ටික පහතට ගමන් ගනිමින් විය. ගඟ හරහා ඇඳි නයිලෝන් රැහැන්  මකුළු දැල් සේ ලඟින් ලඟින් විය. 
ගඟ හරහා අඳි මෙවන් රැහැන් පද්ධතියක් කැළනි ගඟේ රංවල තොටුපොල ආසන්නයේ ද තිබෙනු මාහට මතක් විය. අනිවාර්යයෙන්ම වැලි ගොඩ දැමීම සඳහා හෝ අනවසරයෙන් ගං පතුල හූරමින් ඉල්ලම් ගොඩ දමන්නන් විය යුතුය.

ගඟ දෙපස වූ කිසිදු තොටුපොලක් සිහින් වැලි තලාවෙන් ගැවසී ගත් ඒවා නොවීය. ඒවා හුදෙක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බෝල ගල් වලින් සමන් විත ගල් ගොඩවල්ම විය! කුඩා අර්තාපල් ගෙඩි නො එසේනම් ආඬිචොක් අල ගොඩවල් සේ මේවා ඈතට දිස් විය!

ආඬිචොක් යනු යටියන්තොට ආදී ප්‍රදේශ වල මීට දශක දෙක තුනකට පෙර ගඟ අසබඩ වැවුණු අල විශෙෂයකි! එහි පත්‍රය; කහ පඳුරේ පත්‍රයට තරමක නෑ කමක් දක්වූ අතර පඳුරද එවන්ම වූ හැඩයක් හා ප්‍රමානයක් ගති. 
පඳුරක් ගලවූ පසු නෙක නෙක ප්‍රමානයෙන් යුතු කුඩා ඉතාමත් ගෝලාකාර වූ ජිල් බෝල ප්‍රමාණයේ සිට ගොල්ෆ් බෝලයක ප්‍රමාණයේ වටකුරු අල රොත්තක් දැකිය හැකිවිය. 
මේවා බොහෝ විට තම්බන්නේ හවස් කාලයේය. ඒ නිදහසේ අල්ලාප සල්ලාපයේ යෙදෙනා'තර පොතු අරිමින් කෑමටය! මේවා කෑ කාලයක් තබා පඳුරක් දුටු කාලයක් මතක නැත! 
දැන් එවන් අල්ලාප සල්ලාපයේ යෙදීමට හැකියාවක් නැති තරමට සියල්ලෝ "බිසී" වී ඇත!

මේ වගත් මෙතනම ලියා යන්නට අවසර! 
එකල ඕනෑම ගෙදරක හවස් යාමයේ දූවරු ලඟින් වාඩි කරගෙන උකුනන් හෙවත් තඩි බලන මව්වරු ගම් වල දක්නට ලබුනෝය! 
මගේ සොහොයුරියද මාගේ ආදරණීය මව ඉදිරියේ බිම වාඩි වී මුමුණමින් සිටිනු තාමත් මතකය. 
මව් වරු තම යොවුන්  දියණියන්ගේ ජීවිතය හා බැඳුණු කාරණා කාරණා ඇහිඳගන්නේ මේ උකුනන් ඇහිඳිනවාට සම ගාමීවය. 
 මෘදු ලෙස හිස අතගාමින් තමන් පසුපස සිට තමා තොර තෝංචියක් නැතිව "ගිරවිය" සේ කියනා සියල්ල; හූ මිටි දෙමින් ; නොදැනෙන සේ ප්‍රශ්න කරමින් සිටින්නේ තමාගේ ආදරණීය අම්මා බව මතක් වන්නේ වැඩේ අවසන් වී රැලි ඇර රිදෙන්නට කොණ්ඩය පීරණ විටය.
ඒවන විට සියල්ල මව වෙත සම්ප්‍රෙශණය වී හමාරය. 

බොහෝ විට මෙවන්  "උකුණු මෙහෙයුම්" වලදී බයිට් එක ලෙසට ගැනුනේ ආඬිචොක් අල මුට්ටියකි. 

මේ සියල්ල පෙරා, පත අට එකට සිඳුව, අවශ්‍ය තැන් පමනක් තොරා බේරා ගෙන,  කලබල නොවීමට හා දියණියගෙන් නොවිමසීමට ගිවිස්සාගෙන පියාගේ කනේ තියන්නෙද එම අම්මාමය!
 කුමරතුඟු මුනිදස් පඬිතුමාගේ "හීන් සැරයේ" දෙවන පරිච්ඡෙදයේ එන ලෙස "එදින අලි හාමිනේ ආදරගුලියකි . . " යනාදී වශයෙන්  එන්නේ මෙවන් අමුත්තක්  සැමියාට කියන්නට යන බිරිඳක් ගැනය!

තව තවත් ගඟාවේ ටිකින් ටික පහලට යමින් වන්නෙමු. 
ඉවුරු දෙපස තනින් තැන නෙක ප්‍රමාණයෙන් යුතු වූ උණ පඳුරු විය. ඉවුරු බොහොසෙයින් උස්ය. 
ඉවුර ආසන්නයේ උවද ගඟ සිමෙන්තියෙන් බඳින ලද කාණුවක් සේ පතුලට සෘජුව ගිලුණුඉවුරකින් යුක්ත විය. එය අධික ලෙස වැලි ගොඩ දමීමේ හා වෙනත් මිනිස් නොපෙනත් කම් වල ප්‍රථිපලයක් විය යුතුය.

හිරු සෙමෙන් ගං දිය මත සෙවනැළි චිත්‍රණය අරඹා තිබිනි. හිරුට කළින් පිබිදුනු වැලි ගොඩ දමන්නන්, ඉල්ලම් හාරන්නන් හා ඉල්ලම් ගරණ්නන් වැඩ අල්ලා තිබුණි. ඔවුන් බොහෝ අය අප ඇතදී දුටුව මුත් ලං ලං වත්දී තරමක් පසුබා සිටිනු දක්නට ලැබුනි.

 ගඟේ බොහෝ ස්ථානවල එනම් ගඟේ මැද ඉනි සිටුවා තිබුනි. ඒ වැලි බෝට්ටු නවතා තැබීමට හා ගං පතුලට කිමිදීමට පහසු වීමට යෙදූ උපක්‍රමයක් විය. 
මේ ඉනි සකසා තිබුනේ ගැල්වනයිස් යකඩ පයිප්ප වලි වන අතර ඉන් එකක විෂ්කබ්භය අඟල් 2 ක් පමණ විය.  සමහර ස්ථාන වල එසේ සිටුවීමට ගෙන ආ යකඩ පයිප්ප ඉවුරේ තිබුනි අතර ඒවායේ එක් කෙලවරක් තියුණු ලෙස සකස් කල යකඩ උලකට පාස්සා වද්දා තිබුණි!

සුන්දරත්වයෙන් හෙබි යමක් නැවතිය යුත්තේ එහි වටිනාකමක් නොදන්නා අතක නොව එය මට සිළිටුව මෘදුව එය ස්පර්ශ කල හැකි සුරතකය!


මෙම කළු ගඟද රැඳී ඇත්තේ තමා හූරා කන්නා නරුමයන් පිරිසක් අතරය!


සියලු දුක් දරා සිටින ඇයගේ ලය යවුලෙන් විද !

ගඟේ බොහෝ තැන් හරස් කර තිබුණි. ඒ උන ලී හා වෙනත් දැව යොදා ගෙනය. මේ වැලි රඳවා ගැනීමට කල උපක්‍රමයකි! මෙවා අපගෙ ගමන් පෙතට ගෙන ආවේ මහත්වූ බාධාවකි!

 ටිකින් ටික උදැසන ගෙවෙන්නට පටන් ගනිමින් විය.

ජීව ඔරලෝසුව උදේ අහර කිස ගැනීමේ වේලාව මතක් කරමින්ය. අප; අතවූ සිතියම් ගෙන අප සිටි ඉසව්ව හා ඒහා අවට තිබිය යුතු අවන්හලක්, කඩයක් අවම වශයෙන් රොටී තැටියක් ඇති තැනකට ඉව කරමින් විය.

මා විජයභාහු මහතාට කීවා සේ ගඟේ කිසිදු කෘථිම සළකුණක් නොමැත පාලමක් විනා! එහෙත් ගඟ විශාල කෝණ වලින් හැරෙනා තැන් එසේම වෙනත් අතු හා පාර්ෂව ගඟා එක් වන තැන් ආදිය පිළිබඳව කිසියම් සෝදිසියකින් යුතුව ගමන් ගැනීම අපගේ සිරිතය.


ගඟ ගලන්නේ දකුණු අත පැත්තේ සිට වමටය. 
කළු පැහැතින් රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයද කහ පැහැයෙන් ගඟද දැක්වේ!
( මහ පාරෙණ් යන විට දක්නට ලැබෙන පන්සල්, අපන ශාලා, කඩ සාප්පු වයින් ඉස්ටෝරුවක්ද මෙම සිතියමේ ලකුණු කොට ඇති අයුරු පෙනේද?)

සිතියමට අදාලව ඒවන විට සෛධාන්තව  පසුකරමින් තිබෙන ප්‍රදේශය ; ගඟේදී හමුවන අය හා විමසා බලා ප්‍රායෝගිකව අප සිටිනා ඉසව්ව නැවත සකසා ගනී.

"තෙශා දැන්නං බඩගිනියි බං! බලපං කන්න තියෙන තැනක්!?"

ඒවන විට ගඟ දෙපස අප අපසු කරණ සෑම මීටරයක් මීටරයක්න් පාසා මිනිසුන්; ගඟ සමග  විවිධ ගනුදෙනු වල යෙදී තිබෙනු දක්නට ලැබුණි. අප ව ඇස ගැසෙද්දීම ඉහලට ඔසවා එක එල්ලේ අප දෙස බලා සිටි ඔවුන් අප පසුකර යන තෙක්ම විමසිල්ලෙන් බලා සිටියෝය.

"මචං මේ හරියෙ කොහෙද කඩයක් තියෙන්නේ උදේට මොනව හරි කන්න?"ඒ තෙශාන්තය!

" ඕ ගොල්ලෝ පහු කලේ අර වංගුවෙන් උඩට නැග්ග තැනම කඩේ නෙ!?"

ඒ කඩය අතීතයට එක්වී හමාරය!
අනාගතයේ හමුවන කඩයක් ගැන විමසූ විට මීට කිලෝමීටර දෙකක් පමණ දුරකින් ඇති කඩයක් ගැන තතු දැක්වීය. 
ගඟේ වම් පස ඇති වැලි තොටු පොලකින් ඉහලට නැගිය යුතු බව මතක තබා ගෙන අප ගඟ පහලටම ගමන් කලෙමු.

ගඟට කයාකය දියත් කල මොහොතේ එහි ඇතුලත ජලය පවතින මට්ටම ගන මතකයක් කයාකයක් පදින්නෙකු හට තිබිය යුතුය. 
කයාකය දියට දැමූ විට එය මුළුමණින්ම දිය මතුපිට නො පාවේ. එසේම කයාකය මත ගමන් ගැනීමට නියමිත දෙදෙනාහට අමතරව තවත්  විශේෂ, අවශේෂ,සුවිශේෂ, අවශ්‍ය, අනවශ්‍ය, අත්‍යවශ්‍ය සියළු දේ එය මතුපිට ගොඩගසා ගත් විට එය තවත් ගැඹුරකට ගිලී යයි. 

මේ සියළු දේ සමගින් කයාකයේ පතුලේ සිට මතුපිට තෙක් ඇති කුඩා ජලය ඉවත් කිරීමේ සිදුරු හරහා ජලය ඉහල නගී. බොහෝ විට නමෝ විත්තියෙන් කයාකය මත වාඩි වෙන්නට සිදු වන්නේ ජලයෙන් තෙත්වූ ආසනයක් මතටය. එය කං කෙළින් කරවන සුන්දර අත් දැකීමකි.

රත්නපුර මහ සමන් දේවාලය පසුපසින් දියට බට මොහොතේ සිට මේවන විට පැය දෙකකට ආසන්න දුරක් අප ගමන් ගෙන තිබුනෙමු. එම දියට පැමිණි මොහොතට වඩා මේ වන විට කයාකය තරමක් දියේ ගිලී ඇති බවක් මාහට දැනෙමින් විය. 

මෙම කයාකය මහවැළියේදීද මෙසේම ජලය පිරී ගියේය. 
මා තෙශාට කතා කොට මට හැඟෙන දැනෙන දේ පැවසූවෙමි.


වග වලසුන් හැර වෙනත් කිසිවෙකු නොමැති කැලයක් මැද 
පතුල සිදුරුවූ යාත්‍රාවක් සමග  . . !
(මහවැළි තරණයේදීද  ෆයිබර් කයාකය පුපුරා ගියේය.)

"මොකද ගොඩට අරණ් බලමුද?" තෙශා ගේත් පසිඳුගේත් එකම පැනය විය.
"නෑ දැන් ඉක්මනට කන්න තැනක් බලමු . . . !එතනදී බලලා ටේප් පාරක් අලව ගමු!"

තවත් විනාඩි 30 කින් පමන තරමක් පිරිස සිටි වැලි තොටුපොලකට අප අවතීර්ණ වුනෙමු. 

"මචං මේ හරියේ කඩයක් කොහෙද තියෙන්නේ?" සුපුරුදු ලෙංගතු විලාශයෙන් තෙශා එතැන සිටි 6 X 4 "නඩේ ගුරා' මොඩලය ඇමතීය. 

"ආ මෙතනින් උඩට නගින්න. එන්නකෝ මම පෙන්නන්නං!"

එතැන ඉවුර තරමක් පහත්ව තිබුණි. පසිඳු පැදවූ කයාකය රැහැණින් ගැට ගැසූ අතර මගේත් ඇනෝගේත් කයාකය අප මහත් වැර වෑයමෙන් යුතුව ගොඩට ඇදගත්තෙමු. 
ඒමත පටවා තිබූ පෙරකී අන්දමේ සකල සම්මාන පිලිවෙලින් ඉවත් කලෙමු. 
ඒවන විට තෙශාන්තත් පසිඳුත් නඩේ ගුරා සමග ඉවුර උඩට නැග නොපෙනී ගොස්ස්ය.

සෙමෙන් පිලිවෙලින් සියල්ල ඉවත් කල පසු එක් හැචයක  අඩුම කුඩුම මල්ලේ තිබුණු; චීනයේ නිපදවන ලද මල්ටි ටූලයේ අනුප්‍රාප්තිකය ගෙන කයාකයේ ඉදිරි කෙළවරේ තිබුණු ඇබය බුරුල කර ගලවන්නට පටන් ගත්තෙමි.

පලමුවෙනි වට දෙක කැරකැවීමත් සමග එය තුල එතෙක් තෙරපී තිබුණු වාතය ශබ්ද නගා පිටවන්නට පටන් ගත්තේය.  සංවෘථ කයාකයේ පතුලින් ජලය පිරෙද්දී එය තුල එතෙක් තිබුනු වාතය ක්‍රම ක්‍රමයෙන් පීඩනයට පත්වේ. 

මූඩිය හෙවත් ඇබය ගලවා ඉවත් කොට කයාකය පසුපස කොනෙන් අල්ලා මහත්වූ වැර වෑයමෙන් යුතුව එසෙව්වෙමු.
 මගේ අනුමාණය නිවැරදි විය! 
මහවැළියේදී මෙන්ම විශාල ජලස්කන්ධයක් එය තුල විය. ජලය මුළුමණින්ම ඉවත් වන තුරු අනෙක් පසින් ඔසවාගෙන සිටීම මහත්වූ අපහසු කාර්‍යයකි. 
ඒ අසල තොටුපොළේ  සිටුවා තිබුනු ලී කොටයක් අපට පිහිට විය. කයාකයේ එක් පසක්  ඒ මත ඔසවා තැබීමෙන් ජලය සියල්ල පහසුවෙන් ඉවත් කර ගැනීමට මටත් ඇනෝටත් හැකිවිය!



ඉස් මොල්ලේ ගිය වතුර එලියට යන තුරු !

කාලය ගෙවී ගියේය!

කයාකය තුල තිබුණු සියලුම ජලය ඉවත් කොට හමාර විය!
 දැන් ඇත්තේ මුණින් නැවූ කයාකයේ පතුල හොඳින් පිරික්සා බලා කිසියම් සිදුරක් හෝ පිපිරීමක් කඩතොළුවක් වුනි නම් එය ඇස්බැස්ටොස් ටේප් හෙවත් නෝලීක් පටි වලින් පිරියම් කර ගැනීමටය. 

වැලි තොටුපොලේ සියල්ල එතැනින් ඉගිල ගොසිනි.  උස් ඉවුරේ මතුපිට සිට අපදෙස විමසිල්ලෙන් බලා සිටි කිහිප දෙනෙකු හැරෙණ්නට එහි සිටි බහුතරය එතන නොසිටියේය. තොටුපොල ආසන්නයේම ගැඹුරු පතලකි!


මෙහි ජීවිත මෙන්ම හෝදා පාළුවී ඇති ගං ඉවුර !

එතැන සිටි වයෝවෘධ අයෙකු හැරෙණ්නට අන කිසිවෙකු අප සමග දොඩමළු වූවේ නැත. 
ඔහු අප අසලට පැමිණ මුල මැද අග එකිනෙකට සම්බන්ධයක් නොමැති ඔහුගේ දුක්බර ජීවිත ගමන ගැනන් මොන මොනවාදෝ තොර තොංචියක් නැතිව දෙඩෙව්වේය. ඒ සියළු කයි කතන්දර මැද මා විමසිල්ලෙන් සිටියේ අප වෙතින් ඉවත්වූ තෙශාත් පසිඳු කොයි මොහොතේ ඉවුර මුදුනින් මතුවේ විදෝ කියාය.
  
එම ඉවුර අප සිටි තන සිට අඩි10 ක පමණ උස් එකක් විය!
එන්න එන්නම කාලය ගෙවී යත්ම මාහට ඉවුර සමීපයේ පිහිටි පතුලක් නොපෙනෙන ඉහලටම දිය පිරුනු පතල සිහිවේ.

තෙශාටයි පසිඳුටයි මොකක හරි කරදරයක් වත්ද?

ඒ සමගම මගේ මතකයට ආවේ මාගේ පියාණන් සමග එකට සේවය කල තරුණ නිළධරයෙකු  අදවන තුරා සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ කතා පුවතයි!
 මෙය සිදුවූයේ අදින් වසර 30 කට පමණ පෙර හබරණ ගල් ඔය හංදිය, හතරැස් කොටුවේදීය.
එම තරුණ නිළධරයා මාගේ පියා සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කලේය.
එකල තාත්තා පැවසූ පරිදි කිසියම් පිරිසක් විසින් එම අහිංසක තරුණ නිලධරයා මරා; මහ කැලයේ වියලී ගිය ගසක බිලයක් තුලට දමා ගිණි ලා ඇත! එම මිනී මරුවන් කිසිදා සොයා ගැනීමට නොහැකි විය!

 අත හැර දමා ඇති පතල් කොතරම් නම් මේ පලාතේ ඇතිද?


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම - කළුතරට !


පුවතක් . . . . . !


සියළු විස්තර පසුව ලියන්නම්. 


මේ තවත්; ආරක්ෂාව, පුහුණුව හා නිවැරදි මග පෙන්වීමකින් තොරව සිදුකල ක්‍රියා කාරකමක අනිටු ප්‍රථිපලයක් ලෙස ආරංචි වෙමින් පවතී.  මෙම ස්ථානය එනම් කිරි අම්මාගේ ඇල්ල තරණය පිළිබඳව මා ලියා ඇත. එයට මෙතැනින් පිවිසෙන්න>








Monday, June 10, 2019

142. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . . . . . . . 4


පේටන්ට් කංතෝරුවට යමින් ගමන් . . . . . . !

රෝදය තව දුරටත් සොයාගත යුතු හෝ සොයා ගැනීමට කාලය යෙදවිය යුතු දෙයක් නොවන බව ප්රකට කියමනක් වුවද; ලෝකය විසින් ප්රථම මෝටර රිය නිපදවූවා යැයි සම්මාන, පිළිගැනීම් පුද දෙන්නේ කාල් බෙන්ස්ට විනා මීට වසර 5000 කට පෙර රෝදය පිළිබඳව මූලික සිතුවිල්ල පහලවූ ගල් වැද්දාට, ඔහු තුල සිටි වඩුවාට නොවේ.

 කාල්බෙන්ස් නොව ටොයෝඩාද කිසිම විළිලැජ්ජාවක් නොමැතිව පසු කාලෙක කාගෙන්වත් අවසරයකින් තොරව හිතුමතේ පාවිච්චි කරණ්නේ ඒ නොදියුණු ගල් වැද්දාගේ නිර්මාණශීලීත්වයය.
 ඔබ නිකමට හිතුවාද එම අහිංසක ආදිමයා හට රෝදයේ පෙටන්ට් අයිතිය තිබුනානම් ඔහු අදවෙන කොට මොන තරම් ධනස්කන්ධයකට හිමිකම් කියා වි දැයි කියා?

එසේම පලමු නිර්මාණය ගුරු කොටගෙන නව නිපැයුම්, නව චින්තනයන්, නව යෙදවුම් සොයා ගැනීම්; වෙල්ක්රො පටියෙ, බෝල් පොයින්ට් පෑනේ සිට ව්යාග්රා පෙත්ත දක්වා නොනැවතී දිවෙන්නකි.

ම විසින් කලකට වරක් එළි දක්වන "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි" ලිපි මාලාවද එවන්ම වූ අදහස් ගොන්නකි.

" ඔබ මට වඩා ලොකු දිය බිඳුවක් පමණි !" පොකුණ අමතා නෙළුම් පතක රැඳි දිය බිඳුව පැවසීය; යැයි මහගම සේකරයන් කියන්නට කලින් නෙලුම් කොල වල වතුර බිංදු වෙන අය දැක නොතිබේද?
එම නිර්මාණයේ පරම අයිතිය හිමි සේකරයන්ට පමණක්ද?
නෙළුම් පත හට, පිණි බිඳුවට, සොබා දහමට එහි පලුවක් කොටහක් නැතිනම් ඉරුවක වත් අයිතියක් නැතිද?

"අඩවන් වූ දෙනෙති ගලනා  . . . ." ගීතයේ අදහස බිහිවන තිඹිරි ගෙය පද රචකයාගේ  විඥ්ඥානය පමනක්මද? සමාධි පිළිමය, එය නිර්මාණය කල ගල් වඩුවා ඉන්නේ කොතැනකද?
මා සිතනා පරිදි "අඩවන්වූ දෙනෙතින් ගලනා . . . ."  ගීයේ පද මාලාවේ රැඳි ප්‍රථිභාවෙන් සැළකිය යුතු ප්‍රමාණයක් බිහි වන්නේ එම ගල් වඩුවා අතිනි!

අඩවන්වූ ගීතයේ මෙන්ම මෙහි  එන කොමෙන්ටු ගොන්නෙහි රැඳි යම් පරිකල්පණයක් වේ නම් එහි කතෲ භාවය මට මෙන්ම මුල් ලිපිය ලියූ සහෘදයාහටද හිමිවේ.

එසේම මාගේ සිත සියුම්ව පිරි මදින ලද මුල් පෝස්ටු ලියු සොහොයුරු සොහොයුරියනට හිස නමා ආචාරය කරමින් පිළිගන්වන්නම් "අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි . . . 4 "නම් වූ මගේ  අදහස් පොකුර!

*********************************************************************************************************************************
මගේ ලෝකය My World
http://magelokaya01.blogspot.com/  world
පටිසෝතගාමීව දස වසක්
1.
ප්‍රේමණීය රමනය තරම් රමණීය ලිපියකට යෙදූ පසු වදන.

Tuesday, July 31, 2018
http://magelokaya01.blogspot.com/2018/07/

රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා

Thattayage KolamaSeptember 29, 2018 at 12:52 AM
අප අපගේ ලිවීම් තුල, කතා කිරීමේදී,කෙතරම් අචාරශීලී, සදාචාරාත්මක උවත්; මෙවන් සුන්දර කතා කියැවීමෙන් සිත තුල නිදිගත් රස මතක අවදි වීම හෝ නො එසේනම් සිත තුල නිහඬව අවදිවීමට අවකාශයක් සොයමින් වෙහෙසෙන හැඟීම් වලට අත් තටු ලැබීම අතිශයින්ම සාධාරණ කරුණකි.
 ඇත්තෙන්ම එය සුන්දර කථාවක්.
පුහුදුන් ඕනෑම පිරිමියකු විඳීමට පෙරුම් පුරණ අත්දැකීමක්.ඒ සුන්දර අත්දැකීම මස් කඩයක් නොකල ඔබගේ ලිවීමද මම බෙහෙවින් අගය කරමි.
ගැරෙජ් බාස්ලා එන්ජිමක් ගැලවූ විට අත කටේ සහ එකී නොකී මෙකී සියළු අවයව වල මජං පෙරාගත්තද ශල්‍ය වෛද්යවරයෙකු හදවතේ සැත්කමක් කරණ්නේ ඇඟ පුරා ලේ පෙරා ගෙන නොවේ.
 කලා කෘථියකින් මතුවන රස භාවයන් යනු දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට ගැසීමක් නොව කුරුලු පිහාටුවකින් යටි පතුල කිති කැවීමක් වූ තරමට එය වඩාත් සුන්දර වේ.
පොල් අතු වලින් වටකල ගනිකා නිවසක ඇතුලත රහසේ නරඹා කෙරෙණ විස්තරයකට වඩා වටිනා කමක් චැටර්ලි ආර්යාවගේ පෙම්වතාට හිමිවන්නේ එසේ හෙයිනි.

ඔබ රසවිඳ ඇතිද සමන් ජයනාත් ජිනදාස ගයන "බිසරු ලියන් . . ." ගීතය?


 මේ ගීතය පුරාවට ශෘංගාරය දෙගොඩ තලා යන බවක් මා හට දැනුනා!
අවාසනාවකට එහි ගීත රචකයා මාහට සඳහන් කල නොහැකි වුවත් (පසුව හොයාගත්තා - බන්ධුල නානායකාරවසම්) එම ගීතය තුල එහි වචන වලට වඩා වැඩි දුරකට ශ්රාවකයා රැගෙන යන; ගායකයාගේ හඬ පෞර්ෂය බේද බින්න නොකරණ අතිශය ලගන්නා සුලු මියැසි රටාවක් මැවූ නවරත්න ගමගේද එම ගීතයේ වචන ඇමුණූ රසවතා සේම ගීතය එම තැනට පත් කරලීමට අනර්ඝ උර දීමක් සිදුකොට තිබේ.

එම ගීතය පුරා විචිත්‍ර වූ අත් දැකීම "පැදුර එලන් බලා සිටිමි!" කියනවාට වඩා අතිශය සියුම් ලෙස ශ්‍රාවකයාගේ රස නහර පුබුදුවා ලයි.


රූකාන්තගේ "රේණු රේණු . . .' ගීතය? එඩ්වඩ්ගේ "මුව මුක්තා ලතා . . ." කිත්සිරි ජයසේකරගේ "මී පැනි රහසක් . . ."පණ්ඩිත් අමරදේවයන්ගේ "කුමරියක . . ." මේ සෑම ගීතයක්ම සදාතන කලා කෘථි ගනයට වැටෙන්නේ මෙනිසාය.


වරක් ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ පැවති ගීත ප්රසංගයකට මොහමඩ් රෆි; මාගේ ආදරණීය ගායකයා සහභාගීවී ක්රිෂ්ණා මුකර්ජී සමග ගීතයක් ගායනා කරණවා. ගීතය "සව් සාල පෙහෙලේ . . "! ඔබ යූ ටියුබයෙන් රස විඳින්න රෆි ගේ ආදරණීය හඬින් ක්‍රිෂ්ණා  මුකර්ජීව ගීතය තුලින් අමතන හැටි.


හිංඳි නොතේරුනද එම හඬේ ඇති ලයාන්විත බව අපව මොහොතකට ආදරණීයයන්, පෙම්වතුන් බවට හරවනවා.
 ලිවීමක්, ගැයීමක්,නාද සංකළණයක් යනු සරම ඔසවා පෙන්නීමක් නොවේ. එය අතිශයින් සුන්දර හැඟීම් ජනනය කරවන එකක් විය යුතුය.
අකුරු දැන ගත්තාට වචන තනන්න බැරිය. වචන දැනගත් පලියට වැකි ලියන්නට බැරිය. වැකි ලියන්නට හැකිවූ පමණින් රචනා ලියන්නට නොහැක. රචනා ලියූ පමණින් ඒවා කියවන්නට හැකි ඒවා බවට පත් කිරීම ඊටත් එහා ගිය කටයුත්තකි.

වචන පමනක් දැන ලියන කවිද,පබදන ගීතද කලින් කලට විවිධ මාධ්‍ය තුල සැරිසරණු ලබයි. "
රම්බරි කියපන් නුඹෙ නොම්මරේ . ." බිහිවන්නේ මේ තත්වයන් තුලය. ඔබ ඊට බොහෝ ඉහලින් සුනදර ශෘංගාරය අප සමග බෙදා හදා ගනියි.

එකම එක දෙයක්! ඔබගේ ලිවීම මා සිත තුල දෙවරක් ඊර්ෂ්යාව ජනිත කලේය!
වරක් ලිවීමටය අනෙක අත්දැකීමටය!

*********************************************************************************************************************************
2.
ස්වකීය සුජාත පුතණුවන් ගැන  එකෙන්ම ආඩම්බර ඔරිජිනල්ම තාත්තා

Friday, October 26, 2018
http://magelokaya01.blogspot.com/2019/03/

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්යා මහත්තයා , අභයගිරිපුරාවිද්යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්රීසි පන්ති සමග ආයෙමත් තාත්තා

Thattayage KolamaOctober 28, 2018 at 2:55 PM
අතිශය සුන්දර ලිපියක්.
නමුත් එහි කිසියම් හදිසියේ ලියූ බවක් පෙනුනා. ඒ; මා එම ලිපිය කියැවූ හදිසිය නිසාදැයි විටෙක මට සිතේ.
ඔය ඔබගේ පියාගේ පරම්පරාවේ අයගේ සාමාන්ය තත්වයක්.
අපේ ගේ වටේම කුඹුරු. ඒවායේ කුඹුරු කැපෙන කාලයට මම මගේ කොල්ලාවත් ඔය විදියටම යැව්වා ගොයම් අදින්න. මහේල ජයවර්ධන පෙදුරුතුඩුවෙන් Trail එක පටන් ගන්නකොට කොල්ලාව අතට සල්ලි දීලා මම යැව්වා.
එයා මෙරටින් යන දවසේත් මම දුන්නු අවසාන අවවාදය වූයේ;
"දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!".

ඔබ සැබවින්ම සතුටු වියයුතුයි, ආඩම්බර විය යුතුයි එවන් පියෙකු ලැබුනාට!

දරුවන් යනු තමාගේ දුවා දරුවන් පමනක් නොව සියල්ලන්ම යැයි සිතා කටයුතු කිරීම තරම් ආශිර්වාදයක් තම දරුවන් හට පියෙකුට ලබා දීමට නොහැකිය.
කලකට පෙර මා සේවය කලා කේරළ ජාතික මහත්මයෙකු වෙත. ඔහුගේ පියා නිරණ්තරයෙන් ඔහුට පැවසූ කියමනක් ඔහු මාවෙත පැවසූවා.

"පුතා! ඔබ අන් දරුවන් රැක බලා ගන්න. දෙවියන් ඔබේ දරුවන් බලා ගනු ඇත . . . . . . !"

මෙය හුදෙක් ආගමික මිත්යා විශ්වාසයක් ලෙස කෙනෙකුට බැහැර කල හැකි වුවත් සමාජමය වශයෙන් කිසිවෙකුට එහි දොසක් දැකිය හැකිවේද? තම දරුවා අවට සිටින අනෙකුත් දරුවන් හට යහ මගක යන්නේ නම් තම දරුවාහට ඉන් එපිට මගක් වෙතට යන්නට ඇති ඉඩ ප්රස්ථාව කෙතරම් අවම වනවාද?

මීට කලකට පෙර පැවති සමාජය තුල වැඩිහිටියෙකු හට ඕනෑම දරුවෙකු හට අවවාදකිරීමේ හැකියාවක්, උවමනාවක්, අවශ්යතාවයක් මෙන්ම අවස්ථාවක් , ඉඩ ප්රස්ථාවක්, සමාජමය ඉඩකඩක්,යුතුකමක්, වගකීමක් තිබුනි.
එවන් සමාජයක් තුල දරුවා වඩාත් සුරක්ෂිත විය.
එයට ඇවැසි ඉඩ කඩ නිර්මාණය වන්නේ පරාර්ථකාමී සමජයක් තුල.

ඔබගේ පියා එවන් පරාර්ථකාමී සමාජයක කොටස් කරුවෙක්!

එවන් සමාජයකට ඔබව නිර්ලෝභීව අවතීර්ණ කිරීම, විවෘථ කිරීම එක් අතකින් හොඳ ආයෝජනයක්.
ඔබගේ පියතුමා අද; ඔබ ගැන සිතමින් කම්පාවට පත් නොවී හාන්සි පුටුවකට වී කෝපි කෝප්පයක් , තේ කෝප්පයක් තොලගාමින් සැහැල්ලුවෙන් සිටින්නේ නම් ඒ මීට කලකට පෙර කල ආයෝජනයේ ප්රථිලාභ අත්විඳිමින්ය.

අප අපගේ දරුවන් පෙල ගැස්විය යුත්තේ හුදෙක් "පොරවල්" කිරීමට නොව අභිමානවත් මිනිසෙකු කිරීමටය! වරක් එක් සමාජ විශ්ලේශකයෙකු කියා තිබුනු දෙයක් මා මීට පෙරද එක් අවස්ථාවකදී උපුටා දැක්වූවා මතකය. "අප උත්සාහ ගත යුත්තේ හොඳ දරුවන් සෑදීමට නොව හොඳ දෙමව්පියන් බිහි කිරීමටය. මන්ද පසුගිය කාලය පුරාවට අප වෙහෙස වී ඇත්තේ අපගේ දරුවන් වෙනුවෙන් විනා අපගේ දෙමව්පියන් වෙනුවෙන් නොවේ!" මේ ඒ කියමනයි.
අප; අපගේ දෙමව්පියන්ගේ අවශ්යතා දෙස බැලීම කල්තබා දරුවන්ගේ ඕනෑ එපාකම් පසුපස ලුහු බඳිමින් වී ඇත. මෙනිසාම අප කිසිවිටෙකත් හොඳ දරුවන් නොවේ. එහෙත් අප ඉඳුරාම හොඳ දෙමව්පියන් වී ඇත.
මෙනිසාම අප ඉතාමත් තරග කාරී ලෙසම අපගේ දරුවන් ඔවුන් ජීවත් වන සමාජය තුල වඩාත් ඉහල ස්ථරයකට ඔසවා තබන්නට යන්ත දරණ්නෙමු. එම සිතුවිල්ලම "පරාර්ථකාමී සමාජයක්" වෙතින් අප ඉවතට ඇදදමා අවසන්ය.


වරක් ස්වාධීන රූපවාහිණියේ සංවාදයකට සහභාගී වූ නැසීගිය නන්දදාස කෝදාගොඩ මහතා කීවේ අප අපේ දරුවන් දොස්තරලාම කරණ්න වෙහෙස නොගත යුතු බවයි. මන්ද කොන්දොස්තරලාද සමාජයේ කොටස් කරුවන් හා සමාජයට අත්යාව්ශ්ය කාර්යය භාරයක් කරණා කොටසක් බවයි. එවිට එය අසා සිටි ප්රෙක්ශකයෙකු; මැදිරියට සජීවීව සම්බන්ධවී පැවසූවේ;
"මහාචාර්ය තුමන්ලාගේ දරුවන් දොස්තරලා කරලා අපේ දරුවන් කොන්දොස්තරලා කරණ්නද කියන්නේ?' කියාය.
 කතාවේ ගත යුත්තක්ද ඇත. කිසිදු දොස්තරවරයෙකු තබා හෙදයෙකුවත් තම දරුවා කොන්දොස්තරවරයෙකු කිරීමට අත් පොත් තබාවියැයි කියා ඔබ සිතනවාද !?

මෙවන් තරගකාරී සමාජයක් තුල දරුවාව පරාර්ථකාමී කුලකයක අවයවයක් කිරීමට හිත හදා ගැනීමම ප්‍රශංසනීය ය.
 මන්ද වල් වැදුනු ථූප ගොඩ දාන කල් කරණවා නම් කරණ්න වැඩ ඕනෑ තරම් ලෝකේ රටේ තියෙන බව ඔබගේ පියා ඉන්තීරුවෙන්ම දන්නා බැවිනි.

"අත් වැඩ පර වැඩ සමව සිතන්නේ . . !" කියන්නේ මෙවන් මිනිසුන් පිළිබඳවය.

හැමදාම වගේම තවත් දෙයක් කින්නට ඇත.

මා කිසියම් තැනක ලියා ඇති;
මගේ මතකය නිවැරදිනම් පොළොන්නරුවට බයිසිකලෙන් ගිය ගමන ගැන ලියැවුනු ලිපියේ;  මා ලංකාවේ ගතකොට වඩාත්ම සුනදර සැඳෑවක් තවමත් මතකයේ ඇත! ඒ බසවක්කුළම වැව් කණ්ඩිය මතය යනුවෙන්!
 ඒත් එය ඔබ ගතකල සැඳෑවන් තරම්ම සුන්දර නොවන්නට ඇත.

ගීපොතත් මීවිතත් රැඳුනද සුන්දරියක අවට නොරැඳුන බැවිනි.

අහා! එය මොනතරම් සුන්දර මොහොතක් වන්නට ඇතිද!?

*********************************************************************************************************************************
3.


Friday, March 22, 2019
http://magelokaya01.blogspot.com/2019/03/
යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.

Thattayage KolamaMarch 23, 2019 at 3:47 PM
අහා! සුපිරි !!
මෙන්න කතන්දර!
මම හැමදාම කියනවා වගේ ෆෝ වීල් ඩ්රයිව් එකක් කියන්නේ මොන්ටෙරෝ එකකට නැතිනම් ප්රාඩෝ ඒකකට, නිසාන් පැට්රෝල් එකකටම පමනක් නොවෙයි. BJ40 කුත් හොඳම ෆෝවීල් ඩ්රයිව් එකක්.
අපේ මිනිස්සුන්ගේ පමනක් නොවේ මෙවා වල නිශ්පාදකයින් පවා මිනිස්සුන්ව ගොනාට අන්දලා කියලත් වෙලාවකට හිතෙනවා. මම එහෙම කියන්න හේතුව මට ලියාගන්න පුළුවන් වෙයිද මන්දා. ට්‍රයි කරලා බලන්නම්.

බොහෝ දෙනා වාහනයක් පාවිච්චි කරණ්නේ ඕනමන්ට් එකක් විදියට වගේම ප්රෙස්ටීජ් එකක් විදියට. නැතිනම් ප්රාඩෝ තියෙන උන් ඒක විකුණලා  V8 ලෑන්ඩ් කෲසර් ගන්න එකේ කිසිම තාර්කික බවක් නෑ උන් පා විච්චි කරණ විදියට!
ඇතුලෙ වාඩි වෙලා කොළඹ ශොපින් යන්න මොකටද ඔය තරම් සොෆිස්ටිකේටඩ් වාහන ගන්නේ. නමුත් අපේ එවුන්ගේ (සහ මේ විදියට හිතන පතන වෙනත් රටවලත් ඉන්නා) සීනි බෝල ෆෝ වීල් ලවර්ස්ලාට ගැලපෙන්න එවනවා එකසිය ගානට රගඩ් වාහනයක් තොරොම්බල් කරත්තයක් වගේ සරසලා!
හැබැයි මාව ලඟින්ම ඇසුරු කරණ තෙශාලා වගේ එවුන් මට කියන්නෙත් "උඹේ ෆෝවිල් අර කාගෙද මොකද්ද එක වගේ ප්රයෝජනයක් නෑ!" කියලයි.
ඒකට හේතුව මම මඩ වලවල් හොයා නොයෑම!,
හැකි හැම විටකදීම වාහනයට අවම හානියක් එන ලෙස පැදවීම!!,
අනවශ්ය එක්ස්පරිමන්ට් සඳහා අහිංසක මාගේ දුප්පත් වාහනය නොයෙදීම!!!
වගේ කරුණු කාරණා නිසාය.
ඇත්තෙන්ම මාහට වෝටර් පෲෆ් ඔරලෝසුවක් ලැබුනු පමනින් ඒක බැඳගෙන නාන්න යන පුරුද්දක් මාහට නැත.
එහෙත් ඩයිවින් වොච් එකක් තිබුනොත් කිමිඳීම සඳහා මා භාවිතා කරාවි.
හැකි හැම විටෙක දීම යන්ත්රයේ අවම හැකියාව උපරිමයෙන්ද උපරිම හැකියාව අවමයෙන්ද භාවිතා කිරීම මාගේ ක්රම වේදයයි.
නමුත් ඒ කියන්නේ කොළඹ ඉඳන් ගිය ෆෝ වීල් වාහනේ පැත්තක තියලා තිස්සෙන් බොලේරෝ එකක නැගීලා යාල යනවා වගේ හිඟන වැඩ වලට නම් නොවේ.

කැබිලිත්තේ යන එක ගැන මමත් දෙවරක් හිතන කාරණයක්. එයට හේතුව මා සතු 28ශ්‍රී  අවුරුදු 30 ක් පරණ වාහනය ආපසු ගෙදර ඇවිත් පුණරුත්ථාපනය කරණ්නට යන වියදම දරා ගැනීමට අපහසු වීම.
එහෙත් කිසියම් ජාතික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් යම් කැපවීමක් මැදිහත්වීමක් කරණ්නට ඇවැසි මොහොතක මෙවා යක්කුම තමයි මිණිසුන් විසින් දුකට පත් මිනිසුන්ගේ සුභ සාධනය වෙනුවෙන් පදවන , මෙහෙයවන.

හැබැයි ඒ අර සුදු ටෙනිස් ෂෝර්ට්ස්, යොනෙක්ස් ටීෂර්ට් ඇඳන් සන්ග්ලාස් දාගෙන ගංවතුර කාලෙට, නාය යන කාලෙට එලියට බැහැලා අනතුරට පත් වූවන් භිය ගන්වමින් මුසපත් කරමින් තම තමන්ගේ ෆෝ වීල් ඩ්රයිව් ක්ලබ් වල ප්රොපගැන්ඩා කරණ මීඩියා ෂෝ කාරයෝ විදියට නොවෙයි.
විටක් කාරිය හප හප; පාන් කෑල්ල් කහට එකේ පොඟවන් කාගෙන ගේම ගහන සමාජයේම කොටසක් විදියට!

**********************************************************************************************************************************

http://kadadasikole.blogspot.com/
කඩදාසි කොලේ
https://kadadasikole.blogspot.com/2019/05/213-17.html
4.
මූන අවුල් උනාට හදවත ලස්සන ඇති!

Tuesday, March 26, 2019
210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?

Thattayage KolamaMarch 30, 2019 at 8:02 AM
මට මේ වෙලාවේ මතකයට එන ජගත් පූජිත කතාවක් වේ.
ඒ අනෙකක් නොව "වැළි කතරක අතරමංව" ය!

එහි ප්ලොට් එක මෙසේය. වැළි කතරක අතර මං වූ මිනිසෙක් ගල් ගුහාවකට ගෙවදී. ඒ ආරක්ෂාව පතාය. එහෙත් රාත්‍රියේ එය තුලට පැමිණෙන්නේ එම ස්වභාවික නිවස්නයේ නියම උරුමක්කාරියය. ඒ අන් කිසිවෙකුත් නොව රුදුරු බිළාලයෙකි. (ජගුවරයෙකු වැනි! ) එහෙත් මෙම මෘගයා මිනිසාව කා නොදමයි. අනතුරක් නොකරයි. මන්ද ඇයද ඔහු මෙන්ම වැළිකතරේ අතරමංව හුදෙකලාව විසින් දැඩිලෙස පෙලීමකට පත්ව ඇති
හෙයින්‍ ය.
මෙය අභව්‍ය කතාවක්සේ හැඟෙන්නේ එවන් අවස්ථාවකට පත්වන තුරුය.

මධුළිකා; තීක්ෂණ පිළිඳව මොන තරම් කරුණු දැන ගත්තද, ඔහු පිළිබඳව පැහැදීමක් තිබුනද නැතුව වුවද තම පැවැත්ම වෙනුවෙන් එවන් තීරණයකට එළඹිම අස්වාභාවික කරුණක් නොවන්නේය.
විශේෂයෙන් ආදරය, රැකවරණය වැනි කාරණාවලදී කාන්තාවක් බොහෝවිට තමා මෝඩ වෙමින් බව දැන දැනත් තීන්දු තීරණ වලට එළඹේ. තීක්ෂණ; චාපා සමග ගත කරණ ජීවිතය පිළිබඳව දැන දැන වුවත් මධුළිකා ඔහු හා විවාහ වන්නට තීරණය කරණ්නෙ "ඔහු සමග තමා ආරක්ෂිතය!" යන නිගමනය මතද නොඑසේනම් "ඔහු එයාට එහෙම කලාට මට එහෙම කරණ එකක් නෑ!" , "දැං ඔහොම උනාට බැන්දාම පිරිමි හොඳ වෙනවා!" වැනි ප්‍රපංචයක් මත සිට ගෙන දෝ යි කියා සිතා ගැනීමට මධුලිකා කතා කරණවා මදිය!
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රනිල්ට; මෛත්‍රී සමග ආණ්ඩුව කරණවා හැරුණු විට වෙන යම් විකල්පයක් නැතිවා මෙන්ම මධුළිකාටද ගන්නට වෙනත් තීන්ඳුවක් තීරණයක් නොමැත.
හදා ගන්නට මිනිස්සු ගන්න එක කෙසේ වෙතත් හදා ගන්න වාහන කටු හන්න එක ගැන නම් මා හොඳාකාරවම දනිමි !

එයට සැබෑ ආදරයක් මෙන්ම අවශ්‍යතාවයක් ඇවැසිය!

මමද එවන් ව්‍යාපෘථියකට අත ගාසා සිටිමි. ඒ පිළිබඳව ලියන්නට කල් වැඩිය!

**********************************************************************************************************************************

5.
අධ්‍යක්ෂකට ඕනෑ හැටියට වෙස් ගැන්වූවාට 
 අපි දකින්න කැමති විදියකුත් තියෙනවා !

https://kadadasikole.blogspot.com/2019/04/212-16.html

Tuesday, April 2, 2019
212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

ThattayagekolamaApril 5, 2019 at 4:17 PM
කතාවක් ගමන් කලයුතු මග තීරනය කරණ්නේ කවුරුන්ද?

මෙයට නොයෙක් ආකාරයේ මතවාද ඉදිරිපත්වේවි. නමුත් පිළිගත් මතය වන්නේ එය කතෘ සතු අයිතිවාසිකමක් ලෙසටයි.
ඔව් අයිතිවාසිකම ඔහු හෝ ඇය සතුයි. එයට කිසිවෙකුට අභියෝග කල නොහැකියි. එහෙත් වගකීම, යුතුකම සදාචාරය කියන දෙයින් ඔහුට හෝ ඇයට ගැලවීමට නොහැකියි.

ඒ අනුව ගත් කල කතා වක ගමන් මග තීරණය කිරීමේ අයිතිවාසි කමක් පාඨකයින් හටද යම් පමනකට හිමි වේ. මන්ද ඔවුන් කතාවක් පසු පස ලුහුබඳින්නේ හෝ ගමන් කරණ්නේ දිනෙන් දින එම ගමන් මග තම තමන්ගේ සිත් සතන් වලට ගැලපෙන අයුරකින් පෙල ගැසෙන නිසාමමයි.

කතෘ විසින් පාඨකයින්ගේ කල්පිත කතාව, ගමන් මග කිසියම් අපගමනයකට ලක් කොට වෙනයම් මගකට තම කතාව නො එසේනම් නිර්මානය ගෙන යන්නේ නම් එය පාඨකයින්ගේ විශ්වසණීයත්වයට, හැඟීම් දැනීම් වලට හානි නොවන අයුරින් ඉටු කිරීමේ සදාචාරාත්මක වගකීමක් ඔහුට හෝ ඇයට ඇත.

ඔබ නරඹා තිබේද රාජේෂ් ඛණ්නා හා ශර්මිලා තාගෝර් රඟන "ආරාධනා" චිත්‍ර පටය. ශර්මිලා තාගෝර් දුම්රියක ගමන් ගනිමින් කවුළුවකින් පිටත නරඹමින් සිටියි. රාජේශ් ඛණ්නා විවෘථ ජීප් රියක නැගී ගමන් කරයි.

චිත්‍රපටය ඇරඹෙන්නේ දුම් රියෙ හුමාල පිස්ටනයට හාර්මනයිස් වෙන්නට එස් ඩී බර්මන් ගේ විචිත්‍ර තනුවකට "මෙරෙ සපුනෙකි . . .//" ගීතය ගයමිනි.
එතනින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුල රෝපණය කරණ සුන්දර ප්‍රේමයක බිජුවට ඵල දරණ්නේ උතුරු ඉන්දියාවේ හිමෙන් වැසීගිය කඳු පාමුල "කොර කාගස්තා යෙ මන් මෙරා. .//" ගීතය ගැයීමත් සමගය.


LyricsTranslation
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it
Soona aangan tha jeevan meraMy life was like an empty courtyard
Bas gaya pyar is mein teraYour love has now settled in it


Toot na jaye sapne main darta hoonI fear that my dreams might break
Nis din sapno mein dekha karta hoonI see you everyday in my dreams
Toot na jaye sapne main darta hoonI fear that my dreams might break
Nis din sapno mein dekha karta hoonI see you everyday in my dreams
Naina kajrare, matware yeh ishareThese kohl filled eyes, these intoxicating glances


Khali darpan tha yeh man meraMy heart was like an empty mirror
Rach gaya roop is mein teraIn which your beauty has manifested
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Chain ganvaya maine nindiya ganvayiI lost my peace and my sleep
Sari sari raat jaagun doon main duhaaiAll night long, I stay up praying
Chain ganvaya maine nindiya ganvayiI lost my peace and my sleep
Sari sari raat jaagun doon main duhaaiAll night long, I stay up praying
Kahoon kya main aage, neha laage, jee na laageWhat else can I say, I'm in love


Koi dushman tha yeh man meraMy heart was like an enemy
Ban gaya meet jaake teraIt became a friend to you
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it


Baaghon mein phoolon ke khilne se pehleBefore flowers bloom in the gardens
Tere mere naino ke milne se pehleBefore our eyes saw each other
Baaghon mein phoolon ke khilne se pehleBefore flowers bloom in the gardens
Tere mere naino ke milne se pehleBefore our eyes saw each other
Kahan thi yeh baatein, mulaqatein, aisi raateinThese talks, meetings, nights were not there


Toota taara tha yeh man meraMy heart was like a broken star
Ban gaya chand hoke teraIt became your moon
Kora kagaz tha yeh man meraMy heart was like a blank paper
Likh liya naam ispe teraI wrote your name on it

ඉන් පසු ප්‍රෙක්ෂකයාහට නුරාව දනවන්නේ "රූපුසෙරා මස්ථානා . .//" සමගය . (මට මේ ගීත ඇසෙනා හටි විනා මා දන්න අණ්ඩර හිංදියක් නොමැත)

මෙසේ ප්‍රෙක්ෂකයා රාජේෂ් හා ශර්මිලා සමග මුළු හදවතින්ම ප්‍රේමයේ සුන්දර ස්වප්නයක ගිලී කිමිදී සිටිනා විට අධ්‍යක්ෂක අර ප්‍රේමණීය තරුණයාව අත්තනෝමතික ලෙස මරා දමයි!
කෙල්ලව මහ මගට ඇද දමයි!
කතාව ඔහුගේ බැවින් කිසිවෙකු ඔහුට අභියෝග නොකරණ බව සැබෑය. එහෙත් එතෙක් ප්‍රේමයෙන් මුසපත්ව ඔහුගේ සැලෝලයිඩ් ප්‍රේමයේ සුන්දරතා රසවිඳි ප්‍රේක්ෂකයින් බලා පොරොත්තු වන්නේ මෙවන් අකල් මරණයක්ද?

එය පෝය දාට සිල්ගත් උවැසි උවැසියනට අනිත්‍යය මෙනෙහි කරණ්නට පංසලක් පංසලක් ගානේ පෙන්වීමට නිපදවූ "අංගිලිමාල","සිරි පතුල", "අජාසත්ත" මොඩලයේ චිත්‍ර පටයක් නම් එහි අභිමතාර්ථයන් නිවැරදිව අඩු නැතිව ඉෂ්ඨ සිද්ධ වී ඇත.

ඔබ දන්නවා නොවෙද බිත්තියක පෝස්ටරයක රූමත් යුවතියක් නෝසේනම් තරුණයකු දුටු විට ඔහුගේ හො ඇයගේ ආකර්ශණීය රූපය විනාශ වන අයුරින් එක් දතක් කළු කිරීම, කණ්නාදි කූට්ටමක් පැළඳ වීම, දෙනෙතේ කළු ඉංගිරියාව ඉරා ඉවත්කිරීම වැනි කටයුතු කරණ අප අතර සිටින අසාමාන්‍ය පුද්ගලයින් හට මානසික අභාධයක් තිබෙන බව?

මෙම චිත්‍ර පටයේ අධ්‍යක්ෂක වරයාද එවන්ම මනෝ භාවයකින් සිටිනට ඇතැයි මා විශ්වාස කරමි. මේ කියන්නේ "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" හෙවත් "අපි හැමෝම මඥ්ඥං" කියන එක නම් නොවෙයි. ඊට වඩා බරපතල තත්වයක්!

ඔබ දන්නවාද විජය කුමාරතුංග හට වෙඩි තබන්නට පැමිනි එක් අයෙකු විජේට වෙඩි තබද්දී අනෙකා මුරගා ඇත්තේ "මූනටම තියපං !" කියාය.
මේ සියල්ලෝම "ආරාධනා" පොරවල්ය!

මේ නයින් ගත් කල මදුළිකාව හිමිවිය යුත්තේ කාහටදැයි තීරණය කිරීමේ සාධාරන අයිතියක් මෙය කියවන් දනන් හටද යම් පමනකට ඇති බව කතු තුමියට යම් පමණකට හෝ තේරුම් යනවා ඇතැයි මා සිතමි.

"කවුරු කීවත් ඒක එහෙම තමයි!" කියා මුරණ්ඩු වන්නට ඔබට අයිතියක් ඇත.
එහෙත් එසේ මුරණ්ඩුව චරිත මෙහෙයවමින් ලියන කතාව ලිවිය යුත්තේ පිටු 160 මොනිටර් ඇක්සයිස් පොතක විනා සයිබර් අවකාශයේ නොවන බව මා යෝජනා කරමි! මන්ද මධුළිකා, තීක්ෂණ, විරංග මෙය කියවන අපි විසින් බෙදා වෙනස් කරගෙන හමාර බැවින්ය!

මේ ආන්ඩුවට ඡන්දෙ දුන් අය හොරු අල්ලා හිරේ විලංගුවේ දමා යුක්තිය ඉෂ්ඨ සිද්ධ කරණා තුරු බලා හිටියා මෙන්ම මධුළිකාට සාධාරණයක් සිදුවෙන අයුරු අප අවධානයෙන් සින්නෙමු.
ඒ වගේම මේ කන කට්ටේ හටියට තීක්ෂණටද සාධාරණයක් ඉටුකර දීමට ඔබගේ මැදිහත්වීම අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!

මෙය ප්‍රථික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඔබට ඇත. මෙය විවාදයට සංවාදයට, විසංවාදයට විවෘථය! තතු දත්තෝ මා නිවැරදි කරත්වා!

ලිඛිතාApril 7, 2019 at 8:19 AM
කතාවක ගලායාමට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර බලපාන්නේ සයිබර් අවකාශයේ වෙන්නත් ඇති. එතැනදී මම ඔබේ තර්ජනය පිලිගන්නවා. මොකද මම මේ කතාව ලියා තබාගෙන කොටසින් කොටස නොදාන කෙනෙක් නිසා. නමුත් කතාවක් ලියා අවසන් කල කෙනෙක්ට නම් මේ තර්ජනය වලංගු නොවෙන්නත් පුලුවන් නේද?

සමහර වෙලාවට මගේ කලින් ලියපු කතාවක්වත් බැරිවෙලා කියෝලාද මන්දා මෙහෙම හිතුනේ.

ඔබ කියන විදියට , කරුමෙට වගේ ඔය කියන චිත්‍රපටයේ මංගල දර්ශනය කෙලින්ම ප්‍රේක්ෂකයාට ලබාදුන්නා නම්, අන්තිම කොටස වගේ යනකොට මිනිස්සු හෝල් එක දෙක කරලා ඩිරෙක්ටර්ට පිහියෙනුත් අනින්න තිබ්බා. ඔව් ඒකනේ ෆිල්ම් එකේ ගැම්ම එක අතකට.

අනිත් එක, එහෙම ඛේදවාචකයක් උනේ නැතුව කොහොමද හිට් වෙන්නෙ? දැන් බලන්න " ඒක් පූල් දෝ මාලි" එකේ ඒ අංකල් අරෙහෙම අතුරුදහන් උනේ නැතිනම් අර වගේ හොටු පෙරෙන අවසානයක් දීලා මිනිස්සු ටික ගෙදර යවන්න බෑනෙ!

කන කට්ටේ හැටියට නම් මොකක් හරි දෙයක් තීක්ෂණට ඉතුරු කරන්න බලන්නම්. රට යන විදියට නොගිහින් කොහොමද ?

දැනටමත් විරංගට අසාධාරණයක් කලොත් අඟල් දෙකක් විතර බස්සන්න බලාගෙන ගීතිකා ඉන්නවා. තට්ට මහතා තීක්ෂණව ඉස්සර කරගෙන පිටිපස්සෙන් අර කියාපු තුවක්කුවක් මානගෙන. අනේ ඉතින් මම කොහොමද මේක ලියන්නේ?

බොහොම ස්තූතියි දීර්ඝ කොමෙන්ට් එකට. තව ලියන්න දේවල් ඇත. පරිස්සමෙන් කියෙව්වාටත් ස්තූතියි

6.
ඇය ඔහුගේ ආදරය පිළිගත්තානම් චිත්‍රපටිය තැනෙන්නේ නැත!

ThattayagekolamaApril 7, 2019 at 8:39 AM
මම මෙතනදි අදහස් කරණ්නේ නෑ සෑම ප්‍රේම කතාවක්ම සතුටු දයක අවසානයක් තියෙන්න ඕන කියලා.

"බඹරු ඇවිත්" චිත්‍රපටයේ මතු පිටින් දිවෙන ආදර කතාව බිඳ වැටීමට තුඩුදෙන ප්‍රභල ගැඹුරු සමාජ යතාර්ඨයක් යටි පෙල ලෙස දිවෙනවා!
"මධුමතී" චිත්‍රපටයේ වියෝව කතාව තුල තිබුනා. "වසන්තේ දවසක්" චිත්‍ර පටයේ වෙන්වීම හදිසියේ ඔබ්බන ලද එකක් ලෙස දැනෙන්නේ නෑ.

 ආතර් කොනන ඩොයිල්ගේ රුදුරු බලුව පොතේ බැස්කර්විල්මහතා ප්‍රේම කරණ්නේ ඔහුගේම සතුරාගේ බිරිඳට බව දැන ගත්තාට කිසිදු පාඨකයෙක් සරම
කැහැපොට ගසාගෙන ආ පුවතක් මෙහේ නොවේ එඟලන්තයේ වත් අසා නෑ.
ඒ එරට සරම් නැති නිසා නොව ඔවුන්ගේ ප්‍රේමයට වඩා ප්‍රභල කතාවක් සමාන්තරව දිවෙන බැවින්.

ඔබටත් ප්‍රේමය එසේ තුනී කරන්නට බරි කමක් නෑ!

**********************************************************************************************************************************

7.
මෙන්න බුවා! ඔරිජිනල්ම රාත්තල!

Sunday, May 5, 2019
213. සුහදිනියේ - 17 | ඔත්තුකරුවන් පසුපස ; විශ්වාස කරන්නේ කවුරුන්ද?

ThattayagekolamaMay 6, 2019 at 8:40 AM
අපි බෲස්ලිගේ එන්ටර් ද ඩ්‍රැගන් බලා එලියට පැමිණියේ බෲස් ලී සේ ඇවිද ගෙනය. අපේ හොඳ වෙලාව්ට මොකෙකුවත් අපි සමග ගේමට පමිණියේ නැත. මන්ද අපේ සිරුර තුල වූයේ සටන් කාමී බෲස් ලී බැවිණි.
වරෙක නවලිය පුවත් පතට ලිපියක් ලියමින් එක් චිත්‍ර පට විචාරකයෙකු පැවසූවේ "ළඟදීම ස්වර්ණා මල්ලව ආරච්චි අපට අමතක වේ" යන අදහසය.
ඔහු එය වඩාත් විස්තර කලේ ප්‍රථිභා පූර්ණ නළුවකු හෝ නිළියක විසින් තිරය මත රේඛනය කරණු ලබන චරිතය විසින්; ප්‍රේක්ෂකයා හට එම නළුවාව හෝ නිළියව අමතක කරණු ලබන බවයි!
මේ සියළු කතා මැද මා හට මා අමතකව ගොසිණි. මන්ද මා තීක්ෂණ තුලට ආරෝපණය වී ඇති නිසාය.

හිරුට හොරෙන් නළලත මත සිත්තම් කල හාදුවේ සිතුවම !



ලිඛිතා May 6, 2019 at 5:34 PM
චරිතයක් විසින් එබඳු බලපෑමක් කරන බව නම් ඇත්තක්. මොකද මේ වෙනකොට මට මෙතෙක් නිහඬව සිටින මධුලිකා මහත් පීඩනයක් එල්ලකර හමාරයි.
බලන ෆිල්ම් නම් සෑහෙන තරමකට මටත්මානසිකව බලපානවා. Frozen බලලා ඇතිවෙච්ච කම්පනයට මම සතියක් තිස්සේ විදෝලා අන්තිමට මෙන්න මේ සටහන ලියල තමයි හිත නිදහස් කරගත්තේ. හි හි... Zootophia බලලා වෙච්ච දේ ඊටත් එහා!

මේ කතාවේ සියුම් තැන් කියෝන පාඨකයින් සිටින එක මට ධෛර්යයක්. ඔබත් එයින් කෙනෙක්. කතාවේ ගුණය පවත්වාගෙන යන්නට මමත් ඒ නිසා යම් තරමකට උත්සහයක් ගන්නවා. ස්තුතියි මේ දිරිගැන්වීමට!

8.

Thattayagekolama May 6, 2019 at 9:23 pm
චිත්‍රපට කෙසේවෙතත් කියවපු පොත් වල නම් එහෙම්; මැවුණු චිත්ත රූප සිතට වද දුන් අවස්ථා ඇත.
එයින් වඩාත්ම සංඝට්ඨනයන ලක්වූ චරිතය ජැක් ෂේප ගේ "ෂේන්" පොතේ එන ෂෙන් චරිතයයි.
"ඔහු ආවේය! තම යුතුකම ඉටු කලේය!! නැවත ගියේය!!!"

ඇයි ඔහු ගියේ. ඔහුට එහිම නවතින්න තුබුනා නොවැ!? මගේ සිත මගෙන් නිඹඳවම ඇසූ පැනය විය.
ෂෙන් පැමිණ්නේ අහම්බයක් ලෙසිණි. ඔහු වෙතින් මරා දැමෙන්නේ නගරයේ දුෂ්ඨතම අධමයාවය.
ඔහු මුදා ගන්නේ කුඩා දරුවෙකු සහිත කුඩා ආදරණීය පවුලක් පමණක් නොව මුළු මහත් පලාතකි. ඒ නරකෙනි.

අවසන කුඩා දරුවා ෂේන්ව නවතා ගැනීමට කෑගසයි.

"ෂේන්! . . යන්න එපා . . ! නවතින්න ෂේන් . . .‍යන්න එපා! . ආයෙත් එන්න ෂේන් . . .!!!"

එහෙත් ෂේන් ආපසු නොබලාම මිටියාවතෙන් පිටව යයි.

එය ඉතා දුක්බර වෙන් වීමක්; දැන් මතක් වන විට පවා.. !

මේ ගැන කලකට පෙර හැලපයා විසින් ලියා තිබුනා.

https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/04/blog-post_27.html

හැලපයා විසින් එහි අවසන් කොමෙන්ටුවට එක්කල පිළිතුරේ ලස්සන කතාවක් කියා තිබුනා;
" චිත්‍රපටය හමුවෙලත් බැලුවේ නෑ; හිතේ තියෙන චිත්ත රූප මැකේවිය කියලා !"
මේක සිරාම කථාවක්.
"වන සරණ" ටෙලිය බලලා මට උනේ ඔය අපරාදෙමයි.
ඒවගේම දෙයක් උනා පියවි ඇසින් මඩොල් දූව බලන්න ගිය දා !

**********************************************************************************************************************************
https://worldofaru.blogspot.com/
අරුගේ ලෝකය- World of Aru
සිත ලිහමි . . . ලිහන සිත ලියමි . . . . .
9.


ඔහු තුල ඈ කොතැනද?

May 12, 2019
https://worldofaru.blogspot.com/2019/05/blog-post.html
මොහමඩ් නුඹට . . . . . . .

Thattayagekolama  May19,2019

මා හිතන විදියට මේක හුදෙක් ෆාතිමාලට පමනක්ම පොදු කාරණාවක් නොවේ.
ඔබ නොසිතුවාට මෙය මීට වඩා තීව්‍ර වෙන්නේ තහනම් සඹඳතා වලදී.
(මම වඩාත් පරිස්සම් වෙනවා "තහනම් ආදරය" කියන වචන පෙල නො යොදවන්න!)
මෙවන් සඹඳතා වලදී බොහෝ විට ගැහැනිය එය තහනම් ආදරයක් යැයි සිතූවත් බොහෝ පිරිමින් හට එය තහනම් සඹඳතාවයක් විනා තහනම් ආදරයක් නොවන්නේය.

 එක් වරක් දෙවරක් රස වින්ද පසු ඇය; තවත් එක හපා ඉවත ලූ උක් හපයක් පමණක් බව ගැහැණිය මොහොතකට හෝ සිතන්නේ නැත.

ඒ අතීතය තවත් ටික කලකින් අරක්කු බෝතලයක් හිස් කරණ තැනෙක එක් ප්‍රවාදයකට; තම වීරත්වය දක්වන පුරාවෘථයක් පමණක් වෙනවා.

ගැහැනිය ලිස්ට් එකේ තවත් එක් අංකයක් පමණයි!

 නමුත් පවතින තත්වය යටතේ, මේ වාතාවරණය තුල මෙය කියවන කොට දුක්ඛ දායක මිහිරියාවක් හිතට කාන්දු වෙන එක නවත්වන්නට බෑ.

කොහොමත් ඔවුන් වඩා ලෙන්ගතු හා වැඩි මූලිකත්වයක් දෙන්නේ තම ජාතියට මිසක පුද්ගල ප්‍රේමයට නොවන බව පෙනෙනවා. මට හමුවෙලා තියෙනවා සමහර පිරිමින්; පළමු දරු ප්‍රසූතියේදී තම බිරිඳ විඳි දුක වේදනාව නිසාම තවත් දරුවකු නොපතන!

 මෙතනදී බොහෝ මොහමඩ් ලා ඉන්නේ ඊට බොහෝ පහලින්.

**********************************************************************************************************************************
10.
Admiral Nagumo's fleet unleashed 
the Mitsubishi A6M Zero fighters and bombers on the attack
 on Colombo on 5 April 1942.

https://hattorvittor.blogspot.com/
B&W
Black & White eka (බැරි වැඩ) 
https://hattorvittor.blogspot.com/2019/05/1942-and-whaaaat.html

Saturday, May 11, 2019
හැට්ටර්ගේ ඉතිහාස කතා - පාස්කු and whaaaa...t 1942 ?

ThattayagekolamaMay 12, 2019 at 10:47 AM
හැට්ටර් මහතානෙනි.
මීට කලකට පෙර මා මිට්සුබිෂි වෙළෙඳ නාමය හා ගැවසී ගත් රැකියාවක නියෙලුනෙමි.

එකල අපේ කොම්පැණියට අළුතින් එන එවුන්ට "අපි' ගැන පොර ටෝක් දෙන්න මටත් ඉඩ කඩක් සෙට් වෙනවාය.
එතෙනදී ඔය ඊස්ටර් සන්ඩේ කථාන්දරය කියලා ඒ ආවෙත් "මිට්සුබිෂි අහස් යානා මහත් වරුණි!" කියා කියන පුරුද්දක් තිබුනි.
කොහොම උනත් වැඩේ ඇත්තය.
තව සීන් එකක්. ජපන් අහස් යාත්රා ටික මුලින්ම දැකලා තියෙන්නෙ ඔය කියන කැනෙඩියන් ගුවන් නියමුවා. උන්නැහැ මීට අවුරුදු 10 ක් ඇතුලත ආයෙත් ලංකාවට ඇවිත් කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගිහින් තියෙනවා. මොකද ඒ කාලෙත් උන්නහැ ඉඳලා තියෙන්නේ කොග්ගලමයි. කොග්ගලෙන් අහසට ගිය යානෙකින් තමයි ඔය ජපන්නු සෙට් එක දැකලා තියෙන්නේ.
 හොඳ වෙලාවට උන්නැහැ දැකලා තියෙන්නේ. ඒවගේම උන්නැහැ කියපු ගමන් මහ පොලොවෙ පය ගහලා හිටපු එවුනුයි අහසේ හිටපු එවුනුයි ගේමට සෙට් වෙලා තියෙන්නේ.
අපෙයි උන්නැහැගෙයි හැමෝගෙම හොඳ වෙලාවට හේමසිරි ප්රනාන්දු ගොයියා ඔය සීන් එකේ ඉඳලා නෑ!

හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි May 12, 2019 at 6:42 PM
අපේ තට්ට සෑර්ට කියන්ඩ, ඔයින් එක මිට්සුබිෂියක් අකුරෙගොඩ වැවට කඩන් වැටුන කියල පරණ කතාවක් තිබ්බනේ.
මට මතක විදියට දෙදාහේ විතර කාලේ කෝමහරි අකුරේගොඩ කස්ටියක් ප්ලේන් එකේ ඇන්ජිම වැවේ පතුලේ තිබිල ගොඩට අරන් තියෙනවා.
හැබැයි ඒ ගෝලයන්ගේ මොලේ පිහිටලා තිබිල තියෙන්නේ වැරදි තැනක. උන් ඇන්ජිම මස් කොරල ඇලුමිනියම් බරට විකුණලා. සම්ප් එකේ යස අගේට ඔයිලුත් තිබ්බ කියල තමා මට කිව්වේ. ඒක දැනගත්ත දවස තමයි ජීවිතේටම මිනීමස් කන්ඩ හිතුන එකම දවස.

ඔයවගේ තව කේස් එකක් තිබ්බ ඕස්ට්රේලියාවේ. එහෙ ජප්පෝ රජකරපු කාලේ ගෙනිච්ච ඩෝසරයක් පරදිනකොට මූදට දාල ගොහින් තියෙනවා. බොහොම පස්සේ කාලේ ජප්පෝ ඒක තමන්ගේ රටට ගෙනිහින් රීකොන්ඩිශන් කොරල හිටන් තියාගෙන ඉන්නවා. ජප්පගේ ඒ කාලේ කඩ්ඩ ඉතිං හැට්ටර්ලගේ වගේම තමයි. අකුරක් අඩුවෙන් Komatu කියල තමයි කාස්ටින් එක ගහලා තියෙන්නේ.

ජයවේවා!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...