Sunday, April 21, 2019

134. ඇත්තටම මේක මහ පුදුම රටක් . . . !




උදේ වැඩට ආවේ මරණවා වගේ.
 ඉරිදානේ.
ඇමතුමක් කැන්ගරු දේශෙන් වසිකගෙන්

"තාත්ති මොනවා හරි බෝම්බ සීන් එකක්ද?"

"කවුද කියන්නේ?"

"මට මාලිංග කිව්වේ!" මාලිංග වසිකගේ පාසැලේ මිත්‍රයෙක්. දැනට ඉන්නේ ඉන්දියාවේ.

"ඉන්න මම බලන්නම්!"මේ උදේ 9.45 ට

විස්තරේ ගොඩින් දැනගත්තේ කොච්චිකඩේ පල්ලියටයි කටානෙ පල්ලියකටයි බෝම්බ ගහලා කියලා."අනේ දෙයියනේ මේවාට සිංහල බෞද්ධයන් ගෑවිලා ද?" මම මගෙන්ම අසා ගත්තා. කවුද අපෙ මිත්‍රයින් ඉන්නේ පාස්කු දවසේ පල්ලි යන?
රිද්මිකා ඩෙප්!?

9.47 ගත්තා ඇමතුම් දෙකක් රිද්මිකාට! ම්හු!

9.48. ගත්තා ගෙදරට ඇමතුමක්!

"මොකක්!? ආරංචියක් නෑ නෙ!"

"මම රිද්මිකාට ගත්තා! කිසිම ආරංචියක් නෑ!"

"එයා උඩවලව ගිහින්!"

"බලන්න අපි දන්න අයට කරදරයක්ද කියලා !"

9.48 වසික යලිත් අමතා ලොකු විස්තරයක් කියනවා.

9.49 මුදිතට ගත්තා. ඌත් කිතුණුවෙක්. උගේ වචනෙන්ම කියනවා නම් ඌ මගේ බොක්කක්!

ඌටත් අවුලක් නෑ. ඌ දන්නේත් මං කිව්වාම.

"මචං මුදියා උඹට මතකද අපි වෙන්නප්පුවේ පැත්තේ බීච් එකේ කෑම්පින් කරණකොට අපිට මාර සපෝර්ට් එකක් දුන්නු ඒ පැත්තේ 'අයියා" කෙනෙක් හිටියා. අනේ උගේ නම මතක නෑ බං! ඌ හිටියාද දන්නේ නෑ කටානෙ?"

"මචං ශාන්ත නේද? මට මේ ළඟදිත් මතක් උනා!"

9.53 අපගෙ ආයතනයේ වයිබර් ජාලයට මා පුවත මුද හැරියෙමි. "කොච්චිකඩේ පල්ලියේ බෝම්බයක් පුපුරා ගොසින්!"

10.10 ඊට පිළිතුරු ලෙස අපගේ ආයතන ජාලයේ කළමණාකාර අධ්යක්ෂක බෝම්බ පිපිරීම් සියල්ල ගැන විස්තරයක් බෙදා හදා ගෙන තිබුනි.

10.13 මා එයට පිළිතුරක් ලියමින් "ලේ දන්දීමේ කඳවුරක් පවත්වමු!"

10.19 මේ අතර ගත්තා වෙන්නප්පුවේ ශාන්ත අයියාට! ප්‍රථිචාරයක් නොමැත!

10.23 කළමණාකාර අධ්‍යක්ෂක තුමා අනුමැතිය ලැබෙමින්.

මේවන විට ගිලන් රථ විලප දෙමින් මාර්ගයේ ගමන් ඇරඹී තිබුනි.

මම පහතට දිව ගියෙමි. "රුෂාන් මල්ලී ගනිං කෝල් එකක් Blood Bank එකට!" රුෂාන්  ලේ බැංකුව දූරකථනයෙන් සම්බන්ධ කර දුන්නේය.

10.31 " හෙලෝ ඔය Blood Bank එකද? අපිට පිරිස ඉන්නවා. ලේ අවශ්‍යනම්."

"ලේ වල අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් අපිට එවන්න පිරිසක් නැහැ. මෙහාට ඇවිත් දෙන්න පුළුවන්නම් වටිනවා. O Negative අය ඉන්නවාද?"

"ඔව් මම O Negative! මම දැන්මම එන්නම්!"

10.33 "හෙලෝ අපි Blood Bank එකෙන් කතා කරණ්නේ! ඔයාද කතා කරලා ලේ දෙන්න පුළුවන් කිව්වේ? අපිට ලේ ඕනෑ. දැන්මම එන්න!"

"මල්ලි රුෂාන් මට දෙතුන් දෙනෙක් සෙට් කරලා දියං! මම යනවා Blood Bank!!

10.37 "තාත්තී ඔයා හොඳින්ද?"
"ඔව් දුවේ අවුලක් නෑ! ස්තූතියි!!"

10.38 යලිත් ලේ බැංකුවෙන් ඇමතුමක්!

10.41 "හෙලෝ සර්! මම අපෙන් තුන් දෙනෙක් අරණ් යනවා Blood Bank එකට!"මා අපගේ ආයතන ප්‍රධානිව දැනුවත් කලෙමි.

"හරි ඔයා යන්න! මම බලන්නම් අපිට මොනවාද තව කරණ්න පුළුවන් කියලා!"

10.50 ලොරි පොඩ්ඩා හිටියත් නැග්ගේ ත්‍රී වීල් එකක අපේම එකෙක්ගේ. මමයි, නලීනුයි, හුස්නියි, සෆ් රාසුයි පිටත් උනා. සප්පා ත්‍රී වීල් එක එලෙව්වේ විදුලි වේගෙන්.

"යකෝ ඔහොම යන්න එපා! දෙන්න තියෙන ලේ ටික වතුර වෙයි!" ඒ මම

"හිමිං යමං පොඩි එකෙක් ඉන්නවා!" හුස්නි.

"උඹේ බඩේද?" සප්පා

11.00 වෙන කොට අපි එතන. කොලටික පුරෝලා දොස්තර නෝනා ප්‍රශණ අහලා ඉවර වෙලා ඇඳට නගින කොට හරියටම 11.30.
අපි තුන් හතර දෙනා විතරයි! ඒ හින්දා සටස් ගාලා වැඩේ පටන් ගැනුනා!
මේ වෙන කොට මුහුණු පොතෙන් ඉල්ලා සිටීම් ගොඩක්!

"මීගමුවට ලේ ඕනෑ"

"අපි උදෙත් යැව්වා! මේ දැනුත් යවනවා!

11.36 ඇඳෙ ඉන්න මට කෝල් එකක්. අප්පට සිරි! කුච්චවේලිවල අමීර්ගෙන්! "මහ්ත්තයා හොඳින් නේද?" 

"අවුලක් නෑ අමීර්!"

"හරි දෙවි පිහිටයි!"


"දෙවි පිහිටයි!"


මම ඇස්දෙක පියාන මගේ මැරුණු අම්මයි තාත්තයි මතක් කරගත්තා හැමදාම ලේ දෙන කොට කරණවා වාගේ. එතැන් සිට හිතින් හිතාගත්තා මේ ලේ ලබන කෙනා සුවපත් වෙන්න කියලා!

"හරි" නර්ස් නෝනා මිහිරි හඬින් කියනවා ඇහුනේ හීනෙන් වගේ.

"අමාරුවක් නෑ නේද?"

"මුදල් අමාරුව විතරයි මිස්!" මම විහිළුවක් කලා.

"එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්න!"

මම වාඩි වෙන්න ගියා.

මොහොතකින් ලේ බැංකුවට එන පාර දිගේ එකා දෙන්නා එන්න පටන් ගත්තා. විනාඩි 10ක් 15ක් යනකොට මෙන්න:





ටික වෙලාවකින් මෙන්න අපේ ලොක්කා වයිබර් පණිවිඩයක් ගුවන් ගත කරලා!
"ලේ දන්දෙන අය ලේ බැකුව වෙත පැමිණීමෙන් වළකින්න! 
මන්ද අවශ්‍ය තරම් ලේ ලැබී ඇත - අද දෙරණ"

ඉතින් මේක පුදුම රටක් නොවේද?

(වසිකට යැව්වා මම ඇඳේ ඉන්න පිංතූරෙ! ඒකට ඌ පිළිතුරක් එවලා! ඒ ඇති මුළු ජීවිතේටම!)

"Great Thaaththi !"


22 comments:

  1. ලංකාව ලස්සන රටක්. ඒ ලස්සනට හේතුව ලස්සන හදවත් තියන ඔබ වැනි පුද්ගලයින්. බෝම්බ ගසා හෝ වෙඩි තබා හෝ ඒ ලස්සන නැති කිරීමට කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයා මම නම් එක්කෙනෙක්! අපි පිට ඉඳන් මේ කරණ දේවල්. තව කොයිතරම් සුන්දර මිනිසුන් ඉන්නවාද මිනිසත් බවින් පිරිපුන්! ඇත්තටම මට කියන්න ඕන උනේ අපි කල දේ කියන්න නොවෙයි. අපි ලේ බංකුවට ගිය වෙලාවෙයි "මීගමුවට ලේ ඕනෑ!" කියලා ෆේස් බුක් දාලා තිබුනෙ. විනාඩි 20 - 30 යන කොට "ලේ එපෝ!" කියන්න ලේ එකතු උනා! ඇත්තටම මේක මහ පුදුම රටක්!

      Delete
  2. උතුම් වැඩක් අයියේ....
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි මේ වෙලාවේ ඔබ වැනි රෝහල් කාර්‍යය මණ්ඩලයේ අය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒ අය තිරෙණ් පිටුපස සිට කරණ මෙහෙය අතිවිශිෂ්ඨයි! ඒ ගැන කොහිවත් නොලිය වෙන එක ගැන සත්තකින්ම හරිම කනගාටුයි!

      Delete
  3. උඹලා ලේ දෙනවා ජීවිත ගොඩගන්න. අනික් පැත්තෙං නිරපරාදේ හැලිච්ච ලේ මස් ගොඩවල් පිටිං හූරනවා මයික්, කැමරා සවල්වලිං පැයෙං පැය විකුණන්න. හෙට අනිද්දාට ලොකු වැඩක් තියෙයි පණ බේරිච්ච පොඩි එවුංගෙ අනාගතේ ගොඩනගන්න. රටක මනුස්සකං බෝම්බ හත අටකට පුපුරවන්නට පුළුවන්නං මෙලහකට ලංකාවක් නැත. බොලාට මගේ උත්තමාචාරය.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මීට වඩා දස දහස් ගනනක් කපවීම් කල අය කොතෙක් නම් වෙත්ද?

      Delete
  4. තැන්කිව් සර්! ජයෙන් ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ස්තූතියි!!

      Delete
  5. ස්තූතියි ඔබට. ඒවාගේ උතුම් කාර්්‍යයක් කරන්න B+ තිබිලත් ඇත්තෙන්ම දුක්වෙනවා මාහට ලේ දෙන්න බැරි නිසා. (කලකට පෙර සෑදුන හෙපටයිටිස් රෝගය නිසා මිසක් එඩ්ස් හැදිලා නොවෙයි)

    ReplyDelete
    Replies
    1. ඇති හැකි විදියට! තව කොච්චරනම් දේවල් කරණ්න තියේද?
      ඒක නෙවෙයි ඊළඟ "කළු ගඟ" පෝස්ට් එකට ඔයාට කමිට බර දාලා ලියන්න තියෙනවා! අද නැත්නම් හෙට දාන්නම් . බලන්න! ස්තූතියි!

      Delete
  6. ඔබ කළ ක්‍රියාව ඉහලින්ම අගය කරනවා.
    ඒ වගේමෙ ඒ අවස්ථාවෙ ඔබ වගේම තමංගෙ රුධිරය පූජා කළ, කරන්නට බලාපොරොත්තුවෙන් සිටි සැමට මාගේ උත්තමාචාරය.

    ReplyDelete
  7. අපි නම් ලේ ටිකක් විතරයි. ජීවිත පූජාවෙන් කටයුතු කල පොලිස් නිළධරයින්? රෝහල් කාර්‍යය මණ්ඩල සේවක සේවිකාවන්, ත්‍රිවිධ හමුදා? ඔය වගේ තව කොච්චරනම් "මිනිස්සු" ඇතිද? ඔවුනුයි මේ ඔබලාගේ ගරුත්වයට පාත්‍ර විය යුත්තේ!

    ReplyDelete
  8. බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  9. බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  10. And the struggle for the Iron Throne begins.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...