Tuesday, August 8, 2017

එක දවසයි!! සයිකල් දෙකයි!! කිලෝමීටර දෙසීයයි !!! 2

යාපාපටුනට යන්නේ කවදද - සයිකලයක්  පැදලා!

මගේ සිතේ කලක සිට පවතින ආශාවක් වේ . එය තවම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට නොහැකිවූ දෙයකි.
 එහෙත් එය “කිසියම් දිනෙක කලයුතු ” ලිපි ගොනුවේ උඩින්ම  ඇති  A4 කොලය යැයි කිව්වොත් වඩා නිවැරදියි.
 ඒ කොළඹ සිට යාපනයට සයිකලයකින් යාමය.
මෙය ඇසූ සැනින්  , කියැවූ සැනින් ; මාගේ මෙම බ්ලොගය කියවන 
එසේම කොමෙන්ටු දමන නිශාන් තම සයිකලයට හුලං ගසනු මට මැවී පෙනේ ! 
නිශාන් කුමාර මිතුරා  DSI  සයිකල් කර්මාන්තශාලාවේ ඉහල නිලයක් දරයි, එසේම මාහට හමුවන  එසේම තලබනුවෙන් කථාකරණ සෑම  දිනෙකම 
Cycle Tour එකක් යන්නට යෝජනා කරයි .
ඒත් අහෝ කෝ කාලය !?
මා දැනට භාගෙට බොරු කාරයෙකු වී  අවසානය. එය සම්පූර්ණ වන්නට මත්තෙන් කඩවත සිට පිට කොටුවට හෝ Cycle Tour එකක් යන්නට අධිටන් කරගෙන   සිටිමි!
මම මේ ගමන එනම් කඩවත සිට පොලොන්නරුවට ගිය Cycle Tour එක යන්නට දින  ගනනාවකට පෙර කිහිප දෙනෙක් මගෙන් විවිධ තාලයට එකම ප්‍රශ්නය ඇසීය.

නිකී ලවුඩා
එහි පොදු තේමාව වූයේ “ උඹට බය නැද්ද ඔය වගේ වැඩ කරණ්න? ”
මම උන්ට කියපු කථාවත් මේ පෝස්ටුවේම දිගහරින්නම් !

“ මචං මීට කාලෙකට ඉස්සර  ලෝකයේ නම් දරාපු කාර් රේස් කාරයා  තමයි 
නිකී ලවුඩා!
 ඔය අයර්ටන් සෙන්නා , ෂූමාර්කර් වගේම සිරා පොරක් තමයි මූත්!
දවසක් මූව හම්බෙන්න ගිය පත්තර බුවෙක් මුගෙන් ඇහුවාලු ;
“ඔයාට බය නැද්ද මේ වගේ භයානක කිරීඩාවක් කොරන්න ?කියලා!
“ මොන රෙද්දටද  දැන් බය වෙන්නෙ ?” ලවුඩා  ඇහුවලු.
“ඇයි දැන් කොයි තරම් දෙනෙක් ඔය කිරීඩාවෙන් මැරිලා තියෙනවද ? 
කියලා පත්තර බුවා ඇහුවලු .
“හරි දැන්  ඔයා දොයිය  ගන්නේ ඇඳක නෙවේද ?” ලවුඩා අහපි !
“ඔව් ! ඇයි ?”
“ඉතින් ඕකෙ දොයිය ගන්න  බය නැද්ද ?”
“ ඒ මොකටද  ඇඳක නිදාගන්න බය වෙන්නේ ?”
“ඇයි  බාන් මේ ලෝකේ කී දාහක් නම් ඇඳන් උඩ මැරිලා තියෙනවද ?”
 ලවුඩා කිව්වලු !

ඉතින් මචං මැරෙණවානම් කඩේට පාන් ගේන ගිහින් එන කොටත් මැරෙණ්න පුළුවන් නේ ?
වැඩක් තියෙන වද බං එහෙම මැරිලා?
දැන් බලහං මම පොලොන්නරු යන්න ගිහින් ගලේවෙල , දඹුල්ල  , හබරණ ,  මින්නේරිය පැත්තේ මැරිලා වැටුනොත් 
උඹලාට මගේ මල ගෙදර නයිට් ගහද්දි හරි කියන්න කථාවක් තියෙනවා ! තේරුණාද ?

බ්‍රැඩ් පීට් ව අමතකව ගිය මොහොතක් - ට්‍රොයි හි ඇචිලීස්

ඉතින් මිත්‍ර  වරුණි මගේ ෆිලෝසොපිය නම් ඒකයි. 
මලත් ඒ මරණෙ පුරා පුරාවaථයක්  වෙන්න ඕනෙ ! 
ඇචිලීස්ගෙ වගේ !
ඔය ඇචිලීස් ගොයියායාව මරණ්න නම් 
එයාගේ කකුලේ බල නහරෙට විදින්න ඕනේ කියලා කථාවක් තිබිලා තියෙනවානේ!
ඇත්තටම ඒකට අර කොහේවත් නැති එකෙක් විදලා තමයි 
ඇචිලීස් මැරෙන්නේ .

 (කාට හරි  කියන්න පුළුවන් “යකෝ මූ බලා හිටියා වගේ කියන ලස්සන !” කියලා. මට කියන්න තියෙන්නේ “යකෝ බලා හිටියා තමයි !” කියලා. හැබැයි බැළුවේ TROY චිත්තර පටියේ කියල්ල පස්සෙන් පහු කියන්න බැරියෑ! )

ඒ බල නහරෙට අද්ටත් බටහිර වෛද්‍ය විජ්ජාවේ කියන්නේ
 “ඇචිලීස් ටෙන්ඩන් (Achilles Tendon) ” කියලා කිව්වෙත් මාත් එක්ක පොලොන්න්නරු යන්න පිටත් වුනු  මධුෂාන් කොළූ මයි .

මට මතක විදියට ඔය ෆිල්ම් එකට බේස් වෙලාතියෙන්නනේ
 ග්‍රීසියේ මහා කවි හෝමර් අතින් ලියැවුනු ඉලියඩ් හා ඔඩිසි කියන 
මහා කාව්යයන් වෙන්න ඕනෑ. 
මේ පොත් දෙකම සිංහලට නැංවූවා  ඩේවිඩ් කරුණාරත්න ශූරීන් විසින්
  "ත්‍රෝජපුර සංග්‍රාමය" හා "වීර චාරිකාව" ලෙසින්.  


ඉලියඩ් 

 ඔඩිසි 

 හෝමර්
ඉතින්  මටත් ඕනෙ උනා දුරක් පදින්න ! 
ඉතින් ඒ වුනත් මම ඒ බව මගේ ගමන් සගයා - මධූට කියන්න ගියේ නෑ. 
කලේ පස්ස ගහන එකමයි.
 අදටත් මම විශ්වාස කරණ සත්‍යය නම් දිනකට කිලෝමීටර 100 කට වඩා ; භාරයක් ඔප්පු කරණ්න වගේ යනවාට වඩා
කිලෝමීටර සියයේ සීමාවට යටත්ව යන එක තමයි Cycle Tour එකක් 
 plan  කරණ්න ඕනෑ  වෙන්නේ .
 එතකොට තමයි ඒකෙ නියම තෘප්ථිය ගන්නට පුළුවන් වන්නේ .

මධුෂාන්ට මුල සිටම ඕනෑ වුනේ පුරාවaථයක් මවන්න.

මගෙත් හිත යට එවැනි ආශාවක් නොතිබුනාම නෙවෙයි. 
මේවා සියල්ල මනුෂ්‍ය ස්වභාව!

බොන එකා බීලා ගන්න සතුට , ආතල් එක නොබොන එකා ගන්නේ
 “මම බොන්නේ නෑනේ !” කියලා වීරාභිවන්දනයෙන් පැවසීමෙන්!

මම මේ  Tour එක කරළා ගන්න සතුට බොහෝ එවුන් ගන්නේ
 “අනේ මම ඔය ඕන නැති මගුල් කරණ්න යන්නේ නෑ නේ !
 අපිට ඕවට වෙලාවකුත් නෑ!! අපිට ඕවගෙන් ඇති වැඩකුත් නෑ !!! ” 
කියලා කීමෙන් කියලයි මට හිතෙන්නේ.
 (එහෙම නැතුවත් ඇති !?)

ඒත්
“හරි අපි කොහොම හරි යමු !
කියලා
මෙහේ ඉඳන් පොර ටෝක් දීල දඹුල්ල , හබරණ   දිහාට යන කොට
 පැද ගන්න බැරි උනොත් ඊට වඩා හොඳයි බඩ කපාගෙන මැරෙන එක.

ඒ නිසාම බැරි උනොත් ඉන්න හිතාන පටන් ගත්ත වෙලාවෙ ඉඳන්  මම මධූට යෝජනාකලේ රෑට හබරණ හරියේ නැවතී පසුවදා උදෙන්ම    පොලොන්නරුවට පදින එකය !
 ඒ සඳහා ඇවැසි ඇඳුම් කැඩුම් සියල්ල මම මාගේ සයිකලයට ඇමුනූ පැනියරයේ අසුරාගෙන සිටියෙමි.

 උදේ පාන්දර 3.30 - 4.00 ට පමන අප කඩවතින් පිටත් වුනෙමු. ඉදිරියේ පැද්දේ මමය.
මේ ගැන වින්කලේ ලකි අයියා කියන්නේ සුපිරිම කතාවකි.

“ඔය බොනියා හෙන්ඩර්සන් ඩබල කවදාවත් ෆ්රන්ට් එකේ පදින්නෑනෙ! සුමනෙ තමයි හැමදාම ෆ්රන්ට් එකේ  පදින්නේ. 
 අනිත් උන් කරණ්නෙ සුමනෙට මුවා වෙලා පැදලා
අන්තිමට රේස් එක ඉවර කරණ්න යද්දි ඉස්සරහට පනින එක  !”




මගේ ෆ්‍රන්ට් එකේ පැදිල්ල එහෙම වීර කමක් නොවේ.
මාගේ වයස ගැන හිතලා
 “අනේ ඔය වයසක මනුස්සයට ඔන්න ඔහේ යන්න දෙන්න කියලා ඉදිරියෙන් යන්න දීමකි !”
වසිකත් මට ඔය අවස්ථාව ලබාදෙන්නේය. 
එයත් එක්ක පදින කොට එයා මගෙ ඉදිරියට ගන්නේ 
“ මම ඉස්සරහට ගන්නද ….?” කියලා අහගෙනම !
 මට  ඒ වෙලාවට හිතට පොඩි ගර්වයක් ලැබෙන්නේ නිරායාසයෙන් .
 ඒ ගත්තත් ආයෙත් කෙටි වෙලාවකින් එයා මගේ පස්සට වැටෙනවා! 
ඒකෙත් පොඩි “ලල්” එකක් නැත්තේම නැත  !

අනෙක හැමදා මා සමග එක් වූයේ මගේ වයසින් අඩක වගේ පොඩි එවුන්. 
ඉතින් මොනවා උනත්; උන්ව තනි කෑල්ලට ගෙදරට ඇරළවන එක 
මගේ යුතුකමනේ.
 ඒනිසාම මොන දේට ගියත් මම තමයි ෆ්‍රන්ට් එකේ!

ඒ උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා හර්ද්යංගම තීරණයක්!
අපරාදෙ කියන්න බෑ උනුත් කවදාවත්ම ඒකට චැලෙන්ජ් කරලා නෑ.

අප  අපගේ නිවස්නය පිහිටි රුප්පාගොඩින් ගෝනහේන පාරටත් ; එතැනින් නුවර පාරටත්  වැටී පදින්නට පටන් ගත්තෙමු. 
අපගේ ගෙදර සිට නුවර පාරට කිලෝමීටර 3 කි.

සිසිල් සුළං පිරි වාතලය සිසාරා අප පැද්දෙමු. එක් වරක් දෙවරක් මධුෂාන්හට මාලඟට එන්නට දී සුව දුක් විචාලේය!
අව්ලක් නැත !
යලිත් පදින්නට පටන් ගත්තෙමු. අපගේ විදුලි පන්දම් එළි වලින් ඒකාලෝක කරණ වපසරිය අපට පදින්නට ඉඩකඩ සැපයීය.
 මාගේ “ එළිය”  තිබුනේ  මාගේ නළලේ ය . 
එය හෙල්මටයට යටින් නළල මත හිස වටා එතුනු  ඉලාස්ටික් පටියකින් හිසට බද්ධවී තිබුනි. එනිසාම මා බලන බලන අත එකළු විය. 
එය මට මහත් අස්වැසිල්ලකි!
මදූගේ සයිකලය පිටුපස සවිකොට තිබුනේ ගෙඩි රුපියල් 5000 ක් පමන වටිනා කමකින් යුත් විදුලි පහනකි.
එය ගෙන්වා තිබුනේ e bay හරහාය!


මධුෂාන් ගේ ලයිට් එකට කිට්ටු එකක්.

මේකේ නියම වටිනාකම ඇසූවිට මධුෂාන් “අහන්න එපෝ……!”කියා   ඔළුවේ අත් දෙක තබාගෙන බිම ඉඳගනී!
ඒ සමග ඔහුගේ භාෂාවෙන්
 “ඕකෙ ගාන දන්නවාන අපේ වයිෆා මාව මරාගෙන කයි !”
 කියා මොර දේ !
නමුත් ඇත්ත ලෝකයේ මාදකින වඩාත්ම ඉවසිළිවන්ත බිරින්දෑවරු දෙදෙනා මධූගේ පවුල අසේනිත් උගෙ තාත්තගේ  පවුල නොහොත් අම්මා නොහොත්
 අපේ අයියාගේ පවුල  ප්‍රියන්ති අක්කාත් ය!
 මේ දෙදෙනාම අපේ ලෝකයේ “බබාලා”ය ! 
ඒතරම් ඒ අය දිස්වන්නේ  නිවුනු සේයාව කි!
අයිස් වතුර බොන්නෙත් පීරිසියකට දමාගෙන කටින් පිඹ පිඹය!

මගේ  සයිකලයේ ඇති පන්නයේ රිෆ්ලෙක්ටරයක්

මාගේ සයිකලයේ ඇත්තේ පරාවර්ථකයක් හෙවත් රිෆ්ලෙක්ටර්‍ක් පමනි.
 එහෙත් මධූගේ  රුපියල් 5000 හේ ලාම්පුවේ දිස්නය කිලෝ මීටර  එක හමාරක්ද දෙකක්ද කොහෙද දුරක් පෙනෙනවාලු!
 (ඒක කියන්නෙත් ඌ මය!)

ඉතින් කොහොමත් මධූ පිටි පස්සෙන් එන එක සෞඛ්‍යයට හොඳය.
මන්ද උදේ පාන්දරට අපේ බස් අයියලා පියාසර කරන්නේ ඉතා පහලිනි!

අප කඩවත රම්මුතුගල හංදියෙන් පාරට දමාගෙන 
මාර්ඝයේ හැකි පමන අයිනෙන් පදිමින් විය. 
උදැසන විවිධ උවමනාවන්ට යන්නට බස් එනතුරු නැවතුම් පොලවල සිටි 
කුඩා පිරිස්  අප දෙස බලන්නට ඇත. 
අඳුරේ ඔවුන් ගේ ඡායාවන් දුටුවා විනා ඒවායේ ක්ලොස්අප් බලාගන්නට තරම් පික්සල් ගනන මදි විය.
අප ඔරුතොට පාර  , බැළුම්මහර , මිරිස්වත්ත , යක්කල , පසු කරණවිටත් 
හාත්පස අන්කාධරයෙන් වසාගත් වනම තිබුනි. 
නිට්ටඹුවට එන විට යාන්තමින් එළිය වැටීගෙන එයි.

අපගේ පළමු නැවතුම් පල  වූයේ වේවැල්දෙනිය  හා වෙන්ඩෝල් කන්දු පසුකොට පිළිපන් වරකපොලය.


මේ ඉන්නේ  කොහෙද කියලා පුළුවන්නම් කියන්න!

වරකපොල නගර සීමාවේ  නැවතුනු අප  පලමු අහර වේල ලෙස
 ජෑම් තවරණ ලද පාන් හා ආනමාළු කෙසෙල් අනුභව කොට 
ජලය මදක් බී පිටත් වූයෙමු.
 ඒවන විට හොඳින් එළිය වැටී තිබුනු හෙයින්  ; 
අප අපගේ විදුළි එලි වලට සමුදී තිබුනි. 
මධූට කෙසේ වෙතත් මාහට එය මහත් අස්වැසිල්ලක් විය.
 මන්ද විදුළි පන්දම නලළත රැඳවුනු ඉලස්ටික් පටිය  හිසවටා තද වීමෙන් ; 
බැලුම් බෝලයක් වන් වටකුරුවූ මාගේ අයිඩෙන්ටි කාඩ් එකට 
නොහොත් සුන්දර තට්ට්‍ වටා  ඒවන විට  යන්තමින් මෝදු වෙමින් පවතින කැසිල්ලක් වර්ධනය වෙමින් පැවති හෙයින්‍ය.
 විදුළි පන්දම ගලවා පැසතුලට දමා ගත් පසු මට නිවිහැනහිල්ලේ , 
 කාටවත් කරදරයක් නොවී ,   
මගේම සුරතින් මාගේම තට්ටය යාන්තමින් නොව එකසිය ගානට වුවද 
කැසීමේ භාග්‍යයට හිමිකම් කියන්නට  අවස්ථාව එළඹුනි!   
කෙසේ හෝ වේවා අප නැවත පැදීම ඉතා සුළු මොහොතකට අත්හිටෙව්වේ අලව්වේ මහ ඔය මතින් දිවෙන පාලම මතදීය.


බාප්පා සහ පුතා
(කොයි එකාද බාප්පා කියලා කියන්න ඕන නෑනෙ!)

 ජීවතුන් අතර

ඒ පොඩි පහේ සෙල්ෆියක් ගැසීමට හා හාමිනේට පොඩි පහේ  ආරංචියක් දීමටය.  ඒ ආරංචිය වෙන කිසිවක් නොව “ මා තාම ලයිව් යන්නය !” 
ආරංචිය සම්ප්‍රේශණය කලේ

 “ @ Alawwa”

කියාය.


එතැන් පටන් අප  අපගේ පෙර ගමන් විස්තරය නොහොත් 
අයිටිනරියට අනුව කිලෝමීටර විස්සෙන් විස්සට වාගේ නැවති නැවතී 
පොඩි පහේ ආහාරයක් , ග්ලූ කෝස් ටිකක්  , වියළි මිදි ස්වල්පයක් ගෙන 
 ජලය වෙනුවට ජීවනී බොමින් ගමනේ යෙදුනෙමු.

අලව්ව පසුකොට යාංගල් මෝදර දෙසට


ඇබැද්දියක් වෙලාද කොහෙද!

 මාගේ ජීවිතයේ මා  පැද තිබූ උපරිම දුර වූයේ 
 හක්බෙල්ලාවක සිට කඩවතට පැමිණි ගමන විය.
 කලකට පෙර කලපුරුදු අතීතයක්ද  වේ.
 එසේම දැනට කලක පටන් නිවසේ සිට සතියේ දින පහම හෝ
 අවම වශයෙන් තුනක් වත් සේවය සඳහා මාගේ  වැඩපොලට 
නොහොත් කන්තෝරුවට යන්නේ පාපැදියෙන්‍ය.
 එක් දිශාවකට කිලෝමීටර 17.5 පමන වන මෙම ගමන නිසා 
බොහෝ විට සෑම දිනෙකම පාහේ කිලෝමීටර 35 ක  දුරක් 
මා වෙතින් අද වන තුරුත් පැදේ.

මේ නිසාම ගමනේ පළමු කිලෝමීටර 50 මා කිසිදු අපහසුවකින් තොරවද
 දෙවන 50 තරමක මහන්සියකින්ද පැදගෙන ගියෙමි..


තුල්හිරිය


ෆ්‍රන්ට් එකේ පදින බාප්පා




කුරුණෑගලට ආසන්නව


කුරුණෑගල - බඩගමුව රක්ෂිතයේදී

 මීටර 100 සීමාව පසු වන්නේ කුරුණෑගල පසුවත්දීය. 
කුරුණෑගල සදාහරිත වනාන්තරය හෙවත් බඩගමුව වන වගාව තුළ නවතා 
යළිත් පිටත් වුනෙමු.
නවතන සෑම තැනකදීම අප කරණ්නාවූ ක්‍රියා පිළිවෙතක් විය . 
 ලඟම ඇති ගල් ගෙඩිය හෝ බෝක්කු කණුව මත පත බෑවීම. සෙල්ෆියක් ගැසීම . එස් එම් එස් එකක යැවීම. සුළු අහරක් ගැනීම. වතුර ටිකක් බීම. 
 අයිටනරිය බලා  අප සිටිනා තැන නිශ්චය කොට 
අපට තව කොපමන දුරක් යන්නට ඇත්දැයි ගනන් බැලීම හා
 එය GPS හා සසදා බලා පිටත්වීමය.  


ගොකරැල්ලට ආසන්නයේ දැදුරු ඔය පාලම මත

   කුරුණැගල පසුවී ගොකරැල්ල ප්‍රදේශයට එනවිට හිරු රැස් අපට බොහෝසෙයින් පීඩා කරමින් විය.


හිරු රැසින් දැවෙමින්

එතැන් පටන් ගමන ටිකින් ටික දුශ්කර වන්නට පටන් ගත්තේය.
මැල්සිරි පුර  නගරය පසුකර යන විට හමුවන
 කන්ද තරණයකරන්නට මත්තෙන් මාහට සයිකලය පැද ගැනීමට අපහසු විය. එතැන නවතා විනාඩි 10 -15 ක් සිට නැවත ගමන් ඇරඹීය.


මැල්සිරිපුර
තවත් ටිකදුරකින් අපට තරණය කරණ්නට ඇත්තේ
 මෙම ගමනේ අතිශයින්ම දුශ්කරවූ අනුක්‍රමණයයි!
 ඒ නමින් ඕමාරගොල්ල කන්දයි. 
ඕමාරගොල්ල කන්ද යනු   හිනෝ ඇන්ජිම හෙවත් ටර්බෝ ඇන්ජිම සහිත ලේලන්ඩ් බස් එකද ටික වෙන්න ඇඹරෙන කන්දකි!
BJ 60 යද  අන්තිම මොහොතේ සෙකන්ඩ් එක යදී ! 
කන්ද ඇත්තේ දඟර වැටුනු වංගු දෙක තුනකින් සමන්විතවය!

කන්ද පටන් ගන්නට සුළු දුරකට ප්‍රථම
 අප පාර අයිනේ තිබුනු කුඩා හෙවනක සයිකල් දෙක නවතා ; 
ගෙනැවිත් තිබුනු ස්පොන්ජ් ශීට් දෙක අතුරා විවේක ගත්තෙමු .

 ඒ වන විට මධුෂාන් ගේ මිතුරකුවූ 
සහන් කුලරත්න තරුණ ඉංජිනේරුවා පොලොන්නරුවේ සිට 
කොළඹ බලා  යන අතරතුර අපව බලාකියා ගන්නට පැමිනෙමින් විය.

ඔහුවද සාදරයෙන් පිළිගත් අප ඔහු සමග අඹ කයියක් ගසමින්
 තවත් විනාඩි 30 ක් පමන සිට ඔහුට සමු දී අප පිටත් වුනෙමු.


 ෆ්‍රන්ට් එකේ පදින පුතා

මධූගේ මධු වෑහෙන හිනාව.

ඒවන විටත් මධුෂාන් කිසිදු ආයාසයකින් තොරව පදිමින්  විය.
 එහෙත් මා බෙහෙවින් හෙම්බත් වී සිටියෙමි. 
තවත් විනාඩි ගනනකින්  අප ඉදිරියේ ඕමාරගොල්ල කන්ද විය.

මාගේ කල පුරුද්දේ මද බව ,   සයිකලයේ බර , එයට එක් කර තිබුනු
 ගමන් බඩු වල බර , වැනි කරුණු මෙයට හේතු වන්නට ඇත.

මධූගේ සයිකලයෙත් මගේ සයිකලයෙත් සාමාන්ය වෙනස කිලෝ 4 කි .
 පැටවූ බඩු කරණකොට ගෙන මෙම වෙනස කිලෝ 8 කට පමන
 වර්ධනය් වන්නට ඇත.
  අශ්ව  බල 160 ක පමන ඇන්ජිමක්
 ගියර පෙට්ටියේ ආනුභාවයෙන්
 ව්‍යවර්ථය (Torque) එක අතිවිශාල අගයකට නංවාගත් බස් රියක් වුවද 
අතිශය අමාරුවකින් නගින කන්දක්  නැගීම
 කෙතරම් අපහසු කරුණක් විය හැකිද?  
බයිසිකලය හා සම්භන්ධයෙන් අනගි කියමනක් ඇත
. The bicycle is a curious vehicle . Its passenger is its engine !
 එහි සරළ සිංහල අර්ථය වන්නේ 
 බයිසිකලය යනු බරපතල වාහනයකි. එහි මගියා එන්ජිමද  වන්නේය!

මේ මොහොතේ මමද ඇන්ජිමකි! 
අශෝක් ලේලන්ඩ් වයිකිං රථයකට ඇත්තේ වේග පහේ ගියර පෙට්ටියකි.
 මාගේ සයිකලයට වේග 21 ක් ඇත!
 ඒ අතින්  මා  මා බොහෝ ඉදිරියෙන්‍ය!
  
මෙම අභියෝගයට අප මුහුන දිය යුතුවේ. එය ජය ගත යුතුවේ. 
මොනදේ කරත් හැට පැන්නද වඳුරා බිම යන්නේද නැත!
 මමද මොන දේ කලත් සයිකලය තල්ලු කරණ් පයින් යන්නේද නැත.
 යන්නේ පැදගෙනමය.

 කඩවත ගනේමුල්ල පාරෙන් හැරෙන රාජසිංහ මාවත අවසන් වන්නේ 
ඇල්දෙනිය පල්ලිය අසලින් ඉහලට එන පාරෙනි.
කලකට පෙර; 
 පල්ලිය පෙදෙසින් ඇතුලුවන මමත් වසිකත් 
එක ගැම්මට රාජසිංහ මාවතේ කන්ද පදින්නෙමු.

එම කන්ද එක්ක ගත් විට ඕමාරගොල්ල ළදරුවෙකි!

එහෙත් කිලෝමීටර 116 ක් පමන කට්ට අව්කාශ්ඨකයේ පැද එන අයෙකු හට ඕමාරගොල්ල යනු අතිශය තීරණාත්මකවූ කඩ ඉමකි!

 මාගේ සයිකල් ජීවිතයේ හොඳම කඳු පැදීම වන්නේ 
මීට වසර 30 කට පමන පෙර ස්ටෑන්ඩර්ඩ් සයිකලයක
 රුවන්වැල්ලේ විමල් අත්තනායකව දමාගෙන එහි සිට බෝගලට පැමින ;
 බෝගල පතලට යන පාරේ කන්ද ;
 අත්තයා පොල්ලේ තියාගෙන  මහ රෑ පැදපු පැදිල්ලය! 
මේ කන්ද  සමතලා  කොට නැත්නම් ගිහින් බලන්නට වටනා කන්දකි !
එහෙත් ඒ ගැටයා සන්දියේ කල කී දෑය!

ඇඟේ සියලුම ඇටමිදුළු වල පවා තිබුනු  ශක්තිය එක්තැන් කරමින් කන්ද ඇරඹූයෙමි.
කන්දේ මදක් දුර යන අතර තුරේදී
 මධුෂාන් මා ඉස්සර කරමින් පදින්නට විය.
“පුතා පුළුවන්නම් ඉස්සරහට ගන්න!” යන මාගේ විදානය සමගිනි.
  මන්ද පදින්නට හැකියාව වෙතොත් සෙමෙන් පදින්නට ගිය විට 
කන්ද තරණය කිරීම අතිශයින්  දුෂ්කර කාර්‍යයක් වන බැවිනි .  

හේ ඉතා බුහුටි ලෙස කිසිදු අපහසුවකින් තොරව පදින ලෙසකි.
 එයද මට මාගේ හදවත තවත්  බර කරණ්නට  සමන් විතවූ දසුනක් විය.

 මා ෆ්රී වීලයේ ගියර මාරු කිරීම නවතා කොග් වීලයේ
 එනම් ඉදිරි දැති රෝද තුනෙන්  කුඩාම රෝදය තෝරා ගතිමි.

 එතැන් සිට  පිළිවෙලින්  පසුපස දැති රෝදය එනම් ෆ්රී වීලයේ
 දැති රෝද  මාරු කරමින් ඉබි ගමනින් කනදට එරෙහිව සටන් වදින්නට විය.

කකුලේ සෑම මාංශ පේශියක්ම ගිනි ගෙන දැවෙන සේ රිදුම් දේ.


අප්‍රතිහත ධෛර්යයේත් , නොපසුබස්නා උත්සාහයයෙත් අපරාජිත බවේත් 
අත් පොත

 අර්නස්ට් හෙමිංවේ ගේ "මහල්ලා සහ මුහුද" පොතෙ එන මහල්ලාව හා එහි තේමා පාඨය මතක් විය මතක් විය.
  "මිනිසකු විනාශකල හැක ; එහෙත් පරාජය කල නොහැක!"

දෙපා ගිනි ගත්තද , කන්දකට මා පරාජය කිරීමට ඉඩ නොදෙමි!

ගියර 21 කින් සමන් විත සයිකලයේ උපරීම බලයක් ලැබෙන සැකසුමෙන්
 සිතට සැනසුමක් ලැබුනි.

 ඉමහත් අයාසයකින් පසුව අප ඕමාර ගොල්ල ජය ගතිමු! 
   
කන්ද උඩට පැමින දෙපස බැලීමි!
 ආ මග දිගේ කෑ මොරදීගෙන ලොරියක් ගාටයි!

 එය දැකීමෙන් සිතට දැනුනු සවියත් සමග මාහට ;
 මා බොහෝ වයසක් යනතුරු තම සිරුරේ රතු ලේ කිරට හරවා පෙවූ ;
5 ශිෂ්යත්වයෙන් සමත් වීම හා අපොස සාමාන්ය පෙල සමත් වීම හැරුණු කොට ;
මාගේ ජීවිතයේ  වෙනත් කිසිදු කිසිදු ජයග්‍රහනයක් දැක්මට වාසනාව නොලද;
 මේ ලෝකයේ මෙතෙක් පහලවූ 
හොඳම අම්මා වූ මාගේ ආදරනීය අම්මා මතක් විය! 

මා දෑත් එක් කොට නොපෙනෙන අම්මාට හදවතින් නමස්කාර කලෙමි.

 ඉදිරිය බැලූ විට බොහොදුරට දිවෙන පල්ලමය!

 එය  පොල් රුප්පාව අතරින් ඈතින් ඈතට දිවේ.

 මා 5හේ ශිෂ්යත්වයට පෙනී සිටිනා අවදියේ;
වන සංරක්ෂන  දෙපාර්තමේන්තුවේ සේවය කල
තාත්තාගේ රැකියාව අහිමිව ගොස් වසර 5 ක් ගෙවී
 අප අන්ත අසරණව සිටි වකවානුවක් විය.

ඒ කාලයේදී අප පිටුපස සිටි යෝධ ශක්තිය වුනේ මාගේ ආදරනීය මෑණියන් ය.

මොනතරම් දුෂ්කර වටාපිටාවක් තුල වුවද
 සිනහවෙන් ජීවිතය දෙස බැලීමට අප හුරු කලේ ඇයය!

 ඒ
 " පුතේ බය වෙන්න එපා! දුක් වින්දොත් සැප ලැබෙනවා !!
කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා!!" කියමින්ය.

මේ මා ඉදිරියේ තියෙන්නේ ඒ සත්යයද?      


මමත් මෙසේ ඉන්නට ඇති!

20 comments:

  1. එහෙනං ලොක්ක කොහොමහරි කන්දටත් ගේම දුන්න.

    //මේ ඉන්නේ කොහෙද කියලා පුළුවන්නම් කියන්න!// වරක්කාපිපොලෙයි වලනෙ.

    ඉතුරු ටිකත් පදිමු.

    ReplyDelete
    Replies
    1. ජය වේවා !!!!!! අනාගත දිවයිනේ මෙඝා හිට්ස් බ්ලොග් කොමන්ට තරුව හිමි තරඟ කරුට ජයවේවා !!!!!!!!

      Delete
    2. ඇත්තටම මමත් පෝස්ටුව එල්ලුවාම බලා ඉන්නේ කොමෙන්ටුව වැටෙන්නේ කවදාද? කාගෙන්ද කියලා? ගියාට වඩා, ලිව්වාට වඩා ඇත්තටම සිතට සතුටක් දැනෙන්නේ කොමෙන්ටු වැටුනාම. ප්‍රසන්න අපට දෙන්නෙ ලොකු හයියක්!

      Delete
    3. ඇයි අයියේ ඔයා මෙඝා බ්ලොග් ස්ටාර් වෙන්නද ආසා ...

      Delete
  2. කැලෑ අස්සෙ ඇවිදින්න යද්දි එහෙම ඉස්සරහින් යන පුරුද්ද මටත් තියනවා .ගමනක් ප්ලෑන් කරහම අනිත් අය ගැන වගකීමක් ඉබේම එනව.මම නිකී ලව්ඩා ගැන දැනගත්තෙ Rush ෆිල්ම් එකෙන් .

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි මම මේ ලඟදි දවසකත් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනා. කොමෙන්ටුව්ක් දාන්න තරම් ඉස් පාසුවක් තිබුනේ නෑ. හෙට දවස තුල ආයෙමත් ඒ පැත්තෙ යනවා. ඇහුවත් ආසයි කැලේ කොලේට ආදරය කරණ වුන් ගැන! අපේ මිනිසුන්ගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි ඕනෑම වගකීමක් කිසිදු වග කීමකින් තොරව භාර ගැනීම! එහෙම නොකරණ අය ගැන අසන්නට ලැබීමත් සතුටක්!

      Delete
  3. මං පැංචා සංදියෙ බොලා ගෙ ගෙවල් පාරෙ ගිහින් , දෙල්ගෙඩ හන්දියෙන් හරවල⁣ා ගල්බැම්ම පාරෙ , ගෝනගල් දෙනි පාරෙ රුවන්වැලි ගිහිං ආතයි ටල්අම්ම යි බලලා හවසට එනවා , දැං නං මං දිරපු මිනිහෙක් , ඒත් ආසයි උඹ එක්ක ඔහොම ගමනක් යන්ඩ

    ReplyDelete
    Replies
    1. බුදු මලේ.ඔය කියන්නෙ කිරිඳිවැල, මිල්ල තේ හංදියෙන් නඩුවත්ත හරහා යන පාර වෙට ඕනෑ. කිරි අප්පුච්චේ කොහොමද බොලං නඩුවත්ත කන්ද නැග්ගුවේ? උඹ කොහෙද කොල්ලො දිරලා. අපි නොවැ දිරාලා ගොහින් තියෙන්නේ. මොකද කියන්නේ යමුද වෙලාවක?

      Delete
  4. ලඟදී Rush බැලුවා. Hunt Vs. Lauda මූවී එකක්.

    ඉලියඩ් වීර කාව්‍යය ත්‍රෝජපුර සංග්‍රාමය කියලා මායා රන්ජනුත් පරිවර්ථනය කලා.
    ඉලියඩ් මගේ ප්‍රියතම කතාවක්. එක කාලයක ඒක පදනම් කර ලියවුනු පොත් එකතු කලා. ෆික්ශන් 5ක් හා නොන් ෆික්ශන් 2ක් විතර.
    මූවී එකේ නම් හොඳම කෑල්ල ඇකිලීස් උඩ පැනලා බෙල්ලට කඩුවෙන් අනින එක.

    ReplyDelete
    Replies
    1. මගේ රිප්ලයි එක පරක්කු උනේ අර මායා රංජන් ගේ කථාවට ඌන පූරණයක් ලියන්න බලාන හිටියා. ඒක ලියන්න හිටියොත් මේ සතියත් යන හින්දා ඒ අදහස අමතක කලා. බොහොමත්ම ස්තූතියි!
      මම ඒකතමයි දාන හිටියේ. මමත් ඒ සීන් එකට කැමතියි. දහ දිලොස් වාරයක් එහාට මෙහාට හිතලා හිතලා අන්තිමට මේක දැම්මා!

      Delete
  5. Manjula Ayya Wetha,
    Podi aka kale , mamage bicycle horata aran padala thami bicycle padinna purudu una.
    Amma madaperedega gehin awata passa thame mata “28” Plying Pigeon “ akak labuna.
    Ethoka aurudu 15 withara athe.
    Rassawata avilla aurudu 10kin withra Super Cub 90CC gathata passa “28” Plying Pigon” yaluwakuta dunna.
    2013 de ayath 26” 21multy Speed akkak gatha.
    Blood Suger Controll karranna.
    2013 Poson dawasa Ambapussata padda , paya 3 nak withra giya 43km ,Bicycle dala , bassaka gedara awa.
    2015 Narammala ta kittuwata uda gehin hawasa awa – 108kms
    2016 Ruwanwalla ta padda , Pethangoda Uyana Balnna – 84kms
    2016 Amithirigala giya - 50km
    2016 Cost Belt eka diga giya Negambu walata – 80kms
    Thawa podi podi ewawth kara
    Office yanawa , gedara enawa – 30kms
    Mage FB ballana – (Samantha Nishan Gamage Don)
    Ayyata mawa suwarne Jaffna yanna. Kohoma hari yan. Minissu Hadada Giyana.
    Rachnaya nam neyamata neyamai, Ehata kadulu enwa.
    Mama Danna Ekek innawa , Jaffna giya. Man ge FB – (Fadil Fajja Iqbal)
    Thawa thawa liyanna gatta labewai pathnawa.
    Bicykala , bicykala, duppath appaga bicykala…….!

    ReplyDelete
    Replies
    1. ඔයා මාර වැඩ්ඩෙක්නෙ!

      Delete
  6. අම්මගේ ආදරේ තාම මතකයි වගේ. දැන් කාලේ සමහර දරුවන්ට ඕව මතක නෑ.ගමන හිතපු තරම් ලේසි නෑ වගේ. ගමනේ අවසානය දැක්කම මොකද හිතුනේ .හැමදේටම සුදානමින් ගිහින් තියෙන්නේ. ඉතිරි ටිකත් ඉක්මනටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. කිව්වම ඔයා පිළිගන්න මම පෝස්ටුවේ අන්තිම ටික ලිව්වේ කඳුලු පුරෝගෙන! අම්මාගේ වියෝව තරම් මගේ හදවත කීතු කල තවත් සිදුවීමක් නැහැ.

      Delete
  7. තව තවත් කකුල් දෙකට බයිසිකල් පැදීමට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.

      Delete
  8. ගගේ පැදිල්ල වගේද කිව්වලු පාරේ පැදිල්ල ....පොඩ්ඩක් මේ දවස් වල වැඩ වැඩි අය්යේ .අදයි මේ පැත්තේ අවේ .ලුණු ඇඹුල් අඩුවක් නෑ කතාව රහට තියෙනවා .ඉතුරු කොටස ඉක්මනට දෙන්ඩෝ ..

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් මේක ඉවර කරණවා. ගඟක් දිගේ යන්න පටන් ගන්නත් තියෙනවා. ඔයාලාව සෝබර් අයිලන්ඩ් එක්කයන්න තියෙනවා,. තව "මැකී ගිය රේල් මගේ එක්කයන්න තියෙනවා. අම්මෝ කරණ්න තියෙන දේවල්.
      මහ ලොකුවට "එන කන්නය වැපිරෙන හැටි කියලා ලියලා පටන් ගත්තා. එකක් ලියන්න බැරිවුනා!

      Delete
  9. පොලොන්නරුව කියන්නේ මගේ උපන් ගම, රස්සාව හින්ද කොලඹ නවාතැන් අරන් හිටියත් හැම සති අන්තෙකම වගේ ගෙදර ගිහින එන්න යනවා. බස් එකේ (බොහෝවිට ලේලන්ඩ්) යන ගමන නම් ටිකක් විතර දුෂ්කර ක්‍රියාවක් නම් තමයි. පාන්දරින් කොළඹින් පිටත්වෙන ඒවා ඇරෙන්න අනෙක්වා පැය 5 1/2ක් 6ක් අදිනවාමයි.

    ඔමාරගොල්ල කන්ද නම් ඉස්සර වගේ නෙමෙයි දැන් ටිකක් විතර අඩුයි පාර අලුතින් හැදුව නිසා කන්ද කපල තියෙන්නේ පොඩ්ඩක් විතර. තව පොඩි පොඩි කඳු ටිකක් සෙට් වෙනවා හබරණ කිට්ටුව දෙපැත්තෙන්ම.
    ගෙදර ගියහම නම් බයිසිකලය පදිනවා පොඩි පොඩි ගමන් වලට. එත් මෙයාකාර දුරක් පදින එකනම් ඇත්තටම සැහෙන්න ඇඩ්වෙන්චර් එකක්. මමනම් කවදාවත් කරන්න හිතපු නැති දෙයක්.

    ඔබතුමාගේ බ්ලොග් එක මම සැහෙන්න කියවා තිබෙනවා. ඔබතුමා තරම්ම නැතත් මමත් ටිකක් දුරට ඔය වගේ හිතුවක්කාර ගමන් වල යෙදෙනවා එත් ඉඳ හිට. (දවසක් පට්ටිපොළ ඉඳල ඔහිය හරහා ඉඩල්ගස්හින්නට පයින් ආව තව යාලුවෙකුත් එක්ක.)

    දිගටම ලියවිල්ල කරගෙන යන්න. කමෙන්ට් කලේ නැතත් නිසැකවම කියවනවා.
    ඔබට ජය.
    ලසන්ත

    ReplyDelete
    Replies
    1. මචන් මල්ලියේ උඹ එහෙනම් දන්නවාත් ඇති මාත් එක්ක පැදපු අපේ අයියාගේ කොල්ලාව. උන්ගෙ ගෙවල් තියෙන්නේ රෝහල ඉස්සරහ රවුම් පාරෙ. රංකෙත උයන කියන් ස්කීම් එකේ. බොහොමත්ම ස්තූතියි . කියෙව්වාට ! ලිව්වාට !! දිගටම කියවන්න. වැඩිය ඕනෙ නෑ කියවලා "කියෙව්වා!" කියලා දැම්මොත් ලොකු දෙයක්. ලියන්න වෙලාවක් නැත්නම් කියවන එක දිගටම කරණ්න. "ගඟක් දිගේ ගිය ගමනක් " ඉක්මනින්ම පටන් ගන්නවා!

      Delete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...