Tuesday, February 20, 2018

85. වලස්පතියාට පිළිතුරක්!

හුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.com
වලස්පතිගේ අඩවියේ ලිපි කියවන
 සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.


හිත්වත් මහත්මයාණෙනි,

ඔබ තුමාට දැනන මේ දුක් සමුදාය මාහට තේරුම් ගත හැක. ඔබ තරම් නොවුනත් පුවත් පත් සමග මා තරමක් ලඟින් සිට ඇති බැවින් අනෙකෙකු ගේ ලිපියක් යනු අනෙකෙකුගේ භාර්යාවක් තරම්ම පරවේසමෙන් ඇසුරු කල යුතු කාරණාවක් බව ඉන්තීරුවෙන්ම පිළිගනිමි.
වරක් චින්තන අයියා - චින්තන ජයසේන මට ලස්සන කතාවක් කීවේය.ඔහු උදෑසන පිබිද පිට කරණ පලමු ඈණුමේ හඬ  ඇරුනාම වෙන කිසිවක් ඇල්කොහොල් නො මුසුව  අසා දැන ගැනිමට නොහැකි වනවා සේම ඔහු මුණ හමුවට උදෑසන පිණ්ඩපාතේ වඩිනා භික්ෂුවක් හැරෙණ්නට ඕනෑම අයෙකු ඔහු හා ඇල්වතුර මුසුවූ ගල් අරක්කු ටිකක සප්පායම් වියයුතුව තිබූ හෙයිනුත් මෙම කතාවට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගේ නම් ගම් මේ වන විට මාහට අමතකව ගොස් ඈති බවට සමාව භාජනය කරණු මැන!

ඒ චින්තන අයියා පත්තර අංකුරයක්ව පුවත් පතක සේවය කල සමයය.එකල ඔහුගේ කතු තොමෝ කන සාක්කුවේ වැටෙන්නට මීවිතේ කිමිද පැමින ලියන කුඩා කොලමක් වී ඇත.   ඔහුගේ බීමත් කම නිසාම වරක් එය මග ඇරී ඇති අතර මැටරය භාරව සිටින් අය හෝ වෙන අයෙකු පැමින ඒ ගැන විමසූ විට පවසා ඇත්තේ "ඌට සනීප නෑ ! කියලා දාහං" කියාය!
පසු දිනද ඊටත් පසු දිනද මේ අකට යුත්ත මෙසේ වන විට පුවත් පතේ පාලනාධිකාරියෙන් චින්තන අයියාගෙන් විමසා ඇත්තෙ " බැරිද චින්තන ඔයාටලියන්න!?" කියාය.චින්තන අයියාද එකෙන්ම වැඩේ භාරගෙන ලිපිය ලියා සබ් කිරීමට භාරදී එය අකුරු වී පලවිය.එහි පලමු පිටපත දුටු කතු තොමෝ චින්තන අයියා ලඟට පැමින ඇත්තේ හිස බිමට හරවාගෙන යටි තොල සපා ගෙනය. "යකෝ මීට හොඳයි මටයි මගේ දරු පවුලටයි වස දියං!" කියා ලිපිය පලවූ තීරුව මුලට හැරවූ පුවත් පත චින්තන අයියාගේ මේසය මත පතිත කොට නික්මුනේලු!
"කිසි දිනෙක අනුන්ගේ අනන්යතාවයක් තමා වෙත පවරා ගැනීමේ පාප කර්මයට" කර නොගැසිය යුතු යැයි චින්තන ජයසේන ජීවිත කාලයටම එදින ඉගෙන ගත්තේලු!

ඔබ තුමා මෙන්ම මමද ෆ්‍රී ලාන්ස් ලිව්වෙමි.  මා ගෝස්ට් රයිටර් කෙනෙකු ලෙසද ලියා ඇත. ඔබ කිසිදු දිනෙක ගෝස්ට් රයිටර් කෙනෙකු ලෙස එක් ලිපියක් හෝ ලියා ඇත්නම් එය පලවීමෙන් පසුව හැඟෙන දැනෙන හැඟීම තේරුම් යනවා ඇත.
ඔබ මොනතරම් ප්‍රවීන පත්තර කාරයෙකු (මෙය සෙනෙහෙ බර වදනක් සේ ගන්න!) වුවද හෙට ඔබ ලියා පලකරණ ලිපියක් පුවත් පතක පලවූ බව දැනගත් මොහොතේ පටන් එය අකුරුවී ඇති අයුර දැක බලා ගන්නට ඉන්නා නොඉවසිල්ල නොකිව මනාය!

තමා ලිපිය ලිවීමට අධික උත්සාහයක යෙදුනි නම් එයද පහසුවෙන් ලිව්වේ නම එයද අලුත යමක් නම් එයද  ආදී වශයෙන් කුමන හෝ හේතුවක්  මේ "නොඉවසිල්ලට" හේතු ඒය හැක!එය හරියට "බොන්න " හේතුවක් හොයාගන්නවා වාගේය!

නමුත් ඔබ දිනක් හෝ ගෝස්ට් රයිටිං කර ඇත්නම එය දැනෙන්නේ දරුවකු හදාගන්නට දී වැටෙන් එහා සිට ඒ දෙස බලා සිටින මවකට දැනෙන සිතුවිල්ලට ආසන්න වූ එකකකි. එය ජීවිතයේ මුල් කාලයේ සිදුවූවානම් වඩාත් සනීපය! මේ සිතුවිල්ල ගීතකට නැගූ අවස්ථාවක් ලෙස ජිප්සිස්ලාගේ  "මමනම් ගඟේ පනිනවා..." ගීතය ගෙන හැර දැක්විය හැක!
මන්ද කිසිවෙකුට "මේ ලිපිය ලියා ඇත්තේ මමය..!" කීවාට ඔවුන් තබා ලියපු මට වත් ෂුවර් නැති වීමය.

මෙනිසාම ඔබගේ ලිපියක් අන් අයගේ නමින් හෝ ඔබගේ අනන්යතාවයකින් තොරව වෙනත් මාධ්යක පල වීම සමග ඔබ සිතට දැනෙන සිතුවිල්ල මාහට හොඳින් තේරුම් ගතිමි.

මහත්මයාණෙනි; එහෙත් මා අද සිටින්නේ වෙනත් මතයකය. මා අද ලියන්නේ හිස් අවකාශයටය!එය ටයිප් කර "පබ්ලිශ්" බොත්තම ඔබන තුරු අයිතිය මා සතුය.මමත් ලිපියත් සබැඳි පෙකිණි වැල එම බොත්තම එබීමත් සමග සියතින්ම සිඳ දමමි.ඉන් පසු එයට තව දුරටත් අයිතියක් නොකියමි.එය කවුරුන් විසින් කවදා හෝ කෙලෙස කුමන ආකාරයෙන් උපුටා ගත්තද ගත්තු එකා උගේ නමින් පෙන්නුවද මාහට කම් නැත!සිදුවිය යුත්තේ මගේ අදහස , මතය හෝ කථිකාව නො එසේනම්  කෙටියෙන් කියනවානම් කථාව, කයිවාරුව මිනිසුන් අතරට යෑමය, මේක ක්ලේෂයන් ප්‍රහීණ කිරීමක් නොවේ.

අප බ්ලොගයක් ලියන්නෙ ඇයි?අපිට ලැබෙනමුදලක් හෝ වෙනත් ප්‍රථිලාභයක් හෝ වෙත්ද?අප ලියන්නේකුමක් අරමුණු කරගෙනද?හුදෙක් තම ආත්ම තෘප්තිය  පතා , සමාජය  ඥාණනය කිරීමහෝ  හෝ තම අදහස සමාජ ගත් කිරීම වැනි කරුණු එකක් හෝ කීපයක් හෝ විය හැක.කිසිවෙකු අපගේ ලිපියක් පැහැර ගත්තාට මින් කුමණ ඉලක්කයකට අපට යාමට ඇති ඉඩ කඩ ඇහිරේද?

එනිසා මා සකලජනයන්වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ්නේ"මෙහි පලවෙන ඕනෑම ලිපියක් ඕනෑම ආකාරයකින් ඕනෑම අවස්ථාවක උපුටාගන්න! පලකරණ්න! උපයෝගී කර ගන්න! ප්‍රයෝජනයට ගන්න!"කියාය!

ඒ කිසිදෙයකින් මාගේ ආත්ම තෘප්තිය කිසිවෙකුට පැහැර ගන්නට නොහැක.එනිසා මේ දේවල් පිළිබඳව මැදිහත්ව සිතන්න!

මසකු ඇල්ලීමට පැමිණි ගැමියා හා ධනපතියාගේ කතාව සමග ගලපාගන්න!

ඊයේ පෙරේදා ත්‍රීවීල් එකක පිටුපස ලියා තිබූ වැකියකින් මා මේ කථාව නවත්වන්නම්.
"කොපි කල හැක! සම කල නොහැක!!"

Monday, February 19, 2018

84. සැම්සන් සහ විල්සන්....!

    කෙටිම කෙටි - කෙටි කතාව 1



ගම් පලාත පමනක් මනඃකල්පිතය.











Friday, February 16, 2018

83. තනිවූ ඇනයක්.....!











අන් බිත්තියක
 රැඳුනු
රූපය ;
ගැලපෙන තැනක
ගසමි 
ඇනයක්......!







.

Monday, February 12, 2018

82. තාත්තා නොම්ම්ර ….1 (iii)

තාත්තාගේ තාත්තා 
 දිනෙන් දින මෝරපු අඟ !
"මීමා වයසට ගියත් උගේ අඟ වයසට යන්නේ නැත !!"

තාත්තගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයා; දොන්  විල්ෆ්රඩ් පෙරේරා උන්නැහේ මුලින්ම සේවය කරලා තියෙන්නේ විටෝල් කොම්පැණියේ. පහු කලකදි විටෝල් බෞස්ටඩ් වෙලා  තියෙන්නේ මේ සමාගමයි. ඔහුට රැකියාවෙන් එන්න වෙලා තියෙන්නේ එහි ඔහුගේ ප්‍රධානියා  වූ බ්‍රිතාන්‍ය ජාතිකයාට; කඩදාසි හුලං බරුවකින් නොහොත් තේරෙණ සිංහලෙන් කියනවානම් පේපර් වේට් එකෙන් දමා ගැසීමෙන් පසුවය!                                  
ඒ ලංකාවට සිලෝන් කියපු සුද්දගේ කාලයේදීය.  

ඔහු පාවිච්චි කල ඔක්ස්ෆර්ඩ් ශබ්ද්කෝෂය මා ලඟ තවම ඇත!

ඔහු උපතින්ම  කිතුණුවකුවූ අතර ඔහුට විශේෂ දේව පූජාවක් පැවැත්වීමට යටියන්තොට පල්ලියේ පාදිලි තුමා සෑම ඉරිදාවකම පාහේ ඔහුගේ නිවසට  වැඩම කලේ පිරිහුණු සෞඛ්‍ය තත්වය නිසා විය යුතුය.   

ඔහුට අපේ තාත්තලා කතා කලේ ඩැඩී කියාය. ඔහු ඉංග්‍රීසි භාෂාවේ මහා ප්‍රාඥ්ඥයෙකි! එහෙත් එම භාෂාව ඊළඟ පරපුරට ආවේ සමාජිකයින් නව දෙනෙකුගෙන් මාගේ පියාටත් ඔහුගේ එක් සොහොයුරෙකුටත් පමනි.අනේ අපරාදෙ කියන්න බෑ අනිත් එවුන් නම් මෙලෝ රහක් නැත !

තාත්තාගෙ මහ ගෙදර අළුත් අවුරුද්දට මෙන්ම නත්තලටද එක සේ පාටි දමන ස්ථානයකි.සියළු සොහොයුරණ් එකට එක්ව අඩි පුඩි ගසා කුකුළු මස් , අල බැදුම්, පරිප්පු සමග කහ බත් වළඳා  වලියක් දමාගෙන දිනය අවසන් කරති.                      

ඒ බී ඇල් පොඩිනෝනාගේ මෙනූ එකය !                                                     

එකල කහබත් ඉවුවේ දුං තෙල් හෙවත් ඩ්‍රිපින්  (Dripping) දමාය.ඒකාලේ අද වාගේ හයිකො හෝ ඇස්ට්‍රා දමා කෑම ඉවුවේ නැත.එහේ උයන කොට මෙහේට සුවඳ දේ.බත් කන්න කලින් කෙළ ගිලලාම බඩ පිරිලාය!  

සාන්ති බාප්පාට බියෙන් දිවයන චිකන් කෙනෙක්!

කඩේ සාප්පුවේ චිකන් නොතිබූ මෙම කාලයේ චිකන් ලා හිටියේ ගෙවල් මිදුල් වල පනුවන් ඇහිඳිමින් කමින් කුකුළන් ලෙස වෙස්වලාගෙනය! කුකුළාව චිකන් කරණ පුන්‍ය කර්මයට බොහෝවිට බෙල්ල  තිබ්බේ තාත්තාගේ බාල මල්ලී වන ශාන්ත බාප්පාය! ඒ අර මාත් එක්ක කැළණි ගඟේ කයාකින් කරණ්න එනවා කියා කණුව තිබ්බ උන්නැහැය!

අපේ තත්තාට  බොරුව සාමාන්‍යයෙන් අල්ලන්නේ නැත .                                  ඔහුගේ තාත්තාට බොරුව කොහෙත්ම  අල්ලන්නේ නැත! වරක් අපගේ බාප්පා  කෙනෙකුගේ මඟුලකදී; මඟුල් මේසයේ කතාව  කලේ තවත් අපගේ ඥාතියෙකුවූ නිමල් බාප්පාය!එකල ඔහු සිටියේ  පලමු විවාහයෙන් ඉවත් වය! මඟුල්  මේසයේ මනාල පාර්ශවයෙන් කතා කල පසු  අපේ නිමල් බාප්පා කතාව පටන් ගෙන සාර්ථක විවාහ ජීවිතයකට තුඩු දෙන කරුණු කාරණා එක දෙක කියද්දීම   අපගේ සීයා එතැනට කඩා පැන                                                                                      

“ එහෙනං නිමල් කෝ උඹේ කසාදෙට මොකද උනේ ..?” කියා ඇසුවේ හෙණ ගසන්නාසේය ! මඟුල්  කතා  එතැනින් අවසන් විය! ඒ  මා දන්නා ලොව භයානකම මගුල් මේසයේ කථාවය. වටේ පිටේ උන්නු අපේ තාත්තා ඇතුලු අනෙකුත් බුවාලා බුවීලා  “මොකද්ද ඒ කල පිස්සු වැඩේ ?” කියා ඇසුවා විනා ඊට වඩා මහා කෙළවිල්ලක් කෙළවුනේ නැත.සීයා ට එය; වචනෙන් දෙකෙන්  බැලන්ස් කරගත හැකිවිය.  

තවත් විටෙක අපේ නැන්දා කෙනෙකුගේ මඟුලකදී  ඔහු නැගිට මනමාළයාට මහඟු අවවාදයක් දුන්නේය.                                                                                           
“පුතා කිසි දවසක සල්ලි විතරක් තමන්ගේ වයිෆ්ට දෙන්න එපා! මම ඒ මිස්ටේක් එක කරල හොඳට මට්ටු උන කෙනෙක් !”  ඉතිරිය මා නොකිව මනාය! 

අපේ අම්මාගේ වියෝවෙන් පසු; අප සියල්ල කසාද විසින් මහ ගෙදරින් අවතැන් කර වූ පසු තාත්තා තනිව  යටියන්තොට හක්බෙල්ලාවක නිවසේ විසීය.එකල තාත්තා  උදෙන්ම නැගිට කිසියම් දෙයක් උයා පිහාගෙනා කාගෙන බීගෙන රජගෙදර පරෙවියා සේ; කවුද රජා - මමයිරජා  වගේ වැඩ විසීය !

තාත්තා  සෑම දිනෙකම උදෑසන 4.00 වන විට නින්දෙන් පිබිදේ.මෙසේ නියමිත වේලාවට පිබිදීමේ කථාවද ඔහුටම සුවිශේෂී එකකි. පෙරදින රාත්‍රියේ නින්දට යාමට පෙර තම හිසට ටොකු 4 ක් ඇනගෙන නිදා ගත් විට ඔහු නියමිත වේලාවට පිබිදේ!  මේ ගැන මම වරෙක අපේ මිත්‍රයෙකුට (කළ්‍යාණ මිත්‍රට නොවේ ) පැවසූවිට ඔහු/ඌ ඇසුවේ “මචං 3 ½ නැගිටින්නට උඹලෑ තාත්තා ටොකු ඇනගත්තේ  කෙසේද?”  කියාය.මම ඌට ලුණු ඇඹුල් ඇතිව “හමාර” අනින හැටි කියා දුනෙමි !

4.00 පිබිදෙන තාත්තා තේ බී උයන්නට පටන්ගනී.ඉවීම  අවසන්වූ විට ඒවා තසිං වලට හා බත් බෙදනා දීසියට බෙදා ඒවාට වෙන - වනම ගැලපෙන හැඳි තබා මේසයට අරිණ්නේය. ඉන්පසු රැවුල කපා මුහුණ සෝදා කොණ්ඩය පීරා පිලිවෙලට අඩු පාඩු නොමැතිව හැඳ පැළඳ මේසයට වාඩිවී ආහර ගනී! 

මා රැකියාවක් ලැබෙන තුරු ගෙදර වාත වුනු වකවානුව සුරාවට අත් පොත් තැබූ  කාලය විය!තත්තාට මේ ගැන කොයි ලෙසකින්හෝ ඉව වැටී තිබුනි. මේ වන විට මාගේ ආදරණීය අම්මා මියගොස් තාත්තා හා මා පමනක් ගෙදර සිටිය අපූරු වකවානුව  විය. තාත්තා කිසිදිනෙක  මාගෙන් ඒගැන විමසුවේ නැත. තාත්තා මිතුරණ් සමග අඩියක් පුඩියක් ගසද්දී මටද ඩිංගිත්තක මිතුරකු අත  එවන්නට අමතක නොකලේය!මේවා පිළිබඳව පණ්ඩිතන්ට කෙස් පැලෙනා තර්ක විතර්ක ඉදිරිපත් කල හැකි වුවත් ඒ සියල්ල මා අද දින තාත්තා කෙනෙකු ලෙස දකින්නේ ඉතා සුන්දර මතක ලෙසටය! 

ජෝග්ගුවේ පිරුණු මධුවිත!

තාත්තා කිසිදිනක නොබීවේය. ඒ වෙනුවට ඔහු කලේ නෑමය. කොටින්ම ඔහු බොන්නට ගිය තැනක් වෙතොත් අන් අය බොන අතර තුරේ ඔහු නා ගනියි. නෑමෙන් පසු හරහට ගෙදර එන තාත්තා දකින තුරු අම්මා කිසිදා නින්දට නොගියාය. 

ඉන් පසු ඇතිවන්නේ ඝාසා තීරයේ වැනි දරුණු අවි ගැටුම් ය. බර අවි ප්‍රහාරය. අප මේ සියල්ල මැද; පසුදින ඉඳි ආප්ප කෑමේ බලා පොරොත්තුවෙන් නිදති!

තාත්තා පෙරදින “නෑවද” පසුදින උදේ 4.30 වනවිට නැගිට මොනවත් නොවුනු ගානට අම්මා  සමග කුස්සියට සෙටමෝල් වී මුනු මුනු ගාමින් අම්මාව බැලන්ස්කරණයේ යෙදී  සිටිනු දක්නට ලැබීම සුලභ දසුනකි. අර කලින් මා කියූ “ඉඳි ආප්ප කෑම” සිදුවුනේ මේ මුනු මුනුවේ ප්‍රථිපලයක් ලෙසිනි! 

උදෑසන කුස්සියට යන අපට ඉඳිආප්ප වංගෙඩිය මිරිකන තාත්තා හා කිරි හොදි හැඳි ගාන අම්මා  දක්නට ලබීම ඉර හඳ වාගේ බඩු ෂුවර් සීන් එකකි.

දැනට දීප ව්‍යාප්තව; දැක්කාම දුකට බොන්න හිතෙන අමද්‍යප පෝස්ටර් ගහන ADIC  නමැති සංවිධානය පටන් ගත්තු මුල් කාලයයි.මෙම සංවිධානයයි රුවන්වැල්ලයි අතර එකල  කිට්ටු  සඹඳතාවයක් එකල විය.  මාගේ මතකය නිවැරදිනම් එහි ගරු සභාපති තුමා, ලේකම් හෝ වෙනයම් නිළධරයෙකු හිටියේ එම නගරයේය. දිනක් මෙම සභාපති තුමා අපේ ගෙදරට කඩා පාත් විය. ඒ වෙන විට අපේ තාත්තා ගල් අරක්කු දුටු විට බොනවා වෙනුවට නාන කෙනෙක් බව ඔහු කෙලෙස හෝ දැන ගෙන සිටියේය.
මා මෙසේ කියන්නේ අථිශයෝක්තියෙන් නොවේ. ඔහු තේබොන ජෝග්ගුව හෙවත් මග් එකේ කට පිරෙණ්න සංස්ථා ගල් පුරවා; හෙල්ලුනොත් හැලෙන හෙයින් සීරුවට කට ගාවට ගෙන නොව ජෝග්ගුවට කට ගෙන ෂැන්ඩි හෙවත් චේසර්ස් දිහා බලන්නෙවත් නැතිව එක හුස්මට බීගෙන යනු මා දැක ඇත්තෙමි! අප ඇතුළු අපේ අනෙකුත් බෙබෙලා මේක දකින්නට නොහැකිව අහක බල ගනිති! මේ බීම දුටු විට බොන්නට කලින් අපට “කබරයා” අත වනා “මං මෙහේ !” කියනු දැනේ!  

“මචං පුලුවන්නම් අපේ තාත්තගේ බීම නවත්වලා පෙන්නපං.                                 ආන්න කලොත් උඹ සිරා පොරක් !” මම ඔහුට අභියෝගයක් භාර දුනිමි. ඔහු සිනහ වී තමා එතෙක් හිද සිටි අසුනෙන් නැගිට තාත්තා ලඟින් වාඩිවිය. 

“කොහොමද අංකල් ?”

“කොහොමද පුතා ?”

සභපතිතුමා සාර්ථක ආරම්භයක් ගත්තේය ! මද වේලවක් ආගත නාගත කතාකරමින් සිටි ඇඩික් සභාපති තුමා අප දෙසත් විජයග්‍රාහී  සිනහවක් පා කතාවට අවතීර්ණ වය.

“අංකල් ඇයි බොන්නේ ?”

“ඇයි පුතා ඔයා නොබොන්නේ ? මම බොන්නේ මේ ලෝකෙ මිනිස්සු බොන දෙයක්නේ? ඔන්න මිනිස්සු නොබොන; නිකං භූමිතෙල් වගේ දෙයක්  බොනවා නම් ඔහොම ඇහුවට කමක් නෑ.පුතා ඔයා බොනවාද?”

“කවදාවත්ම මම කටේ තියලා නෑ! අංකල්  බිව්වාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවානේ !” කිසි ඇදයක් කුදයක් නැතිව සභාපති තුමා තාත්තාට සිද්දිය ඇති සැටියෙන් නොදන්නාදේ; දන්නා පරිදි කියා පෑවේය. කොල්ලා සුපිරියටම වැඩේ අනාගත්ත බව මා ලඟ හිටපු මොකාද එකාට කීවෙමි! මොකාද එකාට වගේ වගක් නැතිව මුඛ පූට්ටු කරගෙන සිද්දිය දිහා ඇසිපිය නොහෙලා  බලා සිටියි.

“මොකක් ? සිහිය විකල් වෙනවා ? මොන පිස්සුද ? කව්ද කියන්නෙ? බොන එකෙක් වත්  කිව්වද එහෙම?
දැන් මම බොනවා ! අපේ පුතත් බොනවා ඇති ! මම දන්නේ නෑ සමහරවිට බොන්නෙ නැතුවත් ඇති! අපි දෙන්නම බීලා මේ ගෙදර එකට ඉන්නවත් ඇති! ඒත් පුතා මම පුතාටවත් පුතා මටවත් කිසිදවසක මචං කියලා නෑනෙ! ඔයා කියන විදියට මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා නම්  මිනිස්සු බීලා ගෙදර ගියාම අම්මවයි පවුලවයි පටලවා ගනීනෙ පුතා!
දවසක්වත් බොන්නැති එකෙක් කොහොමද බීමේ ගුණාගුණ කියන්නෙ? කැමති නම් අන්න බෝතලයක් ඇති ඒකෙන් කාලක් ගහලා ඩෝප් බැස්සාම කියන්න! ආන්න මම  අහං ඉන්නම් ඔයා කියන ඕන කුණුහරුපයක්! 
නිකං කට තිබුනාට කියවන්න යන්න එපා! ඒක හරියට ආන්න අතන බුදියං ඉන්න බල්ලා හිතින් හිතන දේ අපි මෙතන ඉඳන් කියවනවා වගේ!?”   

සභාපතිතුමාගේ අමද්‍යප ව්‍යාපාරය එතැකින් සමාප්ත විය! කාට මොනවා උනත් මට නම් අවුලක් නැත! මන්ද මම ඒවන විට අවුරුදු ගනනාවක් තිස්සේ තාත්තාගේ හැසිරීම් රටාව අධ්‍යනය කරගෙන පැමිණි නිසාය!

අවුලක් නැත! ඒ තාත්තාගේ හැටිය!             
      
         


Tuesday, February 6, 2018

81. ගඟක් දිගේ ගිය ගමනක් 19



යළි නො එනා ගමනක් දෝ! නිම නොවෙනා ගමනක්දෝ!!

ඉවුරට පැමිණි අප මමත් තෙශාන්තත් පැදි කයාකය  මුළුමනින්ම ගොඩට ඇදගත්තෙමු.

ඇබය ගැලවීම!

ඕනෑම Sit On Top කයාකයක් මොනතරම් සංවෘත පද්ධතියක් වුවද එය තුලට යම් හෙයකින් ජලය ඇතුළු වුවහොත්  එම ජලය ඉවත් කරණ්නට උපක්‍රමයක් ලෙස කුඩා ඇබයක් එක් කෙලවරක සවිකොට ඇත.                                                    

බොහෝ විට මෙය ; කයාකය නිශ්පාදනයේදී සවි කරණ්නේ ඉදිරි කෙලවරේය.

මමත් තෙශාන්තත් පැද ආවේ මෙරට නිශ්පාදිත  ෆයිබර් කයාකයකි.                 
පෙර සඳහන් කල පරිදි මෙය මොරටුවේ දනූශා මැරීන් කම්හලේ නිපදවා පසුව මෙවන් ගමනකට සුදුසු පරිදි ; කිරිල්ලවල ඔරියන්ට් ෆයිබර් කම්හලේ නලීන් විසින් නවීකරණය කල එකකි.                                                                                  

එහි ඉහත කී ඇබය සකස් කොට තිබුනේ පී වී සී ෆොර්සයිත් සොකට් එකක් හා එයට යොදන ලද එන්ඩ් ප්ලග් එකකිනි.

කයාකය ඉවුරට ගැනීමට මහත් සේ අසීරු විය.                                               

වියලි බර කිලෝ 40 කට ආසන්න වූ කයාකය තුලට හරි අඩක් පමන ජලය පිරී තිබුනු බැවින් එහි බර කිලෝ 60 ක් පමන වී තිබුනි.  
                                    
ඉවුරට ඇදගත් කයාකයේ ඉදිරි කෙලවරේ වූ ඇබය ගැලවීමට ; අප වෙත තිබුනු Multi Tool එකක් යොදා ගතිමු.     
                                               

            Multi Tool-ඒකම නොවුනත් ඒ වගේ එකක්!



එහෙත් කාලයක් තිස්සේ හිරු  රැස්වලට නිරාවරණය වීම නිසාදෝ ඇබය භ්‍රමණය නොවී එහි එලියට ඇති ගැලවීමට  තදින් අල්ලා ගැනීමට උපකාරී වීමට සකස් කොට තිබුනු කොටස කැඩී ගියේ එය දිරා ගොස් ඇති බවක් දක්වමිනි!                    
ඇබය ගලවා ගැනීමට නොහැකි වුවහොත් සියල්ල අනතුරේය .                             එනිසා එය කෙසේ හෝ ගලවා ගත යුතු වන්නේය.                                                 තවත් තරමක වේලාවක් මහන්සිවීමෙන් පසුව ඇබය ගලවා කයාකය මුදුන් කලෙමු.


කයාකය මුදුන් කොට!


උඩින්  බැරිනම්  යටින්!

ඇබය ගැලවූ තැනින් පිටවූ වතුර පහර අඩියක් පමන දුරට විහිදුනි!  

එතරම්  තෙරපුමක් ඇතිකිරීමට සමත් ජල ධාරිතාවක් කයාකය තුල ගබඩා වී තිබුනි. ජලය සියල්ල ඉවත් කිරීමට විනාඩි 15 ක පමන කාලයක් කයාකය එක එල්ලේ මුදුන් කොට තබා ගෙන සිටින්නට අපට සිදුවිය. මෙසේ ජලය සියල්ලම පාහේ ඉවත්වූ පසු කයාකය මුනින් නවා එහි පතුල හෙවත් කීල් එක (keel ) පිරික්සුවෙමු.                          
                                              
කීල් එකේ දාරය  අඩියක් පමන දිගට පුපුරා ගොස්‍ය. ගලක වැදීමෙන් එම දාරය කඩතොළු වී පුපුරා ගොස්‍ය.                                         
 අද දින උදෑසන සිට පැමිණි ගමනේදී අවස්ථා කිහිපයකදී කයාකය ගල්පර්වත මත සිරවී ගියේය.                                                                                              
එහිදී එක් අවස්ථාවකදී  තෙශාන්තහට බැසීමට  අපහසු ගැඹුරු ස්ථානයක් අභියස කයාකය සිරවුනා මතකය. ඒ කෙසේහෝ වේවා කයාකය සිදුරුවී හමාරය.  
                                        
ඇස්බැස්ටෝස් ගම් පටිය පරයෝජනයට ගැනෙන්නේ මෙවැනි අවස්ථාවලදී. අවසාන මොහොතේ මහියංගනයේ සරත් මහත්තයාගේ වැලි තොටුපලේදී මා TLC  රථයෙන් සමු ගනිද්දී එහි පසු පසවූ ප්ලාස්ටික් ක්‍රේටයේ පතුලේ සාමදානව තිබුනු අතර එය මා අතින් අතපසුවිය.

එසේ සිදුවූයේ  මන්ද ?                                                                                     

මෙම ගමනට සහභාගී වූ 6 දෙනෙකුවූ පිරිසෙන් හතර දෙනෙකු ; නොඑසේනම්  2/3 කිසිදා කයාකයක් පැද නොතිබූ අය වෙති!                                                      

එනිසාම මෙම ගමන සංවිධානය පිළිබඳව කටයුතු සිදුකිරීමේදී  ; බොහෝවිට මා කාර්‍යයන් බෙදා නොහැර මවිසින්ම කරණ්නට යෙදුනි.  
                                   
එය අසාර්ථක කළමණාකරණ පිළිවෙතකි.                                        කළමණාකරුවෙකු තම කණ්ඩායමේ සාමජිකයින්ගේ හැකියාවන් , දක්ශතා  හඳුනාගෙන ; සමස්ථ කාර්‍යය  ඔවුන් අතර   බෙදා හැර ඉන්පසු එක් එක් සාමාජිකයා වෙත පැවරුණු  කාර්‍යය ඉටු කිරීමට උනන්දු කරමින් එය නියමාකාරයෙන් ඉටුවේදැයි සොයා බලමින් සාමාජිකයින් වෙතින්  සමස්ථ කාර්‍යය ප්‍රශස්ථ මට්ටමින් නෙළා ගැනීම කල යුතුවේ.                                                                          

නමුත් මවිසින් සිදුවූයේ අනෙකකි.

කණ්ඩායමේ අනෙකුත් සාමජිකයින් මත ක්‍රියා නොකිරීමේ  ; ඔවුන් මත විශ්වාසය තබා කටයුතු නොකිරීමේ දුර්වල තාවයක් මා තුල පවතී. එය සහජයෙන් මාතුලට ගෙන ආවක් නොව මාසමග ගමන් බිමන් ගිය මිතුරණ් ඥාතියන් විසින් මාතුල පරිස්සමට තබා ඉවත්ව ගිය සුන්දර මතකයන්‍ය!   

එහෙත් ; මෙතෙක් සිදුවූ සියල්ල දෙස ආපසු හැරී බැලීමේදී මහියංගනයෙන් පිටවීමට හෝරා කිහිපයකට පෙර මෛත්‍රී හමුවන තෙක් අපට සම්පූර්ණ කණ්ඩායමක් නොහිටියහ! මෛත්‍රී හමුනොවන්නට මේ ගමන නොසිදුවීමට හෝ කණ්ඩායම 4 කට  සීමා වෙන්නට ඉඩ තිබුනි! මන්ද  Two Man කයාකය තනිව පැද යාමට නොහැක.

මෙම පිපිරුම වසාගන්නට කිසිවක් සොයමින් සිටි  අපහට දත් බුරුසු මතක් විය. දත් බුරුසුවක මිට ගින්දරට අල්ලා  උනුකර ගතහොත් මෙය යාන්තමින් හෝ පිරියම් කරගත හැක. කයාකයේ පතුල හෙවත් කීලය සැන්දෑ හිරු රැසින් ඉක්මනින් වේලා ගත්තෙමු.     ඒ වන විට පසිඳු ;තම මල්ලෙන් දත් බුරුසුව හා ලයිටරය එලියට ගෙන තිබුනි.

අප සිටින්නේ මහ කැලයක් මැදනොව ඝන වනන්තරයක් මාධ්‍යයේය !          
මිනිස් පුළුටක් අහලක නැත.                                                                              නිඹඳවම  ඇසෙන්නේ රැහැයි හඬ පමණි.  ගං දිය පිසලමින් එන සුළඟ ගතට ගෙන එන්නේ තද සීතලකි. හිරු අවරට ගමන් අරඹා  පැය හතරකට පහකට ආසන්න කාලයක් ඉක්ම ගොසිනි.

හමන තද හුළඟට එදිරිව ලයිටරයක් දැල්වීම පහසු කටයුත්තක් නොවේ. දල්වාගත  ලයිටරයෙන් බුරුසු මිට උනු කොට පිපිරුණු පලුද්ද මතට වැක්කෙරුවෙමි. උණුවූ බුරුසුමිටේ වූ ඉටි ෆයිබර් පතුල මත ඇලෙන්නේ නැත.    

දත් නොමදින දත් බුරුසු!

තවත් පැය භාගයකටත්  වඩා වැඩි කලයක් අපතේ යමින් විය.                           මොනදේ කරණ්නටත් අපට ඇත්තේ සීමිත කාලයකි.                                      දහසකුත් එකක්  බාධක මැද  මේ ගමන  පිටත් වීමට අප ගත් අත්තනෝමතික තීරණය සේම තීරණයකට අප එළඹිමු.                                                                   
ඒ අනෙකක් නොව සිදුරුවූ කයකයෙන් නැවත ගමන්  ඇරඹීමටය.

කුමන විදියේ බාධාවක් ඇති වුවත් මෙම රාත්‍රියේ මෙම ඝන වනාන්තරය මැද ඉන්නට අප වෙත අමු ද්‍රව්‍ය නොවීය.බොහෝ සංචාරක කණ්ඩායම් මෙම ගමන යන්නේ දින තුනක - රාත්‍රීන් දෙකක  ගමනක් ලෙසය.                                                                                        
එවන ගමනක් සඳහා ඇවැසි අමුද්‍රව්‍ය , ආහාර පාන යනාදිය ගෙන එන්නේ තවත් යාත්‍රාවකය!නමුත් අපේ ගමන මීට හාත්පසින්ම වෙනස් එකකි. නවසිය පනස් ගනන් වලදී කොන්ටිකි ගවේශනය කිරීමේදී ඊට වසර සිය ගනනකට පෙර සිටි අපේ මුතුන් මිත්තන් එම මුහුදු ගමනේදී භාවිතා කල අවම පහසුකම්  වලින් ඔබ්බට නොයා කල ආකරය  මගේ හිතේ තදින්ම පැලපදියම්  වී තිබුනි.මා ඒගැන කණ්ඩායම දැනුවත් කල සෑම අවස්ථාවකදීම අපගේ මුළු කණ්ඩායමම ඊට එකඟ විය.
අප විශ්වාස කලේ අපගේ සැලසුම , ආත්ම ශක්තිය  , ගතෙහිවූ දරාගැනීමේ හැකියාව හා ස්වභාව ධර්මයද ඇතුළුව විශ්ව ශක්තියය. අපගේ සැලසුමේ ආකාරයට දින දෙකකින් මෙම ගවේශනය කල හැක.එසේ නොහැකි වුවද කයාක මත ගෙන යාහැකි අහාර ඇතුළු අනෙකුත් දේ සෑහෙන්නේ දින දෙකකට පමනි.එනිසා අප කැමතිවූවද  නොවූවද අද රාත්‍රී ආහාර ගැනීමට මනම්පිටියට ගොඩ බට යුතුය.
ඔව් අප ඒ ඉලක්කය හඹා යාමට පටන් ගතිමු.

එතැන් පටන් ගතවූ සෑම පැය භාගයකටම විනාඩි හතලිස් පහකට සැරයක් කයාකය ගොඩට ඇද ; ඇතුලත පිරුණු  ජලය ඉවත් කරණ්නට අපට සිදුවිය.
දහවල  තිබුනු සුනදරත්වය ගං දියෙන් ඈත් වෙමිනි.                                          සන්ද්‍යාවේ හිරු රැස් ගං දිය මත කුමන රූ රටා මැවූවද ඒව රස විඳින්නට තරම් සිත් පැහැදිලි නොමැත.
බිම් කරුවල වැටෙද්දී අප අපගේ අවසාන නැවතුමේ නතර විමු. ඈතින් පෙනුනේ දිඹුලාගල කන්ද විය යුතුය.එයට තවමත්  මළාණික   හිරු රැස් වැටෙමින්‍.වේලාව හවස 5.30 ට පමන ඇත.අප අපගේ චාරිකාවෙ අවසානයට කිට්ටුවෙමිනි.එහෙත් අවසානයක් නොපෙනේ.

දියෙන් එපිට දිඹුලාගල!

විශල  වැලි තලාවක් වූ එම නැවතුමේ අප  තරමක වේලාවක් රැඳී උන්නෙමු. මාගේ සිත මොනතරම් අවිවේකී වුවද  එය කණ්ඩායමේ ඉතිරි අය වෙතට කාන්දු නොවන්නට මම මග බලා ගත්තෙමි.කණ්ඩායමේ අන්  අය බොහෝ කෙළිදෙලෙන් යුතුව සිටියෝය.මා ඔවුනට බාධා නොකලෙමි.    


      පසිඳු - ලෝකය උඩු යටි කුරු වී!
                                                                  
අතරමං වීමේ සතුට!


ගිලෙන නැවක නැවියන්!

පසිඳු, මම, තෙශා,මෛත්‍රී,වසික - කෝ මේ ධම්මික

ආ මේ ඉන්නේ - එතකොට මෛත්‍රී

වසිකයා

ගිලෙන්නට පෙර!




කිසිදු බයක් හැකක් නැතිව!

අප අතරින් කීදෙනෙකු හට නැවත මෙවන් ගවේශනයකට සහ භාගී වන්නට හැකිවේද? තවත් ස්වල්ප  වේලාවකින් අප එම වැළි තලාවට සමුදුන්නෙමු.
සූර්‍යයා ඈත වනාන්තරයට ඔබ්බෙන් වූ කඳු පන්තියට මුවා වන්නට ඔන්න මෙන්නය.එය රත්වූ යකඩ බෝලයක් මෙනි.   



බලා සිටියද නොනැවතුනු ඉර !


අප බොහෝ සෙයින් වෙහෙසට  පත්වී ඇත.එහෙත් කිසිවෙකු ඒ ගැන මැසිවිළි නොකියයි.අධික වෙහෙස සමග අධික තරහක් යෑම සම්හර අය වෙතින් පෙන්නුම් කරණ දුර්වලතාවයකි.තරහව සමග සිදුවන්නේ කණ්ඩායමේ අන් අය  සමග කුඩා දේටත් බහින් බස් වීමයි.ඊට සමගාමීව තමන්ට පහසුවෙන් කල  හැකි දේ පවා  කරගැනීමේ ලෙහෙසි පහසු මං ඇහිරී යයි.එවිට මෙතෙක් සියුම්ව පැවති කේන්තිය වර්ඝ වී  , ඝනයවී මහා විනම්බෑසියකට   දොරගුළු විවෘත වේ.එවිට එතෙක් කණ්ඩායමේ තිබුනු සමතුලිත භාවය , සමගි සම්පන්න බව සුහදශීලී වටා පිටාවට කන කොකා හඬළයි.තරුණයින් සමග කරණ ගනුදෙනු වලදී වැඩිහිටියන්  වෙතින්  මෙම තත්වය  තත්වය  බොහෝ විට මා දැක ඇත.සාමන්‍යයෙන් තරුණයින් හට තමන් ගමන් කරණ බෝට්ටුව හිල් වුනද තමන් මූදු බත්  වුවද එකෙකුගෙ හිස මත වහලයක් කඩා පාත්වුවද එය හුදෙක් තවත් එක් සිනහ උපදවන සුළු ක්‍රියාවකි.මේවා වැඩිහිටියන්හට අසාත්මිකතා ගෙනදෙන විසූඵ දස්සනයන්‍ය.මේ කියන රෝගාබාධ සියල්ල අඩුනැතිව දැක්වීමට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයට  වුවද යැවීමට  හැකි නියැඳියක් මා දනිමි. ඒ අන් කවෙරෙකුවත් නොව මේ අහිංසක මම ම ය!

අපගේ කණ්ඩායමේ සිටි භද්‍ර යෞවනයින් තිදෙන වන වසිකත් ධම්මිකත් පසිඳුත් මේ බැරෑරුම් සහගත අවස්ථාවේ ඇති අවිනිශ්චිත භාවය හොඳින් තේරුම් ගෙන තිබුනි.තෙශාන්ත ඇතුලු ඔවුන් සියල්ල මාවෙතට ඉතාමත් ගෞරවනීය ලෙසට නතුවී තිබුනි.මා සිතන්නේ එය මා එවිට පත්වී සිටි අසරණභාවය පිළිබඳව සිතා එකිනෙකා අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකින් සංනිවේදනය නොකර ගනිමින්ම හුදෙක් හැඟීම් තෝරා ගනිමින් තේරුම් ගනිමින් මා වෙතට කල  වච්නයෙන් විස්තරකල නොහැකි , අමිල ,අසමසම එසේම අතිශයින් හැඟීම්බරවූ ප්‍රධානයක් ලෙසිනි. 
මා මෙසේ කියන්නේ එතැන සිටි එක් අයෙකු වෙතින් හෝ ;ඇස්බැස්ටෝස් ගම් පටි ගෙන නොඒම හෝ මාවෙතින් අතපසු වීම පිළිබඳ යන්තමින් හෝ අදහස් ප්‍රකාශකර සිටීමක් , දොස් පැවරීමක් ,පුනරුච්චාරණය කිරීමක් යන්තමින් හෝ සිදු නොවීය!කොටින්ම ඔවුන් ඒගැන කථා කලේම නැත!  
එහෙත් ඔවුන්ගේ නිහඬ බවම මා බොහෝ සෙයින් පෙලීය!

පුරා දින තුනක් තුල කරණ්නාවූ සංචාරයක් දින දෙකකින් නිම කරණ්නට අප යන්ත  දරමින්‍ය!                                                                                                   
අපගේ ආහාර සියල්ල අවසන්වී ඇත.බොන්නට ඇත්තේ ගං  දිය පමනි.ඒ සියල්ලටම වඩා එක් කයාකයක් අබලන් වී ඇත.                                        

“සාක්කුවක නොතිබිය යුතුම දේ සිදුරක් !” වනවා සේම දියෙහි ගමන්  ගන්නා යාත්‍රාවකට සිදුවිය හැකි ලොකුම අන්තරාවට කයාකය පත්වී ඇත .

පාසලේ පහල පන්තිවල සිංහල පෙළ පොතක මුල් පාඩම අතර තිබුනු; එක් නවකතාවක උපුටනයක් මාගේ මතකයට ආවේ නිතැතිනි.                                  

එය නම් කොට තිබුනේ “සිංහලයේ අන්තිම නැව ” යනුවෙනි.එහි දළ කතාව  මෙසේ මතකයෙන් මා ලියන්නම්.

 “සිංහලයේ අන්තිම නැව ”

(මේ වගේ වෙන්න ඇති!)

දරුණු මුහුදු සටන් රාශියකට මුහුන දී බොහෝ සෙයින් අබලන්ව ගම් බිම් බලා එන එය සිංහලයේ අන්තිම නෞකාව වූවේය!                                                        
රළ පහරින් ඒ මේ අතට දිවෙමින්  එය දින ගනනාවක සිට ඈත දියඹේ සිට ලංකා ද්වීපය දෙස බලා සෙමෙන් සෙමෙන් යාත්‍රා කරන්නීය.නැව මෙන්ම එහි කප්පිත්තාත් එහි නැවියනුත්  බොහෝ කාලයක් මුහුද මැද ගෙවූ දිවියෙන් අතිශය හෙම්බත්ව ඉස්පාසුවක් අපේක්ෂිතව යාත්‍රා කරමින්  වන්නාහ.   ඉරී ගිය රුවලුත් , කැඩී  බිඳී ගිය බඳෙනුත් , කැබැලිවී ගිය කුඹගසෙනුත් ගෙවුනු කාලය තුල ගෙවූ සංග්‍රාම භූමියේ රුදු බවට දෙස් දෙයි.සෑම අතින්ම අබලන් බවින් හෙබි නැව සෙමෙන් සෙමෙන් ගමරට එමින්‍ය.බොහෝ විට මේ එම නෞකාවේ අවසන් ගමන විය යුතුය.

මොහොතකින් ඈත් ක්ෂිතිජයෙන් මතුව ආ කුඩා සලකුණු දෙක ;කුඹගස මත සිට දසත ඉව කරමින් සිටින නැවියා හඳුනා ගෙන එය නැවේ ප්‍රථාපවත් කප්පිත්තාට කෑගසා දැනුම් දෙයි.

“ප්ර්ථිකාල් නැව් දෙකක් …!”

වෙනදා මෙන් එම ආරංචියෙන් නැව කලබල වූ සේයාවක් නොපෙනුනි. වෙනදා මෙන් “ප්‍රථිකාල්” වච්නය ඇසූ සැනින් බඹරයට ගල් ගැසුවා සේ ක්‍රියාශීලී වන පිරිසක් අද එහි නැත.ඔවුන් සියළු දෙනාගේ සංග්‍රාමික මුවහත; අධික තෙහෙට්ටුව විසින් මොට කර ඇත.  නැව්  කප්පිත්තාද නිහඬය.නැවට මෙතෙක් ආදරණීය පියෙකු සේ රැකවරණය දුන්  ඔහුට ; ඔද්දල්වූ හෙම්බත්වූ හරියමන් අහරක් නොමැතිව  සිටින තම දරුවන් නැවත් සටනකට උසි ගන්වන්නට  , යොමු කරණ්නට හිතක් නොමැත!තවත් සටනකට වඩා මරණයේ සිහිලැල් පහස වැළඳ ගැනීමට ඔවුන් සූදානමව සිටින සේයාවකි.

කෙමෙන් එහි ලඟාවූ සතුරු නැව්දෙක තමා මැදිකොට දෙපසින් නැවතුනි.
ප්‍රමානයෙන් කුඩාවූ එම නෞකාවන්ගේ සිටි ප්‍රථිකාල් නැවියන් මෙම විසල් එහෙත් බොහෝසෙයින් අබලන්ව රෝගියකු සේ ඇදෙන නෞකා රාජිනිය දෙස හෙලූවේ සමච්චල් සහගත බැල්මකි.නෞකාවන්ගේ කප්පිත්තන්ගේ විධානයෙන් නැවියන් ක්‍රියාත්මක විය,ඔවුන් මෙම නැවට පහර දෙනු වෙනුවට තම නැව් වලට  මෙම නැව  දම්වැල් වලින් ඈඳා ගනිති.මෙය කිසිදා බලාපොරොත්තු නොවූ හා  අත් නොවිඳි අත්දැකීමකි.

සිංහලයේ නෞකාවේ කප්පිත්තාහට ප්‍රථිකාළුන්ගේ අදහස තේරුම් යයි.ඔහු තම “දරුවන්” රැස් කොට  කරණය තේරුම් කර දේ.

“මෙවර  ප්‍රථිකාළුන් සැරසෙන්නේ අපගේ නැව රැගෙන ලිස්බන් වරයට යන්නය! !  එහිදී අපත් අපගේ මේ නෞකාවත් ඔවුන්ගේ රටේ අයට ප්‍රදර්ෂන භාන්ඩයක් වනු  ඇත !දරුවනි ; උඹලා ඊට එකඟද?”

“නැත ! කොහෙත්ම නැත!! ඊට වඩා මරණය සුවයකි!!!” පිරිස එක හඬින් පිළිතුරු දෙති.

“එසේනම් දරුවනි අපගේ යදම් ද ගෙන උන්ගේ යාත්‍රා  තදින් ඈඳා ගනිව් !”
මොහොතකින් අබලන් නැවේ නැවියන් තම යදමින් ප්ර්ථිකාල් නැව හොඳින් ඈඳා ගනිති.මේ ක්‍රියාව ප්‍රථිකාල් නැවේ නැවියන් හා කපිතාන් ඇතුළු නිළධරුවන් විශ්මිතව බලා  හිඳියි.

නැවේ යට තට්ටුවට යන ප්‍රථාපවත් කප්පිත්තා මෙතෙක් සංග්‍රාම භූමියේ ලෙලදුන් ; රුපුන් හිස් දෙපළු කල  ; තම බඳ පටියේ කොපුවතුල එල්වා තිබුනු අසිපත සුරතට ගනියි! එයින්  නැව් පතුල සිදුරු කරයි !
මහා නෞකා රාජිනිය කෙමෙන් කෙමෙන් මහා සමුද්‍රය තුලට ගිලා බැසීම ඇරඹෙත්ම ප්‍රථිකාල් නැවේ නැවියන් මරු විකල්ලෙන් යදම් මුදා හැරීමට වෙහෙසෙති.දෙවියන් යදිති. හඬති වැළපෙති !
සිංහල්යේ අන්තිම නැව සතුටින් ඔල්වරසන් දෙන නැවියන් සමග සතුරු නැව්දෙකද කැටිව සාගර පතුලට කිඳා බසියි !

මේ වන විට බොහෝ සෙයින් බිම් කරුවල වැටී අවසන් ය.ගමන ආරම්භයේ පටන් සිත තුල හොල්මං කල කිඹුලා දැන් මාගේ හදවත  අසලය.සමහර ගොදුරු ගැනීමට කිඹුලන් දින ගනනාවක් සතිගනනාව මාස ගනනාවක් ලුහු බැඳීමද එයට පෙරහුරු සැසි පැවැත්වූ ආකාරයද මා අස ඇත!

උදාහරණයක් ලෙස ජා ඇල දඬුගම ගඟට බරවී තිරස්ව ගොස් ඉහලට හිස ඔසවා ගත් පොල් ගසෙක ; කාලයක් තිස්සේ  මාළු බෑමෙහි නිරත ධීවරයෙකු කිඹුලෙකු විසින් බිළි ගැනීමට සති ගනනාවකට පෙර ;එම ධීවරයා සුපුරුදු ලෙස රැඳෙන ස්ථානයට ඔහු නොමැති විට ; කිඹුලා කිහිප වතාවක් උඩ පැන පෙරහුරුවක් යෙදෙනු දුටු අය ඒ පිළිබඳව පසුව පවසා ඇත !
වරක් යටත් විජිත සමයේ  හෝ දෙවන යුධ සමයේ කලපුවක් ආසන්නයේ වූ බලකොටුවක සිර මැදිරියක  රඳවා උන් යුධ  සිරකරුවන්  සියයකට වැඩි පිරිසක් එක් රැයකදී කිඹුල් ප්‍රහාරයකට  ලක්ව සියල්ල විනාශවී ගිය පුවතක් මාහට මතක්විය!  
අනිවාර්යයෙන්ම  මේ ගමන කෙලවර වීමට රාත්‍රී 9 වත් වනු  ඇත. එතෙක් යන්තම් දැල්වෙන විදුලි පන්දම් එලියෙන් අප ඉතා කෙටි දුරක් යාත්‍රා කරමින්ද බොහෝ දුරක් යාත්‍රා ඇද ගෙන දනක් වතුරේද  ඉදිරියට ගමන් කරමින් විය.
විදුලි පන්දම් එළි මළාණිකවී ගොසින් ද නොඑසේනම් ජලපෘෂ්ඨයට වැදුනු පසු එළිය ජලය තුලට උරා ගනිමින්ද ?
දින දෙකක් පුරා අප පසුපස ඉවකරමින්  හඹා  එන කිඹුලෙකු සිටිය නොහැකිද? නොඑසේනම් මේ රත්‍රියේ අප ගේ ගමන්  මග කිඹුලෙකුගේ වාසභවන , අඩවිය, ටෙරිටරිය හරහා වැටී තිබීමට සම්භාවිතවක් නොතිබිය හැකිද?අප කළුවරේ අන්ධයන්සේ ඇවිද ගොස් කිඹුලෙකුගේ සිරුරේ හැපීමද විය නොහැක්කක් යැයි කාහට නම් කිව හැකිද?   
මාකෙරෙහි තැබූ විශ්වසය මත පිහිටා පැමිණි මෙම පිරිස වෙතත් මා ප්‍රධානය කරණ්නට සැර සෙන්නේ “සිංහලයේ අන්තිම නැවේ” කප්පිත්තා සේ ; එවන් ගෞරවණීය මරනයක්ද?                                  
                                                          

Friday, February 2, 2018

80. පොතක වත


පොත් !
පෙරවදන
             මා ; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා  නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!)                                                                                                                          රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන්  වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය යුතුය.
 එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක්  වීමට විවිධත්වයක් තිබිය යුතුය
. එනිසාම වේගයෙන්  , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ.
 පත්තර කලාවේ මෙවන් ලියන්නන් හැඳින්වෙන්නේ “ලියවන පට්ටල්” ලෙසය. 
මා ජීවිතයේ සිහින මැව්වේ විශේෂාංග ලේඛකයෙකු වීමටය! 
එහෙත් නැවතුනේ ඇන මුරිච්චි ඉස්කුරුප්පු  අතරය!


ලියවන පට්ටලයක්!

මා පුරුද්දක් ලෙස එකවර ලිපි දෙකක් හෝ තුනක් ලියන්නට පටන් ගනිමි.
එය මා දකින්නේ වඩේ එකක් කමින් ප්ලේන්ටියක් බොමින් සිගරැට්ටුවක් විඳිනවා හා සමානවය!                                                                                      
නො එසේනම් වල් ඌරුමස් කෑල්ලක් හපමින් හීන් අඩියක් ගසමින් සිගරැට්ටුවක් බොන ලෙසය. 
මෙම සංඝටක තුනෙන් සිරුර උත්තේජනය කරණ ආකාරය  ත්‍රිවිධාකාර වුවත් එම ත්‍රිත්වයම එකම කාල පරාසයක් තුල මොහොතින් මොහොත වෙනස් රසනහර උද්දීපනය කරමින් රසවිදීමට පුළුවන. මාගේ ලිපි ලිවීමද එසේමය.                        එකක් ටික වේලාවක් ලියා ඇතිවූ විට නොඑසේ නම් කරුණු නැතිවූවිට අනෙක්  ලිපිය පටන් ගනිමි! 
අද වන විට මා ලිවිය යුතු වන්නේ පෙර දින ලිවීමට පුරණ ලද  “ගඟක් දිගේ ..19” වන  දිග හැරුමයි. 
එහෙත් එය මා මොහොතකට නැවැත්විය යුතු කරුණක් ; හිරු අවරටයත්ම උදා විය.

මේ ඒ පිළිබඳ කථාන්දරයයි!               

පොතක වත …!

“පොත් මගේ නෙත් වගේ” කියා කියමනක් ඇත . 
මෙනිසාම කිසිවෙකු තවත් අයෙකු වෙත පොතක් ලබාදීම නෙතක් ලබාදීම හා සරිලන ක්‍රියාවකි. 
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පොතක් තුලින් ලෝකය දෙස බැලීමට නව මානයක් , දෘෂ්ඨියක් , කවුලුවක් ලබන්නා වෙත ; භෞතික වශයෙන් ලබන පොතට අමතරව ලැබෙනා බැවිනි.  
ආත්මෙට පොතක් මිළදී නොගෙන අනුන ගන්නා පොත් පමනක් කියවන එසේම අනුන් සතු පොත් රැගෙන ගොස් ගල් කරණ්නන් උදෙසා තම පොත් රැක ගත යුතු වන ආකාරය පහදා දෙන්නට මෙම වැකිය යොදා ගත්තාදැයි සිතා ගත නොහේ!  

පොත් ලියන්නන් , පරිවර්ථනය  කරණ්නන්, ප්‍රකාශයට පත්කරණ්නන්, බෙදා හරින්නන්, විකුනන්නන්, මිළදී ගන්නන්, කියවන්නන් හැරුණු කොටගෙන එකතු කරණ්නන් කියාද කොටසක් මේ ලෝකයේ වෙසෙති.
මා  මින් වැටෙන්නේ අන්තිම කාණ්ඩ  තුනටය!                                                     
ඉඳහිට මිළදී ගනිමි.අනුන් ලඟ පොතක් දුටුවිට ඉල්ලාගෙන කියවමි. හැකි උපරිමයෙන්ම එකතු කරමි!
මා පොත් කියවන්නට පුරුදු පුහුණුවූයේ දැනට බීබීසියේ සන්දේශය ඉදිරිපත් කරණ චන්දන කීර්ති බණ්ඩාර ගෙනි. 
ඔහුට එකල හොඳ පොත් එකතුවක් විය. 
“මා ලඟ ඇති පොත් මා කිසිවෙකුට නොදෙමි! මන්ද මා ලඟ ඇති පොත්වලින් බොහොමයක් මා අන් අය වෙතින් ඉල්ලාගෙන ආ පොත්‍ය.”                                මේ ඔහුගේ තේමා පාඨය විය!
පොත් එකතු කරණ්නන් හට තමන්ට ලැබෙන දෙමළ පොතක් වුවද එකතුවට එකතුවූ කොටසක් ලෙස ගෙන සතුටුවීමට හැකිවුවද; එයට නිසි වටිනාකමක් එක්වීමට වෙනත් වෙනත් කරුණු හේතු භූත විය හැක. 
පොතේ දුර්ලභ බව මීට එක් නිදසුනකි.


විද්යා ලිපි ලියන ලිපිකරු - ක්ලාක් !

අතර් සී ක්ලාක් මහතා  විසින් ලියන ලද "Classic Diving in Ceylon" නමැති පොත මා කලක සිට සොයමින් සිටින්නෙමි. 
මරදානේ ගාමිණී හෝල් අසල මා කිහිප වරක් විපරම් කලද කිසිදු සාර්ථක ප්‍රථිචාරයක් නොලදිමි.     
එසේම පොතේ අන්තර්ගතය , පොත ලියන ලද ලේඛකයාගේ පිළිගැනීම වැනි කරුණු තවදුරටත් ගෙනහැර දැක්විය හැක.
මේ සියල්ලටම ඉදිරියෙන් දැක්විය හැකි විශේෂිත කරුණක් නම්  ලේඛකයාගේ අත්සනක් සහිතව ලැබීමයි. 
මෙයද අභිබවා යන තවත්  එක්  සුවිශේෂී කරුණක් වේ. 
ඒ ලේඛකයා විසින් පෞද්ගලිකව තමන් වෙත ප්‍රධානය කල පොතක් වීමයි.


   



පොත අභිබවා යන වටිනකම් !

මෙම සුවිශේෂී සුන්දර අත්දැකීම විඳීමේ අවස්ථාවක් අද දින එනම් 01/02/2018 දින  මා ලදිමි.                                                                                                   
ඒ ප්‍රදීප් ඒ ජයතුංග විසින් ලියන ලද "Leopards of Lenama –The Man Eaters Of Sri Lanka" සහ "Nittaewoo – The Hobbits Of Sri Lanka (An Analysis of the Legend)" 
නමැති නිබන්ධන ගනයේ ලා සැලකිය හැකි පර්යේශනාත්මක ග්‍රන්ථයන්ගෙන් පිටපත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා ලැබීමෙන්‍ය.






මෙයට පැය කිහිපයකට පෙර  ලැබීමද එය ඉංග්‍රීසි බසින් ලියැවුනු පර්යේශනාත්මක කෘථි වීම  කරණකොට ගෙනද එම  පොත් මේ මොහොතේ පරිශිලනය කොට  ලිවීම උගහටය.
එහෙත් ඉහත මා සඳහන් කොට ඇති Leopards of Lenama –The Man Eaters Of Sri Lanka  පොත මා දුටු සැනින් මාගේ මතකය දිව ගොස් නැවතුනේ තවත් ඉතාමත් රසාලිප්ත පොත්  දෙකක් වෙතය. 
මෙහිදී මා මෙම පොත් ද්විත්වය හැඳින්වීමට “ඉතා” කියා යොදා නොනැවතී “ඉතාමත්” කියා යෙදීමට පෙලඹුනේ ඒවා එතරම්ම රසාලිප්ත වන බැවිනි!
එම පොත් වන්නේ දයාරත්න ගරුසිංහ විසින්  පරිවර්ථනය කරණ්නට යෙදුනු ජිම් කෝබට් විසින් තම අත්දැකීම් ඔස්සේ ලියන ලද “රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා”    හා විජිතා ප්‍රනාන්දු විසින් පරිවර්ථනය කල ; ක්‍රිස්ටෝෆර් ඔන්ඩාට්ජි ගේ                  “පූනානියේ මිනී කන දිවියා” පොත් යුගලයය.

රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා


















උතුරු ඉන්දියාවේ ජනකීර්ණ පෙදෙස් හරහා හාද්වාර් සිට භද්‍රිනාත් දක්වා වැටී වන්දනා කරුවන්ගේ මාර්ගය ඔස්සේ 1918 – 1926 අතර කාල පරිච්ඡේදය අතර ;  රුද්‍රප්‍රයාග් ප්‍රදේශයේ සිදුවූ මේ ප්‍රවෘත්තිය බොහෝ ප්‍රදේශයන්හී පැතිර ගිය එකකි.  ජිම් කොබට් උපත ලබන්නේ වර්ෂ 1875 දීය .                                                       පුරා වස්ර 20   ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සේවය කරණ හේ ලෝක සංග්‍රාම දෙකේදීම ඉන්දීය හමුදාවේ සේවය කොට ලුතිනන් කර්නල් වරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
ඉන්පසු හේ කෙන්‍යාවට සංක්‍රමණය වී එහිදී 1954 දී මරණයට පත් විය.
මෙම කොටියා විසින් මරාදැමූ මිනිස් ජීවිත ගනන 125 කට අධික වේ. 
මිනිසා තරම් හෝ මිනිසා අභිබවා යන තියුණු කපටි හැසිරීම් රටාවකට හිමිකම් කියන කොටියා දඩයම් කිරීම “දඩයක් කරුවා දඩයම” වන ආකාරයේ අවිනිශ්චිත භයානක ක්‍රියාන්විතයක් වේ. 
මෙම කතාව පුරා දිග හැරෙණ්නේ මේ තිරිසන් මිනී මරුවාත් දඩයක් කරුවාත් අතර සිදුවන වචන රහිත සංනිවේදනයය. 
කොටියා පෙරදින කල  ක්‍රියාවට අනුව ජිම් කෝබට් පසුදින තම ක්‍රියාන්විතය සැලසුම් කලවිට කොටියා ක්‍රියා කරණ්නේ ඊට හාත්පසිනම වෙනස් වූ ආකාරයකටය. 
මෙසේ කාලන්තරයක් කොටියාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොටියාගේ චර්‍යාව තේරුම් ගන්නා දඩයක්කරු කොටියාට දඩයම නොවී කොටියා දඩයම් කිරීමේ ක්‍රියා වලිය අරඹයි.




අවදානම්  කළමණාකරණය කිරීමේ පලමු අත්පොත මෙය වන්නට ඇතැයි සිතෙන ආකාරයේ තීන්දු තීරණවලට  නිරණ්තරයෙන් එළෙඹෙමින්; වෙනස් කරමින් අළුත් සැලසුම් හදමින් කරණු ලබන දඩයම හුදෙක්  දඩයමක් පමනක් නොව  ක්‍රියාන්විතයක් වේ.
මා දන්නා පරිදි  කොග්ගල මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රවේණියට උරුමකම් කියන කොහුවල තිසර ප්‍රකාශකයින් විසින්; ආමර්වීදියේ සුප්‍රසිද්ධ “වානි විලාස් ” සයිවර් කඩේ අත පිහිදාන්නට නොමිලේ දෙන කඩදාසියටත් වඩා  ඉතාමත් බාල කඩදාසියේ  දෙවන වරට මුද්‍රණය කරණ්නට යෙදුනු මෙම පොත මුල්වරට  1956 දී මුද්‍රණය කොට ඇත්තේ වැසීගිය; මහරගම සමන්   මුද්‍රණාලයෙනි.                          මා දන්නා පරිද්දෙන් බොහෝ හමුදා පාසල් වල; සතුරා පිළිබඳ පරිකල්පිත ඥානය පිළිබඳව ඉගැන්වීමට මෙම පොත  ගුරුකොට ගනු ලබයි!

පූනානියේ මිනී කන දිවියා


මෙම පොතේ මා දකින සුවිශේෂීත්වය වන්නේ එක වරම එකිනෙකට වෙනස් කිසිසේත්ම නොගැලපෙන කතා දෙකක් පාඨකයා  වෙත පවසමින්; එහෙත් පාඨකයා වෙහෙසට පත් නොකරමින; එසේම අතරමං නොකරමින් අවසානය තෙක් යෑමට රචකයා දක්වන බුහුටි බවය.                                                              මේ කතා දෙක වන්නේ තම පවුලේ පුරාවෘත්තය හා දිවියා හා සිරිලක වන දිවිය පිළිබඳ කතා පුවතයි.
මෙයට කලකට පෙර බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය  කල අවදියේ මෙහි වසන ලන්දේසි ජාතික පියෙකුට දාව උපත ලබන ගත් කරු වයස අවුරුදු 12 දී තම පියාගෙන් වෙන්ව බ්‍රිතාන්‍යයට යයි.
එම  ගමනට දින කෙටි කලකට  පෙර තම  පියා සමග  ලංකාවේ වනාන්තර තුල කල සංචාරයක; දශක ගනාවකට පසු නැවත යෙදීම සමග වර්ථමාන කතාව ඇරඹේ.
1920 කාලයේ වසර දෙකක තුල ඉතා බිහිසුණු, අභීත දිවියෙක් නැගෙණහිර පූනානි ප්‍රදේශයේ මිනිසුන් විසි දෙනෙකු පමන මරා කා දමා 
ඒ කුඩා ගම බියෙන් තැති ගන්වමින් සිටියේය.
මේ බිහිසුණු කාලය අවසන් වූයේ ඉංග්‍රීසි ජාතික තේ වගා කරුවකු හා ක්‍රීඩකයෙකුවූ කපිතාන් ෂෙල්ටන් අගාර් 1924 වසරේදී ඒ දිවියා මැරූ විටය.



මෙයට සමාන්තරව කතුවරයගේ හා ඔහුගේ පවුලේ ජීවිතවල සිදුවන විවිධ හැල හැප්පීම්; දුක්ඛ දෝමනස්සයන් හා දෛවෝපගත සිද්ධීන් එකට ගලපමින් කියැවෙන  මෙම කතා පුවත අන්තර්ගතවන පොත ඉතා මනස්කාන්ත ලෙස  මුද්‍රණයකොට ඇත්තේ එංගලන්තයේ Rare Books and Berry සමාගමෙනි.
අපගේ මිතු ප්‍රදීප් ඒ ජයතුංග තම පොත් යුගලය තුලින් අවම වශයෙන්   "Leopards of Lenama" පමනක් හෝ හෙළබසට නැගුවහොත් එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වනු ඇත.   
චීන කියමනක් වේ.                                                                                              මිනිසකු පරිපූර්ණවීමට කාරණා තුනක් සම්පූර්ණ කල යුතුය.                                  පුතෙක් හදන්න! ගසක් වවන්න!! පොතක් ලියන්න!!! එම කාරණා තුනවේ. 
බොහෝ පිරිස් පළමු කාරණා දෙක සම්පූර්ණ කොට බලා සිටියි.
මන්ද පොතක් ලිවීම; පුතෙක් හදනවාටත් ගසක් වවනවාටත් වඩා එහා ගිය අසීරු  කට යුත්තකි !
ඔබ එය සාර්ථකව ඉටුකරගෙන ඇත .
එයට මගේ හද පිරි සතුට හා හෘදයාංගම  ස්තූතිය!            




මිළ කල නොහැකි පොතක්!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...