Monday, September 10, 2018

110. බස් . . .Buzz . . . . !

බණ්ඩාරනායක බෙන්ස් !

අද අප බොහෝ සැහැල්ලුවෙන් කතා කොට අමතක කොට දැමූවද 1956 බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමග මේ රට තුල සිදුවූ ධනාත්මක වෙනස් වීම් කිහිපයක්ද වේ.  ප්රවාහණ ක්ෂෙත්රයේ සිදුවූ දැවැන්ත පෙරළිය ඉන් එකක් සේ පෙන්වා දිය හැක. එතෙක් කොප්ම්ප්රදෝරු ධනපති ව්යාපාරිකයින් කිහිපදෙනෙකු අත තිබුණු මගී ප්රවාහණය විධිමත් ක්රමවේදයකට සකස් වූයේ ඉන් පසුවය. මාගේසැම්සන්හාවිල්සන්පෝස්ටුවේ හාතාත්තානොම්මර ….1(ii)” පෝස්ටු වල ලියා ඇති පරිදි ඉතා අවිධිමත් ලෙස පැවති මගී ප්රවාහන ජාවාරම සේවයක් බවට හැරුණේ1956 න් පසුවය. බස් ජන සතුවෙන් පසු ප්‍රථම බස් රථය පදවගෙන යන ලෙස බණ්ඩාරනායක මහතා ගෙන් අදාල ඇමතිවරයා හෝ නිළධරයා ආරාධනා කල විට ඔහු පවසා ඇත්තේ තමාට "බස් ලයිසන්" නැති වගය! දැන් වගේ "ගලි බව්සරයක්" වුවද විවෘත කිරීමට යන මාදිළියේ දෙශ පාලුවන් එකල සිට නැත. 

අද සත දහයට විකිණුනද?

ලංකා ගමනා ගමන මණ්ඩලය බිහිවන්නේ මෙහි ප්රතිඵලයක් ලෙසය. මෙනිසාම එම බස් බෞතීස්ම ලැබූවේ ලංගම බස් ලෙසය.
මීට කලකට පෙර පුද්ගලික බස් රථයක් ලංගම බසයක් හරස් කොට ලංගම රියැදුරාහට බැන වදින්නත් තර්ජනය කරණ්නත් විය. සියල්ල අසා සිටි වයසක පහේ ලංගම රියැදුරා පැවසුවේ
මල්ලි උඹව ලැබෙන්න උඹගෙ අම්ම ඉස්පිරිතාලෙට යන්න ඇත්තෙත් ලංගම බස්සෙකක මිසක් ප්රවිවෙට් එකක නෙවේ කියන එක මතක තියාගං …!” කියාය.
මෙම ප්රකාශය මගේ කන වැකෙත්ම එය නිකම්ම නික වාග් ප්රහාරයකට වඩා එහා ගිය ගැඹුරකින් යුත් ප්රකාශයක් බව මා හට පසක් උනේ මා අසල සිටි නන්නාඳුනන අනෙක් මගියා මා දෙස බලා එම ප්රාශය අනුමත කරණ්නාසේ හිස සැලීමත් සමගය !
බුදුන් දවස ලක්දිව ලංගමය පැවතුනි නම් එදා පඨාචාරාවට බුදුරජුන් වදාලන්නේ කිසිවෙකු නොමල ගෙයකින් අබැටක් ගෙන එන්න කියා නොව "ලංගම බසයකට ගොඩ නොවුනු කෙනෙක් සිටිනා ගෙදරකින් ලුනු අහුරක් ගෙන එන" ලෙසය.!



කොහොමද ගැම්ම ?

ලංගම බිහි කිරීමේ දී ගුරු කොට ගෙන ඇත්තේ එවකට ලන්ඩන් ප්රවාහන ආයතනයේ සංයුතියය. ආනුභාවයෙන් ලද ඩබල් ඩෙකර් බස් රථ එකල කොළඹ නගරයේ සුලභ දසුනක් විය.එකල අග නගරය දැක්වෙන බොහෝ පින්තූරයක ඩබල් ඩෙකරයක් විරාජමානව වැඩ සිටිනු දක්නට ලැබුනේය. එය නුවර පෙරහැරේ ඡායාරූපයක මංගල හස්ථියා සිටිනු දක්නට ලැබෙනවා වැනි සුලභ දසුනක් විය.නුවර ඇත්තෝ ආඩම්බර නොවෙත්වා! එකල මා වෙත තිබූ; ලිප්ටන් වට රවුම අසල පැරණි පල්ලිය හෝ ඔසු හල ගොඩනැගිල්ල පසු බිමේ තිබුනු පින්තූර කාඩ් පතකද ඩබල් ඩෙකරයක් දක්නට ලැබුණු බව අද මෙන් මතකය. ඩබල් ඩෙකර් හා ලිප්ටන් වට රවුම සම්බන්ධ වූ ජනප්රවාදයක් එකල පැවතුනි. එය සැකවින් මෙසේය. ඩබල් ඩෙකර් බස් පැමිණි මුල් සන්දියේ යූනියන් පෙදෙස දෙසින් පැමිණි බසයක් ලිප්ටන් වට රවුමෙන් හැරවීමට යාමේදී එය පසෙකට ඇල වීම පිළිබඳව ඩිපෝවට පැමිණිළි කලේලු. එවිට එහි සිටි කිසියම් යුරෝපීය ඉංජිනේරුවරයෙක් එම වටය උපරිම වේගයකින් පදවා පෙන්වා ඇති අතර දේශීය රියෙදුරෙක් තමාගේ වාරයේදී එම වේගයෙන්ම පදවා පෙන්වා ඇත. කතාවේ සත් අසත් භාවය කෙසේ වෙතත් ; සේවා,  නඩත්තු හෝ අළුත්වැඩියා කටයුතු සදහා ඩබල් ඩෙකර් රථ සාමාන් බස් රථ මෙන් ඉහලට ඔසවන්නේ නැති බව මා අසා ඇත. වෙනුවට සිදු කරණ්නේ පසෙකට ඇලකිරීමය. ඩබ්ලිව් එල් වයිට්ලිගේ "නූතන භෞතික විද්යාවපොතට අනුව ඩබල් ඩෙකරයක් සැළකිය යුතු කෝණයකින් ඇල කිරීමට හැකියාවක් පවතී. එයට ප්රධාන හේතුව වන්නේ එහි ගුරුත්ව කේන්ද්රය ඉතා පහල මට්ටමක පැවතීමයි.එය ස්ථානගතවී ඇත්තේ රථයේ රේඩියේටර්යේ වසුන, පියන හෙවත් මූඩිය මට්ටමේ . ගුරුත්ව කේන්ද්රය හරහා පොලොවට ලම්භකව වස්තුවක බර ක්රියා කරයි. වස්තුවක් පෙරලීයාමට එති අවශ්යතාවය වන්නේ ඇල වීම අමග ඉවතට හැරෙණ බර ක්රියා කරණ රේඛාව වස්තුවේ අධාරකයෙන් ඔබ්බට යෑමයි. මේ නිසාම වස්තුවක් වඩාත් ස්ථායි වීම සඳහා අවශ්යතාවය විය යුත්තේ ගුරුත්ව කේන්ද්රය වඩාත් පොලොවට ආසන්නව සකසා ගැනීම හා / හෝ අධාරකය වඩාත් පුළුල් කිරීමය. ඩබල් ඩෙකරයේ මේ උපක්රම දෙකම මොනවට උපයෝගී කර ගෙන ඇත.

ස්ව්භාවයේ පවතින ඕනෑම වස්තුවක් වඩා ස්ථායි වන්නේ ගුරුත්ව කේන්ද්‍රය පොලොවට ආසන්න වූ විටය. එසේම සෑම වස්තුවක්ම උත්සුක වන්නේ, උනන්දුවන්නේ,කැමති වන්නේ ගුරුත්ව කෙන්ද්‍රය පොලොවට හැකි පමන ආසන්නයේ පවත්වා ගන්නටය. (සෑම "වස්තුවක්ම" මේ ආකාරයෙන් පොලොවේ පය ගහලා සිටීනම් එය කොයි තරම් අගනේ ද?අපේ ආච්චිලා සමහර ගෑනු ලමයි පිළිබඳව විස්තර කරද්දී "ඔය උඩැක්කිය යන්නෙ එන්නෙ පොලොවට අඟල් හයක් උඩින්! බලමුකෝ මොකද වෙන්නේ කියලා!!" යැයි පවසන්නේ ගුරුත්ව කේන්දරය ගැන සිතා විය යුතුය. මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ නාභිය අසලය. "අයිකිඩෝ" සටන් කලාව (කාටත් දන්නා විදියට කියනවා නම් ස්ටීවන් සීගල්ගේ සටන් කලාවේදී) ප්‍රථිවාදියා නවතා ලන්නේ ඔහුගේ නාභිය අසලින්ය! එවිට ඔහුගේම වේගය නැතහොත් ගම්යතාවය මගින් නාභිය අසල නවතුම් ලක්ශය හරහා ඝූර්ණයක් නොහොත් කර කැවීමකට භාජනය වේ! බොරුනම් ඇනෝපිලිස්ගෙන් අසා දැන ගත හැක!!!) 



 ප්‍රයිවෙට් බස් වල ක්න්දොස්තර මල්ලිලා මගීන් දන ගස්සන හැටි .
අයිකිදෝ පොඩ්ඩකුත් ඇඟට දාගෙනම කියවමු !

එම පොතේ 68 - 69 පිටු වල මේ කථාන්දරය මෙසේ ලියැවී ඇත. පුළුල් ආධාරකය පාදයක් ද පහත් ගුරුත්ව කේන්ද්‍රයක් ද ඇති විට ස්ථායි සමතුලිතතාව ගෙන දෙන බව ඉහත සඳහන් කරුණු වලින් පැහදිලිවේ. බස් රථ වැනි වාහන වල මෙ වැන්නක් අවශ්‍ය වේ. බස් රථයක්පැත්තට පෙරැළෙන්නට පෙර එය සෑහෙන කෝණයකින් ඇල කළ හැකි දැයි පරීක්ෂා කොට බලනු ලැබෙ. පරීක්ෂණයේ දී ඉහළ තට්ටුවේ ගෙන යන මඟීන්ගේ මුළු බරට සමාන බරක් ඉහළ තට්ටුවේ තබනු ලැබේ. පහළ තට්ටුවේ බර නොතබනු ලැබේ.බස් රථයක් ඇල වී පැත්තට පෙරැළී වැටීමේ විවිධ අවස්ථා 62 වැනි රූපයේ දැක්වේ.ගුරුත්ව කේන්ද්‍රය පහත් වූ තරමට බස් රථයට අනතුරක් නො වී ඇල වී සිටිය හැකි යි. මක්නිසා ද යත් ගුරුත්ව කේන්ද්‍රය ඉහළ ම ස්ථානයට නඟින්නේ බස් රථය සෑහෙන කෝණයකින් ඇල වූවාට පසු ව හෙයිනි.


මේ; ලංගමට සිදුවූ අභග්ගය නොව බසයක් පෙරළීමේදී එහි ගුරුත්ව කේන්ද්‍රය ඒ සමග විචලනය වීමත් එහි බර ක්‍රියා කරණ ආකාරයත් දැක්වෙන රූප සටහනකි!
( හරහට වැතිර වම් පස කියවන්න!)

මේ ගැන අපට භෞතික විද්යාවභෞතික කලාවලෙස සුන්දරව පිළිගැන්වූ ; කෝපාග්නියෙන් දැවුනු විට කලු ලෑලි සුනු විසුනු කල උපනන්ද සේනාරත්න ගුරු තාත්තා  (ගුරු පියාණන් යන්න මේ වන විට ලොං හැලී ගිය පද ද්විත්වයකි !) ; පීකර ගස් බැද බෙල්ලේ ඔතා ගත් මයික් වලින් නොව ; ශිෂ් ශිෂ්යාවන් දහසක් ගාල කරවූ නුගේගොඩ රොටරි ශාලාවේ තම කට හඬින් උගැන්වූ අයුරු මතකය.
තමුන්නාන්සෙලා ඩබල් ඩෙකර් බස් එකකට නැගලා උඩ තට්ටුවට ගිහින් ඒකෙ හිට ගෙන යන්නට උත්සාහ කරත් දී කොන්දස්තර තැන පහලට එලවන්නට හේතුව දැන් පැහැදිලිද ? අදාල ප්රමාණයට වඩා මගීන් ප්රමාණයක් උඩ තට්ටුවට ගොඩ වූ විට ඉහල තට්ටුව මත ක්රියා කරණ බර වැඩි වීමෙන් ගුරුත්ව කේන්ද්රය ඉහලට ගමන් කරණවා! සමග රියැදුරාට රථයේ ස්ථායිතාවය ඇති වී ගිය බව දැනෙනවා. මට මතකයි රියැදුරු මහත්වරු වෙලාවට කෑගහනවා උඩ හිටගෙන ඉන්න  අය පහලට ගන්න කියලා !” මේවා ඇසෙනවා ඇසෙනවා වාගේය.
 ලංගමේ කථාව යන දුර නේද ?

ආණ්ඩු පෙරලනවාටත් වඩා අමාරු බස් පෙරලිල්ල !

ඩබල් ඩෙකර් කතාවෙන් ඉවතට තල්ලු වීමට පෙර තව තාක්ෂණික කරුණු කිහිපයක් ලියා දමන්නම්. එකල ඩබල් ඩෙකර් සමන්විත වූයේ එපිසයික්ලික් පන්නයේ ගියර් පෙට්ටියකි. ඒවායේ ගියර මරු වූයේ ගියර පෙට්ටියේ වූ බ්රේක් බෑන්ඩ් තද කිරීමෙන්. මෙය සිදු කලේ සම්පීඩිත වායුවෙනි. මෙම වායු සම්පීඩනය සදහා වෙන මම වායු සම්පීඩකයක් ; තේරෙණ භාෂාවෙන් කියනවා නම් එයාර් කම්ප්රෙෂරයක්  පැවතුනි. රියැදුරා විසින් ගියරය මාරු කිරීම ලීවරයකින් සිදු කලද එම ක්රියාවට අදාල ගියරයට ගියර පෙට්ටියේ ගියර සැකසීම සිදු කලේ පෙරකී සම්පීඩිත වායුව අදාල බ්රේක් බෑන්ඩ් එකමත යොමු කිරීමෙන්. එය සිදු කලේ ක්ලච් පාදිකය පෑගීමෙන්. කොටින්ම ක්ලච් එක පාගා ගියර දමනවා වෙනුවට සිදුකල යුතුව තිබුනේ ගියරය දමා ක්ලච් එක පෑගීමටය. මේ නිසාම ඉදිරියට ධාවනය වන විට පසු ධාවන ගියරය හෙවත් රිවර්ස් ගියරයට උවද ලීවරය මාරු කොට තැබිය හැකි බව; මෙම වර්ගයේ බසයක් ධාවනය කොට තිබූ මංගලදාස් ලක්ෂ්මන් පෙරේරා  මහට දිනක් පැවසීය මෙම එපිසයික්ලික් ගියර පෙට්ටි වලට ක්ලච් ප්ලේට් නොතිබුනි. ඒවාට තිබුනේ ටෝක් කන්වේටරයක් .කොටින්ම අද ඔබත් මමත් දකින ඔටෝ ගියර පෙට්ටියේ මීමුත්තා මෙම ගියර පෙට්ටියය!


ලියනවාට වඩා මෙහෙම පෙන්වන එක ලේසියි! 
මේ ඩෙකර් ගියර් පෙට්ටියේ දියුනු අවස්ථාව.


ලංගම පෝස්ටුව ඩෙකර් පෝස්ටුවක් වී අවසානයේ භෞතික විද්‍යා පාඩමක් වූ අපූරුව...නැවතත් සුපුරුදු වැඩසටහනට.....!

එකල බස් රියැදුරු මහතෙකු ඩෙකර් රථයක් පැදවුවහොත් දිනක වේථනයට රුපියලක් එකතු වෙනබව පැවසේ. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ අනිල් මුණසිංහ යුගයයි.

 https://en.wikipedia.org/wiki/Anil_Moonesinghe එකල එතුමා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව;  සාමාන්‍ය මගියෙකු ලෙස බස් රථ වලට ගොඩ වැදී ගමන් කිරීමේ සිරිතක් එතුමාට තිබී ඇත. බොහෝ විට ඔහු බස් රථ වලට ගොඩ වදින බස් නැවතුම වී ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගනය අසලින් බව මා අසා ඇත.ඒ බස් වල කට මට්ටං සෙනග පිරෙණ හවස් යාමය; එනම් රාත්‍රිය ඔන්න මෙන්න තියෙන පස්වරු 5.30 - 6.00 යාමයේදීය. වරක් සභාපති තුමාගෙන් සල්ලි රැගෙන ටිකට් නොදී සල්ලි මාටියා ගහන ලද කොන්දොස්තර වරයෙකු පරධාන කාර්‍යාලයට කැඳවා අවවාද කල බවක්ද ප්‍රචලිතය. එකල මහනුවර කුරුණැගල වැනි ඩිපෝ වල ඉතාලියෙන් ගෙන්වන ලද FIAT දොර දෙකේ බස් රථ ධාවනය විය. එම බස් රථ ගෙන්වන ලද කාලයේ සභාපතිව සිටි අනිල් මුණසිංහ මහතාහට එම ආයතනයෙන් ලබා දුන් අත යට කොමිස් මුදල වෙනුවෙන් තනිදොරේ FIAT OM බස් රථ ගෙන්වා දුෂ්කර පලාත්වල යොදවන ලදී. අවිස්සාවේල්ල ඩිපෝවෙන් ක්‍රියාත්මක වූ  නූරිය, දැරණියගල, ගෝනගමුව වැනි දුෂ්කර පලාත්වල මගී ප්‍රවාහනය සඳහා මේ බස් රථ යෙදවුනි.

එකල කඳුකර සේවය සඳහා යෙදවුනේ Mercedes Benz  ජර්මානු බස් රථය. මුලින්ම LP 312 මොඩලයේ බස් චැසි භාවිතා කල අතර ඉන්පසු යෙදවූ LP 911 හා LP1113 මොඩලයන්ය.වාර්තාගත සේවයක් ඉටු කල හැටන්, නාවලපිටිය, බදුල්ල බණ්ඩාරවෙල වැනි ඩිපෝ වල සේවයෙ යෙදුනු මෙම බස් රථ; මගී ප්‍රවාහණ ඉතිහාසයේ විප්ලවීය සංධිස්ථානයක් සනිටුහන් කලේ ය. හැටන් ඩිපෝවෙන් ක්‍රියාත්මක වූ ලංකාවේ එකම "ඩ" අක්ෂරයෙන් පටන් ගන්නා ගම විය හැකි ඩයගම - කොළඹ සීඝ්‍රගාමී බස් සේවාව සඳහා යෙදවුනේ 23ශ්‍රී 2444 දරණ මර්සිඩීස් බෙන්ස් රථය විය. සෑම දිනෙකම විනාඩි 5 ක කාල වෙනසක් මත නියමිත වේලාවට දිවුනු එම බස් රථය මත පිහිටා බිත්ති ඔරලෝසුවේ වෙලාව තබනු මා සියැසින් දැක ඇත.මෙයට කලකට පෙර හැටන් ඩිපෝවේ ස්වර්ණමය යුගය ගැන පලවු සවිස්තර ලිපියක එකල එහි සිටි ඩිපෝ ඉංජිනේරු වරයාගේ සේවය පසසා තිබුනි. පහත රට ප්‍රදේශ වල ධාවනය වූයේ එංගලන්තයෙන් ආනයනය කල Leyland Comet  බස් ය.


අප පාසල් ගියේ ලංගම බස් වලිනි. සීසන් ටිකට් එකක් ගත් පසු මුලු මාසෙම පාසල් ගිය ගැම්මක් සිතට දැනේ.එම බස් රථවල ඉදිරිපස දොරටුව තිබුනේ ඉදිරිපස රෝදයට පසුපසිනි.මෙම දොරටුවත් ඉදිරිපස වීදුරුවත් අතර බැටරි පෙට්ටිය සවිකොට තිබුනි. බසයේ සීට් එකක සුවපහසුව වාඩිවී යනවාට වඩා ආශ්වාදයක් මෙය මත වාඩිවීයන විට දැනේ, එහි ඉඳ ගෙන යන්නට ලැබෙන්නේ රියැදුරාගේ හෝ කොන්දොස්තරගේ කිට්ටු හිතෛශී අයෙකුට පමනි. එය වරප්‍රසාදයකි.එය මත වාඩි ගෙන රියැදුරා සමග කයිවාරුවකට සහ සම්බන්ධ වෙන අය හැරී බසයේ අනෙකුත් අවශේෂ මගීන් දෙස බලන්නේ ආඩම්බරයෙනි.


එකල බස් රියැදුරුට හා කොන්දස්තර වරයාහට නියමිත කාකි කමිසයක් තිබුනි. රැවුල මුළුමනින්ම මුඩු කිරීම හෝ උඩු රැවුල හැරුණු විට වෙනත් මල් කැටයම් තහනම් විය, කොන්ඩයට පවා ප්‍රමිතියක් තිබුනි.බස් රථයේ සීනුව එක් නැවතුමක නැවතීම සඳහා ඇදිය යුත්තේ එක් වරක් පමණක් බව මගීන් දැන සිටියහ. මගීන් බසයෙන් බිමට බැස අවසන් වූ පසු හෝ ගොඩවූ පසු සීනුව ඒ බව රියදුරු හට කොන්දොස්තර විසින් දැනුම් දෙන්නේ ආසන්න්යේ නාදකල සීනු හඬ දෙකකිනි. කිසියම් කාල පරාසයක් තබා සීනු හඬ තුනක් නාද කලහොත් ඉන් අදහස් කලේ නොනවත්වා ධාවනය කල හැකි හෝ / යුතු බවයි. බසයක් නැවැත්වූයේ බස් නැවතුමක පමණි. මගියකු හට බසයෙන් බැසීමට හෝ නැගීමට බස් නැවතුම අසලට බසය එනතෙක් සිටුය යුතු විය. සාමාන්‍ය මගීන් රියැදුරු හා කොන්දොස්තර ඇමතූවේ අගට උන්නැහැ යන ගෞරවාන්විත පදය එක්කරමිනි.අද එය තාමත් යාන්තමින් හෝ භුක්ති විඳින්නේ "බාසුන්නැහැ"ලා පමණි.සෑම බසයක්ම ධාවනය වූවේ නියමිත කාල සටහනකටය.ඒවා පාලනය සඳහා බස් නැවතුල් පොල වල වෙනමම නිළධරයෙකු සිටියේය.ජන වහරේ ඔහුට කීවේ ටයිං කීපර් (Time Keeper) කියාය. 

දුර ධාවනය වූ බස් රථ වල වහලයේ පසුපසට වන්නට ගමන් බඩු ගෙනයාමට රාක්කයක් නොහොත් Hood Rack එකක් සවිකොට තිබුනි. කොළඹ සිට දුර පලාත් වලට මාළු ගෙන ගියේ බසයේ පසුපස එල්ලාය. යටියන්තොටට මාළු ගෙනාවේ තලංගම ඩිපෝවෙන් මස්කෙළිය බලා ධාවනය වූ බසයේය. බසය යටියන්තොට නගරයට සම්ප්‍රාප්ත වූ සැනින් ටවුමේ මාළු ලෑල්ල පමනක් නොව "බජාර්" එකම "රන්" කල "මාළු පොඩ්ඩේ" හෝ ඔහුගේ අයියා වන "ලොක්කේ" තම ගෝල බාලයින් මෙහෙයවා මාළු පෙට්ටිය බා ගන්නා අයුරු මට අදමෙන් මතකය.
එකල තලංගම, මට්ටක්කුලිය, මීතොටමුල්ල හා මහනුවර, කුරුණැගල ඩිපෝවල ධාවනය වුවේ ඉසූසූ රථය. අමතරව ඇඹිලිපිටිය වැනි තවත් ඩිපෝ වලට ඉසූසූ රථ අනුයුක්ත කොට තිබුනි. ජර්මානු බෙන්ස් රථ වල වසන් කාලය සනිටුහන් වෙද්දී ඒ තැන ගත්තේ TATA Benz ය. ඒකාලේ ටාටා ලකුණ වටේ දෙපැත්තකින් තිබුනු වී කරල් දෙකට ඉහලින් TATA යනුවෙන්ද යටින් BENZයනුවෙන්ද ලියැවී තිබුනි. පසුව බෙන්ස් ගේ තැන අහිමිවී එතැනට Engineering  යොදා තිබුනි.



ටාටා බස් ලංකාවට හඳුන්වාදුන් කාලයේ සිදුවූ සිදුවීමක මතකයක් ඇත. මේ පිළිබඳව මා ඉදිරියේ කරුනු දැනගත් දිනෙක  එයින් මෙය පෝෂණය කරණ පොරොන්දුව මත මතක මාත්‍රය පමනක් ලියා තබන්නම්. හැටන් ඩිපෝවේ සිටි බොහෝ අදවිතීය රියැදුරණ් වූ ඩයගම බස් රියේ සිරිසේන, බගවන්තලාව - කතරගම බසය පැදවූ; දුනු කඩන බැවින් "දුනු රාජා" නම් අනවර්ථ නාමයෙන් හැඳින්වූ රාජපක්ෂ, ඉතිහාසයේ පළමුවතාවට ඩයගමට දොර දෙකේ බස් රියක් ගෙන ගිය;  හැටන් හා කොළඹ අතර ධාවනය සඳහා නිර්දේශිත කාලය වන පැය 4 1/2 පැය 3 1/2 කින්  අවසන් කල ලක්ෂ්මන්; කණ්නාඩි ජිනදාස වැනි චරිත අතර කිතුල්ගල ගම් පලාත කර ගත්   ප්‍රේමදාස නම් නිහඬ මිනිසෙකු සිටියේය. ඔහු ප්‍රසිද්ධ වූයේ ඒ නිහඬ බවට පමනක් නොව ඔහුට තිබුණු අධික "කිතිය" නිසාය. කිසිවෙකු ඔහුගේ ඉලපතට ඇඟිල්ලකින් ඇන්න විට කියවෙන සාරගර්භ දේශණය නිසාම ඔහුගේ අනවර්ථ නාමය වූයේ "හුකා පේමේ"ය. ඔහු ගේ බස් රියට වැරදීමකින් හෝ කොළඹ යන්නට කිසිවෙකු ගොඩවුවීමට කලින් බත් ගෙඩි දෙකක් හා ලබු කැටයකට වතුරද සූදානම් කර ගත යුතු විය. මන්ද ඔහු එතරම්ම "වේගයක්" පවත්වාගෙන යන බැවිනි. අභිනවයෙන් හැටන්ඩිපෝවට ගොඩ බෑ ටාටා බස් රියක් ඔහුටද ලැබුනු අතර ඔහු සිරිත් පරිදි කොළඹ යන්නටත් හැටන් යන්නටත් පටන් ගත්තේය. කාලය ගෙවී ගියේය. ඔහුගේ බස් රිය සමග ගෙන ආ අනෙකුත් බස් රථ වල එන්ජින් සම්පූර්ණ අලුත්වැඩියාවන් සඳහා ගැලවුනුමුත් පේමෙගේ බස් රිය කිසිදු නඩත්තුවකින් තොරව ධාවනයේය. (මාගේ මතකය හරස් වන්නේ මෙවිටය.) එන්ජින් නිෂ්පාදකයා විසින් නිර්දේශිත දුර ප්‍රමානය මෙන් දෙගුණයක දුරක් හෝ කිලොඅමීටර ලක්ෂයක වැඩිපුර ඔහු ධාවනය කොට තිබුනි! ඔහු එයට ඉන්දියාවෙන් සම්මානයට පාත්‍ර විය!! මෙහි සැබෑම විස්තර පසුව ලියන්නම්.                                           


සමාජමය වශයෙන්ඉහල තැනෙක සිටි බොහෝ ලංගම රියැදුරෙකු හෝ කොන්දොස්තර වරයෙකු විවාහ දිවියට එළඹුනේ ගුරුවරියක සමගිනි. එවන් ඉහල පිළිගැනීමක් ඔවුනට විය.1970 දී පත්වන සමගි පෙරමුණ ආණ්ඩුව මැයි දිනය සඳහා ලංගම බස් රථ මුදා හැරීම මගින් එම සේවකයින් හා ආයතනය වෙත තිබුනු සමාජමය ගරුත්වයට හානි පමිනුනා යැයි මාහට සිතේ.සේවකයින් හට කෙසේ වෙතත් බස් රථ වලට තරමක  අලාභ හානි සිදුවිය. ඉන් පසු බලයට පත් එක්සත් ජාතික පක්ෂය ලංගමය පවත්වාගෙන ගියේ ඔවුන්ගේ දේශපාලන උදව්කරුවන්හට රැකියා සපයන ස්ථානයක් ලෙසය. ලංගමේ බසය ඇනයකට එකා ගානේ සේවකයින් සිටිති යන්න සාමාන්‍ය ව්‍යවහාරයට ආවේ මේ සමගය. 1977 පත්වූ නව රජයෙන් නැවත මගී ප්‍රවාහනයට පුද්ගලික අංශයද සම්බන්ධ කර ගත්තේය.ඒ සමග පාරට වැටුනු ඉසූසු ජර්නි, මිට්සුබිශි ෆුසෝ හා රෝසා,නිසාන් සිවිලියන්, යූ ඩී නිසාන්, ටොයෝටා කෝස්ටර් බස් සමග තරග වැදීමට තරම් ශක්තියක් ලංගමයට නොමැති වුවද එකල සිටි ලංගමයට කැපවුනු රියැදුරණ් හැකි උපරිමයෙන් කරට කර සටනක් දුන්නෝය.ස්වභාවික මරණයකට පත්වනතෙක් කිසිදු නඩත්තුවකින් තොරව පැවතුනු ලංගම ඩිපෝ වල සමහර බස් රථ ධාවනයෙන් ඉවත් කොට තිබුනේ රුපියල් දෙතුන්සීයකින් ගොඩ දා ගත හැකි මට්ටමේ ආපදා වලට ලක් වීමේ හේතුවෙනි. එකල "ගර්හිත" බස් රථ වෙන්දේසියද ජයටම කෙරීගෙන ගියේය. දින දෙකකට පෙර වෙන්දේසියෙන් කුණු කොල්ලේට ඇදගෙන ආ බස් රථය තවත් දින දෙකකින් පුවක් මලක් ගසා ගෙන කතරගම ගිය අවස්ථා බොහෝ ඇත.
එතැන් පටන් පත්වූ සැම රජයක්ම පාහේ ලංගමය පිටුපෑවූය.පසුගිය කාලය පුරාවට ප්‍රමාණාත්මක වැඩිදියුනු කිරීම් වලට මුදල් යෙදවූවා මිස ලංගමයට ආදරයෙන් එය රැක  ගැනීමට කල මෙහෙයක් නොමැත.
අදවන විට පුද්ගලික බස් සමග සටන් වදින්නට සුදුසු තාක්ෂණයක් මෙන්ම තරුණ ලේ ලංගමට නැවත් ලැබී ඇත. එහෙත් එම නව පරම්පරාව සමග ලංගමයේ එතෙක් පැවති ජීව ගුණය බොහෝ සෙයින් පිරිහී ගොසිනි.මීට බොහෝ කලකට පෙර බස් රථ වල පසුපස ලියැවුනු වැකියක් විය. එයින් අසා තිබුනේ "බස් රියැදුරණ් හොඳ රියැදුරණ් වෙති! ඔබත් එසේද ?" කියාය. විලිලැජ්ජා නැතිකමේද සීමාවක් තිබිය යුතු නිසාදෝ දැන් එම වාක්‍යය දක්නට නොලැබේ. එකල හොඳම රියැදුරණ් සිටින්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ යැයි පිළිගැනීමක් විය. එකල බව්සර් රියැදුරණ් ලභා ගත්තේ ලංගමය හරහාය. අද ඒ රියැදුරණ් කොහිද?
1978 වන විට එය ලොව විශාලතම මගී බස් සේවාව විය.එකල එය සතු බස් රථ ප්‍රමානය 7000 ඉක්මවූ අතර 50000 සේවක සංඛ්‍යවක් එයට අන්ථර්ගත විය.මා කථාකරණ ලංගමේ ස්වර්ණමය යුගයේදී  ගමනා ගමන මණ්ඩලය මගින් ගුවන්විදුලියෙන්  ප්‍රචාරය කල "චාරිකා" නම් වැඩ සටහනක් විය. වරෙක එහි නිවේදකයා ප්‍රකාශකල අන්දමට එක් දිනක තුල මුළු මහත් ලංකාව තුල ලංගමය මගින් ධාවනය කරණ මුළු දුර ප්‍රමාණය පෘථිවියේ සිට හඳට ඇති දුර ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වේ. ගණිතය දත්තෝ ගනන් හදා වරදක් වේ නම් නිවැරදි කරණු මැන!(මේ සියල්ල මා ලියන්නේ මාගේ  මතකය තුලින් බැව් අවධාරණය කරණ්න!) 

මෙය ලියන මොහොතේ අන්තර් ජාලයෙන් ලබා ගත් දත්ත ඔබගේ හිත සුව පිණිස මා මෙහි බහා ලන්නම්.


http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=175&Itemid=114&lang=en

මෙම ලින්කුවෙන් දක්වන ප්‍රවාහන අමාත්‍යංශයේ දත්ත වලට දැක්වෙන පරිදි දිනකට ලංගමයෙන් දිවෙන සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 12,24408 කි (12,24408 km).


https://www.space.com/18145-how-far-is-the-moon.htmlලින්කුව සෝදිසි කල විට පෘථිවියේ සිට සඳට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 363104 (363104km) කි.


1224408 / 363104 =3.37 කි.

ලංගමට අපි සැලකුවා මදි නේද?



Bus Driver's are Good Drivers! Are You? 
ලංගම පෞද්ගලික සදාතනික ගැටුම

62 comments:

  1. ලන්ගම බස් එකෙ බැටරි පෙට්ටියෙ ඉදගෙන ස්කොලෙ ගිය අන්තිම පරපුර අපි වෙන්න ඇති. කතාව නම් සහතික ඇත්ත. අපි ලන්ගමට සැලකුවා මදි.

    ReplyDelete
    Replies
    1. මහේෂ් මහත්තයා. ඇත්තටම ඒක සුන්දර අතීතයක්. කොහොමත් ලංගම බස් එකකට නැග්ගාම අපිට අපේ ලඟ නෑයෙකුගේ වාහනයකට නැගපු බවක් දැනුනා. ඔය බැටරි පෙට්ටිය උඩ ගමන ගැන මහාචාර්‍ය සරත් විජේසූරිය මහත්තයාගේ "මගේ නඩුව ඉවරයි!" පොතේ තැනක ලියවිලා තිබුනා. සරත් මහත්තයට දිගින් දිගටම විනේ කටින මහාචාර්‍ය ජයවර්ධන සොයා ඔහුගේ ගම් පලාතට සරත් මහත්තයා ගිහින් මහාචාර්‍ය ජයවර්ධන ගැන ගැමියෙකුගෙන් ඇසූ විට ඔවුන් එතුමාව හඳුන්වන්නේ "ආ . . අර බැට්ටි පෙට්ටිය උඩ වාඩි වෙලා යන මහත්තයා . . . !" ලෙසය. තවත් සුපිරිම තැනක් තිබුනා. ඒ රියැදුරු අසුනට පිටුපස හරහට සවිකොට තිබූ ඇළුමීනියම් පොල්ල මත! එතකොට බස් එක අපි පදවන ගැම්මක් හිතට ආවා! සුන්දර අතීතයක්! සත්තකින්ම!! ඔව් අපි ලංගමට බෙහෙවින් අකාරණික වී ඇත!

      Delete
    2. ඔව් ඔව් මටත් මතකයි. එතන ඉන්දන් ඩ්‍රියිවර් මහත්තය දාන වැඩ කිඩ බලාගෙන යනකොට සුපිරි තමයි.
      අනිත් කාරනේ ඉස්සර හිටිය ලන්ගම රියදුරන් සිග්නල් ලයිට් දානවට අමතරව තමන්ගෙ දකුණු අත වීදුවෙන් එලියට දාලා සිග්නල් එකක් දෙන්න තරම් කාරුණික උනා.අපේ ගමේ බස් එකෙත් හිටියෙ ගමේම 2ක්. ගමේ මිනිස්සු බස් එකට කොච්චර නම් ගෞරව කරාද. කොන්දොස්තර මහත්තයා තමන්ගෙ නෝනා බස් එකෙ ගියත් ටිකට් කැඩුවා. එ තරම් විනයක් තිබ්බා.

      Delete
    3. ඇත්තටම ගමට ආගිය නෙවේ ගම හරහා ගිය බස් එකක් හරි ආපදාවකට ලක් උනාම එතනට මුළුගමම එකතු උනා. කවදාවත් ඒවායෙ සේවය කල අය තනි උනේ නැහැ. අළුත් අවුරුද්දට ඒ අයට හැම ගෙදරින්ම උපරිම සැළකිලි!තව කොච්චර නම් කථාද?

      Delete
    4. ඇත්තටම මේක සුපිරි මාතෘකාවක් වගේම සුපිරි පෝස්ටුවක්. ස්තුති අපේ මතකය අවදි කරාට.
      දැන් ඉන්න ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා එක්ක බලද්දි ඒ මිනිස්සු දෙවිවරු.

      Delete
    5. එකඟයි එකසිය ගානටම!

      Delete
  2. ඇත්තටම අපි ලංගමට සැලකුවා හොඳටම මදිය.

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ටෙක ලියන්න ගන්න පටන් ගත්තු වෙලාවෙ වගෙ නෙවේ ලියාගෙන යන කොට ඒක ඉතාම හැඟීම් බර උනා. අපිව ඉස්ස්කෝලෙ එක්කගෙන ගිය රියැදුරු මහතුන් වගේම ඒ බසුත් තාම මතකයි. මම ඉස්ස්කෝලෙ ආ ගිය තනිදොරේ මර්සිඩීස් බෙන්ස් 911 බස් එක තවත් බොහෝ කාලෙකට පස්සේ හිඹුටාන පුරහල දුවනවා දැක්කා. මම වතාවක් ඒක නවත්වලා තියෙනවා දැකලා ලඟටම ගිහින් බැලුවා. ලයිට් එකක් අත ගෑවුනේ පෙර පුරුද්දට වගේ. එදා තිබුනු ගාම්භීර පෙනුම දැන් නෑ. ඒක තොරොම්බල් කරත්තයක් වගේ පාට කරලා. මොකක්දෝ නමකුත් බොඩිය දිගට ගහලා තිබුනා. හිතන්න හමුදා පොලිස් යුනිෆෝම් ඇඳලා ගාම්භීරව හිටපු තාත්තා කෙනෙක් විශ්‍රාම ගිහින් සිකුරිටි යුනිෆෝම් එකක් ඇඳගෙන කොළඹ කොම්පැනියක ගේට්ටුවක් මුර කර කර ඉන්නවා පහු කාලෙකදී දරුවෙකුට ඇහැ ගැහෙනවා. ආන්න ඒ වගේ හැඟීමක් ඒක! ඇත්තටම කණගාටු දායක තත්වයක් ඒක. අනේ දැන් වෙන කොට පරණ යකඩ වලට කඩලත් ඇති. අනගාරික ධර්මපාල තුමාගේ "සෝබන මාලිගාව" ත් පරණ යකඩ වලට දුන්නු රටක් නෙ මේක!

      Delete
    2. ඔබ කියනදේ සහතික ඇත්ත තට්ට අයියෙ. 100% එකඟයි මේ පෝස්ට් එකටයි, කොමෙන්ට් ටිකටයි.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි! නැවතත්! නැවත නැවතත්!!

      Delete
  3. ඒකාලෙ තිබ්බ ඇලුමිනියම් බොඩි ගහපු ටකරං බස්වල තිබ්බ ගැම්ම අද තියෙ ටාටා ලේලන්ඩ් වල නෑ.
    ‘පාපුවරුවේ යාම තහනම්, රියදුරු සමග කතා නොකරන්න, මගින් **‘ යන ඒව අනිවාර්යෙන් හැම බස් එකකම ගහල තිබුණ. මම දන්න විදියට ඔය බැටරි පෙට්ටිය උඩ වාඩි වෙලා යන එක හෝ බඩු පැටවීම තහනම් වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බැටරි පෙට්ටිය උඩ යන්නේ ඩ්‍රැයිවර් උන්නැහැගෙ කිට්ටුම හිතවතෙක්. ඉස්සර බස් එකකට නැග්ග ගමන් නවතින්නේ රියැදුරු විකුම් බලන්න ඉස්සරහටම ඇවිත්. ඇත්තටම අපිට ඒක මහා අරුමයක්! මර්සිඩීස් බස් වල ස්ටියරිං වීල් එක නොහොත් සුක්කානම බලන්න ලස්සනයි. තද කළු පාටිනුත් ඇත් දළ පාටිනුත් ඒවා ඔප වැටී තිබුනා. ඒ මත තවත් නිකල් රවුමක්. මැද්දෙ බෙන්ස් සළකුණ! ස්ටියරිං වීල් එකට යටින් එක්සෝසට් බ්‍රේක් එක ක්‍රියාත්මක කරණ ලීවරය. ඒකට කිව්වේ කන්ට්‍රෝලින් ලිවර් කියලාඅ. මේ හැම මෙවලමක්ම අතැඹුලක්සේ ගෙන ක්‍රියා කල රියැදුරණ් ඇත්තටම අපිට වීරයන් උනා. ඉතින් අපි මේ විශ්ව කර්ම වැඩේ බලාන තෙරපීගෙන ඉන්නවා බලාන ඉන්න බැරිම කොට ඔවුන් අපිට බැටරි පෙට්ටිය පෙන්නලා "වාඩිවෙන් . . . අ . .!" ගානවා. අපිට ඉතින් . . . කියන්න වචන නෑ!

      Delete
  4. අපේ නෑදෑ කෙනෙකු ගැන ලියවුන ලිපියක් කියෙව්වා වාගේ හැඟීමක් ආවා. මගේ ස්ථිර පාසල් බසය 23 ශ්‍රී 2696 ඩබල් ඩෙකර් එකයි. ඊට පසුව 23/5157, 23/9264 එහෙමත් තිබුනා මගේ තිබුන පරණ ලෑන්ඩ් රෝවර් එක දෙවනි පාරට රෙජිස්ටර් කලාම ලැබුනේ 41 ශ්‍රී ද 42 ශ්‍රී ද කියලා මට දැන් මතක නැති උනාට ලංගම බස් නොම්මර 25-30 හෝ ඊටත් වඩා ප්‍රමාණයක් ඒවායේ ජාතකය සමගම කිසිදිනක අමතක නොවන ලෙස හිතේ තියනවා. මම අහන්න ආසාම සද්දයක් තමයි මර්සිඩස් බෙන්ස් (ජරා ටාටා නොවේ, ඒවායේ තියෙන්නේ ගොරහැඩි සද්දෙයි දුමයි විතරයි) OM 352 ඇන්ජිමේ සද්දය. හොඳ ලෝඩ් එකකුත් එක්ක පල්ලමක් බස්සද්දී ටොප් එකේ ඉඳලා තර්ඩ් එකට දාලා හොඳට රේස් වෙන්න ඇරියාම එන සද්දෙට ගහන්න වෙන කිසිම වාහන සද්දයකට බැහැ. (එක්සෝස් බ්රේකුත් දැම්මොත් බෝනස් සද්දෙකුත් ලැබෙනවා . )
    ඩයගම කොළඹ මර්සිඩස් බෙන්ස් බසය 29 ශ්‍රී 2444 කියා ලියා තිබුනාට එය 23 ශ්‍රී විය යුතු බව මගේ හැඟීමයි. 23 ශ්‍රී 3000 කාණ්ඩයේ මිසක් ඊට පසුව බෙන්ස් ආවේ නැතැයි කියා හිතෙනවා .
    පාසල් බසයේ ඩබල් ඩෙකර් එකේ ගුරුත්ව කේන්දරේ වෙනස් කරලා අපි ඩ්‍රයිවර් ලවා ජාතිය අමතා ගැනීම දින කිහිපයකට වරක් සිදු කරනවා. ඒක කරන්නේ උඩ තට්ටුවේ ආසන වලින් සියල්ලෝම නැගිට, එකවිටක වමටත් ඊට පසු දකුණටත් බර වීමෙන් හෝ බලය යෙදීමෙන් පැද්දවීමයි. ඔසිලේෂන් එකේ රිදම් එක ගානට සෙට් වෙනවානම් මේක හරි ජොලි වැඩක්. හැබැයි ඩ්‍රයිවර් ස්ටියරින් වීල් එකත් එක්ක ඔට්ටු වෙවී බස් එක කොන්ට්‍රෝල් කරන්න වෙන මහන්සිය ගැන නම් කියලා වැඩක් නැහැ.
    මේ ඔක්කෝටම වඩා ජොලි වාහනේ තමයි BMC 830WF ලොරි චැසියට වේරහැර බොඩි ගහලා දෙපැත්තේ සීට් පේලි දෙකක් පමණක් ගහලා කැස්බෑවට හා මහරගමට දීලා තිබුන හු(බස්). කොට ගවුම් ඇඳපු කෙල්ලෝ කොච්චර ඉඩ තිබුනත් වාඩි වෙන්නේ නැහැනේ. එයින් එකක් මම අවසාන වතාවට දැක්කේ 260 (හැඳල) දුවන පුද්ගලික බසයක් හැටියට 1986/7 කාලයේදීයි.
    දැන් රෑ 10 උන නිසා මේක ලියන එක නවත්වනවා මිසක් නැතිනම් මේවා ගේ මාතෘකාවක් ගැන පිටු ගානක් සංතෝෂයෙන් ලියන්න පුළුවන්.
    ඔබතුමා අර ලංගම http://sltbbus.blogspot.com/ එකට එහෙම යනවාද ?? ස්තුතියි.
    PS . පත්තරේ මංගල දැන්වීම් වල මනාලයෝ ඉල්ලනකොට ඒ දැන්වීම් වල "රජයේ හෝ (ලංගම හැර) සංස්ථා සේවය කරන මහතෙකු සොයයි" කියන ප්‍රසිද්ධ පාඨය ඔබතුමාට අමතක වෙලාද කොහෙද

    ReplyDelete
    Replies
    1. අංක එකටම කියන්න ඕනෙ. අර නොම්මරේ හරියටම 23ශ්‍රී 2444 වියයුතුයි. ඊට සමාවන්න. ඔබ කීවා හරියටම හරි 23ශ්‍රී 3000 කාණ්ඩෙ ආවෙත් මසිඩීස් 1113 බස් එක. ඊකෙ අර පරන 911 බස් එකේ වගේ නපුරු මල පනපු මූනක් නෙවේ තිබුනේ. ලස්සන සිනහවක්!
      සත්තකින්ම මගේ හිතටත් ඔය ගැන ලියන්න ගියාම හිතට ආව අදහස් ටික ගොනු කරගන්න බැරි තරම්. පස්සේ මම හිතුවා ලියන්න පුලුවන් ටික ලියනවා. ඉතිරිය කමෙන්ට් වලට දාන රිප්ලයි වලදි ලියනවා කියලා.කොළඹදී අපේ පාසැල් බස් එක උනේ රත්මලාන ඩිපෝ එක කරගහපු බ්‍රිටිශ් ලේලන්ඩ් බස් එකක්. ඒක "එළ" ඇමතිගේ පුතෙක් දුර ගමන් සඳහා යොදවන්න ගෙනල්ලා ඩීසල් පරිභෝජනය වැඩි නිසා ලංගමට කර ගැස්සූ එකක් කියලයි ඒ කාලේ කථාව තිබුනේ. ඒක රතු පාට එකක්. ඒ වගේම තව එකක්. රත්මලාන ඩිපෝවෙම තිබුනා කොල පැහැති. ඒ දෙකම ඔරිජිනල් බ්‍රිටිශ් ලේලන්ඩ්.

      ඔය 23ශ්‍රී2444 වතාවක් පාරෙන් ඉවතට පැන්නා යටියන්තොට පහු කරලා හබෙල්ලාවකදී. පාරෙන් එළියට පැනලා මහා ප්‍රපාතෙකට වැටෙන්න ඉස්සරහ රෝද මුලුමනින්ම පාරෙන් එලියේ එල්ලෙමින් තිබුනේ. කොටින්ම බසයේ බඳේ පින්තාරු කරලා තිබුන ලංගම බිත්තරේ තිබුනේ පාරෙන් එළියේ. පැමින මගීන් බැස්සේ පිටුපස දොරෙන්. එතනින් එළියට ගියා නම් අඩි 100 පමණ පහල තිබූ ගල් තලාවක් මතට වැටී කැළණි ගඟට වැටෙන්නයි තිබුනේ. ඒත් කිසිවෙකුට සීරිමක් වත් නැතිව සියළුදෙනාත් බසයත් බේරුණා. වැඩේ හොඳම සිද්දිය කොන්දොස්තර විතරක් කොන්ද අල්ලගෙන හිටියා. බලන කොට බස් එක ගඟට වැටෙයි කියලා මේ මනුස්සයා එළියට පැනලා!
      අද රෑ 10ට නැවැත්තුවට කමක් නෑ. හෙට ආයෙත් ටිකක් ලියමු. ආ අර කියපු ඔස්ටින් බස් එක මට මතකයි. මේවා හරිම සුන්දර මතක. ඔබතුමා තව ටිකක් ලිව්වොත් මගෙනුත් තව ටිකක් ලියවෙයි.
      ඔබ තුමා සඳහන් කල බ්ලොග් එකට මම දැම්මා පණිවිඩයක් පිංතූර දෙක තුනක් අත මාරුවට ගන්න. ඒත් ප්‍රථිචාර නොමැති උනා!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. වහලේ තින්ත ගාලා ලාම්පු දැල්ලෙන් වැඩ දාපු ඉස්සරා රියදුරු විසින් ඇරපු පුංචි දොර ලෑලි පොලව ලෑලි හිඩැස් අස්සෙන් පෙනෙන තාර පාර මගේ මනසට ආවා මේ ලිපිය කියවද්දි. පරන බස් වල බොඩිය දිරන්නේ නැත්තේ එහි සැකිල්ලත් ඇලුමිනියම් ලෝහයෙන් හදලා තිබුන නිසයි. මගේ මතකය අනුව 96 97 වසර වලදි කොළඹ ආසන්න ඩිපෝවල තිබුන බොහෝමයක් බස් ගර්හිත ලේබල් එක ගහලා ජර්මන් ටෙක් එකේ පිට්ටනියේ දාලා වෙන්දේසි කලා. ඇත්තටම ටයර් නැති නිසා පැත්තකට කරපු හොද බස් එක එකා ඩැහැගත්තා. තව ගොඩාක් දේවල් හිතට එනවා. මාත් එක්තරා කාලයක ආධුනිකයෙක් විදිහට ලංගමේ ඩිපෝ දෙකක පුහුණුවුනා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මට වඩා ඔබා දන්නවා අති ඔය ලාම්පු දැල්ලේ කථාව. වහලයට ඇත් දත් පාට තීන්ත ස්ප්‍රේ කරලා තීනත වේලෙන්න ඉස්සෙල්ලා ඉටිපන්දමෙන්ද කොහෙද ඔය දැල්ල අල්ලන්නේ. මේකෙ වරදක් ඇතොත් නිදොස් කරණ්න. මොකද ඔබ ඩිපෝවක දිනක් හෝ සිටි නිසා මේ ගැන යහමින් යමක් දන්නවා ඇති.
      ඔය හැටන් ඩිපෝවෙ තිබුනු මර්සිඩීස් බස් වලට ටාටා එන්ජිම තියලත් කාලයක් දිවුවා. ඒවයෙ තිබුනේ සිංක්‍රොමෙෂ් ගියර් පෙට්ටි.ගියර් නිකං බටර් වගේ. ඒත් ඒකාලෙම ආව ලෙලන්ඩ් වල නම් තිබුනේ ක්‍රෑෂ් ගියර් පෙට්ටි. ගියර දාන්න ඕනෙ හරියට එන්ජිමේ වේගය ගියර් පෙට්ටියේ වේගයත් එක්ක පොඩි සමතුලිත කිරීමකින් අනතුරුව. ලේලන්ඩ් බස් එකේ සද්දෙත් හරි මිහිරි හඬක් තිබුනේ. නවත්වලා නිකං ඇක්සලරේටරය පාගන්නේ නැතිව අයිඩ්ලෙ යෙකේ තිබ්බාම එන්ජිම නවතින්න ඔන්න මෙන්න වෙනකල් වේගය අඩුවෙලා ආයෙත් එන්ජිම පන ගහලා එනවා. ඒවායේ ඉන්ජෙක්ටර් පොම්ප වල තිබුනේ යාන්තිකව ක්‍රියාකල සංයාමක හෙවත් ගවනර්ස්.ඒකට මෝටර් කාර්මික ශිල්පයේ හඳින්වූයේ හන්ටින් නැතහොත් "එන්ජිම හන්ට් කරණවා" යනුවෙන්.
      අලුත්ගම අපේ අම්මලාගේ ගමේ යනකොට ඔය ලේලන්ඩ් බස් වල තමයි ගියේ. මතකද ඉස්සරම ගමනාන්තය දැක්වෙන බෝඩ් එකට තිබුනේ දෙපැත්තට එතිය හැකි රෙදි තිරයක්. ඒක ඔතන්නයි දිග අරිණ්නයි පොඩි නිකල් හැන්ඩ්ල් දෙකකුත් තිබුනා. මතකය තව ටිකක් ලියන්න. ත්ව අවුරුදු 10ක් යන කොට මේ මතකය වත් නැති වේවි!

      Delete
    2. ඔය තීන්ත ගාලා ලාම්පු දැල්ලෙන් වැඩ දැම්මේ 80 ගනන්වල. ඔබ කියන ඔය හන්ටින් වෙන එන්ජින් වල තිබුනේ යාන්ත්‍රික ගවනර් නෙමෙයි. යාන්ත්‍රික ඒවයෙත් ඕක වෙනවා නමුත් ඩෑම්පර් එකක් තියනවා ඒක නවත්තන්න.පරන ලේල්න්ඩ්, ඔස්ටින්,ඇල්බියන් එන්ජින් වල තිබුනේ නියුමැටික් Pneumatic ගවනරයක්. ඒක නිසා තමයි ඔය දේ වෙන්නේ. බෙන්ස් ගියර් පෙට්ටිය ෆුල් සින්ක්‍රොමෙශ්. ඉසුසු බස් වල දෙවනි ගියර් එකෙන් පස්සේ සිංක්‍රොමෙශ්

      Delete
    3. ඔය තියෙන්නේ! මගේ ටෙන් පොයින්ට් එකට සුපිරි ඩෑෂ් එකක්. අන්න ඒ වගේ තවටිකක් ලියමු තාක්ෂණය ගැන!ඒක කලාවක් අඬුවෙන් මිටියෙන් කරණ!!

      Delete
    4. ලාම්පු දැල්ලේ පාට කිරිම් මම ඩිපෝ යද්දි තිබුනේ නෑ. තමන් පදවපු බසයට පනවාගේ ආදරය කරපු රියදුරෝ කොන්දොස්තරලාගේ වැඩකෑලි තමයි ඒ. දැන් එහෙම කට්ටිය නෑ. රෙදි තිරයක් තිබුනා රත්මලානේ ටයිගර් ලේලන්ඩ් එකට. එකාලේ ලේලන්ඩ් වල සින්ක්‍රෝමෙස් ගියර් පෙට්ටි ආවේ නෑ. ඔබතුමා මෙහෙමවත් මතක් කරපු එකත් ලොකු දෙයක්. වාහන අතහැරලා නැව් අල්ලගත්තාට පස්සේ ඔක්කෝම මතකයෙන් ඈත්වෙලා ගිහිල්ලා. තාත්තාත් මුලින් ලංගමේ පස්සේ නැවක. ඉතිං පුතාත් ඒ පාර ගියා.

      Delete
    5. ඔබට කියන්න හටන් ඩිපෝවේ බස් ටික හදලා තිබුනේ තර්ඟයට වගේ. අනේ ඊ ගැන ලිපියක් තිබුනා ලක්බිමේ. ඒක අතරමං වෙලා! ඒකට හේතුඅව වෙලා තියෙන්නේ ඒකාලෙ හටන් ඩිපෝවට පත්වෙලා ගිය තරුණ ඩිපෝ ඉංජිනේරු මහත්තයෙක්. ඒකාලෙ ඩිපෝ අතර තරඟයක් තිවිලා තියෙනවා. ඒකට තරඟ කරණ්න ගිහින් තමයි හැටන්ඩිපෝව ඒකාලෙ ඔය තරම් සුපිරියට තිබිලා තියෙන්නේ. ස්තූතියි. අන්න කළයාණ ම්තු තුමා මට යෝජනාවක් කරලා . මම ඒක ඔබ තුමාගේ කරෙන් තිබ්බා!

      Delete
  7. නුවර පිළිමතලාව ඩබල් ඩෙකර් එක තාමත් සමහර වෙලාවට යනවා දකිනවා. ඒ පැත්තම යන බෙන්ස් බස් එකකුත් තියනවා ලස්සනට ඇතුලෙ චිත්‍ර ඇඳලා තියන .

    ReplyDelete
    Replies
    1. එහෙම හරි එකක් දෙකක් තියෙන එක ලොකු දෙයක්. ඒක නොවේ කොහෙද වහං වෙලා හිටියේ? පරිසරය අගැයූ ලිපි මා වෙතින් නොලියුනු නසාද පසුගිය දිනවල දකින්නට නොමති වූයේ?

      Delete
  8. මං මාවතක එහෙ මෙහෙ පැදවෙනා නිතී
    දැං දැං නිතර එහි නැගිලා ගිහින් ඇතී
    මං අද පමාවී ඇවිදින් කවිත් නැතී
    ලං ගම ගැනම ලියු විස්තරෙ අගය ඇතී ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගමට ඇවිත් පිට පාරෙම ආ හන්දා
      "දැං වත් ඇවිත් බලපං!" කියලද මංදා
      අත දිගු කරල ලගටම ගත හැකි කැන්දා
      තැනකට පමිණි ඔබ දැකුමට එමි ඉරිදා

      Delete
  9. ඩබල් ඩෙකර් එක්ක මටත් පුංචි කාලේ මතක ටිකක් තියනවා. අදටත් ඩබල් ඩෙකර් එකක් සෙට් වුණාම ඒවා මතක් වෙනවා. හොඳ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. "හොඳ ලිපියක්!"
      ආ හා! කතුවර තරිඳු ශ්‍රී ගේ මුද්‍රාව !
      තව ටිකදිනකින් සිටුවර ද?
      එළ . . .!
      ස්තූතියි!

      Delete
  10. 'වසුනින්' වහලා වාගේ
    තිබුණු මිහිරි අතීතයක්
    යළිත් දිටිමි
    මනැස් නෙතින්!

    ReplyDelete
    Replies
    1. ඔබගේ නිර්මාණශීලී වදනින් මා සිත ඔකඳ වී ගියේය! ඇත්තටම ලංගමයක තිබුනු අපේකම පුද්ගලික බසයක් අහල ගං පන්සියයකවත් දැනෙන්නේ නැත. ඒකාලෙ බස් එකකට නැග්ගාම බාගෙට බාගයක් දන්නා හංදුනන අය. ඒ වගේම ඒ හැමදෙනාවම රියැදුරු මහතා කෝ කොන්දොස්තර වරයා නමින්ම දන්නා අය. ඒ නිසාම ගැටළු අඩුයි. යටියන්තොට පොළ දාට. ඒ කියන්නේ බ්‍රහස්පතින්දාට පුදුම සෙනගක් එකතු වෙන්නේ. එදාට ඉස්කෝලෙ ළමයින්ට බස් වලට නැග ගන්න එක හරි අමාරු වැඩක්. රියැදුරු තමාගෙ දොර ඇරලා එතනින් පොඩි පොඩි ලමයි ටික ඇතුළු කරගෙන ගෙවල් වලට ගිහින් දානවා. දැන් වාගෙ රුපියල් වලට කල කී දේවල් නොවේ ඒ සද් කාරයයන්! ස්තූතියි ආවාට!

      Delete
  11. 1989 වගේ කාලෙ ඉපදුනු අපි වගේ අයට ඔබ තරම් අද්දැකීම් ලංගමය ගැන නෑ. ඒත් තවමත් ඒ මතකයන්ට ආසා කරනවා. 1995 වගේ කාලෙ ඉඳං හැම මාස තුනකටම වරක් කොලඹ එන්නයි ගමේ යන්නයි බස් පාවිච්චි කරන්න සිද්ද වුනා. ඊටත් කලින් මට මාස තුනේ ඉඳල කොලඹ ඇවිත් තියෙන්නෙ කොලඹ නයණාරෝග්‍යෂාලාවට. ඒ යන එන සෑම වෙලාවකම ලංගම බස් තෝරාගන්න අපේ අම්මිය තාත්තයි පුරුදු වෙලා හිටියා. ඒ නිසා ඒ කාලෙ වැඩිපුර ලංගම මතකයන් තමා පොඩි කාලෙ මටත් තිබුනේ. නැගපු ගමන් රියදුරා ඉන්න තැනට යන්න මං දඟලන දැඟලිල්ල තාත්තයි අම්මයි හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසා ඉන්න පුලුවන් ඉස්සරහම ශීට් එක තෝරගන්න අමතක කරේ නෑ. ලෑලි තට්ටුව කැඩුනු තැන්වලින් එලිය බලන්න මම බොහෝ විට උත්සාහ කර තිබුනා. ඒ විතරක්ද? රියදුරාගේ දකුනුපස හිස් ඉඩට යන්න අඬපු තරමක්! තාත්තා අඳුනන රියදුරෙකු හිටියොත් ඔහුට කියා මෙන්න මේ ලමයව ටිකක් ඔතනින් තියාගන්න බැරිද කියල අහනවා. ඒ අයත් උස්සල අරං ශීට් එක ලඟ තියාගන්න අවත්තා තිබුනා. නැත්නම් සමහර දවස්වල ඇන්ජිම උඩ ඉන්නවා. ඒ මතකය හරිම මිහිරියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ් මා අපි හැමෝටම කියන්න තියෙන්නේ එකම කතාවක නාම පදටික එහා මෙහා කරපු කථාවක්. හරිම සුන්දරයි ඔබ තුමන්ලා මගෙත් එක්ක නොවී අපි හැමෝම එක්ක මේ අත් දැකීම් බෙදා හදා ගැනීම.තාත්තලා තමයි ඔය වැඩීට දස්ස. එයාලා දන්නවා ඩ්‍රයිවර්ගෙ නාඩිය අල්ලලා අපිව ඔය තැනට ඔබ්බන්න.බොහූ විට රියැදුරු මහත් වරුන් පිටුපස තිබුනු පොල්ලට හේත්තු වෙලා දන්නෙක් යන එක අනිවාර්යයි.ස්තූතියි නැවතත්.!

      Delete
  12. දැන් ප්‍රයිවට් බස් කර්මාන්තයේ එක ප්‍රශ්නයක් තමයි අයිතිකරුවන්ගේ ආර්ථික අපහසුතා. අමාරුවෙන් ෆිනෑන්ස් ගෙවාගෙන එක බස් එකක් තියන අයට ටයර් දාන්න, රිපෙයාර් කරන්න සල්ලි නෑ. සෙනඟ අඩු වෙලාවට දුවන්න ශක්තියක් නෑ. මෙහෙ විතරද මංද එහෙම අමාරුවෙන් එකක් දෙකක් දුවන ක්‍රමයක් තියෙන්නෙ. ලොකු කම්පනි වුනාම ඒකාධිකාරයක් වෙනවා ඇති ඒත් එහෙම නැතුව බස් හරියට මේන්ටේන් කරන්නෙ කොහොමද, සෙනඟ නැති වෙලාවටත් පාඩුව ඇබ්සෝබ් කරගෙන දුවන්න නම් ලොකු කම්පනිවලින් කරන්න ඕනෙ නේද? ඔබේ අදහස/ විසඳුම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අඩු ගණනේ එක දෙක තියන අය එකතු කරලා කොටස් කාරයන් විදිහට සමාගමක්/ සමූපකාර ක්‍රමයක්වත්(අර නවසීලන්තයේ ගොවිපලවල් එක්වෙලා කරනවා වගේ)?

      Delete
    2. ප්‍රාජේ අත්තටම ඔබ අහලා තියෙනවද කිසිම ප්‍රයිවෙට් බස් මුදලාලි කෙනෙක් එම ව්‍යාපාරයෙන් ඉවත් වුනු බවක්? හම කෙනෙක්ම තමන්ගෙ ව්‍යාපාරය හැකි පමන පුළුල් කර ගත්තා මිසක් නවත්වලා බස් එක විකුණලා වෙන වැඩකට අතගහපු අය නම් හොයන එක බොහෝ සෙයින් අමාරු කටයුත්තක් . ඔබට මම මෙහෙම කථාවක් කිව්වොත් පිළිගන්නවද?
      කඩවත - පානදුර හයිවේ එකේ බස් පර්මිට් එකක් දැන් විකිණෙන ගාන ඔබ හිතන්නේ කීයක් කියලාද?ඔය මාර්ගයේ වැඩිපුරම පාවිච්චි කරණ්නේ මිට්සුබිෂි රෝසා බස්. ඔය බස් එකක දන් වටිනාකම බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 80 වයි. දැන් ආයෙත් මුල් ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. කීයක් වෙයිද රූට් පර්මිට් එකක්? ඔබ පිළිගන්න රුපියල් ලක්ෂ දෙසිය විස්සයි.(220). දිනකට මේ බස් එකක ශුද්ධ ආදායම රුපියල් 25000 ක් වෙනවා. මටත් හිතාගන්න බෑ ඔච්චර ආයෝජනයක් කරණ්නේ ඇයි කියලා. ඉතින් ඔබ හිතනවාද බස් කර්මාන්තය ගැමුණු විජේරත්න කියන තරම් දුක්ඛිත එකක් කියලා?

      ඒ කෙසේ වෙතත් අවම වශයෙන් එක රූට් එකක දුවන බස් ටික එක සමාගමක් යටතට අරගෙන ක්‍රියාත්මක වෙන්න ඉඩ සැලසුවොත් මේ පාරෙ තියෙන බලු පොරය නම් යම් ප්‍රමානයකට නවතීවි.ඒ නිසාම කාලසටහනකට අනුව ගමන් ධාවනය කිරීම දිවා කල මෙන්ම රාත්‍රී කාලයීත් අඛණ්ඩ සීවාවක් ලබාදීම වැනි මගීන්ට සැලසෙන සීවාවන් වගීම ඒ අයටත් තනිතනිව කරණ ව්‍යාපාරයේ යෙදීමේදී ඇතිවන ආදායම් විශමතා එසීම හදිසි අනතුරක් වැනි අවස්ථාවකදී ඔවුන්ගේ ආදායම මුළුමනින්ම නැවතීම වැනි කරණාවලට හොඳ විසඳුමක් වෙනවාප්‍රාග්ධනය විශාල වූ තරමට එහි ස්ථාවරත්වය ඉහළයි නෙ! බොහොමත්ම ස්තූතියි. මේක ගැන අපි තව ටිකක් කතා කරමු!

      Delete
  13. හුකා ලංගම බස් එකක් දවසකට හඳට ට්‍රිප් දෙකක් යනවද? සැලකුවා මදි නේන්නං.. බස් ලෝඩ් කරනවා වගේ තමයි නැව් ලෝඩ් කරන්නෙත්.. ඒ ගැනත් වෙලාවක් හොයාගෙන ලියන්නකෝ බොස්. :)

    ReplyDelete
    Replies
    1. බොසා දෙකක් නෙවේ තුනයි දශම හතක් කොටින්ම තුන හමාරක්! ඔබ තුමාගේ විශය නේද ඔය? අපි ඩොක් යාඩ් එකේ අසංග රනසිංහ ආරච්චිට පවරමු වැඩේ. මමත් මේහම එකම ලියන්නේ මගේ ඉහත්තාවෙ ලියා පටන් ගෙන තියෙන "බෙල් එක ගසා අතින් බෙදන සඟරාවක ඩිගිටල් කොපිය " කියන කයිවාරුව බේර ගන්න නොවැ!බොහොමත්ම ස්තූතියි මිත්‍ර ගොඩ වැදුනාට ලිව්වාට!

      Delete
  14. Replies
    1. ස්තූතියි මද්දා! හමදාම වගේ වචන දෙක තුනක් කතාකරණ්න හරි ගොඩ වැදුනාට ! පිට පාරෙම නොයා!

      Delete
  15. හරිම වටිනා ලිපියක් තට්ට මහත්තයා මේක .

    "ගුරුත්ව කේන්ද්‍ර නියතය" නිසා නේද ඩබල් ඩෙකර් එකල සීග්‍ර බැවුම් සහිත මාර්ග වල වගේම තියුණු වංගු සහිත උඩරට මාර්ග වල ගමන් නොකරේ . ඒ උනත් සමාජගත මතය උනේ එන්ජින් බලවත් නැහැ කියල නේද ? (අඩුපාඩු ඇතොත් නිවැරදි කරන්න)

    ටාට , අශෝක් ලේලන්ඩ් සංස්කෘතිය ට මගේ වැඩි කැමැත්තක් නෑ .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඇත්තටම ඔයාලාට මේ අත් දැකීම් ගැන දැන ගන්න තියෙන්නේ මෙහෙම ලියන දෙයකින් විතරයි. ඒත් මේක ලිව්වෙ මේ ළඟකදි දවසක මොරටුව ඩිපෝ එකේ බස් එකක බස් කොන්දොස්තර මහතෙකු එක්ක බහින් බස් වීමක් නිසා. මොකද බස් වල යන අපි තබා ලංගමේ වැඩකරණ ඒ උන්නැහැලවත් දන්නේ නෑ මෙ සේවය මීට කලකට පෙර අපේ සාමන්‍ය ජන ජීවිත එක්ක මොනතරම් බද්ධ වී තිබුනාද කියලා. සමහර ගම් වල දරුවා හම්බෙන්න බස් එකේ ගිහින් අළුත උපන් කිරි කැටියා ගෙදරට වඩම්මන්නේත් ලංගම බස් එකේ. ඒ දරුවා ඉස් කෝලෙ යන්නෙත් ආයෙ ඒ ජීවිතය ඉදිරියට ගෙනයන්නෙත් බස් එකත් එක්ක. මම මේ අත් දැකීම් ලැබුවේ අපේ තාත්තා ගලොය හංදිය හත්‍රැස් කොටුවී වැඩ කරණ කොට බස් එකක් දිව්වා හත්‍රැස් කොටුව මින්නීරිය (රොට වැව හරහා) කියලා. ආන්න ඒ රොට වැව කියන්නේ අන්ත දුගී ගමක්. කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී උදුල බණ්ඩාර අවුසද හාමි ඔය ගමේ කෙනෙක්. ඒගමේ තේමාව උනේ "ගමයි පංසලයි - වැවයි දා ගැබයි" නොවේ. "ගමයි පංසලයි, වැවයි බස් එකයි" කියන එක!

      Delete
  16. බ්ලොග් එකට ලැබිලා තියන ප්‍රතිචාර දැක්කාම තේරෙනවා අපි කොතරම් ලංගමයට "ලව්" ද කියලා.
    මට මතකයි හැටේ දශකයේ අන්තිම කාලයේ තලංගම ඩිපෝවේ තිබුන 174 කොට්ටාව බොරැල්ල දුවාපු ඇල්බියන්(Albion) සහ ලේලන්ඩ් ටයිගර් ක‍බ් (Leyland Tiger Cub )බස්. ඒවායේ සීට් වල රාමු නිකල් ප්ලේට් කරලා තිබුන හැටි, බූල් සහිත කොටු කොටු Tartan රෙදි වලින් මසා තිබුන සීට් කවර, ශීත රටවලට ඔබින ආකාරයට නිපදවාපු අඟල් තුන හතරක් පමණක් විවෘත කළහැකි (වයින්ඩර් හැන්ඩ්ල් කරකවලා උස් පහත් කරන ) ජනේල, දෙවැනි හෝ තුන්වැනි සීට් පේලි වලට යටින් (underfloor) තිබුන ඇන්ජිම එහෙම මතකයි.
    ලංගමයට කියලා ආනයනය නොකලත් කොම්පැණි කාලේ ගෙනල්ලා ජනසතු කරපු ජර්මන් මැගිරස් ඩොයිෂ් (Magirus Deutz ) බසුත් තිබුනා. ඒවා ඩිපෝ වල දුවනවා දැක නැතත් ජර්මන් ටෙක් එකේ එයින් එකක් තිබුනා. තව බෙන්ස් 1113 එකක් නිතර දකිනවා IC 2668 නොම්මරය දරන නව පිළියන්දල ඩිපෝවේ (වේරහැර සේවකයින් සඳහා පමණක් වෙන් වූ ඩිපෝවේ ) එකක්.
    OM Tigrotto බස් චැසි ලංකාවට (කොළඹ හාබර් එකට ) ගෙනැවිත් බාන්න ගියාමලු ඒවා left hand drive කියලා දැනගත්තේ. ගොඩ බාන්නේ නැතිව එහෙමම ආපහු ඇරලා දකුණට convert කරලා ආපසු ගෙන්වූ කතාවක් මම "අහලා " තියනවා. කතාව ඇත්ත වෙන්න පුළුවන්.
    ජර්මන් කාරයන්ටවත් හොර කරන්න බැරි ටිකට් මැෂින් වලින් අපේ කොන්දොස්තරලා හොර කරපු හැටි , ටිකට් පොත් වල ඔරිජිනල් කොපිය උඩ ලියන්නේ නැතිව, කාබන් කොලේ උඩ නියම ගාන ලියලා කොපිය මගියාට දීලා, ඔරිජිනල් කොපියේ, කාබන් කොලය නැතුව අඩු ගණනක් ලියලා දෙන ගේම්, මාසික සීසන් (මේවායේ පාට මාසයෙන් මාසයට වෙනස් වන අතර මාස පහ හයකින් පසුව නැවතත් පළමු පාටවල් එනවා ) මාක් කරන්න නොදී පිරිසිදුවට තියාගෙන කැපූ සති අන්ත දින මකලා නැවත භාවිතා කරන මගියෝ, එහෙමත් ලංගමයේ ඉතිහාසයේ ඉන්නවා .
    ඒ කාලයේ කොළඹ - අක්කරපත්තුව මා දන්නා දිගම ලංගම සේවාව වූ අතර එතරම් දුරක් නැතත් වැඩි කාලයක් ගතවෙන ගාල්ල- රත්නපුර (463 වගේ මතකයි) වගේ සේවා, මගීන් පමණක් නොව (මේල් බෑග්) ලියුම්ද, ටෙලිපෝන් නැති තැපැල් හල් වලට ටෙලිග්‍රෑම් පවා බසයෙන් ගෙනගිය කාලයක් අපට තිබුනා.
    තව තවත් ලංගමය හා බැඳුනු බ්ලොග් ලිවීමට ඔබතුමාව ධෛර්යමත් කරන්නයි මේ පිළිතුර ලිව්වේ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ පංසලක් තිබුනා. ඒකෙ හිටියේ මිනී මරුමකට එහෙම අහුවුනු නදන් හාරපු දුසිල්වත් භික්ෂුවක්. ඒ හාමුදුරුවන්ව මීට වසර 10-12 කලින් එලවලා අපි ඒක ඇත්තම පංසලක් කලා. පංසලක් ගමකට අවශ්‍යද නැද්ද කියන කාරණය වෙනමම සාකච්ඡා කල යුතු කරුණක් වන අතර දුසිල්වත් භික්ෂුවක් ගමෙන් එලවා දැමීමේ සතුට අදටත් තියෙනවා. පෝය දවස් වලට ඒ පැත්තේ ගියාම සැදැහැවතුන් ගෙන් ඒ පරිශ්‍රය පිරිලා තියෙනවා දැක්කාම ඇතිවන්නේ නිරාමිස සතුටක්! දැන් සෑම් මහත්තයා බලනවා ඇති මේ මොකක්ද මේ කියලා. වැරදීමක් වත්ද කියලා . අනේ නෑ. ආන්න ඒ වගේ සතුටක් තමයි මට දැනෙන්නේ මා ලියපු පෝස්ටුව ඔබ තුමන්ලා සියල්ලගීම කොමෙන්න්ටු වලින් සාරවත් උනාම! ඔව් ඔබ කියන බොහෝ දේවල් මගේ මතකයේද ඇත එලෙසින්ම. සත්තකින්ම ලංගම කියන්නේ අපි සියල්ලන්හටම හැඟීම් බර වන්නට; හිස තබා මුහුණ හොවා හදවත් තරමක් මෙලෙක් කර ගන්නට සුදුසු උරහිසක් සැපයූවා කියලයි මට හිතෙන්නෙ. මම වචන 1500-2000 නොලියා පරණ බස් ටිකක පිංතූර ටිකක් දැම්මත් මේ හැඟීම් බර බව අපතුල ඉස්මතු වීවි. කලකට පසුව අවුරුද්දට ගමේ ගිහින් වයසක අම්මව බලලා ආවා වන් සිතුවිල්ලක් සිතට දැනෙනවා! ස්තූතියි බොහොමත්ම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete

    3. kumaraSeptember 15, 2018 at 3:19 AM
      IC 2800 තවම ජර්මන් ටෙක් එකේ තියනවා.ඒක ලේලන්ඩ් එකක් .23 ශ්‍රී 1 බෙන්ස් එක ,1113 B දෙකක් , 22/ 1537 ඒක නියම බස් චෙසියක් තවම ටෙක් එකේ පාවිච්චි කරනවා.OM Trigrotto ගැන අහල තියෙනවා මේ කතාව. ඔය බස් එකේ ලෙඩක් තිබුනලු හිටපු ගමන් break නැතුව යන. බ්‍රේක් ගැහුවහම බ්‍රේක් නැතුව බස් එක කොහේ හරි වදිනවා. ඊළඟට පෙඩල් එක පාගල චෙක් කරනකොට බ්‍රේක් තියෙනවා. ඉතිං driver break නැහැ කියලා රිපෝට් කලාට බස් එක චෙක් කරනකොට කිසිම ලෙඩක් නෑ. දවසක් නුවර ඝුඩ්ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේදි OM එකක් ඔහොම හැපිලා.ඩ්‍රයිවර් ස්මාර්ට් පොරක් මිනිහා බ්‍රේක් ලෙඩක් එක රිලීස් නොකර ලීයකින් හිර කරලා තියලා. බස් එක චෙක් කරනකොට ඔන්න ලෙඩක් තියෙනවා.පේ ඒ දෝෂය හදල තියන

      Delete
  17. වටිනා ලිපියක් ලිවීම පිලිබඳව ස්තුතියි. ඊයේ බාගෙට කමෙන්ට් එකක් දාලා දිග මදි කියලා හිතුන නිසා මැකුවා. බලනකොට අපේ ස්කූල් බස් එකේ ගිය තව කෙනෙක් කමෙන්ට් කරලා තියනවනේ. මහරගම ඩිපෝවේ 23 ශ්‍රී 2696 ඩෙකර් එක තමයි අපේ ස්කූල් බස් එක . ඒ කාලේ වුනත් ස්කූල් බස් එක ඩෙකර් එකක් වෙනවා කියන්නෙ ලොකු වාසනාවක්. කහතුඩුවේ ඉඳලා ගාමිනී හෝල් දක්වා ගිය ඒ බස් එකේ ගෑනු, පිරිමි ඉස්කෝල කීපයක ලමයි ගියා.අනුලාවෙන් පටන් අරගෙන ලුම්බිනි,ඉසිපතන,විශාකා,සුජාතා,තර්ස්ටන්,මහානාම,රෝයල්,ආනන්ද වශයෙන්. උඩ තට්‍ටුවේ ඉස්සරහම තියන ජනේල ඇරගෙන ඔලුව එලියට දාගෙන ඒ කාලේ ගියාට දැන්නම් හිතනකොටත් බයයි. 2696 එලවපු හැමෝම ලයනල් අයියා කියලා හඳුන්වපු රියදුරු මහතා ඒ බස් එක ඉතාම හොඳින් තියාගෙන හිටියා. උඩ තට්‍ටුවේ කොල්ලෝ දඟලනකොට බස් එක නවත්තලා ඇවිත් බැන්නත් අපිට බොහොම ආදරයක් තිබුනා. මම බස් එකට නගින හෝල්ට් එකේ හිටියේ නැත්නම් ගේ ලඟ නවත්තලා හෝන් එක ගහල බලනවා.උඩ තට්‍ටුවේ කොන්දොස්තර හිටියේ කොලු ගැටයෙක්.මිනිහා සුජාතා එකට ගිය ගෑනු ලමයෙක් එක්ක පටලැවිල්ලක් හදාගෙන කසාදෙකින්ම කෙලෙවර වුනා.ලයනල් අයියා නිවාඩු නම් ඒ ඩෙකර් එක වෙන කෙනෙකුට නොදෙන කොහෙවත් නොලියවුන නීතියක් මහරගම ඩිපෝවේ තිබුනා.පස්සේ කාලේ කැස්බෑව ඩිපෝව හැදුවහම 23 ශ්‍රි 4595 ස්කූල් බස් එක වුනා.ඉස්සර වෙසක් කාලෙට තොරන් සේවය කියලා සර්විස් එකක් ලංගම කලා. ඒකෙ වෙන්නේ එක එක තැන් වලින් පටන් ගන්න බස් කොලඹ තොරන් තියන් තැන් අහුවෙන්න වටයක් ගිහින් ආපහු පටන් ගත්ත තැනට එන එක. ඒකට ගියේ සේරම ඩෙකර්. හෝමගම, මහරගම,රත්මලාන,මට්ටක්කුලිය වගේ ඩිපෝවල ඩෙකර් තිබුනා.

    ලංගම තිබුන බස් වලින් සමහරක් කිසිම දවසක අමතක නොවෙන ඒවා. පරනම ලේලන්ඩ් කොමට් යකඩ බොඩියක් තිබුන ඒවට කිව්වේ අලියා කොමට් කියලා. 119 දෙහිවල මහරගම දුවපු ඇල්බියන් වික්ටර් ,ටයිගර් කබ්, ඇල්බියන් ඇබඩෝනියන්,මර්සිඩීස් බෙන්ස් 1113B ,ඉකාරස්, වෝල් බොඩි බෙන්ස් වගේ ඒවා ඇත්තටම එක ගානේ හරි සංරක්ශනය කරලා මියුසියම් එකක තියෙන්න ඕනෑ. කොහේද ඉතින් ලංගම පස්සේ කාලෙක පන්දම් කාරයින්ට රස්සා දෙන තැනක් කරගත්තනෙ.
    පොඩිකාලේ බස්වල යනකොට ඩ්‍රයිවර් කරන දේවල් බලාගෙන ඉඳලා ගෙදර ගිහින් ඒවා කරන්න හදනවා. ටයිගර් කබ් එකේ ගියර් මාරු කරන හැටි මැජික් වගේ. 1113 බස් වල යනකොට ඩ්‍රයිවර් වංගු වල එහෙම වේගෙ අඩු කරන්න එක්සෝස්ට් බ්‍රේක් පෙඩල් එක පාගනකොට 352 එන්ජිමෙන් එන අමුතු සද්දේ, ලේලන්ඩ් පවර් ප්ලස් එකේ එන්ජින් බීට් එක,352 එන්ජින් බීට් එක තවමත් ඇහෙනවා වගේ.
    ඒ කාලේ එක එක ඩිපෝ වල වෙන වෙන බස් ජාති තිබුනා මතකයි. බෙන්ස් තිබුනේ උඩරට, කුරුනෑගල ,රත්නපුර වගේ මතක හැටියට.

    පස්සේ කාලෙක ජර්මන් ටෙක් ගිය නිසා ඕවා අතපත ගාන්නත් ලැබුනා. බස් එලවන්න ඉගෙන ගත්තේ 29 කාන්ඩයේ අලුත්ම ඉසුසු වලින්. ස්ටියරින් අතට හොඳම බස් එක ඒ කාලේ ලංගම තිබුන ඒවයින්.පවර් ස්ටියරින් බස් තිබුනෙ නැත. අවුරුදු 8ක් විතර ජර්මන් ටෙක් එකේම චෙසි අංශයේ ගුරුවරයෙක් හැටියට සේවය කල නිසා බස් එදිනෙදා ජීවිතයේ කොටසක් වගේ වුනා. බස් එකෙන් ගලවලා ගේන චෙසිය සම්පූර්න අලුත්වැඩියා කලා.ඇද අරින එක. ෆ්‍රේම් එක කැඩිලා පිපිරිලා තියනවනම් ඒවා හදන එක,ඊට පස්සෙ හැම කොටසක්ම අලුත්වැඩියා කරලා චෙසියට සවි කරලා ඇක්සල් ,දුනු,එන්ජින්,ගියර්බොක්ස් ඇතුලු සියල්ලම හයි කරලා ටෙස්ට් රන් ගිහින් ඊට පස්සේ වේරහැරට දෙනවා බොඩිය හයි කරන්න.මර්සිඩීස් බෙන්ස් 1113B එකේ චෙසිය පිටිපස්සේ දුනු ශෙකල් දෙක අතරින් සමහරවිට කැඩෙනවා. අපි ඒක බෙන්ස්ලා පොතේ කියල තියන හැටියට රෙපෙයාර් කලා. ඒ කාලෙ ටෙක් එක අයිති ලංගමට නිසා පාස් බස් වලට තිබුනේ තරමක් පරන බස්. හැබැයි තිබුන 22/1537,22/2558 වගේ බෙන්ස් නියම බස් චෙසි වලට බොඩි ගහපුවා.1537 තවම දුවනවා. ලංගමට අයිතිව තිබුන අවසාන Ikarus එක බෙන්ස් එන්ජිමක් සහ ගියර් පෙට්ටියක් තියලා පාවිච්චි කලා. 22/ 1618 Albion Abardonian බස් එකත් කාලයක් තිබුනා.ඒකේ කවදාවත් හදන්න බැරි වතුර ලීක් එකක් තිබුනා. අඹරබු අබ ගුලියක් දාලා ටික දවසක් දුවන්න පුලුවන්.
    හැබැයි ඒ කාලේ හදපු එක බස් එකක් ගැන නම් දැන් හිතනකොටත් ස්තුටක් දැනෙනවා මොකද බස් එකක් සරක්ෂනය කරන්න මමත් දායක වුනා කියල පේන නිසා. තවමත් ටෙක් එකේ පාවිච්චි කරන 23 ශ්‍රී3648 මර්සිඩීස් බෙන්ස් 1113B බස් එක අවිස්සාවේල්ල ඩිපෝවෙන් ගෙනත් හැදුවේ මමත් දැන් සිඩ්නි වල ඉන්න මගේ ගුරුතුමා වන ශාන්ත මහත්මයත්. හැම යාන්තික කොටසක්ම ගලවලා චෙසිය අලුත්වැඩියා කරලා වේරහැර වැඩපලේ අලුත් බොඩියක් ගහලා ගම්පහ පාස් බස් එක ලෙසපාවිචිචි කලා. තවමත් බස් එක පාරේ දකිනකොට හරිම සතුටක් දැනෙනවා.

    ඇත්තටම ටෙක් එක පටන් ගත්ත්තෙ ලංගමට ඕනකරන පුහුනු කාර්මිකයින් බිහිකරන්න. දැන්නම් පාස් අවුට් වෙන කිසිම ලමයෙක් ලංගම ට යන්නෙ නෑ.මොකද ඒ ලමයින්ට වඩා හොඳ පහසුකම් සහ වැ‍ටුප් ලැබෙනවා වෙන තැන්වල.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට නම් ලංගම ගැන ඒ වගේම ඔය තාක්ෂ්ණික කරුණු ගැන බ්ලොග් එකක් උනත් කරණ්න පුළුවන් . මම ඉහත සෑම් මහත්තයාට කියලා තියෙන කරුණු ඔබ තුමාටත් සීයට සීයක්ම වලංගුයි. මේ අතීතය වඩාත් සාරගර්භ එකක් බවට ගෙන ආ ඔබ තුමන් ලාට මා බෙහෙවින් ස්තූති වන්ත වෙනවා . කැන්ගරු දේශයේ සිටින ඔබ තුමන්ගේ ගුරුතුමා හට හැකිනම් මෙහි ලින්කුව යවන්න. එතුමාටත් ඇති කියන්නට කතාවක්. සත්තකින්ම ඔබ තුමන්ලාගේ සාරවත් කොමෙන්ටු මගේ පෝස්ටුවට ආලොඅකයක් උනා. එසේම මේ අප සියලු දෙනාගේ මතකය තුල තියෙන ඒ රසබර රචනා මෙලෙස අකුරු වීම ගැන මාහට නිහිත්මාණී සතුටක් තියෙනවා. ඔබට තවත්යමක් මත්ක් වුවහොත් කල්නොදමා ඒ ටිකත් ලියා මෙහි පල කරණ්න. කෙදිනක හරි කිසිවෙකුට හරි මේය වටිනාකමක් ඇති තොරතුරු එකතුව්ක් වීවි. 1113 එකේ චැසි හදන හැටි ගුරු මුෂ්ටියකින් තොරව ලියන්න හැකිනම් .බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. රත්මලාන ඩිපෝවේ තිබුනා ටයිගර් ලේලන්ඩ් දෙකක් හා වික්ටර් ලේලන්ඩ් එකක්.
      අසුගනන් වලදි ටයිගර් එකක් ගිනි තිබ්බා කියලා අහලා තියේනවා. වික්ටර් එක හැප්පිලා පස්සේ අලුතින් බොඩියක් ගැහැව්වා. එත් ඔරිජිනල් පෙනුම සම්පුර්ණයෙන්ම නැතිකරලා දැම්මා. ටෙක් එකේ තිබුන IC නොම්බරේ පාස් බස් එකට මොකදවුනේ? 23 ශ‍්‍රී එක නේද නිට්ටබුව ඉදන් ආවේ? 94 ආන්ඩු පෙරලියෙන් පස්සේ තදකොලපාට පාස් බස් ලානිල් පාටට හුරු කොල පැහැයට පාට කලා නිිට්ටබුව බස් එකේ් ඉදිරි නම්බර් ප්ලේට් එකයි පස්සේ තිබුන විදුර කැල්ලේ ලංජකාඅආ ඇන්දේ මමයි.

      Delete
    3. දෙයියනේ ඔබ තුමන්ලා ඔන් ලයින් මේ සංවාදයට සක්‍රීයව දායක වන් හැටි මොනත්‍රම් සුන්දර අත් දැකීමක්ද? බලාන ගියාම ලංගම ගැන කතා කරණ්න අයිතිය තියෙන අය මේ තරම් ඉඳිත්දී තමයි මම මේ පත්තක ඉඳන් ලියලා තියෙන්නේ! සත්තකින් ම මේ සියල්ල රස බර මතක! ඉතා ඉක්මනින්ම මම යටි යන්තොට ගිය වෙලාවක හුකා පේමෙගේ ගෙදර හොයාගෙන ගිහින් මම අර බාගෙට අත පත ගාලා තියෙන කථන්දරේ හරියටම ලියන්නම්.

      Delete
  18. ඔබට දන් වැටහෙන්න ඔනි පාටකයට අවශ්ශ්‍ය කුමක්ද කියලා!!

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එක ලියන කාරණා කිහිපයක් ඇත.
      1.ලංකාවේ ඉතා අඩු අවදානයක් දක්වන "ජීවිත ආරක්ෂාව" , "පෙර සූදානම" ,"ප්‍රථමාධාර", "සෝදිසිය" වැනි කරුණු ගැන වැඩි අවධානයක් සාමාන්‍ය ජනතාවගේ ජීවිත තුල පුරුද්දක් ලෙසට එකතු කිරීම.
      2.සාමාන්‍යයෙන් නොකරණ ක්‍රීඩා විනෝදාංශ පිළිබඳව මිනිසුන් තුල ඇත් හුඹස් බිය තුරණ් කිරීම හා ඒවා වෙත වැඩි පිරිසකගේ නැඹුරුවක් ඇති කිරීම. බොහෝ විට මේ දේවල් එක්තරා සමාජ කණ්ඩායමකට පමනක් වෙන් වුනු ලෙස වෙන් කොට ඇත.
      3.මාහට ලියාතැබිය යුතු ජීවිත අත් දැකීම්, පුවත, තොරතුරු, ලේඛණගත් කර තැබීම.
      4.යම් යම් කාරණා ගැන මා දරණ මතය පිළිබඳව මාහටම පුළුල් මතවාදයකට එළැඹීම හා සමාජ ගත කිරීම.
      5 රසාස්වාදනය

      මේ නිසාම මාහට ජනප්‍රියතම බ්ලොග් තරුව වීමේ සිහිණයක් නොමැත. එහෙත් මටම අනන්‍ය වූ මතවාදයක් තුල සිට කරගෙන යනු ලබන ලිවීම මා තුල සතුට දනවයි. මාගේ තිබුණු අපේක්ෂාව වූයේ පුවත් පතක විශේෂාඅංග කතුවරයෙකු වීමයි. එහෙත් දෛවය විසින් මා වෙනත් තැනක රඳවා තබා ඇත. එහෙත් "සඟරාමය ස්වරූපයකින් කරණුලබන විචිත්‍ර බ්ලොගයක්" යන්න මගේ එක් සිහිණයකි.බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වන පෝස්ටුවක් ලියනවාට වඩා මා රිසි වන්නේ මගේ රුච්කත්වය නෝසේනම් මගේ තොරා ගැනීම තවත් අයෙකු වෙනත් කෝණයකින් බැලීමතුළින් කරණු ලබන විවරණය හෝ ඔහුගෙ හෝ ඇයගේ අදහස් වලින් කරණු ලබන පොෂණයටය! බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. සැබවින්ම ඔබගෙ බ්ලොගය එතා විචිත්‍රවත් !!

      Delete
  19. අය්යෙ අපෙ තාත්තාත් respectable බස් කොන්ඩොස්තර කෙනෙක් එ කලෙ!
    බොහො අය කියනව මනා විනයක් ඇතුව බස් රටය පාලනය කලා කියල විශෙශයෙන්ම පසල් බස් රටය!!
    පසු කලෙක ඩිපො පරික්ශ්ශක තනතුරක් ලබුවා!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පෙර ඔබගේ කොමෙන්ටුවට මා ලියන ලද පිළිතුර මෙහි නැවත පලවූ නිසා මකා දැමුවෙමි. ඔබට හැකිනම් ඔබගේ පියතුමා සේවය කල ඩිපෝව කුමක්ද කියලාත් එතුමා වැඩකල බසය කුමක්ද කියලාත් ලියන්න. ඔබගේ පියතුමා දන්නා හඳුනන එක් අයෙකු හෝ ඉදිරියේ හමුවනු ඇත! ස්තූතියි!

      Delete
    3. ඔහු සෙවය කලේ මහරගම ඩිපොවෙ 112 ඩෙකර් බස් එකේ!!

      Delete
    4. මන් හිතනව අවුරුදු 50 ට එහා අතිතයක්!!

      Delete
    5. ඔබ සිතුවාට; අවුරුදු 50 ක අතීතයක් උනත් සොයා බලිය හෑකියි. පියතුමාගේ නමයි ගම්පලාතයි ඈතුළු විස්තර ටිකක් එවන්න.

      Delete
  20. http://w3lanka.blogspot.com/search?q=සිලෝන්+ටකරං+බස්
    මෙන්න තවත් ලංගම බස් ගැන ලිපියක්.

    ReplyDelete
  21. මං නැති කාලේ වෙච්චි දේවල්නේ.. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ පොස්ට් එකෙන්.. ඒත් දැන් ලංගම බස් වල ඩ්‍රයිවර්වරු වගේම කොන්දොස්තරවරු අපි යන්නෙ එයාගෙ වාහනේ විදියට සලකන්නේ.. එක දවසක් ලංගම එකක් හෝල්ට් එකේ කට්ටිය බස්සන්න නවත්තලා, නගින්න හිටපු කට්ටියගෙන් ටිකක් අරන් ඉගිල්ලුනා මං බලන් ඉද්දිම.නගින්නවත් හම්බුන් නෑ....

    ReplyDelete
    Replies
    1. අහලා නැද්ද චන්ද්‍රලේඛා පෙරේරා කියන ගායිකාව කියනවා ව්"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසින් ඇත . . . .//" කියනවා. ඕකෙ විලෝමයත් එහෙමම තමයි.

      Delete
  22. අදයි ඔබේ බ්ලොග් එකට ගොඩ වැදුණේ . මේක කදිම ලියමනක් . මම කුරුණෑගල ඉන්න කාලේ බෙන්ස් සහ ටාටා බස් වලත් , මාතර දී ලේලන්ඩ් බස් වලත් කොළබ දී ඉසුසු ලංගම බස් වලත් ගිහින් තියෙනවා . ඒත් එක්කම සීසන් එකෙන් ගිහින් තියෙනවා . ඔබේ අර බස් රියැදුරුගේ කථාව අව්‍යාජ එකක් . ඩිපෝවල තිබුණු හොද බස් පරණ යකඩ කියල එළියට දාපු වෙලාවෙ බෙන්ස් බස් එකක් කාලයක් දුවපු මා දන්නා ලංගම රියැදුරෙක් දුක්වුණු අයුරු මට මතකයි . ලංකාවේ දේශපාලනය ජනතාවගෙන් උදුරාගත් සම්පතක් විදිහට ලංගම හදුන්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඉතාමත් ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගන්නවා!සත්තකින්ම ලංගම කියන්නේ නිදා සිටින යෝධයෙක් ලෙසයි මා දකින්නේ. අලිය වැහැරුණාට කොරහෙ නාවන්න බෑ කියනවා වාගේ 1977 පසුව පැමිණි සියළුම ආණ්ඩු මේක කාගෙන ගියාට තාම සැඟවුනු ශක්තියක් තියෙනවා. අපේ කරුමෙට හරි එහි සේවක්යන්ගේ කරුමෙට හරි නැතිනම් ආණ්ඩුවේ කරුමෙට හරි ඒක කිසිවෙකු තේරුම් ගන්නේ නෑ. ලංගම මතක් වෙන්නේ පුද්ගලික බස් ස්ට්‍රයික් කලදාට විතරයි. ඒක මේක්ෂේත්‍රයේ විතරක් නොවෙයි රාජ්‍ය ව්යවසායකය තුල පවතින කොතැනත් තියෙන අඩු ලුහුඩු කමක්. ස්තූතියි නැවතත්. මලන්න බ්ලොග් එකේ ඒමේ අත ඇවිද. තව ඔබට රුචි දේවල් තිබිය හැකියි. ඔබට යෝජනාවක් උනත් කලහැකියි. අඩුපාඩු වෙත්නම්.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...