Tuesday, February 6, 2018

62. ගඟක් දිගේ ගිය ගමනක්……….19



යළි නො එනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක්දෝ!!

ඉවුරට පැමිණි අප මමත් තෙශාන්තත් පැදි කයාකය  මුළුමනින්ම ගොඩට ඇදගත්තෙමු.

ඇබය ගැලවීම!

ඕනෑම Sit On Top කයාකයක් මොනතරම් සංවෘත පද්ධතියක් වුවද එය තුලට යම් හෙයකින් ජලය ඇතුළු වුවහොත්  එම ජලය ඉවත් කරණ්නට උපක්‍රමයක් ලෙස කුඩා ඇබයක් එක් කෙලවරක සවිකොට ඇත.                                                    

බොහෝ විට මෙය ; කයාකය නිශ්පාදනයේදී සවි කරණ්නේ ඉදිරි කෙලවරේය.

මමත් තෙශාන්තත් පැද ආවේ මෙරට නිශ්පාදිත  ෆයිබර් කයාකයකි.                 
පෙර සඳහන් කල පරිදි මෙය මොරටුවේ දනූශා මැරීන් කම්හලේ නිපදවා පසුව මෙවන් ගමනකට සුදුසු පරිදි ; කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් කම්හලේ නලීන් විසින් නවීකරණය කල එකකි.                                                                                  

එහි ඉහත කී ඇබය සකස් කොට තිබුනේ පී වී සී ෆොර්සයිත් සොකට් එකක් හා එයට යොදන ලද එන්ඩ් ප්ලග් එකකිනි.

කයාකය ඉවුරට ගැනීමට මහත් සේ අසීරු විය.                                               

වියලි බර කිලෝ 40 කට ආසන්න වූ කයාකය තුලට හරි අඩක් පමන ජලය පිරී තිබුනු බැවින් එහි බර කිලෝ 60 ක් පමන වී තිබුනි.  
                                    
ඉවුරට ඇදගත් කයාකයේ ඉදිරි කෙලවරේ වූ ඇබය ගැලවීමට ; අප වෙත තිබුනු Multi Tool එකක් යොදා ගතිමු.     
                                               

            Multi Tool-ඒකම නොවුනත් ඒ වගේ එකක්!



එහෙත් කාලයක් තිස්සේ හිරු  රැස්වලට නිරාවරණය වීම නිසාදෝ ඇබය භ්‍රමණය නොවී එහි එලියට ඇති ගැලවීමට  තදින් අල්ලා ගැනීමට උපකාරී වීමට සකස් කොට තිබුනු කොටස කැඩී ගියේ එය දිරා ගොස් ඇති බවක් දක්වමිනි!                    
ඇබය ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියල්ල අනතුරේය .                             එනිසා එය කෙසේ හෝ ගලවා ගත යුතු වන්නේය.                                                 තවත් තරමක වේලාවක් මහන්සිවීමෙන් පසුව ඇබය ගලවා කයාකය මුදුන් කලෙමු.


කයාකය මුදුන් කොට!


උඩින්  බැරිනම්  යටින්!

ඇබය ගැලවූ තැනින් පිටවූ වතුර පහර අඩියක් පමන දුරට විහිදුනි!  

එතරම්  තෙරපුමක් ඇතිකිරීමට සමත් ජල ධාරිතාවක් කයාකය තුල ගබඩා වී තිබුනි. ජලය සියල්ල ඉවත් කිරීමට විනාඩි 15 ක පමන කාලයක් කයාකය එක එල්ලේ මුදුන් කොට තබා ගෙන සිටින්නට අපට සිදුවිය. මෙසේ ජලය සියල්ලම පාහේ ඉවත්වූ පසු කයාකය මුනින් නවා එහි පතුල හෙවත් කීල් එක (keel ) පිරික්සුවෙමු.                          
                                              
කීල් එකේ දාරය  අඩියක් පමන දිගට පුපුරා ගොස්‍ය. ගලක වැදීමෙන් එම දාරය කඩතොළු වී පුපුරා ගොස්‍ය.                                         
 අද දින උදෑසන සිට පැමිණි ගමනේදී අවස්ථා කිහිපයකදී කයාකය ගල්පර්වත මත සිරවී ගියේය.                                                                                              
එහිදී එක් අවස්ථාවකදී  තෙශාන්තහට බැසීමට  අපහසු ගැඹුරු ස්ථානයක් අභියස කයාකය සිරවුනා මතකය. ඒ කෙසේහෝ වේවා කයාකය සිදුරුවී හමාරය.  
                                        
ඇස්බැස්ටෝස් ගම් පටිය පරයෝජනයට ගැනෙන්නේ මෙවැනි අවස්ථාවලදී. අවසාන මොහොතේ මහියංගනයේ සරත් මහත්තයාගේ වැලි තොටුපලේදී මා TLC  රථයෙන් සමු ගනිද්දී එහි පසු පසවූ ප්ලාස්ටික් ක්‍රේටයේ පතුලේ සාමදානව තිබුනු අතර එය මා අතින් අතපසුවිය.

එසේ සිදුවූයේ  මන්ද ?                                                                                     

මෙම ගමනට සහභාගී වූ 6 දෙනෙකුවූ පිරිසෙන් හතර දෙනෙකු ; නොඑසේනම්  2/3 කිසිදා කයාකයක් පැද නොතිබූ අය වෙති!                                                      

එනිසාම මෙම ගමන සංවිධානය පිළිබඳව කටයුතු සිදුකිරීමේදී  ; බොහෝවිට මා කාර්‍යයන් බෙදා නොහැර මවිසින්ම කරණ්නට යෙදුනි.  
                                   
එය අසාර්ථක කළමණාකරණ පිළිවෙතකි.                                        කළමණාකරුවෙකු තම කණ්ඩායමේ සාමජිකයින්ගේ හැකියාවන් , දක්ශතා  හඳුනාගෙන ; සමස්ථ කාර්‍යය  ඔවුන් අතර   බෙදා හැර ඉන්පසු එක් එක් සාමාජිකයා වෙත පැවරුණු  කාර්‍යය ඉටු කිරීමට උනන්දු කරමින් එය නියමාකාරයෙන් ඉටුවේදැයි සොයා බලමින් සාමාජිකයින් වෙතින්  සමස්ථ කාර්‍යය ප්‍රශස්ථ මට්ටමින් නෙළා ගැනීම කල යුතුවේ.                                                                          

නමුත් මවිසින් සිදුවූයේ අනෙකකි.

කණ්ඩායමේ අනෙකුත් සාමජිකයින් මත ක්‍රියා නොකිරීමේ  ; ඔවුන් මත විශ්වාසය තබා කටයුතු නොකිරීමේ දුර්වල තාවයක් මා තුල පවතී. එය සහජයෙන් මාතුලට ගෙන ආවක් නොව මාසමග ගමන් බිමන් ගිය මිතුරණ් ඥාතියන් විසින් මාතුල පරිස්සමට තබා ඉවත්ව ගිය සුන්දර මතකයන්‍ය!   

එහෙත් ; මෙතෙක් සිදුවූ සියල්ල දෙස ආපසු හැරී බැලීමේදී මහියංගනයෙන් පිටවීමට හෝරා කිහිපයකට පෙර මෛත්‍රී හමුවන තෙක් අපට සම්පූර්ණ කණ්ඩායමක් නොහිටියහ! මෛත්‍රී හමුනොවන්නට මේ ගමන නොසිදුවීමට හෝ කණ්ඩායම 4 කට  සීමා වෙන්නට ඉඩ තිබුනි! මන්ද  Two Man කයාකය තනිව පැද යාමට නොහැක.

මෙම පිපිරුම වසාගන්නට කිසිවක් සොයමින් සිටි  අපහට දත් බුරුසු මතක් විය. දත් බුරුසුවක මිට ගින්දරට අල්ලා  උනුකර ගතහොත් මෙය යාන්තමින් හෝ පිරියම් කරගත හැක. කයාකයේ පතුල හෙවත් කීලය සැන්දෑ හිරු රැසින් ඉක්මනින් වේලා ගත්තෙමු.     ඒ වන විට පසිඳු ;තම මල්ලෙන් දත් බුරුසුව හා ලයිටරය එලියට ගෙන තිබුනි.

අප සිටින්නේ මහ කැලයක් මැදනොව ඝන වනන්තරයක් මාධ්‍යයේය !          
මිනිස් පුළුටක් අහලක නැත.                                                                              නිඹඳවම  ඇසෙන්නේ රැහැයි හඬ පමණි.  ගං දිය පිසලමින් එන සුළඟ ගතට ගෙන එන්නේ තද සීතලකි. හිරු අවරට ගමන් අරඹා  පැය හතරකට පහකට ආසන්න කාලයක් ඉක්ම ගොසිනි.

හමන තද හුළඟට එදිරිව ලයිටරයක් දැල්වීම පහසු කටයුත්තක් නොවේ. දල්වාගත  ලයිටරයෙන් බුරුසු මිට උනු කොට පිපිරුණු පලුද්ද මතට වැක්කෙරුවෙමි. උණුවූ බුරුසුමිටේ වූ ඉටි ෆයිබර් පතුල මත ඇලෙන්නේ නැත.    

දත් නොමදින දත් බුරුසු!

තවත් පැය භාගයකටත්  වඩා වැඩි කලයක් අපතේ යමින් විය.                           මොනදේ කරණ්නටත් අපට ඇත්තේ සීමිත කාලයකි.                                      දහසකුත් එකක්  බාධක මැද  මේ ගමන  පිටත් වීමට අප ගත් අත්තනෝමතික තීරණය සේම තීරණයකට අප එළඹිමු.                                                                   
ඒ අනෙකක් නොව සිදුරුවූ කයකයෙන් නැවත ගමන්  ඇරඹීමටය.

කුමන විදියේ බාධාවක් ඇති වුවත් මෙම රාත්‍රියේ මෙම ඝන වනාන්තරය මැද ඉන්නට අප වෙත අමු ද්‍රව්‍ය නොවීය.බොහෝ සංචාරක කණ්ඩායම් මෙම ගමන යන්නේ දින තුනක - රාත්‍රීන් දෙකක  ගමනක් ලෙසය.                                                                                        
එවන ගමනක් සඳහා ඇවැසි අමුද්‍රව්‍ය , ආහාර පාන යනාදිය ගෙන එන්නේ තවත් යාත්‍රාවකය!නමුත් අපේ ගමන මීට හාත්පසින්ම වෙනස් එකකි. නවසිය පනස් ගනන් වලදී කොන්ටිකි ගවේශනය කිරීමේදී ඊට වසර සිය ගනනකට පෙර සිටි අපේ මුතුන් මිත්තන් එම මුහුදු ගමනේදී භාවිතා කල අවම පහසුකම්  වලින් ඔබ්බට නොයා කල ආකරය  මගේ හිතේ තදින්ම පැලපදියම්  වී තිබුනි.මා ඒගැන කණ්ඩායම දැනුවත් කල සෑම අවස්ථාවකදීම අපගේ මුළු කණ්ඩායමම ඊට එකඟ විය.
අප විශ්වාස කලේ අපගේ සැලසුම , ආත්ම ශක්තිය  , ගතෙහිවූ දරාගැනීමේ හැකියාව හා ස්වභාව ධර්මයද ඇතුළුව විශ්ව ශක්තියය. අපගේ සැලසුමේ ආකාරයට දින දෙකකින් මෙම ගවේශනය කල හැක.එසේ නොහැකි වුවද කයාක මත ගෙන යාහැකි අහාර ඇතුළු අනෙකුත් දේ සෑහෙන්නේ දින දෙකකට පමනි.එනිසා අප කැමතිවූවද  නොවූවද අද රාත්‍රී ආහාර ගැනීමට මනම්පිටියට ගොඩ බට යුතුය.
ඔව් අප ඒ ඉලක්කය හඹා යාමට පටන් ගතිමු.

එතැන් පටන් ගතවූ සෑම පැය භාගයකටම විනාඩි හතලිස් පහකට සැරයක් කයාකය ගොඩට ඇද ; ඇතුලත පිරුණු  ජලය ඉවත් කරණ්නට අපට සිදුවිය.
දහවල  තිබුනු සුනදරත්වය ගං දියෙන් ඈත් වෙමිනි.                                          සන්ද්‍යාවේ හිරු රැස් ගං දිය මත කුමන රූ රටා මැවූවද ඒව රස විඳින්නට තරම් සිත් පැහැදිලි නොමැත.
බිම් කරුවල වැටෙද්දී අප අපගේ අවසාන නැවතුමේ නතර විමු. ඈතින් පෙනුනේ දිඹුලාගල කන්ද විය යුතුය.එයට තවමත්  මළාණික   හිරු රැස් වැටෙමින්‍.වේලාව හවස 5.30 ට පමන ඇත.අප අපගේ චාරිකාවෙ අවසානයට කිට්ටුවෙමිනි.එහෙත් අවසානයක් නොපෙනේ.

දියෙන් එපිට දිඹුලාගල!

විශල  වැලි තලාවක් වූ එම නැවතුමේ අප  තරමක වේලාවක් රැඳී උන්නෙමු. මාගේ සිත මොනතරම් අවිවේකී වුවද  එය කණ්ඩායමේ ඉතිරි අය වෙතට කාන්දු නොවන්නට මම මග බලා ගත්තෙමි.කණ්ඩායමේ අන්  අය බොහෝ කෙළිදෙලෙන් යුතුව සිටියෝය.මා ඔවුනට බාධා නොකලෙමි.    


      පසිඳු - ලෝකය උඩු යටි කුරු වී!
                                                                  
අතරමං වීමේ සතුට!


ගිලෙන නැවක නැවියන්!

පසිඳු, මම, තෙශා,මෛත්‍රී,වසික - කෝ මේ ධම්මික

ආ මේ ඉන්නේ - එතකොට මෛත්‍රී

වසිකයා

ගිලෙන්නට පෙර!




කිසිදු බයක් හැකක් නැතිව!

අප අතරින් කීදෙනෙකු හට නැවත මෙවන් ගවේශනයකට සහ භාගී වන්නට හැකිවේද? තවත් ස්වල්ප  වේලාවකින් අප එම වැළි තලාවට සමුදුන්නෙමු.
සූර්‍යයා ඈත වනාන්තරයට ඔබ්බෙන් වූ කඳු පන්තියට මුවා වන්නට ඔන්න මෙන්නය.එය රත්වූ යකඩ බෝලයක් මෙනි.   



බලා සිටියද නොනැවතුනු ඉර !


අප බොහෝ සෙයින් වෙහෙසට  පත්වී ඇත.එහෙත් කිසිවෙකු ඒ ගැන මැසිවිළි නොකියයි.අධික වෙහෙස සමග අධික තරහක් යෑම සම්හර අය වෙතින් පෙන්නුම් කරණ දුර්වලතාවයකි.තරහව සමග සිදුවන්නේ කණ්ඩායමේ අන් අය  සමග කුඩා දේටත් බහින් බස් වීමයි.ඊට සමගාමීව තමන්ට පහසුවෙන් කල  හැකි දේ පවා  කරගැනීමේ ලෙහෙසි පහසු මං ඇහිරී යයි.එවිට මෙතෙක් සියුම්ව පැවති කේන්තිය වර්ඝ වී  , ඝනයවී මහා විනම්බෑසියකට   දොරගුළු විවෘත වේ.එවිට එතෙක් කණ්ඩායමේ තිබුනු සමතුලිත භාවය , සමගි සම්පන්න බව සුහදශීලී වටා පිටාවට කන කොකා හඬළයි.තරුණයින් සමග කරණ ගනුදෙනු වලදී වැඩිහිටියන්  වෙතින්  මෙම තත්වය  තත්වය  බොහෝ විට මා දැක ඇත.සාමන්‍යයෙන් තරුණයින් හට තමන් ගමන් කරණ බෝට්ටුව හිල් වුනද තමන් මූදු බත්  වුවද එකෙකුගෙ හිස මත වහලයක් කඩා පාත්වුවද එය හුදෙක් තවත් එක් සිනහ උපදවන සුළු ක්‍රියාවකි.මේවා වැඩිහිටියන්හට අසාත්මිකතා ගෙනදෙන විසූඵ දස්සනයන්‍ය.මේ කියන රෝගාබාධ සියල්ල අඩුනැතිව දැක්වීමට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයට  වුවද යැවීමට  හැකි නියැඳියක් මා දනිමි. ඒ අන් කවෙරෙකුවත් නොව මේ අහිංසක මම ම ය!

අපගේ කණ්ඩායමේ සිටි භද්‍ර යෞවනයින් තිදෙන වන වසිකත් ධම්මිකත් පසිඳුත් මේ බැරෑරුම් සහගත අවස්ථාවේ ඇති අවිනිශ්චිත භාවය හොඳින් තේරුම් ගෙන තිබුනි.තෙශාන්ත ඇතුලු ඔවුන් සියල්ල මාවෙතට ඉතාමත් ගෞරවනීය ලෙසට නතුවී තිබුනි.මා සිතන්නේ එය මා එවිට පත්වී සිටි අසරණභාවය පිළිබඳව සිතා එකිනෙකා අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකින් සංනිවේදනය නොකර ගනිමින්ම හුදෙක් හැඟීම් තෝරා ගනිමින් තේරුම් ගනිමින් මා වෙතට කල  වච්නයෙන් විස්තරකල නොහැකි , අමිල ,අසමසම එසේම අතිශයින් හැඟීම්බරවූ ප්‍රධානයක් ලෙසිනි. 
මා මෙසේ කියන්නේ එතැන සිටි එක් අයෙකු වෙතින් හෝ ;ඇස්බැස්ටෝස් ගම් පටි ගෙන නොඒම හෝ මාවෙතින් අතපසු වීම පිළිබඳ යන්තමින් හෝ අදහස් ප්‍රකාශකර සිටීමක් , දොස් පැවරීමක් ,පුනරුච්චාරණය කිරීමක් යන්තමින් හෝ සිදු නොවීය!කොටින්ම ඔවුන් ඒගැන කථා කලේම නැත!  
එහෙත් ඔවුන්ගේ නිහඬ බවම මා බොහෝ සෙයින් පෙලීය!

පුරා දින තුනක් තුල කරණ්නාවූ සංචාරයක් දින දෙකකින් නිම කරණ්නට අප යන්ත  දරමින්‍ය!                                                                                                   
අපගේ ආහාර සියල්ල අවසන්වී ඇත.බොන්නට ඇත්තේ ගං  දිය පමනි.ඒ සියල්ලටම වඩා එක් කයාකයක් අබලන් වී ඇත.                                        

“සාක්කුවක නොතිබිය යුතුම දේ සිදුරක් !” වනවා සේම දියෙහි ගමන්  ගන්නා යාත්‍රාවකට සිදුවිය හැකි ලොකුම අන්තරාවට කයාකය පත්වී ඇත .

පාසලේ පහල පන්තිවල සිංහල පෙළ පොතක මුල් පාඩම අතර තිබුනු; එක් නවකතාවක උපුටනයක් මාගේ මතකයට ආවේ නිතැතිනි.                                  

එය නම් කොට තිබුනේ “සිංහලයේ අන්තිම නැව ” යනුවෙනි.එහි දළ කතාව  මෙසේ මතකයෙන් මා ලියන්නම්.

 “සිංහලයේ අන්තිම නැව ”

(මේ වගේ වෙන්න ඇති!)

දරුණු මුහුදු සටන් රාශියකට මුහුන දී බොහෝ සෙයින් අබලන්ව ගම් බිම් බලා එන එය සිංහලයේ අන්තිම නෞකාව වූවේය!                                                        
රළ පහරින් ඒ මේ අතට දිවෙමින්  එය දින ගනනාවක සිට ඈත දියඹේ සිට ලංකා ද්වීපය දෙස බලා සෙමෙන් සෙමෙන් යාත්‍රා කරන්නීය.නැව මෙන්ම එහි කප්පිත්තාත් එහි නැවියනුත්  බොහෝ කාලයක් මුහුද මැද ගෙවූ දිවියෙන් අතිශය හෙම්බත්ව ඉස්පාසුවක් අපේක්ෂිතව යාත්‍රා කරමින්  වන්නාහ.   ඉරී ගිය රුවලුත් , කැඩී  බිඳී ගිය බඳෙනුත් , කැබැලිවී ගිය කුඹගසෙනුත් ගෙවුනු කාලය තුල ගෙවූ සංග්‍රාම භූමියේ රුදු බවට දෙස් දෙයි.සෑම අතින්ම අබලන් බවින් හෙබි නැව සෙමෙන් සෙමෙන් ගමරට එමින්‍ය.බොහෝ විට මේ එම නෞකාවේ අවසන් ගමන විය යුතුය.

මොහොතකින් ඈත් ක්ෂිතිජයෙන් මතුව ආ කුඩා සලකුණු දෙක ;කුඹගස මත සිට දසත ඉව කරමින් සිටින නැවියා හඳුනා ගෙන එය නැවේ ප්‍රථාපවත් කප්පිත්තාට කෑගසා දැනුම් දෙයි.

“ප්ර්ථිකාල් නැව් දෙකක් …!”

වෙනදා මෙන් එම ආරංචියෙන් නැව කලබල වූ සේයාවක් නොපෙනුනි. වෙනදා මෙන් “ප්‍රථිකාල්” වච්නය ඇසූ සැනින් බඹරයට ගල් ගැසුවා සේ ක්‍රියාශීලී වන පිරිසක් අද එහි නැත.ඔවුන් සියළු දෙනාගේ සංග්‍රාමික මුවහත; අධික තෙහෙට්ටුව විසින් මොට කර ඇත.  නැව්  කප්පිත්තාද නිහඬය.නැවට මෙතෙක් ආදරණීය පියෙකු සේ රැකවරණය දුන්  ඔහුට ; ඔද්දල්වූ හෙම්බත්වූ හරියමන් අහරක් නොමැතිව  සිටින තම දරුවන් නැවත් සටනකට උසි ගන්වන්නට  , යොමු කරණ්නට හිතක් නොමැත!තවත් සටනකට වඩා මරණයේ සිහිලැල් පහස වැළඳ ගැනීමට ඔවුන් සූදානමව සිටින සේයාවකි.

කෙමෙන් එහි ලඟාවූ සතුරු නැව්දෙක තමා මැදිකොට දෙපසින් නැවතුනි.
ප්‍රමානයෙන් කුඩාවූ එම නෞකාවන්ගේ සිටි ප්‍රථිකාල් නැවියන් මෙම විසල් එහෙත් බොහෝසෙයින් අබලන්ව රෝගියකු සේ ඇදෙන නෞකා රාජිනිය දෙස හෙලූවේ සමච්චල් සහගත බැල්මකි.නෞකාවන්ගේ කප්පිත්තන්ගේ විධානයෙන් නැවියන් ක්‍රියාත්මක විය,ඔවුන් මෙම නැවට පහර දෙනු වෙනුවට තම නැව් වලට  මෙම නැව  දම්වැල් වලින් ඈඳා ගනිති.මෙය කිසිදා බලාපොරොත්තු නොවූ හා  අත් නොවිඳි අත්දැකීමකි.

සිංහලයේ නෞකාවේ කප්පිත්තාහට ප්‍රථිකාළුන්ගේ අදහස තේරුම් යයි.ඔහු තම “දරුවන්” රැස් කොට  කරණය තේරුම් කර දේ.

“මෙවර  ප්‍රථිකාළුන් සැරසෙන්නේ අපගේ නැව රැගෙන ලිස්බන් වරයට යන්නය! !  එහිදී අපත් අපගේ මේ නෞකාවත් ඔවුන්ගේ රටේ අයට ප්‍රදර්ෂන භාන්ඩයක් වනු  ඇත !දරුවනි ; උඹලා ඊට එකඟද?”

“නැත ! කොහෙත්ම නැත!! ඊට වඩා මරණය සුවයකි!!!” පිරිස එක හඬින් පිළිතුරු දෙති.

“එසේනම් දරුවනි අපගේ යදම් ද ගෙන උන්ගේ යාත්‍රා  තදින් ඈඳා ගනිව් !”
මොහොතකින් අබලන් නැවේ නැවියන් තම යදමින් ප්ර්ථිකාල් නැව හොඳින් ඈඳා ගනිති.මේ ක්‍රියාව ප්‍රථිකාල් නැවේ නැවියන් හා කපිතාන් ඇතුළු නිළධරුවන් විශ්මිතව බලා  හිඳියි.

නැවේ යට තට්ටුවට යන ප්‍රථාපවත් කප්පිත්තා මෙතෙක් සංග්‍රාම භූමියේ ලෙලදුන් ; රුපුන් හිස් දෙපළු කල  ; තම බඳ පටියේ කොපුවතුල එල්වා තිබුනු අසිපත සුරතට ගනියි! එයින්  නැව් පතුල සිදුරු කරයි !
මහා නෞකා රාජිනිය කෙමෙන් කෙමෙන් මහා සමුද්‍රය තුලට ගිලා බැසීම ඇරඹෙත්ම ප්‍රථිකාල් නැවේ නැවියන් මරු විකල්ලෙන් යදම් මුදා හැරීමට වෙහෙසෙති.දෙවියන් යදිති. හඬති වැළපෙති !
සිංහල්යේ අන්තිම නැව සතුටින් ඔල්වරසන් දෙන නැවියන් සමග සතුරු නැව්දෙකද කැටිව සාගර පතුලට කිඳා බසියි !

මේ වන විට බොහෝ සෙයින් බිම් කරුවල වැටී අවසන් ය.ගමන ආරම්භයේ පටන් සිත තුල හොල්මං කල කිඹුලා දැන් මාගේ හදවත  අසලය.සමහර ගොදුරු ගැනීමට කිඹුලන් දින ගනනාවක් සතිගනනාව මාස ගනනාවක් ලුහු බැඳීමද එයට පෙරහුරු සැසි පැවැත්වූ ආකාරයද මා අස ඇත!

උදාහරණයක් ලෙස ජා ඇල දඬුගම ගඟට බරවී තිරස්ව ගොස් ඉහලට හිස ඔසවා ගත් පොල් ගසෙක ; කාලයක් තිස්සේ  මාළු බෑමෙහි නිරත ධීවරයෙකු කිඹුලෙකු විසින් බිළි ගැනීමට සති ගනනාවකට පෙර ;එම ධීවරයා සුපුරුදු ලෙස රැඳෙන ස්ථානයට ඔහු නොමැති විට ; කිඹුලා කිහිප වතාවක් උඩ පැන පෙරහුරුවක් යෙදෙනු දුටු අය ඒ පිළිබඳව පසුව පවසා ඇත !
වරක් යටත් විජිත සමයේ  හෝ දෙවන යුධ සමයේ කලපුවක් ආසන්නයේ වූ බලකොටුවක සිර මැදිරියක  රඳවා උන් යුධ  සිරකරුවන්  සියයකට වැඩි පිරිසක් එක් රැයකදී කිඹුල් ප්‍රහාරයකට  ලක්ව සියල්ල විනාශවී ගිය පුවතක් මාහට මතක්විය!  
අනිවාර්යයෙන්ම  මේ ගමන කෙලවර වීමට රාත්‍රී 9 වත් වනු  ඇත. එතෙක් යන්තම් දැල්වෙන විදුලි පන්දම් එලියෙන් අප ඉතා කෙටි දුරක් යාත්‍රා කරමින්ද බොහෝ දුරක් යාත්‍රා ඇද ගෙන දනක් වතුරේද  ඉදිරියට ගමන් කරමින් විය.
විදුලි පන්දම් එළි මළාණිකවී ගොසින් ද නොඑසේනම් ජලපෘෂ්ඨයට වැදුනු පසු එළිය ජලය තුලට උරා ගනිමින්ද ?
දින දෙකක් පුරා අප පසුපස ඉවකරමින්  හඹා  එන කිඹුලෙකු සිටිය නොහැකිද? නොඑසේනම් මේ රත්‍රියේ අප ගේ ගමන්  මග කිඹුලෙකුගේ වාසභවන , අඩවිය, ටෙරිටරිය හරහා වැටී තිබීමට සම්භාවිතවක් නොතිබිය හැකිද?අප කළුවරේ අන්ධයන්සේ ඇවිද ගොස් කිඹුලෙකුගේ සිරුරේ හැපීමද විය නොහැක්කක් යැයි කාහට නම් කිව හැකිද?   
මාකෙරෙහි තැබූ විශ්වසය මත පිහිටා පැමිණි මෙම පිරිස වෙතත් මා ප්‍රධානය කරණ්නට සැර සෙන්නේ “සිංහලයේ අන්තිම නැවේ” කප්පිත්තා සේ ; එවන් ගෞරවණීය මරනයක්ද?                                  
                                                          

30 comments:

  1. හනේ ඉතින් බලන්නකෝ මේ ගඟක් මැද්දේ අපිව හිල්වෙච්ච කයාක් එකක් එක්ක නතර කරලා ගියපු හැටි! වටිනවද මම අහන්නේ. කෝ මේ ඉරෝමානි...!

    මාව එක්කගෙන ගියානම් අනිවාර්යයෙන් අර පටි අමතක කරලා ආපු එක්කෙනාට යහමින් දෙකක් කියනවා. ඒ මදිවට අර අපුරුවට තියෙන වැල්ලේ පිනුම් ගහන කෙනා සමග හරි හරියට බඩපිණුම් දෙක තුනක් ගහලා අර කියාපු වැඩිහිටි අයගේ උදහසට ලක්වෙනවා. ආයේ ඉතින් කිඹුලා කන්නය?

    ඒකනේ ඉතින් අපිව කිසි කෙනෙක් එක්කගෙන යන්නෙත් නැත්තේ මේ වගේ ගමන්.

    ReplyDelete
    Replies
    1. එක්කගෙන යන්නෙ නෑ! මොනතරම් අසාධාරණ කතාවක්ද මේක? මහවැළියේ තියා හෝගානා පොකුණවත් පෙන්වන්න තියේද ඉඩක්?

      "හදිසියක් නැති නිසා මා ඉඳිමි මග බලා...!"

      කොහොමටත් එන සතියෙන් පසුව මේ චෝදනා වලින් මා ගැලවේවි. බොහොමත්ම ස්තූතියි!

      Delete
  2. බුදාම්මෝ.. ඇඟ හිරි වැටෙන සීන් එකක්නේ.. විනාඩි තිහෙන් හතලිස් පහෙන් flood වෙන kayak එකක කරුවලේ යනවයි කියන්නේ.. මම නම් කියෙව්වෙත් කකුල් දෙක උඩට අරං.. :)))

    ReplyDelete
    Replies
    1. මේක වීර කාව්යක් නොවේ.

      මිත්‍ර ඔයා අහලා තියෙනවා නේද අර ජීවිතාරක්ෂකයන් හට ගලවා ගෑනීමට නියැඳියක් වූ මහළු මිනිසා ගේ කතාව?
      ගොඩට ආපු ගමන් ඒ මනුස්සයා කියලා තියෙන්නේ
      " තල්ලු කරපු එකා දන්නවානම් උගේ ආච්චිට .....!" කියලානෙ.

      මේකත් එහෙම එකක්!

      වෙන කරණ්න දෙයක් තිබුනෙ නෑ මිත්‍ර! ඔයා හිටියත් කරණ්නෙ ඒකමයි!
      හිතන්නකෝ ඩෝරා එකකට දියඹේදී ටෙරාලා ඇටෑක් කරණවා. ඒක ෆ්ලඩ් වෙමින් තියෙන්නේ. වෙරළට නොටිකල් මයිල්ස් 50ක් 60ක් තියෙන්නේ! මොකද කරණ්නෙ?
      රිස්ක් එකක් අරණ් එන්න ට්‍රයි එකක් දෙනවා නේද?

      අපි මේ මොනාද කරණ්නෙ? මිත්‍ර ඔයාලටනෙ මෙවැනි අත්දැකීම් තියෙන්නේ?
      ලියන්න කොයි තරම් දේවල් ඇතිද?

      Delete
  3. මම මෙහේ ඉන්නවා ලිකිතා. ඇයි අනේ ගගක් දිගේ යන්නේ නැතිව වෙන ඒවා ලියනකොට තරහා යනවනේ. අපිව ගග මැද දාලා ගියාම හපුට්ටෝ කනවා කියලා දන්නේ නැද්ද?? අදත් මහ රෑ අපිව කිබුලන්ට කන්න දාලා ගියානේ. මොනවා උනත් කට්ටියගේ හිනාවනම් මල් හතයි. ගග දිගට රත් මලුත් තියනවා ගොඩක්. ඔබතුමා කලින් පොස්ටුවේ කියපු දෙයක් මතක් කරන්න හිතුනා. ඔබ මේ බ්ලොග් එක ටික කලයි තව පවත්වාගෙන යන්නේ කියලා. එහෙම කරන්න එපා කියලා මම ඔබ ගෙන් කාරුණිකව ඉල්ලනවා. මම මේ බ්ලොග් එක නිසා බොහෝ කරුණු ඉගෙන ගෙන තියනවා. ඇත්තටම ඔබ කරන්නේ ලොකු සේවයක්. එය නවතා දැමීම අපරාදයක් විදියටයි මා දකින්නේ. හැකි විදියට මේ බ්ලොග් එක ලියන්න. දෙයක් නවතා දැමීමට කාටත් පුළුවන්. නමුත් පවත්වාගෙන යාමයි අසීරූ. ඔබ අසීරු දේ කිරීමට උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. 1- බය වෙන්නෙපා සිස්... තට්ටස් අපට උගන්නල තියෙන්නෙ ගරිල්ල ගේමක් ගහන හැටි. තුවක්කුයි පිහියි අරගෙන, BJ40ක දාගෙන ගෙනත් කයාක් එකකට දාලා ගඟක් මැදට දාමු! වික්‍රමයක් ලියල අපිව දැනුම්වත් කරනකම් බයිසිකලේ තියෙන තැන කියන්නෙ නෑ කියමු!

      2- ලිඛිතා සිස්, කමෙන්ට් එක නිකං මාවල් ෆිල්ම් එකක් වගේ!

      3- තට්ටස් අංකල්, ඇත්තටම ගඟේ යනකොට කළුවර එන්නෙ ගස්වලින් ආවරණය වුනාම විතරයි නේ ද? නැත්නම් නිකං ඇහැට පුදුම සුවයක් තියෙන ලස්සන මන්දාලෝකයක් තියෙනව නේ ද?


      Delete
    2. ඉරෝමනී , මම ලියන හැම පෝස්ට් එකක්ම වචන1500ක් විතර දිගයි! මේක වචන 2000 ටත් වඩා වැඩියි! ඉතින් වචන 2000 ක් ලියලත් ඔයාලව එගොඩ කරගන්න බැරි වුනේ මා හිතලා කරපු දෙයක් නොවේ. ඒ නිසා වරදවා තේරුම් ගන්න එපා එන සතියේ ගොඩට යන්න බලමු! ස්තූතියි බොහොමත්ම!! ( කොටස් 20 ඉවර වෙනකොට වචන30000 කටත් වඩා ලියලා!)







      Delete
    3. ඇනෝ නෑ මල්ලි එදා වැහි බීරම නිසා අහසෙ මන්දා ලෝකය පෙනුනේ කිසිදු එළියක් පෙනුනේ නෑ.
      තරු පායලා තියේ නම් ඔය කරුවලේ යන පොඩි ටෙක්නික් එකක් තියෙනවා දන්නවද?
      ඔලුව නිකටෙන් ඔසවා තමන්ගේ උසින් බැලුවාම යාන්තමින් පාර අයිනේ සුදු වැලි තීරුවක් තියේනම් පෙනෙනවා!
      ඉස්සර අපි කරුවලේ සයිකල් පදින්නේ ඔහොම තමයි!

      දැන් හැම පාරම කාපට් කරලා නිසා ඒ වැලි තීරුව නෑ!

      Delete
  4. මේක මැද දාලා ගියාට තෝව පියන් රෝලාම කාපිය. The Vienna roll may eat you!

    ReplyDelete
    Replies
    1. හං! හං!! හා!! ඒක මාර යෙදුමක්!

      පියන් රෝලා !
      මල්ලි දැන් පුටුවෙ ඉඳන් රහ කර කර ලිව්වාට ඒ වෙලාවෙ සරුවාංගෙම හීතලවෙලා තිබුනෙ !
      වතුරෙ හින්දා නෙවේ රත්තරණේ බයට ! බයට!!

      Delete
  5. 1. මිනි ටූල් කොයිතරම් ප්‍රයෝජනවත් වුනත් ස්විස් ආමි පිහි වගේ රොමෑන්ටික් නෑනේද?

    2. කයැක් වලත් keel තියනවද? ඒ කියන්නෙ පතුලෙන් නෙරා ඇති කොටසක්?

    3. මටත් මතකයි සිංහල නැවේ කතාව. කැප්ටන් කඩුවෙන්ද නැව scuttle කලේ? එක්කෝ නැව කයැක් එකක් වගේ තුනී වෙන්න ඕනෙ එහෙම නැත්නම් එයා නැව කඩුවෙන් සිදුරු කරනකම් සිංහල හා පෘතුගීසි පාටියක් දාන්න ඇති නේ? සිදුරත් ලොකු වෙන්න එපෑ ඉක්මනට ගිලෙන්න. නැත්නම් පෘතුගීසි එක්කෝ දම්වැල් ගලව ගනී එහෙම නැත්නම් බෝට්ටුවලට පනී. එහෙම නැත්නම් පෘතුගීසි නැව් ඈතින් දැක්ක ගමං කැප්ටන් කඩුවෙන් නැව් පතුල සමග සටන් කරන්න පටන් ගන්න ඇති.
    ඇස්ටරික්ස් ගේ පයිරට්ලනම් ස්කට්ලිං කරන්නෙ පොරවෙන්.
    (තට්ට මහතාට දැන් මගෙ ඔලු කට්ට ස්කට්ල් කරන්න හිතෙයිද මංද)

    ReplyDelete
    Replies
    1. 1. මම වඩාත් කැමති නම් ලෙදර්මන් ටූල් එකට!

      2. කයාක් වලත් කීල් එකක් තියෙනවා. මම ඒ ගැන ලියා තියෙනවා.

      3. එය රසවත් කතාවක්. මම ලස්සන කතාවක් කියන්නම් ප්‍රාජේ!

      ඔන්න ලොතරැයි දිනුමක් ලබපු එකෙක් ගෙන් යාළුවෙක් මෙහෙම අහනවා.

      යාළුවා: උඹ කොහොමද හරියටම ඔය ලොතරැයියෙ ඔඅය අකුර තෝරා ගත්තේ?

      දිනුම් හිමියා: මම හීනෙන් දෑක්කා 7 ඉලක්කම තුන් වතාවක්. හත් වරක් තුන 18 යි නේ. ඉංග්‍රීසි හෝඩියේ 18 වන අකුර M නෙ. ඉතින් මම M අකුර ගත්තා.

      ‍යාළුවා: ඉතින් බං 7 වරක් තුන 18ත් නෙවෙයි. 18 වන අකුර M ත් නෙවෙයිනෙ,

      දිනුම් හිමියා: ඕකනේ කියන්නෙ ඕනවට වඩා ඉගෙන ගන්න හොඳ නෑ කියන්නෙ!


      Delete
    2. හරි. Got it. වැඩිය ඉගන නොගත්තොත් බටර් පිහියෙන් වුනත් නැවක් හිල් කලෑකි.

      Delete
  6. අප්පට සිරි කිඹුලොත් ඉන්නවද?
    //කණ්ඩායමේ අනෙකුත් සාමජිකයින් මත ක්‍රියා නොකිරීමේ ; ඔවුන් මත විශ්වාසය තබා කටයුතු නොකිරීමේ දුර්වල තාවයක් මා තුල පවතී. //
    මටත් තියෙනව අයියෙ මුල් කාලනෙම් ටික දෙනෙක් එක්ක ගියපු නිසා තනියම ගේම ගැහුවා.
    ඒත් අන්තිම ට්‍රිෙප්දි මාව අවුල් ගියා
    පාර වැරදුනා.
    කෑම වලොව පහු උනා.
    මගදි බයික් එකක් කැඩුනම බැකප් ප්ලෑන් එකක් තිබුනෙනෑ.
    ටීම් එක දෙකකට කඩන්න උනා (දෙවනි ගෘප් එක මගදි හරියට විසිරිලා ෙර්ස් ගිහින් වගකීම එකෙක්ට බාර නාෙදීමේ වරද)
    ඉතින් මේ පාර ඇඩ්මින්ල 6ක් අතරේ වගකීම් ෙබදුවා.
    බැකප් එකට ලොරියක් පස්ෙසන් අරන් යන්න හිතුවා.
    ගිහින් ආවම කියන්නම්කොච්චර දුරට සාර්තකද කියල.

    ReplyDelete
    Replies
    1. මගේ ආදරණීය අවවාදය මෙසේය:

      ඕන රස්තියක් තනියම්, තව එකෙක් එක්ක , වැඩිම උනොත් පහක් හයක් එක්ක පලයන්. ඔය පිරිස වැඩිවීමේ සතුටට වඩා ; කලකිරීමකට පිරිස වැඩිවීම හේතු වේ!

      Delete
  7. එල ද බ්‍රා...ඉස්ස්ලාම ගොඩ වෙනකොට උබලා ගිලෙන්න යනවා...දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! අද හරි ගොඩ උන එක ගැන බොහොමත්ම ස්තූතියි! මුල ඉඳන්ම කියවන්න. මේ 19 වෙනි කොටස !! ලබන සතියෙන් සියල්ල අවසන් වේවි~!

      Delete
  8. හැක්.. හැක්.. අදත් යංතං ඉවර කරන්න බැරි වෙලා.

    සියලු වගකීම් එකෙකු පිට පටවගන්නවට වඩා වගකීම් බෙදා හැර ඒවා නිසියාකාරව කෙරෙ‍නවාද කියා අධීක්ෂනය කිරීම සාර්ථක ක්‍රමයක් කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙන් අවසානයි!
      සත්තකින්ම එය තමයි හොඳම ක්‍රමය!

      Delete
  9. නාන්න නනෙ නා ..තව කොටසක් තියෙනවා ,ඊළඟ කොටසේත් ඉවර කරගන්න නොලැබේවා

    ReplyDelete
    Replies
    1. ලබන සැරෙන් මනම්පිටියේ!

      Delete
  10. Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  11. අම්මප කිරිල්ලවල ෆයිබර් ග්ලාස් කාරයව අල්ලල හම ගහන්ඩ එපැයි ....
    අඩිය ගනකමට ගහල නෑ වගේ ...
    ඒත් මං හිතන්නෙ ඕක පැලුනු එක හොඳයි ..
    නිකාම්ම කිසි ගෝ එකක් නැතුව ට්‍රිප් එක ඉවර වෙන්නෙ නැතුව ..
    අර පාටියක අන්තිමට වලියක් ගියා වගේ ...

    ReplyDelete

04. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...