Thursday, November 2, 2017

60. තාත්තා නොම්මර 1........(i)



ගහේ කොලේ අගය දැනෙන ජානමය ආරම්භය.
තාත්තා ගේ චිත්‍රයක්

ගඟක් දිගේ ……. ලියාගෙන යන විට විවිධ චරිත මතු වෙයි . 
එයින් කිහිපයක් පවතිද්දී බොහොමයක් වියැකී යයි. 
අවසාන  ගඟක් දිගේ …13 කොටසින් මතුවූ චරිතයක් වූ මගේ තාත්තාගේ ගැන  කියන්නට කතාවක් ඇති බව මට සිහි වූයේ එය ලියාගෙන යද්දීය. 
එහි මාගේ තාත්තාගැන ලියැවී ඇත්තේ මෙසේය !

“දෙවියන් වෙනුවෙන් කොළ අත්තක් එල්ලීම කැලේ යන අයගේ සිරිතය! 
මම එය උගෙන ගත්තේ මාගේ ආදරණීය පියාණන් ගෙන්ය.
 ඔහු වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ  කීර්තිමත් අඩවි වන නිළධාරියෙකි. 
මා විවාදයට තුඩු දෙන කතාවක් මෙහි ලියමි.
කුරුණෑගල සුප්‍රසිද්ධ බඩගමුව කොස් මහෝගනී මිශ්‍ර වගාවටද ඔහුගේ දායකත්වය හිමිවූ බව මා හා පවසා ඇත. 
එසේම අලව්ව දුම්රිය ස්ථානයට මදක් කොළඹ දෙසට වන්නට වම් පසින් පිහිටි වනයද් ඔහුගේ ශ්‍රම දයකත්වයෙන් සිදුව  ඇත. 
හක්බෙල්ලාවක නාහේන මූකලානෙ සිටුවීමට කොස් හා මහෝගනී පැල රඹුක්කන සිට සපයා   ඇත්තේද මාගේ පියාණන් විසින්ය.
1952 සේවයට බැඳුනු ඔහු ; සෙවා දිගු දෙකකින් පසු විශ්‍රාම යන විට දෙපාර්ත්මේන්තුවේ පැරණිතම සේවකයා විය!”
ඔහු ඉතා ප්‍රථිපත්ති ගරුක අයෙක් විය. 
“පුතේ මිනිහෙක් උනාම ප්‍රින්සිපල් එකක් තියෙන්න ඕනෑ !”
ඒ තාත්තාගෙ මෝටො එක නොහොත් ආදර්ශ පාඨයය. 
මේ ප්‍රින්සිපල් කියන්නේ Principal ට නොව Principle යන්නටය. 
මේ විදුහල්පති Principal නොව ප්‍රථිපතියක් වන Principle ය. 
Principal ලටත්  හරියමන් principle එකක් නැති කාලෙ අනිත් එවුන් ගැන කවර කතාදැයි තාත්තා මැරෙණ තෙක් වත් ඉගෙන ගෙන තිබුනේ නැත!
 එහෙත් තාතාගේ ප්‍රින්සිපල්ට සුපිරියටම ප්‍රින්සිපල් එකක්  තිබුනු අයෙකි .

තාත්තා ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබුනේ යටියන්තොට සෙන් ගේබ්‍රියෙල්  විදු හලෙනි.සෙන් කියන එක ශාන්ත නොකලෙ එසේ කලා නම්  ගේබ්‍රියෙල්; ගබිරියෙල්  කරණ්නට වෙන නිසාය!


කුඩා කල පාසලේදී ගුරුවරියකගෙ තරවටු කිරීමක් සම්බන්ධයෙන් තාත්තාගෙ මව  පාසලට පැමින කල “ආදරනීය ආමන්ත්‍රණය” තාත්තාගේ  එම විදුහලේ පාසැල් ගමනට තිත තියන්නට හේතු විය! 
ඔහුගේ පාසැල් හැරයාමේ සහතිකයේද එය කදිමට සදහන් කරණ්නට ඒ ප්‍රින්සිපල් කටයුතු කොට  ඇත.
ඉහත සන්න්දහන් ලෙසටම තාත්තා සේවය කලේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය. එහෙත් තාත්තා සේවය සඳහා බැඳී ඇත්තේ “කැලෑ දෙපාරතමේන්තුව” ටය. ඒ දිනවල එය හැඳින්වූයෙ එලෙසය. එකල ආරෝග්‍ය ශාලාව හැඳින්වූයේ “ස්ප්‍රිතාලය” ලෙසින් බව මතක ඇත.

තාත්තා නිවසේ සිටිය හොත් සෑම දිනෙකම පාහේ   දිවා අහාරයෙන් පසු පොඩි පහේ නින්දක් ගසයි!
එයට යාමට පෙර දරුවන් වූ අපට කිසියම් ප්‍රකාශනයකට සවන්දීමට  අනිවාර්‍යයෙන්ම සිදුවේ.
“මම පොඩ්ඩක් ඇල වෙනවා සද්ද කරණ්න එහෙම එපා !”
එම නියෝගය අපිට ඇසෙන්නේ “මම පොඩ්ඩක් ඇල වෙනවා නින්ද යන්න පොඩක් සද්ද කරණ්න…   !” කියනවා සේය.                                                 
ප්‍රථිඵලය සුපිරිම පෝරියෙල් එකක්ය!   
දිනක් තාත්තා පෙරදින කිසියම් රාජකාරිමය අවශ්‍ය තාවයකට නිදිවර්ජිතව සිට නිදා ගැනීමට ගියේ ඔහුගෙ සාමාන්‍ය ප්‍රකාශය ට අමතරව තවත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් අපට ලබා දෙමින්‍.
“කවුරු ඇහුවත් මම නෑ  කියන්න …….”

තාත්තා නින්දට ගියේය. වෙලාව දහවල් 2.00 පමන වන්නට ඇත. අප තිදෙන  එනම් අයියාත් අක්කාත්  මිදුලට වී කිසියම් බැරෑරුම් වැඩකට අතගසා සිටියෙමු. නොබෝ වේලාවකින් එහි පැමිනියේ තාත්තාගේ මුරකරුය. අප ඔහු හැඳින්වූයේ “මුර උන්නැහැ” යන නමිනි.
“තාත්තා ගෙදර නෑ මුර උන්නැහැ ..!”අයියා තාත්තා කී කරුණ අකුරටම ඉටු කලේ ඔහු ගේ අසලට ඒමටත් පෙර මගට ගොස් ය
“ආ හොදා” මුර උන්නැහැ ආපසු හැරුනි.
නිදා සිටි තාත්තාට අමුත්තාගේ  හඬ කන වැකිනි. 
ඔහුගේ හමුවේ වැදගත්කම තාත්තාට සිහි වන්නට ඇත.
එම වැදගත්කමට අපේ ආත්ම ගරුත්වය හෝදාපළුවී ගියේය.

“නෑ ! නෑ !! මම ඉන්නවා ….!! මම ඉන්නවා ….!!  තාත්තා විදුළි වේගයෙන් ඉදිරිපස දොරටුවෙහි පෙනී සිටියේය!

තාත්තා බිව්වේ ගල් ය! 
කලාතුරකින් වතුර බොනවාද  මම දැක ඇත!
බිව්වාම තාත්තා නොම්මර එකේ ඇනයක්ය! 
ඇනය ලෝකයට සොයාගත්තේ තාත්තාගේ තාත්තාදැයි සැක හිතෙන තරමටම  සුපිරි ආතල් දෙයි.

වරක්  අපේ ගෙදර පුංචි පහේ පාටියක් තිබින.
එහි ගරුතර අයිති කරු වූයේ තාත්තාගේ තරුණ හිතවතෙකි. 
ඔහුට තම උපන්දින පාටිය දාන්නට අපේ ගේ යොදාගෙන තිබුනි.
ඔය කියන කාලය  වන විට අයියාත් අක්කාත් ගෙදරින් වෙන්වී මාත් තාත්තාත් පමනක් අපගේ නිවසේ කුරුල්ලන්සේ ජීවත්වූ අවදියයි. 
අම්මා ඒ වනවිට මියගොස් වසර ගනනාවකි. 
සාදයට පැමින සිටි පෙරකී තරුණයාගේ තරුණ මිතුරන්ගෙන් කිහිප දෙනෙකු  තාත්තා සමග වාදයකට   පැටලී සිටියේය. 
ටික වෙලාවක්  යන විට කොල්ලන් රැළ; අර තරම් කන්නට දේවල් තිබියදී  තාත්තාව බයිට් එකට ගෙන තිබුනි. 
මුලින් මුලින් මේ “සිංදුව” තේරුම් ගත්  තාත්තා ; එකවරම නැගිට ගත්තේය. එසැනින් ගේ තුලට  ඇදී ගියේය. 
මොහොතකින් මුළු නිවෙසම ඝන අඳුරේ ගිලී ගියේය. සිගරැට් පුළිඟු කලා මැදිරියන් සේය !

“උඹලගෙ ඩ්‍රින්කස් ! උඹලගෙ බයිට්ස් !! හැබැයි මගේ ලයිට්ස් !!!” 

තාත්තා කෑමොරදීගෙන පුටු පෙරලාගෙන නැවත සාලය පැත්තට කට්ට කරුවලේම කඩා වැදෙමින්‍ය . සිද්දිය ක්ෂණිකව මාහට තේරුම් ගියේය. 
තාත්තා  මේන් ස්විච් එක ඕෆ් කරලාය!

අපේ තාත්තා කාබාසිනියා  තුමා වාගේය ! 
සංගීතය අරහංය ! 
කිසියම් සාදයක කිසියම් කණ්ඩායමක් සිංදු කියමින් සිටිනු ඔහු දුටුවහොත් ගීතය ගැන කිසිදු ගෞරවයක් නොදක්වා  “දැන් කාල ඉන්න ……..” කියමින් ; අපරාදෙ කියන්න ඕන නෑ සුපිරියටම සිංදුව අල කරයි!
බොහෝ විට මෙයට පාත්‍රවෙන කරුමක්කාරයා; තාත්තාගේ පොත් කබඩ් එක උපයෝගී කරගෙන තාල තරංග හඬ මවන  මමම වෙමි .   
“පුතේ කන්නකො ! කන්නකො !! කිව්වාම කන්නකො!” ඒ හඩ ඇහෙනව  ඇහෙනවා වාගේය.
අපේ තාත්තා ජීවිතේට ගීතයක රස විඳිනවා මම දැක නැත.
ඔහු රස විඳින්නේ ප්‍රවෘථිය. 
තාත්තා ගෙදර සිටිය  හොත්  12.45 දිවා ප්‍රවෘථි  සවස හයේ නමයෙ මේ සියල්ල තලු මරමින් භුක්ති විඳියි. 

ඒ වෙලාවට අපි කුමක්හෝ අපගේ ගෘහ කර්මාන්තයක් කලහොත් තාත්තාට ජුවල් යයි. 
මේ කාලේ අපේ පොඩි එවුන් කරණ දේට අපිට මල පැන්නාට ඒකාලේ අපි කරපු දේට අපේ තාත්තලාට සිදුවූයේ ජුවල් යෑමය! 
එවිට තාත්තා “චූටි පුතේ හුචු හුචු ගාන්නෙ නැතිව හිටපං” කියා ආදරයෙන් කියයි. ඒක ඇහුවේ නැතිනම් ආදරෙන් කන පුරෝලා ලැබෙයි!

මගේ අත මට සිළිටු පීරක්


අපේ තාත්තාගේ අත සිහි ගන්වන රාස්කුවක්

තාත්තාට මගේ අත මෙන් ෆ්ලැට් පීරක් මෙන් ගොරෝසු අතක් නොවේ. 
එය එහෙම පිටින්ම “රාස්කුවකි.” 
ඒකෙන් කෑවාම මඩු වලිගෙන් කෑවා වගේය. 
පිටේ කැස්බෑවාගේ මෙන් දාර මතුවේ. 
තාත්තා  ගහනවාට  අම්මා එක හෙලා විරුද්දය. 
සමා වෙන්න එක වචනයක් මිස් වුනේය. එය මෙසේ නිවැරදි විය යුතුය. 
“තාත්තා අතින් ගහනවාට  අම්මා එක හෙලා විරුද්දය.” කැමති නැත්තේ අතින් ගහනවාටය.
 අම්මා උපදෙස් දෙන්නේ කෝටුවකින් ගසන ලෙසය !
තාත්තා එවිට කියන්නේ “සෙනේ කිව්වට මට ඔය කෝටු හොයන කොට කේන්තිය නිමිලා ඉවරයි !” කියාය.  

තාත්තා නාලා ආ දවසට අපේ ගෙදර කේස් ය. නාලා කීවේ තාත්තා බොන්න ගියවිට නාන බැවින්‍ය.
 අනිවාර්‍ය යෙන්ම එසේ වූ දවසට  පහුවෙනි දා උදේට  ඉඳි ආප්ප  කන්න තියෙන බවට; ඉන්ෂුවරන්ස් එකටත් වඩා ෂුවර්. 
තාත්තාගේ නෑමයි (බීමයි) ඉඳිආප්පයි අතරේ තියෙන්නේ හරිම ප්‍රෙමනීය සම්බන්දයක්ය.  
තාත්තා බිව්වාම එදාට ගෙදර ඇවිත් දෙන අතල් වලට අම්මාගේ රතුකට්ට පැන මහා  වලියක් ඇදේ.
රෑ ඇදෙන වලිය ශේප් කරගන්නට පාන්දරින් අවදිවන තාත්තා උනුවතුර උනු කොට  ඉදිආප්ප තැම්බීමට සියල්ල සූදනම් කොට අම්මාට කිට්ටුවේ.
ඒ ඉදිආප්ප තැම්බීමටය . 
ඒ ඉඳි ආප්ප තැම්බිල්ල  කෙළවර වන විට: අම්මා තාත්තාව නිදොස් කොට කේස් එක ඩිස්මිස්  කර අවසානය.

තාත්තා අම්මාට කිව්වේ සෙනේ  කියාය!
ඒ සෙනෙහස කියන වචනයෙන් බිඳී ආ එකක්ද නොඑසේනම් අම්මාගේ වාසගම සෙනෙවිරත්න වූ නිසාදැයි සිතාගත නොහැක. 
අම්මාට තාත්තාව වූයේ වස්තු ය! 
අපිට ඒ කාලේ  ඒවා මල කෝලං ය ! 
නමුත් අද වෙනකොට අපි ලව් කරණ්න ඌරච්චි කරණ්නෙත් ඔය වස්තු , රත්තරං , පන , කපටියෝ , බන්ටියෝ , නරියෝ  වචන  සැට් එකමය. 
ඔහු අවදියෙන් සිටින විට  කමිසයක් නොමැතිව සිටින්නේ නාන විට පමනි. 
අම්මා අපෙන් වෙන්වූ පසු මාත් තාත්තාත් මහ ගෙදර තනි විය! 
තාත්තා මට රසට උයා කන්නට දුන්නේය. 
ඔහු එකක් ඉවුවද ; එය සමග හාල් සේරුවක බත්  උනත් කෙළා වදාරණ්නට පුළුවන .

මගෙත් තාත්තාගේත් සපත්තුවල ප්‍රමාණයන් සමාන වූවිට අප අතර රහස් නොමැති වියයුතු  යැයි තාත්තා අළුත් තියරියක් නිර්මාණය කොට මාගේ සියලුම සිඟිති රහස් ටිකද; ඔහුගේ රහස් වලින් මම දන්නා ටිකද සුපිරියටම අකුරක් නෑර දැන ගත්තේය.

මමත් ඒ තියරියම අපේ පුතාට ඇප්ල්යි කෙරුවෙමි.                         
“තාත්තගෙ ඒවටික කියන්නකෝ ….” ඌ මම කියන තුරු සියල්ල අසා දැන ගත්තේය. 
“ආ! දැන් කියපන්කො පුතේ උඹේ ටිකත් …!” මම හරි බරි  ගැහී   හාන්සි පුටුවේ ඇලවී දෙනෙත් පියා ගතිමි. ඒ ඌට උගේ දේවල් මගේ මූනදිහා බලාගෙන කියන්නට අපහසු වේ නම් ඉන් ඔහුට සහනයක් වන්නටය.
“මොනවද ! තාත්තා එක්ක මොන රහස්ද ? ඔක්කොම තාත්තා දන්නවනේ!” කියා මගේ රහස් ටික දැනගෙන ඌ දිරා මාරු විය !   


                 

           අපට කියවන්නට බැරිවූ පොත!
මගේ ආදරනීය තාත්තාගේ අත් අකුරු.

27 comments:

  1. Replies
    1. සත්තකින්ම ! එයා එළම තාත්තෙක්!

      Delete
  2. අම්මල තාත්තල බෙදන දවසේ බොලාට මුල් නොම්බර අහුවෙලා

    ReplyDelete
    Replies
    1. එම ප්‍රකාශනය හරිම හැඟීම් බරයි! සත්තකයි . මේ ලෝකෙ හොඳම අම්මා හිටියෙ නම් මට! මම කිසිදාක ඇය ගැන නොලියනු ඇත. ඒ අම්මාගේ වියෝව ඒතරම්ම හිත් කීතු කල සිදුවීමක් නිසා.

      Delete
  3. Replies
    1. එකෙන්ම! හැබැයි වෙනස එයා බිව්වාම විතරයි ඇනේ උනේ!

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. adaraya , ammage adaraya , danenawa thawamath hethe konakata.
    mama harida ?

    Love , mother's love , feel into my heart ,
    Am I correct?

    ReplyDelete
    Replies
    1. අම්මාගෙ ආදර ය ගැන මා ලස්සන කතාවක් අසා තියෙනවා. මා දිනයක ලියන්නම්.

      Delete
  6. Replies
    1. බොහොමට්ම ස්තූතියි!

      Delete
  7. හෙක්.. තට්ට පුතා තට්ටයට වැඩිය අණ්ඩයෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! ඌ මගේ මේ කණෙන් රිංගලා අනෙත් කනින් එළියට බහී ; නිකම්ම නොවෙයි කුඩේකුත් ඉහල ගෙන!

      Delete
  8. කෝටු සොයන්නට ඇති කම්මැලි කම නිසාවෙන් අත පුරවා සංග්‍රහ කිරීමද, දවසේ විකාශය වන සියලුම ප්‍රවෘත්ති නැරඹීමද තාත්තලාගේ හැටියක්ය.
    මිතුරකු මෙන් ඇසුරු කිරීමට හැකි තාත්තෙකු ලැබීම පුරුවේ පිනක්ය. දෙයියනේ කියා මමද පෙර පින් ඇත්තෙක්මි.

    ReplyDelete
    Replies
    1. යකෝ වැඩේ කියන්නේ තාත්තා කෙනෙක් විදියට අපේ එකාටත් මමත් ඔය විදියටමනේ සැලකුවේ! ස්තූතියි! ස්තුටුයි මට වගේම හොඳ යාළුවෙක් ඔබටත් ලැබීම ගැන.

      Delete
  9. තාත්තා ගැන කියනවා කියන්නේ තමන් ගැන කියනවා වගේ තමයි.මොකද දන්නවද? බොහොමයක් පුතාලා තාත්තලා වගේම තමයි. බිඋවම තාත්තා වගේම පුතත් නියම ඇණයක් වෙන්න ඇති.ඒක ඉතින් අහන්න ඕනි ඔබේ බිරිද ගෙන්ම තමයි. අතීතය මතක තිබීම හොද දෙයක්. හැබැයි ආදරේට නරියා කියන එකට මම තදින්ම විරුද්දයි. නරියා කියන්නේ කපටි සතෙක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න වරද්ද ගත්තා. අපි නම් බිව්වාම සුපිරියටම අහිංසකයි! හාවො වගෙයි. නිකං
      "හ" යන්න නෙවෙයි; සඥ්ඥක "හ" යන්නෙන් පටන් ගන්න හාවො! නරියා ගැන නම් කියන්නට නොහැක. මන්ද ඒ එකෙක් සතාට නරියා පේන හැටියට නරියාට විවිද අර්ථකතන දෙන බැවිනි. මොකද මම දන්න නරියෙක් හිටියා ම්හතර පෝයට සිල් අරන් මදි පාඩුවට "බැල් පෝයටත්" සිල් ගන්නවා සිරාවටම. ඌ කුකුළෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ. ඌ කන්නෙ චිකන් රසැති රයිගම් සෝයා!

      Delete
  10. ස්ටෙන්ට් තුනෙන් නැවතුනා ඇති ...(තව කියන්න දේවල් තිබ්බත් කිව්වොත් අහගන්න වෙන එක දන්නා නිසා කියන්නේ නෑ )

    ReplyDelete
  11. කොල්ලො ඔහොම කිව්වාම මතක නෑ මේ මොකක් ගැනද කිව්වේ කියලා. ! එතකොට ලුණු ඇඹුල් ඇතිව ලියා ගන්න බෑ. සිමෙන්ති වැඩේ මොකද වෙන්නේ?

    ReplyDelete
  12. එල තාත්තෙක් ගේ එල පුතෙක්.. හැබැයි බොලා දෙන්නටම වඩා දුරක් පුතා යනවා ඔන්න අද කියුවා කියල මතක තියා ගනින්.. :)) සෙනේ, වස්තු කියල කියනව කියුවම හරිම ආදරණීය ගතියක් දැනෙනවා.. අපේ අම්ම තාත්තා කතාකරන්නේ ඒයි කියල. මල පැන්න වෙලාවට ඒයි ඕයි වෙනවා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොමත්ම ස්තූයි මචං! (මේ වචන තුනේ විශාල බරක් තියෙනවා. තේරුම් ගනිං!) මැකුවේ අක්ෂර වින්යාසයේ අවුලක් නිසා! වින්යාසය කියන වචනයේ අක්ෂර වින්යාසයත් වැරදියි . බලහන්කෝ!

      Delete
  13. ඉහතින් දීරා මාරූ වූ පුත්‍ර රත්නය , අර මුර උන්නැහැගේ කතාව බොහොම රස්බර අයුරින් මා හට කියා ඇත.ඉදිරියටත්!

    ReplyDelete
    Replies
    1. හහ්! හහ්! හා! ඌ ගැනත් වෙන ම එකක් ලියන්න ඕනෙ.ඕකගෙ වල් බූරු වැඩ ගැන කියලා!

      Delete
    2. අන්න ඒක නම් බලන්න වටිනවා. 😀

      Delete
  14. අපේ අම්මත් කියන්නේ අතින් ගහන්න එපා කියා ය. හින් ඉරට්ටක් ලු හොඳම. තාත්තගේ වැඩ ටිකනම් මරු. පොඩි එකාගේ සපත්තු සයිස් අපිව පහු කරගෙන ගියොත් මොකෝ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත්ටම අපේ ගෙදර බිත්තියේ තියෙනවා; දිනය ලියලා උගෙයි මගෙයි උස ලකුණු කරපු තැන් කීපයක්. ඌ ටික ටික මාව පහු කරගෙන ගියා. නමුත් ඌට තාම බැරිඋනා සපත්තු සයිස් එකෙන් මා අභිබවා යන්න. ඌත් 10 මාත් 10! හූ හූ!
      මේවා හරිම සොඳුරු කතිකාවන්! මා සේවය කරණ ආයතනයේ වැඩිම වැටුප් ලබන පිරිස පෙලගැස්වුවහොත් මා ඉන්නෙ 100 ටත් පහල. එහෙත් ආයතනයේ වඩාත්ම සතුටින් ඉන්නා 10 දෙනා අතර මා ඉන්නෙමි.
      ඒ මේ මා වටා සිටි හා සිටින මෙවන් සොඳුරු චරිතයන්ට පිං සිදුවන්නටය!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...