Sunday, July 2, 2017

ගඟක් දිගේ ගිය ගමනක් 8


පෙරවදනේ (පෙරගමනේ) අවසානය.

ගඟ දිගේ මෙතෙක් ගමනේදී ඉවුර මත වැඩිම පිරිසක් අප දුටුවේ මේ රත්‍රන් ගරමින් සිටි ස්ථානයේ දීය.
“රංවල ඇල්ලෙන් යන්නේ කොහොමද ?” නොඑසේනම්;
“රංවල ඇල්ලෙන් යන්නේ කොහොමදෝ ……….?”
කියා කැගැසුවේ එක් තැනෙක රැඳී උන් පිරිසක් අතුරින් එක් අයෙකු පමනක් නොවේ.
එකෙකු එසේ ඇසූ පසු ; අපි ඒ පිළිබඳව විපිළිසර වෙද්දී  එයට පිළිතුරු ලෙස නැවත එම පැනයම පුනරුච්ඡාරණය කලේ දෙතුන් දෙනාම එකවිටය !
එයින් මාගේ සිත සසල වන්නට පටන් ගැනුනි !

අප ගං  ඉවුර වෙතට හැරී ඒ ගැන විමසූ විට ඔවුන්ගෙන් කියැවුනේ මෙම ඇල්ල  තරණය කිරීමට කිසිදු යාත්‍රාවක් නොයන  බවත් ; මෙතෙක් තරණය කරණු දුටුවේ එක් විදේශිකයකු පමනක් බවත් ; ඔහුගේ යාත්‍රාවද ඇල්ලේ පෙරලී  ගිය බවත්‍ය . මෙම කථා කොයි තරම් දුරට සත්‍ය දැයි   සිතන්නටවත් ඔවුන් සමග තර්ක කරන්නටවත්  අපට වෙලාවක් නොවීය . එයට හේතුව ඒ වනවිට හවස හයට පමන වී අඳුර වැටීම ආරම්භ වී ඇති හෙයින් නොව අපගේ යාත්‍රා ඇල්ල දෙසට  ඇදෙමින් තිබුනු හෙයින්ය!


බොහෝ මිනිසුන් තමා අවට ඇති මෙවන් ස්වභාවික දුෂ්කරතා ගැන කතා කරන්නේ කිසියම් ගෞරවයකිනි , ආඩම්බරයකිනි , ප්‍රථාපවත් බවකිනි. එහි ඇති දුෂ්කර ස්වභාවය මගින් ඔවුන්වෙත කිසියම්  ගරුත්වයක් ලැබී ඇතැයි ඔවුන් සිතති. ජපානයේ ෆුජියාමා ගිනි කන්ද ඔවුන් හඳුන්වා දෙන්නේ “ෆුජියාමා සාං” නමැති ගෞරව නාම පද යුගලයෙනි.

ෆුජියාමා සාං
බොහෝ විට ඕනෑම  ඇල්ලකට පෙර ගඟක් නිසල විලක් ලෙසට සැකසී ඇත. මන්ද ඉදිරියෙන් ඇති බාධකය කරණකොට ගෙන  ජලය එක්තැන් වීම නිසාය . මේ නිසාම දියේ වේගය මදක් මන්දගාමී ස්වරූපයක් ගනී.

 රංවල ඇල්ලේ ගූගල් රූපය

රංවල ඇල්ලට පෙර පවතින ජලාශය නොඑසේනම් විල ; හාත්පසින්ම කැලයෙන් වටවී ඇති සේයාවකි .  එහි හැඩය නිවැරදිව කියනවානම් පාසලේදී උගෙන ගන්නා මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ එන ආමාශය මෙනි ! මෙම ජලාශය දකුණු දෙසට යාන්තමින් හැරුණු ස්වරූපයක් ගනී එනිසාම වම් ඉවුර වඩාත් වක්‍රව පිහිටා ඇත.එය සීඝ්‍ර බෑවුමක් සහිත උස් ඉවුරකි . එම ඉවුර මත විසල් ගස්‍ය . එම වක්‍රයේ ඈතින්ම පිහිටි ස්ථානයෙන්  ගඟට ප්‍රවිෂ්ඨ  වීමට තැනූ හෝ තැනුනු පටු මාර්ඝයකි. එතැන  මෙම කාර්‍යය මෙහෙයවන අය යැයි සිතෙන ආකාරයේ භාහිර ස්වරූපයෙන්   යුත්  දෙතුන් දෙනෙකි . දකුණු ඉවුරේ ඉළුක් ගාලකි.
“රංවල ඇල්ලෙන් යන්නේ කොහොමදෝ ……….?” පැනය අපට ඉදිරිපත් කලේ එම දකුණු  ඉවුරේ   සිටිය  කිහිප දෙනාය.
 ඔවුන්ගේ පෙනුමෙන් ඔවුන් මෙම කුප්‍රකට වියාපාරයට සම්භන්ධ අය විය නොහැක  . ඔවුන් නිරීක්ෂකයින් පිරිසක් පමනක් ම පමනක බව මාගේ අදහසයි.  අපට දැන් වෙන විකල්පයක් නොමැත! දැන් අප ඉදිරියේ ඇත්තේ ; රං වල ඇල්ලෙන් යනවාද නොයනවාද කියා කඩයිම් ප්‍රශ්නයක් නොවන්නේය. අප කැමති උනත් අකමැති උනත් රං වල ඇල්ල තරණය  කල යුතුම විය.
මේ වන විට ඇල්ලේ හෝ හෝව අපට  ඇසෙමින්ය . එය අපගිල  ගන්නට සිටිනා අද්භූත සත්වයෙකු පිටකරණා ප්‍රාශ්වාසය සේ මාහට දැනෙමින් විය .
දැන් අපට අවශ්‍ය වන්නේ වඩාත්  ආරක්ෂාකාරී නොඑසේනම් අඩුම හානියක් ගෙනදෙන අකාරයෙන් ඇල්ල තරණය කිරීමටය.
ඒ සඳහා අප ප්‍රතමයෙන්ම  කලයුතු  දේ වන්නේ  දන්න කියන අයගෙන් අසා දැන ගැනීමය! ගුරුහරුකම් ලබා ගැනීමය!! උපදෙස් පැතීමය!!!
ඒ වන විට පසිඳුගේ කයකය වඩාත් ඉවුර දෙසට ලංවී තිබුනි .
“මල්ලි !
 අහපං යනවනම් ඇල්ලට දාන්න ඕන  වමෙන්ද දකුනෙන්ද මැදින්ද කියලා !!?”

මා කට හඬ අවදිකලා නොව කෙඳිරි ගෑවේය !

පසිඳු පැනය කෙටිකොට ඉවුර මතට යොමු කලේය.

“අයියේ යනවානම් අපි යන්න ඕන වමෙන්ද දකුනෙන්ද් ?”

ඔහු “මැද ” ගඟට හලා තිබුනි ! එහෙත් ඒවා නිවැරදි කරණ්නට මට උද්යෝගයක් නොවීය .
ඉවුර මත සිටින්නවුන් අපට ප්‍රශ්නය අසා නිමවෙන්නට මත්තෙන් උත්තර බැන්දෝය.
“වමෙන් …!”
“දකුනෙන් …….!!”
“නෑ වමෙන් ……!!!”
“නෑ නෑ දකුනෙන් ……..!!!!”
මේ ඔවුන් අපට ලබාදුන් පිලිතුරය ! ඔවුන් අත කිසිදු ස්ථිර සාර පිළිතුරක් නොවීය .
ඔවුන් ගෙන් එක් අයෙකු “වමෙන්” කියද්දී අනෙකා “දකුනෙන්” කියයි .
එසේම එකෙක් “දකුනෙන්” කියද්දී අනෙකා “වමෙන්” කිව්වේය!

ලංකාවේ ගමකට හෝ නගරයකට ගොස් පාරක් තොටක් , තැනක් ස්ථානයක් පිළිබඳව පිරිසකගෙන්  කරණ ඕනෑම විමසීමකදී ලැබෙන්නේ මෙවැනි පිළිතුරුය.
මෙය මා අත් දැකීමෙන්ම මා දන්නා සත්‍යයකි.
එසේම ඊටත්වඩා පරම සත්‍යය වන්නේ ලාංකිකයන් වන අප මොන දේ නොදන්න බව පවසන්නට පසුබට නොවූවද පාරවල් කියන්නට ගිය විට “තමා නොදන්නා” බව කියන්නට ලැජ්ජාශීලී වන බවය !
ඒ නිසා තමා නොදන්නා බව කෙතරම් දැන සිටියද ඒබව සඟවාගෙන තමාට සිතෙන , දැනෙන ,නොඑසේ නම් එවෙලේ කටට එන  ඕනෑම දෙයක් පැවසීමට නොපසුබට වෙති !
මේ තත්වය මා නොදකින්නේ යාපන අර්දධ්වීපයේදී පමනි ! ඔවුන් තමන් නොදන්නේ නම් වහාම දන්නා කෙනෙකු වෙත අපව කැඳවාගෙන යාමට හෝ දන්නා කෙනෙකු අපවෙත කැඳවාගෙන පැමිනීමට හෝ නොඑසේනම් දන්නා කෙනෙකුගෙන් අසා  අපව නිවැරදිව දැනුවත් කිරීමට  හෝ පෙළඹෙති ! මෙය මා යාපනයේ කල දින දෙකක , දින හතරක සංචාර වලින් හා සතිදෙකක් අනිවාර්‍ය සේවය වෙනුවෙන් ගතකල කාලය තුල  මා පෞද්ගලිකව ලැබූ අත්දැකීම්‍.

අපට තවදුරටත් ගං ඉවුර මත සිටියවුන්ගේ  උපදෙස් මත පිහිටා ක්‍රියා කල නොහැක. ඔවුන් කියන විදියට මෙම ඇල්ල කිසිවෙකුට තරණය කලනොහැක.  ඔවුන් උත්සාහගෙනද නැත. එසේනම් ඔවුන් කෙලෙසද අපට උපදෙස් ලබා දෙන්නේ ?
මොහිනී  හමුවන්නේ තනිව යන අයටය !
හමුවී බේරුණු කෙනෙක්ද නොමැත !!
එහෙත් මොහිනී කියපු කරපු සැමදේ කියන්නට ; සැමදෙනා දනිති !!
රං වල ඇල්ලේ කතාවද එවන්ම වූ එකක් සේය !
අපට කරුණු කීපයක්  ප්‍රථ්‍යක්ෂ විය.
සමහර විට මේ එක් එක් අය තමා දන්නා  පරිද්දෙන් , තමා සිතනා පරිද්දෙන් හෝ තමා යන්තමින් හෝ අත්දැක ඇති පරිද්දෙන් වම දකුන යැයි කියති . පෙරකී විදේශිකයා ගොස් අනතුරට පත්වූවේ වමෙන් නම් මොවුන් අපට දකුනෙන් යන්නට උපදෙස් දෙනවා විය හැක .
නොඑසේ නම් සත්‍ය වශයෙන්ම මෙතෙක් අප නොදුටු මෙම ඇල්ල තරණය සඳහා නිවැරදි මං පෙතක් දිශාවක් ඔවුන් දත් නමුදු මෙම “අකීකරු කොල්ලන්” ට එය නොකිව මනාය යන පදනමේ පිහිටා ; එක් අයෙකු වමෙන් කියා “කට වරද්දා ගත් පසු” අනෙකා “නෑ! නෑ !! දකුනෙන් කියා “වැරදි - නිවැරදි’’ කරණවා විය හැක ‘අප එසේ සිතන්නට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් වෙතින් කිසිදු මිත්‍රත්වයක් පල නොවුනු බැවිනි. අපි  කවුරුන්ද? අප යන්නේ කොහාටද? , අප පැමිනෙන්නේ කොහිසිටද? , මෙම  අරමුන කුමක්ද?   යන චතුර්විධවූ ප්‍රශ්න අප වෙත ඉදිරිපත්කලේ කිසියම් ආක්‍රමනශීලී ස්වභාවයකිනි.

මෙතෙක් මා සිතට සෙමෙන් සෙමෙන් යාන්තමින්  කාන්දුවූ කැලඹිළි ස්වභාවය මේ වන විට දෝරේ ගලා ඒ තුල  මා ගිලෙමින් විය. මාහට මොන දෙයක් වුවද මාගේ තරුණ මිතුරන් දෙදෙනාහට අනතුරක් සිදුවීමට ඉඩ තැබිය නොහැක . මාජීවිතයේ මැදි වයස  පසුකරමින් සිටින අයෙකි . එහෙත් මාගේ ගමන් සගයන් දෙදෙනාම යොවුන් වයසේ පසුවූවන්ය. මෙම ගමන සංවිධානය කලේ මමය. Kayaking විනෝදාංශයක් කරගෙන සිටින්නේද මා ය. මේ යථාර්තයක් බවට පත්වෙමින් පවතින්නේ මාගේ සිහිනය විනා උන්ගේ දෙයක් නොවේ. වයසින් මෙන්ම ජල ක්‍රීඩා පිළිබඳව අත්දැකීම් වැඩි පුද්ගලයාද මා වන්නෙමි. පසුකල සෑම ඇල්ලකදීම මෙන් මෙහිදීද මා පෙරමුණ ගත යුතුය. මන්ද ; මාගෙ යාත්‍රව කිසියම් අනතුරකට භාජනය වුවහොත් වෙනත් විකල්ප මාර්ගයක් සොයා ගැනීමට හෝ මා ආ මාවත ඔස්සේ වුවද වඩාත් අවධානයෙන් පැමිනීමට අනෙක් දෙදෙනාහට මද වශයෙන් හෝ අවකාශයක් ලැබෙනා බැවින්‍.

වේලාව හවස 6.30 පසුවී ඇත. රංවල ඇල්ලේ හඬ වඩ වඩාත්  උස්ව ඇසේ . අපසිටි තැනට මීටර 100 කට වඩා ඈතක් අපට නොපෙනේ. ඒ එතැනින් ගඟ  වම්පසට හැරෙන නිසාය. ගඟ බොහෝ සෙයින් වේගවත් වී ඇත.  දෙපස උස් ඉවුරුය. අප දැන් යලි නොඑන ගමනකට පිවිස ඇත්තෙමු! වම්පස ඉවුර  බොහෝ සෙයින් ඛාදනය වී ගොස්‍ය. එම ඉවුර බිත්තියක් මෙනි.

විශාල නොව සුවිශාල උන පඳුරක් ඉවුරෙන් ගැලවී ගඟට  වැටී ඇත. එම ස්ථානය බොහෝසෙයින් අඳුරුවී ඇති බැවින් හොඳින් නොපෙනේ. ගඟ මැද ගල් කුළු කිහිපයක් ජලයෙන් උඩට හිස ඔසවා ඇත . වම් පසින් ඉදිරී වැටුනු උන පඳුරේ අතු ඉති අතරට ගඟේ විශාල ජල දහරාවක් තල් කඳක් සේ වැටේ.

රණ රාල  පොතේ මුල් පොත

වමෙන්ද දකුනෙන්ද නොඑසේනම් මැදින්ද කියා සිතන්නට තව දුරටත කාලයක් නොවීය. මා පෙරමුණ ගතිමි .  කුඩාකල මා කියවූ ජී බී සේනානායකයන් විසින්  පරිවර්ථනය කල පොතක එන “රණ රාල” චරිතය  සේ ; “ මියෙම්වා රැකෙම්වා”  සිතා  වම්පස උන පදුරේ අග්ගිසි අතරින් මා හැකි උපරිම ශක්තිය  යොදා පැද්දෙමි . දැඩි වේගයකින් ගලනා ජල දහරාවට එක්වූ කයාකයට ලැබුනේ මා කිසිදා  අත්නොවිඳි වේගයකි. ඇසි පිය හෙලීමටත් පෙර යාත්‍රාව උන පඳුර පසුකර ගියේය. ඒ වේගය සමගින් කයාකය මත මාවෙත තිබූ අවනත භාවය ගිලිහී ගියේය.සිතන්නටත් මත්තෙන් කයාකය පෙරළුනි .  හබල මා අතය කයාකය දියේ ගසාගෙන යමින්‍.
කයාකයක් පෙරලෙන ඕනෑම අවස්ථාවක    සිහිතබාගතයුතු කරුණු කිහිපයකි. පෙරලුනු කයාකය තම හිසේ වැදීමෙන් හෝ  එයට යට වීමෙන් තමාට අනතුරක් සිදුවිය හැකිබව මතක තබා ගැනීම , නැවත කයාකය වෙතට එළඹීම හා කයාකය පෙරලෙන විටදී හබල අත නොහැරෙන්නට වගබලා ගැනීම මෙම කරුණුය. සැබැවින්ම මින් වඩාත්ම වැදගත් මෙන්ම වඩාත් කඩවන සුලු කරුණ වන්නේ අවසාන එකය . මන්ද හබල අත හැරුනහොත් එය අල්වා ගැනීම අති දුෂ්කර  කාර්‍යයක් වීමට ඉඩ ඇති හෙයින්‍ය.  මෙයට දිය හැකි හොඳම  නිදසුන නම් ඇතාත් , ඇත්ගොව්වාත් , හෙන්ඩුවත්‍ය ! හෙන්ඩුව අතින් ගිලිහුන දා ඇත්ගොව්වා ; ඇතා ඉදිරියේ හුදෙක් ප්‍රේක්ෂකයෙක් පමනි! 

මා හිසා වතුරෙන් ඔසවා  අපසු හැරී බලන විට පසිඳුද මා මෙන්ම එම මාවතේම පැමින පෙරලී මා පසුකොට ගෙන ගියේය.  නතර වීමට  හෝ කයාකයට ගොඩ වීමට අවසරයක් නොදී ජල කඳ නොනවත්වාම වේගයෙන් ගලයි .

කහ පැහැයෙන් දැක්වෙන්නේ ඉවුරය.
තද නිල් පැහැයෙන් දැක්වෙන්නේ ගඟ මැදය.

වේගයෙන් ගලන ජල කඳක උපරිම වේගය ඇත්තේ එහි හරි මැදය. එතැනින් එනම් හරි මැදින්  ඈතට හෙවත් අයිනට වන්නට වන්නට වේගය ටිකෙන් ටික අඩු වී යයි.  මෙය භෞතික විද්‍යාවේ, ද්‍රවස්ථිතියේ ඉගැන්වෙන දaශ්ස්‍රාවිතාවය නම් මූලධර්මය ය.  මෙය සැකෙවින් ගෙන හැර දැක්වුවහොත්; ගඟේ ඉවුර වෙතින් දිය පහරේ පලමු ස්ථරය වෙත ඇතිකරණ ඝර්ෂනය මගින් එහි ගලායෑම නවතාලීමට උත්සාහ කරයි . එම ස්ථරය මගින් දෙවැනි ස්ථරය ට යනාදී වශයෙන් ගලන ගඟේ එකෙක් ස්ථානය තුල එය ගලා යාමට විරුද්ධව ක්‍රියා කරණ  බලයයන් වෙනස් වන්නසේම වේගයන් තුලද සුළු සුළු වෙනස්කම් රාශියක් පවතී . වේගයෙන්  ගලන ගඟකවුවද  ඉවුරට කුඩා   ශාක කොටස් හෝ වෙනත් ආගන්තුක දෑ එක්වන්නේ මෙම සිද්ධාන්තය කරණකොට ගෙනය. භෞතික විද්‍යාවට අනුව ස්වභාවයේ ඕනෑම වස්තුවක් වඩා කැමැත්තක් දක්වන්නෙ නිශ්චලව පසුවන්නටය (ස්ථායි වන්නටය).  පලමුව මැදින් ගසාගෙන යන ශාක කොටසක් හෝ වෙනයම් අගන්තුක දෙයක් වුවද හැමවිට උත්සාහ කරන්නේ තමවේගය අඩුකොට නිසල වන්නටය. එනිසාම එය කෙමෙන් වේගය අඩු ස්ථර වලට එළෙඹ නිසලව ඇති ඉවුර අසලට පැමිනේ .

පලමුව ඇල්ලට ප්‍රවිෂ්ඨවන මා පසුකොට දෙවනුව එන පසිඳුත් ඔහුගෙ කයාකයත් යන්නේ මෙම මූලධර්මය හේතුකොට ගෙනය. සිතාමතා නොසිතා මා ; ප්‍රධාන ජල ප්‍රවාහයෙන් තරමක් ඉවතට යත්ම මාගේ වේගය අඩුවී එතෙක් ජල ප්‍රවාහය සමග එන පසිඳු හා ඔහු ගේ  කයාකයට මා පසුකොට  ඉදිරියට යෑමට ඉඩ සැලසේ .
අම්රාන්ද අපගේ මාර්ගයේම පැමිනියේය .
 ඔහුගේ කයාකය උන පඳුරේ ජලයට නැමී ගිලී ගිය අතු ඉති අතරින් වේගයෙන් අපවෙතට පැමුනුනි . එහෙත් අම්රාන්වත් ඔහුගේ හබලවත්  ගං දියේ අප සොයා පහලට නොපැමුනි!
අම්රාන්  මෙම දැවැන්ත උන පඳුරේ අතු පතර සිරවුනිද ?  ඔහු දිය මතද ?      දිය යටද? බොහෝ විට ඇල්ලකින් පසු ගඟ නැවත ඇයගේ සුපුරුදු ගමන් ලතාවට ඉක්මනින් පිවිසේ . මෙය රඳා පවතින්නේ ඉදිරියේ ගඟේ ඇති ජලයේ ගැඹුර මතය. ඉදිරිය  බොහෝ සෙයින් ගැඹුරු වන්නේ නම් ඉක්මනින් ඇය නිසලවේ. රං වල ඇල්ලෙන් පසුවද ගඟ ඉතා ඉක්මනින් ඇගේ රළු බව සඟවා ගනී.
මා මාගේ කයාකයත් හබලත් පසිඳුහට බාර කොට ඉවුරේ ගැටෙන නොගැඹුරු  දියේ උන පදුර දෙසට මාගේ පිහියද ගෙන දිවගියෙමි . එහි  සැබෑ ස්වභාවය  මා දුටුවේ එවිටය .
ඉවුරේ විසල් පළුවක්ද ගලවාගෙන දියට පතිතවී ඇති උන පඳුර ජීවමාන හොඳින් වැඩුනු  ඇතෙකු තරම්විය ! මෙය නිකම්ම නිකම් උන පදුරක් නොව වසර සිය ගනනක් තිස්සේ තම වර්ගයා බෝකරමින් වැඩුනු උන පරම්පරාවකි!   එකපිට උනගස් දහසක් පමන එක්කොට හොඳින් ගැටගසා සාදන ලද උනගස් මිටියක් ගැන සිතා බලන්න . මෙයද එවන්ම වූ බාධකයකි ! මේ සියල්ලේ  අතු ඉති මගින් මහා වන බූටෑවක් ගං දිය මත ; නොඑසේනම් ඇල්ල මත තනා  තිබුනි.
අම්රාන්  මාගේ  මිත්‍රයා , ගමන් සගයා මේ අතරේ කොහිනම් සැඟ වීද ?
අම්රාන්ගෙ පවුලේ සිටියේ ඔහුත් මවත් පමනි. මව රැකියාවක කරණ්නේ නැති අහිංසක ගැහැනියකි.ඇයව ජීවත් කරණ්නේ ඇයමෙන්ම තවත් අහිංසකයෙකුවන මෙම අදරනීය  පුතාය. මේ සියලු  කල්පනා මගේ ගතට එක්කලේ යෝධ ජවයකි. උන පඳුරේ මූල මණ්ඩලය තවමත ඉවුර අත්නොහැර තිබුනි . මා පෙරලී ඇති ගස් මත පය තබමින් නගිමින් , දුවමින්  , වැටෙමින් , නැවත නගිමින් පඳුර තරණය කලෙමි.
 එවිට මා නෙත ගැටුනේ දියට නැවුනු උන ගසක එල්ලී ඉවුරට  එන්නට සාර්ථක උත්සාහයක  යෙදෙන අම්රාන් අතාස් අපගේ ආදරනීය ගමන් සගයාය!
මා වැරෙන් ඔහුව වැළඳ ගතිමි . අද මා ඔබට වීරාභිවන්දනයෙන් යුතුව පවසන මෙම කථාව ; ඔහු යලි අප අතරට නිරුපද්‍රිතව නොඑන්නට මොනතරම් ශෝකාලාපයක් වන්නට ඉඩ තිබුනිද ?
පෙරලීමත් සමග ඔහු උනගසක එල්ලී ඇත.
අම්රාන් සොයා පසිඳු මා පසුපස පැමින සිටියේය.
“ඇතා” අප භාරයේ වුවත් “හෙන්ඩුව” දක්නට නොළැඹුනි !
ඉන්පසු අපට ගැටලුව වූයේ මේ  “හෙන්ඩුව” සොය ගැනීමය!
හබල නැතිව ඉදිරි ගමන ගැටළු දෙකක් මතුකරයි .
ඉන් පළමු වැන්න මා ගෙන ආ අමතර හබල එතරම් බුහුටි නොවූ ලංකාවේ නිශ්පාදිතයක් වීම නිසා  එයින් පැදීම දැඩි අසීරු කටයුත්තක් වීමය!
දෙවැන්න වන්නේ කුලී පදනම මත ගෙන ආ කයාක  නැවත භාරදීමේදී මෙම නැතිවුනු හබල වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය අලුතින් කයාකයක් ගැනීම තරම් ම විය හැකි වීමය !!! මේනිසාම මෙම  හබල අපට ලේසියෙන්  අමතක කල හැකි  එකක් නොවන්නේය .
 අප මේ “ඔපරේෂන් අම්රාන්” ක්‍රියාන්විතයේ  යෙදී සිටිනා අතර තුර හබල දියේ ගසාගෙන ගියා වත්ද ?
මා පදුරේ උන එල්ලී පිහියද  එක් අතකින් ගෙන දියට සෙමෙන් සෙමෙන් ලංවුනි.  දියට නැමී එහිම ගිලිනු ඈත උන අග්ගිස්සක රැඳුනු හබලේ කුඩා කොනක් මා දුටිමි. එය හොඳින්  අත්ත හා බද්ධවී ඇති සෙයකි . මා අත්ත කපා හෙලීමට උත්සාහ කළමුදු වැරෙන් ගසමත හෙලන පිහි පහරින් ; ගස දිය මත තෙපුල් දුන්නා මිස සාර්ථක කැපීමකට ලක් නොවුනි . ඉන්පසු පසිඳුද ඒමත ගොඩවී එය පද්දන්නට විය.අකමැත්තෙන් වුවද මිතුරා අමතක කල හබල ; ගසට  සමුදී අප හා  නැවත එක්විය .
එය ; කුඩා කල පාසැල් නිවාඩුවට නෑ ගෙවල්වල ගතකොට නැවත දෙමාපියන් සමග සුපුරුදු ගෙදර  එන්නට සැරසෙන කුඩා වූවකු සේය !


හබල් ක්‍රියාන්විතය අපව කරුවලේ කාත් කවුරුවත් නැති ගඟක අතරමං කර දමන්නට සමත්වී තිබුනි. අප  අප තිදෙනට සුභ පතමින් නැවත ගමනට එක්විය.
අවරින් ගිලෙන මහළු හිරුගේ රැස් තවමත් අහස් කුසතුල තැඹිළි පැහැයෙන් දුලබ  එලියක් විහිදුවයි . හාත් පසම කරුවල වී ඇත. අපට දැන් අවශ්‍ය වූයේ ගමනින් අත්මිදීමටය.  කැලෑ මණ්ඩියකින් ගොඩ වී  අපට කයාක රැගෙන එන්නට හැකි නොවේ. අපට ඇවැසි වන්නේ කුඩා හෝ මාර්ග පහසුකමක් සහිත තොටුපොලකි . අප කලින්  බලා පොරොත්තුවූයේ පූගොඩට පැමිණීමටය.එහෙත් අප හිතුවට වඩා  බොහෝ සෙයින් කාලය ගතවී ඇත.ඉතා වේගයෙන් කළුවර අපව ආක්‍රමනය කරමින් විය. තවත් විනාඩි ගනනකින් අප පාලමක් සාදන ස්ථානයකට සේන්දු වුනෙමු . වැඩ අරඹා ඇති පාලමේ කනුවක් හෝ දෙකක් දියෙන් උඩට එසවී  ඇත. වම් ඉවුරේ පැති බැම්ම නිමවමින් තිබුනි.   එතැනින් ගඟට සමුදීමට අප එකඟ වූයෙමු.  කයාක තුනම ඔසවාගෙන කට්ට කරුවලේම අප ඉහලට ආවෙමු. පාලමේ අමුද්‍රව්‍ය අංගනය භාරව සිටි ගමේ සාමාජිකයකුගේ මැදිහත්වීමෙන් අපට රෝද තුනකින් සමන්විත කුඩා ලොරියක්  සොයා ගත හැකිවිය. ලොරියකට වඩා ත්‍රී  වීලරයකට ලංවූ මෙම රතයට කයාක  තුනද පටවා ගෙන රාත්‍රී 8.00 - 9 .00 වනවිට කඩවතට   පැමිනියෙමු. මාගේ ප්‍රිය බිරිඳ අපට රසවත් ආහාර වේලක් සකසා  තිබුනා මතකය. එය අප ගේ ගතට නැවත ජීව ගුනය ගෙන දෙන්නට  සමත් විය. 
අප ගමන ඇරඹූවේ සබරගමු පලාතේ කෑගලු  දිස්ත්‍රික්කයෙන් වන අතර ගමන අවසන් වූයේ බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්‍ය ! පුර  පැය 10 ක්  - 12 ක් පමන කැළණි නදියේ අප හබල් ගසමින් යාත්‍රා කල අප කිලෝ මීටර 40 ක් පමන දුරක් පැමින ඇති බව අපගේ දළ නිමානයයි.


මෙවැනි ගමනකට අවශ්‍යවන්නේ උවමනාව  , පෙර සූදානම  හා ක්‍රියාත්මකවීමයි.
ඒ කොයි දේටත් ආත්ම විශ්වාසය අනිවර්‍ය අංගයක් .

ළමයින් ලෙසට මිනිසත් බව ගැන ලත් පලමු පාඩම!

මිනිසත් බවේ මුල් පොත!

 මේ මොහොතේ  මගේ මතකයට එන්නේ 9 – 10 පංති වලදී අනිවාර්‍ය  කියවීම් පොතක් වූ “මනුතාපය” එනම් “ලෙ මිසරබ්ලෙ” පොතේ ගත් කතුවරයා වූ               වික්ටර් හියුගෝ ගේ සුප්‍රකට කියමනක් .

 වික්ටර් හියුගෝ

“බොහෝ දෙනෙකුට නැත්තේ ශක්තිය නොව ආත්ම ශක්තිය ය!”

පසුව ලියමි :
“ගඟක් දිගේ ගිය ගමනක් ”  හැකි ඉක්මනින් ඔබ කැටිව යන්නට මා කැමැත්තෙමි . මේ ලිපි ලිවීමේදී හැකි පමන එක් එක් අවස්තාවට සරිළන කරුණු තකුහුරුවත් විදුහුරුවත් ගෙනහැර දැක්වීමට මා උනන්දු  වූයේ ; එවිට ඒ පිළිඹඳව විශ්වසනීයත්වයක් ඇති කොට ඔබටද මෙවැන්නක් කිරීමට දිරිමත් කිරීමටයි. මා ලියන හැම වැකියක්ම නැවත මවිසින්ම ;ඇයි? කොහොමද? කෙලෙසද? කොපමනක්ද?     යනාදි ප්‍රශ්ණකිරීමකට යටත් කිරීමකින් පසුවයි ඔබ වෙතට පත් වූයේ . ඒනිසම මෙය රසවත් ගමන් විස්තරයකට වඩා පාඩම් පොතක් නොඑසේනම් නිබන්දනයක් කියවා ලැබෙන හැඟීම දැනීම ඔබට දැනෙනට ඇත.  මන්ද මෙය ලිවීමේදී ; ඔබ මේ පිළිබඳව කිසිත් නොදන්නවා ඇතැයි සිතමින් අනවශ්‍ය තරම් කරුණු විශ්ලේෂනය කිරීමට ගියා යැයි මා හට සිතේ.ඊට සමා වන්න එය හුදෙක් මාදත් , මා සොයා ගත් ,මා කියවා උගෙන ගත් , මා අසා දැනගත් සියල්ල ඔබට පැවසීමට යෑමෙන් ලත් අනිටු විපාකයන්‍ .
 කිසිවෙකු මෙවන් ගමනක් යන්නට අදහස් කරන්නේනම් ඊට ප්‍රථම මාගේ “මැරෙන්නත් එපා ! මැරෙන්න හරින්නත් එපා !!” පෝස්ටුව පලමුව  කියවන්න .

ස්තූතියි !

නිම්නේය !





35 comments:

  1. ගංවතුරේ ඔරු පැදපු අපිට ආයිමත් ගඟේ ඔරු පදින්න සෑහෙන උවමනාවක් තියෙනවා. මේකෙං ඒ වැඩේ දෙතුං ගුණයක් ඉහළට ඇද්දා. නියම ගමන. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! සුරන්ග ගං වතුරේ ඔරු පදිනවට වඩා මේ වැඩේ ලේසියි. ඇයි යන්නේ පහලටනේ. අනෙක ඔරුවකට වඩා පරිස්සම් කයාක් එක. පොස්ටු ටික මුල ඉඳන් කියෙව්වද? තව සති දෙකකින් විතර "ගඟක් දිගේ ගිය ගමනක්" පටන් ගන්නවා. ඒ ටිකත් කියවන්න!

      Delete
  2. නිකංම විස්තරේ ලියාගෙන යනවට වඩා මේ ආකාරයට විස්තර ඇතුව ලියන එකෙන් මේ ගැන ආසාව දක්වන තවත් කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් කරුණු ලබාගන්න පුලුවන්. ඒ නිසා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.

    මොනව උනත් මේ වගේ ගමනකදි යන හැම කෙන‍ාගෙන ආත්ම විශ්වාසය තියන එක වටිනව.

    නියම ගමනක අවසානය මෙහෙමයි උනේ එහෙනං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්ග , ඔයා මුල සිටම මේ ගමනේ ආව කෙනෙක්. මම වතුරට පුරුදු උනාට බ්ලොග් වලට නවකයෙක්. ඒනිසාම ඔයාලගෙ කොමෙන්ටු තමයි මට නිවැරදි දිශානතිය පෙන්වන්නේ, සම්හර වෙලාවට වචන 20-30 විතර ටයිප් කරලා ආයෙමත් මකලා දානවා මොකද මටම හිතෙනව ඉන් මමත්වය පිළිබිඹු වනවා වැඩී වගේ දැක්කාම. මගේ මිත්‍රයින් දෙදෙනා ගෙන් එක් අයෙක් වත් ලියන්න තියා අදහස් ප්‍රකාශ කිරීමෙනුත් හරිම දුප්පත්! එයාලගේ ශබ්ද කෝශයේ තියෙන්නේ වචන දෙක තුනයි. එළ! අවුලක් නෑ!! අවුල්!!! ඔච්චර තමයි. ඔය ටිකෙන් ඔක්කෝම තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ නිසාම එයාලගේ අදහස් , සිතුම් පැතුම් , මේ ලිපි පෙලේ අන්තර්ගත වෙන්නේ නැහැ. කොහොමත් "ගඟක් දිගේ ගිය ගමනක්" මීට වඩා බොහෝ සෙයින් සුන්දර වූ අත් දෑකීමක්. දිගටම යන්න එන්න. ප්‍රවීනයන්ගේ කොමෙන්ටු අපිට හරි වැදගත්!

      Delete
    2. බ්ලොග් වල නවක ප්‍රවීණ කියල බෙදීමක් නෑ. අලුතෙන් බ්ලොග් ලියන්න ඇවිල්ල ඉන්න කීප දෙනෙක්ම ඉතා රසවත්ව ලියාගෙන යනව. මේ වගේ අත්දැකීම් ඇති අය අනික් බ්ලොග්කරුවො අතරෙ ඒව බෙදාගන්න එක තමයි වටින්නෙ.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. ලංකාවට ආවම අනිවාර්යෙන් කයක් පදින්ඩ එනවා,
    පොඩි දෙන්නා ගගේ නාන්ඩ ගොඩක් ආසයි. අපි නාන්නේ ඉන්ගිරියාවත්තේ චන්ද්‍රසේන (මාමා ) ලගේ තොටුපළෙන්, එතනත් පොඩි ඇල්ලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. චන්දරේව මම දන්නවා ටිකක් වෙන්න. ලංකාවට ආපු ගමන් කියන්න. කයාකින් කරමු . පොඩි උන්ව බලාගන්න එක මම කරන්නම්. මටත් පොඩි උන් හිටියා. දැන් නම් උන් පොඩි නැහැ. එන්න! සමහර විට අපි මීටත් වඩා අපි අපිව දන්න මාවත් මතුවීවි හමු උනාම!

      Delete
    2. අනිවා අපි හම්බවෙමු.. මාම කාරයා දන්නවද? එතනින් වැලි ගොඩදානවා.. ගමේ ගොඩක් අය කියන්නේ රාජා කියලා ...

      Delete
    3. ලලිත් මම එයාව දන්නවා. එයත් මාව දන්නවා ඇති. මම් ඊළඟට හක්බෙල්ලාවක ගියාම ගිහින් එයාට කතා කරන්නම්. ඔයාව කවුරු කියලද දන්නේ?

      Delete
    4. මංජුල ඉන්ගිරියවත්තේ ගියොත් කියන්ඩ තැලිගම ලොකු පුතාගේ යාළුවෙක් කියලා . අපේ අම්මගේ මල්ලි තමයි ඒ. පන්සලට උඩින් තියෙන ගෙවල් වලත් ඉන්නේ අපේ නෑදැයෝ ..

      Delete
  4. මහත්මයා, ඔබතුමාගේ බ්ලොග් අඩවිය මාත් කියවනවා. එහෙත් මෙහි ඇති අකුරු කියවීමට අපහසුයි. දෑස් වලට වෙහෙසයි. එයට හේතුව සුදු පාට අකුරු, රතු පාට පසුබිමේ ඇති නිසා. මෙහි බ්ලොග් තීම් එක වෙනස් කරන්න පුළුවන් නම් අගෙයි. w3lanka, මාතලන්ගේ බ්ලොගය එහෙම බලන්නකෝ. ඒ වගේ අකුරු තිබුනා නම් හොදයි. සුදුපාට පසුබිමේ කළු අකුරු වගේ බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගේ අදහස් මා ඉතාකොට සලකමි.ඔබ සේම තවත් කිහිප දෙනෙකු ඔය ගෑටලුව ගෑන කතාකලා. ඉදිරියේ වෙනසක් කරන්නම්. මේ බ්ලොග් එක මම ලිව්වාට පිටුපස තව කිහිප දෙනෙකුම සිටිති. ඒ සියලු දෙනාගේ කැපවීමේ ප්‍රථිපලයක් ලෙසයි මෙය ඔබ අතට පත්වන්නේ. මේ නිසාම මෙහි කිසියම් වෙනසක් කරණ්නේනම් එයද සාමූහික එකඟත්වය මත සිදුවූවක්. ඒ නිසාම මෙය වෙනසක් නොවුනත් එය ඔබගේ අදහසට පිටුපෑමක් ලෙස නොසලකන්න. සමාවෙලා දිගටම කියවන්න. බොහොමත්ම ස්තූතියි. ඔබ සිතනා පරිදි ලිපියේ අන්තර්ගත්යේ කිසියම් වෙනසක් විය යුතුනම් ලියන්න .

      Delete
  5. මුළු ගමනම අපිත් ගියාවගේ දැනුනා.ඇල්ලෙ photos තිබ්බනම් තවත් නියමයි. (go pro කැමරාවක් තිබ්බනම් මොනාහරි කරන්ඩ තිබ්බා නේද .)

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ අපිට ෆොටෝ එකක් ගන්න තරම්මාන්සිකත්වයක් තිබුනේ නැහැ.මගෙත් ආශාවක් තියෙනවා එතන්ට ගිහින් බලන්න. දැන් කිතුල්ගල white water rafting වලදී මීට වඩා දරුණු Rapids තියෙනවා. නමුත් මෙම ස්ථානයේ එයිට වඩා ගූථ බවක් තියෙනවා. කොටින්ම ඒක ප්‍රසන්න තැනක් නෙවෙයි. වෙලාවත් එහෙමයි.වටේට ඇති ගස් නිසාත් ඒ වෙලාවෙ අව්වක් නැති නිසාත් වතුර යට පෙනෙන්නෙනෑ. ලඟට යනතුරු ඇල්ල පෙනෙන්නෙ නෑ වංගුව නිසා. උන පඳුරත් අවුල් ජාලයක්. මේ හැම දෙයක් නිසාම අපිට ඕන උනේ එතනින් ඉක්මනට ඉවත් වන්න. ඒ කාලෙ ගෝ ප්‍රෝ එකක් තිබුනේ නැහැ. ස්තූතියි මෙතෙක් අප සමග මේ ආ ගමනට!

      Delete
  6. manjula ayya , atath kiyewwa. niyami . kayaking nam baha. cycling walatanam annam. cycling ekak lahasthi karanna. mama annam.

    ReplyDelete
    Replies
    1. Cycling කරමු. මට ඔයත් එක්ක දුරක් යන්න උවමනාව තියෙනවා. එකම ගැටළුව කාලය. මට පොඩිත්තක් කාලය දෙන්න!බොහොමත්ම ස්තූතියි

      Delete
    2. Thank you for considering my comment.

      Delete
  7. තට්ටයෝ, හෑන්ඩ් ස්ක්‍රිප්ට් එක වගේ එක හුස්මට කියෙව්වා. මරු. ඊළඟට අනික් ගඟ එනවා නේද මග ? - යකා

    ReplyDelete
  8. උඹ කොහොමත් දෙවෙනි එකට මනාපයි නෙ? ඊළඟට අපේ ගිය අවුරුද්දේ ගං වතුර ක්‍රියාන්විතය ලියලාම ගඟට බහින්න කියලා කල්පනා කලෙ! ඇයි තව තියනවා පොඩි එකක් ලියන්න තියෙනවා "එක දවසයි, සයිකල් දෙකයි !" කියලා එකකුත්.කොහොමද හොඳ?

    ReplyDelete
    Replies
    1. ම්ම්... අවුලක් නැ.. ඔහොම යං

      Delete
  9. පට්ට පට පට, කියවලා ඉවරවෙනකොට පපුව ඩිග් ඩිග් ගාන්න ගත්තා. ඔෆීස් එකේ නිසා හෙමින් වටපිට බැලුවා වෙන කවුරැහරි මගේ මූනෙ තිබ්බ භීතිය ත්‍රාසය දැක්කද කියලා,


    අර ඉස්කෝලෙ සාහිත්‍යපොතේ තිබ්බ "ඈත දූවිලි අවුස්සමින් පැමිණෙන නාලාගිරි ඇතුය, මෑත පොලව සනහා සනහා පියනගන බුදු පියාණන්ය,...... " ඕං ඔහොම කථාව. (සමාවෙන්න කතාව ලියපු කෙනා මතක නෑ ) ආන් ඒ සීන් එක මතක් උනා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! වෙලාවක්ට හිතෙනවා මාව අන්දනවා අන්දනවා වගේත්!

      Delete
  10. මරේ මරු ... ආසාවෙ බෑ ... රංවල ඇල්ලෙ පොටෝ එකක් තිබ්බනං කියල වැඩක් නෑ ...
    දිගටම ලියමු ....

    ReplyDelete
  11. බොහෝ දෙනාගේ ඉල්ලීම තමයි රංවල ඈල්ලේ ෆොටො ටිකක් දාන්න කියන එක. අර කලින් දැම්ම පොස්ටු වල සම්හර ඒවා මම පසුව ගිහින් ගත්තේ. හක්බෙල්ලාවක පාලම , ඒක යට පුංචි රැපිඩ් එක, ගුරුගොඩ ඔය පාලම උඩ ඉඳන් ; ගුරුගොඩ ඔය කැළණි ගඟ හ අතිනත ගන්න ෆොටෝ එක ඒ වගේ ඒවායෙන් ටිකක්. මට හිතුනා අනෝ ඔය ඇල්ලේ ෆොටොස් ටිකකුත් ගන්න ඕන කියලා. මේ වැඩේට බාධාවන් කිහිපයක් හරස් උනා.
    1. ඇත්තටම ඇල්ල තියෙන තැනට යන හැටි ගැන මගේ පැහැදිලි අදහසක් නොමැතිවීම. (මම හිතන්නේ අවිස්සාවේල්ලට මෙහා පඬුරු දාන "පහණ" ට මෙහායින් තියෙන ඇස්වත්ත පාරේ ගියාම මෙතන හමු වෙනවා ඇති)
    2.මගේ මතකයේ හැටියට එතන ඉවුරේ ඉඳන් ගන්න ඡයා රූපයකින් මෙම ඇල්ල හොඳින් නොපෙනීම.
    3. හොඳ විස්ස්තරාත්මක ඡයා රූපයක් ගැනීමට ඇල්ලට ඉහලින් ගඟ මැද්ද්ට ගිහින් ගන්නත් බෑ ගැඹුර සහ හැඩ පහර නිසාම.

    ඉතින් මෙතන ඡයා රූපයක් ගන්නවානම් කයාක් එකක් ගඟට දාල ගෝ ප්‍රෝ එකකින් ෆිල්ම් කරන්න ඕන ඇල්ල හරහා යනගමන්. ( මේ ඔක්කොම එදා රෑ මම දැකපු දේ පිළිබඳව තියෙන මතකයෙන් කියන්නේ. කොහොම උනත් මම් "ගඟක් දිගේ" ආයෙත් පටන් ගන්න කලින් හරි එතනට ගිහින් ෆොටෝස් ටිකක් දාන්න උත්සාහ කරන්නම්. බොහොමත්ම ස්තූතියි. ඔයා කන්ද කපාපු හන්දිය හරියේ නේද? හරියටම තැනකියන්න . යන එන ගමන් එන්නම් බලලා යන්න.

    ReplyDelete
    Replies
    1. පොටෝ ගැන උනන්දු මාත් පොටෝකාරයෙක් හිංද .. හැක හැක ..
      මං ඉන්නෙ වැලිවේරි පාරෙ කිලෝමීටරක් ගිහිං හැරිල වෑබඩ උතුර විද්‍යාදීප ඉස්කෝල හරියෙ.. අනිවා දවසක සෙට් වෙමු ...
      ඔයා ෆේස්බුක් එකේ ඉන්නවනං ලිංන්ක් එකක් දාන්ඩ ..

      Delete
  12. අද තමයි ගඟ දිගේ ඔක්කොම කතා ටික කියවල ඉවර කරන්න ලැබුනේ. මේක තමයි ත්‍රාසජනකම කොටස. හරියට චිත්‍රපටියක් බලනවා වගේ. දිය ඇල්ල නම් ටිකක් අවදානම් නේද? ගමන සැලසුම් කරද්දී ඒ ගැන දැන ගෙන හිටියේ නැද්ද? මොනවා උනත් ලිපි ටිකනම් නියමයි අයියේ. අර අතුරු විස්තර දාන එකත් හොඳයි. මටනම් ගොඩක් දේවල් අලුත්

    ReplyDelete
    Replies
    1. සයුරි,ඇත්තටම අපි දැනගෙන හිටියෙත් නෑ මෙහෙම දෙයක් තියෙනවා කියලත්! ඒක අපේ දුර්වල තාවයක් ලෙස නිහතමානීව පිළිගනිමි. මෙවාවිසල් දිය ඇළි නොවේ. මේවා පොඩි බාදක. භූ විශමතාවය ගත්තොත් අඩි 2- 3 වතර ඇති. (මම් හිතනා පරිදි) ඒත් මේ බාධකය නිසා එකතු වන ජලස්කන්ධය එක පොඩි කපොල්ලකින් දෙකකින් යන නිසා අධික වේගයක් ගන්නවා. එතනයි අවුල. හැබැයි රැපිඩ් එකක් පහු කලාම දැනෙන සතුට මෙතැකඇයි කයන්න බෑ. හරිය පොඩි එකෙකුට ශිෂ්යත්වෙ පාස් උනා වගේ එකක්!බොහොමත්ම ස්තූතියි!!

      Delete
  13. අම්මටඋඩු මේ උඹ නේද ? මචෝ මට උඹව හොඳට මතකයි. උඹේ ඊමේල් එක දාපං. උඹ ඔක්කොම හරියට මතකෙන් ලියලා. ෆේස් බුක් ඉන්නවද ?

    ReplyDelete
  14. අනේ ඔව් මේ මමම තමයි. ඔයාගෙ බ්ලොග් එක මම දිගටම කියෙව්වා පුරුද්දක් විදියටම. මම හර්දයාන්ගවම සතුටුවෙනවා ඔබ අද සිටින තැන ගැන. මිහිරි මතක බොහොමයි.මම ඒවා කොමෙන්ටු හැටියටම ලියන්නම්. බොහොමත්ම ස්තූතියි මගෙ බ්ලොග් එකට ගොඩ වැදුනාට. මට තවම ෆේස් බුක් ගිනුමක් නැහැ. ඔයාට මතකද අපි දෙන්නා මහජන පුස්තකාලේදි එකට පාඩම් කරණවා වගේ හිටියා. ඔයා ඒකාලේ ලියපු පොඩි පොඩි තුන්ඩු කෑලි මාළඟ තවම තියෙනවා ස්ක්‍රැප් බූක් එකක අලවලා! කොහොමත් ඒකාලෙත් පිස්සුනේ!

    ReplyDelete
    Replies
    1. මංජුල ඒ කාලයේ උඹ මට ප්‍රතිවාදියෙක්. මම උඹ දිහා බැලුවේ ඇටෑක් එකට ඒ කාලයේ උඹ වගේ සුන්දර මිනිසෙක් මට මිස් උනා ( ඒ කාලයේ තිබූ උණ නිසා) නමුත් අද උඹව මම සහෝදරත්වයෙන් වැළඳගනිමි. බුදු මචෝ කොහොමද අපි කතා කරන්නේ මට ඊමේල් එකක් එවපං ruwanmjayatunge@gmail.com ස්කයිප් එකෙන් හරි කතා කරමු.

      Delete
  15. ඔන්න කතාව ඉවර වෙනකල් කියෙව්වා ...අපිත් එහෙනම් ගගක් දිගේ පහලට අවා එහෙනම්.ස්තුතියි මංජුල අය්යේ .තවත් මේ වගේ ඇඩ්වෙන්චර් පොස්ට් එකක් ඉක්මනට දෙන්ඩෝ .......

    ReplyDelete
  16. ගහ කොළ අපේ හිත සුවපත් කරනවා නේද

    ReplyDelete
  17. -- “දෙවැන්න වන්නේ කුලී පදනම මත ගෙන ආ කයාක නැවත භාරදීමේදී “ --

    ඕයේ .. කයැක් කුලියට ගන්න පුලුවන්ලු.. ඒ කියන්නේ අපිටත් ගඟ දිගේ යන්න පුලුවන් .. හුරේ !!!!!

    ReplyDelete

ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ කථාන්දරය -"මෝබි ඩික්"...