Wednesday, October 4, 2017

53. පොතක් ගැන කතාවක් ……….!



පසුගිය දිනෙක මා මිත්‍ර “සුමියා” මා වෙතට ඇමතුමක් දී පැවසුවේ  මාගේ කන්තෝරුවේ ලියන මේසයේ ලාච්චුව ඇර  බලන ලෙසය.
මා එය ඇර බලන විට එහි පොතක් විය.තහනම්  වර්ගයේ “පොලිතීන්” පිටකවරයක් කාරිය දමා තිබූ එහි  පිටකවරයේ රූපය හා ලියා තිබූ වචන මාහට පහසුවෙන් කියවිය හැකි විය .

“මිහයිල් ලෙර්මන්තව් - අපේ කාලයේ වීරයෙක්”
රුසියන් බසින් සිංහලයට පරිවර්තනය
දැදිගම වි. රුද්‍රිගු
 එහි ලියා තිබුනි.
පොතක් ……!
මා සිතා නොසිතා අමතක කර දැමුවේද ?  
නැත ! 
මාහට නිරායාසයෙන්ම අමතක විය! 

දින කිහිපයක් ඉක් බිත්තෙන් පසුගිය සිකුරාදා එළඹිනි. පසුදින එනම් සෙනසුරාදා දිනයේ මා හට අනුරාධපුර බලා යාමට හේතුවක් විය . පසුදින ගමන සිත දරාගෙන  සියල්ල සූදානම් කරගෙන සිකුරාද සවස පුටුවෙන් නැගිටීම සමගම මේස ලාච්චුව ඇර බැලූ විට එහිවූ  පොත නෙත ගැටිනි. එය ගනිත්ම  මා දුටුවේ තවත් පොතක් එසමග  ඊට යටින් ඇති බවය.


“අහිමි නොවුණේ  ජීවිතය පමණකි”
All But My Life –Gerda Weissmann
පරිවර්තනය- එල් .එස් .එස් . පතිරත්න
එම පොතයි . 

පොත් දෙකම රැගෙන මා ගෙදර ගියෙමි . ඕනෑම  දෙයක් ඇවිස්සීමට උපන් හපන් කම් ඇති මාගේ දියණිය එක්වරම පොත් දෙක  දැක ඒවා තම ග්‍රහණයට ගත්තාය.
“මේක සුමිත් අයිය තත්තිට දීලා තියෙන්නේ….!”
“කොහොමද ඔයා දන්නේ ?”
“ඇයි මේ ලියලා තියෙන්නේ ….!”
පලමු පොතෙ ප්‍රථම ඇතුල් පිටුවේ කොලයක් අලවා තිබුනි.
“ඔබ කියවන පොත පතෙහි වටිනාකම කෙබඳුදැයි දන්නා  කෙනෙකුන් හැටියට , මෙම පොත් පිංච සඳහා  වූ ඔබේ රුචිකත්වය කෙබඳුදැයි නොදන්නවා වුවද , මෙම තිළිණය මහඟු වටිනේ යැඅයි විශ්වාසය ඇතිව සතුටු සිතින් පුදනෙමි.”
“ සුමිත් මල්ලීගෙන් (සුමියා) – මංජුල අයියාට (තට්ටයා)”
2017.09.26
එහි දක්වා තිබුනි.

මීට වසර දෙක තුනකට ගියාට පසු පොත් කානිවල් යෑම මා සිතාමතම නවතා දැමුවෙමි. මෙයට ප්‍රධාන හේතුව වූයේ ; පොතක් දෙකක් ගෙන ලබන සතුට බිමදමා පාගා ගෙන නැගෙන; පොත් මිස් වීමේ නොහොත් වියදම් කිරීමේ සීමා මායිම් කරණකොට ගෙන ; අත හැර දැමෙන පොත් නිසා සිතෙහි නැගෙන දුක, සංතාපය වඩාත් වැඩි වීමය !
මෙයට සුපිරියටම ගැලපෙන සිද්ධියක් මාගේ ජීවිතයට එක්ව පවතී. ඒ මා පාසල් යන කාලයේ පාසල් නිවාඩුවට බෙන්තොට අපගේ ලොකු අම්මලාගේ ගෙදර සතියකට ගිය විට ; මා  එහිදී විඳින අප්‍රමාන සතුටට වඩා වැඩි පීඩාවක් වින්දේ සතියකින් මේ සියල්ල හැරදමා පුරුදු ගෙදරට යන්න වෙනවා නොවේද?       යන සිතු විල්ලෙනි.
ඒනිසාම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තිබෙන කාලයේදී මා බොහෝ  සෙයින් ඉන්ද්‍රියන් දමනය කරගෙන ඉන්නට පුරුදු පුහුණුවී සිටින්නෙමි.
පොත් වලට මාගේ ජීවිතයේ මා කොයි තරම් ආදරය කලා දැයි කිවහොත් ; පාසල් සිසුවෙකුව සිටින අවදියේ  කොටුවේ ඇම් ඩී ගුණසේන සාප්පුවෙන්  පොතක් ඉනේ ගසාගෙන එනවිට එය හසුවී ;දිනක්  පුරා එහි පොලොව යට ගබඩා කාමරයක සිරවී සිටින්නට විය ! මෙය පසු කලෙක සුන්දර අයියාට (සුන්දර නිහතමානීද මැල් ) කියපු අවස්ථාවක “උඹ යකෙක්නෙ බං !” කීවේය. ඊළඟට ඔහු කට හැදුවේ  කුමකට  දැයි මට ඉවෙන් මෙන් තේරුම් ගියේය !
“හරි හරි ! අයියගෙ තාත්තත් සීන් එකේ හිටියා !”
(මා ඒ පැවසුවේ ලල් ප්‍රේමනාත් ද් මැල් මහතා පිළිබඳවය.එකල එතුමා එහි ලොකු ඨානාන්තරයක් දැරීය.!)
ඒ කෙසේ වෙතත් මා මේ වනවිට තරමක පොත් ගුලකට අයිතිවාසිකම් කියන්නට හැකි පුද්ගලයෙකු බවට දෛවය විසින් පත් කොට ඇත.

( මේ සියල්ල මා  ඉනේ ගසාගෙන පැමිනි ඒවා නොවන බව මා නොකිව මනාය)
මාහට පොත් කියවීම හුරු කල පුද්ගලයින් කිහිප  දෙනෙකු මාගේ මතකයට එයි. ඉන් එක් අයෙකු වන්නේ වර්ථමානයේ බී බී සි යේ සංදේශය වැඩසටහන ඉදිරිපත් කරණ චන්දන කීර්ති බණ්ඩාරය.  ඒ අවිස්සාවේල්ලේ ආරාධනා කන්ද පාරේ ඔහු ගේ නිවසේ  පැවති  අනර්ඝ පොත් එකතුව හා නිරන්තරයෙන් පොත් කියැවීම පුරුද්දක් කරගත් ඔහුගේ ආභාෂයය. “ලෙනින්ගේ තෝරාගත්  කෘථි  වෙළුම් 12” , “දාස් කැපිටාල්  නොහොත් මාක්ස් ගේ ප්‍රාග්ධනය” , “බ්‍රිටැනිකා විශ්වකෝෂය පොත් කාණ්ඩය” මා අතගා බැලුවේ එහිදීය.

දෙවැන්නා  දෙමටගොඩ ,මවුන්ට් ප්ලසන්ට් පටුමගේ ආරම්භයේ කාමරයක නවාතැන් ගෙන  සිටි  විජේරත්න මහතාය. ඔහු සතු ඉතා දුර්ලභ පොත් එකතුවක් තිබුනි. ඔහු කොහිදැයි මා අද තා වෙන්න දන්නේ නැත. ඔහු සතු පොත් මා එකල  කියවන්නට තෝරාගත්තේ පිට කවරයේ රූපය බලාය.  “ඇලන් ක්වාටර්මෙන්” , “රත්නාගාරය”,“හිමගිර තරණය”,  චාල්ස් ඩිකන්ස් ගේ "දෙනුවර අන්දරය" රොඩ්නි ජෝන්ක්ලාස් ගේ " වාලම්පූරි"   මා කියැවූයේ ඔහුට පිංසිද්ද වෙන්නය. 




දැනටත් මා සතුව ඇති  මාය රංජන්ගේ “දිගාමඬුල්ලේ ආශ්චර්‍යය” ඔහුගෙන් මා හුවමාරු කරගන ආ පොතක්‍ය. ඒ වෙනුවට ඔහුගේ අත් අඩංගුවේ මාගේ “අපරාජිත බිස්මාකය” – මිනිදාස සෙනරත් යාපා ගේ පොත ඇතැයි මා සිතමි. 

තෙවැන්නා වූයේ මාගේ පැරණි මිත්‍රයෙකුවූ කුරුණෑගල මළියදේවයේ   සිට කොළඹ පැමිනි එස් සී කේ ජයකොඩි ය. මා විජෙරත්න මහතා ගෙන් ඉල්ලාගෙන ආ පොත් ඉන් පසු පත්වූයේ ජයකොඩි අතටය. බෝඩිමට ගොස් කියැවීමෙන් පසු ජයකොඩි කතාව මාහට පංතියේදී පන පිහිටුවා පසුදිනකියනු ලබයි. කතාව හොඳින් අසා සිටින මා එහි රසාලිප්තම තැන ; පොතෙහි පෙරලා දෙනමෙන් ජයකොඩිගෙන් ඉල්ලාසිටින්නෙමි. එමකොටස කියැවීමෙන් පසු එතැන් සිට ඉදිරියටත් පසු පසටත් කියැවීමෙන් මා පොත්  කියැවීමේ පුරුද්ද ඇතිකර ගත්තෙමි.
 ඉන් පසු මා හට කතා කිව්වේ දැනට විදුසර පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ධූරන්දර      ඒ ආර් කුලසිංහය ! සර් ආතර් කොනන්ඩොයිල්ගේ “බැස්කර්විල්හී රුදුරුබලුව” මා රස වින්දේ ඔහුගේ රසාලිප්ත කතනයෙනි! එවකට මා සමග කතා අසා සිටි අනෙකා “දේශය” පුවත්පතේ සුගත් පී කුලතුංග ආරච්චිය !

 අදටත් ළමයෙකුට පොත් කියැවීමේ රුචිය ඇතිකරවන්නට ඇති සාර්ථකම ක්‍රමවේදය  මෙය යැයි අද ද මා විශ්වාස කරමි. 
 මාහට අහම්බයෙන් ලැබුනු පොත් දෙකින් අනෙක් පොතේ දක්වා තිබුනේ දිනය පමනකි.
“2017.09.26”  
 මා හැරෙන තැපෑලෙන් දූරකථන ඇමතුමක් සුමියාට ගත්තෙමි !
“අනේ මං දන්නෑනෙ බං උඹ ඒක අරන් තියෙන්නේ මට කියලා …..” යනුවෙන් කෙඳිරි ගෑවෙමි.
ඒ මාගේ සියළු දුක  හිතෙන කතා සුමියා මුදිතා ගුණ භරිථව අසා සිටියේය . ඉක්බිතිව මා දෙවන පොත අග්ගිස්ස කියවන්නට පටන් ගතිමි.
 “ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර්  මස 3 වැනිදාය.ඒ අක්‍රමණික ජර්මන් හමුදා ඇය ජීවත්වූ බයෙලිට්ස් වෙත පැමිණීමත් සමඟය. ඇගේ පවුලේ අය ක්‍රමවත් ලෙස වෙන්කල ඔවුන් ගර්ඩා යවනු ලැබුවේ ජර්මන් කර්මාන්තශාලාවල වහල් සේවය සඳහය.එම වහල් කඳවුරු තුළ සිටි ගැහැනු ළමයින් හට වසර තුනක කාලය මුළුල්ලේම මුහුණ දීමට සිදුවන්නේ අනුකම්පා විරහිත කෲරත්වයකටය.ජර්මානුවෝ  සැලසුම් සහගත ලෙස ඔවුන්ට ජීවිතය හැර සියල්ල  අහිමි කරමින් සිටියහ.
 යුද්ධය අවසන් සමයේ රුසියන් හමුදාවල  ඉදිරි ගමනත් සමඟ ජර්මානුවන් ඔවුන්ව පාගමනින් රැගෙන ආවේ චෙකොස්ලෝවැකියාව  දෙසටය. ශීත සaතුවේ මාස තුනක් පුරා පැවති මේ පා ගමන අවසන් වනවිට හාරදසක ගැහැනු ළමුන් කණ්ඩායමෙන් ඉතිරිව  ඇත්තේ එකසිය විස්සක් පමණකි. අනෙක් සියලු දෙන මිය ගියේ කුසගින්නෙන් හා ශීතලෙනි.
අවසානයේ ඇය ඇතුළු කණ්ඩායම චෙකොස්ලෝවැකියාවේ වොලරි වලදී මුදගනු ලැබූවේ ඇය වෙත සෙනෙහසේ  දෑත් දිගු කළ; පසුව ඇගේ සැමියා බවට පත්වූ ඇමරිකන් හමුද නිලධාරියා විසිනි ”  
 සෙනසුරාදා උදෑසන අප රැගත් බස් රිය අගනුවරින් උදෑසන 6.30 වනවිට පිටත් විය. බසය පනගන්වනවාත් සමග ඇරඹි මාගේ කියවීම ; නැවතුනේ අනුරාධපුරවරයට   බසය සම්ප්‍රාප්තවීමයිත් සමගය. පසුදින එනම් ඉරිදා උදෑසන 11.30 ට බසයත් සමග ඇරඹි කියැවී ; නැවත බසය සමගම  කොළඹට පැමිනීමත් ; අන්තිම පිටුව තෙක් කියවා අවසන් වීමත්  සමග නැවතිනි!
 මාගේ කියැවීම අවසන් වුවද සිතතුල විසිරීගිය පපුව පැලෙන තරම් වූ දුක තවමත් එලෙසමය !
 විසඳා ගත යුතු ගැටළු දෙකක් වේ …..!
 මේ තරම් දුකක් මිනිසෙකු විඳින්නෙ කෙසේද ?
       මේ තරම් දුකක් මිනිසෙකුට විඳවීමට සලස්වන්නේ  කෙසේද ?                        
 තවත් එකක් !
 මා වෙනුවෙන් මෙවන් කෘති දෙකක් පිළිගැන්වූ වාට  මා කුමක් නම් කලයුතු වන්නේද ?
 ස්තූතියි බොහොමත්ම !   

33 comments:

  1. කෙල හල හල කියෙව්වෙමි.. පරිවර්තන පිස්සෙක්මි. සමහර පරිවර්තන හින්දා කියවීම එපා උනා.

    මේක ආයෙමත් පිස්සු වැඩිවෙන පැත්තට යන්නේ. මොකද අනේ මේ..? ලියන ලියන ඔක්කොම මගේ පිස්සු ගැනම ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. බස්වල හෝ වෙනත් විදියකින් ට්‍රැවල් කරනකොට මට පොත් කියවන්න බෑනේ අප්පා... මාර දුකයි ඒකට ! එහෙම පුළුවන් උනානම් කියවන්න පොතක් දෙකක් තියෙනවා මගේ ගාවත්.

      බුක්ෆෙයා යන්නෙම කඩදාසිය ලිපේ දාලා දැන් නම්. හොඳට ඇවිදලා, නිදහසේ තෝරන්න බැහැ මට සෙනඟ ඉන්නකොට. සෙනඟ මට අල්ලන්නේ නැහැනේ. ඊට අමතරව කුණු ලෝබි මම... පොතත් ඕනේ , සල්ලි වියදම් කරන්නත් ලෝබයි.. මොකද මම ගන්න ඉන්න පොත් ඔක්කොම වගේ ගණන්.. එහෙම කියල බැහැ නේද?

      ඔබ වෙනුද්වෙන් එකේම කෘති දුන්නා නම්, ඔබටත් එහෙම දෙන්න වෙයි.. ඔන්න අපි දන්නේ නැහැ

      Delete
    2. අහලා නැද්ද පිස්සන්ට පිස්සො එකතු වෙනවා කියලා...!

      මට ඔබගේ ඊ ලිපිනය එවන්න.

      බොහෝ දෙනා වෙත මා කෘත ගුණ සලකන්නේ හෝ කෙනෙකුට උදව් කරණ්නේ ඔවුන්ට හිතාගන්න බැරි විදියට. උත්සාහ කරණ්නෙ මිළ කරණ්න බැරි විදියට ඒ අයට කෘතඥ්ඥ වෙන්න! බොහො මත්ම ස්තූතියි!

      Delete
    3. මගේ කොලේට ඇවිත් එතැන දකුණු පැත්තේ තියෙන පෝරම කොලේ පුරෝලා එවනවද?

      Delete
    4. ගොඩ වදින්න මං සලකුණු අත හැරිලා! තරහ අවසර! පොඩ්ඩක් කියනවද?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මම ඕක ට්‍රයි කලානෙ. හාරි ගියේ නෑ සමා වෙන්න එකසිය ගානට!

      Delete
    7. මම ඔයාගෙ කයියකට කොමෙන්ටුවක් එල්ලුවා - බලපියො!

      Delete
  2. ඔබ කිරීමට උවමනා දේ ඔබේ සිත තුලයි පවතින්නේ. එය ඔබයි දැනගතයුතු . නමුත් ඔබ කැමතිම පොත් ඔබට පිරිනැමීමෙන් ඔවුන්ගේ සිත් තුල ඔබට ඇති ලෙන්ගතුකම සෙනෙහෙවන්තකම පෙනී යනවා නේද??



    ReplyDelete
    Replies
    1. මාහට අන් කිසිදු දෙයක් තිලිනයක් ලෙස ලැබුනාට වඩා පහන් සංවේගයක් පොත් ලැබීමෙන් මා වින්දෙමි. එවන් තිළිණයක් ලැබීමට තරම් එම සිත තුල මා සළකුණක් ඉතිරිකොට ඇත!
      නමුදු මා වඩාත් අගයන්නේ මා දිනාගත් එවන් වූ සිත් කමල්ය.
      බොහෝ විට ඔවුන් නොසිතන තරම් මා ඔවුනට ලෙංගතුවෙමි ; ඔවුනට නොදැනුනාට!
      අහලා තියෙනවද මෙම කථාව:
      තාත්තගෙ ආදරේ කොන්දොස්තර අත ඉතිරි රුපියල වාගේය. ඒ ගැන ඔහුත් දන්නේය. මමත් දන්නෙමි. එකමදේ එය පෙනෙනට නොලැබීම පමනි!

      Delete
  3. මේ කියල තියන පොත්වලින් මංගාව තියන්නේ අපේ කාලයේ වීරයෙක් පොත විතරයි .පොඩි කාලෙ ඉඳලා තිබුණු පොත් සෑහෙන ප්‍රමාණයක් එක එක දේවල් වලට දීලා දැන් තියන්නෙ කීපයක් විතරයි .

    ReplyDelete
    Replies
    1. ඔය මම කියපු චන්දන අයියාගෙන් පොතක් ඉල්ලුවාම කියන දෙයක් තියෙනවා.
      "මචං ගෑනිව ඉල්ලපං දෙන්නම්. මොකද ඒකි දන්නවා ඕන එකෙක් එක්ක ගිහිල්ලා ප්‍රවේසං වෙලා එන්න. ඒ උනාට මචං පොතක් දන්නෙ නෑනෙ!"

      පොරගෙ කටේ තිබුනු තව සොමි කථාවක් තියෙනවා.
      " මා සතු පොත් මා කිසිවෙකුටත් නොදෙමි! මන්ද ;
      මාසතු පොත්වලින් බොහොමයක් මා අනුන් ගෙන් ඉල්ලාගෙන ආ පොත්ය!" කියලා.

      තව ලස්සන සංස්කෘථ කියමනක් තියෙනවා මට මේ වෙලාවෙ හොයාගන්න බැරිඋන. ඒකෙ අදහස නම්:
      "ස්ත්‍රිය හා පොත් කිසිවෙකුට නොදෙන්න! මන්ද ඒ කිසිවක් දුන් අයුරින් ලැබෙන්නේ නැත!!"

      තව මරු කතාවක් මතක් උනා ඒකත් මේකෙම ලියන්නම්.

      සීයා: මොකද්ද කොල්ලො ඔය කියවන්නෙ දවස් ගානක ඉඳලා.
      කොලුවා: ආ මේ ශෙක්ස්පියර්ගෙ පොතක්!
      සීයා: අප්පට සිරි ! ඕක ඉකමනින් ගිහින්දියං ; ඌ හොයනවත් ඇති!

      Delete
    2. Thattaya: හිනා වෙලා පන ගියා මේ කතා අහල. කොහෙන් හොයාගන්න ඒවාද මන්ද

      Delete
    3. සංතෝසයි! සංතෝසයි!!

      Delete
    4. ගොඩක් පොත් දුන්නෙ පුස්තකාල වලට.හැබැයි අර කතා නම් සුපිරියි

      Delete
    5. අප්පට සිරි ( අම්මට සිරි 2 එහෙම නෙවෙයි ) ; සිරාවට ඔයා හොඳ පොරක් නොවැ; කාලෙකින නොහමුවෙන! මම ඊයෙත් ගියා අර රණබිම ඉස්කෝලෙ ගාවින්! මට උඹව මතක් උනා මලේ!

      Delete
  4. හැම අවුරුද්දෙම බුක් ෆෙයාර් ගිහින් ගෙදර පොත් ගොඩ ගහගන්නවා...
    මට කියවල ඉවර කරන්න පුළුවන් වෙන්නේ ගත්තු පොත් වලින් 50% ක් වගේ තමයි...
    හැබැයි හාමිනේ නම් ඔක්කොම පොත් ටික කියවලා ආයේ මදි පාඩුවට පොත් කඩ වලිනුත් පොත් ගන්නවා...

    මට ඉස්සර ඔය ටිකක් බෝරින් වගේ ගොඩක් අය හිතන පරිවර්තන කිසි අවුලක් නැතුව කියවන්න ඇහැකි, හැබැයි දැන් ඒ හැකියාව මොටවෙලා...
    ඒ වගේ පොත් බලද්දී කම්මැලි කමක් වගේ ඇවිල්ල, එක්කෝ ෂර්ලොක් හොල්ම්ස් පොතක්, නැත්තන් අගතා ක්‍රිස්ටි පොතක්, එහෙම නැත්තන් කැලෑ කතා වලට තමයි හිත යන්නේ...

    ReplyDelete
    Replies
    1. මං කියනවට මම ඔය කියවලා තියෙන එක කියවලා බලන්නකො ලොකු පුතේ! මම අර ගඟක් දිගේ ඔයාගෙ කොමෙටුවට රිප්ලයි එකක් දැම්මා. බලන්න! ස්තූතියි!

      Delete
  5. මම අරගත්ත පලවෙනි පොත මඩොල් දූව. ඊට පස්සෙ චන්දන මෙන්ඩ්ස්ගෙ හොම්ස් පරිවර්තන වලට අහ වැටුන හැම මාසෙම අම්ම ක්ලාස් යන්න නෙ සල්ලි වලින් එකක් ගානෙ ගත්තා. (ඔව් කොහොමක් ඒ සල්ලි වලින් ක්ලාස් ගිහිල්ලම නෑ) තව තව පරි වර්තන කීපයකුත් පොත් ගොඩට එකතු උනා දවසක් යාලුවෙක් හෝම්ස් පොත් තුනක් ඉල්ලන් ගියා කොච්චර ඉල්ලුවත් ආපහු ලැබුනේ නෑ. පගෙ සම්ලූර්න වෙලා තිබ්බ පොත් එකතුවෙන් 3ක් අඩු උන දුක පොත් සාප්පුවක් ගලින් ගියත් මට දැනුනා. පොත් එකතු කරන එකත් එහෙමම යට ගියා. ඉතිරි පොත්ටික කාර්ඩ් බොඩ් පෙට්ටියන දිල තීනව තාමත් ගෙදර.

    අනිත් කතාව
    මද්ද 4-9 ශ්‍රේණිය වෙනකන් ගියේ අපේ අම්මගෙ ගම්පලාතෙ තියෙන ඉස්කෝලෙකට ඒකෙ තිබුන පොඩි පුස්තකාලයක් අවු 2ක් වගේ ඇතුලත මම ඒකෙ තිබ්බ හැම පොතක්ම වගේ කියවල ඉවර කරා. ඒක ළමයි 150ක් වගේ හිටපු බොහෝම පොඩි ඉස්කෝලයක්.

    ReplyDelete
    Replies
    1. අතිශය දුක්බර කතාවක්! ඇඬෙනවා තනි ඇහැට! අතාරින්නෙපා! පටන් ගන්න මුල හිටං!!! ස්තූතියි!

      Delete
  6. මොකකටහරි රිෆර් කිරීමට හැර දැන් ගන්න පොත්වලින් කියවෙන්නේ සුලු කොටසයි. ලයිබ්‍රරි එකෙන් ගන්න ඒවා දැනට කියවලා ගෙදර පොත් රිටයර් වුනාම කියවන්න තියන් ඉන්නවා. තියන ඔක්කොම කියවනකල් ජීවත්වේද කියලා සැකයි ඒත් පොත් එකතු කිරීමේ සහ පිලිවෙලට තියා ගැනීමේ ආසාවත් තියනවනෙ. කොහොමත් දැන් තියා ගන්න ඉඩ නැති වීමේ අවදානමට ලක්වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා ලියන දේවල් වලින් හිතාගන්න පුළුවන් පොත් එකතුවේ තරම. බොහොමත්ම ස්තූතියි සැමදා වගේම අදත් ගොඩවැදුනාට ; කතාබස් කරන්න වෙලාව වෙන් කර ගත්තාට.

      Delete
  7. Replies
    1. බොහෝ අය පරිවර්ථන කියැවීම පටන් ගෙන තියෙන්නේ සෝවියට් පොත් වලින්! බරීස් ප්ලෙවොයි ගේ "සබෑ මිනිසෙකුගේ කතාවක්" ඒ කාලෙ හරිම ප්‍රසිද්ධ පොතක්! ඒකෙ ප්‍රධාන චරිථය ඇලෙක්සෙව් මර්සියේව් වගේ මතකයි! ස්තූතියි!

      Delete
    2. have read and 24 Books, after coming job, sorry. com, Saba Minasekuga Kathawa kiywwa

      Delete
  8. මම අහලා තියෙනවා ඒත යන්න වුනේ නැහැ! ස්තූතියි!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...